V2025

පුවත්

ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද දින (30) දහවල් 12:11ට තලෙයිමන්නාරම (මන්නාරම) සහ ඉරමියන්කුලම්(වවුනියා දිස්ත්‍රික්කය), කරප්පුකුට්ටි(ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය), පලම්පාසි (මුලතිවු දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

තවත් බිත්තර මිලියන 92 ක් ආනයනයට අනුමැතිය

ඉදිරි මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රාජයේ වාණීජ විවිධ නීතිගත සංස්ථාව මගින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ය.

අස්වැසුම ප්‍රතිලාභ ගෙවන්න රාජ්‍ය බැංකු හෙටත් විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුවඋදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.

පළමු අදියරේදී පවුල් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඊයේ දින බැංකු වෙත නිකුත් කෙරිණ.

උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පතක්.......

උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 40 සම්පූර්ණ වූ පුද්ගලයින් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් පත්‍රිකාවක් යවා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ති සඳහන් කළේය.

ඒ අනුව යම් ග්‍රාම නිලධාරි කොට්ඨාශයක ස්ථිර පදිංචි සහිත, ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි, වයස අවුරුදු 40 ඉක්ම වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයැදුම් කළ හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත්  පැවසිය.

ගෑස් සම්බන්ධයෙන් ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය

ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතයි .

ඒ අනුව 2024-2025 කාලසීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු කැඳවා ඇත.

මාර්ගගතව සිදුවන වංචා ගැන මහබැංකුවෙන් දැනුම්දීමක්

මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී ති‌‌‌බෙයි.

තමන් වෙහෙස වී උපයා ගත් ධනය මෙම වංචනික ක්‍රියා නිසා අහිමි වී යා හැකි බැවින් විමසිලිමත්ව ක්‍රියා කරන ලෙස මහබැංකුව ජනතාවගෙන් ඉල්ලයි.

යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි.

Abstract background with a ripped paper design

දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ බැඳුම්කර යළි නිකුත් කිරීම කල් යයි - මුදල් රාජ්‍ය අමාත්‍ය

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ අදට නියමිතව තිබූ බැඳුම්කර යළි නිකුත් කිරීම ලබන 11 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  සඳහන් කළේ, දේශීය ආදායම් පණත සංශෝධනයට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් එලෙස එය කල් දැමූ බවයි.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ රජය නිකුත් කර ඇති බැඳුම්කර සියල්ල 9%ක පොලී අනුපාතිකයක් යටතේ යළි නිකුත් කිරීමට යෝජනා වී තිබුණි.

එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ, අද (28) දිනයේයි.

කෙසේ වෙතත්, සේවක අර්ථසාධක අරමුදල් මේ තුළින් දැඩි අර්බුදයකට ලක්වන බවට පාර්ශව ගණනාවක් ඊට විරෝධය පළ කරමින් ද සිටි.

විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කෙරේ

විරෝධතාකරුවන් පිරිසකට අද (28) කොළඹ ප්‍රදේශ කිහිපයක් තහනම් කර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙයි.

දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමඟ විරෝධයට සහභාගි වෙන පුද්ගලයින්ට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද උදෑසන 9 සිට සවස 6 දක්වා ඇතුළුවීම වළක්වාලමින් එම නියෝගය නිකුත් කර ඇත.

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වෙයි.

ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් භාවිතය තාවකාලිකව අත්හිටුවයි - සෞඛ්‍ය ඇමති

කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  පවසයි.

ඒ, අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබාදෙන අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිදුවීම පදනම් කරගනිමින් ය.

කැපුම් තුවාලකට ප්‍රතිකාර ලබාගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ඖෂධ කාණ්ඩයේ එන්නත් 21,000 ක් පැවති බවයි.

ඉන් 18000 ක් මේ වන විට භාවිතයට ගෙන තිබේ.

අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් එක් එන්නතක් සම්බන්ධයෙන් පමණක් මෙම තත්ත්වය වාර්තා වන බවයි.

ඒ සම්බන්ධයෙන් ඖෂධ ගැටලු සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව හරහා ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට මෙම දීමන පළමු අදියරේ දී ම ලබා ගැනීමට හැකිය.

මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඟ ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදයන් සිදු විය.

