පුවත්
ලෝක බැංකුව ලංකාවට ලොකු ණයක් අනුමත කරයි !
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ.
මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලෝක බැංකුවට ලබාදීමෙන් පසු මෙම ආධාර මුදල අනුමත කර තිබේ.
රට බරපතළ අනතුරක දැමීමේ උත්සාහයක් ගැන කරූගෙන් අනාවරණයක් !
ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බවත් එවැනි තත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කරයි.
එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසුරියගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
''මේ දිනවල රටේ විවිධ පාර්ශවයන් විසින් සිදුකරමින් පවතින ඇතැම් ප්‍රකාශ හා ඒවා ආශ්‍රයෙන් සිදුකරමින් පවතින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකරන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ඒවා මගින් රට නැවත වතාවක් රට බලවත් අනතුරකට යොමුකරවීමේ උත්සාහයක් තිබිය හැකි යයි අනතුරු අඟවන්නෙමු.
විවිධ ආගමික කරුණු පදනම් කරගනිමින් රටේ ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශයන් ගැන සැලකීමේදී අප තුළ ඇතිවන්නේ බලවත් වේදනාවකි. එමෙන්ම අප රටේ අතීත බොහෝ අප්‍රසන්න සිදුවීම් සිහිපත් කිරීමේදී ඒවා බොහෝමයකටම මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ හා ක්‍රියාකාරකම හේතු වී ඇති බව ඉතාමත්ම පැහැදිලිය. එවැනි තත්වයක් තුළ මෙවන් උත්සාහයන් හරහා රට නැවැත එවැනි විනාශකාරී තත්වයකට යොමුකරවීමේ දුෂ්ට උත්සාහයන් තිබේද යන්න ගැන ගැඹුරින් අවධානය යොමුකල යුතුව තිබේ.
1983 අවාසනාවන්ත තතවය ඇතිවීමට පෙර මෙවැනිම වූ පසුබිමක් රට තුළ දැකගත හැකි විය.1915 ආගම්වාදී ගැටුමට හේතු වූවේ ද මෙවැනිම වූ කරුණුය. එමෙන්ම පාස්කු ඉරිදා දින ඇතිවූ සිද්ධියෙන් ඇතිවූ වේදනාකාරී කැලැල් තවමත් සුවපත් කරගැනීමට අපොහොසත් වී ඇති රටක මෙවැනි වාතාවරණයක් කිසිසේත්ම සැහැල්ලුවට ගත යුතු නැත.
වාර්ගික හා ආගමික සහජීවනය තහවුරු කරගැනීමට අපොහොසත්ව ඇති සෑම රටක්ම මුහුණ දෙමින් සිටින ඛේදජනක ඉරණම සැලකීමේදී මෙන්ම මෙවන් තත්ත්වයන් තුළ අප රටට ද අත්කර දුන් විනාශයන් සිහිපත් කිරීමේදී යළි එවන් අවාසනාවන්ත තත්වයක් නිර්මාණය වීමට ඉඩ නොදීම ජාතියක් ලෙස අප සතු වගකීමකි. එහිදී රටේ දේශපාලන අධිකාරියට මෙන්ම සියළුම ආගමික නායකයන්ට ද සිවිල් සමාජ සංවිධානවලට හා ජනමාධ්‍ය වෙත ද බලවත් වගකීමක් ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එමෙන්ම එවන් පටු
උත්සාහයන් පරාජය කිරීම සඳහා මේ රටේ බුද්ධිමත් ජනතාව පෙරට පැමිණිය යුතු කාලය මෙය වන බව ද අපගේ විශ්වාසයයි.
එබැවින් රටේ ජාතික නායකයන්ගෙන් ද ආගමික නායකත්වයන් ගෙන්ද පොදුවේ සමස්ත ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ අප හමුවේ ඇති දුෂ්ට අරමුණු සහගත උත්සාහයන් ඉදිරියේ බුද්ධිමත්ව, ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසටය. ''
අප රට නැවතත් විනාශයකට යොමුකල හැකි සියළුම උත්සාහයන් පරාජය කිරීම සඳහා පෙරට එන ලෙසට 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සමස්ත ශ්‍රී ලංකිකයින් ඉල්ලා සිටියි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම: ඇමති ටිරාන් වාර්තාවක් කැඳවයි !
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
මෙහිදී මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් පහරදීමට තැත්කරනු හා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනු ලබන වීඩියෝවක්ද සමාජ ජාලවල පලවී ඇත.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙලෙස හැසිරුණේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්ධන්කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදී ය.
රත්‍රන් සබ්‍රිට VIP දොර වැහෙයි !
ගුවන් තොටුපොළ VIP පර්යන්තය හරහා හොරෙන් රත්රන් හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රුහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට හිමි අතිවිශේෂ අමුත්තන්ගේ විශේෂ වරප්‍රසාද (VVIP Facility) අහෝසි කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු බලධරයන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි .
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා රත්රන් හා ජංගම දුරකථන සිද්ධියට කොටුවී දඩ මුදල් ගෙවා නිදහස් වීමෙන් පසු මොහුට එරෙහිව වහා පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත .
ඒ අනුව කරුණු අධ්‍යයනය කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාට ගුවන් තොටුපොළේදී හිමිවන අතිවිශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට අදාළව නීති හා උපදෙස් ලබාගෙන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ මතයද විමසා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත .
උද්ධමනය, මාළු මිල හා එළවළු මිල : සිරස කියන්නේ ඇත්තද ?
උද්ධමනය අඩුවීම මාතෘකාවක් බවට පත් වෙද්දී සමහර අය මාළු මිල, එළවළු මිල වගේ දේවල් ගැන අවධානය යොමු කරවනවා. මෙහි ප්‍රතිචාර දක්වන අයව අපි පැත්තකින් තියමුකෝ. ඇතැම් මාධ්‍ය විසින්ද මේ වැඩේ ලොකුවටම කරනවා.
අපේ එක් පාඨකයෙක් විසින් මැයි 30 සිරස ප්‍රවෘත්තිවල කොටසක් අපේ අවධානයට යොමු කර තිබුණා.
"තෝරා මාළු 3,800යි. පරාවෝ තියෙනවා 3,000යි. තලපත් 3,400යි." මයික් එක අල්ලද්දී එක් අයෙක් කියනවා.
"උඩරට එළවලු මිල සැසඳීමේදී වැඩිම මිල ඉහළ යාමක් සිදු වී ඇත්තේ කැරට් සඳහායි. එය 64%ක්. ... නෝකෝල් රාබු වැනි මිල ගණන්ද 40%කින් පමණ ඉහළ ගොස් තිබුණා. පහත රට එළවළු සඳහා වැඩිම මිල ඉහළ යාම සිදුව තිබුණේ කරවිල සඳහායි. එය 42%ක්." නිවේදිකාව කියනවා.
"...අපි ආවා භූමියේ යථාර්තය බලන්න." සිරස මාධ්‍යවේදිනියක් පොළේ ගිහින්.
"...මම ගිය සතියේ එනකොට මුකුණුවැන්න මිටියක් තිබුණා රුපියල් 30ත් 50ත් අතර වගේ මිලකට. අක්කේ දැන් මේ වන විට මුකුණුවැන්න මිටියක් කීයද?"
"සීයයි"
මේ එහි ප්‍රදර්ශනය කරන තවත් මිල ගණන් කිහිපයක්.
අප්‍රේල් 28 පැවති මිල
කැරට් - 200
බෝංචි - 280
ලීක්ස් - 240
අද (මැයි 30) මිල
කැරට් - 480
බෝංචි - 600
ලීක්ස් - 480
"එහෙනම් මහ පොළොවේ යතාර්ථය මේකයි. දරාගන්න බැරි තරමේ ආහාර උද්ධමනයක් තවමත් ලංකාවේ දක්නට ලැබෙනවා." නිවුස්ෆස්ට් වෙනුවෙන් ඔමායා කෝවිලගොඩගේ කියනවා.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේදී ආහාර උද්ධමනය 21.5% දක්වා අඩු වෙලා තිබෙනවා. මාළු, එළවලු මිල ගණන් ඔය කියන තරම්ම වැඩි වෙලානම්, ආහාර උද්ධමනය 21.5% මට්ටමේ තියෙන්නේ කොහොමද?
පළමු ප්‍රශ්නය නිවුස්ෆස්ට් මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කරන මිල ගණන් මහ පොළොවේ යතාර්ථයද?
පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 මැයි මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය (average) මිල ගණන්.
