V2025

පුවත්

'ඉංග්‍රීසි' ජාතික භාෂාවක් කිරීමට පියවර !

ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018- 2022 අධ්‍යයන වසර - ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමිනි.

විද්‍යාපීඨ සංකල්පයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේදී ජාතික පාසැල් සඳහා ගුරු පත්වීම් 1729ක් සහ බස්නාහිර පළාත සඳහා පත්වීම් 626 ක් ප්‍රදානය කරනු ලැබීය. ඊට සමගාමීව අනෙක් පළාත් 08 සඳහා ද පත්වීම් ප්‍රදානය කිරීම සිදු කළ අතර, ඒ අනුව අද දින පත්වීම් ලැබූ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව 7,342කි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට රජය කැපවී සිටින බවයි.

මෙරට ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මානව සම්පත සූදානම් කිරීමේ වගකීම් ගුරුවරයාට පැවරෙන බව ද පැවසීය.

මේ වන විට රටේ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන නමුත්, නැවතත් මෙරට ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යාමට නම් අපනයන ආර්ථකය දියුණු කළ යුතු බවත් ඊට ගැළපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමවේදයේ ද වෙනස්කම් සිදුවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

පළමුවෙන්ම අද පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. කොවිඩ් ව්‍යාප්තිය සහ රටේ ඇති වූ දේශපාලන තත්ත්වය නිසාත් වසර 02ක් වැඩිපුර තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඔබට සිදු වුණා. ඔබට එම අධ්‍යාපනය ලබාදුන් පිඨාධිපතිවරුන් ඇතුළු ගුරුවරුන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කළේ 1985 වසරේ මම අධ්‍යාපන අමාත්‍යවරයාව කටයුතු කරන සමයේදියි. මේ වන විට අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කර අවුරුදු 38ක් ගතව තිබෙනවා. මෙම අවුරුදු 38 තුළ විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුව තිබෙනවා.

එදා ජංගම දුරකථන තිබුණේ නැහැ. පරිගණක යම් ප්‍රමාණයක් පමණයි තිබුණේ. ඒ සියල්ල නිෂ්පාදනය කරනු ලැබුවේ ඇමරිකාව සහ එංගලන්තය. අද එම සමාගම් බංකොළොත් වෙලා. අද මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ චීනය, නැත්නම් ඉන්දියාවයි. මේ රටවල් දෙකේ තමයි පරිගණක නිෂ්පාදන දැනුම තිබෙන්නේ. මෙලෙස විශාල වෙනසක් සිදුව තිබෙනවා. එහි නව දැනුම එකතු වී තිබෙනවා.

අපි අද සිටින්නේ 21 වන ශතවර්ෂයේයි. නමුත් තවමත් අපට තිබෙන්නේ 20 වන ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයයි. අපි රජයක් ලෙස කැපවී කටයුතු කරන්නේ 21 වන ශතවර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීමටයි.

ආර්ථික අර්බුදයකට මුහුණ දී අද අපි ඉන් ගොඩ එමින් සිටින අවස්ථාවක්. රට තුළ ආර්ථික ස්ථාවර බවක් ඇතිව තිබුණත් නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යනවා නම් වෙළෙඳ ශේෂය දියුණු කළ යුතුයි. ඒ වගේම අපනයනයෙන් මුදල් උපයා ගත යුතුයි. එසේනම් ඊට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අප ඇති කළයුතුයි.

රටේ ආර්ථිකය ගොඩගන්නවා වගේම රටේ අනාගතය වෙනුවෙන් අපනයන ආර්ථිකයකට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ද සකස් කළ යුතුයි. ආර්ථිකය ගොඩනැගීමේ දී අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. මෙම මානව සම්පත වර්ධනය කරන්නේ ගුරුවරුන් විසින්. ඒ නිසා ගුරු සම්පත ද අප දියුණු කළයුතුයි.

අධ්‍යාපනය වෙනුවෙන් අද අපි වෙනම අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීම මෙම කමිටුවට පැවරෙනවා. දැනට ජාතික අධ්‍යාපන කොමිසමෙන් ඒ පිළිබඳ අපට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අධ්‍යාපන නවීකරණය පිළිබඳ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එක් එක් අංශ නියෝජනය කරන කණ්ඩායමක් පත් කර තිබෙනවා.

මේ වාර්තා සියල්ල අගෝස්තු මාසය අවසන්වන විට අපට ලබාදෙන්න කියලා අපි දැනුම් දී තිබෙනවා. ඒ හරහා 21 වන ශතවර්ෂයට ගැළපෙන, අදට පමණක් නොවෙයි 2050ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා.

