Ad

Ad 01

V2025

පුවත්

ඉතිහාසයේ පුළුල්තම සන්ධානය සූදානම් : අපේක්ෂකයා රනිල් - රවී වෙඩිමුරය පත්තු කරයි !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේය.

පසුගිය සමයේ තමන් ඇතුළු පිරිසක් නිහඬ කාර්‍යයක නිරතවූ බවත් ඒ අනුව මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ සංවිධාන රැසකින් සමන්විත ඉතිහාසයේ පුළුල්තම දේශපාලන සන්ධානය ගොඩනැගීමට සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය .

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේ පිළිගැනීමේ කතාව සිදුකරමිනි.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප නායකත්ව මණ්ඩලය ප්‍රධාන පාක්ෂිකයින් රැසක් මෙම විශේෂ මහ සමුළුවට සහභාගි ව සිටි අතර එළැඹෙන වසරේ සිට ක්‍රියාත්මක වන පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මත කිරීමද එහිදී සිදුවිණ .

මෙම අවස්ථාව අමතමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද සඳහන් කළේය .

අද දවස කියන්නේ ඓතිහාසික දවසක් අපි මේ පවත්වන්නේ 77 වෙනි සම්මේලන පමණක් නොවේ මේ විශේෂ සම්මේලනයේ පක්ෂය අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදෙනවා. ඇත්ත වශයෙන්ම අපි යූඑන්පී කියන්නේ පවුලේ පක්ෂයක් නෙමෙයි මේකේ වටිනාකම කියන්නේ අපේ පක්ෂය පවුලක් ලෙස කටයුතු කිරීමයි. ඒ නිසයි අපි එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ. පක්ෂය ගැන කිවුවහම අපට එකමුතුභාවය,දර්ශනයක් වැඩපිළිවෙළක්, බලය ගැනීම සඳහා පක්ෂ යාන්ත්‍රණයක් පාක්ෂිකයන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව රටේ බලගතුම පක්ෂය ඇති කිරීම සඳහා මම විශේෂ ආරාධනයක් කරනවා. ඒ තමයි කුමන හෝ හේතුවක් මත එක්සත් පක්ෂය හැරදමා ගොස් සිටින සියලු දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසයි.

අපේ එකමුතුභාවය සමගියට අත්‍යවශ්‍ය වෙනවා හැර ගිය පවුලේ සාමාජිකයන්ට පමණක් නොවේ මේ රටේ අනාගතය බාරගන්නා ඉන්න තරුණ තරුණියන්ට සහ වැඩිහිටියන් සියලු දෙනාට විවෘත ආරාධනාවක් කරනවා.

රටේ ආර්ථිකය වගේම ජනතාවගේ ආර්ථිකයත් පහත වැටුණු හැම අවස්ථාවකම යළිත් නඟා සිටුවීමේ කාර්යභාරය හැම අවස්ථාවකම සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයයි.
යූඇම්පී කියන්නේ හැමදාමත් ඇත්ත කියපු පක්ෂයක්. දුරදිග දැකපු පක්ෂයක්. නිවැරදි දේ හරි ආකාරව කියපු පක්ෂයක්. අමිහිරි වුවත් ජනප්‍රිය දේශපාලනයෙන් බැහැර වූ පක්ෂයක්.

UNP කියන්නේ රට හදන පක්ෂයක්. අපට මහවැලි වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්,වරායවල්, මහපොළ,ගෙවල්,වෙළඳ කලාප,කර්මාන්තපුර, නව තාක්ෂණය ආදී විශේෂ දේවල් රටට හඳුන්වා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

