V2025

පුවත්

25 වැනි නාවික හමුදාපති පත්වීම් ලබයි !

මෙරට 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත්කර තිබේ.

නව නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරාට හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා චාරිත්‍රානුකූලව රාජකාරීන් භාරදුන් බවත් වාර්තා වෙයි .

හමුදාවෙන් සේවයෙන් විශ්‍රාම ලැබූ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සම්මාන ආචාර මුරයක් ද නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා ඇත .

ඇමරිකානුවන් 108 ක් ගෙන සුපිරී නැවක් කොළඹට !

ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දුව තිබේ.

ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට ළගාවූ මෙම නෞකාව හෙට (19) ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ වරායේ බැස දින දෙකහමාරක් පමණ කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කර මේ මස 21 වැනිදා ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වීමට නියමිතය.

අමෙරිකානු ධජය සහිත මෙම නෞකාව දිගින් මීටර් 105 හා පළලින් මීටර් 18.5 කි.

රාජ්‍ය ආයතන 52 ක් වාර්ෂිකව කෝටි 86000ක් ගිලියි !

රාජ්‍ය ව්‍යවසාය ඇතුළු ආයතන 52ක් වාර්ෂිකව රුපියල් කෝටි 86000ක පාඩුවක් ලබන රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වාර්තා වන ආකාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් මේ ආකාරයට පාඩු ලබන අතර එය පියවීමට සිදුව ඇත්තේ ජනතා බදු මුදල්වලින් මූලිකව යැපෙන රාජ්‍ය භාණ්ඩාගාරයට ය.

රාජ්‍ය ආයතන අතුරින් දූෂිත ආයතන තිස් දෙකක් පවතින බව කෝප් කමිටුව පසුගියදා අනාවරණය කළේය. එහි වාර්තාවකට අනුව පසුගිය වසර පහේදී එම ආයතන 32 ලබූ පාඩුව රුපියල් කෝටි 46,500කි.

එම ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතන ලෙස පිළිවෙලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය, හඳුනාගෙන ඇති බවත් එම ආයතන පසුගිය තෙවසර තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි තිස් දාහක් බවත් සඳහන් වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස හතර තුළ රුපියල් කෝටි 62,800 ක පාඩුවක් ලබා ඇත.

ඉන්පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 24,800ක්ද ලංකා විදුලිබල මණ්ඩලය කෝටි 4700ක්ද පාඩු ලබා ඇත.

මේ අතර පාඩු ලබන රජයේ ආයතන 39 ක් ප්‍රතිව්‍යුගත ලයිස්තුවේ පවතින බව රජය පවසයි.

එසේම රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් රජයෙන් නඩත්තු කරන බව රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ව්‍යාප්තිය නැවතත්.......

 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් ආරක්ෂාකාරී විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පවසති.

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය රෝහිණී වඩනම්බි ප්‍රකාශ කළේ ඉන් වැඩිම බලපෑමක් පවතින්නේ කුඩා ළමුන්ට සහ වැඩිහිටියන්ට බවයි.

මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තියත් සමග පුද්ගලයින් තුළ දැඩි උගුරේ වේදනාවක් හා උණ රෝගී තත්ත්වයක් නීරීක්ෂණය කළ හැකි බවත් මෙනිසා සෑම විටම මුව ආවරණ පැළැදීම හා දෑත් පිරිසිදුව තබා ගැනීම වැදගත් බව ද ඇය අවධාරණය කළාය.

ලංකාවට ආවේ ඇයි ? සෝල්හයිම් කරුණු පහදයි !

සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සමග පැවති හමුවකින් අනතුරුව ය.

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මෙසේද පැවසීය .

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයෙන් මම ශ්‍රී ලංකාවට පැමිණියේ ආර්ථික අර්බුදය සඳහා හරිත තිරසාර විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමටයි. සුළං හා සූර්ය විදුලිබල ක්ෂේත්‍රවල නව ආයෝජනයන් ගෙන ඒමටත් මම බලාපොරොත්තු වෙනවා.

අද පැවති සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මට දැනුම් දුන්නා.. පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව. එය ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහොමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක්. එහිදී ඉන්දීය සම්භවයක් සහිත මෙරට දෙමළ ජනතාව නැත්නම් උඩරට දෙමළ ජනතාවට සිංහල හා මුස්ලිම් ජනතාව සමග සාමයෙන් ජීවත්වීමට ඇති අභිලාෂයත් ඔහු පැහැදිලි කළා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ දුප්පත්ම ජනකොටස් වන වතුකරයේ ජනතාවට ආහාර ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සැපයීමේ අවශ්‍යතාවයත් මෙහිදී අවධාරණය කෙරුණා. ඉතා දුෂ්කර කාලයක් පසුකරන ශ්‍රී ලාංකික ජනතාව වෙත මගේ සහාය මම පළ කරනවා.

