Ad

Ad 01

V2025

පුවත්

සංක්‍රමිකයන් වෙනුවෙන් මධ්‍යස්ථානයක් !

සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

සංක්‍රමණිකයන්ට, නැවත මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන අයට විදේශ රටවල සංචාරය කිරීමේ දී රැකියාවේ නිරත වීමේ දී සහ ජීවත්වීමේදී දී මුහුණ දීමට සිදුවන අවදානම සහ අභියෝග අවම කර ගැනීම සඳහා අවබෝධය ඇතිව තීරණය ගැනීමට හැකියාව ලබා දෙනු පිණිස ප්‍රමාණවත් කාලෝචිත හා විශ්වාසදායක තොරතුරු සහ මගපෙන්වීම ලබා දීම සඳහා නැගෙනහිර පළාතේ සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සහාය වීමට නවසීලන්ත රජය විසින් එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව නවසීලන්ත ව්‍යාපාර නවෝත්පාදන හා රැකියා අමාත්‍යංශය හරහා සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක පිණිස නවසීලන්ත ඩොලර් 350000ක ප්‍රදානයක් ලබා දීමට එරට රජය එකඟ වී තිබෙන බවද රජය සඳහන් කරයි.

පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ නීතිඥයකුට වැඩ වරදියි !

ඉරුදින පාස්කු ප්‍රහාරය සොයා බැලීම පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි ජංගම දුරකතනයක් මගින් පටිගත කිරීම සම්බන්ධව චෝදනාවලට වරදකරු වු නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 8 ක කාලයකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඊට අනුව මෙම අත්හිටුවීම ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මකය.

මෙම තීන්දුව බුවනෙක අලුවිහාරේ, එස්.තුරේරාජා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිකුත්කළ අතර ඒ අදාළ කොමිසමේ ලේකම් එල්.එම්.බී.පී හේරත් විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් පසුවය.

පසුගිය සැප්තැම්බර් 9 වැනිදා අදාළ ජනාධිපති කොමිසමේදී එක්සත් ලංකා ජයමිතුල්ලා උලමා සංවිධානයේ මොහොමඩ් මුර්ෂා මර්ෂා නැමැත්තා සාක්කි දෙමින් සිටියදී ඔහුගේ සාක්කිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමෙන් නීතිඥවරයෙකුට නොහොබිනා ආකාරයට හැසිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කළා යැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණ.

එහිදී නීතිපති වෙනුවෙන් නීතිඥ ගංගා වාකිෂ්ඨ ආරච්චි සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂ් ගොපල්ලව පෙනී සිටියහ.

අස්වැසුම කඩිනමින් ගන්න : ඉක්මනින් බැංකු ගිණුම් විවෘත කරන්න !

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න දැනුම් දෙයි.

නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු සඳහන් කරයි.

ජයන්ත විජේරත්න  මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

පූර්ණ විනිවිදභාවකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශවයන් වෙත සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් ඇරඹි අස්වැසුම වැඩසටහනෙහි වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00 ක මුදලක් ගෙවා අවසන් බවත් , ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එම ප්‍රමාදයන්ට හේතු වී ඇති කරුණු සොයා බලා ප්‍රතිලාභ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ප්‍රතිලාභීන් ලක්ෂ දෙකකට පමණ ගෙවීම් සිදු කිරීමට නොහැකිව ඇත්තේ මේ වන තුරු ඔවුන් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් බවත් එබැවින් ඔවුන් ගිණුම් විවෘත කළ වහාම කිසිදු ගැටළුවකින් තොරව අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේය.

තවද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම පරිගණක පද්ධතියෙන් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කර තම ප්‍රදේශයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන ඕනෑම බැංකු ශාඛාවකින් අස්වැසුම ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම විවෘත කිරීමේ හැකියාව පවතී. අනතුරුව එම ගිණුම් විස්තර අදාළ බැංකුව විසින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ.
ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි අස්වැසුම අයදුම්කරුවන්ට මාස 06ක් තුළ ජාතික හැඳුනුම් පත් ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැකුව විසින් ලබා දී තිබේ.

එසේම අස්වැසුම වැඩසටහනේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශක්තිමත් ඒකකයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වූ අතර, දෙසැම්බර් මාසයේ අවසානය වන විට ප්‍රතිලාභ ගෙවීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා විශේෂ වැඩ සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද යෝජනා කෙරිණ.

මත්ද්‍රව්‍යට වැට බඳින නව බල අධිකාරියක් ගැන සාගල කියයි !