කෙසේ වෙතත් මේ වනවිට සුබ සාධක මණ්ඩයට නව සභාපතිවරයෙකු පත් වීමත් සමඟ එම ගැටලු නිරාකරණය කර තිබේ.

මහගෙදර දොර ඇරලා!- රවී ගෙන් සජබ සගයින්ට ඇරැයුමක් !

රට ගොඩනැගීම සඳහා යළිත් එක්සත් ජාතික පක්ෂ මහ ගෙදරට එන්නැයි එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක සමගි ජන බලවේගයේ සියලු දෙනාගෙන් විවෘත ආයාචනයක් කර සිටියි.

පරණ කෝන්තර අමතක කර අපේ මහ ගෙදරට ඇවිත් අලුත් රටක් හදන අපේ අලුත් ගමනට සහයෝගය ලබා දෙන්නැයි ඔහු සජබ නායකයින්ගෙන් හා පාක්ෂිකයින් ගෙන් ඉල්ලා සිටියේ, 'සිරස' නාලිකාවේ විකාශනය වූ "ඉලක්කය" වැඩසටහනට සහභාගී වෙමිනි.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම පසුපස බරපතල කුමන්ත්‍රණයක් තිබු බවත්, හිටපු ජනපතිවරයෙක් ඒ කුමන්ත්‍රණය පිටුපස සිටි බවත් ඔහු එහිදී සඳහන් කළේය.

රනිල්ට උදව් කළ යුතුයි!

ජනපති වික්‍රමසිංහ විසින් රට ගොඩනැගීමට දරන උත්සාහයට සියලු පක්ෂ එක්විය යුතු කාලය එළඹ ඇතැයි ද එජාප කොළඹ දිස්ත්‍රීක් නායකයා එහිදී කියා සිටියේය.

අපේ රට ඉතා දරුණු ජාතික මට්ටමේ අර්බුදයකට මුහුණ දෙන බවත්, එය ආර්ථික දේශපාලන හා සමාජ ගැටලු වලින් යුක්ත බවත් මෙම ජාතික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සියලු දෙනා එකට එකතු වී පොදු ජාතික ප්‍රතිපත්තියක් සහිත අලුත් වැඩපිළිවෙළට යා යුතු බව ද හිටපු මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

රට මුහුණ දී සිටින ගැටළු කිහිපයක් සහ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව මෙම වැඩ සටහනේ දී ඔහු මෙලෙස අදහස් පළ කර සිටියේය.

'' ඉතා දරුණු ලෙස පරිහානියට පත්ව තිබූ ආර්ථිකය සහ දේශපාලන පරිසරය වෙනස් කොට මිනිස්සුන්ට හුස්මගෙන සැනසිල්ලේ ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ජනාධිපති වික්‍රමසිංහ බලවත් උත්සහයක් දරමින් සිටිනවා. රට පත්ව තිබූ තත්ත්වයට වඩා හොඳ මට්ටමක තිබුණත් මම විශ්වාස කරන්නේ නැහැ ජනතාවට සියලු දේවල් වලින් පරිපූර්ණ වෙලා තියෙනවා කියලා ... ජනතාව ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. 2048 වර්ෂය දක්වා අලුත් දියුණු රටක් හදන්න යන වැඩපිළිවෙලේ දී ඉදිරි වර්ෂ කිහිපය තුල ජනතාවගේ ආර්ථිකය ගොඩනගා ගන්නා වූ අලුත් ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුව තිබෙනවා.

දේශපාලනික වශයෙන් භේදභින්න කම් අතහැර අලුත් රටක් දියුණු රටක් ගොඩනගන්න පක්ෂ පාට භේදයකින් තොරව එකමුතු විය යුතුව තිබෙනවා. ඒ නිසයි මම මුලින් කිව්ව වගේ සජබයටත් ආයෙ මහ ගෙදරට එන්න කියල ආරාධනා කළේ. හරීන්, මනුෂ,වගේම හැරිසන් ගත්ත මග ගන්න කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා එනිසා මහ ගෙදරට නැවත එන්න කියලා.

එජාපය දෙකඩ කිරීම පිටුපස කුමන්ත්‍රණයක්! පරණ කෝන්තර අමතක කරමු!

