V2025

පුවත්

ජන්දය තියනවාද නැද්ද : තීන්දුව දින 3ක් තුළ !

ඉදිරි දින තුන තුළ ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන බව මැතිවරණ කොමිසම පවසයි.
 
එහි සභාපති නීතිඥ  නිමල් පුංචිහේවා පවසන්නේ  ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන අතර දැනට ඒ සම්බන්ධව ගැටලුවක් මතු වී නොමැති බවයි.
 
මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.
 
කෙසේ වෙතත් මැතිවරණ අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නැති බවද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව ද ඔහු පවසයි.

සැසිවාරය අරඹමින් ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න !

නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය අද (08) විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පහත දැක්වෙයි.

පසුගිය නිදහස් උළෙලේදී පාසැල් දරු දැරියන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරද්දී මට කල්පනා වුණේ, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන. මේ දරු දැරියන්ගේ සිත්වල ඔවුන්ගේ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?

නිදහස් උළෙල වෙනුවෙන් ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පසුගියදා අපේ රටේ තරුණ කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. එහිදී තරුණ තරුණියන් බොහෝ දෙනෙක් පෙන්වා දී තියෙන්නේ කාලයක් තිස්සේ සිදුවෙමින් පැවති දේවල් නිසා රටේ අනාගතය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු බවයි. මේ තරුණ තරුණියන්ගේ සිත් තුළ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?

නිදහස් දවසට පසුදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ විශේෂ අතිරේකයක් පළ වුණා. තරුණ තරුණියන් කිහිපදෙනකුගේ අදහස් එහි පළ කර තිබුණා.

මතීෂා උඩවත්ත : මෙන්න මෙහෙම කියනවා.

“While leaving the country is a constant resonating thought, there is still a smallest spark inside me that’s holding me close to home. I intend not let it die. I have not given up to my Sri Lanka yet”

“රට හැර යාම ගැන සිතුවිලි නිරන්තරව ම සිතේ නින්නාද වුවත්, බලාපොරොත්තුවේ කුඩා පහන් සිලක් තාමත් මා සිත තුළ දැල්වෙයි. එය මා මේ භූමියට සමීප කරවයි. මම තවමත් මගේ ශ්‍රී ලංකාව අතහැර නැත”

ක්ලිෆර්ඩ් ප්‍රනාන්දු : කියන්නේ මෙන්න මෙහෙම අදහසක්.

“I Won’t migrate but I sincerely hope there will be change in Sri Lanka. All our attitudes need to change, better discipline is needed, people need to obey rules and show more empathy towards each other – Clifford Fernando”

“ රට හැර යන්නට සිතක් මට නැති නමුත්, ශ්‍රී ලංකාවේ වෙනසක් සිදුවෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙනවා. අප සියලු දෙනාගේම ආකල්ප වෙනස් විය යුතුයි. අපි විනයගරුක විය යුතුයි. නීතියට යටත් විය යුතුයි. අනෙකා කෙරෙහි සහකම්පනයක් දැක් විය යුතුයි”

සිලානි විජේසිංහ : මෙන්න මෙහෙම කියනවා.

“ I don’t want to leave my country – I want to help it out of the situation it is in currently. I also don’t want the people leaving at a time the country needs them the most, only to come back when things are better”

“ මම මගේ රට හැර යන්නේ නෑ. දැනට පත්වී ඇති තත්ත්වයෙන් රට යළි නඟා සිටුවීමට මට අවශ්‍යයි. මේ අර්බුදකාරී අවස්ථාවේ, රටට මිනිස් සම්පත් අවශ්‍යම අවස්ථාවේ රට හැර ගොස්, තත්ත්වය යහපත් වූ පසු පෙරළා පැමිණෙන අය මට අවශ්‍ය නැහැ”

මේ අදහස් කියැවීමේ දී මට සිහිපත් වුණේ පසුගියදා අනුරාධපුරයේ දී මා හමුවීමට පැමිණි නිවුන් දැරියන් දෙදෙනෙක්. අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම හේමරතන නාහිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අවසානයේ මේ දැරියන් දෙදෙනා මා හමුවීමට ආවා. ඔවුන් ඉගෙන ගන්නේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 5 වසරේ. නමදි පෙරේරා සහ චෙනුති පෙරේරා. ඔවුන් ගීතයක් ගයනවා. ඒ ගීතයේ සීඩී තැටියක් මට දුන්නා. ගීතයේ මාතෘකාව - රට හැර නොයමි. අද මගේ කතාවෙන් පසු ඒ ගීතය විකාශනය කරන්න කියා මම රූපවාහිනී නාළිකාවලින් ඉල්ලා සිටිනවා.

මේ දැරු දැරියන්, මේ තරුණ තරුණියන් තමයි අපේ රටේ අනාගත පරම්පරාව. රටහැර නොයා රට යළි ගොඩනඟන්නට ප්‍රාර්ථනා කරන අනාගත පරම්පරාව. ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි අප හැමගේ වගකීම. මේ උත්තරීතර සභාවේ සිටින ඔබේ වගකීමත් එයයි. හැම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීම එයයි.

පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින්, මම අදහස් දැක්වූ අවස්ථාවේ රට වැටී තිබුණු තත්ත්වය ඔබ සැමගේ මතකයේ ඇතැයි මම විශ්වාස කරනවා. පසුගිය අය වැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ රට පත්ව තිබූ තත්ත්වයත්, ඒ වගේම මීට මාස හත අටකට කලින් රටේ තිබුණු තත්ත්වයත් ඔබට මතක ඇති.

පාසල් වැහිලා. විභාග පවත්වන්න බැරිවෙලා. පොහොර නැතිව කෘෂිකර්මය හා වැවිලි කර්මාන්ත කඩා වැටිලා. ගොවියන් අසරණ වෙලා. සංචාරක කර්මාන්තය පිරිහිලා. පැය දහය, දොළහ විදුලිය කප්පාදු වෙලා. ගෑස් නැත්තටම වගේ නැතිවෙලා. නාගරික නිවාසවල වැසියන් ඉවුම් පිහුම් කරගන්න බැරුව නන්නන්තාර වෙලා. භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන්න සිද්ධ වුණා. හෙම්බත් වූ පුරවැසියන්ගේ ජීවිත, පෝලිම්වල ඉන්දැද්දිම නැති වුණා. ඒ පීඩනය දරාගන්න බැරුව ජනතාව පාරට බැස්සා.

හැබැයි අද වෙද්දි තත්ත්වය වෙනස්. පසුගිය කාලය තුළ ගත් පියවර නිසා මේ පීඩනය හෙමින් හෙමින් අඩු කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකයේ කිසියම් ස්ථාවරයක් ඇති වෙලා තිබෙනවා.

ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙනවා. අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. අප ඒ ආවේ ලේසි පහසු ගමනක් නෙවෙයි. හැබැයි ගමන තවම ඉවර නෑ.

බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණු රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා. රජයේ වියදම් පාලනය කළා. බදු ආදායම් වැඩි කර ගැනීමට පියවර ගත්තා.

පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම් පහළ වැටුණු බව අප දන්නවා. 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ව්‍යාපාර, සමාගම් සහ පුද්ගලයන් ලක්ෂ 16ක් බදු ගෙව්වා. 2021 දෙසැම්බර් වෙද්දි බදු ගෙවන ප්‍රමාණය ලක්ෂ 5ක් දක්වා පහළ වැටුණා. රජයේ බදු ආදායම් අන්තිමටම පහළ වැටුණා.

මේ නිසා රටේ ආර්ථිකයට සිදු වන විනාශය වටහා ගත් බොහෝ ආයතන සහ සංවිධාන, යළිත් 2019 වසරේ පැවති බදු ක්‍රමයටම යන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය 2022 අප්‍රේල් මාසයේ ආර්ථික හා සමාජයීය පුනර්ජීවනය සඳහා කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කළා.

ඒ යෝජනාවලියේ 3.3 වගන්තිය යටතේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

• උපයන විට ගෙවීමේ බදු ක්‍රමය යළි හඳුන්වා දීම.
• රාජ්‍ය ව්‍යවසායන්හි සියලුම නිලධාරින් අදාළ ආයතන හා සේවා යෝජකයින් මගින් නොව පුද්ගලිකව තමන්ගේ වැටුපෙන් බදු ගෙවීම.
• රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වා දීම.
• සියලු බදු නිදහස් කිරීම් අත්හිටුවීම.
• ආදායම් බදු ගෙවිය යුතු ආදායම් මට්ටම සහ එකතු කළ අගය මත බදු ගෙවිය යුතු පිරිවැටුම් මට්ටම සංශෝධනය කිරීම.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මේ යෝජනාව ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන්නත් කලින්. දැන් අපි මේ යෝජනා  ක්‍රියාවට නංවා තිබෙනවා.

නමුත් මෙවැනි බදු ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි කියූ අයම අද බදු ප්‍රතිපත්තිය විවේචනය කරනවා. බදු අය කිරීම් සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වාදීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තබා ගන්න. මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි. මට අවශ්‍ය මේ රට වැටි ඇති අර්බුදකාරි තත්ත්වයෙන් යළි ගොඩනංවන්නයි. ඔව්. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝ දෙනෙකුට අවබෝධ වේවි.

බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව තවත් සමහරු කියනවා. අප මේ බදු පැනවූයේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනංවන්න බැහැ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි.

උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවූවොත් රටට රුපියල් බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163ක්. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද අප සිටින්නේ.