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බව ද සාගල රත්නායක  පෙන්වා දුන්නේය.

සාගල රත්නායක  මෙම අදහස් පළ කළේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට අද (24) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 (කිලෝ මීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොඟය අත්අඩංගුවට ගෙන මෙලස කොළඹ වරායට ගෙනවිත් තිබිණි.

මෙම ‘මත්ද්‍රව්‍ය විරෝධී’ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක  සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65% ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් සාගල රත්නායක, මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය .

හෙරොයින් කිලෝ 200 ක තරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදාවටත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍යංශයටත් මා පළමුවෙන්ම සුබ පතනවා. පසුගිය දින කිහිපය තුළ මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාවේදී වැටලීම සිදු කළේ පොලිස් මත්ද්‍රව්‍ය‍ කර්යාංශයේ තොරතුරකට අනුවයි. රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු අනුව නාවික හමුදාව විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ලෝකය පුරා විශාල ජාලයක් ලෙස පැතිර තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුරෙන් සිය ජනතාව බේරා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නාවික හමුදාව, පොලිසිය ඇතුළු අනෙක් රාජ්‍ය ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරනවා. මේ වැටලීම් සිදුකර අත්අඩංගුවට ගනු ලබන්නේ ශ්‍රී ලංකාවට ඇතුල් වන මත්ද්‍රව්‍යවලින් 65% ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි 35%ක ප්‍රමාණය රටට රැගෙන එනු ලබනවා.

දැනට තිබෙන තොරුතුරුවලට අනුව විශාල නෞකාවලින් ජාත්‍යන්තර මුහුදු සීමාවට මෙම මත්ද්‍රව්‍ය තොග ගෙනැවිත් කුඩා බෝට්ටු භාවිතා කරමින් රට තුලට ගෙන එනු ලබනවා. මත්ද්‍රව්‍ය ජාලය විශාල ලෙස පැතිර තිබෙනවා.

‍අනෙක් කරුණ වන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් අතර ආයුධ වෙ‍ෙළඳාමත් සිදු වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් දැඩි අවධානයෙන් සිටිය යුතුයි. එය ජාතික ආරක්ෂාවට පවා ප්‍රශ්නයක් විය හැකියි. ඒ නිසා මේ පිළිබඳ නව නීති ගෙන ඒමට අවශ්‍යයි. මේ වන විට මත්ද්‍රව්‍ය විරෝධි ඒකකයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධව නීති සකස් කරමින් සිටිනවා. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් බලාත්මක කිරීමට කටයුතු කරනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා  ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231024 WA0006

සමාජ මාධ්‍ය නියාමනයට අලුත් පනත් කෙටුම්පතක් !

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත, තවත් කරුණු එක්කර අලුත් කෙටුම්පතක් ලෙස යළි කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (23) දැනුම්දී ඇතැයි වාර්තාවේ.

 ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි ද පැවසේ.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා මිට සති කිහිපයකට පෙර සිවිල් සංවිධාන හා මාධ්‍ය සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග සාකච්ජා කළ බවත්, ඔවුන්ගේ අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කළ සංශෝධන, තමා විදේශගතව සිටියදී නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදීරිපත්කර ඇතත්, ඊට කැබිනට් අනුමැතිය ලැබී නොතිබීම මත නීතිමය ප්‍රශ්නයක් මතුව ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කර ඇතැයි ද වාර්තාවේ.

එම තත්ත්වය තුළ සමාජ මාධ්‍ය නියාමනය සඳහා අලුතින් පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සහිතව ඉදිරිපත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දෙන්නයි තමා නිතිපතිවරයට දැනුම්දුන් බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි ද පැවසේ.

මෙම පනත් කෙටුම්පත සංශෝධනය කරනවා වෙනුවට මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ පසුගිය දා ප්‍රකාශකර තිබිණ.

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටියි.

අද අක්තපත්‍ර භාරදුන් තානාපතිවරුන්ගේ නම් පහත දැක්වෙයි.

අතිගරු ආචාර්ය සිරි වොල්ෆ් මහත්මිය – ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය
H.E. Dr (Ms) Siri Walf – Ambassador of Switzerland in Colombo
අතිගරු කාමන් මොරෙනෝ මහත්මිය – ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනිය
H.E.Ms. Carmen Moreno – Ambassador of the European Union in Colombo
අතිගරු ආචාර්ය ඇලිරෙසා ඩෙල්කොෂ් මහතා -ශ්‍රි ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති
H.E Dr. Alireza Delkhosh – Ambassador of the Islamic Republic of Iran in Colombo
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Ambassador of European Union 06

රටවල් 7ක සංචාරකයින්ට නොමිලේ වීසා

රටවල් 7 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට, කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ජපානයයි.

