V2025

පුවත්

ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න - රෝහිණී කවිරත්න

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිතුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න අද (09) පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ සභාව නියෝජනය කරන කවුරුත් කතා කරන වචනවල වගකීමක් තිබිය යුතු යැයිද තමාට වාචික හිංසනයක් වූ විට හරි තීරණයක් පාර්ලිමේන්තුව අරන් තිබුණ නම් එවැනි තත්වයක් ඇති නොවෙන්න තිබූ බවද මන්ත්‍රීවරිය සඳහන් කාලය.

"ගලි බවුසර් කියන්නේ අප්‍රාණවාචී වචනයක්. ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න. අපි අයින් වෙලා ඉන්නම්. පැත්තක යන අපේ ඇඟේ තමයි ජරාව ගෑවෙන්නේ" යනුවෙන් එහිදී මන්ත්‍රීවරිය පැවසුවාය.

පසුගියදා ගලි බවුසර් කතාවක් කියමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට අපහාසාත්මක ලෙස අදහස් දැක්වූ බව සඳහන් වන්නේ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ය.

දේශගුණ තර්ජනය ජනාධිපති වේලාසන හඳුනාගත්තා - රුවන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම" සකස් කළේ ගෝලීය ක්‍රියාකාරකම් හමුවේ අනාගතයේදී අප රටට බලපාන දේශගුණික ගැටළු කල්තියා හඳුනාගත් නිසා යැයි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ දින දෙකක් පුරා පවතින මෙරට වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළ වැටීම පිළිබඳව අද (09) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

වායුගෝලයේ ඇතිවූ කැලඹිලි සහගත තත්ත්වය හමුවේ උතුරු ඉන්දියාවේ පවතින වායු දුෂණ ගැටළු කිහිපයකට මෙරටට ද මුහුණදීමට සිදුව තිබෙනවා. මෙවැනි සිදුවීම් කල් තියාම දුටු නිසා ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස පිළිබඳ කතිකාවක් ආරම්භ කළා.
වායු දුෂණය රටේ ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද බලපානවා. විශේෂයෙන් දරුවන්ට සහ වැඩිහිටියන්ට එහි බලපැම් එල්ල වෙනවා. එම නිසා පාසල් දරුවන් එම තත්ත්වයෙන් වළක්වා ගැනීමට පාසල් නිවාඩු දීමට කටයුතු කළා. කාර්යාල සේවක පැමිණිමේ ද යම් අඩුවක් ඇති බව වාර්තා වෙනවා.
මේ සියල්ල රටේ ආර්ථිකයට සෘජුව බලපානවා. එම නිසා තමයි ජනාධිපතිතුමා හරිත ආර්ථිකයක් ගැන කතා කළේ. අපි මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවේදි සාකච්ඡා කළා. දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කිරීමට ද සැලසුම් කළේ මේ අනුවයි. අපි ඉතා ඉක්මණින් මේ කටයුතු සිදු කරනවා. ලෝකයේ දියුණු රටවල ක්‍රියාකරකම්වල අනිසි බලපෑමට ලක් වන්නේ අපි වගේ කුඩා රටවල්. එම කරුණ ද ජනාධිපතිතුමා COP 27 සමුළුවේදි මතු කළා.
ජනාධිපතිතුමා දිගින් දිගටම මේ පිළිබඳ කතා කරන්නේ රටක් ලෙස අපට අනාගතයේ මුහුණදීමට සිදුවන බරපතළම අභියෝගය දේශගුණික විපර්යාස වීම නිසයි. ජනාධිපතිතුමා මේ පිළිබඳ එදා කතා කරද්දී හිනා වුන බොහෝ දෙනෙකුට අද මෙහි යථාර්තය වැටහී ඇතැයි මම සිතනවා. එම නිසා මේ වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස ‍මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

දැවැන්ත රන් මගඩියක් : රේගුවට කොටුවෙලා !

රුපියල් කෝටි 40 ක අධික වටිනාකමින් යුත් කිලෝ 22 ක් පමණ බර රන් ආභරණ සහ රන් කුඩු තොගයක් චෙන්නායි සිට පැමිණි මගීන් සිවුදෙනකුගේ ගමන් මළුවල තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ Directorate Of Revenue Intelligence ආයතනය මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියමලාපිටිය මහතා වෙත ඊයේ(08) ලබා දී තිබු බුද්ධි තොරතුරක් විශ්ලේෂණය කිරීම මත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු රේගු පරිශ්‍රය තුළදී පරීක්ෂාවට ලක් කර ඇත.