ඔවුන් අතරින් සමහර පිරිස්වලට ප්‍රමාණවත් ආහාර වේලක් නොලැබෙන බවත්, දෛනික ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීමටත් සිදුව ඇති බව දැනගන්න ලැබිලා තිබෙනවා. මේ දුෂ්කරතාවලින් මිදෙන මඟක් පිළිබඳව සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරන්න මම සූදානම්.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට ජනාධිපතිවරයා දැඩි පරිශ්‍රමයක් දරනවා. චීනය සහ ඉන්දියාව සමගත් එලෙසමයි. මේ හරහා නැවතත් ආර්ථිකය ප්‍රකෘති කිරීමට හැකිවුවහොත් එය සියලු දෙනාටම මීට වඩා හොඳ කාලයක් උදාවේවි’

වගා නොකළ ඉඩම් අවුරුදු 05 කට රජයට !

රජය විසින් රටේ සෑම වගා නොකළ ඉඩමක්ම වගා කිරීමට තීරණය කර ඇති බැවින් පුරන් කුඹුරු සියල්ල වසර 05ක් සඳහා රජයට පවරාගෙන ඒවා වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ප්‍රජාවට පවරා දිය හැකි පරිදි ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වසර 05කට පසු එම ඉඩම් අයිතිකරුවන්ට අදාළ ඉඩම් වගා කළ පිරිස් සමඟ එකඟතාවයක් යටතේ අවශ්‍යනම් වගා කිරීමට හැකි බවත් එසේ නොකරන්නේ නම් ඉඩම් අයිතියට බිම් කුලිය වශයෙන් ලබන අස්වැන්නෙන් කොටසක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

දැනට රට තුළ වගා කළ හැකි කුඹුරු ලක්ෂයක් පමණ පුරන් වීමට ඉඩ හැර තිබෙන බවත් එම කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ පිහිටා ඇති බවත් අමාත්‍යවරයා පවසයි .

එසේම ඇතැම් ඉඩම් අයිතිකරුවන් විදේශගත වී ඇති බව ද අනාවරණ වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කළයුතුයි - ජනාධිපති

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට අද (17) පෙරවරුවේ එක්වෙමිනි.

දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් තුන්සිය පනස් එක් දෙනෙකු (351) අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණි.

විදේශ රටවල් හතරක කැඩෙට් නිලධාරීන් ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.

යුද හමුදා විද්‍යාපීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉතා අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ප්‍රථමයෙන් එම පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව කැඩෙට් නිලධාරීන්ගේ පෙළපාලිය පරීක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම සිදු කළේය.

අද දින අධිකාරි ලත් කැ‍‍‍ඩෙට් නිලධාරීන් සමග සමූහ ඡායාරුපයකට පෙනි සිටි ජනාධිපතිවරයා සිය සංචාරය සනිටුහන් කරමින් විද්‍යාපීඨ භූමියේ නා පැලයක් රෝපණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

අද ඔබට ඉතා වැදගත් දිනයක්. අද ඔබ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කරනවා. නමුත් එය ඔබගේ ජීවිතයේ අලුත් ආරම්භයක්. අද ඔබ සියලු දෙනාම යුද්ධ හමුදාවේ නිත්‍ය සාමාජිකයන් ලෙස සේවය ආරම්භ කරනවා .

ශ්‍රී ලංකා යුද හමුදාවේ නායකන් ලෙස අද සිට ඔබටත් වගකීමක් තිබෙනවා. යුද හමුදාව හා එහි සෙබළුන් ආරක්ෂා කිරීමේ වගකිම ඒ අනුව ඔබට පැවරෙනවා. අද ඔබට මෙම වගකීම පවරන්නේ ජන රජයක් ලෙසයි. එය ආරක්ෂා කිරීම ඔබේ වගකීමක්. ජනරජය සතුරාගෙන් ආරක්ෂා කිරීමේ වගකීමත් ඔබට පැවරී තිබෙනවා. සෑමවිටම ඔබ පුහුණු කරන ආයතනයේ ගෞරවය සහ කීර්ති නාමය ආරක්ෂා කළයුතුයි.