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බව, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ය.

ඒ අනුව 2024 මාර්තු 31 දක්වා කාලය තුළ චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට නියමු ව්‍යාපෘතියක් වශයෙන් නොමිලේ වීසා නිකුත් කිරීමට නියමිතය.

විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා ඵෙතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීමට ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එක වර ගෙවා මිල දී ගැනීමට පැකේජ ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ද එම ක්‍රියාමාර්ග අතර වේ.

මෙම ප්‍රවේශ පත්‍රය ගුවන්තොටුපොළේදී හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙයි.

තව ද, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එක වර ගෙවා ලබා ගන්නා පොදු ප්‍රවේශ පත්‍රයක් ලෙස ගුවන්තොටුපොළේදී ම මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම ද ඒ අතර වෙයි.

මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි වසර 3ක කාලය තුළ වසරකදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5ක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී මුල්‍ය සහනයක් !

වයස අවුරුදු 60 ක් වන හෝ 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී මුල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙළක් ආරම්භ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව බැංකු හෝ මුල්‍ය ආයතන විසින් පොලී ආදායම් මත අඩුකරන ලද 05%ක් වූ අත්තිකාරම් ආදායම් බද්ද (AIT), ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් එම දෙපාර්තමේන්තුව විසින් දියත් කෙරෙනු ඇත.

වයස අවුරුදු 60 ක් වන හෝ 60 ඉක්ම වූ එමෙන්ම, වාර්ෂික ආදායම රු.1,200,000/- නොඉක්මවන (අප්‍රේල් 1 වන දින සිට ඊළඟ වර්ෂයේ මාර්තු 31 වන දින දක්වා) සහ සිය පොලී ආදායම මත අත්තිකාරම් ආදායම් බද්ද අඩුකර ඇති සියළුම ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මෙම ආපසු ගෙවීම් සඳහා අයදුම්කිරීමට සුදුසුකම් ලබති.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට කාර්තුවට රු.25,000/- දක්වා වන උපරිම ආපසු ගෙවීමක් ඉල්ලා සිටිය හැකි ය.

එම ඉල්ලීම, 2023 අප්‍රේල් මස 1 වන දිනෙන් ආරම්භළඟ වර්ෂයේ මාර්තු මස 31 වන දිනෙන් අවසන් වන කාල සීමාවට අදාල විය යුතු ය.

ඒ අනුව සුදුසුකම් ලබන පුද්ගලයින් ප්‍රතිලාභ ලබා ගත හැකිය.

ආපසු ගෙවනු ලබන මුදල් ප්‍රමාණය ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නම් කරන ලද බැංකු ගිණුමෙහි සෘජුවම තැන්පත් කරනු ලබයි.

මෙම ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රමය මඟින් අදාළ ආපසු ගෙවීම අපේකෂිත ලබන්නා වෙත ඉක්මනින් ළඟා වන බවට තහවුරු වේ.

අයදුම් කිරීමේ ක්‍රියාවලිය මේ සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් හට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවියෙහි (www.ird.gov.lk) සඳහන් සරල අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් හෝ ආසන්නතම නගර කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණ ආපසු ගෙවීම සඳහා ඉල්ලුම් කිරීමට හැකිය.

අයදුම්කරුවන් විසින් තම අනන්‍යතාව තහවුරු කරන ලේඛනයේ පිටපතක් වයස සනාථ කිරීමේ ලියවිල්ලක්, පොලී ආදායම දැක්වෙන බැංකු ප්‍රකාශන සහ අත්තිකාරම් ආදායම් බදු අඩුකිරීම් සනාථ කරනු ලබන ලේඛන ඇතුළු අවශ්‍ය කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතු ය.

සමාලෝචනය සහ ක්‍රියාත්මක කිරීම ඉල්ලුම්පත භාරදුන් පසුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියකියවිලි සමාලෝචනය කර සුදුසුකම් තහවුරු කරනු ලැබේ.

අයදුම්කිරීමේ ක්‍රියාවලිය පුරාවටම අයදුම්කරු හට මඟපෙන්වීම හා සහාය ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැපවී සිටියි.

