V2025

පුවත්

ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කරයි

එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම් 09ක් ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ නිෂ්පාදනය හෝ අලෙවිය තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පරිසර අමාත්‍ය නසීර් අහමඩ්  විසින් නිකුත් කර ඇත.

ඒ අනුව එක්වරක් පමණක් භාවිත කරන බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල්මාලා හා ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි යන අයිතම ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් වේ.

ඒවා රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධානවලට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන්

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය සඳහා නව තානාපතිවරුන් දෙදෙනෙක් පත්ව සිටින අතර, මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සඳහා නව මහකොමසාරිස්වරයෙක් පත්ව සිටියි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  විසින් පිළිගනු ලැබීය.

අද අක්පත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත දැක්වේ

  1. Mr. Damiano Francovigh – Ambassador – designate of the Republic of Italy in Colombo.

( දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා – තානාපති – ඉතාලි ජනරජය)

    2. Mr. Andrew Patrick – High Commissioner – designate of the United Kingdom of Great Britain & Northern Ireland

(ඇන්ඩෘ පැට්‍රික් මහතා – මහ කොමසාරිස් – මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය)

      3. Dr. Felix Neumann- Ambassador – designate of the Federal Republic of Germany

(ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා – තානාපති – ජර්මානු ෆෙඩරල් ජනරජය)

අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරයා සමඟ සුහද කතා බහක ද නිරත විය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන අය ද මෙම අවස්ථාවට එක් සිටිය හ.

සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට

සිංගප්පූරු සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඇතුළු පිරිස ඊයේ (22) රාත්‍රී දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11.27 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි.

දෙදින නිල සංචාරයක් සඳහා 21 වැනි දා ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය.

එහිදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිනිය, අග්‍රාමාත්‍යවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණි.

ජනපතිගේ සිංගප්පුරු සංචාරයේ දී කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක්

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව අද (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය.

මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින සහයෝගීතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු විය.

දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

එසේම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබිණි.

සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ස්ථීර ලේකම් (සංවර්ධන) බේහ් ස්වන් ජින් මහතා (Beh Swan Gin) සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සශිකලා ප්‍රේමවර්ධන  ගිවිසුමට අත්සන් තැබීය.

පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට මෙලෙස අත්සන් තැබිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අය ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර සිංගප්පූරුවේ තිරසර සහ පරිසරය පිළිබඳ අමාත්‍යවරිය වන ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien)  ද ඊයේ (21) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමු වී සාකච්ඡා පැවැත්වීය.

 0001korona

මහජන ආරක්ෂක ඇමතිගෙන් දැනුම් දීමක්

යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  අවධාරණය කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවධානය යොමු ඇති බවය.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බවටත් එම මහජන නියෝජිතයා එදින කළ ප්‍රකාශ කර තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණ.

මෙවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඇතැම් දේශපාලකයන් ජන කොටස්වල ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ජාතික ගීය ගැයීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක්

ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවක් මගින් හඳුන්වාදීමට යෝජනා කර තිබේ.

ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ විමර්ශන නිලධාරියෙකු අදාළ කමිටුවට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව සඳහන් ය.

ඊට හේතුවී ඇත්තේ මෙරට ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සඳහන්ව තිබුණ ද ජාතික ගීය ගායනයේදී මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් සඳහන්ව තිබීම ය.

කෙසේවෙතත් උමාරා සිංහවංශ ජාතික ගීය උච්ඡ ස්වරයෙන් ගායනා කර ඇති බවට කමිටුව විසින් හදුනාගෙන ඇති අතර එය ඇය විසින් ද පිළිගෙන තිබේ.

විමර්ශන කණ්ඩායම විසින් මීට අදාළ වාර්තාව පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇත.

අධ්‍යාපන ඇමති ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට යයි

චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University – BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE) එක්ව සංවිධාන කරන ලද ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව – 2023 (Global Smart Education Conference) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  සහභාගි විය.

චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලයේ දී එම සමුළුව පැවැත්වුණි.

2016 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සමුළුවේ තේමාව වන්නේ ‘අධ්‍යාපන පරිවර්තනය සහ දත්ත කළමනාකරණයයි’.