රටක් ලෙස අපි ලෝක බලවතුන් සමඟ එක පිලකට වෙන් වී නෑ. ලොව බලවතුන් සමග අපි ගිවිසුම්ගත වෙලා නෑ. මොකද අපි දූපත් රාජ්‍යයක්. අපි සියලු රටවල් සමඟ මිත්‍රශිලිව කටයුතු කළයුතුයි.

මේ රට ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබට පැවරෙනවා. අභ්‍යන්තර මෙන්ම බාහිර බලපෑම්වලින් රට ආරක්ෂා කර ගැනිමේ හැකියාව ඔබට තිබෙනවා. ඔබ ඇතුලත් වන අපගේ යුද හමුදාවට යුධ අත්දැකීම් තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර යුද අත්දැකීම් ඔවුන් සතුයි. එක්සත් ජාතීන්ගේ හමුදාව සමග එක්ව මාලි රාජ්‍යයේ මෙහෙයුම්වලට අපේ ආරක්ෂා හමුදා ද සහභාගී වී සිටිනවා.

එම නිසා ඔබට අභියෝග ජය ගත හැකියි. ඉදිරියේ දී පැමිණිය හැකි කුමන හෝ අන්දමේ අභියෝග භාරගෙන ඒවාට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව ඔබ සතු‍ වෙනවා. එබැවින් එම වගකීම මා ඔබට භාරදෙන අතර ශක්තිමත්ව ඉදිරියට කටයුතු කරන ලෙස ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරාල් නියන්ගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=2916#sigProIdbc75dc85bd

ධනුෂ්කගේ ඉල්ලීමට අධිකරණයේ අවසරය !

ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් අවසරදී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තාවක සඳහන් ආකාඑයට හැවිරිදි ධනුෂ්ක ගුණතිලක  ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.

එහිදී නීතිඥවරයා ඉල්ලා ඇත්තේ දැනට ධනුෂ්ක ගුණතිලකට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසේ ඔහු ජීවත්වන බවත් නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බැවින් මෙසේ නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසය.

සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය එම ඉල්ලීම පිළිගෙන ඇති අතර ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට නව නිවසකට යාමට අවසර ලබා දී ඇත.

මේ වන වුට ඇප මත මුදාහැර සිටින ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවා ඇති අතර , සෑම දිනකම පොලිසියට වාර්තා කිරීම, සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා ඔහුට සංචරණ සීමා, පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් වීම මෙන්ම Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතයද තහනමද වෙයි.

කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇති අතර අදාළ නඩුව නැවත කැඳවීමට නියමිතව තිබෙන්නේ ලබන වසරේ ජනවාරි 12 වැනිදාය.

ෂාෆ්ටර් ඝාතනය : තොරතුරු කිහිපයක් ගැන විශේෂ අවධානයක් !

කෝටිපති ව්‍යාපාරිකයකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එසේම තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය අවට සීසීටීවී කැමරා විස්සකට අධික සංඛ්‍යාවක පටිගතවූ දර්ශන පරීක්ෂාවට ලක් කර ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සීසීටීවී දර්ශන පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් පහක් යොදවා ඇති බවත් දැනගන්නට ඇත.

මෙයට අමතරව ඔහුගේ ජංගම දුරකථනයේ සඳහන්ව ඇති තොරතුරු සම්බන්ධයෙන් දුරකතන සමාගම්වල සහාය ඇතුව වෙනම විමර්ශනයක් පවත්වන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

ගුවන් ගමන් පාලකයන් 38ක් රට හැර ගිහින් !

මෙරට ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී රට හැර ගොස් තිබෙන බව වාර්තා වෙයි.

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඔවුන් මෙසේ විදෙස්ගතව ඇත්තේ වෙනත් රටවල සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ පහසුකම් ලබාගනිමින්ය.

මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් මතුව තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ මෙය අද රටේ සෑම ක්ෂේත්‍රයකටම පොදු වූ ප්‍රශ්නයක් බවයි.

මේ හේතුවෙන් ගුවන් ගමන් පාලකවරුන් විසිපස් දෙනෙකු අලුතින් බදවා ගැනීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

එසේම ගුවන් නියමුවන් රැසක්ද පසුගිය කාලයේදී රට හැර ගොස් තිබෙන බවත් දැනගන්නට ඇත.

ණය ගැන කතාවට : චීනයෙන් කොළ එළියක් !

ලොව විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසා ඇත.