08 වසර සමත් වූ නිසා හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් වූ නිසා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ නිසා හැම දරුවෙකුටම වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය භාරගතයුතුව තිබෙනවා. එය ආණ්ඩුවක් ලෙස අපි භාරගෙන තිබෙනවා. එසේනම් ඊට ගැළපෙන ලෙස පාසල් අධ්‍යාපනය සකස් කළයුතුයි.

සංගීතයට, කලාවට දක්ෂතා දක්වන අය සිටිනවා නම් එම හැකියාවන් වර්ධනය කර ගැනිමට අප අවස්ථාව ලබාදිය යුතුයි. විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල එම අවස්ථාව තිබෙනවා. අපත් එවන් වැඩපිළිවෙළකට යා යුතුයි. උසස් පෙළ විෂයයන් පමණක් නොවෙයි, ජීවිතයට අවශ්‍ය විෂයයන් හැදෑරීමට එමගින් අවස්ථාව ලැබෙනවා.

වසර 13ක් අධ්‍යාපනය ලබනවා නම් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍යද කියන ගැටළුව තිබෙනවා. ඇතැම් අය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවශ්‍ය නැති බවයි. ඊට උදාහරණයක් ලෙස පෙන්වන්නේ ලෝකයේ දියුණුම රට වන ඇමරිකාවයි. එහි සාමාන්‍ය පෙළ විභාගයකුත් නැහැ, උසස් පෙළ විභාගයකුත් නැහැ. අපට එය කරන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ . නමුත් අපි සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක් ගත යුතුව තිබෙනවා. එය මීට වඩා වෙනස් විදියකට පවත්වනවද, නැත්නම් සමත්, අසමත් විභාගයක් ලෙස පවත්වනවද යන්න පිළිබඳව.

අපි වසර 13ක අධ්‍යාපනයක් ලබා දෙනවා නම් විභාගයත් ඒ අනුවම පැවැත්වීමේ යුතුකමක් අපට තිබෙනවා. දැන් විභාගවල දින මාරු වෙනවා. ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා විවිධ මාසවල උසස් පෙළ විභාගය පවත්වනවා. එසේනම් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නීතියෙන් නියම කළ යුතුයි. ඒ ආකාරයට විභාග නිසි වේලාවට පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් වෙනවා.

විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා විට මට වයස අවුරුදු 21යි. අඩුම තරමින් වයස අවුරුදු 23දී විශ්වවිද්‍යාලයෙන් පිට විය යුතුයි. ඒ වගේම අද අලුත් විෂයයන් ගණනාවක් තිබෙනවා. අද අපිට ඉංග්‍රීසි භාෂාව ඉතා අත්‍යාවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ කියලා කිසිවෙකුට හැඟවෙන්න බැහැ.

19 සහ 20 වන ශතවර්ෂයේ සිංහල ලේඛකයන්, සාහිත්‍යකරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණයවී සිටිනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ, ඊ.ආර්. සරත්චන්ද්‍ර මැතිතුමා, මාර්ටින් වික්‍රමසිංහ ශූරින් මේ සියලුදෙනා ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණය වූ ලේඛකයන් වූවා.

ඒ නිසා සියලුදෙනාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ එම වැඩසටහන අපි සකස් කළයුතුයි. ඒ සඳහා පළමුව ඉංග්‍රිසි ගුරුවරුන් ලබාදිය යුතුයි. ඉදිරි වසර 05 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි ඉන්පසුව ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන යා හැකියි. ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව නොවුණත් අපේ ලිපි ගොනු ගණනාවක් තවම ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යනවා. අපි එතනට සීමා නොවිය යුතුයි. චීන භාෂාව, ජපන් භාෂාව, හින්දි, අරාබි මෙම භාෂා ඉගෙන ගැනීමට අපි අවස්ථාව සලසා තිබෙනවා.

ඒ වගේම අපේ විශ්වවිද්‍යාල පද්ධතියත් නවීකරණය කළයුතුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලසීමාව වසර 03 ද 04 ද කියා තීරණය කළයුතුයි. එසේම මේ රජ්‍ය විශ්වවිද්‍යාල ද නවීකරණය කළ යුතුයි.

මේ වන විට වසරකට සිසුන් 40,000ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා. ඒ වගේම පිරිසක් පිට රට යනවා. තවත් පිරිසක් උසස් අධ්‍යාපන ආයතනවල ඉන්නවා. ඒ නිසා රජ්‍ය විශ්වවිද්‍යාල, ජාතික විශ්වවිද්‍යාල වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමටත් අපි අවකාශ සලසා දෙනවා.
එලෙස රජයට අයත් නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඇති කරනවා නම් ඒ ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහන පොළියකට නැත්නම්, පොළී නැතිව ණය ලබාදීමට තීරණය කර තිබෙනවා.