එක්සත් ජාතික පක්ෂයේ වැදගත්ම සංධිස්ථානය ලෙස හැරී බලනකොට 1948 අපි නිදහස ලබා ගත්තට පසු 1977 දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් අපේ රට ලෝකයට එක්සත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම 2015 රට වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා එවක අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ වගේම 2022 රට බංකොලොත් වුන අවස්ථාවේ යලි රට ඔසවා තැබීමේ භාරදූර කාර්යභාරය පැවරුණේ එක්සත් ජාතික පක්ෂ නායකයාටයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදෙනාම එකතු කරන්න පුළුවන් පක්ෂයක්. වර්තමානයේ විපක්ෂය සුරංගනා කතා කියන්න පුළුවන් විවිධ බිල්ලො මවන්න පුළුවන්,අන්තවාදය වපුරන්න පුළුවන්,මෙවැනි නොමඟ යවන ක්‍රියා සිදු කළත් හැමදාමත් එක්සත් ජාතික පක්ෂය වට්ටන්න පුළුවන් වුණේ නෑ.

මේ රටේ වැටුණු ආර්ථිකය නඟා සිටුවන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට බව අපි 2015 වර්ෂයේදී ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නලා දුන්නා. එවක මුදල් ඇමැතිවරයා වශයෙන් මම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සිදු කරනු ලැබුවා.

රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 10000 කින් වැඩිකිරීමටත්, ගෑස් ඉන්ධන සහ ජනතාවගේ අත්‍යවශ්‍ය ජීවන වියදම පහත හෙලීමට අපට හැකි වුණා.
ඒ වගේම තමයි අපි නව තාක්ෂණය රටට හඳුන්වලා රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ 2015 වර්ෂයේ දී. නමුත් ඇතැම් අයගේ බාධා නිසා එය කඩාකප්පල් වුණා.යහපාලන ආණ්ඩුව අමාරුවෙන් හදපු රටේ ආර්ථිකය යළි 2022දී බංකොලොත් භාවයට පත් කළා. ගෑස් නැතුව, තෙල් නැතුව,විදුලිය නැතුව, ආහාර නැතිව, පොහොර නැතුව,ඩොලර් නැතුව, තිබුණු අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වෙලා ජනතාව මුහුණ දී සිටි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ක්‍රියා කළේ.

මාස දෙකක් වැනි කෙටි කාලයකදී පාර්ලිමේන්තුවේ සහෝදර පක්ෂ සමඟ එකට හිඳිමින් මේ තනි අලියට හැකි වුණා.අද හැමතැනින්ම කතාවට ලක් වන්නේ එතුමා කළ විශිෂ්ට ක්‍රියාව පිළිබඳවයි.

අද හන්දි ගානේ කයිවාරු ගහන සියලු දෙනාමත් නිහඩව පිලිගන්නවා ඉදිරි දැක්මක් ඇතිව වැඩ කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව.

එක්සත් ජාතික පක්ෂය හැමදාම කළේ වැටුණු ආර්ථිකය හදන වැඩේ නමුත් ඒ හැම අවස්ථාවකම අපිට බලය අහිමි වුණා. ඒක එහෙම වුණේ අපි හැමදාමත් රට ගැන හිතුවට අපි පාක්ෂිකයා ගැන යම් ප්‍රමාණයකට අමතක කරලා තිබුණ නිසයි.තිත්ත වුණත් ඇත්ත ඒකයි. අන්න ඒ නිසා තමයි අපිට පසුගිය මැතිවරණයේදී ලක්ෂ තිහකට ආසන්න පාක්ෂිකයන් පිරිසක් ඡන්දපොළට එන්නැතුව බලාගෙන සිටියේ. අන්න ඒ නිසා තමයි අපි අලුත් ගමනක් සඳහා පක්ෂයේ නව ව්‍යවස්ථාවක් ඇති කරමින් සියලු දෙනාටම එකට එකතු වෙන්න පුළුවන් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන්න යන්නේ. අපි ඒ තුළින් බලාපොරොත්තු වන්නේ 2024 වර්ෂයේදී ජයග්‍රහණයේ මාවතකට ගෙන ගොස් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කරගත් ආණ්ඩුවක් බිහි කිරීමටයි.

