කැනඩාවේ ඔටාවාහි බොදු විහාරවලට යන මංපෙත්වලට මාර්ග සංඥා

කැනඩාවේ ඔටාවාහි බොදු විහාරවලට යන මංපෙත්වලට මාර්ග සංඥා

විදේශයකදී බෞද්ධ විහාරස්ථාන සඳහා මාර්ග සංඥා ස්ථාපනය කළ ලෝකයේ පළමු නගරය බවට කැනඩාවේ ඔටාවා අගනගරය පත්ව තිබෙනවා.

එය සිදුවන්නේ ශ්‍රී ලාංකිකයකුගේ මූලිකත්වයෙන් වීම විශේෂත්වයක්.

ඔටාවා අගනගරයේ මහජන කාර්ය හා සේවා දෙපාර්තමේන්තුව, රථවාහන මෙහෙයුම් අංශය සමඟ එක්ව, නගරය තුළ බෞද්ධ විහාරස්ථාන හඳුනාගැනීම සඳහා මාර්ග සංඥා පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

"මේ වනවිට සංඥා 14ක් පිහිටුවලා තියෙනවා. ශ්‍රී ලාංකික විහාරස්ථාන පමණක් නෙවෙයි, මෙහි කාම්බෝජ, වියට්නාම සහ තායි ප්‍රජාවන්ට අයත් විහාරස්ථානවලට යන මාර්ගත් සලකුණු කර තිබෙනවා” කැනඩාවේ ඔටාවා හි Buddhist Embassy සංවිධානයේ නිර්මාතෘ සහ ව්‍යවසායක විසිත සිරින් ලීලරත්න පැවසුවා.

"මෙමගින් විහාරස්ථානවලට යන මාර්ග සොයාගැනීම පහසු වී තිබෙනවා වගේම, ඊට රියදුරන්ගෙන් ඉහළ ප්‍රශංසාවක් ලැබී තිබෙනවා. මෙම මාර්ග සංඥා ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ" ව්‍යාපෘතියේ මූලිකත්වය දරන විසිත ලීලරත්න වැඩිදුරටත් කියාසිටියා.

වසර කිහිපයකට පෙර, ඔටාවා නගරාධිපති ජිම් වොට්සන් විසින් ඔටාවා නගරසභාවේ බෞද්ධ කොඩිය එසවීමට අනුමැතිය ලබාදී තිබුණා. ඒ අනුව වෙසක් මාසය ප්‍රකාශයටපත්කිරීම සහ නිල බෞද්ධ මාර්ග සංඥා හඳුන්වා දීම ද සිදුකෙරුණේ ඔහු විසින්.

ඔටාවා නගරයේ වාර්ෂික වෙසක් උත්සවය, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, චීනය, තායිලන්තය, ඉන්දියාව සහ වෙනත් රටවල බෞද්ධ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පවත්වන්නක්.

විපක්ෂ නායක පියෙරේ පොයිලීව්ර් ඇතුළු දේශපාලන නායකයින් ද උත්සවයට සහභාගී වුණා.

විසිත ලීලරත්න පැවසුවේ මෙම සංකල්පය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දී ඇති අතර, අම්බලන්ගොඩ සහ කොට්ටේගොඩ යන ප්‍රදේශවල දැනටමත් සංඥා ස්ථාපනය කර ඇති බවයි.

බද්දේගම ප්‍රදේශයේ සිරින් පාර්ක්පොල් වත්තක භාවනා මධ්‍යස්ථානයක් සහ පරිසර හිතකාමී (Eco Lodge) නිවාඩු නිකේතනයක් වන සිරින් පාර්ක් ඉදිකර විවෘත කළ ලීලරත්න, දැන් කැනඩාවේ බෞද්ධ උරුම මාසයක් (Buddhist Heritage Month) ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික පනතක් (Private bill) ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

"කැනඩා පාර්ලිමේන්තුව තුළ බෞද්ධ උරුමය පිළිගැනීම, වෙසක් සහ පොසොන් උත්සව විශාල පරිමාණයකින් සංවිධානය කිරීමට හැකියාව ලබා දෙනවා."

එය විවිධත්වය තුළ එක්සත්කම සඳහා කැනඩාවේ කැපවීම ප්‍රදර්ශනය කරන්නක් වන අතර බෞද්ධ සම්භවයක් ඇති කැනේඩියානුවන් සඳහා මෙය අතිශය වැදගත් බවයි ඔහු පෙන්වාදෙන්නේ.

( hirunews)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න