පරා - 2,786.67
තලපත් - 3,120.67
කැරට් - 404.14
බෝංචි (කොළ) - 503.20
ලීක්ස් - 451.43
මුකුණුවැන්න - 70
දැන් බැලූ බැල්මටම පේනවා සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන "මහ පොළොවේ" මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මිල ගණන් වලට වඩා තරමක් වැඩි බව. එහෙමනම්, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව බොරු කරලද?
සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන්නේ "මහ පොළොවේ" තිබෙන ඇයට පෙන්වන්න අවශ්‍ය නිශ්චිත තැනක් පමණයි. ඒ තැන ඈ විසින් හිතාමතා තෝරාගන්නා තැනක්. සිරස ප්‍රවෘත්ති ප්‍රකාශයේ මාළු ගැන කතා කරද්දී කතා කරන්නේ තෝරා, පරා, තලපත් වගේ මිල අධික මාළු ගැන විතරයි. රටේ සාමාන්‍ය මිනිස්සු ගොඩක් අය ආහාරයට ගන්න සාපේක්ෂව මිල අඩු සාලයෝ, ලින්නෝ, හුරුල්ලෝ වගේ මාළු ගැන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නැහැ. බොහෝ විට ඒ මාළු වලත් මිල වැඩි වෙලා වුනත්, මෙතැනදී සිරස ප්‍රවෘත්ති සංස්කාරක විසින් හිතාමතාම තෝරා ගන්නේ වැඩි ප්‍රවෘත්ති වටිනාකමක් තිබෙනවායැයි සිතන මිල ගණන් පමණයි. එළවලු ගැන කතා කරද්දී වුනත්, වැඩිම මිල වැඩිවීම් ගැන මිසක් මිල අඩු වීම් හෝ අඩු මිල වැඩිවීම් ගැන කතා කරන්නේ නැහැ. මහ පොළොවෙන් යථාර්තය හොයාගෙන ඉදිරිපත් කරන්නේ ප්‍රවෘත්ති වටිනාකම ගැන පමණක් සලකලා.
එක පැත්තකින් මේක සිරස විසින් පමණක් හෝ මාධ්‍ය විසින් පොදුවේ කරන දෙයක් පමණක් නෙමෙයි. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දමන හෝ ශෙයා කරන ගොඩක් අය විසින් පෙන්වන්නෙත් තමන්ට පෙන්වන්න අවශ්‍ය දේවල්. (අපට වුනත් මේක අදාළයි). ප්‍රතිචාර දමන අයත් එහෙමයි. ඒකේ වැරැද්දක් නැහැ. තමන්ට කියන්න අවශ්‍ය දේ මිසක් වෙන අයට කියන්න අවශ්‍ය දේ කියන්නේ මොකටද?
ලංකාවේ ගොඩක් අය තවමත් හිතන්නේ තමන්ට අඩු මිලකට එළවලු, මාළු විකුණන එක රජය විසින් කළ යුතු දෙයක් කියලා. එළවලු, මාළු නිපදවන අය හිතන්නේ තමන්ගේ නිෂ්පාදන රජය විසින් වැඩි මිලකට මිල දී ගත යුතුයි කියලා. ඒ කාලයක් තිස්සේ ලංකාවේ අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, දේශපාලනය හරහා මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තිබෙන විදිහ. සමහර අය වෙළඳපොළ ගැන යාන්තමින් හෝ ඉගෙනගන්න උත්සාහ කරන්නේ අවුරුද්දකට කලින් ආර්ථිකය කඩා වැටුණු දවසේ සිටයි. ගොඩක් අය තවමත් ඔය ගොඩේ නැහැ.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මිල ගණන් එකතු කරන්නේ විධිමත් ලෙස, කිසියම් ක්‍රමවේදයකට අනුවයි. රටේ තැනින් තැන එකම භාණ්ඩයක වුනත් මිල ගණන් වෙනස්. කීල්ස් සුපර් මාර්කට් එකේ කැරට් කිලෝ එකක මිලත් දෙල්කඳ පොළේ මිලත් සමාන නැහැ. දෙල්කඳ පොළට ගියත් හැම තැනම මිල ගණන් සමාන නැහැ. සමහර තැන් වල මිල අඩුයි. තව සමහර තැන් වල මිල වැඩියි. ඒ වගේම කැරට් කියන්නේ සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. ප්‍රමාණය ලොකු පොඩි වෙද්දී මිල ගණන් වෙනස් වෙනවා. බෝංචි ගත්තත් එහෙමයි. සුදු, බටර් බෝංචි සහ කොළ පාට බෝංචි එකම මිලට විකිණෙන්නේ නැහැ. මාළු ගත්තත් ඔය වගේ වෙනස්කම් තිබෙනවා.
මිල ගණන් අඩු වැඩි වෙන විදිහ හරි පිළිවෙලකට බලන්නම් මුලින්ම අදාළ භාණ්ඩය සම්බන්ධ කිසියම් සම්මතයක් හදාගන්න වෙනවා. දේශීය අර්තාපල් හා ආනයනික අර්තාපල් කියන්නේ වර්ග දෙකක්. සුදු බිත්තර හා රතු බිත්තර වෙනස්. ලොකු බිත්තර හා පොඩි බිත්තර එක මිලට විකිණෙන්නේ නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් එළවළු, මාළු මිල ගණන් එකතු කරන්නේ එකම සම්මතයක් අනුගමනය කරමින්. ඒ වගේම, මිල අඩු තැන් හෝ වැඩි තැන් තෝරා බේරාගෙන මිල ගණන් එකතු කරන්නේ නැහැ. හැමදාම මිල ගණන් එකතු කරන්නේ එකම තැන් වලින්. අද පොළේ මිල බලලා හෙට සුපිරි වෙළඳසැලේ මිල බැලුවොත් බොහෝ විට පෙනෙන්නේ ඒ තැන් දෙකේ මිල ගණන් වෙනස.
ඒ වගේම, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිරස මාධ්‍යවේදිනිය මෙන් එක තැනකින් පමණක් මිල ගණන් එකතු කරගන්නේ නැහැ. තැන් ගණනාවකින් මිල ගණන් අරගෙන සාමාන්‍ය අගය තමයි ඉහත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා, සිරස මාධ්‍යවේදිනිය පෙන්වන මිල ගණන් මහ පොළොවේ යථාර්තය වෙන්න පුළුවන්. හැබැයි ඒ මහ පොළොවේ ඇය පෙන්වන තැන තිබෙන යථාර්තය. පොදුවේ ගත්තහම තත්ත්වය හරියටම ඊට සමාන නැහැ.
එහෙමනම්, මැයි මාසයේදී එළවලු, මාළු මිල ගණන් වැඩි වෙලා නැද්ද?
පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 අප්‍රේල් මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය මිල ගණන්.
පරා - 2,332.22
තලපත් - 2,539.38
කැරට් - 257.50
බෝංචි (කොළ) - 318.33
ලීක්ස් - 346.96
මුකුණුවැන්න - 73
පැහැදිලි ලෙසම අප්‍රේල් මාසයේ එළවලු හා මාළු මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, සිරස කියන තරමට වැඩි වෙලා නැහැ. මෙහි තියෙන්නේ මාධ්‍ය විසින් වගේම දේශපාලනඥයින් විසින් මිනිස්සුන්ගේ ස්වභාවික දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවක්.
මාධ්‍යවේදිනිය විසින් පෙන්වන දැන් මිල ගණන් ඇත්ත මිල ගණන්. ඔය ගැන බොරු කියන්න බැහැනේ. මොකද ඕනෑම කෙනෙකුට අදාළ තැනට ගිහින් පරීක්ෂා කර බලන්න පුළුවන්. එතකොට වැඩේ අතේ මාට්ටු. හැබැයි මාසයකට කලින් මිල ගණන් කියලා ඉදිරිපත් කරන්නේ පට්ට බොරු. මොකද කාටවත් අතීතයට ගිහින් පරීක්ෂා කර බලන්න බැහැනේ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් බඩු මිල අඩු වෙද්දී වගේම වැඩි වෙද්දීත් එකම ක්‍රමවේදයකට අනුව මිල ගණන් එකතු කරගෙන වාර්තා කර තියන්නේ අවශ්‍ය කෙනෙකුට අතීතයේ පැවති තත්ත්වය මතක් කර ගන්න. ඒ වුනත්, ගොඩක් අය ඒ වැඩේ කරන්නේ නැහැ. දැන් පෙන්වන "භූමියේ යථාර්තය" ඇත්ත නිසා මාසයකට කලින් තත්ත්වය ගැන කියන කතාවත් ඇත්ත කියා නිකම්ම පිළිගන්නවා.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි අවසානයේදී මුකුණුවැන්න මිටියක් රුපියල් 70යි. සිරස මාධ්‍යවේදිනියට අනුව රුපියල් 100යි. මේක වෙන්න පුළුවන්. සාමාන්‍ය මිල රුපියල් 70 වෙද්දී සමහර තැන් වල මිල රුපියල් 100ක් වෙන්න පුළුවන්. හැබැයි සතියකට කලින් මිල රුපියල් 30ක් කියා කියද්දී ඇය කියන්නේ පට්ට බොරුවක්. සමහර විට සමහර තැන් වල රුපියල් 50ට තිබුණා වෙන්න පුළුවන්.