අවශ්‍ය තැන්හි සහය ලබාදීමට, සේවාදායක සහාය කණ්ඩායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර හා ප්‍රාදේශීය කාර්යාලවල ද සුදානම් ව සිටිති.

වැඩිදුර විස්තර සඳහා http://www.ird.gov.lk වෙන පිවිසෙන්න. නැතහොත් 1944 ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය

සජබ තීරණයට එරෙහි හරීන්ගේ සහ මනූෂගේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

ඒ අදාළ පෙත්සම අද (23) විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ ය.

එහෙත් අද, පෙර දින මෙම පෙත්සම් විභාගයට සහභාගි වූ විනිසුරු මඩුල්ල නිසියාකාරව සංයුක්ත වී නොමැති හෙයින් එම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

එබැවින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

නවතම ප්‍රදේශ 6කට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් !

අයහපත් කාලගුණ තත්ත්වය සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම ප්‍රදේශ 06ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සඳහා ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙලෙස පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රදේශය සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ ප්‍රදේශ සඳහා ද ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල සහ රිදීගම ප්‍රදේශ සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

වැඩි කළ විදුලි බිල ගෙවීමට ඇති කාලය දීර්ඝ කරන්න !

වැඩි කළ විදුලි බිල ගෙවීමට දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි.

ඒ බව දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 68 කි. මෙම වසරේදී දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කරන ලද අතර 2022 වසරේදී මසකට ඒකක 180 ක් පරිභෝජනය කරන ලද විදුලි පාරිභෝගිකයෙකුගෙන් විදුලි බිල සදහා අයකරනු ලැබුවේ රුපියල් 3,755.00 ක මුදලකි. නමුත් විදුලි ඒකක 180 ක් පරිභෝජනය කරනු ලබන විදුලි පාරිභෝගිකයෙකුට මේවන විට ගෙවීමට සිදුවන මුදල ආසන්න වශයෙන් රුපියල් 10,500.00 කි. එම මුදල විශාල මුදලක් වන අතර එම විදුලි ගාස්තුව ගෙවීම සදහා පාරිභෝගිකයෙකුට ලබා දී ඇති කාලය දින 40 කි. ශ්‍රී ලංකාවේ මුහුණදී ඇති ආර්ථික පරිහානිය නිසා පවුල් කුටුම්බියක ආදායම සැළකිය යුතු මුදලකින් වැඩි වී නැති අතර බොහෝ විට පවුලේ ආදායම තවත් අඩුවී ඇත. 2022 ජනවාරි මාසයේදී විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයින් 253,465 ක් සදහා රතු නිවේදන නිකුත් කර ඇත.ඒ අනුව රතු නිවේදන නිකුත් කිරීම 60% කින් වැඩි වී තිබේ. එමගින් පෙනී යන්නේ මෙරට විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල ‌ෙගවා ගැනීමට අපහසුතාවයක් ඇති බවයි.

විදුලි බිල කිහිපවතාවක් වැඩිකලද විදුලි බිල ගෙවීමට පාරිභෝගිකයාට ලබා දී ඇති කාලසීමාව වැඩි කිරීමට කිසිවිටකත් කටයුතු කර නැත. එම නිසා සමස්ත විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ නිවසක මාසික විදුලි බිල ගෙවීම සදහා දැනට ලබා දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙසත්ය.

උද්ධමනයේ වාර්තාගත බැසීමක් !

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට අනුව 2023 අගෝස්තු මාසයේ දී 2.1 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසය සඳහා 0.8 % ක් දක්වා අඩු වී ඇත.

2023 අගෝස්තු මාසයේ දී -5.4 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 සැප්තැම්බර් මාසය සඳහා -5.2 % ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, අගෝස්තු මාසයේ දී 9.0 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද සැප්තැම්බර් මාසයේ දී 5.9 % ක් දක්වා පහළ වැටී ඇත.

වී අලෙවි මණ්ඩලේ ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදහන් !

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි .

අදාල සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට පැමිණිලි කර තිබෙන බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගබඩා පහක අදාළ සොරකම සිදුව ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි .

අදාළ වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිසියට බාරදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

2020 -2021 කාල පරිච්ඡේදයේ මිලදී ගත් වී තොගයක් මෙලෙස අස්ථානගත වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ජනපති ජනමතයට ගරු කර සිදුකළ සංශෝධනයට පොහොට්ටු ලේකම් විරෝධය දක්වයි !