අපේ රටේ විතරයි සිසුවෙකු කළයුතු විෂය ආණ්ඩුව තීරණය කරන්නේ. අනිත් හැම රටකම ශිෂ්‍යයන්ටත් අයිතියක් තිබෙනවා තමන් කැමති විෂය තෝරගන්න. ඒ ක්‍රමවේදය අප සකස් කළයුතුයි.

තවත් වසර 15 – 20කින් තිබෙන පංතිකාමරය මොකක්ද කියා අපි කිසිවෙකුටත් කිව නොහැකියි.. දැන් තිබෙන කෘතිම බුද්ධිය වැනි තාක්ෂණය සමග අපි ඉදිරියට යන්නේ කොහොමද කියා බැලිය යුතුයි. Chat GPT නිසා ඉදිරියේ දී ඉගැන්වීමේ ක්‍රම ද සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි සිටින්නේ විශාල පරිවර්තනය යුගයක. ඒ නිසා එම තාක්ෂණය සමග අප ඉදිරියට යා යුතුයි.

IMG 20230616 WA0005

සොයිසා රෝහලේ දුර්ලභ දරු උපතක් !

කලලය ගර්භාෂයෙන් පිට බඩවැල්වලට ඇලුනු වැදෑමහක පිහිටා තිබූ ඉතා සංකීර්ණ කලලයක් සහිත මවක් කොළඹ ද සොයිසා රෝහලේ අද (16) සාර්ථක සිසේරියන් සැත්කමකින් බිළිදියක් බිහිකර ඇත.

කින්නියා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් මෙසේ බිළිදිය බිහිකර ඇති අතර, මව සහ බිළිදිය ඉතාමත් හොඳ සෙඛ්‍ය තත්වයේ සාමාන්‍ය වාට්ටුවක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන බව ද සොයිසා රෝහල් ආරංචි මාර්ග පවසයි .

මෙය දුර්ලභ ඝණයේ දරු උපතක් වීම නිසා ත්‍රිකුණාමලය රෝහලෙන් කොළඹ ද සොයිසා රෝහලටට මාරු කිරීමෙන් පසුව කලලයට සති 28 ක් සම්පූර්ණ වී තිබීම නිසා සති 34 ක් දක්වා දැඩි වෛද්‍ය අධක්‍ෂණය යටතේ මව ද සොයිසා රෝහලේ නේවාසිකව සිටි බවත් මේ ආකාරයට ‘වැදෑමහක’ කලලය පිහිටි අවස්ථාවකදී දරුවෙක් බිහිකිරීමේදී මවගේ ජීවිතයට විශාල අවදානමක් ඇති බවත් වෛද්‍යවරු කියති.

ගැබිණි මව්වරුන් 30,000 කින් එක් අයකුට පමණ මෙවැනි දුර්ලභ කලල පිහිටීමේ සම්භාවිතාවක් පවතින බව ද කී වෛද්‍යවරු එහිදී මවට සහ දරුවාට ප්‍රසූතියකදී විශාල සංකූලතා ඇතිවිය හැකි බව සඳහන් කරති.

විශේෂඥා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, නිර්වින්දන විශේෂඥා වෛද්‍ය හර්ෂනී ලියනගේ, විශේෂඥා වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥා වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් ඇතුළු වෛද්‍යවරු ඇතුළු තිස්දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධව ඇත.

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග සංවර්ධනය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අදාළ අංශ වෙත උපදෙස්දී තිබේ.

මෙම ව්‍යාපෘතිය ප්‍රමාදවීමට බලපා ඇති කරුණු වෙන් වෙන්ව අධ්‍යයනය කරමින් මතුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙසද බලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු අඩාලවීමට ජනතා ගැටලු බලපා ඇත්නම් ඒවා විසඳා ගැනීමට මැදිහත්වන ලෙසද ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම උපදෙස් ලබාදුන්නේ ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටස (Low level Road) අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.

විදේශාධාර මත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර සමස්ත මාර්ග කොටසේ දිග කිලෝමීටර් 7.7කි.

2023 මැයි මාසය වනවිට මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල භෞතික ප්‍රගතිය 85%ක් වන අතර දෙවන අදියරේ ඉදිකිරීම්වල භෞතික ප්‍රගතිය 80%ක් ලෙස වාර්තාවී තිබේ.

