පුවත්

එජාප සම්මේලනය කල් යයි !
සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය ඔක්තෝබර් 21 වනදා පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත .
ඒ අනුව ඔක්තෝබර් 21 වනදා පස්වරු 2.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී එජාප සම්මේලනය පැවැත්වීමට නියමිත ය.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පසුගියදා රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුව ගෙන ඇත .

පයිනස් දැවත් ආනයනය කරලා :කෝටි 480ක් වනසලා !
භාවිතයට ගත හැකි පයිනස් දැව ප්‍රමාණවත් තරම් මෙරට තිබියදී පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 480 කට වැඩි වටිනා පයිනස් දැව මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.
කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසන්නේ දැව සදහා භාවිතා කළ හැකි තත්වයේ පවතින පයිනස් ගස් බිම් හෙක්ටයාර් 1200ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කැලෑවලද පයිනස් හෙක්ටයාර් 1764 ක් පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති කැලෑවලද පවතින බවට තොරතුරු අනාවරණය වූ බවයි .
සාමාන්‍යයෙන් පොදුවේ කෝටි 900 කට වැඩි වටිනා දැව දඬු වර්ෂයකදී මෙරටට ආනයනය කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
දළ වශයෙන් වසර 18 කට පමණ ප්‍රමාණවත් පයිනස් දැව මෙරට ඇති බවද එම කාරක සභාවේදී තොරතුරු හෙළිවිය.

උපයෝගීතා කොමිසමේ හිටපු සභාගේ බෙන්ස් ගාය කෝප් කමිටුවේදී එළියට !
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසක මාසික කුලියකට මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් ) අනාවරණය වී ඇත .
එහිදී රජයේ විගණකාධිපතිවරයා කෝප් කමිටුව හමුවේ පවසා ඇත්තේ මෙම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය 2022 මැයි 31 දක්වා නීති විරෝධීව ගෙවා ඇති බව ය.
මේ අතර ඉන්ධන ලීටරයක් රුපියල් 250 ක මුදලකට ලබා දිය හැකි බවට හිටපු සභාපතිවරයා කළ ප්‍රකාශයද අසත්‍යයක් බව ඔහු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටුව නිලධාරීන් වෙත දන්වා ඇත්තේ ජනතාව නොමග යවමින් හිටපු සභාපතිවරයා කළ එම ප්‍රකාශය අසත්‍ය බවට ජනතාවට ප්‍රසිද්ධ නිවේදනයකින් සති දෙකක් ඇතුළතදී දැනුම්දෙන ලෙසයි.

සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ පරිවර්තනයක් !
විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට ඊයේ (08) පස්වරුවේ එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ස්කොට්ලන්ත වැවිලිකරුවෙකු වන ජෝසප් ෆ්‍රේසර් සහ ඔහුගේ බිරිඳ විසින් සදාකාලික සිහිවටනයක් ලෙස ජෝසප් ෆ්‍රේසර් රෝහල ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කළ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහල් පාලනාධිකාරිය විසින් පිළිගනු ලැබීය.
ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්පති පී. සත්කුමාර විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.
ජෝසෆ් ෆ්‍රේසර් රෝහල යනු රෝහලක් පමණක්ම නෙවෙයි, එය අද වන විට වසර සියයක් සම්පූර්ණ කරන ආයතනයක් ද වෙනවා. ෆ්‍රේසර්වරුන් පැවත එන්නේ ස්කොට්ලන්තයේ ප්‍රසිද්ධ පරපුරකින්. එහි සිට තමයි ජෝසෆ් ෆ්‍රේසර් ශ්‍රී ලංකාවට පැමිණියේ.
බ්‍රිතාන්‍යයන් මෙරටට තේ කර්මාන්තය හඳුන්වා දුන් අවධියේ ජෝසෆ් ෆ්‍රේසර් වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළා. ඔහු ශ්‍රී ලංකාවේ පිටකන්ද වතුයාය කේන්ද්‍ර කරගනිමින් වැවිලි කර්මාන්තයේ නියැලුනා. අවසානයේ ඔහු මෙරටදීම මිය ගියා.
ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ අනෙකුත් වැවිලිකරුවන් අතර තිබෙන වෙනස වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ යම් සළකුණක් තබා යාමට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාව ඔහු සේවය කළ රට වගේම ශ්‍රි ලංකාව ගොඩනැඟීමට ද ඔහු දායක වී තිබෙනවා.
මෙරට වැවිලි කර්මාන්තයේ නිරතව ලාභ උපයාගත් අනෙකුත් සිය ගණනක් වැවිලිකරුවන් අතර ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ පවුලේ අය මේ රටට යමක් ඉතිරි කර යන්නට කටයුතු කළා. ඒ තමයි මෙම ජෝසෆ් ෆ්‍රේසර් රෝහල. මෙම රෝහල ආරම්භ කරන අවධියේ මෙම ප්‍රදේශය දියුණු තත්ත්වයක තිබුණේ නැහැ.
මගේ සීයා මගේ නැන්දට සිරිපා පාරේ ඉඩමක් අරන් දී තිබුණා. ඒ නිසා මගේ අම්මා නිතරම එම ප්‍රදේශයට යනවා. එදා මෙම පළාත තනිකරම හිස් භූමියක් ලෙසයි පැවතියේ. වැඩිම වුණොත් මෙම මාර්ගයේ ඉදිරියට යන විට නිවාස දෙක තුනක් පමණයි දකින්න ලැබුණේ. එසේ වූවත් එදා මෙම රෝහල සෑම කෙනෙකුගේම අවධානයට ලක් වුණා. මෙම රෝහල මෙරට කාන්තා පරපුරට ලබා දී අති තිළිණයක් ලෙස සැලකිය හැකියි. එසේම මෙම රෝහල පිළිබඳ අප සියලුදෙනා ආඩම්බර විය යුතුයි.
මේ ආයතනය හොඳින් නඩත්තු කෙරෙනවා. සුමල් පෙරේරා මහතා නයින්වෙල්ස් රෝහලෙන් මෙම කටයුතු ආරම්භ කර දැන් මේ දක්වා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. අපට ඇති දේ සහ අපට කළ හැකි දේ පිළිබඳ එය හොඳම උදාහරණයක් බව කිවයුතුයි.
ශ්‍රී ලංකාවේ ඇති මෙවැනි රෝහල්වලට ඉදිරියේ දී මෙරට ජනතාව වෙනුවෙන් පමණක් නොව විදේශිකයන් වෙනුවෙන් ද අවශ්‍ය සේවා සැපයීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම රෝහල දෙස බැලීමේ දී මෙය රෝහලක් ද හෝටලයක් ද කියා සිතා ගැනීම අපහසුයි. රෝහලක සේවාවන් සිදු විය යුත්තේ මේ ආකාරයටයි. එම සේවාවන් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යා යුතුයි. විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ සෞඛ්‍ය සේවා ඉතා ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි. එම ප්‍රමිති මට්ටම සඳහා මෙම රෝහල හොඳ උදාහරණයක් බව කිවහැකියි.
අපේ රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. මෙරට රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් හා රජයේ රෝහල් ලෙස වෙන් කර තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු විශාල පිරිසක් දැන් රට හැර යමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුළ අපට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට සිදුව තිබෙනවා. ඒඅනුව ඉදිරියේදී පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) අප මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ සහ විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වැඩිපුර වෛද්‍යවරුන් බිහි කිරීමට අනුගමනය කළ ක්‍රමය එයයි. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ.
ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් නොමැතිව අද වන විට එක්සත් රාජධානියට තම රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ අනුව පකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව සමඟ එක්ව, අප එක්සත් රාජධානියේ රෝහල් පද්ධතිය පාලනය කරමින් සිටින බව පැවසුවොත් නිවැරදියි. ඒ අනුව ශ්‍රී ලංකාව ආධාර ලබන රටක් පමණක් නෙවෙයි, ආධාර ලබා දෙන රටක් බවට ද පත් වෙනවා.
ඒ වගේම පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට එකට වැඩ කළ හැකි නව ක්‍රමවේදයක් අප දැන් සකස් කර තිබෙනවා.
එසේම සෑම පුරවැසියෙකුටම යම් වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අප අපේක්ෂා කරනවා. එවිට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ රෝහලකට යනවාද, නැතිනම් පෞද්ගලික රෝහලකට යනවාද කියා ජනතාවටම තීරණය කළ හැකියි. අප අවධානය යොමු කළ යුත්තේ මෙම කරුණු පිළිබඳවයි.
ඇත්ත වශයෙන්ම මෙම දිනවල මමත් වෛද්‍යවරයෙක් වගේ කියා මට දැනෙනවා. මරණයට ආසන්නව සිටින රෝගියෙකු ඉන් මුදවා ගැනීමට මට සිදුව තිබෙනවා. ඒ වගේම මම තවමත් එම රෝගියාට සාත්තු කරමින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. මට අවස්ථාවක් ලැබුණොත් මම ඔහුව ජෝසප් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල වෙත එවනවා. නමුත් අවාසනාවකට, මට ඔහුව භාණ්ඩාගාරයේ තබාගෙන ප්‍රතිකාර කිරීමට සිදුව තිබෙනවා.
අප සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතුව තිබෙනවා. ඒ තුළ පුද්ගලික ව්‍යවසායන්ට ද දියුණු වී ඉදිරියට යා හැකියි. එසේ නොමැතිව රටක් දියුණු කිරීමට හැකියාවක් නැහැ. එසේම රටකට දියුණු වෙන්නත් බැහැ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ වැවීමෙන් ඔබ්බට ගිය පුද්ගලයෙක් ලෙස ජෝසෆ් ෆ්‍රේසර් මහතා හඳුන්වාදිය හැකියි. ඒ මොහොතේ ශ්‍රී ලංකාවේ කෝපි සඳහා පැවති ඉල්ලුම අඩු වී තේ කර්මාන්තය ඉදිරියට පැමිණෙමින් තිබුණා. ඒ තත්ත්වය තුළ ඔහු සාර්ථක වී රටට ද යමක් ඉතිරි කර දුන්නා. දැන්, සුමල් පෙරේරා වැනි අය සමඟ එක්ව අපි සියලු දෙනා මෙම ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කර ගනිමු.
ඇක්සස් සමුහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා, ජෝශප් ෆ්‍රේසර් නයින්වෙල්ස් භාරකාර මණ්ඩලයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු, නයින්වෙල්ස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, ජෝශප් ෆ්‍රේසර් නයින්වෙල්ස් භාරකරු තෝමස් ඩේට්වයිලර්, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක යන අය ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මාධ්‍යවේදී අශෝක ජයතුංග වොෂින්ටන් DC තානාපති කාර්යාලයට
දශක කිහිපයක ජනමාධ්‍ය අත්දැකීම් සහිත අශෝක ජයතුංග, ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රධානියා ලෙස පත්ව සිටී.
එරට තානාපති මහින්ද සමරසිංහ ගේ නිර්දේශය මත ජනාධිපති වික්‍රමසිංහ විසින් අදාළ පත්වීම සිදුකොට තිබේ.
ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, ලංකාදීප පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි ඉහළ තනතුරු දැරූවෙකි.
සදුදා හමුව, රජවීදිය, ඉරිදා ලංකාදීප තිරෙන් පිටුපස ප්‍රධාන දේශපාලන කොළම හා ජනපති අගමැති විපක්ෂ නායක ඇතුළු ප්‍රබලම දේශපාලනඥයන් සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළු විශේෂාංග රැසක් දශක ගණනාවක් පුරා ඔහු විසින් මෙහෙයවිය.
90 දශකයේ මෙරට පැවැති එකම සජීවී දේශපාලන සංවාදය වූ ජාතික රූපවාහිනියේ "ජනමණ්ඩලී" මෙන්ම පසුව ITN හි "වන් ටු වන්" සජීවී දේශපාලන සංවාද රැසක් ද මෙහෙයවීය වුයේ ඔහු විසිනි.
ඇමෙරිකාවට අමතරව මෙක්සිකෝව හා ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ දෙරට ද ඔහුගේ රාජකාරි පත්‍රයට ඇතුලත්වේ. තවද නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධාන ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබාදීම ද ජනපති විසින් ඔහුට පවරා තිබේ.
මෑතකදී ඔහු ලියූ "ජනපති e කොළම" කාගේත් අවධානයට ලක්වූ හා ආන්දෝලනයකට තුඩුදුන් සමාජ මාධ්‍ය ලිපි පෙළකි.