අපේ අඩුපාඩු තිබෙන්න පුළුවන් හැබැයි දැන් වෙලාව එම අඩුපාඩු හදාගෙන නිහඬව සිටීම පාක්ෂිකයන් අවදි කරගෙන රට සංවර්ධනය කරන්න පුළුවන් මාවත කරා ගෙන යෑමේ වැඩපිළිවෙලට සහාය දෙන ලෙස මම සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. අපි රට හදන වැඩේ සිදු කරන ගමන් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා ශක්තිමත් කරන යාන්ත්‍රණයක් සිදුකල යුතුයි. මෙම ඓතිහාසික සම්මේලනය සිට මම සියලු පාක්ෂිකයන්ට පොරොන්දුවක් දෙනවා අපේ ආණ්ඩුවක් බිහි වුණු දාට සියලුම පාක්ෂිකයාට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බවට. එක්සත් ජාතික පාක්ෂිකයා හැමදාමත් දර දිය අදින තැන තියන් නැතුව පෙරහරේ යන මාවත කරා රැගෙන යාමටයි අපි කටයුතු කරන්නේ.

අපි මේ වන විට සියලු සියළු පක්ෂ සමඟ සාකච්ඡා කර පුළුල්ම සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකරමින් පවතින මොහොතක් මේ සඳහා සියලුම ජනතාව ඒකරාශී කරන වැඩපිළිවෙළක් අපි මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා සමහරු අපෙන් අහනවා කෝ ඡන්දෙ කියලා අපි නියම වෙලාවට ඡන්දය තියන්න ලෑස්තියි.

2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් ඒ තුළින් ලබාගන්නා ජයග්‍රහණයක් එක්ක රට සීඝ්‍ර සංවර්ධනයක් කරා රැගෙන යාමට අපි කටයුතු කරනවා.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එක් එක්කෙනා තැන් තැන්වල භේද භින්න ඇතිකරගත යුතු වෙලාවක් නෙමෙයි මේ, හැමදෙනාම එකාමෙන් එකට එකතු වී රට වැටී තිබෙන අර්බුද වලින් ගොඩ ගැනීමට සමගියෙන් සහ සංහිඳියාවෙන් කටයුතු කරන්න මේ විශේෂ සමුළුවේදී අදිටන් කරගමු.

IMG 20231022 WA0005

මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

හෙට (23) පස්වරු 02.30 දක්වා මෙම නිවේදනය වලංගු වන බව එහි සඳහන්ය.

එමඟින් දැනුම් දී ඇත්තේ, නිරිතදිග සහ ඊට යාබද - බටහිර බොක්ක ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස‍යි.

මධ්‍ය - බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉදිරි පැය 24 තුළ දී තවදුරත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බංග්ලාදේශ වෙරළ වෙත (ශ්‍රී ලංකාවෙන් ඉවතට) ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බව දැනුම් දී තිබේ.

උතුරු අක්ෂාංශ 12 සහ 20ත් නැගෙනහිර දේශාංශ 83 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් (40-45) පමණ වන අතර, විටින් විට පැ‍යට කිලෝ මීටර් (50-60) දක්වා වැඩි විය හැකි බව සඳහන් වේ.

ඉහත කී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර, තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැක.

ඒ අනුව, උතුරු අක්ෂාංශ 12 සහ 20ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේ දී අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දී තිබේ.

එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධ ව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ‍ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම බදු අය කරන රටක් - IMF

ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම බදු අය කරන රටවල් අතරින් එකක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

වර්තමානයේ රට මුහුණ පා සිටින මූල්‍ය අර්බුදයට එය ප්‍රධාන දායකත්වයක් දක්වා ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධි විධාන පිළීබඳ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මෙරට ණය වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඇති සංවර්ධනයන් පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පවසා ඇත.

2009 වසරේදී සිදු කළ බදු කිරීම් රටට දරාගත නොහැකි වී ඇති බව ඔහු එහිදි පවසා ඇති අතර, රාජ්‍ය ආදායම ඉහළ නැංවීම ණය වැඩසටහනනේ ප්‍රධාන අංගයක් ලෙස ඔහු පැහැදිලි කර ඇත.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ 2025 වසරේදී දේපළ බද්ද එම වසරේ රජයේ අතිරේක ආදායමේ ප්‍රදාන මූලාශ්‍රයක් වනු ඇති බවයි.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබේ.

 අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තාවේ.

මියයන විට ඔහු 64 වන වියෙහි පසුවිය.

ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රේමසිරි හේවාවසම්  මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ අයෙකු වන අතර තිස් දහසකට අධික සිසු සිසුවියන් පිරිසකට රූපලාවණ්‍ය ශිල්පය බෙදා දී තිබේ.

තරුණි පුවත්පත මෙන්ම ජාතික රූපවාහිනී නුග සෙවන හරහා තම දැනුම බෙදා දුන් අපූරු නිර්මාණ ශිල්පියෙකු ලෙසට ප්‍රේමසිරි හේවාවසම්  සැලකේ.

පළාත් 6කට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (ඔක්. 22) පස්වරු 1:00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

2024දී ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ඉගියක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

ඉන් අනතුරුව මහමැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (21) මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය අමතමින්ය.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පක්ෂ සම්මේලනය පැවැත්වුණි.

කෝච්චි දිව්වාට වඩා රස්තියාදු ගහලා !

දුම්රිය ගමන් වාර එක් ලක්ෂ විසි දහස් නවසිය අනූ තුනක් (120993) පසුගිය වසරේ ධාවනයට නියමව ඇතත් ඉන් නියමිත වේලාවට ධාවනයවී ඇත්තේ දුම්රියන් 32,844 ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාව සඳහන් කරන ආකාරයට අවලංගුවී තිබූ දුම්රිය වාර ගණන එක් ලක්ෂ හැත්තෑ හතක් (10077) ක් ය.

ඒ අනුව දුම්රියන්ගෙන් 72%ක් නියමිත පරිදි ධාවනයවී නොතිබුණු බව ජාතික විගණන කාර්යාල වාර්තාව සඳහන් කරයි.

මේ අතර දුම්රිය එන්ජින් 23 ක් සහ බලවේග කට්ටල 36 ක් පසුගිය වර්ෂයේදී භාවිතයට නොගෙන පැවතුණු බවද එහි සඳහන් වෙයි.

දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ සමස්ත මගී ප්‍රවාහනයෙන් සියයට හයක් හා භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 6.5 ක දායකත්වය දෙන දුම්රිය සේවය එකී දායකත්වය ඉහළ නංවා ගැනීමට අපොහොසත් ව තිබූ බව පවසන එම වාර්තාව 1934 දී දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර් 1521 වුවද 2021 වර්ෂය වන විට එය කිලෝමීටර් 1465 ක් දක්වා කිලෝමීටර් 56කින් අඩුවී තිබූ බවද සඳහන් කරයි.

එම අඩුවීම වාර්තාවී ඇත්තේ බෙලඅත්ත දක්වාවූ කිලෝ මීටර් තිස් දෙකක්ද අලුතින් එක්වීමෙන් පසුවවීම විශේෂත්වයක් බවත් විගණන වාර්තාවේ සඳහන් කර ඇත .

ඇහැලියගොඩ පොලිසියේ OIC අභිරහස් ලෙස මිය ගිහින් !

ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා වෙඩි වැදිමෙන් 21දා අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස්ථානාධිපතිවරයා නැවතී සිටි නිලනිවස තුලදී බවත් එහිදී හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි .

ප්‍රියංකර ද සිල්වා යන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මෙසේ මියගොස් ඇති අතර ඔහු කලුතර ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙවැනි වියේ පසු වු දෙදරු පියකු බවත් වාර්තා වෙයි .

මෙම සිදුවීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ සිදුවන බවත් දැනගන්නට ඇත.

නව ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන එජාප මහ සමුළුව අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය පක්ෂ නායක ජනාධිපති වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අද (21) පැවැත්වේ.

පක්ෂයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම මෙහිදී සිදු කෙරේ.