2016 ජනවාරි මාසයේ දී ආරම්භවූ මෙම ව්‍යාපෘතිය 2020 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණද අදාළ කොන්ත්‍රාත් සමාගමේ දුෂ්කරතාවයන්, ව්‍යාපෘතිය නිසා ඉවත් කිරීමට සිදුවූ නිවාස සඳහා වන්දි ලබාදීම, අදාළ මාර්ගය ඔස්සේ එලන ලද ජලනළ නිසා මතුවු ගැටලු හා වෙනත් පොදු ගැටලු කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

රජයේ දෙපාර්තමේන්තු 02ක් ඈවර කර වසා දැමේ

රජයේ දෙපාර්තමේන්තු 2 ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමග අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබේ.

තව ද, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 02 වැනි වගන්තිය යටතේ සංස්ථාපිත නියෝගයක් මගින් සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ බව 1990 පෙබරවාරි මස 6 වන දිනැති අංක 596/11 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ද ඈවර කර වසා දැමීමට තීරණය කර ඇත.

ජෙරම්ට එරෙහිව තවත් විමර්ශනයක් !

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම්දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකළ රිට් පෙත්සම අද (15) සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මෙම දැනුම්දීම සිදු කළේය.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ටෙලිකොම් සම්බන්ධ පෙත්සම් 02ක් නිෂ්ප්‍රභා කෙරෙයි !

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කෙරිණ.

පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉකුත් මාර්තු මස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බව සඳහන් කළේය.

ඒ පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කෙරෙන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා සිදු කළ අයවැය ප්‍රකාශය තුළින් ද මෙම කරුණ සඳහා අනුමැතිය ලැබී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවටද මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණි.

එම චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා බ්‍රිතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සන්දේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ආකාරයට අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවොත් විදේශ ආයෝජකයින් මෙරටට පැමිණීම මගහැර වෙනත් රටවල් කරා ඇදී යාමට හැකියාව තිබෙන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මෙම ක්‍රියාවලිය හරහා ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවන්ටත්, එහි ග්‍රාහකයින්ටත් අගතියක් සිදු වන බවට පෙත්සම්වලින් චෝදනා කර තිබුනත් එය ද පදනම් විරහිත බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාදාමය හරහා ලැබෙන වාසිය ටෙලිකොම් ආයතනයට පමණක් නොව එහි කොටස්කරුවන්ටත්, ග්‍රාහකයින්ටත් හිමිවන අතර මෙය සැමටම ජයග්‍රහණය ගෙන දෙන වැඩපිළිවෙලක් බවත් අවධාරණය කර සිටියේය.

ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් පෙත්කසම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන හෙයින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ලබා දුනි.

online ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ය.

යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ලෝකයේ සෑම රටක ම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට එවැනි ක්‍රමවේදයක් භාවිතා වන අතර ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන එලෙසින් ම ඇතුළත් කිරීමට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද (ජූනි 15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කරමිනි.

විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩා ත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයැදුම් කිරීමට මේ සමග අවස්ථාව සැලසේ.

ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකට ම හඳුන්වාදී උපතේ සිට මරණය දක්වා මහජනතාවට අවශ්‍ය සියලු ම ලිපි ලේඛන එක් වහලක් යටදී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

“විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්. ඊළග වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයක ම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.

අපි දියුණු රටක් ලෙස ඉදිරියට ගමන් කරනවා නම් ඩිජිටල්කරණය අත්‍යාවශ්‍යයි. එහි ආරම්භය අද මෙම ස්ථානයේ දී සිදුවනවා. ඇතැම් දෙපාර්තමේන්තු තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇතැම් දෙපාර්තමේන්තු මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට යාමට කැමතියි, කුමන හෝ හේතුවක් නිසා ඇතැම් දෙපාර්තමේන්තු සහ ආයතන මේ කටයුත්තට අකමැතියි. නමුත් මේ සියලු දෙනා එක මට්ටමකට ගෙන ඒමයි අපේ අපේක්ෂාව වන්නේ. මේ වගකීම මුලින් ම ආරම්භ කළ ටිරාන් අලස් මැතිතුමාට සහ එම අමාත්‍යාංශයට මම ස්තූතිවන්ත වෙනවා.