රත්නපුරේ සමන් දේවාලයේ ගල් පැලයක් තිබෙනවා. ඕක දමලා තිබෙන පෙට්ටියේ වහලේ වැදිලා නැමිලයි තියෙන්නේ. සමහර වයසක අය කියන විදිහට ඒ අය පොඩි කාලයේ ඔය ගල් පැලය ඔයිට වඩා ගොඩක් උසින් අඩුයි. හැබැයි කාටවත් ඒ කතාව විශ්වාස කරනවා හෝ සැක කරනවා මිසක් තහවුරු කරගන්න විදිහක් නැහැ. අවුරුදු විසිපහකට තිහකට කලින් ගත්ත ඡායාරූපයක් එක්ක සංසන්දනය කළොත් ගල් පැලේ වැවිලාද කියලා හරියටම දැනගන්න පුළුවන් වුනත් එහෙම පරීක්ෂාවක් නොකර තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්නවා. මේකත් ඒ වගේ දෙයක්.
මැයි, ජූනි, ජූලි මාස වල එළවළු, මාළු මිල වැඩි වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ගොඩක් වෙලාවට ජූනි මාසයේදී. මේක උද්ධමනයට සම්බන්ධ දෙයක් නෙමෙයි. අගෝස්තු වගේ වෙද්දී ඔය වැඩි වෙන මිල නැවත අඩු වෙනවා.
අප්‍රේල් වෙද්දී හරාය කාලය ඉවර වෙලා වාරකන් කාලය පටන් ගන්නවා. හරාය කාලෙට මුහුද නිසලයි. මූදූ රස්සාවට ගිහින් ලේසියෙන්ම හොඳ මාළු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ කාලෙට ධීවරයන්ගේ ප්‍රශ්නය අහුවෙන මාළු ටික විකුණගන්න එක. සැපයුම වැඩි වෙද්දී මිල පහළ යනවා. මිල පහළ ගියත් ප්‍රමාණය වැඩි නිසා ධීවරයින්ගේ ආදායම් අඩු වෙන්නේ නැහැ. එහෙම මිල අඩු කරලත් විකුණගන්න බැරි මාළු ජාඩි, කරවල කරනවා.
වාරකන් කාලෙට එහෙම නැහැ. මූදු යන්න අමාරුයි. ඒ නිසා මාළු සැපයුම අඩුයි. මිල ඉහළ යන එකෙන් ධීවරයින්ට යම් සහනයක් ලැබෙනවා. කාගෙවත් මැදිහත්වීම් නැතත් වෙළඳපොළ ප්‍රශ්න විසඳන්නේ ඔය විදිහට. මාළු කන්න සල්ලි නැති අයට කරවල කන්න පුළුවන්. කෝඩෙ ගහලා ඉන්න ධීවරයන්ට හරාය කාලෙදී වේලපු කරවල විකුණලත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. ජූනි මාසය වාරකන් කාලයේ පීක් එක. හැම අවුරුද්දෙම වගේ ඔය කාලයට මාළු මිල ඉහළ යනවා. මාළු මිලේ වගේම එළවලු මිලේත් මේ වගේ වාරික (seasonal) උච්ඡාවචනයන් සිදු වෙනවා. එළවලු මිල සාමාන්‍යයෙන් වසරකට දෙවරක් පීක් වෙනවා. ජූනි හා දෙසැම්බර් මාස වලදී. ඒ නිසා ජූනි මාසය එළවලු වගේම මාළු මිලත් ඉහළ යන මාසයක්. දෙපැත්තේ මාස දෙකටත් මෙහි බලපෑම තිබෙනවා.
එළවළු, මාළු මිල ඉහළ යද්දී සිරස වගේ මාධ්‍ය වලට රජමගුල්. නමුත් මිල අඩු වෙද්දී එවැනි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. එවැනි වටිනාකමක් ලැබෙන්නනම් ගොවියෝ, ධීවරයෝ තමන්ගේ අස්වනු විකුණාගත නොහැකි වී වහ බොන තරමට මිල අඩු වෙන්න ඕනෑ. කවර හෝ විපක්ෂ දේශපාලන පක්ෂ වලටත් එහෙමම තමයි. අනෙක් පැත්තෙන් ආණ්ඩු පක්ෂයට පෙනෙන්නේ මිල අඩුවීම්.
අන්තර්ජාලයේ හොයද්දී 2021 දෙසැම්බර් 21 සිරස ප්‍රවෘත්ති වල ක්ලිප් එකක් හමු වුනා (https://www.youtube.com/watch?v=KSage9Lpwhk). මාස 18කට කලින්. උද්ධමනය වැඩි වෙන්න කලින්. ආර්ථික අර්බුදය මහ පොළොවට එන්න කලින්. මාධ්‍යවේදියා තරුෂ කුමාරසිංහ. ඒකේ කියන විදිහට කැරට් තොග මිල රුපියල් 450යි. ඒ නිසා විකුණන්න වෙන්නේ රුපියල් 600ට. මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති ඩී.එන්. සිල්වා මයික් එකට කියන විදිහට "එතකොට 250ක් රුපියල් තුන්සීයක් විතර වෙනවා". ඒ කියන්නේ කිලෝවක් රුපියල් 1,200ක්. රෙකෝඩින් එක කපලා අවශ්‍ය කෑලි පමණක් ප්‍රවෘත්ති වලට පෙන්වන නිසා කැරට්ද කියා හරියටම පැහැදිලි නැහැ.
දැන් අපි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පැත්තකින්ම තියමු. සිරස "මහ පොළොවේ යථාර්තය" අනුව 2021 දෙසැම්බර් 17 කැරට් කිලෝ එකක් රුපියල් 600ක් පමණ වෙනවා. 2023 අප්‍රේල් 28 වෙද්දී, සිරස ප්‍රවෘත්ති අනුවම, ඔය මිල රුපියල් 200 දක්වා අඩු වෙලා. රටේ උද්ධමනය මේ තරම් ඉහළ යද්දී කැරට් මිල ඔය තරම්ම අඩුවුනානම් ඒක ප්‍රවෘත්තියක් වුනේ නැත්තේ ඇයි? ඒ ගොල්ලෝ පාර කියන්නේ ඔය විදිහට තමයි.
විධිමත්, සම්මත ක්‍රමයකට එකතු කරගෙන ඉදිරිපත් කරන නිල සංඛ්‍යාලේඛණ විශ්වාස කරනවද නැත්නම් පාර කියන මාධ්‍ය වලින් පෙන්වන දේවල් ඒ විදිහටම පිළිගන්නවද කියන එක පෞද්ගලික කාරණාවක්. කොහොම වුනත් ඔය දෙකේ වෙනස තමයි පැහැදිලි කළේ.
උද්ධමනය කියා කියන්නේ බඩු මිල වැඩි වීම නෙමෙයි. කිසියම් මුදල් ඒකකයක වටිනාකම අඩුවීම. මුදල් ඒකකයක වටිනාකම අඩු වෙන්නේ මුදල් සැපයුම වැඩි වෙද්දී. හැබැයි මුදල් සැපයුම කියන්නේ විචලනය වන දෙයක්. දිනපතා, සතිපතා හෝ මාස්පතා මුදල් සැපයුමේ සිදුවන අඩු වැඩිවීම් බොහොමයක් නැවත ආපසු හැරවෙනවා. මුදල් සැපයුම ප්‍රායෝගිකව පහසුවෙන් ආපසු හැරවිය නොහැකි පරිදි ස්ථිර ලෙස වැඩි වෙලා කියා කියන්න පුළුවන් වෙන්නේ වසරක පමණවත් කාලය තුළ සිදු වී ඇති දේ දෙස බැලීමෙන් පමණයි.