බොහෝ දෙනාට ගැටලුව තිබ්බේ රනිල්ට ජනපති වෙන්න බෑ කියල කියලා එහෙම බොරු මතයක් හදලා කුමන්ත්‍රණය කරලා තිබ්බා ඒත් අද එතුමා ජනාධිපති වෙලා.. ඒ හින්දා අපි ඔක්කොටම අපිට 2020 ඡන්දය නොදුන් විසිනම ලක්ෂයක් වූ පාක්ෂිකයන්ටත් නැවත එකතු වෙන්න අවස්ථාව ඇවිල්ල තියෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් මගින්. ඒකට හිටපු ජනපතිවරයෙකු වගකිව යුතුයි. නමුත් අද ඔක්කොටම තේරිලා තියනවා මොකද වෙලා තියෙන්නෙ කියලා. එනිසා අපි පරණ කෝන්තර අමතක කරලා රට වෙනුවෙන් වැඩ කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම වෙලේම රටේ ආර්ථිකය සහ අර්බුදවලින් බේරාගත් රට ගොඩ දාපු පක්ෂයක්. ඒ වගේම හැම ආගමකටම, සෑම ජන වර්ගයකටම, එකවගේ සලකපු පක්ෂයක්. නාගරික වගේම, ග්‍රාමීය ප්‍රජාවටත්, ජාති, ආගම්, කුල භේදයකින් තොරව මෙරට එක්සත් කළේත් එක්සත් කරන්නත් පුළුවන් යූඑන්පී එකට විතරයි.

මොකද මම එහෙම කියන්නේ අද මේ රට දියුණු කරන්න අත්‍යවශ්‍ය සාධකයක් තමයි සංහිඳියාව සහ සාමය. මේ රට ගොඩනගන්න හැමෝම එකතු කරන්න අලුත් බලවේගයක් අද ගොඩනගන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අලුත් බලවේගය හදන්න අලුතින් හිතලා අලුත් විදිහට වැඩ කරන්න ඕනේ ඒකට නායකත්වය දෙන්න සුදුසුම නායකයා තමයි වර්තමාන ජනාධිපති වරයා. විනාශකාරී,ජාතිවාදී දේශපාලනය වගේම අන්තවාදී වාමාංශික ව්‍යාපාරයත් මේ රට බිඳ වට්ටපු හැම මොහොතකම රට බේරා ගෙන ගොඩ ගත්තේ යූඑන්පී එක.

රාජ්‍ය සේවයේ කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යයි

අද දාහත් ලක්ෂයක් ව සිටින රාජ්‍ය සේවය ගත්තහම මහජනතාවට ලොකු බරක් වෙලා තිබෙනවා. මොකද මහජන බදු මුදලින් තමයි ඔවුන්ට වැටුප් ගෙවන්න වෙලා තිබෙන්නේ. සමස්තයක් විදියට ගත්තම හොඳ රාජ්‍ය සේවකයින් සිටිනවා. නමුත් සියයට දෙකක් පමණ වූ දූෂිත නිලධාරීන් නිසා සමස්ත රාජ්‍ය සේවයම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යමයි. මම එහෙම කියන්නේ මහජනතාවට සේවය ලබාදීම ඉලක්ක කරගත් දියුණු රාජ්‍ය සේවයක් හදන්න එක තුලින් මහජනතාවට මිත්‍රශීලී වඩා හොඳ රාජ්‍ය සේවාවක් ලබා දෙන්න මේ තුළින් හැකි වෙනවා.

ලෝකයට ගැළපෙන ලෙස ලංකාව ගොඩ නැඟුවේ සහ වෙනස් කළේ හැම මොහොතකම එක්සත් ජාතික පක්ෂය. ඉන් ප්‍රධාන වෙන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීම. ඒකෙ අඩුපාඩු ඇති හැබැයි ඒක තමයි විසඳුම සිංගප්පූරුව මැලේසියාව විතරක් නෙමෙයි චීනය පවා අද එකට ගිහිල්ලා.

රටක් දියුණුවීමට නම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යමයි. මහජනතාවට බරක් ඇති වෙලා තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන වලට ලබා දිය යුතු හොඳම විසඳුම ඒකයි. එහෙම නොවුණොත් වෙන්නේ අහිංසක ජනතාව හැමදාම මේවා නඩත්තු කරන්න බදු මුදල් ගෙවන්න සිද්ධ වෙන එකයි.