වර්තමානයේ දුබල ආර්ථිකයකට හිමිකම් කීම නිසා මේ බදු බර අප හැමෝටම වැඩි වැඩියෙන් දැනෙනවා. මෙතනදි අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. වර්තමානයේ අපේ රටේ වැඩිපුර බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. සෘජුව බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් නිසි ලෙස බදු අය කරගන්නේ නැති නිසා සියලු ශ්‍රී ලාංකිකයින් වක්‍ර බදු වශයෙන් විශාල මුදල් ප්‍රමාණක් ගෙවනවා. බදු ගෙවීමට අවශ්‍යතාවක් නැති විශාල ප්‍රමාණයක් නොදැනීම බදු ගෙවනවා. ඒ බදු  හඳුන්වන්නේ වක්‍ර බදු නමින්.

ලෝකයේ අනෙක් රටවල වැඩි බදු ප්‍රමාණයක් ලබා ගන්නේ ඉහළ ආදායම් ලබා ගන්නා අයගෙන්. 2021 දී ඉන්දියාව - සෘජු බදු සියයට 50 යි. වක්‍ර බදු සියයට 50 යි. බංග්ලාදේශය - සෘජු බදු සියයට 32 යි. වක්‍ර බදු සියයට 68 යි. නේපාලය සෘජු බදු සියයට 31 යි. වක්‍ර බදු සියයට 69 යි.  ඉන්දුනීසියාව සෘජු බදු සියයට 40 යි. වක්‍ර බදු සියයට 60 යි. වියට්නාමය - සෘජු බදු සියයට 31 යි. වක්‍ර බදු සියයට 69 යි. තායිලන්තය සෘජු බදු සියයට 37 යි. වක්‍ර බදු සියයට 63 යි.  මැලේසියාව සෘජු බදු සියයට 66 යි. වක්‍ර බදු සියයට 34 යි.

ඒත් අපේ රටේ තත්ත්වය වෙනස්. 2021 දී අපේ රටේ සෘජු බදු සියයට 21 යි. වක්‍ර බදු සියයට 79 යි.

ඒ නිසා මේ බදු විෂමතාවය නිවැරදි කරගැනීමට අප කටයුතු කළ යුතුයි. එවිට පොදුවේ සමස්ත ජනතාව වෙත පැටවී ඇති බදු බර අඩු වෙනවා.
ආර්ථික අර්බුදකාරි අවස්ථාවක උද්ධමනය ඉහළ යනවා. බඩු මිළ වැඩි වෙනවා. රැකියා අනතුරට පත්වෙනවා. ව්‍යාපාර කඩා වැටෙනවා. බදු බර වැඩිවෙනවා. සමාජයේ සියලු කොටස්වලට ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස පහක හයක කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්.

පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්.

වර්තමානයේ සියලු දුෂ්කරතා මැද වුණත්, අබල දුබල ආර්ථිකයකින් බැට කන දිළිඳු කණ්ඩායම්වලට රැකවරණ ලබා දීමටත් අප පියවර ගත්තා. මේ සඳහා ලෝක බැංකුව අපට පූර්ණ සහාය ලබා දුන්නා.

නමුත් අපේ රටේ සහනාධාර ලබා දීමේ ක්‍රමය විකෘතියට ලක්වෙලයි තියෙන්නේ. වැඩි ආදායම් ඇති අය පවා සහනාධාර ලබනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටිනවා. සැබවින්ම දිළිඳු ප්‍රජාව හඳුනා ගන්නවා. සහනාධාර බැංකු ගිණුමක් හරහා ඔවුන්ට කෙළින්ම මුදලින් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා.

හැබැයි, සමහර කණ්ඩායම් මේ ගමන් මඟ කඩාකප්පල් කරන්න තැත් දරනවා. ඔවුන්ට බලය ලැබුණොත්, බදු අඩු කරනවා - පඩි වැඩි කරනවා ආදි සුරංගනා කතා කියනවා. විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කරන්න උත්සාහ ගන්නවා.

මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා.

සෘණ ආර්ථිකයක සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නෙ. 2023 අවසන්වෙද්දි ධන ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරනවා.

මම ජනාධිපති ලෙස මුලින්ම මේ පාර්ලිමේන්තුව අමතද්දි රටේ උද්ධමනය සියයට 70 යි. අපේ ක්‍රියා පිළිවෙත් නිසා 2023 ජනවාරි වෙද්දි එය සියයට 54 ක් දක්වා පහත හෙළන්නට අපට හැකි වුණා. අප වෙහෙසෙන්නේ 2023 අවසන් වෙද්දි එය තනි ඉලක්කමක් බවට පත් කර ගන්නයි.
2022 වෙද්දි අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකි වුණා. ඊට දේශීය ව්‍යවසායකයන් බොහෝ සේ වෙහෙස වුණා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 18ක මට්ටමකට සීමා කර ගැනීමටත් අපට පුළුවන් වුණා. විදේශ ශ්‍රමිකයන් මේ බැරෑරුම් අවස්ථාවේ මාතෘ භූමියට උපරිම සහාය දක්වමින් සිටිනවා. 2022 අවසන් වෙද්දි ඩොලර් බිලියන 4ක විදේශ විනිමය ඔවුන් අපට ලබා දුන්නා.

අපේ ව්‍යවසායකයන් සහ විදේශ ශ්‍රමිකයන් මේ කැපවීම් කළේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඔවුන්ට විවිධාකාරයෙන් බලපෑම් කරන පසුබිමකයි. නමුත් තමන් අපනයන ආදායම් ඉහළ නංවන්නෙත්, ලංකාවට මුදල් එවන්නෙත් බලයේ සිටින දේශපාලන පක්ෂය අනුව නොව, රට වෙනුවෙන් බව ඔවුන් ඔප්පු කර තිබෙනවා. ඔවුන් සියලු දෙනාට අපේ ගෞරවය හිමි වෙනවා. බින්දුවටම වගේ වැටී තිබුණු විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට දැන් පුළුවන් වෙලා තියෙනවා.

සංචාරක ව්‍යාපාරය යළි පණ ගන්වන්නට අපට පුළුවන් වුණා. පාරවල් පුරා පටු දේශපාලනික උද්ඝෝෂණ කරමින් සිදු කෙරුණු බාධා මධ්‍යයේ වුණත් සංචාරකයන් ලංකාවට ආවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතරට ලංකාවත් නම් කෙරුණා. මේ ජනවාරි මාසයේ ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. එය වර්තාගත ප්‍රමාණයක්.
මේ ආකාරයෙන් සියලු ක්ෂේත්‍රයන්හි අපි ප්‍රගතියක් ලබමින් සිටිනවා.

ග්‍රීසිය මීට කාලෙකට කලින් අපි වගේම බරපතල ආර්ථික අර්බුදයකට මැදි වුණා. බංකොලොත් වුණා. අර්බුදයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50කින් කපා දැම්මා. බංකොලොත් තත්ත්වයෙන් මිදි නැවත ණය ගෙවීමේ ශක්තිය ඇති කරගන්න ඔවුන්ට අවුරුදු 13ක් ගත වුණා. ඒ කාලය තුළ තුන් වතාවක් අයි.එම්.එෆ් සංවිධානයේ ආධාර උපකාර ලබා ගත්තා.
නමුත් අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දි බංකොලොත් තත්ත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැඟීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම්, ඊටත් කලින් මේ අර්බුදයෙන් ගොඩඑන්නට අවකාශ සැලසෙනවා.

2020 වසරේ අපි අයි.එම්.එෆ් සංවිධානයෙන් ඉවත් වුණා. ඒ අදුරදර්ශී තීරණයත් වර්තමාන කටයුතුවලට බලපා තිබෙනවා. බංග්ලාදේශයට ඉක්මනින් අයි.එම්.එෆ් සහන ලබා ගැනීමට හැකි වුණේ ඔවුන් දිගටම එම සංවිධානය සමඟ සිටි නිසයි. අපට සිදු වුණේ සියලු සම්බන්ධකම් මුල සිටම යළි ආරම්භ කරන්නයි. කොහොම වුණත් අපි අසීරුතා මැද මුල සිටම ගමන ආරම්භ කළා.

දැන් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට ණය දුන් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඊට අමතරව සහාය ලබාගත හැකි අනෙක් එකම පාර්ශ්වය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි. ඉදිරි ගමන යාමට හැක්කේ ඔවුන් සමඟ ඇතිකරගන්නා පදනම මතයි. ඒ  හැරෙන්නට අපට වෙනත් කිසිදු මාර්ගයක් නෑ. අප යන ගමන්මඟ විවේචනය ක
රන දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටින්නේ වෙනත් විකල්ප මාර්ගයක් ඇත්නම් එය මේ සභාවට ඉදිරිපත් කරන ලෙසයි.
 
මේ වන විට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල අවසන් අදියරට එලැඹිලා. පසුගිය සැප්තැම්බරය වෙද්දි මූලික එකඟත්වයට එළැඹීමට අපට පුළුවන් වුණා. දැන් තියෙන්නේ ණය තිරසර කරලීමේ වැඩපිළිවෙළයි.

ඊට අදාළව පැරිස් සමාජය සමඟ අප සාකච්ඡා කළා. පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ඉන්දියාව සහ චීනය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඉන්දියාව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර මූල්‍ය සහතිකය ලබා දී තිබෙනවා. එක් පැත්තකින්, පැරිස් සමාජය සහ ඉන්දියාව සාකච්ඡා පවත්වනවා. අප සෘජුවම චීනය සමඟ සාකච්ඡා පවත්වනවා. අපට සියලු පාර්ශ්වයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබි තියෙනවා. අනෙක් රටවල ප්‍රවේශයන් සහ චීනයේ ප්‍රවේශය එක මතයකට ගෙන ඒමට දැන් අපි කටයුතු කරමින් සිටිනවා. මේ වෑයමේදී අපට සහාය වන සියලු රටවල් වෙත අපේ කෘතවේදීත්වය මම මේ අවස්ථාවේ පළ කර සිටිනවා.