උද්ධමනය මනිද්දී ඇත්තටම කරන්නේ මුදල් ඒකකයක මිල දී ගැනීමේ හැකියාව අඩු වී ඇති ආකාරය මනින එක. වසරකට කලින් රුපියල් 1000කින් මිල දී ගත් බඩු මල්ල මිල දී ගන්න අද කීයක් යනවද? මේක මනින්න යද්දී මතුවන ප්‍රශ්නයක් වන්නේ මුදලේ වටිනාකම අඩු නොවුනත් ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල විචලනය වන එක. මෙහි විස්තර කළ එළවලු හා මාළු උදාහරණ. වාරකන් කාලයට මාළු මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා නෙමෙයි. මුදලේ වටිනාකම අඩු වෙලා නිසා නෙමෙයි. ඒ කාලයට මාළු සැපයුම අඩු නිසා. වාරකන් කාලය ඉවර වෙද්දී වැඩි වූ මිල නැවත අඩු වෙනවා. එළවළු මිලත් එහෙමයි.
උද්ධමනය මනිද්දී මිල මට්ටම සංසන්දනය කරන්නේ පසුගිය වසරේ අදාළ මාසයත් එක්ක. විශේෂ හේතුවක් නැතුව පසුගිය මාසය එක්ක සංසන්දනය කරන්නේ නැහැ. පසුගිය මාසය එක්ක සංසන්දනය කළොත් එයින් පෙනෙන්නේ සැපයුමේ සිදුවන කාලික වෙනස්කම් මිසක් උද්ධමනය නෙමෙයි. අධි-උද්ධමන කාලයකනම් මාස්පතා සිදුවන මිල ඉහළ යාම් දිහා බලන එකේ ප්‍රයෝජනයක් තිබෙනවා. ඒ වගේම, රුපියලේ වටිනාකම රටේ භාණ්ඩ හා සේවා සියල්ල එක්ක පොදුවේ සංසන්දනය කරනවා මිසක් තලපත් මාළු හෝ කැරට් එක්ක පමණක් සංසන්දනය කරන්නේ නැහැ.
මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය තුළ මාළු වියදම රුපියල් 1,004.60කින්ද, එළවළු වියදම රුපියල් 407.29කින්ද ඉහළ ගොස් තිබෙනවා. අර්තාපල් වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිලද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, පළතුරු, කිරිපිටි, බිත්තර වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිල අඩු වී ඇති නිසා සමස්තයක් ලෙස මාසය තුළ ආහාර පැසෙහි මිල ඉහළ ගොස් තිබෙන්නේ රුපියල් 943.11කින් පමණයි. ආහාර මිල ගණන් මාසය තුළ මෙපමණකින් ඉහළ යද්දී ආහාර නොවන වියදම් රුපියල් 986.16කින්ම අඩු වී ඇති බැවින් සමස්තයක් තුළ මිල මට්ටමෙහි සුළු හෝ අඩුවීමකුයි සිදු වී තිබෙන්නේ.
පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මාළු වියදම රුපියල් 1,787.81කින් ඉහළ ගොස් ඇති අතර සමස්තයක් ලෙස කොළඹ පවුලක ආහාර වියදම රුපියල් 9,904.00කින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 0% නොවී 21.5% මට්ටමේ තිබෙන්නේ ඒ නිසා.
උද්ධමනය නිසා මුදලේ ක්‍රය ශක්තිය විශාල ලෙස අඩුවීමෙන් මාළු හෝ එළවළු මිල ඉහළ යනවානම් එය ප්‍රශ්නයක් තමයි. නමුත්, කාලික කාලගුණ වෙනස්කම් නිසා සැපයුම වෙනස් වීම හේතුවෙන් සිදුවන මිල අඩු වැඩි වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. හරාය කාලයේදී මාළු සැපයුම වැඩි වෙද්දී මාළු මිල අඩු වෙනවා. ඒ විදිහට මිල අඩු වෙද්දී වෙළඳපොළ විසින් කරන්නේ පාරිභෝගිකයින්ට සංඥාවක් දෙන එක.
"අන්න මාළු ලාබ වෙලා. ගිහින් අරගෙන කාපල්ලා!"
පාරිභෝගිකයෝ මාළු පරිභෝජනය වැඩි කරනවා. ඒ නිසා අල්ලන මාළු ටික විකිණෙනවා. ධීවරයින්ට මාළු විකුණගන්න බැරුව වහබොන්න වෙන්නේ නැහැ. විකුණගන්න බැරි නිසා නිෂ්පාදනය කඩා වැටෙන්නේ නැහැ.
අනෙක් අතට වාරකන් කාලයට මිල වැඩි වෙනවා. ඒ හරහා වෙළඳපොළ විසින් කරන්නේ ධීවරයින්ට සංඥාවක් දෙන එක.
"මුහුද රළුයි තමයි. හැබැයි අවදානම අරගෙන මූදු ගියොත් අවදානමට හරියන ලාබයක් ලැබෙනවා!"
මිල වැඩි නිසා ධීවරයෝ යම් පිරිසක් හරි මූදු යනවා. සැපයුම ටිකක් හරි වැඩි වෙනවා. නිෂ්පාදනය අඩියටම කඩා වැටෙන්නේ නැහැ.
ඔය වැඩේ වෙළදපොල විසින් කරනවා. ඕකට ධීවර ඇමතිවරුන් හෝ අමාත්‍යංශ නිලධාරීන් මහජන බදු මුදලින් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි නිදහසෙන් පසු ලංකාවේ වෙලා තියෙන්නේ ඕක නෙමෙයි.
ලංකාවේ ධීවර ඇමති කෙනෙක් ඉන්නවා. අමාත්‍යංශයක් තිබෙනවා. මාළු මිල දී ගෙන බෙදා හරින්න හදපු ධීවර සංස්ථාවක් තිබෙනවා. සමාජවාදී මධ්‍යගත සැලසුමකට අනුව හදපු මේ ආයතන තවමත් තියෙනවා. ඒ නිසා, මාළු මිල වැඩි වෙද්දී මිනිස්සු ආණ්ඩුව දිහා බලන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ වෙළඳපොළට කරන්න බැරි දේවල් ඇමතිට කරන්න පුළුවන් කියලයි. තවමත් ඔය කතාව කියන අය ඉන්නවා.
ලංකාවේ ධීවර ඇමති රස්සාව නොකරපු දේශපාලන පක්ෂයක් නැති තරම්. එජාප, ශ්‍රීලනිප, සමසමාජ, මහජන එක්සත් පෙරමුණු, දෙමළ කොන්ග්‍රස්, වගේම ජනතා විමුක්ති පෙරමුණේ ධීවර ඇමතිලා කාටවත් වාරකන් කාලයට මිල ඉහළ යන එක නවත්තන්න පුළුවන් වෙලා නැහැ. ඇමති කවුරු වුනත්, ධීවර ඇමතිට කාලගුණේ වෙනස් කරන්න බැහැ වගේම වාරකන් කාලෙට මාළු මිල ඉහළ යන එකත් වෙනස් කරන්න බැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒකට ඉඩ දිය යුතුයි.
හැබැයි කාලිකව සිදුවන සැපයුම් උච්ඡාවචනයන් නිසා මිල වෙනස්වීම් වෙළඳපොළ විසින්ම නියාමනය කරනවා. ජාඩි, කරවල කියා කියන්නේ මෙය සිදු වන යාන්ත්‍රනය. ලංකාවේ මූදූකරේ මිනිස්සු මාළු ජාඩි කරන්න පටන් ගත්තේ රටේ ධීවර අමාත්‍යංශයක් හැදුනට පස්සේ නෙමෙයි. මේවා වෙළඳපොළ විසින් හදා දුන් ස්වභාවික විසඳුම්.
ජාඩි, කරවල හදන එකේ නූතන ස්වරූපය ශීතාගාර. ශීතාගාර පහසුකම් වැඩි වන තරමට හරාය කාලෙදී එකතු වන මාළු අතිරික්තය ගබඩා කරගෙන වාරකන් කාලයට වෙළඳපොළට නිකුත් කිරීම මගින් සැපයුමේ සිදුවන උච්ඡාවචනයන් පාලනය කර ඒ හරහා මිලෙහි සිදුවන උච්ඡාවචනයන් පාලනය කරන්න පුළුවන්. එළවලු වලට වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. සංවර්ධිත රටවල ඔය වැඩේ වෙනවා.