මෙම වට මේස සාකච්ඡාව ඉහළම මට්ටමින් පැවැත්විය යුතු බවත් එයට ණය හිමියන්, ණය ලබාගත් ඇතැම් පාර්ශ්ව සහ පුද්ගලික ණය හිමියන් සමඟ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජී20 සමුළුවේ සභාපතීත්වයද එක්විය යුතු බවත් ඇය සඳහන් කර තිබේ.

පසුගියදා චීන බාලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් පසුව දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වෙතැයි අපේක්ෂා ඉහළ ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජීවා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාන් මිළෙහි සංශෝධනයක් !

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු ඇත.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන  අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බවය.

පුංචි ඡන්දයට සන්ධාන තුනක් තරග බිමේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එක් එක්ව එක් සන්ධානයක් ද, ජාතික ජන බලවේගය වෙනම ද මැතිවරණ බිමට පිවිසීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මැතිවරණයට මුහුණදීම සඳහා මේ වන විට මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර සභාගය හා නිදහස ජනතා සභාව එක්ව නව සන්ධානයක් යටතේ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

උත්තර සභාගයේ විධායක සභාව ඉකුත් සතියේදී කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වී ඇති අතර, නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය හා ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එතෙක් එම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ද දිගටම කරගෙන යාමට ඔවුන් තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය

මේ අතර, නිදහස ජනතා සභාවේ ප්‍රකාශකයකු සදහන් කළේ, පළාත් පාලන මැතිවරණයට පුළුල් සන්ධානයකින් තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තරය සභාගය සමඟ සාකච්ඡා කරගෙන යන බවය.

අලුතින් ම පිහිටුවන සන්ධානයක් ලෙස මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

මේ අතර ආචාර්ය නාලක ගොඩහේවා විසින් 'වියත් පෙරමුණ' නමින් දේශපාලන පක්ෂයක් ද අලුතින් ලියා පදිංචි කරනු ලැබ ඇති අතර අපේක්ෂක lලැයිස්තු සකස් කිරීම ද කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් සතියේ සඳහන් කළේ, මැතිවරණය සඳහා අලුත් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරගෙන යන බවය.

මේ අතර, පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් කමිෂන් සභාව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත. එසේ වුවහොත් මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බව දැනගන්නට තිබේ. පළාත් පාලන පනත අනුව, පළාත් පාලන ආයතන, ලබන මාර්තු මස 20 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතුව ඇත.

ලංකාදීප

ඇල්ල සංචාරක කලාපය සංවර්ධනයට: ජනාධිපතිගෙන් උපදෙස් !

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඇල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ පැවැති සාකච්ඡාවේ දී ය.

සංචාරක ආකර්ශණයට ලක්ව ඇති ඇල්ල සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක ආකර්ශනයට බාධා නොවන අයුරින්, සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කර ගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

පළමු අදියර යටතේ ඇල්ල සංචාරක කලාපය මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශණීය ගමනාන්තයක් බවට පත් කරන බවත් අනතුරුව සමස්ත ඌව පළාතම සංචාරක ආකර්ශණය දිනාගත් තෝතැන්නක් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

ඇල්ල ප්‍රදේශය වෙත පැමිණ සිටී දෙස්, විදෙස් සංචාරකයන්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.,

ඇල්ල කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව එකතුව නිර්මාණය කරගත් සංචාරක කලාපයක්. එය දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. නව සුවිසල් සංවර්ධන සැලැස්මක් අනුව මේ සංචාරක කලාපය දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි මතුව ඇති ගැටළු සඳහා කෙටි කාලීන විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා.

අද මාලදිවයිනට පැමිණෙන සංචාරකයෙක් දිනකට ඩොලර් 500ක් පමණ වියදම් කරනවා . හැබැයි ඇල්ල ප්‍රදේශයට එන විදෙස් සංචාරකයෙක් දිනකට වියදම් කරන්නේ ඩොලර් විස්සයි. මේ තත්ත්වය අපි වෙනස් කළයුතුයි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පුහුණු සේවකයන් අවශ්‍යයි. පසුගිය කොරෝනා වසංගත සමයේ පළපුරුදු සංචාරක සේවකයන් රට අත්හැර ගියා. ඒ අය ඉතා හොඳ අත්දැකීම් තිබෙන ‍සේවකයින්. සංචාරකයින් පැමිණෙන්නේ හොඳ සේවාවක් අපේක්ෂාවෙනුයි. එම සංචාරකයන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට අපට පුහුණු සේවකයින් අවශ්‍ය වෙනවා.