ආණ්ඩුවට එන්න මෛත්‍රී ජනාධිපති ධූරය ඉල්ලයි !
තමන්ට ජනාධිපතිකම ලබාදුනහොත් ආණ්ඩුවට යාමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
එසේ නොමැතිව ආණ්ඩුවේ අගමැති හෝ අමාත්‍යධුර ලබා ගැනීමේ කිසිදු උවමනාවක් තමනට නැති බවද ඔහු පවසයි .
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
දේශපාලන පක්ෂවල බෙදී යාම් සාමාන්‍ය බවත් ඒවා අද ඇති සියලු පක්ෂවලට පොදු බවත් එහිදී ඔහු කියා සිටියේ ය.
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත කතා බහක් මතුව ඇති පසුබිමේ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරීක්ෂාකාරී ලෙස කටයුතු කිරීම ගැන චෝදනා ලබා ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවට එක්වීම වෙනුවෙන් කොළ එළි දල්වමින් සිටින බවයි.
ශ්‍රීලනිප සහය ආණ්ඩුවට ලබාදීමට බාධාවක් ලෙස කුප්‍රකට වූ ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත්කර ආණ්ඩුවට එක්ව සිටි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම නැවත පක්ෂයට ගෙන ඔහු ආරක්ෂා කාරී පියවර අනුගමනය කරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව පවතින දේශපාලන සන්ධර්භය යටතේ ශ්‍රීලනිප සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව වෙත එක්නොවූවත් අනියමින් ඒ සමග එක්ව ඇති තත්ත්වයක් පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

කෝපා ඉදිරියේ ක්‍රීඩා බලධාරීන් නිරුත්තර වෙලා !
රාජ්‍ය ගිණුම් කාරක සභාව( කෝපා) විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඇසූ ප්‍රශ්න කිසිවකටත් පිළිතුරු දීමට නොහැකිව නිහඬව සිට ඇතැයි වාර්තා වේ.
එහිදී කිසිදු සූදානමකින් තොරව පාර්ලිමේන්තු කමිටුව හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් කෝපා කමිටුව එම නිලධාරින්ට දැඩි අප්‍රසාදය පළ කළ බවත් වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ.
එහිදී ඔලිම්පික් තරගාවලියේ තරග සංඛ්‍යාව පිළිබඳ කෝපා කමිටුව මුලින්ම විමසා තිබෙන අතර නිලධාරීන්ට ඒ ප්‍රශ්නයට පවා පිළිතුරු දීමට නොහැකිව ඇත.
එමෙන්ම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලිවල තරග ඉසව් සහ ශ්‍රී ලංකාව එම තරගාවලිවල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරග ඉසව් පිළිබඳව විමසූ අවස්ථාවේදී නිලධාරීන්ට ඒ ප්‍රශ්න සඳහාද පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකිවුණු බව කෝපා කමිටුව පවසයි.

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් !
පාස්කු ඉරුදින දින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් ලබන 21 සහ 22 දින වල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.
කෙසේ වුවත් මේ වන විටත් රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර ලෙස “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත .
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා "ආරක්ෂක තත්ත්ව සමාලෝචනය - 2030" අවශ්‍ය වේ. මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර යන කරුණු ද්විත්වය ආවරණය කෙරේ.
ඒ අනුව
i. ශ්‍රී ලංකාව සඳහා 2030 දී උපායමාර්ගික දැක්ම සහ අභියෝග
ii ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතාව
iii 2030 සඳහා ආරක්ෂක ප්‍රතිපත්තිමය අරමුණු
iv උපායමාර්ගික අභියෝගයට මුහුණ දීම සඳහා බල ඉරියව්ව සහ බල ව්‍යුහය
v පවතින මූල්‍ය තත්ත්වය අනුව කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලීමට නියමිතය.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියේ මූලධර්ම වූයේ ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, ඕනෑම හමුදා කණ්ඩායමක් සමඟ එකතුවීමෙන් වැළකීම, ඉන්දියන් සාගරයේ යුධමය ගැටුම් හෝ තරග වැළැක්වීම, ශ්‍රී ලංකාවට අහිතකර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට එරෙහිව සටන් කිරීම සහ ගෝලීය සාමය සහතික කිරීම යන්නයි.
පසුගිය දශකයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවධානය යොමු වූයේ එල්ටීටීඊයට සහ අනෙකුත් අභ්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම මගින් රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහි ය.
නමුත් අද වන විට, ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපය සඳහා වන උපායමාර්ගික පරිසරය වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක වෙමින් පවතින අතර අන්තර් සම්බන්ධිත භූ දේශපාලනික අභියෝග සමඟින්: එක්සත් ජනපදය සහ චීනය අතර විශාල බල එදිරිවාදිකම් මෙන්ම චතුරස්‍රාකාර ආරක්ෂක සංවාද (Quadrilateral Security Dialogue – Quad) හා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) මතුවීම, රුසියාව සහ බටහිර අතර යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස යන කරුණු ද බලපා තිබේ.
මෙම තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය මගින් අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වා ගැනීමට අමතරව වත්මන් කලාපීය පරිසරය කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.
ඒ අනුව සිදු කෙරෙන මෙම ආරක්ෂක සමාලෝචනය සඳහා මේජර් ජෙනරාල් චන්න ගුණතිලක (විශ්‍රාමික) මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබෙන කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස රියර් අද්මිරාල් ජේ. ජේ. රණසිංහ (විශ්‍රාමික), මේජර් ජෙනරාල් පී.ආර් වනිගසූරිය (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය (විශ්‍රාමික), ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවිය (ශ්‍රී ලංකා විදේශ සේවය), ඩැනියෙල් ඇල්ෆොන්සස් මහතා (උපදේශක, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය) යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විදේශ සේවයේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් සහ අදාළ විශේෂඥ දැනුම ඇති අයගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ලේකම්වරයෙකු සහ කාර්ය මණ්ඩලයක් මෙම කණ්ඩායම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ඇත.