අයි.එම්.එෆ්. සංවිධානය සමඟ ඇතිකරගන්නා එකඟත්වය සඳහාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහාත් සිය උපරිම සහාය ලබාදෙන බව ඊයේ පැරිස් සමාජය නිවේදනය කළා. ඒ නිවේදනයත් සමඟ අපට පැරිස් සමාජයේ මූල්‍ය සහතිකය ලැබෙනවා. ඔවුන් මේ තීරණය ගත්තේ ඔවුන්ගේ සාමාජික රටවල්, ඉන්දියාව මෙන්ම ලෝක බැංකුව සහ අයි.එම්.එෆ් නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා වාරයකින් පසුවයි.
මේ තීරණය අපට විශාල ශක්තියක්. ධෛර්යයක්. ශක්තිය සහ ධෛර්යය ලබාදීම පිළිබඳව මම ස්තූතිය පළ කරනවා.
ජාත්‍යන්තරය අප වෙත දක්වන සහයෝගයෙන් පිළිබිඹු වෙන්නේ අප යන මාර්ගය නිවැරදි බවයි. ජනතාව විඳින පීඩනය අඩුවීමෙන් සනාථ වෙන්නේ අප යන මේ මාර්ගය නිවැරදි බවයි.

සංචාරකය ව්‍යාපාරය යළි පණ ලබනවා. කඩා වැටුණු කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රය යළි පිබිදෙනවා. මහ කන්නයේ අස්වනු වැඩි වෙන බවට පුරෝකථනය කර තිබෙනවා.  අස්වනු මිළදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 20ක් වටිනා වී අස්වනු සහල් බවට පත් කොට, අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. හැම පවුලකටම මසකට සහල් කිලෝ 10 බැගින් අවස්ථා දෙකකදි නොමිලයේ ලබා දෙනවා. විදුලි කප්පාදුව  අඩුවෙලා. පාසැල් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් යනවා. දරු දැරියන් යළිත් අධ්‍යාපන චාරිකා යනවා. විභාග පැවැත්වෙනවා. මේ මාර්ගයේ දිගටම ගොස්, රට ඔසවා තබනවා ද ? එහෙමත් නැත්නම් මේ මාර්ගය කඩාකප්පල් කොට සටන් පාඨ දේශපාලනයකින් ආයෙමත් රට විනාශ කරනවාද කියන තීරණය අද අප ඉදිරියේ තිබෙනවා.

පටු දේශපාලන අරමුණු නැති, රටට ආදරය කරන බහුතර ජනතාවගේ තීරණය මේ අයුරින්ම ඉදිරියට යෑමට  බව අප දන්නවා.
අද ලංකාව ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩෙක්. වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. ඒත් සමහරු කරන්නේ මෙතෙක් ප්‍රතිකාර කළ දොස්තරලාගේ වැරදි කියන එකයි. ඔවුන්ට දඬුවම් දීමට මුල් තැන දිය යුතු බවයි ඔවුන් කියන්නේ.

නමුත් මම උත්සාහ ගන්නේ මුලින්ම ලෙඩා සනීප කර ගැනීමටයි. ලෙඩා සනීප කරගත්තාට පස්සෙ අපට අනෙක් පියවර ගන්න පුළුවන්. ඒත් අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ ලෙඩා සනීප කර ගැනීමටයි. මම මේ සිදුකරන්නේ ඒ කාර්යයයි.

හැබැයි ලෙඩා අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩගත් වහාම අප තවත් පියවරක් ගන්නවා. ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇති වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීම. මේ අරමුණින් අප දූෂණය මැඩලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කරන්න අපි පියවර ගන්නවා.
අයි.එම්.එෆ් එකඟත්වය ලැබීමෙන් අපට ආර්ථිකය යම් මට්ටමක ස්ථාවර පදනමකට ගෙන එන්න පුළුවන් වෙනවා. ඒත් ලෙඩේ නිට්ටාවටම සනීප කර ගන්න නම්, අපට තවත් ඉදිරි පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා.

අයි.එම්.එෆ් සහතිකය ලැබීමත් සමඟ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ණය ආධාර ලබා ගැනීම සම්බන්ධ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්.

එවිට ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වේවි. ඒ නිසා විදේශ විනිමය රටට ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති වේවි. අපි ඒ ආධාර මුදල් නිසි කළමනාකරණයකින් යුතුව රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළ යුතුයි.

මේ සමඟම සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් අපට ලබා ගන්න පුළුවන්. අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කරන්නත් පුළුවන්.

ඒ වගේම අපේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි. කාලයක් තිස්සේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ අප අතපසු කළා. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර ජනතාව පිට පැටෙව්වා. ගිය අවුරුද්දේ ව්‍යාපාරික රාජ්‍ය ආයතනවල පාඩුව රුපියල් බිලියන 800කට ආසන්නයි. ඒ මුළු පාඩුවම ගෙවන්නේ ජනතාව. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඒ පාඩුව ජනතාව ගෙවනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර දරන්නේ තමන් බව දන්නේ නැහැ. අන්ත අසරණ දිළින්දාට පවා මේ ආයතන නඩත්තු කරන්න වියදමක් දරන්න වෙලා තියෙනවා.

ඒ නිසා අපි වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. එවැනි පියවර ගත් තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් අද දවසින් දවස ඉදිරියට යනවා. නැති නම් අපට නැවත ආපස්සට යන්න වෙනවා.

මේ ප්‍රතිසංස්කරණවලදී රජයේ කාර්ය භාරය අප නිවැරදිව හඳුනා ගත යුතුයි. රජයේ ප්‍රවේශය විය යුත්තේ පසුබිමේ සිට පුද්ගලික අංශය සෘජුව ව්‍යාපාරික කටයුතු සඳහා යොමු කිරීමයි. රජය මැදිහත් විය යුත්තේ නියාමන කාර්යයන්, පොදු පහසුකම් සහ නීතිය හා සාමය රැකීම වැනි කේෂ්ත්‍ර සඳහා පමණයි. ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස පුද්ගලික අංශය යොදා ගත යුතුයි. ඒ වගේම විදේශ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා පුද්ගලික ව්‍යවසායකත්වය දායක කරගත යුතුයි.

රාජ්‍ය අංශයේ ඉඩම් සහ ගොඩනැඟිලි කිසිදු ඵලදායී කාර්යයකට යොදා නොගෙන නිස්කාරනේ නාස්ති වෙන තැන් බොහොමයි. ඒවා ඵලදායී කාර්යයන්ට යොදා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සතු කැළෑවට ගිය සරු ඉඩම් ගණනාවක් තියෙනවා. වගා නොකරන කුඹුරු අක්කර දහස් ගණනක් තියෙනවා. ඒ සියල්ල ඵලදායී ලෙස කෘෂිකර්ම කටයුතු සඳහා යෙදවීමට අප කටයුතු කරනවා.
එසේම ණය මත පදනම් වන ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ ඇගයීමේ ක්‍රියාවලියක් මත පමණයි. දේශපාලන හේතු මත රාජ්‍ය ආයෝජන මෙහෙයවීමේ පිළිවෙත නවතා දැමීම අත්‍යවශ්‍ය කාරණයක්.

පසුගිය කාලයේ බැංකු ණය අය කර ගැනීම උදෙසා පමා කාලයක් ලබාදුන් බැවින්, බැංකු පද්ධතිය දුර්වල වෙමින් පැවතුනා. දැන් ඒ පමා කාලය අවසන් වී තියෙනවා. ඒ නිසා බැංකු යළිත් ශක්තිමත් වෙමින් පවතිනවා.

ඒ සමඟම දුෂ්කරතා හේතුවෙන් බිඳ වැටුණු ව්‍යාපාර කෙරෙහි අපේ අවධානය යෙමු වී තිබෙනවා. ආර්ථිකයේ වර්ධනය සමඟ ඔවුන්ට යළි නැඟි සිටීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නට අප පියවර ගන්නවා.

නිෂ්පාදනය ඉහළ නැංවීම, භාණ්ඩ හා සේවා සැපයීම, කර්මාන්ත හා කෘෂි නවීකරණය ආදිය සඳහා උපරිම වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට අප අපේක්ෂා කරනවා.

වර්තමානයේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.15ක්. මෙය සියයට 15 දක්වා ඉහළ නංවා ගැනීම අපේ බලාපොරොත්තුවයි.

මූල්‍ය අර්බුද විසඳීම පිළිබඳ අත්දැකීම් ඇති ජාත්‍යන්තර ආයතනයක් අපේ රට ගැන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා.

“Sri Lanka has a reputation for “Kicking the can down the road” - this leads to problems avoided rather than solved in the long term”

අප ප්‍රශ්න මගහැර ගියා මිස දීර්ඝ කාලීන විසඳුම් සෙව්වේ නැ. ඒ විපාකය තමයි අද අපි සැම මේ විඳින්නේ මතක තබා ගන්න. අද අප මේ මුහුණ දෙන්නේ ආර්ථික යුද්ධයකට. මේ යුද්ධය උතුරු නැගෙනහිර ගැටුමටත් වඩා තීරණාත්මක එකක්. උතුරු නැගෙනහිර ගැටුමේදී ජනවර්ග බෙදුණා.

ඒත් මේ යුද්ධයේදී සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්ව සටන් කළ යුතු වෙනවා. ප්‍රශ්න විසඳන්නේ නැතිව මගහැර ගියොත් මේ ආර්ථික යුද්ධයෙන් අප පරාජය වෙනවා. එහෙම වුණොත්, ඔය සමහර දේශපාලන පක්ෂ මවන සුරංගනා ලෝක අපට උරුම වෙන්නේ නැ. අප ආර්ථික යටත්විජිතයක් බවට පත් වෙනවා. ඒ නිසා අප හැම කෙනෙකුගේම වගකීම, දුක් කරදර දරා ගනිමින්, මේ ආර්ථික යුද්ධය ජය ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමයි.