මේ සුවිසල් සංවර්ධන වැඩසටහන යටතේ විශිෂ්ඨ සංචාරක සේවාවක් ඇතිකිරීමට පියවර ගත යුතුයි. ඒ වගේම ඌව පළාතට එන සංචාරකයින් අවම වශයෙන් දින 07ක්වත් මෙහි රඳවා ගැනීමට හැකිවන පරිදි අපි නව සැලසුම් සකස් කළ යුතුයි.

ඒ වගේම නැගෙනහිර පළාතට පැමිණෙන සංචාරකයින් ඉන් අනතුරුව ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළවෙළක් සකස් කළ යුතුයි. මත්තල ගුවන්තොටුපල දියුණු කර මත්තලින් මෙරටට පැමිණෙන සංචාරකයින් කෙලින්ම ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් අපගේ නව සංවර්ධන සැලැස්මට ඇතුළත් විය යුතුයි. මෙම සැලසුම් කෙටිකාලිනව සහ දිගුකාලීනවත් මෙරට ආර්ථිකයේ දියුණුවට බලපානවා.

සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා. ඒ සඳහා සහාය ලබාදෙන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී ඇල්ල ව්‍යාපාරිකයන් ඉදිරිපත් කළ ‍බොහෝ ගැටළුවලට එම මොහොතේම විසඳුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කළහ.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් , බදුල්ල දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු සහ ඇල්ල ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් ද, ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

මාලනීගේ සැත්කම සාර්ථකයි !

මෙරට නිලි රැජින ලෙස සැළකෙන මාලනී ෆොන්සේකා ඉන්දියාවේදී හදවත් සැත්කමක් සිදුකර ඇති අතර එය සාර්ථක බව වාර්තා වෙයි.

රුපියල් එක්කෝටි දස ලක්ෂයක් පමණ එම සැත්කම සඳහා වැයව ඇති බවත් එම මුදල සොයා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලිකව මැදිහත්ව ඇති බවත් දැනගන්නට ඇත.

එසේම සැත්කමේ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සොයාබලා කටයුතු කරන ලෙස ඉන්දියාවේ පිහිටි මෙරට මහකොමසාරිස් කාර්යාලයට උපදෙස් දීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

වාර්තා වන වැඩිදුර තොරතුරුවලට අනුව මාලනී ෆොන්සේකා මහත්මිය මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර අද දින නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇත.

අධිවේගයේ කෙරවලපිටිය පිටවීම අසළ ප්‍රශ්න රැසක් !

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ (E 02) කෙරවලපිටිය පිටවීමේ ස්ථානයේ සිට ගල්උඩුපිට හන්දිය දක්වා මාර්ග කොටස ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මාර්ගය භාවිතා කරන ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන් බලවත් අසීරුතාවන්ට මුහුණදෙන තත්ත්වයක් මතුව තිබේ.

අධිවේගී මාර්ගයට පිවිසෙන හා පිටවන ස්ථාන දෙකක මාර්ගය අබලන්ව සැලකිය යුතු මට්ටමේ වලවල් හෑරී ඇති අතර මාර්ගයේ තවත් ස්ථාන දෙකකද විශාල ප්‍රමාණයේ වලවල් දෙකක් හෑරී කාලයක් ගතව ඇති නමුත් මෙතෙක් එය පිළිසකර කිරීමක්ද සිදුව නැත. එසේම මාර්ගයේ විදුලි පහන් පවා නොමැති බැවින් රාත්‍රී කාලයේ ධාවනය වන වාහන වලවල් වල වැටී අනතුරට පත්වීමේ අවධානමක් පවතී.

දිගින් කිලෝමීටර් 25.8 ක් වන කොළඹ - කටුනායක අධිවේග මාර්ගය ඉදිකරනු ලැබුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පහසුවෙන් ගමන් කිරීම සඳහාය. එම මාර්ගයේ එක් පිටවීමක් ලෙස කෙලවරපිටිය පිටවීම 2019 නොවැම්බර් 18 වනදා විවෘත කෙරුණත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉන් අනතුරුව නිසි නඩත්තුවක් මේ ආශ්‍රිතව සිදුව නොමැති බවයි.