මේ සම්මේලනය මුළු රටටම වැදගත් වන බවත්, රට බංකොලොත් වීමෙන් පසු මුළු ලෝකයේම සහයෝගය ගෙන රට යථා තත්ත්වයකට ගෙන ඒමට ජනාධිපතිවරයා ක්‍රියා කරන බවත් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. චීන සංචාරයෙන් පසු ප්‍රථම වතාවට ජනාධිපතිවරයා මේ සම්මේලනයේදී ජනතාව අමතමින් වැදගත් පණිවිඩයක් රටට දෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

සියලු ජාතීන් එක් කරගෙන ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් ජාතිකයක් බවට පත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒ මාවතේ ගමන් කිරීමට අවශ්‍ය නව තාක්ෂණය සමඟ ජාතික සහ ආර්ථික නිදහස දිනාගැනීමට මුළු රටේම සහාය ගැනීමට හැකි වන පක්ෂ ව්‍යස්ථාවක් හඳුන්වා දෙන බවත් වජිර අබේවර්ධන තවදුරටත් සඳහන් කළේය.

සම්මේලනයට සහභාගි වීමට වෘත්තියවේදීන්, බහු ජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රාශියක් ඉල්ලා ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාව අනුමත කිරීමට හැකි පිරිස්වලට සම්මේලනයට ආරාධනා කර ඇති බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

අද පැවැත්වෙන සම්මේලනයේ සංවිධාන කටයුතුවල මුලික වගකීම පැවරී ඇත්තේ අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙතයි.

අද පැවැත්වෙන සම්මේලනයේදී පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුනොවන බව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වන ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වී තිබේ.

නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (ඔක්. 21) උදෑසන ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.

මිය යන විට ඔහු 84 වන වියේ පසු විය

චීන සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සංචාරය නිමා කර ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

එසේම එතුමා සමග මෙම සංචාරය සදහා සහභාගී වූ දූත පිරිස ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

චීනයේ පැවති ” එක් තීරයක් – එක් මාවතක් ” වැඩසටහනේ දස වන සංවත්සරයට සහභාගී වීම , ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ චීන ජනාධිපතිතුමා ඇතුළු එරට උසස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමට ද මෙම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස කටයුතු කර තිබුණි .

ජ්‍යෙෂ්ඨ නර්ථනාචාර්ය රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වන රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වී තිබේ.

දිගු කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඊයේ (ඔක්. 20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී ඇතැයි සඳහන් ය.

‘නර්තන රැජිණිය’ ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානවලින් ද පිදුම් ලැබූ කලා ශිල්පිනියකි.

මිය යන විට ඇය 71 වන වියේ පසු වූවා ය.

බලංගොඩ ග්‍රාමයේ උපත ලබා හැදී වැඩි කලා ලොවට අවතීර්ණ වී රාජගිරිය, කලපළුවාවේ පදිංචිව සිටි ඇය නැටුම් ගුරුවරියක ලෙස මුල් ම පත්වීම ලබාගෙන තිබුණේ හලාවත, මාදම්පේ සේනානායක ජාතික පාසල වෙත ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත ය.

ජනපති රනිල්ගේ වැඩපිළිවෙළ චීන ජනපති ඉහළින් අගයයි !

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමූළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දරණ මධ්‍යස්ථ ස්ථාවරය ඇඟයීමට ලක් කළේය.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පිං  අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (20) පෙරවරුවේ චීන මහජන මහ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහද කථාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් වූහ.

“එක් චීනයක්” ප්‍රතිපත්තිය පිළිගනිමින් “එක් තීරයක් - එක් මාවතක්” ක්‍රියා පිළිවෙතට ශ්‍රී ලංකාව ලබාදෙන සහාය පිළිබඳ ෂී ජින් පිං මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත කෘතවේදීත්වය පිරිනැමීය.