IMF එක කියන විදිහට අපි ප්‍රතිව්‍යුගත කිරීම අත්‍යවශ්‍ය නැහැ. සුද්දට ඕනි විදිහට නෙමේ අපේ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුත්තේ ලංකාවට ඔබින ආකාරයටයි. එනිසා මම හිතන විදිහට මීට වඩා අපි විධිමත් සැලසුම් වලට යා යුතුයි.

මොකද මම 2016 මුදල් අමාත්‍යවරයා විදිහට දින සියයේ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ එනිසා ප්‍රායෝගිකව මම දන්නවා කරන්න ඔනි විදිහ. අපි රාජ්‍ය සේවකයින්ට රුපියල් දහදාහක වැටුප් වැඩි කළේ ආදායම උපයාගෙනයි. අනෙකුත් සහන ලබා දුන්නෙත් අන්න ඒ විදියටයි. ඒ නිසා ඉදිරි වර්ෂය තුළ අපි එවැනි වැඩපිලිවෙලකට යා යුතුයි.

වර්තමාන ජනාධිපතිවරයාට ඒක කරන්න පුළුවන් ශක්තිය කියනවා එනිසා අපි සියලු දෙනා ඒකට සහයෝගය ලබා දීමයි කළ යුත්තේ.

theleader.lk

ජල විදුලිය නිපදවිය හැක්කේ තවත් සති 04කට පමණයි

පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සති 04ක කාලයකට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහළ වැටී ඇති බවද වාර්තා වෙයි.

තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වනවිට විදුලි බලය ලබාදීමට හැකියාව පවතින බවද එම මණ්ඩලය සඳහන් කළේය.

‘ආරුගම්බේ’ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනයට සැලසුම්

ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නිසි සැලැස්මක් ඔස්සේ එම කටයුතු ක්‍රියාවට නංවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ආරුගම්බේ වෙරළ තීරයේ ප්‍රචලිත දියමත ලිස්සා යාම වැනි ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් සමඟ අද (25) පෙරවරුවේ පැවති හමුවේදීය.

සංචාරක ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සොයා බැලීමට කැඳවා තිබූ මෙම සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නියුතු පිරිස් ද එක්ව සිටියහ.

2035 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් හිමිවන්නේ සංචාරක ව්‍යාපාරය මඟින් බව ලෝක වාර්තා පෙන්වා දෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ශ්‍රී ලංකාව ද සූදානම් කළයුතු බවත්, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ගැටලුවලට සෘජුව විසඳුම් ලබාගැනීමට හැකියාව පවතින බවත් පැවසීය.

නැගෙනහිර පළාතේ සංචාරක කරමාන්තය අදියර දෙකක් යටතේ සංවර්ධනය කළ යුතු අතර, ඉදිරි වසර 10 තුළ එම කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උදෑසන අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ හා පීනට් ෆාම් වෙරළ තීරයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

එම සංචාරක ප්‍රදේශවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලූ ජනාධිපතිවරයා එහි පැමිණ සිටි සංචාරකයන් සමඟ සුහඳ කතා බහක ද නිරත විය.

ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් විමසා බැලිණි.

ආරුගම්බේ වෙරළ තීරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ දී එහි පවතින ධීවර වරාය ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සමඟ වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳව කඩිනම් පියවර ගත යුතු අතරම මෙම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස වෙන්කර ගනිමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ට ව්‍යාපාරික ස්ථාන සඳහා ස්ථීර ඔප්පුවක් නොමැතිකම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර ඒ පිළිබඳව ද වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසත්, ඊට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

ව්‍යාපාරික ස්ථානවලට සහ එහි පැමිණෙන සංචාරකයන්ට මුහුණදීමට සිදුව ඇති පානීය ජල ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආරුගම්බේ ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා යෝජිත හැඩ ඔය පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බැවින් නාවික හමුදාවේ සහය ඇතිව දැනට පවතින ස්වභාවික කුඩා ජල මූලාශ්‍ර සඳහා ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරීම පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශානි අබේසේකර නිදොස් කොට නිදහස් කෙරේ

මරණ දඬුවමට ලක්ව බන්ධනාගාරගතව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවකට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ශිලිණි පෙරේරා නියෝග කළා ය.

පොලිස් පරීක්ෂකවරුන් වන සුගත් මෙන්ඩිස්, නිශාන්ත සිල්වා හා උපපොලිස් පරික්ෂක ආර්. ප්‍රේමතිලක එලෙස නිදොස් කොට නිදහස් කෙරුණු සෙසු සැකකරුවෝ වෙති.

නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කර නොමැති බැවින් එම සැකකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බවට එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එසේ නියෝග කළා ය.

සැකකරුවන් පිරිස නිදහස් කරන ලෙසට නීතිපතිවරයා දී තිබෙන උපදෙස් නැවත සලකා බලන ලෙස ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය ඉල්ලා සිටියේ ය.

යම් නඩුවක් ඉදිරියට පවත්වාගෙන යන්නේ ද එම නඩුවට අදාළ සැකකරුවන් නිදහස් කරන්නේ ද යන්න පිළිබඳව නිගමනය කළ යුත්තේ නීතිපතිවරයා මිස විමර්ශන නිලධාරීන් නොවන බව ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය.

දෙපාර්ශවය දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කළ අතර ගිනි අවි ආඥා පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත අනුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් සිව් දෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබිණි.

වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කෙරෙන චක්‍රලේඛයක්

වාණිජ බැංකු පොලී අනුපාතිකය අඩු කිරීම සඳහා වන චක්‍රලේඛය අද (25) දිනයේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යටියන්තොට නගරයේදී අද දහවල් පැවති වැඩසටහකනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පැවති ආර්ථික වාතාවරණය හමුවේ ගණුදෙනුකරුවන් අධෛර්මත් කර උද්ධමනය පාලනය කිරීමේ අරමුණෙන් බැංකු පොලී අනුපාතකය ඉහළ නැංවූ බවයි.

ඒ අනුව උද්ධමනය පහළ ගොස් ඇති බැවින් මහ බැංකුව විසින් දෙවතාවකදී බැංකු පොලී අනුපාතිකය පහළ දැමූවද වාණිජ බැංකු ඒ අනුව කටයුතු නොකළද මේ වතාවේ නව බැංකු පොලී අනුපාතික නීතියක් බවට පත් කරමින් අද දිනයේදී නව චක්‍රලේඛය නිකුත් කරන බවයි.

ඒ අනුව නව උකස් පොලී අනුපාතිකය 18% ක් ලෙසත් , බැංකු අයිරා පොලී අනුපාතිකය 23% ක්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 28% ක් ආදී වශයෙන් පොලී අනුපාතිකයන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මහ බැංකුවෙන් නිවේදනයක්.......

වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කෙරෙන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කර තිබේ.

ඒ අනුව මහ බැංකුව වාණිජ බැංකුවලට ණය ලබා දීමේදී අය කරන පොළිය වන නීත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12% ක් වනු ඇති.

වාණිජ බැංකුවල ඉතුරුම් සඳහා මහ බැංකුව ගෙවන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 11% කි.

ශ්‍රි ලංකා මහ බැංකුව සිය මුල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරමින් අවස්ථා ගණනාවකදී සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමුවේ ය.

ඊට අමතරව වාණිජ බැංකු මහ බැංකුවේ අනිවර්යෙන් පවත්වා ගත යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද පහළ දැමුවේ ය.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිරීක්ෂණය කර ඇත්තේ, ඊට සමාගාමීව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහණ ගොස් නොමැති බවයි.

ඒ අනුව වෙළෙඳපොළ ණය අනුපාතිකයන් සඳහා උපරිම සීමාවන් පැනවීම කෙරෙහි මුදල් මණ්ඩලයේ අවදානය යොමුව තිබේ.

මේ යටතේ උකස් ණය සඳහා වසරකට අය කළ හැකි උපරිම පොලී අනුපාතිකය 18% ක් ලෙසත් ණය කාඩ් පත් සදහා අය කර ගත හැකි උපරිම පොලීය 28% ක් ලෙසත්, ඊට අමතරව දඩ පොලිය 2% කට සීමා විය යුතු බවටත් මුදල් මණ්ඩලයේ අදහසයි.

ඒ සඳහා වන නියෝග නුදුරේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කළේ ය.

ධීවර සංස්ථාවේ මාළු online හරහා ගෙදරට ම

ලංකා ධීවර සංස්ථාවේ මත්ස්‍ය නිෂ්පාදන online ක්‍රමවේදය හරහා නිවසට ගෙන්වා ගැනීමට හැකි බව ධීවර රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සඳහන් කළේ, වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන ආහාර සහ භාණ්ඩ බෙදා හරින සේවා හරහා නිවෙස් වෙත ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන් හට අවකාශය උදාකර දී ඇති බව ය.