එම තේමාවට අනුව 2023 වසරට අදාළ ව අධ්‍යාපනික ඩිජිටල්කරණය සහ යාවජීව අධ්‍යාපනය, දත්ත පාලනය හා ඥාන ගවේෂණය, කෘත්‍රීම බුද්ධි හා අධ්‍යාපනික සොයාගැනීම් පාලනය වැනි විෂයන් පිළිබඳ මෙහි දී සාකච්ඡා විය. ලොව පුරා විසිරී සිටින ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන් සහ වෘත්තීකයන් මෙම සමුළුව‍ට සහභාගි විය.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් තාක්ෂණික ව බලගැන්වීම් සහිත ව මෙරට අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය සිදු කරගෙන යෑමේ දී මුහුණ දෙමින් සිටින අභියෝග හා ලද විවිධ අද්දැකීම් සම්බන්ධයෙන් කරුණු සහිත ව අදහස් දැක්වී ය. අමාත්‍යවරයාගේ දේශනය එම සමුළුවේ වැඩි අවධානයක් දිනාගත් අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කෙරෙමින් පවතින අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය සඳහා මෙහි දී ලද හැකි විශේෂඥ දැනුම ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජනපති සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ්  සමග සාකච්ඡාවක නිරත වී තිබේ.

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සහ ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන අය අතර සාකච්ඡා කිරීමට නියමිතය.

දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පැරිස් ගිවිසුමට අනුව කාබන් හර කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන්  හමු වූ අතර එහිදී භූ දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා කලාපීය ස්ථාවරත්වයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය බලපවත්වේ.

ඉහත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කරයි.

1

 

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසුව අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මීට පෙර එම ලේඛන මාස 6කට වලංගු වන බව පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බවත් නිකුත් කරන ලද ඕනෑම සහතිකයක පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති සිංගප්පූරුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (අගෝ. 21) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

ජනාධිපතිවරයා සිය සංචාරයේදී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං (Lee Hsien Loong) සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් (Ng Eng Hen), තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) යන අය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මගින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිත ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අය ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක් වෙයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට (21) සහ අනිද්දා (22) දිනවලට අදාළ වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්  වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත.

මංගල වෙනුවෙන් ‘වායාම’ එළිදකියි

මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අගෝස්තු 24 වැනිදා ජනගත කිරීමට නියමිත ය.

කෘතිය ජනගත කෙරෙන්නේ එදින සවස 3.30ට ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ය.

ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ කතුවරයා එහිදී අදහස් දැක්වීමට නියමිතය.

ගායන ශිල්පිනි නිරංජලා මංජරී එදින ගීත ගායනයෙන් එක්වනු ඇත.

‘වායාම’ ද ලීඩර් ප්‍රකාශනයකි.

ලොකු ළූණු සදහා 40% ක අපනයන බද්දක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ළූණු සඳහා 40%ක අපනයන බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, එරට වෙළෙඳපොළ තුළ එළවළු හිඟතාවක් තොරව පත්වා ගෙන යාමේ ප්‍රයත්නයක් ලෙස මෙම පියවර ගෙන ඇති බව ය.

ඉන්දියානු මුදල් අමාත්‍යංශය විසින්  (අගෝ. 20) මේ බව නිවේදනය කරනු ලැබ ඇති අතර, දෙසැම්බර් 31 දක්වා මෙම අපනයනය බද්ද ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් ය.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත්තේ, ලොව විශාලතම ළූණු අපනයනකරු විසින් පනවන ලද මෙම බද්ද හේතුවෙන් එරට වෙළෙඳපොළ තුළ ළූණු මිල ගණන් පහළ යනු ඇති නමුත් කලාපයේ අනෙකුත් අපනයනකරුවන්ට සීමිත සැපයුම් ඇති බැවින්, ආසියාතික ගැනුම්කරුවන්ට ළූණු ආනයනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බව ය.

ඒ අනුව, බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා මෙම අපනයන බද්ද බලපානු ඇත.

මේ අතර, මෙරට ලොකු ළූණු වගාව සම්බන්ධයෙන් වහා ම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබේ.