මෙම හතර දෙනාගෙන් තුන් දෙනෙකු ඩුබායි සිට චෙන්නායි හරහා ශී ලංකන් ගුවන් සේවයට අයත් UL 126 දරණ ගුවන් යානයෙන් අද (09) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ බෑගයන් තුළ සඟවා තිබූ රන් ආභරණ හා ද්‍රව ලෙස සකස් කරන ලද රන් කුඩු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇත. රන් ආභරණ ඉතා සූක්ෂම ලෙස හඳුනා ගැනීඹට නොහැකි වන සේ වර්ණ ගන්වා තිබූ අතර, රන්කුඩු සැඟවීමට පහසු වන සේ කැප්සියුල් ආකාරයෙන් සකසා තිබේ. එසේම රන්කුඩු සූක්ෂම ලෙස ආලේප කරන ලද ඇඳුම් 30ක් සොයා ගැනීමට හැකිව ඇතැයි සදහන් කෙරේ.

සොයා ගන්නා ලද රත්‍රන් වල සම්පූර්ණ බර කිලෝ 22කට ආසන්න වූ අතර වටිනාකම රුපියල් මිලියන 400කට ආසන්න වේ.

රේගු ඉතිහාසයේ සිදු කළ දැවැන්ත වැටලීම් වලින් එකක් වන මෙය සිදු කිරීම සඳහා සහය දුන් Directorate Of Revenue Intelligence ආයතනය වෙත මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිය කෘතඥතාව පළ කරන අතර ජාවාරම් මැඩලීම සඳහා අසල්වැසි රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඇමතිවරයා අවධාරණය කරයි.

-dinamina

වැට් බදු පනත් කෙටුම්පත සම්මතයි !

එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමිවිය.

ඊට අනුව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අදාළ බදු පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය.

ඌව තැන්නේ සුමන රිමාන්ඩ්

පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් පොල්තෙල් ලබා ගෙන මුදල් නොදී අගරු චෙක්පත් නිකුත්කර වංචාවක් කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඌවතැන්නේ සුමන හිමි ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (08) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන ඒකකයට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ දෙමටගොඩ ප්‍රදේශයේ ‘ලේත් රෝ’ ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ කළමණාකරු ජේ. ක්‍රිෂ්නමූර්ති නැමැත්තාය.

සැකකාර හිමිනම දෙමටගොඩ පිහිටි ‘බ්රෙකෝ’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයාව සිටිමින් ඉකුත් ජුලි මාසයේදී රුපියල් පන් කෝටි අසූ අට ලක්ෂයක් වටිනා පොල්තෙල් කිලෝ 84,240ක් ලබාගෙන ඊට චෙක්පත් අටක් නිකුත් කර ඇති බවත්, පසුව එම චෙක්පත් අගරු වී ඇති අතර එම මිලදී ගැනීමට මුදල් නොදී වංචා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පුංචි ජන්දයට පොහොට්ටු අපේක්ෂකයන් සොයයි !

පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසයි.

වර්තමානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂක තරුණ තරුණියන්, සමාජ නායකයින්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාව දීමට බලාපොරොත්තු වන බවත් වර්තමාන දේශපාලන තත්වයට අනුරූපීව නවීණ දේශපාලන සංස්කෘතියට ගැලපෙන පරිදි අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන බවත් පොදුජන පෙරමුණ පවසයි.

දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති අයෙක් සිටී නම් නීත්‍යානුකූල පදනමක් මත ඔහුගේ අපේක්‍ෂකත්ව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද තීරණය කර ඇති බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.

නිදහස් සන්ධාන ලේකම් මාරුවට : ,අතුරු තහනමක් !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමක් සළකා බැලු කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන්ට ජනවාරි 11 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි දැනුම් දෙමින් අතුරු තහනම් දැන්වීම් හා නොතීසි අද (08) නිකුත් කළාය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීම එහි ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.