දිගින් දිගටම සෞඛ්‍ය සේවයේ අර්බුද මතුවීම හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එම ධූරය දැරීමට නොසුදුසු බවට පක්ෂ විපක්ෂ කොටස් වල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් අද (23) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සිදුවිය.

එහිදී කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ද, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර ද, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ ද පත් කර තිබේ.

මහින්ද අමරවීර වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඔහු හොඹවන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරවය.

එසේම වෛද්‍ය රමේෂ් පතිරණ හොඹවන කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබේ.

දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

පොහොට්ටුවේ විරෝධය !

කෙසේ වුවත් එහිදී සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් කෙහෙලිය රඹුක්වැල්ල ඉවත් කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ පක්ෂයේ විරෝධය පළව ඇති අතර ඒ බව දක්වමින් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසා සිටියේ සිදුකළ සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය කනස්සල්ල පළකරන බවය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම තීරණය ජනාධිපතිවරයා ගත් වැරදි තීරණයක් බවය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

“කෙහෙළිය ඇමතිතුමාට විරුද්ධව බොරු චෝදනා නැගුවා. ඒ සියල්ල බොරුවක් බව ඔප්පු වුණා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුකරන එක හොඳයි කියලා. ඒ අනුව රමේෂ් පතිරණ මහතා වෘත්තීයෙන් වෛද්‍යවරයෙක් වන එතුමා සෞඛ්‍ය ඇමති ලෙස පත්කරලා තියෙනවා. කෙසේ වෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව අපි දැනුවත් කළා. මොකද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමා අති බහුතරයක් මේ ශක්තිය ලබාදෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5දෙනයි ඉන්නේ. නමුත් මෙතනිනුත් ඇමති ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය ඇමති ධුරයකුත් අලුතින් ඒකට දීම ගැන අපි සතුටු නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දෙයට වැරදියි කියන්නත් අපි බය වෙන්නේ නෑ. ජනාධිපතිතුමා වුණත් වැරදි දේ කරනවා නම් වැරදියි. ඒක වැරදියි කියලා අපි ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාට ඒක නොකර ඉන්න තිබුණා. ඒ ගැන අපි පක්ෂය විදියට දැඩි විරෝධය පළ කරනවා.”

මාස 03කට වරක් විදුලි ගාස්තු සංශෝධනයක්

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි ගාස්තු මින් ඉදිරියට මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

විජේසේකර  මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් අද (ඔක්. 23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දෙනු ලැබුවා. ඒ අනුව ඔක්තෝබර් 21 වන දා සිට, ඉදිරි මාස කිහිපය සඳහා පැවති ගාස්තු සංසන්දනය කර සියයට 18කට ආසන්න සංඛ්‍යාවකින් ගාස්තු සංශෝධනය කළා.

මෙම මිල සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය තීරණය වුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව යි. ඊට අනුව කිසි ම රාජ්‍ය ව්‍යාපාරයක් මහාභාණ්ඩාගාරය මගින් මුදල් ආයෝජනය කර එහි අලාභ පියවීමට හැකියාවක් නැහැ. ඒ අනුව විදුලි බල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව සඳහා විශේෂ මිල සූත්‍රයක් සකස් කෙරුණා.

එසේ ම, විදුලි බල මණ්ඩලයට ගාස්තු සංශෝධන කළ හැකි වන්නේ, අවුරුද්දට දෙවතාවක් පමණක් බවට සමාජයේ වැරදි මතයක් තිබෙනවා. නමුත් හදිසි අවස්ථාවලදී ගාස්තු සංශෝධන කරන ලෙස ඉල්ලීමේ හැකියාව විදුලි බල මණ්ඩලයට තිබුණා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා හිමිවුණේ ඒ අනුව යි.

ඒ වගේ ම විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය ගැනත් සඳහන් කළ යුතු යි. පසුගිය සමයේ ඒ සඳහා වන අපගේ යෝජනා නීති කෙටුම්පත් කාර්යාලයට ලබා දුන්නා‍. නීති කෙටුම්පත් කාර්යාලය එය සකස් කර නීතිපතිවරයාට යොමු කර තිබෙනවා.

මෙම සතිය තුළ ඒ සඳහා අවශ්‍ය නිශ්කාෂණය ලබා දීම සඳහා කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා විසින් මා වෙත දැනුම් දුන්නා. ඒ අනුව එළඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේ ම, මේ වන විට අධික වැසි තත්ත්වයක් ඇතිව තිබෙන නිසා ගාස්තු සංශෝධනයක් අවශ්‍ය ද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතිනවා. මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කය වගේ ම ඊට ආසන්න ගාල්ල දිස්ත්‍රික්කය ද ගංවතුර තත්ත්වයත් ගම්පහ දිස්ත්‍රික්කයත් ගංවතුර තත්ත්වයට මුහුණ දුන්නා.