ප්‍රදේශ රැසකට අදත් වැසි......
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර පවතින වර්ෂාවත් සමග ගංගාවල පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර දැනුම් දෙයි.
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
එම දිස්ත්‍රික්ක වන්නේ කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කෑගල්ලයි.
තව ද දිය ඇලි, ගංගා හා වැව් ආශ්‍රිතව මේ දිනවල දිය නෑමේදී ඉතාම සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය දැනුම් දෙයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, අසංක නානායක්කාර පැවසුවේ, පවතින අධික වර්ෂාව හමුවේ දියඇලි, ගංගා හා ජලාශවල ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවයි.

ආණ්ඩුව වෙනස් වුවත් වෙනස් නොවියයුතු දේ ගැන ජනපති කියයි !
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ කෙටුම්පත් මෙම වසර අවසන් වීමට පෙර සකස් කරන ලෙස තමා අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් කලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමඟ කිසිවිටක රටක් දියුණුව කරා ගෙන යා නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.
ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
රට තුළ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඇති කිරීමේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින්, දිගු කලක් පුරා බලා සිටි ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමට අද අපට අවස්ථාව ලැබී තිබෙනවා.
2017 දී යෝජනා කළ මෙම ප්‍රතිපත්තිය 2018 දී පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් එය මේ වන තෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. වසර 07කට පසුව අද මෙම ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්විම රජයේ ව්‍යාපෘති සහ ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස හැඳින්විය හැකියි.
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මුදල් අමාත්‍යාංශයට සහ ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුවට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිවල විනිවිදභාවය ඉහළ නංවමින් මෙම නව ප්‍රතිපත්තිය භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
එසේම රජයේ වැඩිම වියදම් දරන අමාත්‍යාංශ දහයේ වියදම් පිළිබඳව විශ්ලේෂණයක් ද මේ වන විට සිදුවෙමින් පවතිනවා.
මෙම වසර අවසන් වන විට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් සකස් කරන ලෙස මම විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳ දිර්ඝකාලීනව අවධානය යොමු කෙරෙන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයටත් උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙම අමාත්‍යාංශ අනුගමනය කරමින් ඉදිරියේදී අනිකුත් අමාත්‍යාංශවලත් ජාතික ප්‍රතිපත්ති සකස් කළයුතුයි.
අමාත්‍යාංශ මට්ටමින් ජාතික ප්‍රතිපත්ති ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම රටේ සංවර්ධන අරමුණු ජය ගැනීමේ දී ඉතා වැදගත් වෙනවා. ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ගැටලු නිරාකරණය කර ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙනවා.
ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කෙරුණේ මීට වසර හතකට පමණ පෙරයි. එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට කැප වූ සියලුදෙනාගේ විශිෂ්ට දායකත්වය මම අගය කරනවා.
ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම මෙරට පාලන තන්ත්‍රයේ පවතින විශාල හිඬැසක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කමිටුවට විශාල වගකීමක් පැවරෙනවා. එමෙන්ම මෙම ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි.
රජයේ ක්‍රියාමාර්ග ඵලදායී ලෙස ඇගයීම වඩාත් වැදගත් වෙනවා. ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන්ගේ කැපවීම ද අත්‍යාවශ්‍යයි.
රාජ්‍ය ව්‍යුහය තුළ විනය සහ පිළිවෙළ ඇති කිරීම මෙහි තවත් අරමුණක් වෙනවා. ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ස්ථාවර පරිසරයක් පවත්වා ගැනීමටත්, ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවතින බව සහතික කිරීමත් මෙම ප්‍රතිපත්තියෙන් සිදු විය යුතුයි.
ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපත්තිය සමඟ ඉදිරියට යන විට, ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වැඩි එකඟතාවයක් ඇති කර ගැනීම ද අපේක්ෂා කරනවා. අවසානයේ එමඟින් පුළුල් ජාතික ප්‍රතිපත්ති රාමුවකට ඉඩ සැලසෙනවා. මෙම ජාතික ප්‍රතිපත්ති සමඟ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ දී ණය ප්‍රශස්තකරණයට අදාළ සාකච්ඡාවලදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මම සතුටට පත් වෙනවා. එහිදි රාජ්‍ය මූල්‍ය කමිටුවේ සහ විවිධ දේශපාලන පක්ෂවල දැඩි විවාද හමුවේ හා සංකීර්ණතා මධ්‍යයේ වුවද, සැලකිය යුතු එකඟතාවකට පැමිණීමට අපට හැකිව තිබෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, මහ කොමසාරිස්වරු, තානාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මකයි !
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පැවසීය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මෙසේ ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාල වකවානුවේදී මාතෘකා දෙකක් සම්බන්ධයෙන් කතා කළා. ඉන් එකක් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ. අනෙක් කරුණ වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයයි. අධ්‍යාපනයකින් තොරව ආර්ථිකයක් සංවර්ධනය කළ නොහැකි බව එතුමා දන්නවා. ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යා හැක්කේ බුද්ධිමත් මානව සම්පතක් සමඟ පමණයි.
වසර හතරකට පසුව අද මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් තිබෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා අරගලය වැනි හේතුන් නිසා උසස් අධ්‍යාපනය යම්කිසි පසුබෑමකට ලක්වී තිබුණා. නමුත් මෙම වසරේ දී සිසුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා තිබෙනවා.
නමුත් මේ සියලු දෙනාම විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට තරම් ප්‍රමාණවත් භෞතික සම්පත් අපට නැහැ. ලෝක ප්‍රමිතියට අනුව විද්‍යාලයක සිසුන් පහළොවකට එක් ආචාර්යවරයෙක් සිටිය යුතුයි. නමුත් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිසුන් තිහකට ඉන්නේ එක් ආචාර්යවරයෙක් පමණයි. උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඇති කිරීමට භෞතික සම්පත් සේම මානව සම්පත සංවර්ධනය ද අත්‍යවශ්‍ය වන අතර අප මේ වන විට ඒ සඳහා කටයුතු කරමින් සිටින බව කිව යුතුයි.
අනෙක් කරුණ නම් උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් බහුතරය කලා විෂය ධාරාව මගින් විභාගයට පෙනී සිටිනවා. එයට හේතුව මෙරට තිබෙන උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබාදෙන පාසල් 3,000කින් 2,100කම තිබෙන්නේ කලා විෂය ධාරාව පමණයි. ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී
කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
නිදහස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදෙන අවස්ථාවේ රට තුළ සිටියේ සීමිත ජනගහණයක්. දරු පරපුර සිටියේ ලක්ෂ හතරක් පමණයි. නමුත් ශ්‍රී ලංකාවේ ජනගහණය අද වන විට මිලියන 22 දක්වා වැඩි වී තිබෙන අතර දරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ 43ක් දක්වා වැඩි වී තිබෙනවා.
මෙම වර්ධනයට අදාළව භෞතික සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී වගබලා ගත යුතුයි.
විශ්වවිද්‍යාල සිසුන්ටඅවශ්‍ය විද්‍යාගාර, නේවාසිකාගාර ඉදිකිරීම, භෞතික සම්පත් හා මානව සම්පත් සැපයීමට රුපියල් ට්‍රිලියන දෙකක පමණ මුදලක් වැයවන බවට ගණන් බලා තිබෙනවා. ලංකාවේ වැඩිම අරමුදල තිබෙන්නේ අර්ථසාධක අරමුදල සතුවයි. එය රුපියල් ට්‍රිලියන 4ක් වෙනවා . අධ්‍යාපනය සඳහා එයින් 50% ක් අවශ්‍ය වන බව ගණන් බලා තිබෙනවා. එම නිසා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වලදී දැනට තිබෙන විශ්වවිද්‍යාලවලට මණ්ඩප එක් කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල 17 තුළම මණ්ඩප දෙක බැගින් ආරම්භ කළහොත් විද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ දී තිබෙන තදබදය අවම කර ගැනීමට හැකියාව තිබෙනවා.
ඒ සමඟම පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අවස්ථාව ලබාදීමත් සිදු කළ යුතු වෙනවා. දැනට ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල 24ක් ක්‍රියාත්මක වෙනවා. තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 20ක් ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ලැබී තිබෙනවා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ගෝලීය පුරවැසියන් නිර්මාණය කිරීමට හැකි පරිසරයක් සකස් කළ යුතුයි. සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට ශිෂ්‍යත්ව ලබා දිය යුතුයි. නැතිනම් ණය මුදලක් ලබා දිය යුතුයි. ඒ අනුව සිසුවා තෝරා ගන්නා විෂය ධාරාවන්ට අදාළ ගෙවීම් සිදුකර විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ පසු එය නැවත අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකියි. එමගින් රැකියා ඉලක්ක කරගත් පාඨමාලා හැදෑරීමට සිසුන් උනන්දු වෙනවා.
ලෝකයේ බොහෝ දියුණු රටවලට එම දියුණුව උදාකර ගැනීමට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ පර්යේෂණ ඉවහල් වි තිබෙනවා. නමුත් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සමාජය සමඟ තිබෙන දුරස්ථභාවය නිසාම සමාජයේ ඇති ප්‍රශ්නවලට පර්යේෂණ මගින් විසඳුම් සොයා නැහැ. එම නිසා විශ්වවිද්‍යාල සහ සමාජය ඒකාබද්ධ කළ යුතුයි. කෘෂි විද්‍යාලවල බුද්ධිමය නිදහස වැඩි කළ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තරකරණය රාජ්‍ය විශ්ව විද්‍යාල තුළට ගෙන ඒම සිදු කළ යුතුයි.