මහින්ද අමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය” එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේන , දයාසිරි ජයසේකර, වඩුවෙල් සුරේෂ්, තිලංග සුමතිපාල, ඇතුළු ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇත.

නීතීඥ ගයාන් සල්වතුරගේ උපදෙස් මත ඉදිරිපත් කොට ඇති මෙහි පෙත්සම්කාර මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බවත් පසුගිය දිනක ඔහු එම තනතුරින් ඉවත් කොට ඒ වෙනුවට තිලංග සුමතිපාල පත් කොට ඇතැයිද සඳහන් කළේය.

තම සේවාදායකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉවත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධාන ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන නීතීඥ සුරේන් ප්‍රනාන්දු එහෙයින් තම සේවාදායකයා සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉවත් කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කොට ඇත.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් මූලික විරෝධතාවක් මතු කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ රැසක් සිටින හෙයින් එම පක්ෂ මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කර නොමැති තත්වයක් තුළ නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය මෙම පෙත්සම ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.

 

රටේ යහපත වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙනවා - ජනාධිපති

දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අද (08) අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත් පර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මෙහිදී මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

පළමුවෙන්ම මම මහවැලි ඉඩම් පිළිබඳ ප්‍රශ්නය ගැන පැහැදිලි කරන්න ඕන. 1977 වන විට මේ රටේ ඉඩම් තිබුණේ ඉඩම් කොමසාරිස්වරයා යටතේ. අපි විශාල ඉඩම් කොටසක් දුන්නා මහවැලි අධිකාරියට, ඒ වගේම ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දුන්නා. තවත් සංස්ථා කිහිපයක් ඉඩම් ලබා ගත්තා. දැන් කොතනද ඉඩම් තිබෙන්නේ, මොකක්ද වේලා තිබෙන්නේ කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. පළමුව අපි ආණ්ඩුවට අයත් ඉඩම් ටික සොයා ගත යුතුයි.ඉන් පසුව කාටද එම ඉඩම් ලබාදී තිබෙන්නේ කියලා දැනගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස දී තිබෙනවා නම් ඒවා අහෝසි කරන්න පුළුවන්. එම කටයුතු පිළිබඳ තමයි දැන් අපි අවධානය යොමු කර තිබෙන්නේ.

ඒ නිසා ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ මේ වැඩකටයුතු කරගෙන යාමට උපදෙස් දී තිබෙනවා. නමුත් ‍ප්‍රාදේශීය ලේකම්වරයාට කැමති පරිදි ඉඩම් ලබා දිය නොහැකියි. අපි ඒ සඳහා කමිටුවක් පත්කරනවා. එමඟින් පුළුල්ව සොයා බලා නීතිවිරෝධී ආකාරයට ඉඩම් ලබාදී තිබෙනවා නම් ඒ සියලු හිමිකම් අහෝසි කරන්න පියවර ගන්නවා.

මහවැලි ඉඩම් ගැන අද විවිධ ප්‍රකාශ කරනවා. මෙම සියලු ඉඩම් තිබුණේ ඉඩම් කොමසාරිස්වරයා යටතේ. දැන් ගොඩක් ස්ථානවල ජනතාව පදිංචි කර අවසන්. සමහර ස්ථානවල තවමත් පදිංචි කිරීම් සිදු කරනවා. එම ඉඩම්වලට ගැටලුවක් නැහැ. ඒත් විශේෂයෙන් මහවැලි “බී" කලාපය, “සී" කලාපය සහ “එච්" කලාපයේ වගේම අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල තිබෙන ඉඩම් පිළිබඳවත් සොයා බලා එම ඉඩම් විධිමත් අයුරින් ජනතාවට ලබාදීමට පියවර ගත යුතුයි.

මේ වෙනකොට මහවැලියෙනුයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුයි දෙකෙන්ම කෘෂිකර්ම කටයුතු කළත් අපට තවම අස්වැන්න වැඩිකර ගැනීමට හැකි වෙලා නැහැ. මේ මොහොතේ අපි බලන්නේ අස්වැන්න ඉහළ නංවා ගැනීම පිළිබඳව පමණයි. වෙනත් හේතු නැහැ. ඒ නිසා කිසිවෙකු මේ පිළිබඳ බිය වීමට අවශ්‍ය නැහැ කියලා සඳහන් කරන්න ඕනෑ.