ආර්ථික යුද්ධය ජය ගැනීමටත්, ඉන් පසු සංවර්ධිත ආර්ථිකයක් අප රට තුළ නිර්මාණය කිරීමටත්, ජාතීන් අතර සමගිය හා එකමුතුකම වැදගත් වෙනවා.

ගරු ආර්. සම්බන්දන් මැතිතුමාත්, මමත් පාර්ලිමේන්තුවට පත්  වුණේ 1977 අවුරුද්දේ. අපි දෙදෙනාගේම පොදු සිහිනයක් තියෙනවා. ඒ, අප දෙදෙනා පාර්ලිමේන්තුව තුළ සිටියදීම ලංකාවේ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමයි. ඒ සිහිනය ගැන එදා සිට අද දක්වාම අප සාකච්ඡා කරනවා. උත්සාහ දරනවා. කලින් හැම අවස්ථාවකදීම ඒ උත්සාහය අසාර්ථක වුණා. නමුත් මේ වතාවේ කෙසේ හෝ සාර්ථක කර ගන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ සැමගේ සහාය අපි බලාපොරොත්තු වෙනවා.

උතුරු - නැගෙනහිර ගැටුම මුළු රටටම බලපෑවා. ප්‍රදේශ ගණනාවකට දැඩි හානි සිදු වුණා. සම්පූර්ණ උතුරු පළාතත්, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ප්‍රදේශ ගණනාවක් අපමණ පීඩා වින්ඳා. මේ ප්‍රදේශවල සංවර්ධනය ගැන වැඩි බරක් තබා කටයුතු කිරීමට අප පියවර ගන්නවා. ඒ ප්‍රදේශ වෙනුවෙන් විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනවා.

උතුරේ ඉඩම් සම්බන්ධව නොවිසඳුණු ගැටලු තවත් ඇති බව අප දන්නවා. යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක කඳවුරු ඇතුළුව රජය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 3300ක්. පලාලි කඳවුර වෙනුවෙන් පවරා ගෙන ඇති ඉඩම් අක්කර 100ක් මෑතකදී නිදහස් කළා. තවත් අක්කර ගණනාවක් ගැන තීරණයක් ගතයුතුව තිබෙනවා. ඒ ගැන යුද හමුදාව සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වනවා. රජයට පවරාගෙන ඇති අනෙකුත් ආරක්ෂක ඉඩම් සම්බන්ධයෙන් ද සාකච්ඡා ආරම්භ කර තියෙනවා.

උතුරු නැගෙනහිර පමණක් නොව, රටේ වෙනත් පළාත්වලත් ඉඩකඩම් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මීට අවුරුදු ගණනාවකට කළින් වරින් වර නිකුත් කළ රෙගුලාසි මඟින් වනාන්තර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ සඳහා පදනම් කරගෙන තිබුණේ GPS ක්‍රමයට ලබාගත් සිතියම්. ගැටුම් හා වෙනත් හේතු නිසා කැළෑවට ගිය ගම්මාන ගණනාවක් මේ නිසා වනාන්තර ලෙස ගැසට් කෙරුණා. දැන් ගැටුම් අවසානයි.

ඒත් තම තමන්ට හිමි ඉඩම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කර ඇති නිසා ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අසාධාරණයක් වී තිබෙනවා. මොනරාගල සිට යාපනය දක්වාම ජනතාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.

අපි 1985 වනවිට පැවැති සිතියම් අනුව වනාන්තර සහ ඉඩම් යළි ගැසට් කොට මේ අසාධාරණය නිවැරදි කිරීමට පියවර ගන්නවා.
අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදය අප වඩාත් විධිමත් හා කඩිනම් කරනවා. එම යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරනවා.

ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිරගත කර සිටින පුද්ගලයන් පිළිබඳවත් අපේ අවධානය යොමු වී තියෙනවා. වසර ගණනාවක් ඔවුන් රඳවාගෙන ඉන්නවා. සහනදායී පිළිවෙතකට, ක්‍රමානුකූලව ඔවුන් නිදහස් කිරීමට අප පියවර ගන්නවා.

ජාතික ඉඩම් සභාවක් ස්ථාපිත කිරීමේ කෙටුම්පත සකස් කරනවා. ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනවා.

මධ්‍යම ආණ්ඩුවේ යම් යම් ක්‍රියා පිළිවෙත් හේතුවෙන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල අඩු වී ඇති බවට චෝදනා නැගෙනවා. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව අණපනත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද මේ අයුරින්ම ක්‍රියා කරනවා.

බලය පැවරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරලීම උදෙසා පහත සඳහන් කරන පනත් සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරනවා. 1992 අංක 38 දරන බලය පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරුන්) පනත, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සහ 1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනත.

පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධීකරණ කාර්යයන් විධිමත් කිරීම සඳහා නවීන ක්‍රමයේ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමවේදයක්  අප ස්ථාපිත කරන්න අපේක්ෂා කරනවා.

මේ සියලු අණපනත් සහ කෙටුම්පත් අපි පාර්ලිමේන්තුවේ ජාතික සභාවට ඉදිරිපත් කරනවා. ඒවා පිළිබඳ සාකච්ඡා කොට, පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ වගකීම පැවරෙන්නේ ජාතික සභාවටයි.

නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා මායිම් වර්තමානයේ පවතින්නේ පළාත් සීමා මායිම් අනුව නෙවෙයි. මේ නිසා ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුවී තිබෙනවා. ඒ නිසා පළාත් අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ.

මානව හිමිකම් උල්ළංඝනය, ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතළ ලෙස කඩකිරීම් ආදි කරුණු පිළිබඳව සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශයන් ගැන ද අපේ අවධානය යොමු වෙනවා.

ගැටුම්වලින් වඩාත් හානි සිදු වූ උතුර සංවර්ධනය සඳහා වෙනමම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මල්වතුඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා. නැගෙනහිර පළාතේ ගංගා සහ ජල කළමනාකරණය කිරීම, වඩමාරච්චි වැව සහ කළපුව ප්‍රතිසංස්කරණය කිරීම, පානීය සහ කෘෂි කටයුතු සඳහා එමගින් ජලය ලබාදීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඔස්සේ මේ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරනවා. සූර්ය බලය මෙන්ම, හරිත හයිඩ්‍රජන් බලය ද මේ සඳහා යොදා ගන්නවා.

සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි වැඩියෙන් අවස්ථා සලසා දෙනවා. ආයෝජන කලාප පිහිටුවනවා. කෘෂිකර්ම කටයුතු නවීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් සලසා දෙනවා.

කන්කසන්තුරේ වරාය නවීකරණය කරනවා. පුළුල් කරනවා. ත්‍රිකුණාමලය නවීන ජාත්‍යන්තර නගරයක් ලෙස සංවර්ධනය කරනවා. ගැටුම්වලට මැදිවී ආර්ථික හා සමාජයීය පසුබෑම්වලට ලක්වූ නැගෙනහිර සහ උතුරු මැද පළාත් වෙනුවෙනුත් නවීන කෘෂිකාර්මික සැලසුමක් දියත් කරනවා.

වතුකරයේ ජනතාව පිළිබඳවත් අපේ විශේෂ අවධානය යොමු කරනවා. ලංකාවේ වැවිලි කර්මාන්තය නඟාසිටුවීම උදෙසා ඔවුන් මුලින්ම ලංකාවට ගෙන්වා ගත්තේ මීට අවුරුදු 200කට කලින්.

වතුකරය වෙනුවෙන් විශාල සේවාවක් කළ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාත්, මමත් කැබිනට් මණ්ඩලයට පත්වූණේ එකට. අප දෙදෙනා වතුකරයේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එක්ව වැඩ කටයුතු කළා. මේ වන විට වතුකරයේ ජනතාවගේ නීතිමය අයිතීන් සියල්ල අප ලබාදී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජයීය අයිතීන් සම්බන්ධයෙන් පවතින ගැටලු ගණනාවක් තවමත් ඉතිරිව තිබෙනවා. මේ ගැටලු විසඳීම සඳහා අප වතුකරය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා සමඟ සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරනවා. වසර 200ක් පුරා ලාංකේය ආර්ථිකය පෝෂණය කිරීමට වෙහෙසෙන ඔවුන් සියයට සියයක්ම ලාංකේය ජනතාවගේම කොටස් බවට පත් කරගත යුතු වෙනවා.


මම පාර්ලිමේන්තුවට තේරී පත් වූ අවස්ථාවේ මගේ කැබිනට් අමාත්‍යවරයා වුණේ ඒ. සී. එස්. හමීඩ් මහතායි. ලාංකේය මුස්ලිම්වරුන් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයන් ගැන එතුමා මාව දැනුවත් කර තිබෙනවා. විටින් විට, මුස්ලිම් ප්‍රජාව විවිධ ගැටලුවලට මුහුණ දෙන බව අප දන්නවා. ඒ පිළිබඳවත් අපේ පූර්ණ අවධානය යොමු වෙනවා.

සිංහල සමාජයත් ඔවුන්ට සීමා වූ ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. ඒ ගැනත්, අපේ අවධානය යොමු කරනවා. ඒ ගැටලු ගැනත් විවෘත සාකච්ඡාවක් අවශ්‍යයි. විශේෂයෙන්ම කුල භේදය නිසා සමාජයේ කොන් වීමකට ලක් වී සිටින ප්‍රජාව සම්බන්ධයෙන් පූර්ණ සැලකිල්ල යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදන්න අප බලාපොරොත්තු වෙනවා. නමුත් මම අවස්ථා ගණනාවකදී අවධාරණය කළ කරුණක් යළිත් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. රට බෙදීමට හෝ බෙදීමට තුඩු දෙන  හෝ කිසිදු පියවරක් අප ගන්නේ නැහැ.