වරාය නගරය හා හම්බන්තොට වරාය “එක් තීරයක් - එක් මාවතක්” ක්‍රියාපිළිවෙත උදෙසා මුලින්ම එක් වූ ව්‍යාපෘති අතරට ගැනෙන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ලාංකේය නිෂ්පාදන චීනයට ආනයනය කිරීමටත්, ශ්‍රි ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

ශ්‍රි ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා සුහද, ප්‍රායෝගික හා කඩිනම් සහාය ලබාදීමට චිනය කටයුතු කරන බවට ද චීන ජනාධිපතිවරයා යළි සහතික විය.

ෆාහියන් භික්ෂුවගේ හා ෂෙන් හර්ගේ චාරිකා සටහන් ඔස්සේ චීන - ශ්‍රී ලංකා අතීත සබඳතා පිළිබඳ තොරතුරු රැසක් හෙළි වන බවද ෂි ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

වර්තමානයේ චීන කොමියුනිට්ස් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව එකට එකතුව ඉහළ ආර්ථික වර්ධනයක් ඔස්සේ නවීන චීන අනන්‍යතාවක් ගොඩනැගීම උදෙසා සෑම උත්සාහයක්ම දරමින් සිටින බවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි ලාංකිය සමාජය ඉන් මුදවාගෙන සංවර්ධන මාවතකට යොමු කර ඇති බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඈත අතීතයේ පටන් චීනය ශ්‍රි ලංකාවට ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ෂී ජින් පිං මහතා සෑමවිටම ශ්‍රී ලංකාව කෙරෙහි මිත්‍රශීලි හා සුහදශීලි ආකල්පයෙන් ක්‍රියා කිරීම අගය කළේය.

ෆාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කරමින් “සුදු තුරඟ” විහාරස්ථානයේ ලාංකිය බෞද්ධ මන්දිරයක් හා ස්ථූපයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසූ අතර එම කටයුතු සඳහා චීනයේ සහාය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

චීනය, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක් කරන සමුද්‍ර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

එය ඉතා වැඩදායක කාර්යයක් බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ඒ සඳහා මුලපුරන ලෙස වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියන් සාගර කලාපයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන්දියන් සාගර කලාපයේ සාමය සහ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ශ්‍රි ලංකාව සෑමවිටම කැපවී සිටින බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ආසියාව සංවර්ධන කලාපයක් බවට පත් කර ගැනීමේ ව්‍යායාමයේ දී ඉන්දියාව හා චීනය එකට එක්ව ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකාවේ ස්ථාවරය බව ද සඳහන් කළේය.

වසර 2048 වන විට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්විම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එම අරමුණ ජය ගැනීමට “එක් තීරයක් - එක් මාවතක්” 03 වන සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරුණු අට වැදෑරුම් වැඩපිළිවෙළ ඉතාමත් ශක්තිමත් පදනමක් වනු ඇති බව ද පැවසීය.

ගාසා තීරයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ද දෙරටේ නායකයන්ගේ අවධානය යොමු විය.

විදේශ අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොලිස්පතිගේ සේවාදිගුව ගැන ඇමති දැනුවත්ද ?

ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ට සති තුනක සේවා දිගුවක් ලබාදුන්නේ තමා සමග ද සාකච්ජා කිරීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරයි.

ඇමතිවරයා එබව කියා සිටියේ, පොලිස්පතිට සති තුනක සේවා දිගුවක් ලබාදී ඇත්තේ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස්ට දැනුම්දීමකින් තොරව බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ය.

 '' මම පසුගිය සතියේ විදේශගතවෙලා හිටියේ. එම සංචාරය පිටත්ව යාමට පෙර ජනාධිපතිතුමා ඔය කාරණය සම්බන්ධයෙන් මා සමග දීර්ඝව සාකච්ජා කළා. දින කිහිපයකින් ජනාධිපතිතුමා ද චීනයේ සංචාරයකට සහභාගිවීමට නියමිතව තිබුනා. ඒ නිසා අප දෙදෙනාම යලි පැමිණෙන තෙක් තවත් සති තුනක් පොලිස්පති ධුරයේ වැඩබැලීමට සී.ඩී.වික්‍රමරත්න ට පැවරීමට තීන්දු කළා. ඒ නිසා ජනාධිපතිතුමා විෂයබාර අමාත්‍යවරයාගේ දැනුවත් භාවයකින් තොරව එම සේවා දිගුව ලබාදී ඇතැයි මාධ්‍ය වාර්තා පලවී ඇත්තනම් එය මුළුමනින්ම පදනම් විරහිතයි '' යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියේය.