මාතෘ නිවාසයේ සිට සුසාන භූමිය දක්වා තිබෙන ලියකියවිලි කටයුතු එක අමාත්‍යාංශයකට මම භාර දී තිබෙනවා. ආගමන, විගමන බලපත්‍ර, ජාතික හැදුනුම්පත් ලබා දීම මේ සියල්ල අපේ ජීවිතයට අදාළ කරුණු. ඒ නිසා ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය ඒ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මෙම කටයුත්ත පැවැත්වෙන්නේ හෝමාගම ප්‍රදේශයේ නිසා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහභාගිවෙලා සිටිනවා. මම හිතුවා මාධ්‍යවේදීන් මෙතනට ඇවිත්, “අපේ මාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය නැති කරන්න යනවා, උතුරු කොරියාව වගේ තත්ත්වයක් ඇති කරන්න යනවා” කියලා විරෝධය දක්වයි කියලා.
මම දන්නේ නැහැ ඇයි මාධ්‍ය මෙවැනි වැඩපිළිවෙළක් ගෙනියන්නේ කියලා. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාස නීතිය තිබුණා. මම එය ඉවත් කළා. මම හිතන්නේ නැහැ ආසියානු කලාපයේ කිසිදු රටක එය ඉවත් කර තිබෙනවා කියලා.

අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළා නම් ඇයි දැන් ඒක නැති කරන්න හදන්නේ. කිසිවෙකුට එය ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. මේ සියලු දෙනාට වඩා මට තිබෙනවා මාධ්‍ය සමග සම්බන්ධතාවක්. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නැති කරන්න අපි කාටවත් අවශ්‍ය නැහැ.

නමුත් මෙතැන තිබෙන්නේ වෙනත් ගැටලුවක්. ලෝකයේ සෑම රටක ම මාධ්‍ය මගින් යම් අගතියක් සිදු වූ විට ඒ අයට සහනයක් ලබා ගැනීමට වැඩපිළිවෙළක් තිබෙනවා.

මෙතන රාජ්‍ය සේවකයෝ සිටිනවා. කී දෙනෙකුට විද්‍යුත් මාධ්‍ය මගින් දොස් නගා තිබෙනව ද, ඇතැම්විට කරුණු රහිතව කී දෙනෙක් ගැන විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ සිදු කරනවා ද? දැන් ඒ අයට තිබෙන සහනය මොකක් ද? සාමාන්‍ය අයට පමණක් නෙවෙයි මට ත් එම ගැටලුව තිබෙනවා.

දැන් කුරුන්දි විහාරය ගැන එක එක ප්‍රකාශ සිදු කරනවා. මම එහි දෙමළ ජනතාව පදිංචි කරන්න යනවා කියලත් කියනවා. මම එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේට දැනුම් දුන්නා මේ රජයේ ඉඩම්. ඒවායේ අපි දෙමළ, සිංහල හෝ මුස්ලිම් ජනතාව පදිංචි කරවන්නේ නැහැ කියලා ඔවුන්ට දැනුම් දෙන්න කියලා.

අනිත් පැත්තෙන් කෑ ගහනවා තිරියාය කඩලා එතන ගොඩනැගිල්ලක් හදන්න යනවා කියලා. එලෙස කිසිවක් නැහැ. ඒ ගැන ටිකක් හොයලා බැලුවොත් 2018 පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉඩම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කරන ලෙස මම උපදෙස් දුන්නා.

විශේෂයෙන් මට මේ ගැන සොයා බලන්න බැරි නම් කොහොම ද සාමාන්‍ය පුද්ගලයෙක් එම සහනය ලබා ගන්නේ. එම සහනය ලබා දීමට පමණයි අපි කටයුතු කරන්නේ. තවම මෙම කෙටුම්පත් එකක්වත් අවසන් කර නැහැ. මම උපදෙස් දී තිබෙන්නේ එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන මේ සදහා ඇතුළත් කිරීමට.

තමන් ගැන අසත්‍යයක් ප්‍රකාශ කළොත්, එයින් තමන්ගේ චරිතයට හානියක් සිදු වුණොත් කී දෙනෙකුට නඩු කියන්න පුළුවන් ද, ඉතින් මේ ආයතනය පිහිටුවීමෙන් එම ආයතනයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී මාධ්‍යයට අවාසියක් සිදු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශන තිබෙනවා. එම මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතුයි.

මම නීතිපතිතුමාට දැනුම් දී තිබෙන්නේ මේක එක්සත් රාජධානියේ වචනවලින් ම සඳහන් කරන්න කියලා. මොකද තීරණ ලබාදීමේදී පූර්වාදර්ශයන් එහිදී අපට ලබාගත හැකියි.

ඒ වගේ ම ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඇතැම් මාධ්‍යවලට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටවත් බලපත්‍ර ලබා දී නැහැ. ඇතැම් අයට තිබෙන්නේ අධ්‍යාපන බලපත්‍ර. මේ සියල්ල නිවැරදි කිරීම තමයි අපේ අරමුණ. එසේ නැතිව වෙන කිසිවක් නැහැ.