සාර්ථකව සිදු කෙරුණු ලොකු ළූණු වගාව දැනට වසර හත අටක සිට අසාර්ථක වී ඇති අතර, මේ වන විට ගොවීන් ලොකු ළූණු වගාව අතහැර දමන තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වන අතර, මෙම වසර තුළ ජාතික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716ක් වීම හේතුවෙන් ගත වූ කාලය තුළ ආනයනය කර ඇති ලොකු ළූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131,795ක් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ජනපති යාල සංචාරයක.....

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය.

 ඊයේ (19) මෙම සංචාරයේ නිතර වූ අතර, ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලි චන්ග් මෙම සංචාරය සදහා සහභාගී වී ඇත.

සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු විය.

වියළි කාළගුණය නිසා සිඳී ගොස් ඇති ජල කඩිතිවලට ජලය මුදා හැරිමේ වැඩසටහනකටද ජනාධිපතිවරයා සහභාගී වූයේය.

යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන අතර අඩුම භූමි ප්‍රමාණයකදී ශ්‍රී ලංකා කොටියන් (Panthera pardus kotiya) නැරඹීමට හැකි ස්ථානයකි.

ජනපතිගේ මෙම සංචාරය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සහභාගී වූහ.

july 23820

 

(ජයාරූප - lankadeepa.lk)

ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක්

ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කණ්ඩායමේ වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීමට පියවර ගන්නා බවය.

බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බළකා උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර තිබේ.

බලය බෙදීම පිළිබදව පොහොට්ටුව දෙබිඩි පිළිවෙතක ! - නිමල් ලන්සා

බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සඳහන් කරයි.

නිමල් ලන්සා මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වේ.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට යාමේදී ඒ සඳහා විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැත. 13 ට එහා ගිය බලය බෙදීමේ විසඳුමකට වුවද එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දැනටත් අන්තර්ගත වන අතර ඒ යටතේ රටේ සියළු ජනතාවට පිළිගත හැකි බලය බෙදීමකට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සියළු දේශපාලන පක්ෂවල අදහස් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ "දෙබිඩි පිළිවෙත" රට ඉදිරියේ ප්‍රදර්ශනය කරමිනි.

ස්ථාවර ආර්ථිකයක් හා ඒකීය භාවය ගොඩනැගීමට රටේ සියලු ජන කොටස් අතර සාමය හා සංහිදියාව ගොඩනැගිය යුතුයි. රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම සදහා සැමට පිළිගත හැකි බලය බෙදීමක් සිදු කළ යුතුයි. එමගින් සියලු ජනකොටස් මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එවිට සියලු ජනකොටස් අතර ශ්‍රී ලාංකික හැගීම ගොඩ නැංවෙනු ඇත. සියලු ජන කොටස් වලට පිළිගත හැකි බලය බෙදීමකින් ජාත්‍යන්තර විශ්වාසය ද ගොඩනැංවිය හැකියි.

 ඒ පිළිබඳව අවම අවබෝධයක් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මතයට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහසට බැහැර මතයක් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනුයේ කුමන පදනමක සිටදැයි පැහැදිලි කළ යුතුයි.

''ජනාධිපති අපේක්ෂකයා කව්ද රටට කියන්න ''

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලබන බවට එම පක්ෂයේ සුළු පිරිසක් විවිධ අදහස් පළකර තිබෙන අතර හැකිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි සෘජුව ඔවුන් විසින් රටට හෙළි කළ යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවටත්, ඒ සදහා අකුරු තුනක නමක් සහිත නායකයකු ඉදිරිපත් කරන බවට විවිධ ඉඟි පළ කරමින් රටේ ජනතාව නොමග යවමින් සිටින්නේ පක්ෂය තුළ පොදු එකඟතාවයක් නොමැතිවීම හේතුවෙනි. හැකිනම් සියලු පාර්ශවයන්ගේ එකඟතාවය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ඔවුන් විසින් ප්‍රකාශ කළ යුතුයි.

රටේ ඇතිවූ අස්ථාවරත්වය මත ගොඩනැගුනු අර්බුදයන් හා රට යළි ගොඩනගමින් ආර්ථික, සමාජීය හා දේශපාලන ස්ථාවරත්වයක් උදා කරදුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනමතයක් නොමැති සුළු පිරිසකට අදවනවිට අමතක වී තිබේ. යළි දේශපාලන කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව නිර්මාණය කරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අමතක කර දැමීමට එම පක්ෂයේ සුළු පිරිසක් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.