නමුත් ජල විදුලිය නිෂ්පාදනය කරන සමනල වැව, වික්ටෝරියා සහ රන්දෙණිගල වැනි ප්‍රධාන ජලාශ තවමත් තිබෙන්නේ පැවති සීමාවලයි. අපි වෙනදට දකින වර්ෂාපතනය එම ප්‍රදේශවලට ලැබී නැ. අද වන විට ජලාශවල තිබෙන ධාරිතාවෙන් අපට භාවිත කිරීමට හැකියාව ඇත්තේ 65.81%ක් පමණයි. නමුත් 2022 ඔක්තෝබර් මාසයේ 22 වන දා වනවිට ජලාශ වල පැවති ජල ධාරිතාවෙන් 84.41% භාවිත කිරීමට හැකියාව තිබුණා. මේ තත්ත්වය සංසන්දනය කිරීමේදී 20% ක පමණ පරතරයක පවතිනවා.

ඒ වගේ ම 2022 වර්ෂය වනවිට අපට අයත් ජලාශවලින් පමණක් ජල – විදුලිය ගිගාවොට් පැය 5364 ජනනය කර තිබෙනවා. 2021 වර්ෂයේ දී ගිගාවොට් පැය 5,639ක් ජනනය කර තිබෙනවා. නමුත් මේ වසරේදී ඔක්තෝම්බර් මාසයේ 22 වන දා වන විට අප ජනනය කර ඇති ගිගාවොට් ප්‍රමාණය 2893ක් පමණයි. පසුගිය වර්ෂ දෙකට සාපේක්ෂව බැලුවහොත් මේ වසරේ ජනනය කර ඇත්තේ එම ප්‍රමාණයෙන් අඩක් පමණ යි. මේ වසර අවසන් වීමට තවත් ඇත්තේ දින 70ක් පමණයි. දැන් එම ප්‍රදේශවලට වැසි ලැබුණත් එම ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් අපට තවමත් නැහැ. ඒ අනුව, අවශ්‍ය විදුලිය ප්‍රමාණය සැපයීමට නම් විකල්ප වෙත යොමු වීමට සිදුවෙනවා.”

ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා : වජිර සඵතයි !

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 100 ක් ලබාගෙන නැවතත් ජනපති පුටුවේ වාඩි වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සඳහන් කළේය .

කවුරුත් එකතු වුණොත් ඒ කාර්යය කළ හැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.

එජාප සභාපති වජිර අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය අමතමින් ය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .

දැන් ඕනම දේශපාලන පක්ෂයක කෙනෙකුට මේ රට ගොඩගන්න පුළුවන් නම් හංදිවල කතා පවත්වන්න ඕනෙ නෑ, එයා දැන් ඉදිරිපත් කරන්න ඕනෙ ඒක කරන විදිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන විදිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියලා තියෙනවා. එතුමා ඒක ප්‍රංශය, ජපානයට, ඇමරිකාවට, චීනයට කියලා තියෙනවා. වැඩිම ණය සම්භාරයක්, 42%ක් චීනයට. ඒගොල්ලන්ට කියලා තියෙනවා කොහොමද මේ ණය ගෙවන්නෙ, කොහොමද මේ රට ගොඩගන්නෙ කියලා.

අපට පේනවා ඒ අතරේ සමහර බාලාංශ අපේක්ෂකයොත් ජනාධිපතිවරණයට එන්න හදනවා. ඒ අයට දොස් කියන්න හොඳ නෑ, ඒ අය ඔක්කොම එකතු කරගන්න ඕනෙ. ඔබ හිටියෙ පෝලිමේ, අද ඔබ තෙල් ගහගෙන මේ ශාලාවට ඇවිල්ලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට පින් දෙන්න ඕනෙ. හැමෝටම වීරකම් කතා කරන්න පුළුවන්, වීරකම් කරන්න බෑ.

රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්ව අගමැති වී ඉන් පසු ජනපති වන බව තමා වසරකට පෙර අනාවැකි කියා තිබූ බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා මීළඟ ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ ලක්ෂ 100ක වාර්තා ගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන බවත් කවුරුත් සහය දුන්නොත් ඒ කාර්‍යය කළ හැකි බව ද සඳහන් කළේය.