දැනටමත් විකාශන බලපත්‍ර අහෝසි කිරීමට අමාත්‍යවරයාට බලයක් තිබෙනවා. මේ පනතින් යෝජනා කරන්නේ ඕනෑම කෙනෙකුට අධිකරණය වෙත ගොස් සහනයක් ලබා ගන්න අවස්ථාව සැලසීමයි. අධිකරණයට යන යෝජනාව විරුද්ධ නම් ඇමතිතුමාට ඒ බලය තියා ගන්න කියන්න. අපි උත්සහ කරන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුව මෙය ඉදිරියට ගෙන යාමට යි.

ඇතැම් රටවල වසර දහයෙන් දහය බලපත්‍රය අලුත් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි අදායමක් ලබා ගැනීම සඳහා යි. අපි මේ හැම බලපත්‍රයක් ම නොමිලේ ලබා දුන්නා. එය ලබාගත් ඇතැම් අය එය විකිණුවා. ලාභය ලැබුණේ රටට නෙවෙයි ඔවුන්ගේ සාක්කුවටයි.

මෙම ක්‍රමවේදය ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ. විද්‍යුත් මාධ්‍ය මගේ ගෙදර ගිනි තැබුවා පමණක් නෙවෙයි වටිනා පොත් 3000ක් විතර නැති කළා. ඒක මට වුණු පාඩුවක්. දැන් මේ ඉල්ලා සිටින්නේ ගෙවල් ගිනි තියන බලපත්‍රය ඕන කියල ද ?

අද මෙම ස්ථානයට අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සහභාගි වී සිටිනවා. මම විශේෂයෙන් එතුමාට ස්තූති කළ යුතුයි මේ හෝමාගම දියුණු කිරීමට එතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව. මාධ්‍යයට මම කියනවා කිසිදු බියක් තබා ගන්න එපා. ඕනෑ ම ගැටලුවක් ජනමාධ්‍ය අමාත්‍යවරයා සමග කතා කරන්න කියලා.”

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්…

“ජනාධිපතිතුමා මට මේ අමාත්‍යංශය භාර දෙනවිට ආයතන හතරක් භාර දුන්නා. ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පිළිබඳ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අධිකාරිය එම ආයතන හතර වෙනවා.

එම ආයතන ලබා දීමේදී ජනාධිපතිවරයා මට උපදෙස් ලබා දුන්නේ මහජනතාවට හරිහමන් සේවාවක් සැපයීම විධිමත් කරන්න කියලයි. මීට මාස ගණනකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව ගාව විශාල පෝලිම් තිබුණා. ඩිජිටල්කරණය හඳුන්වාදීම මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මීට මාසෙකට පෙර සිට පෝලිං නැති කිරීමට අපට හැකි වුණා. අද අප මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ආරම්භ කර තිබෙනවා. මෙම මාර්ගත ක්‍රමය ඔස්සේ දවස් තුනෙන් බලපත්‍ර ලබා ගන්නා අය සඳහා රුපියල් 15,000කටත්, දින 14න් ගමන් බලපත්‍ර ලබාගන්නා අයට රුපියල් පන් දාහකටත් බලපත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේ ම ඉදිරියේදී සුහුරුපාය ගොඩනැගිල්ල තුළ ජනතාවට උපතේ සිට මරණය දක්වා අවශ්‍ය ලිපි ලේඛන එක වහලක් යටින් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.”

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක්  සමුළුවට ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇරයුම් !

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබේ.

මේ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ‘වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම’ යන තේමාව යටතේ ජුනි මස 22 සහ 23 යන දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත් වේ.
ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීමේ සිට කොවිඩ්-19 වසංගතයේ බලපෑම, යුද ගැටුම් ඇතුළු ගැටලු රැසකට ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටිති. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා නව මූල්‍ය ගිවිසුමක අවශ්‍යතාව හඳුනාගෙන ඇති ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් සමුළුව සඳහා සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනාවක් සිදුකර තිබේ.

බහුපාර්ශ්වික මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන කාබන්වලින් තොර, ගෝලීය ආර්ථිකයකට මාවතක් තැනීම සඳහා හවුල් දැක්මක් ස්ථාපිත කිරීම සමුළුවේ තවත් අරමුණකි.

නවදිල්ලියේ පැවැත්වීමට නියමිත G-20 නායකයින්ගේ 18 වන සමුළුව, නිව්යෝර්ක්හි පැවැත්වීමට නියමිත තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ඩුබායි හි පැවැත්වීමට නියමිත COP-28 සමුළුව ඇතුළු ඉදිරි වසරේ ජාත්‍යන්තර දින දර්ශනයේ ප්‍රධාන සාකච්ඡා සහ සමුළු සමඟ බ්‍රිජ්ටවුන් මුලපිරීම (Bridgetown Initiative) ඇතුළු විවිධ න්‍යායපත්‍ර ගණනාවක් සම්බන්ධ කිරීමට සත්කාරක රට ලෙස ප්‍රංශය ප්‍රයත්න දරයි.