රට තුළ ඇතිවූ අස්ථාවරත්වය හා ඒ මත ගොඩනැගුනු අර්බුදයන් විසදමින් රට තුළ ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි එකම නායකත්වය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තෝරා ගැනීම වූයේ ද වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එවැනි තත්ත්වයක් තුළ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදයන් විසදමින් ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව රට යළි ගොඩනංවමින් ආර්ථික, සමාජීය හා දේශපාලනික ස්ථාවරත්වයක් ස්ථාපිත කරනු ලැබූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පිළිබදව රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී තිබේ.

ඉදිරි දැක්මක් මෙන්ම ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව යළි ගොඩනැගිය හැකි එකම හා පරිනත නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත් ජනමතයක් නොමැති, ජනතා අභිමථාර්ථ හදුනා ගත නොහැකි සුළු පිරිසගේ මතය රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව" නිමල් ලන්සා මන්ත්‍රීවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

බඩඉරිඟු බදු පහළට

බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබේ.

බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණය.

මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය  ඒ බව පවසයි.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ජනපති හමු වෙයි

ප්‍රාදේශීය සභා, පළාත් සභා හා මධ්‍යම රජය යන අංශ තුනෙන් ම සේවා සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහි ම ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමග ඊයේ (අගෝ. 17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කර මසක් තුළදී ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ඔහු ප්‍රකාශ එහිදී කළේ ය.

“මධ්‍යම රජයේ පරිපාලන ක්‍රමය පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳ අප සාකච්ඡා කළ යුතු යි. ඇතැම් අවස්ථාවල ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන් ම එකම ආකාරයේ සේවාවන් ලබා දීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් කාණු කැපීම සහ විදුලි කාණු සිටුවීම හා මාර්ග ඉදිකිරීම පෙන්වා දිය හැකි යි. එලෙස කටයුතු කිරීමේදී විශාල මුදල් නාස්තියක් සිදු වෙනවා. එසේ නම්, මෙම යාන්ත්‍රණ තුනෙහි ම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසිය යුතු යි. ඒ සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කර මාසයක් ගත වීමට පෙර ඒ සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා. පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසාත්, පළාත් සභාවල ඇමතිවරු නොමැති නිසාත් පළාත් සභා ක්‍රමය යටතේ අද සම්පූර්ණ පාලන බලය තිබෙන්නෙ පළාත් ආණ්ඩුකාරවරුන් වන ඔබට යි. පසුගිය වසර අපට ඉතා අසීරු කාලවකාවනුවක් වුණා. ඒ බව නැවත සඳහන් කිරීම අවශ්‍ය නැහැ කියා මම විශ්වාස කරවා. රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දෙන අතර ම රටේ පාලන ක්‍රමය යථා තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතු යි. විශේෂයෙන් බිම් මට්ටමේ සේවා ලබාදීම සිදු වන්නේ පළාත් සභා මගිනුයි. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සේවා ලබා දීම මධ්‍යම රජය යටතේ සිදු වෙනවා. මෙම සේවාවන් ලබා දීමේ දී තරගයකින් තොරව ඒකාබද්ධව මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතු යි.”

ජනාධිපතිවරයා තවදුරට ත් සඳහන් කළේ, මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුවත් එමගින් සෑහීමකට පත් වීමට නොහැකි බව ත්
රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව ත් අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි බව ත් ය.

“ආහාර සුරක්ෂිතතා වැඩසටහන අප දැන් රට පුරා ම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි මහ කන්නයේදී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුව ද අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි. රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව කිව යුතු යි. අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි වෙනවා. විශේෂයෙන් ම ලබන වසර අවසාන වන තුරු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නිසා මෙම පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබා දිය යුතු යි. එහිදී ආණ්ඩුකාරවරයා සමග එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. විශේෂයෙන් ම අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කටයුතු මෙන් ම ඒ ඒ පළාත්වල නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පළාත් මට්ටමින් සංචාරක මණ්ඩල පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේ ම ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමේ වැඩසටහන් රැසක් ඉදිරියේදී පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කිව යුතු යි.”

Page 162 of 464