දැන් මේ වැඩේ කළ යුත්තේ කවුද? ඒකත් කළ යුත්තේ රජයද? ධීවර සංස්ථාව වගේ ආයතන පිහිටවලා තියෙන්නේනම් මේක රජය විසින් කළ යුතු දෙයක් කියන අදහසින්. ඒ නිසා, අවශ්‍යනම් හිටපු ධීවර ඇමතිවරුන්ට චෝදනා කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රශ්නය සල්ලි කියලා.
ප්‍රශ්නය සල්ලිනම් එතැනම අවුලක් තිබෙනවා. කරන වැඩේ කාර්යක්ෂමනම් යට කරන සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. කරන වැඩේ අකාර්යක්ෂමනම් ඒ වගේ වැඩකට මහජන මුදල් නාස්ති කරන එකේ තේරුමක් නැහැ.
වැඩේ ලාබනම්, පෞද්ගලික අංශයට අත ගහන්න බාධාවක් නැත්නම්, කවුරු හෝ කෙනෙක් ඔය ආයෝජනය කරනවා. ඒ හරහා මිල විචලනය ස්වභාවික ලෙස නියාමනය වෙනවා.
ඒ කියන්නේ වාරකන් කාලයට මිල වැඩි නොවනවා කියන එක නෙමෙයි. වාරකන් කාලයට තව දුරටත් මිල ඉහළ යනවා. නමුත් යම් සීමාවකින් එහාට යන්නේ නැහැ. මේ සීමාව කුමක්ද?
වැඩේ වෙන්නනම් වාරකන් කාලයේ මාළු මිල සහ හරාය කාලයේ මාළු මිල අතර සැලකිය යුතු මිල වෙනසක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ මිල වෙනස ඔය කාලය තුළ ශීතාගාරයක මාළු තියාගෙන එසේ කිරීමේ විචල්‍ය පිරිවැයට අමතරව ස්ථිර පිරිවැය වෙනුවෙන් අවශ්‍ය තරම් මුදලකුත් ගන්නා අවදානම වෙනුවෙන් ප්‍රමාණවත් ලාබයකුත් ලැබිය හැකි තරම් විශාල වෙනසක් විය යුතුයි. ඔය අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවානම් පෞද්ගලික ආයෝජකයෝ වැඩේට අත ගහනවා. ඊට පස්සේ වාරකන් කාලයට වුනත් යම් සීමාවකින් එහාට මාළු මිල වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම, මාළු අස්වැන්න අඩු මාස වලදී ධීවරයාට ලැබෙන මිල ඕනෑවට වඩා අඩු වෙන්නෙත් නැහැ.
ඔය වගේ විශාල ආයෝජන දහ පහළොස් දෙනෙක් එකපාර කරන්නේ නැහැ. මුලින්ම අවදානම අරගෙන අත ගහන්නේ කවුරු හෝ එක්කෙනෙක්. එතකොට ටික කාලයකට ඒකාධිකාරයක් හැදෙනවා. එතකොට ඒ මනුස්සයාව මරාගෙන කාලා හරියන්නේ නැහැ. එක්කෙනෙක් ගන්න ලාබය දිහා බලාගෙන තමයි තවත් කෙනෙක් වැඩේට අත ගහන්නේ. වෙළඳපොළ ප්‍රමාණය, අවශ්‍ය ආයෝජනයේ විශාලත්වය වගේ හේතු නිසා ව්‍යාපාරිකයෝ හතර පස් දෙනෙක් මිසක් පනහක් හැටක්නම් කොහොමටවත් හැදෙන එකක් නැහැ. සහල්/ වී කර්මාන්තයේ වෙලා තියෙන්නෙත් ඔය වගේ දෙයක්.
සහල් ව්‍යාපාරය හා අදාළවනම් අතරමැදියන්ට කරන චෝදනා වල කෙළවරක් නැහැනේ. සහල් ව්‍යාපාරයේ අතරමැදියන් හරහා වෙන්නේ ඔය විදිහට සිදු විය හැකි මිල විචලනයන් සීමා වෙන එක. ඒ මිනිස්සු අවදානමක් අරගෙන ලොකු ආයෝජනයක් කරලා තියෙන්නේ ලාබයක් ගන්න තමයි. නමුත් මාළු මිල තරමට හාල් මිල උච්ඡාවචනය නොවන්නේ මේ අතරමැදියෝ ටික නිසා. ඔවුන් හරියට බදු නොගෙවනවානම් හෝ වෙනත් අනිසි වාසි ගන්නවානම් ඒ ගැන හොයා බලන එක අදාළ නිලධාරීන්ගේ වගකීමක්. ඒක මේකට අදාළ නැහැ. මාළු කර්මාන්තය ඇතුළෙත් ඔය වගේ අතරමැදියෝ කීප දෙනෙක් හිටියානම් ජූනි, ජූලි මාස වල මාළු මිල මේ තරමටම ඉහළ යන්නේ නැහැ.
කවුරුවත් නොකරන දේකට සල්ලි දමන එකේ ලොකු අවදානමක් තිබෙනවා. කවුරු හෝ ඒ අවදානම ගන්නේ යම් කාලයකට ඒකාධිකාරයක් පවත්වා ගන්න ලැබීමේ වාසිය දිහාත් බලාගෙන. ඒ විදිහට හැදෙන ඒකාධිකාර කිසිසේත්ම නරක නැහැ. දෙවැන්නාට වෙළඳපොළට එන්න පොළඹවන්නේ පළමුවැන්නාගේ ඉහළ ලාබ. ඒ නිසා, ඒකාධිකාරය නැති කරන්නනම් කළ යුත්තේ පුළුවන් තරම් ලාබ ගන්න ඉඩ අරින එක මිසක් ඒකට බාධා කරන එක නෙමෙයි. ඇමරිකාව වගේ රටක් හා අදාළවනම් කතාව වෙනස්. නමුත් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් ඇතුළේ ඇමරිකාවේ දමන විදිගේ සීමා කිරීම් කරන්න ගියොත් අවදානමක් ගන්න කෙනෙකුට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ.
තරඟය වැඩි වෙලා ලාබ නැති වෙන්නේ ලාබ ලබන්න ඉඩ දෙන තරමටයි. හැදෙන්න කලින් ඒකාධිකාර කියලා ලේබල් කරලා රජය විසින් බාධාකිරීම් කරද්දී ඇත්තටම වෙන්නේ ඒකාධිකාරය බිඳ නොවැටී පවත්වා ගන්න උදවු කිරීමක් පමණයි. මොකද එවැනි බාධා කිරීම් වලට වැඩියෙන් බය වෙන්නේ කර්මාන්තයට අලුතෙන් එන්න ඉන්න අය.
ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි
විශ්වවිද්‍යාල සිසුන් 31 කට පන්ති තහනමක් !
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.
ඒ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධවීම නිසාය .
වාර්තා වන ආකාරයට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකු සඳහා මෙම තහනම පනවා ඇත.
වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව පසුගිය සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණි.
අදාළ ගැටුම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර තිබේ.
මේ අතර එම සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට ද ඇතුල්වීම තහනම් කර ඇති බවත් වාර්තා වෙයි.
ව්‍යාපාර ආකර්ශනය කරගන්න ජනාධිපති දැඩි තීන්දු ගැනීමේ සූදානමක !
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනය වූ ඊයේ (03) දින සමුළුව අමතමිනි.
“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී නීති පද්ධතියේ කාර්යභාරය සහ ව්‍යාපාරික ස්ථාවරත්වය” යන තේමාව යටතේ ඊයේ දින සමුළුව පැවැත්වුණු අතර එය අදින් (04) අවසන් වේ.
මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවයි. එසේම එමගින් රටේ ආර්ථික සංවර්ධනයට එල්ලවන බලපැම ද ජනාධිපතිවරයා පැහැදිළි කර සිටියේය.
ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සඳහා මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.
ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව ද ජනාධිපතිවරයා පැවසීය. පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසළකා හරිමින් කටයුතු කිරීම නිසා රට තුළ ගැටලු මතුවු බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ නීති ක්ෂේත්‍රය, ප්‍රතිපත්ති සම්පාදකයන්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක් ආරම්භ කිරීමට මෙම සමුළුව මගින් අපේක්ෂා කරන බවයි. ජාතියක් ලෙස දියුණු වීමට නම්, නීති අංශය ව්‍යවසායකත්වයේ වැදගත්කමත්, ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කමත් හඳුනාගත යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
නිදහසින් ගෙවි ගිය වසර 75 න් පසු දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් පළමු වරට අද රට හමුවේ තිබෙන බව පැවසූ ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කුරිරු යුද්ධය සහ වැරදි ආර්ථික කළමනාකරණය රටේ ප්‍රගතියට බාධාවක් වූ බවත් පැවසීය. එබැවින් දැන් සියලුදෙනාගේ වගකීම වන්නේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරි අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම බව ද ඒ මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශීය මෙන්ම දේශීය ආයෝජන ද ආකර්ශනය කර ආරක්ෂා කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවයි.