වැටුණු රට ගොඩදාපු රනිල්ගේ නිර්භීත තීන්දු ගැන සාගල කියයි !
ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලීන සහ නිර්භීත තීන්දු තීරණ මනා පිටිවහලක් වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ (07) එක් වෙමිනි.
රට මුහුණදී සිටින ආර්ථික අභියෝග පිළිබඳව මෙහිදී පැහැදිළි කළ සාගල රත්නායක මෙම ආර්ථික ගැටලු විසඳා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා ලද තීරණාත්මක ක්‍රියාමාර්ගවල වැදගත්කම පෙන්වා දුන්නේය.
එසේම ඊට අදාළව දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කළ ඒ මහතා ආර්ථික වර්ධනය උදා කර ගනිමින් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීම සඳහා සියලුදෙනා එක්ව කැපවීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
“ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ ආංශික පරිවර්තනය තුළින් ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම” යන තේමාව යටතේ විවිධ විෂය ක්ෂේත්‍රවල වෘත්තිකයන්ට සහ පර්යේෂකයන්ට ඔවුන්ගේ පර්යේෂණ තුළින් කරන ලද සොයාගැනීම් ඔස්සේ ලබාගත් දැනුම බෙදා හදා ගැනීමට අවස්ථාව සලසමින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මෙහි ප්‍රධාන දේශනයක් සිදු කළ අතර කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙලන්ඩ් හාට්වෙල් සිය දේශනය අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලදී.
මෙම සමාරම්භක අවස්ථාව අමතා වැඩිදුරටත් අදහස් දැක්වු සාගල රත්නායක මෙසේ ද කීය.
මීට සති කිහිපයකට පෙර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සමඟ එක්ව ඔබට යම් මඟ පෙන්වීමක් ලබාදීමේ අවස්ථාව මට උදා වුණා. මම ඒ සඳහා එක්වූයේ ඉතා කැමැත්තෙන් බව කිවයුතුයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලබා ඇති සාර්ථකත්වය අද රටට මෙන්ම ලෝකයටම පෙන්වා දී තිබෙනවා.
මෙම විශ්වවිද්‍යාලය අපට දායද කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමයි. අද මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ දක්ෂතා පෙන්වන විශිෂ්ට පුද්ගලයන් නිර්මාණය කරමින් සිටිනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය නිසා මෙය හමුදාවන්ට පමණක් නොව සිවිල් සිසුන්ගේ ද අනාගතය තීරණය කරන ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම විශ්වවිද්‍යාලය විශිෂ්ට තැනක් ගන්නා බව කවුරුත් පිළිගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට අප පසුගිය කාල සීමාවේ දී මුහුණ දුන්නා. කලින් කලට, අප ආර්ථික අර්බුදවලට මුහුණ දී ඇති අතර සාමාන්‍යයෙන් බොහෝ රටවල් එසේ මුහුණ දී තිබෙනවා.
නමුත් වඩාත්ම වැදගත් වන්නේ අප දැන් සිටින තැනින් මිදෙන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. ජනාධිපතිතුමා විසින් මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු කණ්ඩායම සමඟ එක්ව ගත් කාලෝචිත, තීරණාත්මක සහ නිර්භීත තීරණ නිසා අපට මේ වන විට ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පැමිණීමට හැකි වී තිබෙනවා
නමුත් අප තවමත් සම්පූර්ණයෙන් පැවති තත්ත්වයෙන් මිදී නැහැ. රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් එය ඉදිරියට ගෙන යාමට සහ ජනතාවට සමෘද්ධිය උදා කර දීම වෙනුවෙන් අප තවත් බොහෝ පියවර ගත යුතුව තිබෙනවා.
අද මෙම සමුළුවේ තේමාව වන “ඩිජිටල්කරණය, තිරසාරත්වය සහ ආංශික පරිවර්තනය හරහා ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම” යන්න ඉතාම කාලෝචිත තේමාවක් බව කිවයුතුයි. ඩිජිටල් පරිවර්තනය යනු රාජ්‍ය අංශය තුළ මෙන්ම සියලුම ක්ෂේත්‍රයන් ඩිජිටල් තාක්‍ෂණය සමඟ ඒකාබද්ධ කිරීමයි. ඒ සඳහා රට තුළ සංස්කෘතිමය වෙනසක් ද අවශ්‍ය වෙනවා. රටක් ලෙස අප ඉදිරියට යාමේ දී ජනතාවට නව ආර්ථික අවස්ථා උදාකරන සහ කාර්යක්ෂම සේවාවන් සපයන ඩිජිටල් ජාලය, තීරණාත්මක සාධකයන් බව කිවයුතුයි.
මෙහිදී වැදගත් කරුණ වන්නේ තිරසාර භාවයයි. තිරසාර සංවර්ධනය නිර්වචනය කිරීමේදී එයින් අදහස් වන්නේ අනාගත පරපුරට තම අවශ්‍යතා සපුරාගැනීමට ඇති හැකියාවට හානියක් සිදු නොවන පරිදි වර්තමාන අවශ්‍යතා සපුරාලන සංවර්ධනයයි. එය සරල සංකල්පයක්.
ඩිජිටල්කරණය සාර්ථක කර ගැනීමට නම්, රටේ ආර්ථික වර්ධනය, රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම, ආයෝජන සඳහා හිතකර වාතාවරණයක් ඇති කිරීම සහ නිවැරදි රෙගුලාසි පැනවීම තුළ විධිමත් ආරක්‍ෂක තත්ත්ව පවත්වා ගැනීම ඇතුළු විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. පර්යේෂණ සහ අධ්‍යාපනය සමඟ ඒකාබද්ධ වී ලබාගන්නා මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බව කිවයුතුයි.
මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා පුළුල් කෙරෙන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනාධිපතිතුමා සතුව දැක්මක් තිබෙනවා. එම වැඩපිළිවෙළ ඔස්සේ මෙම විශ්වවිද්‍යාලය තවදුරටත් දියුණු කිරීමට අප සියලුදෙනා එක්ව කටයුතු කරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030 යෝජනාවලිය ඇමති මණ්ඩලයට !
රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා "ආරක්ෂක තත්ත්ව සමාලෝචනය - 2030" අවශ්‍ය වේ. මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර යන කරුණු ද්විත්වය ආවරණය කෙරේ.
ඒ අනුව
i. ශ්‍රී ලංකාව සඳහා 2030 දී උපායමාර්ගික දැක්ම සහ අභියෝග
ii ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතාව
iii 2030 සඳහා ආරක්ෂක ප්‍රතිපත්තිමය අරමුණු
iv උපායමාර්ගික අභියෝගයට මුහුණ දීම සඳහා බල ඉරියව්ව සහ බල ව්‍යුහය
v පවතින මූල්‍ය තත්ත්වය අනුව කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබාදීම
යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලීමට නියමිතය.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියේ මූලධර්ම වූයේ ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, ඕනෑම හමුදා කණ්ඩායමක් සමඟ එකතුවීමෙන් වැළකීම, ඉන්දියන් සාගරයේ යුධමය ගැටුම් හෝ තරග වැළැක්වීම, ශ්‍රී ලංකාවට අහිතකර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට එරෙහිව සටන් කිරීම සහ ගෝලීය සාමය සහතික කිරීම යන්නයි.
පසුගිය දශකයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවධානය යොමු වූයේ එල්ටීටීඊයට සහ අනෙකුත් අභ්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම මගින් රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහි ය.
නමුත් අද වන විට, ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපය සඳහා වන උපායමාර්ගික පරිසරය වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක වෙමින් පවතින අතර අන්තර් සම්බන්ධිත භූ දේශපාලනික අභියෝග සමඟින්: එක්සත් ජනපදය සහ චීනය අතර විශාල බල එදිරිවාදිකම් මෙන්ම චතුරස්‍රාකාර ආරක්ෂක සංවාද (Quadrilateral Security Dialogue – Quad) හා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) මතුවීම, රුසියාව සහ බටහිර අතර යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස යන කරුණු ද බලපා තිබේ.
මෙම තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය මගින් අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වා ගැනීමට අමතරව වත්මන් කලාපීය පරිසරය කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.
ඒ අනුව සිදු කෙරෙන මෙම ආරක්ෂක සමාලෝචනය සඳහා මේජර් ජෙනරාල් චන්න ගුණතිලක (විශ්‍රාමික) මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබෙන කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස රියර් අද්මිරාල් ජේ. ජේ. රණසිංහ (විශ්‍රාමික), මේජර් ජෙනරාල් පී.ආර් වනිගසූරිය (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය (විශ්‍රාමික), ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවිය (ශ්‍රී ලංකා විදේශ සේවය), ඩැනියෙල් ඇල්ෆොන්සස් මහතා (උපදේශක, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය) යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විදේශ සේවයේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් සහ අදාළ විශේෂඥ දැනුම ඇති අයගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ලේකම්වරයෙකු සහ කාර්ය මණ්ඩලයක් මෙම කණ්ඩායම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ඇත.

