වෛද්‍ය වැඩ වර්ජනය වසර 18 ක් අම්පාර රෝහලක රැඳී සිටි වෛද්‍යවරයෙක් ස්ථාන මාරු කිරීම නිසා ද ?

වෛද්‍ය වැඩ වර්ජනය වසර 18 ක් අම්පාර රෝහලක රැඳී සිටි වෛද්‍යවරයෙක් ස්ථාන මාරු කිරීම නිසා ද ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවය.

අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස වෛද්‍ය මාරුවීම් සිදුකිරීමට විරෝධය පළකරමින් මේවන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම දිස්ත්‍රික්කය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

මෙතෙක් අදාළ ගැටලුව සඳහා රජයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය  සඳහන් කළේය.


Screenshot 2025 10 07 101741 2


වෛද්‍ය වෘත්තීය සමිතියේ ත්‍රස්ත හැසිරීමට ආණ්ඩුව යටත් විය යුතු නැත...


මේ අතර ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වසර 18ක් එකම රෝහලක රැඳී සිටි වෛද්‍යවරයෙක් ස්ථාන මාරු කිරීම නිසා අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවත් වෛද්‍ය වෘත්තීය සමිතියේ ත්‍රස්ථ හැසිරීමට ආණ්ඩුව යටත් විය යුතු නැති බවත් ය.

එම පුවත් වාර්තා වලට අනුව,

2007 වසරේ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීමක් මත දෙහිඅත්තකණ්ඩිය මුලික රෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරයෙක් පුරා වසර 10 ක් එම රෝහලේ රැඳී සිටි අතර ඉන් පසුව 2017 දී පොළොන්නරුව, ලිහිණියාගම රෝහලට ස්ථාන මාරුවක් ලබා පිටත්ව ගොස් එක් දිනක් ඇතුළත නැවතත් තාවකාලික ස්ථාන මාරුවක් මත දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල වෙතම පැමිණ තිබේ.

එසේ පැමිණි එම වෛද්‍යවරයා තවත් වසර 08කට පසු මෙයට දින කිහිපයකට පෙර එම රෝහලෙන් නැවතත් පොළොන්නරුව, ලිහිණියාගම රෝහල වෙත අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් නිදහස් කර යවන්නේ එලෙස දීර්ඝ කාලයක් තාවකාලික පදනමින් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ රැඳී සිටිමින් වැටුප් හා අතිකාල ලබා ගැනීම ප්‍රශ්න කරමින් නිකුත් වූ විගණන වාර්තාවකට අනුවය.




සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙන් සෑම වසර 04කට වරක්ම ස්ථාන මාරුවීම් ලැබිය යුතු වුවද අදාළ වෛද්‍යවරයා වසර 18 ක් පුරා සිය වෘත්තීය සමිතියේ බලය අවභාවිත කරමින් එකම රෝහලක රැඳී සිට ඇත. එම වෛද්‍යවරයා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සේවය කර ඇත්තේ වැඩබලන වෛද්‍ය අධිකාරි තනතුරේය.

 




2025.05.24 දින එම රෝහලේ වෛද්‍ය අධිකාරි තනතුරට නව වෛද්‍යවරයෙක් මහඔය මූලික රෝහලේ සිට ස්ථාන මාරු ලබා පැමිණ ඇත. මෙලෙස නව පත්වීමක් ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට පැමිණි වෛද්‍යවරයාට එරෙහිව මෙම වෛද්‍යවරයා සහ එම රෝහලේම සේවය කරන අදාළ සංගමයටම අයත් තවත් දූෂණ චෝදනා ඇති වෛද්‍යවරුන් කීපදෙනෙක් එක්ව ඔහුගේ රාජකාරියට දිගින් දිගටම බාධා කිරීමත්, තනතුරෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීමත් නිසා එම වෛද්‍යවරයා අවසානයේ දී රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී ඇත.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිදුවු මෙම සිදූවිම් මාලාව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විනය පරීක්ෂණයක් අරඹා ඇති අතර වසර 18ක් අනීතිකව රැඳී සිටි වෛද්‍යවරයා මාරු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ වැඩවර්ජනයක් කැඳවා ඇත.

මෙම වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධව ප්‍රදේශයේ ජනතාවගේ අදහස නම්, කිසිදු සාධාරණ පදනමක් නැති, නීති විරෝධි ඉල්ලීම් වෙනුවෙන් සිදුකරන වැඩ වර්ජණවලට ආණ්ඩුව යටවිය යුතු නැති බවත් වර්ජකයින්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. මෙම සංගමයේ බලපෑම් නිසා බොහොමයක් වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක නොවී නතර වී ඇති අතර පසුගිය කාලයේ ස්ථාන මාරු ක්‍රියාත්මක කර ගැනීමට ඇතැම් වෛද්‍යවරුන්ට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පවා යාමට සිදුවිය.

එසේම මෙම සංගමයේ ප්‍රාදේශීය නායකයින් දීර්ඝ කාලයක් පුරා ස්ථාන මාරුවීම් නොලබා එකම සේවා ස්ථානවල රැඳි සිටින්නේ එම ප්‍රදේශවලට ලැබීමට නියමිත නව වෛද්‍ය පත්වීම් සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලපෑම් කරමින්ය.

එසේම අනුරාධපුර රෝහලේ සිට ඉවත් කළ වැඩ බලන අධ්‍යක්ෂවරයාද, කොළඹ අක්ෂි රෝහලේ සහ බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන මෙම සංගමයේ ප්‍රධානීන් ලෙස මාධ්‍ය ඉදිරියට එන වෛදවරුන් දෙදෙනාද වසර 10කට වැඩි කාලයක් ස්ථානමාරුවීම් නියෝග නොතකා, විවිධ දුෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ වෙමින් බලහත්කාරයෙන් රැඳී සිටි සහ සිටින වෛද්‍යවරුන්ය.




රෝගී සත්කාර සේවා අඩාල කරන මෙම වෛද්‍ය වෘත්තීය සමිතියේ ත්‍රස්ථ හැසිරීමට ආණ්ඩුව යටත් විය යුතු නැත. රටේ පැවතිය යුත්තේ එක ආණ්ඩුවකි, එක නීතියකි. සෞඛ්‍ය සේවාව තුළ මෙය තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ බලධාරීන්ගේ වගකීමක් බවද ජනතාව සඳහන් කරති.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න