ආයෝජන සඳහා ඉතා ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව දැන් කතා බහට ලක්ව තිබෙන බව සිංගප්පූරුවේ කේ.එල්. ගේට්ස් ස්ට්‍රේට්ස් නීති සමාගමේ සභාපති එම්. රාජාරාම් මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ රට තුළ ආයෝජන සඳහා ආයෝජකයන්ට තවදුරටත් පහසුකම් පුළුල්වීම සහතික විය යුතු බවයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති නීතිඥවරුන් වන කේ. කනගඊස්වරන්, ෆයිස් මුස්තාෆා සහ චන්දක ජයසුන්දර යන මහත්වරු ප්‍රධාන සැසිය සඳහා සහභාගී වූහ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ හා මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් මෙන්ම ප්‍රමුඛ ව්‍යාපාරික සමාගම් රැසක ඉහළ කළමනාකාරිත්වය මීට එක්ව සිටියහ.
http://www.newstube.lk/news?start=2934#sigProId5ca5623fe7
මැකොස වෙතින් තවත් විරෝධයක් !
පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පවසන්නේ මේ පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙන බවය.
පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කළේය.
මේ තීරණයෙන් පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වීම සිදුවන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරයක් ලංකාවට
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 78 වැනි සැසිවාරයේ උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තේරී පත් විය.
ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජික රටවල් 193ක ඒකමතික තීරනයකිනි.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර භාර ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 21ක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති තනතුර සඳහා තොරා පත්කරගෙන ඇත. ඒ බොලිවියාව, කොංගෝව, එස්තෝනියාව, ගැම්බියාව, අයිස්ලන්තය, ඉරානය, මැලේසියාව, මොරොක්කෝව, නෙදර්ලන්තය, සෙනගාලය, සිංගප්පූරුව, සුරිනාම්, උගන්ඩාව, උස්බෙකිස්තානය, සැම්බියාව සහ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා වන චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යි.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය ලබන සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ වන අතර එය සැප්තැම්බර් 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් 50% ක් නෑ !
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (02) පැවති "2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.
නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළේය.
මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථිකය අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට කටයුතු කළ බවත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය .
ජාතික නීති සමුළුව මඟින් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා නුවරඑළිය සහ මෙම ස්ථානය තෝරා ගැනීම සුදුසු බව මම විශ්වාස කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට නුවරඑළියේ නිවසක් තිබූණා. බාන්ස් ආණ්ඩුකාරවරයා කියන්නෙ කෝපි වගාව සහ අපගේ වැවිලි ආර්ථිකයේ ආරම්භය ප්‍රවර්ධනය කළ තැනැත්තායි.
අප අද මෙහි හමුවන්නේ අපේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබි ගෙවී ගිය මාස 10 - 11 කට පමණ පසුවයි. නමුත් මේ මොහොත වන විට අපි රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තිබෙනවා.මේ ස්ථාවරභාවය කෙටිකාලීන දෙයක් පමණක් බව අපට වැටහෙනවා. එබැවින් මෙම අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ දුර යා යුතුව තිබෙනවා .
මීට මාස දහයකට පෙර මේ රටේ සමස්ථ ආර්ථියකම දැඩි අභියෝගයකට ලක් වුණා. එවැනි තත්ත්වයක් මිට පෙර රට තුළ ඇති වී තිබුණේ නැහැ.
නීතිය හා සාමය ,දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථීක ස්ථාවරත්වය යළි රට තුළ ඇති කිරීමට අප ඉකුත් මාස 10 තුළ කැපවී කටයුතු කළ ද ඉන් අදහස් වන්නේ අප ආර්ථික අර්බුදයෙන් මුළුමනින් මිදී ඇති බව නොවෙයි.
තවමත් අපේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී තිබෙනවා.පාර්ලිමේන්තුව වේවා, අධිකරණය වේවා, ජනමාධ්‍ය වේවා, පෞද්ගලික අංශයේ පිහිටුවා ගත් වෘත්තීය සමිති වේවා, වෘත්තීකයන් වේවා, අපේ රටේ අති බහුතරයක් ජනතාව සහ රාජ්‍ය පාලකයන් අතර සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැහැ.
මෙහිදී අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය,
පසුගිය වසර කිහිපය තුළ අභියෝග රැසක් මධ්‍යයේ වුවද නීතීඥ සංගමය සාමාජිකයන් එක්රැස් කර විවිධ තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වුණා.
2022 වසරේ එහි තේමාව වූයේ නීති වෘත්තියේ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිනිර්මාණය කිරීම සහ අනුගත වීමයි. ඉන් පසුව මේ වසර මුලදී අර්බුදයක් හරහා ගමන් කිරීමේ - නීතියේ භූමිකාව තේමාව යටතේ අපි එකට එකතු වුණා.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පෙර නොවූ විරූ දුෂ්කරතා, සහ අභියෝගවලට අප සියලුදෙනාට මුහුණදීමට සිදු වුණා. නමුත් මෙම තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට සහ ඉදිරියට යාමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම අප සියලුදෙනාගේ වගකීම කියා අප විශ්වාසය කරනවා .
නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න,
සාම්ප්‍රදායිකව ජාතික නීති සම්මේලනය කැපවී සිටින්නේ නීති වෘත්තියට අදාළව එදිනෙදා මතුවන මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය. කෙසේ වෙතත්, මෙවර ජාතික නීති සමුළුව 2023/2024 වෙනස් ප්‍රවේශයක් ගෙන තිබෙනවා. රටේ ජාතික අවශ්‍යතා සහ යහපත් අනාගතයක් සඳහා නීති ප්‍රජාවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි මෙවර සමුළුව වෙන්කර තියෙනවා .
මෙම ප්‍රයත්නයේදී අපි පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධ වී සිටිනවා. අන් කවරදාටත් වඩා දේශපාලනික සහ ආර්ථික අභියෝගයකට අපේ රට මුහුණ දී සිටින බව නොරහක්. එබැවින් අත්‍යවශ්‍ය නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණයක් රට තුළ තිබීම අත්‍යාවශ්‍ය යි.
නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රට අපේක්ෂිත දිශාවට ගෙනයාම සඳහා දූරදර්ශී, විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සහ අපේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ ආරක්ෂාව සහතික කරන නායකත්වයක් අත්‍යවශ්‍ය යි.
අපගේ වෘත්තීය ඉතිහාසයේ ප්‍රථම වතාවට, නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සංශෝධනය කළ යුතු අංශ පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමට, අපි ජාතික නීති සමුළුව වෙන් කර තිබෙනවා .
රටේ දිගුකාලීන සංවර්ධනය සහතික කරන මෙන්ම ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක සිට සංවර්ධිත රටක් කරා ගෙන යන නීති අපගේ නීති පද්ධතියට හඳුන්වා දීමට හා ඒ සඳහා නීති සම්පාදකයන්ට බලපෑම් කිරීමට අවශ්‍ය සහය සහ දැනුවත් කිරීම මෙම සමුළුව මඟින් ලබා දීම අපේ අරමුණයි.
ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති නීතිඥ ෆයිසර් මුස්තාෆා,
අද ජාතියක් ලෙස අප සිටින්නේ අර්බුදකාරී කාල වකවානුවකයි. මෙය හුදු නීතීඥ ප්‍රජාව එකමුතු කරන සම්මන්ත්‍රණවලින් එකක් නොවෙයි. ප්‍රතිපත්ති සම්පාදකයින්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක ආරම්භයක් ලෙස මෙම සමුළුව පැවැත්වීමට අපි තීරණය කළේ රට සහ ආර්ථිකය ගොඩ ගැනීම සඳහායි.
අප ජාතියක් ලෙස දියුණු වීමට නම් නීති අංශ ව්‍යවසායකත්වයේ වැදගත්කම හඳුනා ගැනීම වැදගත්. ඒ වගේම ව්‍යවසාය සහ ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යය ද පිළිගත යුතුයි.