දයාසිරිගේ ඉල්ලීම විසිවෙයි : සරත්ටත් වාරණයක් වැටෙයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඒ මහතා කළ ඉල්ලීමට අවසර දීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (08) ප්‍රතික්‍ෂෙප කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිය පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය ප්‍රකාරව පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පක්ෂයේ සභාපතිවරයාට පුළුල් බලතල පැවරී ඇතැයි සඳහන් කරමින් එලෙස නියම කළේය.
කෙසේ වුවත් දයාසිරි ජයසේකර දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට පත්කළ සරත් ඒකනායක ට එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි දයාසිරි ජයසේකර කළ ඉල්ලීමට අවසර දීමට විනිසුරුවරයා තීන්දු කළේය .
ඒ අනුව සරත් ඒකනායකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම ලබන 22 වැනිදා දක්වා වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

රාජකාරියම ඛේදවාචකයක් වීම ගැන මනූෂ ප්‍රශ්න කරයි !
සේවකයන් 6 දෙනකු ඇමෝනියා වළකට වැටී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආයතනයේ හාම්පුතුන්ට නඩු පැවරූ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිරේ යවා ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සිද්ධියට චෝදනා ලැබූ හාම්පුතුන් කිසිදු ගැටළුවක් නැතුව නිදැල්ලේ සිටින බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.
මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.
ඇමෝනියා වළකට වැටී සේවකයන් හය දෙනකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩු පැවරීම කළ කම්කරු සහකාර කොමසාරිස්වරයා අත්අඩංගුවට පත්වී සති දෙකක් හිර හිටියා.
නමුත් හය දෙනකු මරපු කර්මාන්ත ශාලාවේ කිසිවෙකුටත් ප්‍රශ්නයක් නැහැ.
හොරණ අධිකරණයේ මෙම නඩුව මුලින්ම පවරපු අවස්ථාවේදී විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් ප්‍රතික්ෂේප කිරීම නිසා නඩුකාරවරයා මාරු කර අලූත් නඩුකාර වරයෙකු පැමිණ නඩුව පැත්තකට දැමූවා. ඊට පසු මෙම නඩුව දැම්මෙ ඇයිද කියා විමසමින් නඩු පවරපු අයට නීතිය ක්‍රියාත්මක කරනවා.
සේවකයන්ට අගතියක් කළ හාම්පුතුන්ට නඩු පවරපු කම්කරු දෙපාර්තමේන්තුවේ අයට හිරේ යන්න සිද්ධ වෙලා තියෙනවා. කම්කරුවන් මැරිච්ච එකට වගකිවයුතු හාම්පුතුන්ට නීතිය හමුවේ ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව අනුමත කරපු පනත යටතේ නඩු පැවරීමත් අද ගැටලුවක් වෙලා.

කෙහෙලියට එරෙහි විශේෂාංග යෝජනාව පරාදයි !
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය.
එහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණ ඡන්ද සංඛ්‍යාව 73ක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර අලිසබ්‍රි රහීම්, ඒ.එච් එම් ෆවුසි යන මන්ත්‍රීවරුද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු ඇතුළත් වූහ.
ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 38ක් සභාවේ නොසිටියහ.
විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක්( 6,7 සහ 8) පැවැත්විණ.
කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් විසිනි.