රාජ්‍ය නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගේ සන්ධානයක් ගොඩනඟමින්, සාමූහික දැක්මක් තුළ තිරසාර අනාගතයක් සඳහා අවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීම මෙම සමුළුවෙන් අවධාරණය කෙරේ.

ඉදිරි පරම්පරාවන් සඳහා යහපත් අනාගතයක් ගොඩනැගීමේ දී සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කරන අතර අතීත ජයග්‍රහණ අභිබවායමින් ආර්ථික, සමාජීය සහ පාරිසරික ප්‍රාග්ධනය පෝෂණය කිරීමේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට මෙම සමුළුව මනා පිටිවහලක් වනු ඇත.

ලංකාවට ඉන්දියාව දුන්න සහාය ඇමරිකාවේ පැසසුමට !

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයේ දී ඉන්දියාව ලබාදුන් ක්‍රියාකාරී සහාය ඉතාමත් වැදගත් වූ බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පැවැසුවාය.

වොෂින්ටනයේ පැවති එක්සත් ජනපද සහ ඉන්දියානු ව්‍යාපාරික කවුන්සිල සමුළුවේදී යෙලන් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

පසුගිය මාස හයක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ක්ෂේත්‍ර කිහිපයක ප්‍රගතියක් ලබා තිබෙන බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය සාර්ව ආර්ථික වර්ධන වේගය සහ ස්ථාවරත්වය අවදානමට ලක් කරන බවත් යෙලන් මහත්මිය එහි දී පෙන්වා දී තිබේ.

ණය අර්බුදයට මුහුණ දී සිටින රටවලට අවශ්‍ය වේලාවට පුළුල් ණය සහන ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇතත් ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි අවස්ථාවේදී සහාය වීමට අවශ්‍ය ක්‍රියා ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් යෙලන් මහත්මිය එහි දී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය වීම සඳහා ගත් ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ඉතා වැදගත් වූ බව යෙලන් මහත්මිය එහි දී පෙන්වා දී තිබේ.

Lankadeepa

පාස්පෝට් හදන්න කොළඹ එන්න ඕන නෑ !

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන සේ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රම වේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදුකල හැකිය.

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමෙ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සිට ආරම්භ කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බවත් මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන බවත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඒ අනුව නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇත.

අදාළ පහසුකම සහිත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පහත දැක්වෙයි .

online

උපාධිධාරී ගුරුවරුන් 5500ක් සේවයට !

උපාධිධාරි ගුරුවරුන් 5500ක් ළඟදීම බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මීට අමතරව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට 16 වනදා පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

විද්‍යාව, ගණිතය, තාක්ෂණය,භූගෝල, භාෂා සහ වානිජ යන විෂයන් සඳහා භාෂා මාධ්‍ය තුනෙන්ම එම ගුරුවරු බඳවා ගන්න බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ ය.

බඩඉරිඟු වගාවට හොඳ දසාවක් !

ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන මඟින් සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙි.

අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් හෙක්ටයාර් 16,000ක භූමියක එම බඩ ඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කෙරෙයි.

උසස් තත්ත්වයේ දෙමුහුන් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වෙඩි තියලා සෙල්ලම් දාලා : හොරණ සජබ සංවිධායකයකු අත්අඩංගුවට !

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායකවරයකු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (14) අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා සන්තකේ තිබූ මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවිය සහ සහ ජීව උණ්ඩ තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව දැනගන්නට ඇත.

මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රීවරයා සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ManKiwwa මෘදුකාංගයට ජාත්‍යන්තර සම්මානයක් !

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජංගම දුරකථන යෙදුමට World Summit Awards සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සම්මානයක් හිමිවී ඇත.

පසුගියදා මෙක්සිකෝවේ පැවැත්වූ World Summit Awards මෘදුකාංග සම්මාන උළෙලේදී මෙම ManKiwwa මෘදුකාංගයට සම්මානය හිමි වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත සහය දක්වන ලොව හොඳම මෘදුකාංග විසඳුම් අතරින් එකක් ලෙසයි.

ගමේ නගරයේ පොදු ගැටළු ඊට අදාළ රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් දැනුම්දීම සඳහා මෙම ජංගම දුරකථන යෙදුම මහජනතාවට පහසුකම් සලසන බව එහි නිර්මාතෘ ශොහාන් කුලසූරිය පවසයි .