මේ සම්බන්ධයෙන් කල්පවත්නා විසඳුම් සෙවීමේදී දේශපාලන නායකත්වය ද ඊට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. එවිට මේ සම්මේලනයේ සාර්ථක ප්‍රතිපල අපට ලබා ගත හැකි වෙනවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිපති සංජය රාජරත්නම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග, හිටපු අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිඥවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
http://www.newstube.lk/news?start=2934#sigProIdc0b47d83df
ලිට්‍රෝ ගෑස් මිල පහළට
ගෘහස්ථ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (4) පැවසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 181.00 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 83.00 කින් ද අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3186.00 ක් දක්වාද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1281 .00 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 598.00 දක්වා ද පහත වැටුණු බව මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.
පොසොන් පොහොය නිමිත්තෙන් ජනපතිගෙන් පණිවුඩයක්......
අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාළ ජීවන මග ඔස්සේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග බවයි.
ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබු, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කර යුතු බව ජනාධිපතිවරයාගේ පොසොන් පණිවුඩයේ සඳහන් විය.
අභිමානවත් රටක්, ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ දහම හා අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා පැවසුවේ, එය ප්‍රෞඪ ඉතිහාසයක් මෙන්ම දීප්තිමත් අනාගතයක් උදෙසාද අඩිතාලම දමනු ලැබූ බවයි.
බුදු දහමින් ගොඩනැගුණු මහා සංස්කෘතිය, අප මාතෘ භූමිය සිසාරා සෑම ගම් දනව්වකම පැතිර ගියා මෙන්ම අන් ආගම් හා උපසංස්කෘතීන් කෙරෙහි වු සහනශීලි බෞද්ධ පිළිවෙත සමගියේ හා සහජීවනයේ පදනම බවට පත්වූ බව විපක්ෂ නායකවරයා පොසොන් පොහොය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේ දැක්විය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය 2024 දී ඇරඹේ !
දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ප්‍රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයින් 130 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. එම විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සඳහා දායක කර ගැනීම අරමුණයි.
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායමකට මෙම වසරේ ජුලි, අගෝස්තු මාසවල මෙරටට පැමිණීමට සිදුකර ඇති ආරාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම, එම සාකච්ඡාවලින් ලබා ගන්නා තොරතුරු ගවේෂණය සහ ගෝලීය පරිසර ගැටලු සාකච්ඡා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බව ද සඳහන් කෙරිණි.
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා සහාය වීමට කොරියානු එක්සිම් බැංකුව ද මේ වන විට ඉදිරිපත්ව සිටින අතර, හාවඩ් සහ එම්.අයි.ටී. (MIT) වැනි කීර්තිමත් ආයතන ද මෙම විශ්වවිද්‍යාලය සමග සම්බන්ධවිමට කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පර්යේෂණ සඳහා පමණක් වෙන් වන පශ්චාත් උපාධි ආයතනයක් වන බව පැවසූ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස ක්ෂේත්‍රයේ සියලු ඉදිරි පර්යේෂණ මෙම ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.
විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා දායක වන ඕනෑම රටකට හෝ සංවිධානයකට විශ්වවිද්‍යාලයේ කොටස්කරුවෙකු වී විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
එසේම මෙම විශ්වවිද්‍යාලය තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා කෙටිකාලීන පාඨමාලා පවත්වාගෙන යාමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මීට පෙර පැවති සාකච්ඡාවලදී අවධානය යොමූ වූ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම, පරිසර හිතවාදී හරිත සංවර්ධනය සහ නවෝත්පාදන කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනිණි.
සමුද්‍ර දූෂණය වළක්වා ගැනීම සහ විදුලි මෝටර් රථ භාවිතය වැනි ක්ෂේත්‍ර කෙරෙහි යොමුවීමේ දී ශ්‍රී ලංකාව දක්වන පසුගාමීත්වය පිළිබඳව ද අවධානය යොමු වූ අතර එම ගැටලුවලට විසඳුම් සෙවීමේ දී පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධිය උදාහරණයක් ලෙස ගෙන මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන තනි අධිකාරියක් යටතට පත් කිරීරමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ තුළින් පාරිසරික ගැටලුවලට වඩාත් ඵලදායී විසඳුම් ලබා ගත හැකිවනු ඇති බව ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාව තුළ ආපදා වැළැක්වීමේ අධිකාරියක් නොමැතිකම බලවත් ගැටලුවක් බවත්, ආපදා අවස්ථාවලදී ඉන්දියාවෙන් ලැබෙන සහාය මත පමණක්ම රැඳී නොසිට රට තුළ ආපදා පෙර සූදානමක් ඇති කර ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) ව්‍යසන කළමනාකරණ වැඩසටහන කෙරෙහි ද සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා සහායවීමට යුරෝපීය නියෝජිත පිරිසක් කැමැත්ත පළ කර තිබෙන බවත්, ජාත්‍යන්තරව පිළිගත් කලාපීය ආපදා කළමනාකරණ වැඩසටහනක් ඇති කිරීම සඳහා මගපෙන්වීමට මෙම යුරෝපීය කණ්ඩායම ජුනි 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් අනාවරණය කෙරිණි.
පුද්ගලික අංශයේ අරමුදල්වල සහාය ඇතිව වෙනම ආපදා කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) උනන්දුවෙන් පසුවන අතර දේශගුණික විපර්යාස හා සම්බන්ධ සාගරය ආශ්‍රිත කරුණු කෙරෙහි උනන්දුවක් ඇති බාහිර ආයතන කිහිපයකින් ද ඒ සඳහා සහාය ලැබී ඇති බවත් සඳහන් විය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
තවත් වසර පහකට රනිල් ජනාධිපති කළ යුතුයි - රුවන්
රට හරි තැනකට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව වසර පහකට රටේ මුල් පුටුවේ සිටිය යුතු බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.
2048 වසර වන විට මේ රට සංවර්ධිත රටක් බවට පත්කිරීම වෙනුවෙන් මේ වන විටත් ජනාධිපතිවරයා අඩිතාලම දමාගෙන යන බවද ඔහු සඳහන් කළේය.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කටුවනදී පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ මුල්ගිරිගල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්ය.
මුල්ගිරිගල එජාප ආසන සංවිධායක ආනන්ද කුලරත්න මෙම රැස්වීම සංවිධානය කර තිබු අතර රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මෙසේද පැවසීය.
‘අභියෝග බාධා මැද පක්ෂයට විශාල සේවයක් කළ නායකයෙක් මෙතුමා. මේ මුල්ගිරිගල ආසනය ඇතුලු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවයක් කල නායකයෙක් විදියට ආනන්ද කුලරත්න මැතිතුමා හැදින්විය හැකියි.
පක්ශය පවා නොදි නායකත්වය සමග රැදී සිටිමින් නිහතමානි නායකයෙක් ලෙස එතුමා කටයුතු කරා. මේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වල මුල් අඩිතාලම යොදමින් එතුමා මේ රටට විශාල සේවයක් කරලා තියෙනවා.
දැන් අපේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න කාලය ඇවිත් තිබෙනවා.ගිය වර්ෂයේ අප්‍රේල්, මැයි මාසවල අපි තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල හිටියේ අපට සිංහල හා දමිළ අවුරුද්ද,වෙසක් සහ පොසොන් උත්සව නිදහසේ සමරන්න අවස්ථාව තිබුණේ නෑ,රට බංකොලොත් වෙලා දැඩි දේශපාලන අස්ථාවර භාවයකට මුහුණ දීලා හිටියේ.
එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණා. ගෝඨාභය මැතිතුමා පළමුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැති ධූරය බාර ගන්න ඇරයුම් කරා.ඒත් එතුමා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරලා අගමැති ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කරා.ඉන්පසුව ගෝඨාභය මහත්තයාගේ උපදේශකවරු එතුමාට පැවසුවා ආර්ථික අර්බුදයට කළමනාකරණය කළ හැකි සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව. ඒ අනුව ගෝඨාභය මැතිතුමාගෙන් ලද ඇරයුම පිළිගෙන රනිල් මැතිතුමා අපේ පක්ෂ ජේශ්ඨයින් සමඟ සාකච්ඡා කරලා 2022 මැයි 12 අගමැති ධූරය බාරගත්තා.