 පොලිස්පති වික්‍රමරත්න වෙත මේ මස අවසන් වනතෙක් සේවා දිගුවක් ලබාදීම ගැටලුකාරී තත්වයක් නොවනබවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය

ජනාධිපති චීනයේ ධවල අශ්ව විහාරයට !

චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීමේ කාර්යය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

“සුදු තුරඟ” විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමිපාණන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර බීජිං නුවරදී ඊයේ (19) පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹිණ.

“සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් සංකල්පය රනිල් වික්‍රමසිංහ  අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ ක්‍රියාවට නැංවීම උදෙසා එවකට කථානායක කරු ජයසූරිය  විසින් මුල් ගල් තබන ලදී.

නමුත් පසුකාලීනව එහි වැඩකටයුතු ක්‍රියාත්මක නොවූ අතර එම කටයුතු යළි ආරම්භ කරන ලෙසත්, විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ෆාහියන් භික්ෂුව ලංකාවේ සිට චීනයට රැගෙන ආ බෞද්ධාගමික පාලි ග්‍රන්ථයන්හි පිටපත් මෙම විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

IMG 20231020 WA0016

IMG 20231020 WA0017

IMG 20231020 WA0018

ලිට්‍රෝ ගෑස් මිල ආයෙත් ඉහළට !

එළඹෙන මිල සංශෝධනයේදී නැවත වරක් ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 200 කට අධික මුදලකින් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ලෝක වෙළදපළේ ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම බවයි.

කෙසේ වුවත් මෙම ගෑස් මිල වැඩි කිරීම පාරිභෝගිකයන්ට අවම බලපෑමක් සිදුවන ආකාරයට සිදුකිරීම කෙරෙහි සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මීළඟ ගෑස් මිල සංශෝධනය ලබන නොවැම්බර් මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල මෙම මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 343 කින් වැඩි කළ අතර එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,470 ක් බවට පත්විය.

IMF දෙවැනි වාරිකය ලැබීමේ වාසිය ශෙහාන් හෙළිකරයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ පළමු සමාලෝචනය අවසන් කරමින් ඇති කරගත් කාර්යමණ්ඩල එකඟතාව, බහුපාර්ශ්වික ණය හිමියන්ගේ හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුම අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන වාරිකය ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ දෙවැනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍යව තිබූ කාර්ය මණ්ඩල එකඟතාවයට අප ඊයේ (19) රාත්‍රියේ එළඹුණා.

ඊට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකක් පුරා පුළුල් ලෙස සමාලෝචන කරමින් අප සමඟ සාකච්ඡා සිදුකලා. එහිදී විවිධ විෂයයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු නිසා එක් වරම කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට නොහැකි වුණා.

ඒ නිසා මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවේදී අපි මේ පිළිබඳව තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වන විටත් විවිධ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට සිදු වූ නිසා අප නැවත ලංකාවට පැමිණ ඔවුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා කළා. ඒ අනුවයි ඊයේ රාත්‍රියේ මෙම එකඟතාවයට ඒමට හැකියාව ලැබුණේ. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡා සිදු කෙරුණා.