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් යුධ හමුදා වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තාවක්

කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ජූනි 1 දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිග ම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබේ.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබීය.

ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහය වන ලදී.

යුද්ධ හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය ජුනි 01 දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී ඉවත් කරන ලද අතර, මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වේ.

ශල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද වකුගඩු ආශ්‍රිත ගල යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ ශල්‍යකර්මය සිදු කළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පෙන්වනු ලැබීය.

ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිග වේ. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=2952#sigProIde3690c4a90

තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයාගේ මරණය අභිරහසක්

තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍ය කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයකගේ මරණය අභිරහසක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳ තදබල විවේචකයෙකු වූ වෛද්‍ය අමිල සදකැලුම් දිසානයක, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් මේ වන විට පවත්වාගෙන යන නීති විරෝධී වකුගඩු ජාවාරමට එරෙහි පරීක්‍ෂණයේදී මෙම නීති විරෝධී ජාවාරමේදී සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සිදු කොට තිබෙන මාතර දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සහ වෛද්‍ය මොනික් අඹේපිටියට විරුද්ධව සාක්‍ෂි දීමටද සූදානමෙන් සිටි අයෙකි.

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිට සහ වෛද්‍ය මොනික් අඹේපිටියට මෙන්ම බොරැල්ලේ වෙස්ටර්න් රෝහලට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාරක සභිකයන් වන වෛද්‍ය ජයන්ත ජයවර්ධන සහ වෛද්‍ය එස් ෂන්මුගම් යන අයගේ ප්‍රධානත්වයෙන් විභාග වන මෙම පරීක්‍ෂණයේදී වෛද්‍ය අමිල සදකැලුම් දිසානයකගේ සාක්‍ෂි අතිශයින්ම වැදගත්කමක් දරන්නට තිබූ බව වකුගඩු ජාවාරම් විරෝධී වෛද්‍යවරු කණ්ඩායමක් පෙන්වා දෙති.

මේ නිසා වෛද්‍ය අමිල සදකැලුම් දිසානයක ගේ මරණය සැක සහිත බව මෙම වෛද්‍යවරු පවසති. නාරම්මල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු වූ සදකැලුම් දිසානයක දින තුනක පමණ කාලයක් සේවයට නොපැමිනිමේ හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි කාමරයේ මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.

ටෙලිකොම් හී ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක කමිටුවේ අනාවරණයක් !

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාව සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බව අද (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති සරත් වීරසේකර  පැවසූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළොත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගිය හැකි බවයි.

ලේක්හවුස් උපදේශකයන් 2කට වැඩක් නැතුව ලක්ෂ 27ක් වැටුප් ගෙවලා !

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ හිටපු උපදේශකවරුන් දෙදෙනෙකුට කිසිදු සේවයක් ලබා නොගෙන රුපියල් ලක්ෂ 27ක මුදලක් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් ) තොරතුරු අනාවරණය විය.

ඔවුන් දෙදෙනා පත්කර ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ නිර්දේශ මත බවත් අනාවරණය වී ඇත.

කෝප් කමිටුවේදී අනාවරණය වූ ආකාරයට මින් එක් උපදේශකයකු සමාගමට 2020 දෙසැම්බර් 07 වන දින උපදේශකවරයෙකු ලෙස බඳවා ගෙන රුපියල් ලක්ෂ 18 ක මුදලක් ගෙවා ඇත.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ 2020 හා 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබද විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අතර මෙම තොරතුරු එහිදී අනාවරණය විය.

එසේම ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිදහස් කර තිබූ තවත් උපදේශකයකු සදහාද සමාගමට කිසිදු සේවයක් නොගෙන උපදේශක ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 9 ක මුදලක් ගෙවා ඇතැයි විගණකාධිපතිවරයා කරුණු පෙන්වාදී ඇත.

මේ සඳහා එවකට අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු බවද කෝප් කමිටුව පෙන්වා දුන්නේය.

මේ අතර රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු අලෙවි ප්‍රධානියාට රුපියල් ලක්ෂ 25 ක පාරිතෝශික ගෙවීම පිළිබද පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කමිටුව නියෝග කළේය.

මේ අතර ආයතනයේ සිටි 1200 කට ආසන්න සේවක සංඛ්‍යාව මේවන විට 972 දක්වා අඩුකොට ඇති බවත් මෙම ප්‍රමාණය 850 දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති අනුෂ පැල්පිට මහතා මෙහිදී පැවසීය.

Page 165 of 448