ඒ වගේම තවත් කාරණාවක් කිව යුතුයි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳව අපි එදා එකඟතාවක් ඇති කර ගත්තා. ඒ අනුව දෙසැම්බර් 12, 13 දිනවල අපේ හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරු සහ අනෙක් මන්‍ත්‍රීවරු සියලුදෙනා එකතුවෙලා මේ ගැන සාකච්ඡා කරලා ලබන ජනවාරි මාසය වන විට තීරණයක් ගනිමු. ඊට පස්සේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කරන්න අපිට පුළුවන්.

ඒ වගේම අපි එකඟවුණා සෑම අධීක්ෂණ කමිටුවකටම තරුණයින් පස් දෙනෙක් පත් කරන්න. එම නිර්නායක ටික ලබන සතිය වන විට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. නැත්නම් අපේ තරුණයින් ඒකටත් මොකද වුණේ කියා අපෙන් ප්‍රශ්න කරාවි.

මම තව කාරණයක් කියන්න කැමැතියි. අපේ බලශක්ති අමාත්‍යවරයාත් ඒ පිළිබඳ සඳහන් කළා. අපිට විදුලි ගාස්තු වැඩි කරන්න සිදු වෙනවා. පසුගිය අගෝස්තු මාසයේත් විදුලි බිලේ වැඩිවීමක් සිදු වුණා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. දැන් තවත් බිලියන 151ක අලාභයක් ලැබෙන්න නියමිතව තිබෙනවා. ඒ වගේම 2013 සිට මේ දක්වා අපේ සම්පුර්ණ අලාභය බිලියන 300යි. මේ කාලය තුළ අපි බිලියන 300ක් සෙවිය යුතුයි. ඒ එක්කම ලබන වස‍‍රේ නියඟයක් ඇති වුවහොත් අපිට වැඩිපුර රුපියල් බිලියන 420ක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය පරිදි වර්ෂාව ලැබුණොත් රුපියල් බිලියන 352ක් අවශ්‍ය වෙනවා. වැඩි වර්ෂාවක් ලැබිලා ගංවතුර තත්ත්වයක් ඇති වුණොත් බිලියන 295ක් අවශ්‍ය වෙනවා. අපි කොහොමද මෙම මුදල් සොයා ගන්නේ. එතැනයි ගැටලුව තිබෙන්නේ.

ආණ්ඩුවට ආදායමක් නැහැ. මුදල් මුද්‍රණය කළොත් රුපියලේ අගය අඩු වෙනවා. වැට් බදු වැඩි කළොත් එතනත් ප්‍රශ්න මතු වෙනවා. තෙවනුව තිබෙන්නේ විදුලි ගාස්තුව වැඩි කිරීම. අපිට පුළුවන් විදුලි බල කප්පාදුවක් කරන්න. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ. මොකද අ.පො.ස උසස් පෙළ විභාගය තිබෙන්නේ ජනවාරී, පෙබරවාරී මාසවල නිසා. ඒ නිසා විදුලි කප්පාදුවක් කරන්න බැහැ. ඒ පිළිබඳ දෙමාපියන්ගෙන් දැඩි ඉල්ලීමක් තිබෙනවා. අපි මේ පිළිබඳ කතා කළා.

අපි කැමති නැහැ විදුලි ගාස්තු වැඩිකරන්න. අපිත් දේශලපාලනයේ ඉන්නේ. ජනතාවට තිබෙන පීඩනය අපි දන්නවා. ඒත් මොකක්ද අපිට තිබෙන විකල්පය. අපි අසීරුවෙන් මේ ආර්ථිකය ඉදිරියට ගෙනල්ලා තිබෙනවා. දැන් චීනය සමඟත් සාකච්ඡා කරලා තිබෙනවා, එතැනින් ඊළග පියවරට යන්න අපිට පුළුවන්. එහෙත් අපිට ආදායම් පෙන්නන්න බැරි නම් අපිට පිටින් ආධාර ලැබෙන්නේ නැහැ.