මට මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නැහැ. මම නියෝජනය කරන පක්ෂයට ඉන්නේ එක මන්ත්‍රීවරයයි. නමුත් මම ජනාධිපති හැටියට ඒ පක්ෂය නියෝජනය කරන්නේ නැහැ. මම නියෝජනය කරන්නේ මුළු රටේම ජනතාවයි.  මෙතැනදී පක්ෂ දේශපාලනයක්  මට නැහැ.
ඒ නිසා මේ සියලු යෝජනා මම ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ ජාතික සභාව මාර්ගයෙන්. ඊට අමතරව ජනතා අදහස් නියෝජන කාර්යයන් උදෙසා අප ජන සභා පනත නීතිගත කරනවා.

මම කලින් අවස්ථා ගණනාවකදීත් අවධාරණය කළ පරිදි අලුතින් සිතා, අලුත් ගමනක් යන්නට කාලය දැන් එළැඹ තිබෙනවා. මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දේශපාලන වාසි තකා බොරුවෙන්, මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැළපෙන්නේ නැහැ.

සිස්‍ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මේකත් ‍සාම්ප්‍රදායික දේශපාලනයේම කොටසක්. “අපි ආවොත් අපි වෙනස් කරනවා” එහෙම තමයි කියන්නෙ. අපි ඇදේට යන ගමන්, අනුන් වෙනස් කරන්න උත්සාහ ගන්නවා.

ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කතා කළ අය, බලය හමුවේ ස්වාධීන කොමිෂන් සභා එපා  කියනවා. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරපු අය, තමන් බලයට පත් වුණාම ඒ බලතල පාවිච්චි කරන හැටි ගැන කියනවා. බලය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරනවා.

අපි අතීතයේ සිට මේ දක්වා අත්විඳි දේවල් තමයි ‍මේවා.

මම යෝජනා කරන්නේ මේ තත්ත්වය අප වෙනස් කරගත යුතුයි. නැති නම් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අපි කාටවත් බැහැ.
වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි. අපි හැමෝම වෙනස් විය යුතුයි. ඒ වෙනස්වීම යහපත් විය යුතුයි. දේශපාලනඥයන් හැටියට අප වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. දේශපාලන පක්ෂ වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.
පාර්ලිමේන්තුව වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. විධායකය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. අධිකරණය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. රාජ්‍ය සේවය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.

මෙන්න මේ වෙනස වෙනුවෙන් අපි දැනටමත් පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය පිහිටුවා තිබෙනවා. නමුත් තවමත් අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජනය පත් කර නැහැ. එය කඩිනමින් කරන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. අධීක්ෂණ කාරක සභාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිත් වෙනස් කර ගැනීම මේ සභාවේ සිටින ඔබ සැමගේ වගකීමක්.

අප එතැනින් නවතින්නේ නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ආණ්ඩු පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කර ගැනීමට පියවර ගන්නවා.

මේ වෙනුවෙන්,

• පූර්ණ ස්වාධීනත්වය ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කරනවා.
• වර්තමානයේ මන්ත්‍රී ආචාර ධර්ම සම්බන්ධයෙන් පවත්නා නීති රීති ප්‍රමාණවත් නැහැ. එක්සත් රාජධානිය වැනි රටවල් ආදර්ශයට ගනිමින්,  මන්ත්‍රී ආචාර ධර්ම සහ පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනතක් කෙටුම්පත් කරනවා.
• මනාප ක්‍රමය විවිධ දූෂකයන්ට පාර කැපීමක් බව දැන් අප ප්‍රායෝගිකව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා විකල්ප ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව මුළු රටටම තදින් දැනෙනවා. පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කොට මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අපි ක්‍රියා කරනවා. නව මැතිවරණ ක්‍රමය තුළ බුද්ධිමතුන්ට, තරුණ පරපුරට සහ කාන්තාවන්ට නිසි ඉඩකඩක් සැලසිය යුතු බවත් මම විශ්වාස කරනවා.

අද ලංකාවේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. දේශපාලන පක්ෂවලට වඩා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මැතිවරණ සඳහා නිර්මාණය කරගත් දේශපාලන සන්ධානයි.

මේ බොහොමයක් මුදල්වලට විකුණුනු දේශපාලන පක්ෂ. පිටකොටුවේ පදික වේදිකාවේ වගේ, පක්ෂයත්, ලාංඡනයත් විකුණනවා. සමහර ඒවා විකිණෙනවා. මේ පක්ෂ අයිතිය ගැන අධිකරණය ඉදිරියේ නඩු පවා තිබෙනවා.

ලාංකේය දේශපාලන පක්ෂ සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති කොමිසමක් පත් කිරීමට මම ක්‍රියා කරනවා.

පක්ෂ ලියාපදිංචිය, විනිවිදභාවයෙන් ක්‍රියා කිරීම, සාමාජික අයිතිවාසිකම්, අරමුදල් සහ ආදායම් ලබා ගැනීම, මැතිවරණ ව්‍යාපාර සඳහා වියදම් කිරීම, ජනමාධ්‍ය භාවිතය ආදී කරුණු ගැන ගැඹුරින් සොයා බැලීමේ වගකීම මේ කොමිෂන් සභාවට පැවරෙනවා.

මේ කාර්යයේදී කෙන්යාවේ, ජර්මනියේ සහ නෝර්වේ රාජ්‍යයේ දේශපාලන පක්ෂ පිළිබඳ පනත, එක්සත් රාජධානියේ ඡන්ද දායක පනත, රාජ්‍ය වගවීම පිළිබද යුරෝපීය ක්‍රමවේදය, එක්සත් රාජධානියේ දේශපාලන පක්ෂ සහ ජනමත විචාරණ පනත පදනම් කර ගැනීමට අපේක්ෂා කරනවා.

අනාගතය වඩාත් යහපත් කර ගැනීම උදෙසා නව ආයතන, නව නීති රීති සහ නව ව්‍යාපෘති ගණනාවක් හඳුන්වාදීමට පියවර ගන්නවා.
ඉතිහාසය පිළිබඳ ආයතනය, ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආයතනය අප අලුතින් ස්ථාපිත කරනවා. ඒ වගේම නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවනවා. රාජ්‍ය පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සහ ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඊට අයත් වෙනවා.
 
අලුත් නීති රීති සහ අණපනත් ගණනාවක් හඳුන්වාදීමටත් අප පියවර ගන්නවා.

• කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභා පනත
• ස්ත්‍රී  පුරුෂ සමානාත්මතා පනත
• ස්ත්‍රී සවිබල ගැන්වීමේ පනත
• ළමා ආරක්ෂණ පනත
• යොවුන් පාර්ලිමේන්තු පනත
• මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මූලස්ථාන පනත
• සත්‍ය සහ සංහිඳියා කොමිසම
• ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ ජාතික ආරක්ෂක පනත
• දැනට ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත අහෝසි කරනවා. ව්‍යවස්ථාවේ ඇති ප්‍රකාශන අයිතිය පදනම් කර ගනිමින් කලා නිර්මාණ වර්ගීකරණ පනතක් සකස් කරනවා.

අපේ රට පිහිටා තිබෙන්නේ දේශගුණික විපර්යාසයන්ට භාජනය වන කලාපයේයි. අප දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් නිසි පිළිවෙතක් අනුව කටයුතු කළොත් අපිට හරිත ප්‍රතිපාදන ලබා ගැනීමේ අවකාශය ද හිමි වෙනවා.

ඒ සියල්ල සැලකිල්ලට ගෙන අප මෙන්න මේ අණපනත් හඳුන්වාදීමට පියවර ගන්නවා.

• දේශගුණික විපර්යාස පනත
• සමාජ සාධාරණත්ව කොමිෂන් සභා පනත
• ප්‍රතිවනරෝපණ සහ වෘක්ෂාවරණ පනත
• ජීවමාන පද්ධති පනත - මහවැලි ගග, සිංහරාජය, සිරිපාද අඩවිය හා වන ශිඛරය, හෝර්ට්න් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම මේ පනත යටතට ගැනෙනවා.
• සාගර සම්පත් ගවේෂණ සහ කළමනාකරණ නීතිය
• මුතුරාජවෙල සංරක්ෂණ පනත
ආර්ථිකය සම්බන්ධයෙන් ද නව අණපනත් හඳුන්වා දෙන්නට කටයුතු කරමින් යනවා. රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා ශූන්‍ය පාදක අයවැය  (Zero Budgeting)  ක්‍රියාවලියක්  ආරම්භ කරනවා.
• ආදායම් අධිකාරි පනත
• ජාතික ණය කළමනාකරණ පනත
• ආහාර සුරක්ෂිතතා පනත
• රාජ්‍ය දේපළ කළමනාකරණ පනත
• ආර්ථික ස්ථායීකරණ පනත
• ජාතික විශ්‍රාම දායකත්ව පනත

• නව සුරාබදු පනත
• විදේශ විනිමය පනතට සංශෝධන
• බුන්වත් පනත
• ඩිජිටල් තාක්ෂණ පනත
• කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තු පනත
• අන්‍යොන්‍ය එකඟත්වය මත දික්කසාදවීමේ පනත

මෙ වැනි ආර්ථික සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම්, නිවැරදි කරුණු මත පදනම්ව ජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. සමාජය දැනුම්වත් කිරීමේ ප්‍රධාන භූමිකාව හිමි වන්නේ ජනමාධ්‍ය වෙතයි.