ඊශ්‍රායල - හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නෑ !

සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊශ්‍රායල - හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි.

උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහව මුස්ලිම් ආගමික සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව හරසරින් පිළිගනු ලැබීය.

ජාතික මීලාදුන් නබි සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අෂේක් බී. නිහමතුල්ලාහ් මව්ලවිතුමා විසින් සිදු කරන ලදි.

ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර තැපැල්පති රුවන් සත්කුමාර විසින් එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු කලාපය සහ “මන්නාරම දිස්ත්‍රික් ඉතිහාසය” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

නබිනායකතුමාගේ උපන්දින සැමරුමට සමගාමීව පැවැත්වූ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතිනි.

දීර්ඝකාලයක් මුස්ලිම් පල්ලිවල සේවය කළ මව්ලවිතුමන්ලාට ගෞරව සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කළ අතර ප්‍රදේශය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ මහාචාර්යවරයෙකු වන අභාවප්‍රාප්ත හස්බුල්ලා  වෙනුවෙන් සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද සිදු විය.

පුත්තලම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා වෙත සහ පුත්තලම දිස්ත්‍රික් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා වෙත ජනාධිපතිතුමා අතින් සිහිවටන තිළිණ පිළිගැන්විණි.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය.

අද අපි නබි නායකතුමාගේ උපන්දිනය සමරනවා. මම මන්නාරම දිස්ත්‍රික්කයට පැමිණ සහභාගිවන දෙවන ආගමික උත්සවය මෙයයි. මාස කිහිපයකට පෙර අපි මඩු පල්ලියේ පැවති උත්සවයට සහභාගී වුණා.

මෙම උත්සවය උත්කර්ෂවත්ව සංවිධානය කිරීම පිළිබඳ මම ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ස්තූතිවන්ත වෙනවා.

මෙම උත්සවය වගේම නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම, නිවාස ව්‍යාපෘති ආදි සංවර්ධන වැඩසටහන් මෙහි ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සංවර්ධනය මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍යයි. මෙම ප්‍රදේශය යුද්ධයෙන් හානි වූ ප්‍රදේශයක්. ඒ නිසා මෙම ප්‍රදේශවල අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා.

විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ මාර්ග ඉදිකිරීම පිළිබඳ අපි සාකච්ඡා කරගෙන යනවා. ඇමතිතුමා මට එය පාර්ලිමේන්තුවේදීත් මතක් කරනවා.
විශේෂයෙන් මේ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම වගේම මෙහි අධ්‍යාපනය දියුණු කළයුතුව තිබෙනවා.

මන්නාරම නගරයේ අධ්‍යාපනය යහපත් මට්ටමක තිබෙනවා. නමුත් දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ.

ඒ වගේම මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන වැඩසටහනක් අප සැලසුම් කර තිබනවා. දැනටමත් ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. අපි කංකසන්තුරේ එය ආරම්භ කළා. ඊළඟට තලෙයිමන්නාරමේ එය ආරම්භ කරනවා. ඒ සමඟම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සිදුවන්නෙත් මෙම මන්නාරම හරහා බව මම කියන්න කැමතියි.

මෙය ආරම්භය පමණයි. මේ සමඟ ඉදිරියේ දී මන්නාරම දියුණු වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. මෙහි තිබෙන සූර්ය බලයෙන් මෙම ප්‍රදේශය දියුණු කළ හැකියි. පුත්තලමේ සිට මන්නාරම යාපනය අර්ධද්වීපය හරහා මුලතිව් වන තෙක් එම හැකියාව තිබෙනවා. එසේම මෙහි කේන්ද්‍රස්ථානය බවට පුනරින් නගරය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ හා සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කළ විට මෙම මන්නාරමට අලුත් ආර්ථිකයක් ලැබෙනවා.

අද අප මෙතනට පැමිණ සිටින්නේ නබි නායකතුමා සිහිපත් කිරීම සඳහායි. නබි නායකතුමා දේශනා කළ එම ධර්මය තමයි අද ලංකාවේ තිබෙන්නේ. ඒ නිසා අප මෙම උත්සවය ජාතික උත්සවයක් ලෙස සළකනවා. අපේ ප්‍රතිපත්තිය සෑම ආගමකටම සමානව සැලකීමයි.