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පරිපාලනය වන මෙම ප්‍රදේශයේ කෙලවරපිටිය පිටවීමේ ස්ථානයේ සිට මීගමුව - කොළඹ මාර්ගයේ ගල්උඩුපිට හන්දිය (ලක්ස්ප්‍රේ හන්දිය ) දක්වා ඇති කිලෝ මීටර් 2.3ක මාර්ගය සහ ඊට යාබදව ඇති අතුරු මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීමත් මාර්ගය දෙපස කැලි කසල බැහැර කිරීමත් හේතුවෙන් අප්‍රසන්න ප්‍රදේශයක් බවටද පත්ව ඇත.

වෙනත් අධිවේග මාර්ගයන් ආශ්‍රිතව පිවිසීමේ සහ පිටවීමේ ස්ථාන උද්‍යාන අලංකරණය හරහා ආකර්ෂණීය ලෙස නඩත්තු කරමින් පවත්වාගෙන යන නමුත් මෙම මාර්ගය දෙපස එවැනි නිසි නඩත්තුවක් සිදුනොවීම නිසා දෙපස කැලෑ බිහිවී තිබේ. විවිධ පිරිස් ප්‍රදේශයේ කසල බැහැර කිරීමට යොමුව ඇත්තේද ඒ නිසා බව ප්‍රදේශවාසීන් පවසයි.

තවද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මේ ආසන්නයේ කොම්පෝස්ට් පොහොර අංගනයක් පවත්වාගෙන යාම හේතුවෙන් කෙලවරපිටිය පිටවුම ආසන්නයේ පිරිස්ද එම ස්ථානය ඉදිරිපිටට කාලයක් තිස්සේ කසල බැහැර කිරීමට පුරුදුව ඇත. නමුත් එම කටයුත්ත වැලක්වීමටවත් අදාළ බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මීට අමතරව ගල්උඩුපිට මංසන්ධියේ සිට කෙලවරපිටිය දක්වා දිවෙන ඩියෝන් අමරසේකර මාවත හා අවට අතුරු මාර්ග දෙපස ස්ථාන කිහිපයකමද අනවසර ලෙස මහා පරිමාණ කුණු කසල බැහැරකිරීම සිදුවෙයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පවතින අතර මාර්ගය භාවිතාකරන්නන්ට සහ ප්‍රදේශයේ ජනතාවද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකට ය.

අධිවේගී මාර්ගය දිවෙන පාලම යට ප්‍රදේශය වෙතද විවිධ ආයතන විසින්ද කැලිකසල බැහැරකර තිබෙන අතර ඒවායේ ඇති විවිධ කොටස් එකතු කිරීම සඳහා මත්ලෝලීන් නිතර එහි පැමිණෙන තත්ත්වයක්ද නිර්මාණයවී තිබේ. අධිවේග මාර්ගයේ පාලම යටට ඇතුල්විය නොහැකි ආකාරයට අඛණ්ඩව යෙදු ආරක්‍ෂිත වැටක් නොමැති අතර , දැනට තිබෙන වැටද කඩාදමා පාලම යට වාහන ගාල් කිරීමට පිරිස් යොමුව තිබේ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=2916#sigProId6cdb8acc42

වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ වත්තල ප්‍රාදේශීය සභාවද මේ කිසිත් නොතකා ප්‍රාදේශීය සභාවට අයත් වාහන අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් ද මෙකී පාලම යට පවත්වාගෙන යාමය.

එසේම අධිවේග මාර්ගයට පහළින් ඇති කොටසේ ආරක්‍ෂිත දැල මඟින් සම්පූර්ණ ප්‍රදේශය ආවරණය කර නොතිබීම හේතුවෙන් විශේෂයෙන් රාත්‍රී කාලයේ සොරුන් මංකොල්ලකරුවන් , ගණිකාවන් , මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් ඇතුළු විවිධාකාරයේ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් වල තෝතැන්නක් බවට එම ස්ථානය පත්ව ඇත. එහි විදුලි පහන් නොමැති නිසා එය විෂමාචාර ක්‍රියාවන්ට රුකුලක් වී ඇත.

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තදින් ඉන්න - ඇමති ටිරාන්

මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා අද (16) උපදෙස් ලබාදී ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට පුද්ගල තරාතිරම නොබලා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු ප්‍රදේශ නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා අමාත්‍යවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුදේව හෙට්ටිආරච්චි පොලිස් අත්අඩංගුවට !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි පොලිසිය විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

ඒ මහනුවරදී බීමතින් රිය පදවමින් විදේශීය දූත පිරිසකට මග අවහිර කිරීම හා පොලිස් අණ නොතකා ධාවනය යන චෝදනා යටතේ ය.

පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ ලබන 23 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.

Page 163 of 385