චැනල් 4 වීඩියෝවට ගෝඨාභයගේ ප්‍රතිචාරය මෙන්න !
චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.
අරගලය හමුවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකී ඉල්ලා අස්වීමෙන් පසුව නිකුත්කළ පළමු නිවේදනය ලෙස මෙය සැලකේ.
චැනල් 4 නාලිකාව විකාශය කළ අදාළ වීඩියෝව තුළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු කාරණා කිහිපයක් සමග ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති සම්බන්ධ කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
ගෝඨාභය නිකුත්කළ නිවේදනය මෙන්න :
පොලිසියට වාර්තා වී තිබූ නමුත් විමර්ශනය කර නැත.
සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් 2018 අගෝස්තු 27 අලුයම කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමේ දී බරපතළ තුවාල ලැබීය. කලින් සඳහන් කළ වව්නතිව් සහ වනාතවිල්ලුව සිද්ධීන් හැරුණු විට 2018 දෙසැම්බර් මස අගදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ද ප්‍රහාර එල්ල වූ සිද්ධීන් ද විය. ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි, මෙම ඕනෑම සිදුවීමක් නිසි ලෙස විමර්ශනය කලේ නම් ත්‍රස්තවාදීන් කලින් අත්අඩංගුවට ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට හැකි වීමට ඉඩ තිබුණි. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදා බුද්ධි අංශ නොවේ.
මේ මුළු කාලය තුළම මම බලයේ නොසිටියා පමණක් නොව බොහෝ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්ම, මම ද එවක ආණ්ඩුවේ දඩයමට හසු වී, 2015 සිට 2019 නොවැම්බර මස ජනාධිපති වන තෙක්ම එක් පොලිස් ඒකකයකින් තවත් පොලිස් ඒකකයකටත් එක් උසාවියකින් තවත් උසාවියකටත් යමින් සිටියෙමි.
මේ අලුත් චිත්‍රපටියෙන් මට එල්ල වූ එක් චෝදනාවක් වූයේ, මම ජනාධිපති වූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන නිලධාරීන් මාරු කර පරීක්‍ෂණ කඩාකප්පල් කළ බවය. මේ සඳහන අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට බව මම උපකල්පනය කරමි.
මහාධිකරණයේ විභාග වෙමින් පැවති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනඥයෙකු සමඟ ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට දුරකථන හඬපටවලින් හෙළි වී තිබූ අතර, ඔහු වැන්නකු මොනම තත්ත්වයක් යටතේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් සහිත තනතුරක තබා ගැනීමට මොනම ආණ්ඩුවකටවත් නොහැක. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙක් මා බලයට පත්වීමෙන් පසු මාරු කර යවනු ලැබුනේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයත් මම බලයට පත් වීමත් අතර මාස හතකට ආසන්න පරතරයක් තිබුණ නිසා ඒ කාලය තුළත් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබුණි. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් 2016ත්, 2019ත් අතර කාලයේ වූ නොසැලකිල්ලට ද ශානි අබේසේකරත් වගකිව යුතු විය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව මට භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම මා ප්‍රතික්ෂේප කළ බව චැනල් 4 නාලිකාව කියයි. එය අමූලික බොරුවකි. එම වාර්තාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති. පසුගිය වසරේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඇතමුන් මා සම්බන්ධ කිරීමට පටන් ගත් විට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා එෆ්බීඅයි / සීඅයිඒ සහාය ලබා ගැනීමේ හැකියාව ගැන සොයා බලන ලෙස මම වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහට උපදෙස් දුන්නෙමි. 2022 අප්‍රේල් 07 වැනි දින, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් තානාපති සමරසිංහට පිළිතුරු ලිපියකින් මෙසේ දන්වා තිබුණි.
“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි... ප්‍රහාරයෙන් ඉක්බිතිව, සහ අද දක්වාම, එක්සත් ජනපද රජය වගකිවයුත්තන් විමර්ශනය කිරීමට සහ ඔවුන්ට නඩු පැවරීම සඳහා සහාය ලබා දී ඇත. 2021 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද පුරවැසියන්ගේ මරණ සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ පැමිණිල්ලක් ද ගොනු කළේය. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය ඔබේ රජයට දිගටම සහයෝගය ලබා දීමට සූදානම්ව සිටියත්, ප්‍රහාරයන් සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම තේරුමක් නැත... මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ප්‍රහාරයෙන් පසු සතිය තුළ, නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීම සඳහා යෙදවූ බව මම අවධාරණය කිරීමට කැමැත්තෙමි. මේ සහයෝගීතාවයට සාක්ෂි එකතු කිරීම, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ඩිජිටල් උපාංග පරීක්‍ෂා කිරීම යනාදිය ඇතුළත් විය...”
ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් අමතර ඉල්ලීමක් කළහොත් ඒ වන විටත් (එනම් 2022 අප්‍රේල් මාසයේ දී) කොළඹ රැඳී සිටී ඇමෙරිකා එක්සත් ජනපද පරිචෝදකයන් දෙදෙනාගේ සහය ලබා දීමට හැකි බව ද ලෑන්ඩ්බර්ග් තවදුරටත් එම ලිපියේ සඳහන් කර තිබුණි. මීට පෙර 2021 ජනවාරි 08 වන දින, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, එහි මෙසේ සඳහන් විය.
“...අයිඑස්අයිඑස් නැමති විදේශීය ත්‍රස්තවාදී සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත... ඔවුන් ‘ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්’ ලෙස හැඳින්වූ අයිඑස්අයිඑස් ආධාරකරුවන් පිරිසක සාමාජිකයන් විය. එම කණ්ඩායම 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අතර, එම ප්‍රහාරය නිසා එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 දෙනෙකු මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු විය... ප්‍රහාරයෙන් දින දෙකකට පසු, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ එම ඝාතන ‘ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්’ වෙත ආරෝපණය කරමිනි... 2020 දෙසැම්බර් 11 වැනි දා ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් උසාවියේ දී පවරනු ලැබූ අපරාධ නඩුව, ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර ජාතිකයින් නිතර ගැවසෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වූ එෆ්බීඅයි ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තුල කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයකි.”
චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය.
යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කලෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු වලට ද මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා ද විය. බෝලවලාන ප්‍රදේශයේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේ දී ද මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළෙමි. එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.
ගෝඨාභය රාජපක්ෂ
හත්වන විධායක ජනාධිපති

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් !
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යාන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද රජය සූදානම් යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ විජයදාස රාපක්ෂ පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන කාලසීමාවේදී ඩයස් පෝරාව ශ්‍රී ලංකාවට විරුද්ධව විවිධ වාර්තා සහ වීඩියෝ ඉදිරිපත් කරන බව ද කී අමාත්‍යවරයා චැනල් 4 නාලිකාව ඩයස් පෝරාව හිතවත් නාලිකාවක් බැවිනි ඔවුන් විකාශනය කරන පරිදි යම් සිදුවීමක් වී ඇත්නම් ඒ පිළිඳ පූර්ණ පරීක්ෂණයක් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
Page 158 of 463