ඒ සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දිය යුතුයි. 1993 දී මම අග්‍රාමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය පුහුණු ආයතනයක් පිහිටුවීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට ආචාර්ය ගාමිණී කොරයා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එම ආයතනය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත්, 1994 මහ මැතිවරණය නිසා එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය ආයතනයක සිට විශ්වවිද්‍යාලයක් දක්වා වූ ආයතන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

පසුගිය දශක ගණනාව දෙස විමසිල්ලෙන් බලද්දී ජනමාධ්‍යයේ භූමිකාව නිසි ලෙස ඉටු වී ඇත්ද? යන ප්‍රශ්නය අප ඉදිරියේ පැනනගිනවා. ඒ නිසා ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණයන් ද අපේ රටට අවශ්‍ය වෙනවා. මෙහිදී සාම්ප්‍රදායික ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන අංශ දෙකම අපේ සැලකිල්ලට ගත  යුතුයි. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුත්තේ ඒ නිසයි.

රජය සහ මාධ්‍ය කර්මාන්තය එකට එකතුව සාමූහික ස්වයං නියාමන ක්‍රමවේදයක් ගැන සැලකිලිමත් වීම වැදගත් යැයි මම කල්පනා කරනවා. සයිබර් අවකාශයේ අසත්‍ය ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශන, දුස් තොරතුරු, ළමා සහ කාන්තා හිංසන, අඩන්තේට්ටම් පමණක් නොව වංචා දූෂණ ද අප අත්විඳිනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා සමාගම් ද ඇතුළත් වන පාරදෘෂ්‍ය නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බව අප හිතනවා.
අප මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ ප්‍රතිපත්ති පිළිබඳ එකඟත්වයක් ඇති කර ගැනීමයි.

ආණ්ඩු මාරු වෙද්දි වෙනස් නොවන, ජාතික ප්‍රතිපත්තියක්. ඇමැතිවරුන් මාරුවෙද්දි වෙනස් නොවෙන ජාතික ප්‍රතිපත්තියක්. ලෝකයේ දියුණු වුණු හැම රටක්ම ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගිය රටවල්. කාලානුරූපව ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. ඒත් ආණ්ඩු මාරු වෙද්දි ප්‍රතිපත්ති උඩියටිකුරු කරන්නේ නැහැ.

මේ සිස්ටම් චේන්ජ් එකක ආරම්භයක් පමණයි. තවත් බොහෝ වෙනස්කම් අප සිදු කළ යුතුයි. ශ්‍රී ලංකාවාසීන්ගේ, විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ අදහස් අනුව ඒ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ නිසා ඉදිරි වසර 25 තුළ අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න කියා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම මම කරන්නේ මේ සභාවේ සිටින ඔබ සැමගෙන් විතරක් නෙවෙයි. මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගෙන්මයි. ඔබ ලංකාවේ සිටියත්, විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. රට යළි ගොඩනැංවීමේ සාමූහික ව්‍යායාමයට එක් වන්න.
අද මේ රටේ බොහෝ දෙනෙකුට අද රට පත්ව ඇති අර්බුදයේ දිග - පළල - ගැඹුර වැටහෙන්නේ නෑ. ඒ, අපි හැමගේම ජීවිත කාලය තුළ මෙතරම් අනතුරුදායක හා බරපතල අර්බුදයකට අප මුහුණ පා නැති නිසා.

මේ අර්බුදයෙන් කඩිනමින් ගොඩ එන්න නම් අපි සියල්ලන් එකට එක්විය යුතු බව මම නැවතත් අවධාරණය කරනවා. ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්, රාජ්‍ය නොවන සංවිධාන ආදී සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම්කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි.

මම පෙර සඳහන් කළ සියලු කණ්ඩායම් වර්තමානයේ කැපවීම් කරනවා. බර දරනවා. දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඒ නිසා අප ආර්ථිකය යළි ඔසවා තැබීමෙන් ලැබෙන ප්‍රතිලාභ සියල්ලත් ඒ අය වෙත බෙදී යා යුතුයි. ඔවුන් ආර්ථික සංවර්ධනයේ යහ ප්‍රතිඵලවල කොටස්කරුවන් විය යුතුයි.

මේ සමාජ සම්මුතිය ක්‍රියාත්මක කිරීම උදෙසා අප සමාජ සාධාරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර 25 සඳහා අලුත් ප්‍රතිපත්ති රාමුව මේ සමාජ සම්මුතිය පදනම් කර ගනිමින් නිර්මාණය කරනවා.

අවසාන වශයෙන් මම නැවතත් සිහිපත් කරන්න කැමතියි. රාජ්‍යය සහ ආණ්ඩුව අතර වෙනස අප අවබෝධ කර ගනිමු. ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කරන්නට අප හැමෝම බැඳී සිටිනවා. මැතිවරණවලදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියකුට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව අරාජික කිරීමේ අයිතිය කිසිවෙකුටත් නැහැ. කිසිදු දේශපාලන පක්ෂයකටත් නැහැ. කිසිදු කණ්ඩායමකටත් නැහැ.

අපේ මාතෘභූමිය ආර්ථික හෝ සමාජයීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බෑ. රට අරාජික කරන්නට ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නෙත් නැහැ. අපි සියලු දෙනා සිටගත යුත්තේ රටට ආදරය කරන පාර්ශ්වයේ මිස, රට අරාජික කරන පාර්ශ්වයේ නෙවෙයි.

පසුගිය “සන්ඩේ ටයිම්ස්” පුවත්පත ඔස්සේ තරුණ තරුණියන් දැක්වූ අදහස් කිහිපයක් ගැන අප මීට කලින් අවධානය යොමු කළා. මගේ කතාව අවසන් කරන්නට පෙරාතුව ක්ලිෆර්ඩ් ප්‍රනාන්දු දක්වා තිබූ තවත් අදහසක් පිළිබඳව මම ඔබේ අවධානය යොමු කරන්නට  කැමතියි.

"I hope the political leaders will get their act together - they have failed miserably. Leaders should have the ability to lead by example if they expect people to follow. Sri Lankans are very resilient and will buckle up and do what it takes to come out of the present crisis. If the leaders could act wisely, use some common sense and put their words to action, we will be able to maneuver through these challenging times"

‘‘දේශපාලන නායකයන් එකට එක්ව කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ වෙද්දි අභාග්‍යසම්පන්න ලෙස අසාර්ථක වෙලා තිබෙනවා. ජනතාව ඔවුන් අනුගමනය කරතැයි බලාපොරොත්තු වෙන්නේ නම්, ඔවුන් ආදර්ශවත් විය යුතුයි. නම්‍යශීලී ශ්‍රී ලාංකිකයන්ට වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරා ගැනීමේ ශක්තිය තියෙනවා. නායකයන් බුද්ධිමත්ව හා සිහි නුවණින් යුතුව කියන දේ ක්‍රියාත්මක ‍කළොත්, උපායශීලීව මේ අභියෝගාත්මක සමය ජය ගන්නට අපට පුළුවන්.”

රට ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටින, රට හැර නොයන්නට අධිෂ්ඨාන කරගෙන සිටින මේ දරු දැරියන්ගේ, මේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් ජය ගැන්වීම, මේ සභාවේ සිටින අප සැමගේ වගකීමක්. ඔවුන්ට නිදහස් හෙටක්, නිවහල් රටක්, උරුම කරදීම මේ සභාවේ සිටින අප සැමගේ වගකීමක්.

ඔබ ඊට සූදානම් ද?

අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු. අපි එකට එක්වෙමු. පොදු එකඟත්වයක් ඇති කර ගනිමු. ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලින් පෝෂිතව ඉදිරියට යමු. රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට මේ අර්බුදයෙන් මුදා ගත් පසු ඒ ගැන සිතමු.

ගෞතම බුදුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා.
‘තමා තමාටම පහනක් වන්න’
ඒ උපදෙස පිළිගනිමින්, අපි අපිටම පහනක් වෙමු.
රටම එළිය කළ හැක්කේ එවිටයි.
ස්තූතියි

අත්තිකාරම් නොගෙවුවහොත් විදුලිය ඇනහිටිවී !

ගල් අගුරු නෞකාව හයකට සියයට 30 ක අත්තිකාරම් මුදල් ගෙවූවද ඉදිරියේදි ගෙන්වීමට ඇති නෞකාවලට අත්තිකාරම් මුදල් නොගෙවුවහොත් විදුලිය නිෂ්පාදනයට බලපෑම් එල්ල විය හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි.

එහි සභාපති ෂෙහාන් සුමනසේකර පැවසුවේ ඉදිරියේදී තවත් ගල් අගුරු නෞකා 16 ක් ගෙන්විය යුතු බවයි.'

ඉදිරි දිනවල පැමිණීමට නියමිත නෞකා තුනද දිවයිනට පැමිණීමෙන් අනතුරුව ලබන මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු තොග රට තුළ පවතින බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව විදුලිය නිෂ්පාදනය කිරීමට විදුලි බලාගාර සඳහා අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීම සදහා මුදල් ලබා දෙන ලෙස ගල් අගුරු සමාගමේ සභාපතිවරයා විසින් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබිණ.

ඒ සදහා අමෙරිකානු ඩොලර් බිලියන 12.32 ක් හෙවත් රුපියල් බිලියන 4.56ක් අවශ්‍ය බව ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් එන් සුමනසේකර ලිපියක් මගින් දැනුම්දී තිබිණ.

ලංකාවේ ආහාර සුරක්ෂිතභාවයට යුරෝ මිලියන 04ක්

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දැනට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදීම සදහා යුරෝපා සංගමය යුරෝ මිලියන 04ක්ලබා දෙයි.

මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ක්‍රියාවට නංවනු ලබන අතර එම වැඩපිළිවෙල අද (07) නිල වශයෙන් කොළඹ දී ආරම්භ කෙරුණි.

මෑතකාලීන ආර්ථික අර්බුදය රටේ සියලුම ගොවීන්ට, විශේෂයෙන් හෙක්ටයාර 0.5 දක්වා ඉඩම් වගා කරන කුඩා වතු හිමියන්ට දැඩි ලෙස බලපෑවේය. පොහොර සහ අනෙකුත් යෙදවුම් හිඟකම හේතුවෙන් පසුගිය අස්වනු නෙළන කන්න දෙකේදී විශාල වගාවක් අසාර්ථක වීම හේතුවෙන් මෙම ගොවීන් විශාල ලෙස පීඩාවට පත්ව ඇත. මෙය ආදායම අඩුවීමට හේතු වී ඇති අතර ආහාර ඇතුළු ඔවුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සැපයීමට ඇති හැකියාව කෙරෙහි බලපා ඇත.

යුරෝපා සංගමයේ තානාපති එච්.ඊ. ඩෙනිස් චයිබි පැවසුවේ “ආහාර හිඟය වැලැක්වීමට සහ ගොවීන්ගේ ආදායම වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට ගෙන ඒමට අපි FAO සමඟ අත්වැල් බැඳ ගත්තෙමු. අපි එක්ව පොහොර සහ බීජ වැනි අත්‍යවශ්‍ය යෙදවුම් ලබා දෙන්නෙමු. සම්පත් අඩු වී වගා ක්‍රම වෙත යොමු වන්නේ කෙසේද යන්න පිළිබඳව ගොවීන් සහ ව්‍යාප්ති නිලධාරීන් පුහුණු කරන්නෙමු. මෙම නව සහයෝගය ශ්‍රී ලංකාවේ වඩාත් තිරසාර, ඔරොත්තු දෙන සහ ඵලදායී කෘෂිකාර්මික අංශයක් වෙත සංවිධිත සංක්‍රමණයකට දායක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.“ යනුවෙනි.

මෙම ව්‍යාපෘතිය මගින් පොළොන්නරුව, බදුල්ල, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල හෙක්ටයාර 0.5ක් දක්වා ඉඩම් වගා කරන කුඩා වතු හිමියන් 41,000කට මෙම ව්‍යාපෘතිය මගින් ආධාර කරනු ඇත.

ඔවුන්ට 2023 යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50 මල්ලක් ලැබේ.

මීට අමතරව ඉලක්ක ගත ගොවීන්ට සහ ව්‍යාප්ති නිලධාරීන්ට පොහොර කාර්යක්ෂමව භාවිතා කරන ආකාරය, රසායනික පොහොර සදහා පවතින අවශ්‍යතාවය අවම කිරීම, කාබනික පොහොර භාවිතය ඉහළ නැංවීඹ සහ දීර්ඝකාලීන වශයෙන් පසේ සාපල්‍යතාවය ඉහළ නැංවීම පිළිබඳව පුහුණුවක් ලබා දෙනු ඇත.

එසේම ගුණාත්මක වශයෙන් ඉහළ බීජ වගා කිරීම සදහා සහ රජය සතු ගොවිපළවල සහතික කරන ලද බීජ වගාකිරීමත්, සැකසීම ශක්තිමත් කිරීම සදහා ද මෙම ව්‍යාපෘතිය සහාය දක්වනු ඇත.

තුර්කියේ සහන සේවාවට යුද හමුදාවේ සහය....

තුර්කිය සහය ඉල්ලන ඕනෑම අවස්ථාවක හමුදා කණ්ඩායමක් පිටත් කර හැරීමට සූදානම් බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  පවසයි.

තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බව යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත්  මේ බව පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.

මෙම පිරිස යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ ඉංජිනේරු බලකායේ නිලධාරීන්ගෙන් සමන්විතය.

මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් දිවයිනෙන් පිටව යාමට නියමිත මෙම කණ්ඩායමට බ්‍රිගේඩියර්වරයෙකුද අනුයුක්ත බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.

තුර්කි තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකරන ඕනෑම අවස්ථාවක දිවයිනෙන් පිටව යාමට එම කණ්ඩායම සූදානම් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත්  වැඩිදුරටත් පැවසීය.

චාල්ස් මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පිළිගෙන තිබේ.

එතුමිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයාට යොමුකර තිබූ බවත් එය ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පිළිගෙන නැති බවත් අනාවරණය වී තිබිණ.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කළේ, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වුව ද පළාත් පාලන මැතිවරණයට බලපෑමක් නොවනු ඇත.

මාධව් පදනමෙන් ඩොලර් මිලියන 1.5 ක ජීවිත ආරක්ෂක ඖෂධ පරිත්‍යාගයක්

මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ සඳහා භාවිතා කරන, ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ඖෂධ එන්නත් තොගයක් මුකුල් මාධව් පදනම (Mukul Madhav Foundation) හා එක්සත් රාජධානියේ ඉන්දීය සම්භවයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ (06) පරිත්‍යාග කෙරිණි.

ඒ අනුව එම ඖෂධ එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත එම සංවිධාන එක්ව නිළ වශයෙන් බාර දෙනු ලැබීය. මෙහිදී අඩු රුධිර පීඩනය සහ කම්පනය සඳහා භාවිතා කරන එන්නත් (Hypotension Anaphylaxis Septic Shock) 140,000 ක තොගයක් හා නිර්වින්දන හා ප්‍රතිවිෂ ඖෂධ (Antidote treat organophosphate Poison and to reduce saliva during surgery) 150,000 ක් වශයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට ප්‍රදානය කෙරිණි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ජිවිතාරක්ෂක ඖෂධ 14ක තොගයක් රටට අවශ්‍ය බවද, එම ජිවිතාරක්ෂක ඖෂධ සියල්ල මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අද ප්‍රදානය කෙරුණු එන්නත් තොගය සඳහා වන ප්‍රවාහන සහ අනෙකුත් පහසුකම් අශෝක් ලේලන්ඩ් ආයනතය විසින් සිදු කරනු ලැබූ අතර ඉදිරියටත් එම සංවිධානයන්හි සෞඛ්‍ය ප්‍රදානයන් සඳහා අදාළ පහසුකම් ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම්  පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන වත්මන් අභියෝග හමුවේ මෙවැනි හදිසි අවස්ථාවකදි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහයෝගය ලබාදීමට එක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  මෙහිදී ප්‍රසාදය පළ කළේය. 

 මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොවිඩ් 19 වසංගත රෝග කළමණාකරණ හා වෛද්‍යාධාර සම්බන්ධීකරණ වෛද්‍ය අන්වර් හම්දානි, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඉරීනා තාකූර්, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම්, ඉන්දියානු සම්භවයක් ඇති වෛද්‍යවරුන්ගේ බ්‍රිතාන්‍ය සංගමයේ (BAPIO) නියෝජිත වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ, ඉන්දියානු ප්‍රධාන විධායක සංසදයේ කිෂෝර් රෙඩ්ඩි යන මහත්ම මහත්මීහු ද එක් වූහ.

WhatsApp Image 2023 02 06 at 6.14.55 PM

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස නිශ්ශංක බන්දුල පත් කෙරේ

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස, නිශ්ශංක බන්දුල කරුණාරත්න  අද පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරියේයි.

මේ අතර මහාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර්  ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

“ගෑස් මිල ඉහළ ගියත් ආහාර මිල ඉහළ දාන්නේ නෑ” – අසේල සම්පත්

ගෑස් මිල ඉහළ දැමීම හේතු කොට ගෙන කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, අල, ළූණු, පරිප්පු, පාන් පිටි සහ සීනි යන භාණ්ඩවල මිල වෙළෙඳපොළේ අඩු මිලකට ලබා ගත හැකි බව ය.

එබැවින් පාරිභෝගිකයාගේ යහපත වෙනුවෙන් අහාරවල මිල ඉහළ නොදමන බව අසේල සම්පත් ප්‍රකාශ කළේ ය.

“මේ වෙලාවේ සියලු ම ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ගෑස් මිල වැඩි වීම තුළ කිසිදු ආහාර පානයක මිල වැඩි කරන්න එපා. විදුලි බිල නම් වැඩිකළොත් අපිට අනිවාර්යයෙන් ම ඒ වැඩි කරන ගානට සාපේක්ෂව වැඩි කරන්න වෙනවා. ප්ලේන්ටියේ ඉඳලා. මොකද ප්ලේන්ටිය පවා හදන්නේ කරනට් එකෙන්.”

නේපාල සහ බංග්ලාදේශ විදේශ ඇමතිවරු, අගමැති අතර හමුවක්

බංග්ලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුන් වන ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් සහ ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් 75 වැනි නිදහස් සංවත්සරයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතරවාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  අරලියගහ මන්දිරයේදී හමුවිය.

දකුණු ආසියාවේ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අමාත්‍යවරුන් දෙදෙනාම මෙහිදි අවධාරණය කළේය. දකුණු ආසියාතික රටවලට එකිනෙකාගේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත හැකි බව පෙන්වා දුන් ඔවුහු දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාර්ක්) දැනට පවතින අවහිරතා සමීප සහයෝගීතාවයට බාධා පමුණුවන බව පෙන්වා දුන්හ.

නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය පෞද්‍යාල් දෙරට අතර ඓතිහාසික ආගමික හා සංස්කෘතික සබඳතා ගැන සඳහන් කළ අතර, බුදුන් උපන් ස්ථානයට පැමිණෙන බෞද්ධයන් විශාල සංඛ්‍යාවකට පහසුකම් සැලසීම සඳහා කොළඹට සහ කත්මණ්ඩුවට සීමා වී ඇති ගුවන් සම්බන්ධතාවයට ලුම්බිණියේ ගෞතම බුද්ධ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළත් කර පුළුල් කළ යුතු බව පැවසීය.

නේපාලයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍රමවලින් බොහෝ දේ ඉගෙන ගත හැකි බව පෙන්වා දුන් ඇය සමීප සහයෝගීතාවක අවශ්‍යතාව අවධාරණය කළාය. දකුණු ආසියාවේ කුඩා රටවල් එකට නැගී සිටිය යුතු බව ඇය පැවසුවාය.

බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් දකුණු ආසියානු අසල්වැසියන අතර පවතින ආංශික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.


දර්ශන හඳුන්ගොඩ ට ඇප.....

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

ඊයේ (05) රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ.

පසුව ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප ලබාදීමට නියෝග කෙරුණි.

ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මඟ හැර යාමේ චෝදනාව මත දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගනුලැබූ බව පොලිසිය පවසයි.

ඉකුත් වසරේ අරගල සමයේ මැයි 09 වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ කලහකාරී සිදුවීමේදී ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල මුදාහැරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් අරඹා තිබුණි.

පසුව එම විමර්ශනයට අදාළව දර්ශන හඳුන්ගොඩගෙන් ඉකුත් වසරේ මැයි 31 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

වැඩිදුර විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔහුට මෙම වසරේ ජනවාරි 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීම ලැබෙන අවස්ථාවේ ඔහු විදේශගතව සිටියේය.

එම තත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය දර්ශන හඳුන්ගොඩට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණ.

ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ රාත්‍රී යළි දිවයිනට පැමිණෙමින් සිටියදී දර්ශන හඳුන්ගොඩ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අධිකරණ නියෝගය අනුවය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව සිදුකරන බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ලාෆ් ගෑස් මිළත් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබෙයි

ඒ අනුව නව මිල ගණන් පහත පරිදි වෙයි.

12.5kg - රු : 200/= නව මිල රු: 5280/=
5kg - රු: 80/= නව මිල රු: 2112/=
2kg - රු: 32/= නව මිල රු: 845/=

තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු අභිරහස් ලෙස මිය යයි

ශ්‍රි ලංකාවේ කෘෂි රසායන ක්ෂේත්‍රයේ නිරත ප්‍රකට සමාගමක්වන 'ඔපෙක්ස් හෝල්ඩිංග්ස්' සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු ව්‍යාපාර ගණනාවක් හිමි ව්‍යාපාරිකයකුවන ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකර්තා හි දී අබිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව අනාවරණය කර 'ද මෝනිං' වෙබ් අඩවිය පවසන්නේ ඉන්දුනීසියා ජකර්තා නුවර සුඛෝපභෝගී මහල් නිවාසක මියගොස් සිටියදී අද (05) ඔහුගේ දේහය සොයා ගෙන ඇති බවයි.

ඔනේෂ් සුබසිංහ විවාහ වී සිටින්නේ බ්‍රසීලියානු ජාතික කාන්තාවක සමඟය. ඔනේෂ් ඇයත් ඔහුගේ 4 හැවිරිදි දියණිය තවත් නාඳුනන බ්‍රසීල ජාතික කාන්තාවකුත් සමග ජකර්තා හි පෞද්ගලික සංචාරයකට ගොස් ඇත.

 ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිය ගැන සැකයක්

ඔනේෂ් සුබසිංහ අවසන් වරට පසුගිය අඟහරුවාදා (02) කොළඹදී ඔහුගේ පවුලේ අය සමඟ සම්බන්ධ වී ඇති අතර ඉන් පසුව සම්බන්ධතා නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන් මහල් නිවාස කළමනාකාරිත්වය අමතා සුබසිංහ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා ඇත.

ඔහු හෝ බිරිඳ සම්බන්ධ කර ගත නොහැකි තැන මහල් නිවාස කළමනාකාරීත්වය නිවසේ අගුලු කඩා ඇතුළු වෙද්දී මියගිය ඔනේෂ් සුබසිංහගේ ගේ සිරුර හමුවී ඇත.

පසුව මහල් නිවාසයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ, ඔහුගේ බිරිඳ, දියණිය සහ නාඳුනන කාන්තාව අඟහරුවාදා එම නිවසින් පිටවී යන්නේ ‘බාධා නොකරන්න’ (Do nit Disturb) පුවරුවක්ද දොරේ එල්ලීමෙන් පසුවය. කෙසේ වුවද බිරිය හා දරුවාත් පැමිණි නාඳුනන කාන්තාවත් අඟහරුවාදා දෝහා බලා පිටත්ව යන ගුවන් යානයකින් රටින් පිටව ගොස් ඇති බව සොයාගෙන ඇත.

සුබසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති බව ඔපෙක්ස් හෝල්ඩිංග්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. ආයෝජන, ශාස්ත්‍රඥයන් සහ පළපුරුද්ද පිළිබඳ ඔහුගේ දැනුම OPEX හෝල්ඩින්ග්ස් වෙත ඉතා වැදගත් වූ අතර, ඔහු සාර්ථක වූ ව්‍යාපාරික අභියෝග භාර ගැනීමට ද ප්‍රසිද්ධ විය.

OPEX යනු දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා විශේෂිත දියර පොහොර නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ පළමු සමාගම වේ.

 (lankasara.com)

වියදම් කළමනාකරණය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්....

මේ දින වල මුදල් අමාත්‍යංශය වියදමට මිස ඡන්දයට බිය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදායමට වඩා කිහිප ගුණයකින් වැඩි ප්‍රමාණයක වියදම් දැරීමට සිදුව ඇති කාලයක ඉහළින් කළමනාකරණය කරමින් මෙම ඡන්ද කටයුතු පවත්වා ගෙන යන බව ය.

“වියදම් ප්‍රමුඛතා අනුපිළිවෙළකට සකස් කර ගැනීම නිසා තමයි මාස කිහිපයකට කලින් දැක්ක කිලෝමීටර ගණන් දිග මිනිස්සු මැරී වැටුණු පෝලිම් අද දකින්න නැත්තේ, මහ බඩු හිඟය අද දකින්න නැත්තේ සහ ගොවියාට පොහොර ටික ලැබෙන්නේ. ඒ කළමනාකරණය සඳහා භාණ්ඩාගාරය විවිධකාර කළමනාකරණ චක්‍රලේඛ නිකුත් කරනවා.”

එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ලබන 8 වන දා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒම පිළිබඳව ප්‍රශ්න කර සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, මුදල් අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ය.

“මුදල් අමාත්‍යංශය වගඋත්තරකරුවෙක් කරමින් මේ ඡන්දය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණා යම් කිසි පුද්ගලයෙක්. මේ වෙලාවේ මුදල් අමාත්‍යංශයේ තිබෙන අසීරුතා පිළිබඳව දිවුරුම් පෙත්සමක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරා. ඒක මුදල් අමාත්‍යංශයේ යුතුකම. සැබෑ තත්ත්වය අධිකරණයට කියන එක. ඉන් එහාට ගිහිල්ලා 8 වන දාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වියදම් කරන්න බැහැ කියලා එහෙම කිසිදු සූදානමක් මුදල් අමාත්‍යංශයට නැහැ.”

maubima

පාකිස්තානය, විකිපීඩියා තහනම් කරයි

ආගමික සහ දේව අපහාසාත්මක අන්තර්ගතයන් ඇතුලත් වීම හේතුවෙන් පාකිස්තානය තුල විකිපීඩියා වෙබ් අඩවිය අවහිර කර ඇති බව පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය පවසයි.

පසුගිය සෙනසුරාදා මෙම නිවේදනය නිකුත් කල අතර අදාල අන්තර්ගතයන් වෙනස් කිරීම සඳහා විකිපීඩියා වෙබ් අඩවියට පැය 24 ක සහන කාලයක්ද ලබා දී ඇති අතර එරට විදුලි සංදේශ අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ විකිපීඩියාව එයට අනුකූල වීමට අපොහොසත් වූ බවයි.

කෙසේ වෙතත් අදාල විකිපීඩියා පදනම ප්‍රකාශ කරන්නේ මෙම තහනම දිගටම පැවතුනහොත් එය “පාකිස්තානයේ දැනුම, ඉතිහාසය සහ සංස්කෘතිය වෙත සෑම කෙනෙකුටම ප්‍රවේශ වීමේ අයිතිය අහිමිකිරීමක් වනු ඇති බවයි.

ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාවට ඉන්දියාවෙන් බස් රථ 500ක්

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් බස් රථ 50ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අතින් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඊට අදාල ලේඛන කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ ජනාධිපතිවරයාට බාර දුන්නේය.

පීත්ත පටි කපා බස් රථ දෙකක් විවෘත කළ ජනාධිපතිවරයා ඒවා නිරීක්ෂණය කිරීමට ද එක් විය. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

එහි පළමු තොගය ලෙස බස් රථ 75ක් පසුගියදා ශ්‍රී ලංකා රජය වෙත බාර දෙනු ලැබීය.

තවත් බස් රථ 40ක ලියාපදිංචි කටයුතු මේ වන විට සිදු වෙමින් පවති.

ඒ අනුව බස් රථ 165 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර 2023 මාර්තු අවසන් වන විට බස් රථ 500 ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය.

image fd84bd6f61

පාකිස්තානයේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ.

ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.

අවයවවලට හානි වන දුර්ලභ රෝගයක් වන ඇමිලොයිඩෝසිස් නම් රෝගයෙන් හිටපු ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා දීර්ඝ කාලයක් පීඩා විඳ ඇත.

ලිට්‍රෝ ගෑස් මිළ ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ දමා ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 134කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,904ක් වන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේය.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 883ක් වේ.

Page 1 of 241