දැන් එතුමා IMF සමඟ සාකච්ඡා කරලා රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙළ එතුමා පියවරෙන් පියවර ඉදිරියට අරන් යනවා. රටේ ආර්ථික ප්‍රශ්න 100% ක් විසඳලා අවසන් වෙලා නෑ. ඒත් රනිල් මැතිතුමා පසුගිය වසරක කාලය තුළ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කරන්න සාධණීය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ජුනි මස විදුලි බිලෙන් ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට අපේක්ෂිතයි. ඒ වගේම මේ අවුරුද්ද අවසානයේ එතුමා රටේ ජනතාවට සහන රැසක් ලබාදීමට නියමිතයි. කෙතරම් ආර්ථික ගැටලු තිබුණත් එතුමා රටේ දිළිඳු ජනතාව අමතක කළේ නැහැ. ඔවුන්ට සහල් සහනාධාරය,රු. 5000 දීමනාව වැනි සහන ලබා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කරා.
රනිල් මැතිතුමා තව වසර 5කට රටේ මුල් පුටුවෙ ඉන්න ඕන රට හරි තැනකට ගැනීම සඳහා. 2048 මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න එතුමා දැන් අඩිතාලම දාගෙන යනවා.
මේ රටේ ඉතිහාසය දිහා බැලුවොත් අපට නිදහස ලබා දුන්නේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා, මේ රට කෘෂිකාර්මික විප්ලවයකට යොමුකරමින් බත් දුන් පියා ලෙස විරුදාවලිය ලැබුවේ ඩඩ්ලි සේනානායක මැතිතුමා,මේ රටට විවෘත ආර්ථිකය හදුන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා.මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට නිවාස හිමිකම් ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාය.
මේ වගේ දැවැන්ත නායකයින් සිටිය රටේ ආර්ථිකය ගොඩනගපු පක්ෂය තමා එක්සත් ජාතික පක්ෂය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ සියලු පාර්ශව එකතු කරගෙන රටේ ප්‍රශ්න විසඳන අවස්ථාවේ එතුමාගේ කකුලෙන් අදින කණ්ඩායමක් තවම ඉන්නවා.
මේ රටේ නැවත ආගම් භේදයක් ඇති කරන්න තවත් කණ්ඩායම් සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන උත්සාහ ගන්නවා.එදා ඩී. එස්. සේනානායක මැතිතුමා මේ පක්ෂය හදලා සියලු බලවේග එක මිටට ගෙන නිදහස දිනාගන්න කටයුතු කල ආකාරයට රටේ සියලු පක්ෂ එකතු කරගෙන මේ රට හරි තැනකට ගන්න රනිල් මැතිතුමා උත්සාහ කරන්නේ. මේ රට සංවර්ධිත රටක් කරන්න නම් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක මිටට එකමුතු විය යුතුයි .
ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පැහැදිලි ජන වරමක් ලබාගැනීමට ඔබ තමුන් වහන්සේලාගේ සහය අපට අවශ්‍යයි. අපේ පක්ෂය හැරගිය පිරිස් නැවත පක්ෂය වටා මේ වන විට නැවත ගොනු වෙනවා. මුල්ගිරිගල ආසනයේ පක්ෂ සංවිධාන ශක්තිය පෙරටම ගෙන යෑමට ඔබතමුන් වහන්සේලා ආනන්ද කුලරත්න මැතිතුමාට නිබඳ සහයෝගය ලබා දෙන්න’
විකාශන නියාමන කොමිසම ගැන තවමත් තීරණයක් නෑ !
විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරයි.
ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සදහා බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මේ වන විට යෝජනා මාලාවක් පමණක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසූ අතර ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
ඉදිරියේදී මේ පිළිබදව සාකච්ඡා කර සුදුසු පරිදි පනතක් සකස් කිරීමට නියමිත අතර ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකි බවත් ඊට අදාළව එළඹෙන 07 වනදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
රාජකුමාරි මරණයේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝගයක් !
පසුගියදා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට පත්වීමෙන් පසුව රාජකුමාරි නැමැති කාන්තාවක් මරණයට පත්වූ බව සඳහන් සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඒවා මෙතෙක් ලබා දී නොමැති බවය.
ඒ අනුව අදාළ දර්ශන ලබාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන මෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය අවිය කරන් දක්වමින් මියගිය තැනැත්තියගේ දේහය මඟදමා තිබියදී සොයා ගත් බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළ ද එසේ මෘත ශරීරයක් සොයාගත් විට අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන පවතින බවද පැවසුවේය.
එවැනි දෙයක් සිදු වූ විට අධිකරණ පෝරම සම්පූර්ණ කිරීම, සාක්කු සටහන් යෙදීම, රෝහල් පොලිස් මුරපොළ දැනුවත් කිරීම වැනි කටයුතු කටයුතු සිදුකළ යුතු වූවත් මෙම සිද්ධියේ දී එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සිදු වී නොමැති බවට සැක පහළ වී ඇති හෙයින් ඒ පිළිබඳව සොයා බලන නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඒ අනුව මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන හා ජාතික රෝහලේ සටහන් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර එම විමර්ශනවල ප්‍රගතිය ලබන 21දා වාර්තා කරන ලෙස ද නියෝග කළේය.
ගුරු මාරු ගැන විශේෂ නිවේදනයක් !
2022 වර්ෂයේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර ඊට අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතුව ඇත.
එසේම යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බව ද ගුරුවරුන්ට දැනුම් දී ඇත.
මේ අතර අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
අවුරුදු 18 සම්පූර්ණ හැමෝම බදු ලිපිගොනු විවෘත කළ යුත්තේ ඇයි?
2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කෙරෙයි.
එයට අමතරව, වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් (ජුනි 1) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස කවුද?
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන් ද නව විධිවිධානයට යටත්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ දැක්වේ
ඉදිරියේ දී බදු ලිපි ගොනුවේ අංකය ඉතා වැදගත්
අවුරුදු 18ට සම්පූර්ණ වන රටේ සියලුම දෙනාට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නේ ඔවුන් සෑම දෙනාගෙන්ම බදු අය කිරීමේ බලාපොරොත්තුවෙන් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී රජයත් සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවල දී මෙම බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් ලෙස භාවිත කරන බැවින් එය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇති බවයි.
"විශේෂයෙන් 2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපි ගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සියලු දෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලු දෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම් කිසි නියාමනයක් කිරීම රාජ්‍ය ආදායම."
"සමහරක් අයට ඒ ලිපි ගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධ වෙන්නේ ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවලට තියෙන දෙයක්. ඒ නිසා පළමු කාරණාව තමයි ඒ සියලු දෙනාගෙන් බදු අය කරන්න යනවා කියලා, සියලු පුරවැසියන් ලියාපදිංචි කරනවා කියන කාරණාව ඇතුළේ."
"මේ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මේ ජුනි මාසයේ පළමු වෙනිදා ඉදලා මේ රටේ බදු ගෙවිය හැකියැ යි කැපී පෙනෙන පන්තීන්වලට නියමයක් කරලා තියෙනවා කරුණාකර බදු ලිපි ගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරුන්, නීතිඥවරු, ඉංජිනේරුවරුන් මේ වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. ඒ වගේ කණ්ඩායම් 14කට ඒ කාරණාව පිළිබඳව සඳහන් කරලා."
" කොටස් දෙකක් තියෙනවා. දෙවන කොටසේ 2024 වසර වෙනකොට මෙතෙක් ලියාපදිංචි නොවී තිබුණු අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුයි කියන කාරණාව. ඒකෙනුත් අදහස් වෙන්නේ නැහැ සියලු දෙනාගෙන් බද්දක් ගන්න යනවා කියලා. සියලු දෙනාම මේකෙන් ලියාපදිංචි වෙලා ඒ අයට සුබසාධන දීමනා ගෙවීම් තීරණය වෙන්නේ මේ බදු ලිපි ගොනු හරහා යි."
"විශේෂයෙන් පුරවැසියෙකුට ඔහු රජය සමග තියෙන සුවිශේෂී අයිතිවාසිකම් ලියැවිල්ලක් බවටත් මේ ලිපි ගොනුව පත්වෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල මේක අනුගමනය කරනවා. රජයට හැකි අයගෙන් ආදායම් ගන්නවා වගේම රජයෙන් ආධාරයක් අවශ්‍ය අයට ඒවා ලබාදීමත් මේ බදු ලිපි ගොනු තුළින් තමයි සිද්ධ වෙන්නේ."
"එමෙන්ම ඉදිරියේදී ඔවුන් රජය සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවල දී මේ බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් ලෙස භාවිත කරනවා," මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බීසීසී
Page 164 of 444