ඊයේ (අගෝ. 23) නාරාහේන්පිට, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි H18 නම් වූ ධීවර සංස්ථා වෙළෙඳසලක් නවීකරණය කර නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, පළමු අදියරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට මෙම පහසුකම සැලසෙනු ඇත.

ධීවර අමාත්‍යංශය සහ ධීවර සංස්ථාව ද විවිධාකාර අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිය ද, දැක්මක් සහිතව ඉදිරියට යාමට උත්සහ දරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අන්තවාදීන්ගේ උපක්‍රමයන්ට හසු වෙන්න එපා ! - කරු ජයසුරිය

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව බරපතල ලෙස අවදානමකට ලක් කල හැකි සිදුවීම් ගණනාවක්ම පසු ගිය කාලය තුළ වාර්තා වීම පිළිබඳව බලවත් ලෙස කනස්සල්ලට පත් ව සිටින බව පවසන 'සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය', රටේ සාමයට හා අන්තර් ආගමික සංහිඳියාවට හානි සිදු විය හැකි කුමන හෝ ක්‍රියාවකට සහය නොදක්වන ලෙසට සමස්ත ජාතියෙන් ඉල්ලා සිටියි.

'සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය' වෙනුවෙන් එහි සභාපති හිටපු කරු ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර ඇත.

අප මාතෘභූමිය මත නැවත ලේ වැඟිරීමකට තුඩු දිය හැකි කිසිදු ක්‍රියාමාර්ගයකට වචන මාත්‍රයකින් හෝ එකඟත්වයක් පළ නොකරන ලෙසට ජාතියේ නාමයෙන්, රටේ අනාගත දරු පරපුරේ නාමයෙන්, එමෙන් ම අහිංසාවාදය පදනම් කරගත් පරමෝත්තම ධර්ම මාර්ගයන්ට අපව යොමු කළ අපගේ ශාස්තෘන් වහන්සේලාගේ නාමයෙන් මෙම ආයාචනය සිදු කරන බව හිටපු කතානායකවරයා කියා සිටියි.

 හිටපු කතානායක කරු ජයසුරියගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 '' ආගමික ඉගැන්වීම් පදනම් කර ගත් සෑම දර්ශනයක්ම හා පූජනීයත්වයෙන් සළකන සෑම ආගමික සංකේතයක්ම සමස්ත මානව වර්ගය සතු වූ පූජනීය උරුමයන් වේ. ඒවා හුදු එක් ජන වර්ගයකට හෝ ආගමික ප්‍රජාවකට පමණක් සීමා වන අයිතිවාසිකමක් හෝ භෞතික වස්තූන් නොවන බව අප සියල්ලන්ම මැනවින් අවබෝධ කරගත යුතුව ඇත. එමෙන් ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඕනෑම භෞතික වස්තුවක් හෝ කලාපයක් සැළකිය යුත්තේ සමස්ත මානව ප්‍රජාවටම සාඩම්බර විය හැකි ලෝක උරුමයක් ලෙසටය.

ජාතියක ප්‍රෟඪත්වය හෝ ආගමක උත්තරීතරත්වය රැඳී පවතින්නේ ඒවා මගින් සමස්ත ලෝකයටම දායාද කරන්නා වූ මහාර්ඝ පුරුෂාර්ථයන් හා මඟපෙන්වීම් මතය. අන්තවාදී, අධිපතිවාදී, හිංසාවාදී සෑම ක්‍රියාකාරකමක් මගින් ම සිදු කරන්නේ එකී මහාසාර ගුණයන් කෙලෙසා දැමීමකි.

එබැවින් තම ආගමට, උපන් රටට, සිය සංස්කෘතික උරුමයන්ට සැබෑ ආදරයකින් කටයුතු කරන සියල්ලන් වෙතින්ම අප ඉල්ලා සිටින්නේ අන්තවාදීන්ගේ උපක්‍රමයන්ට නතු නොවීමට වගබලා ගන්නා ලෙසට ය.තම ආගමට රටට හෝ ජාතියට කිසිදු ආකාරයේ නිගරුවක් නොවන ලෙස කටයුතු කරමින් මතු පරපුරට හෝ යහපත් රටක් උරුම කර දෙනු උදෙසා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසටය.''

Page 161 of 464