2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීමට අනුමැතිය ලැබුණු දා සිට එහි අපට තිබූ හිතකර තත්ත්වය පිළිබදව නොතකා පසුගිය සති කිහිපය වන විටත් ඇතැම් පාර්ශව වෙතින් යම් යම් බාධා කිරීම් සිදුවුණා. ඇතැම් කණ්ඩායම්වලට මෙම සාකච්ඡා පිළිබඳව නිසි අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් විවිධ තර්ක ඉදිරිපත් කළා. එහිදී ඔවුන් කටයුතු කලේ දෙවැනි වාරික මුදල අපට ලැබෙයිද යන්න සම්බන්ධව සාමාන්‍ය ජනතාවටත් අනෙක් පාර්ශ්වයන්ටත් සැකයක් ඇතිවෙන ආකාරයටයි.

නමුත් දෙවැනි වාරිකය ලබාගැනීමට හෝ ඒ සඳහා විධායක කමිටුවේ අනුමැතිය ගැනීමට අප කිසිම බියක් ඇතිකර ගතයුතු නැති බව අප පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් දැඩිව අවධාරණය කළා. රජයක් ලෙස අපට ඒ විශ්වාසය තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය කිරීම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව මගින් බහුපාර්ශ්වික ණය හිමියන්ට හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව කිව යුතුයි.

ඒ වගේම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම (SLA) හරහා හරහා ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල වෙත ඉතිරි වාරික ගෙවීමට හැකියාව ලැබෙනවා. එමගින් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරී වනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ එකඟතාවන් ද නුදුරේදීම අවසන් කළ හැකියි. රජයේ ප්‍රධානතම අරමුණ වුනේ දූෂණය අවම කිරීම සහ විනිවිද භාවය වැඩි කිරීමයි. ලංකාවේ ආර්ථිකය අද තිබෙන තත්ත්වයට ගෙන ඒම පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසා කළා. එමගින් ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයට තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කෙරුණා.

ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා අපට මෙය බෙහෙවින් අවශ්‍ය වූණා. මේ කාර්ය මණ්ඩල එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන වාරිකය ලැබීමට නියමිතයි.

ඒ වගේම මෙම කටයුතුවලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබාදුන් නායකත්වය පිළිබඳව මා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. පසුගිය කාලයේ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග, නායකත්වය සහ ජනාධිපති කාර්යාලය වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිළධාරීන්ගේ දායකත්වය මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එහි නිලධාරීන්ගේ සහයෝගය සහ කැපවීම මෙහිදී ඉහළින් අගය කළ යුතුයි. එමඟින් මෙම කාර්යයන් ඉටු කිරීම අපට ඉතා පහසු වුණා.

සජබ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඩයනා රාජ්‍ය අමාත්‍යවරිය සමග ගැටිලා !

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (20) සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි .

අදාළ සජබ මන්ත්‍රීවරුන් වන්නේ මන්ත්‍රී රෝහන බණ්ඩාර සහ මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා ය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තුවේ පහළ මාලයේ ඇති පුස්තකාලය අසල මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිව තිබේ.

රාජ්‍ය අමාත්‍යවරිය හා විපක්ෂ මන්ත්‍රී රෝහන බණ්ඩාර අතර සිදුව ඇති බහින් බස්වීමකින් පසු මෙම තත්වය ඇතිව තිබේ.

එහිදී විපක්ෂයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා එම සිදුවීම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර ඒ හේතුවෙන් එම මන්ත්‍රීවරයා සමග ද රාජ්‍ය ඇමතිනිය කිසියම් උණුසුම් වාදයක පැටලී ඇත.

පසුව රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තමන්ට පහරදීමක් සිදුවූ බව පැවසූ අතර ඒ සම්බන්ධයෙන් කතානායකවරයා හට අදහස දැක්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තබන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලා සිටියේය.

එහිදී ගැටුමට මැදිහත් වූ සජබ මන්ත්‍රීවරුන් දෙදෙනා ද තමන් නිර්දෝෂී බව පැවසීය .

අනතුරුව සභාව වෙත පැමිණි කතානායකවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට නියෝජ්‍ය කතානායක ප්‍රමුඛ කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව දැනුම්දී සිටියේ ය.

Page 167 of 487