ඒ වගේම සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම අපේ අරමුණයි. මෙහි සිටින මුස්ලිම් ජනතාවට යම් යම් ගැටලු තිබෙනවා. ඒවා විසඳීමටත් ආණ්ඩුව කටයුතු කරන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. මම භාරගත්තේ බංකොළොත් රටක්. අපි තවම එම බංකොළොත්භාවයෙන් ගොඩඑමිනුයි සිටින්නේ. එම නිසා එම වැඩකටයුතු අපි ක්‍රමානුකූලව කරගෙන යමු.

නබි නායකතුමාගේ ඉස්ලාම් ධර්මය අද මොරොක්කෝවේ සිට ඉන්දුනිසියාව දක්වා අප්‍රිකාවේ, යුරෝපයේ මේ සෑම තැනම පැතිරී තිබෙනවා.

නබිනායකතුමා මෙම ධර්මය දේශනා කරද්දි ඒ ප්‍රදේශයේ ක්‍රිස්තියානු යුදෙව්වන් සියලුදෙනා ජීවත් වුණා. ප්‍රශ්න තිබුණේ නැහැ. නමුත් අද එහෙම නොවයි විශාල ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය සිකුරාදා පලස්තීන ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කළා. ඊට ප්‍රථම ආණ්ඩුවත් අදහස් ප්‍රකාශ කර තිබුණා. පාර්ලිමේන්තුවේත් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයට ආහාර ලොරි 20 ගෙන ගොස් තිබෙන බව අපට අහන්න ලැබුණා. නමුත් එය ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය මතු වෙනවා.

ඊශ්‍රායල - හමාස් සටන නිසා ගාසා තීරයේ පලස්තීන ජනතාව සිර වී සිටිනවා. එම ජනතාව දුක් විඳීම අප අනුමත කරන්නේ නැහැ. එම ජනතාවට අවශ්‍ය ආහාර ලබා දෙන්න කියා අප ඉල්ලා සිටිනවා. ඊශ්‍රාලය පැත්තෙන් පමණක් නොවෙයි ඊජිප්තුව පැත්තෙනුත් එම ආහාර සපයා දිය යුතුයි. ඒ වගේම ජලය ලබා දිය යුතුයි.

ඊශ්‍රායල - හමාස් සටන එක ප්‍රශ්නයක්. නමුත් මෙම අරගලයේ දී සාමාන්‍ය පලස්තීන ජනතාව ඊට ගොදුරු නොවිය යුතුයි. ඒ නිසා එය විසදාගැනීමට ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් පියවර ගනිමින් සිටිනවා. එසේම අනෙක් රටවල් ඒ සඳහා එකඟ වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රශ්නය විසඳලා එම ප්‍රදේශවල සාමය ඇති කිරීමට එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මහලේකම්වරයා ගෙන යන කටයුතුවලට අපේ සම්පූර්ණ සහාය ලබාදෙන බව මම සඳහන් කරන්න කැමතියි. එසේම පලස්තීන රජයකුත් බිහි වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළයුතුයි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සහ මන්නාරම හා මුලතිව් සංවර්ධන කමිටු සභාපති කාදර් මස්තාන් :

ජාතික මීලාදුන් උත්සවයට සහභාගි වීමට ජනාධිපතිතුමා මන්නාරමට පැමිණීම අපේ ජනතාවට කළ ගෞරවයක් ලෙසයි අපි සලකන්නේ. යුද්ධය අවසන් වුණාට පස්සේ මේ ප්‍රදේශය දියුණු වුණේ නැහැ.නැවත පදිංචි කිරීමේ කටයුතු නිසි සැලසුමකින් තොරව සිදු කර තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ සංවර්ධනයට හා ආයෝජන සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

මගේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවන් ඔබතුමාගේ නායකත්වය යටතේ ඉටුවන බව සඳහන් කළයුතුයි. ඔබතුමා ආර්ථිකය කඩාවැටීමකට ලක්ව තිබූ රටේ වගකීම භාරගෙන ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කළා. ජනතාවගේ දුෂ්කරතා හොඳින් හඳුනන ජනාධිපතිවරයකු ලෙස ඔබ මෙම ප්‍රදේශවල පවතින නැවත පදිංචි කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්. ෆයිසල් යන මහත්වරුන් ද, මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231022 WA0008

IMG 20231022 WA0009

පුරාවිද්‍යාවට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

මහාචාර්ය ගාමිණී රණසිංහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට පත් කරනු ලැබ ඇත.

ඔහු එම තනතුරට පත්කර ඇත්තේ දැනට දරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අමතරවය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කළ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මිය පසුගියදා විශ්‍රාම ලැබුවාය.

Page 166 of 487