ඒ නිසා කණගාටුවෙන්, අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණ ගන්න වෙනවා. අපිට රට ගැන හිතලා වැඩ කරන්න වෙනවා. ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. හැබැයි ඒ තීන්දු නිසා අනාගතය යහපත් වෙනවා. අපි හැමදාම ජනප්‍රිය තීන්දු ගත්ත නිසා තමයි අද මෙතන ඉන්නේ. මීට පෙර ‍මෙවන් තත්ත්වයකට මුහුණදීමට සිදු වුණේ නැහැ. 2013න් පස්සේ අපි විදුලි ගාස්තු වැඩි කළේ නැහැ. අද අපි ඉන්න තත්ත්වය පිළිබඳව අපි සියලු දෙනාම වගකිව යුතුයි. අනිත් රටවල් අසීරු තීන්දු තීරණ ගත්තා. නමුත් අපි ඒකෙන් පැනලා ගියා. දැන් අපෙන් අහනවා මොකක්ද කරන්නේ කියලා.

ශ්‍රී ලංකා විදුලිබල පනතේ සඳහන්වන අන්දමට සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ විදුලි මිල ගණන් පිළිබඳ උපදේශයන් නිකුත් කළ හැක්කේ ඇමතිතුමාට බවත්, එම ප්‍රතිපත්තීන් බදු ව්‍යුහ සිද්ධාන්තයකට අනුව හෝ වෙනත් සිද්ධාන්තයකට අනුව සැකසිය හැකියි. පනතේ 30වන වගන්තියේ, 2වන උප වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිසම එය ක්‍රියාත්මක කිරීමට බැඳි සිටිනවා. කිසිවෙකුට මෙයට පරිභාහිරව ක්‍රියාත්මක විය නොහැකියි. මහජන උපයෝගීතා කොමිසමේ කෙටුම්පත එදා සකස් කළේ මම. එහි තිබෙන බලතල කා සතුවද තිබෙන්නේ කියා මම හොඳින් දන්නවා.

මම දන්නේ නැහැ ඇයි සභාපතිතුමා ජනතාව නොමග යවන්නේ කියලා. සභාපතිතුමා කරපු ප්‍රකාශය පිළිබඳවත් මට පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා. මෙතුමා සඳහන් කරලා තිබෙනවා විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. එතුමා තමයි ට්‍රිලියම් සමාගමේ සභාපති. ට්‍රිලියම් සමාගම තමයි වැඩියෙන් විදුලිබලය ලබා ගන්නේ.

එතුමා පිළිබඳ එක් එක් සංවිධාන විසින් ලබාදුන් ලිපි මා සතුව තිබෙනවා. ට්‍රිලියම් රෙසිඩන්ස්, ට්‍රිලියම් හැව්ලොක් රෙසිඩන්ස්, ටිලියම් රෙසිඩන්ස් කොළඹ 07, ට්‍රිලියම් රෙසිඩන්ස් මීගමුව වගේ ව්‍යාපාර රැසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නේ විදුලි බිල වැඩි වුණම එතුමාගේ වියදම් වැඩි වෙනවා.

එතුමාට කරන්න තිබුණේ ඒ කොමිසමේදි කියන්න, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මේ විදුලිබිල වැඩි වුණොත් ඒක මට බලපානවා. ඒ නිසා කරුණාකරලා මම මේ රැස්වීමට එන්නේ නැහැ කියලා. මටත් එහෙම සමාගම් තිබෙනව නම් මමත් කැමති නැහැ විදුලි බිල වැඩි කරනවට.

මම දුටුවා ඉංජි‍නේරු සංගමය කියලා තිබෙනවා විදුලි බිල වැඩිකරන්න වුවමනා නැහැ කියලා. නමුත් අපි දන්නවා එහි තිබෙන අඩුව.

නොරොච්චෝලේ මෙගා වොට් 100ක සුළං විදුලි බලාගාරයක් සඳහා ඉදිරිපත් කර ඇති මිල ගණන් ඩොලර් මිලියන 321යි, හම්බන්තොට මෙගා වොට් 500ක සුළං විදුලි බලාගාරයට ඉදිරිපත් කර ඇති මිල ගණන් ඩොලර් බිලියන 1.4යි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති බෆලෝ අයිලන්ඩ් බලාගාරය සඳහා ඩොලර් මිලියන 68ක් ඉදිරිපත් කර තිබෙනවා. පුත්තලමේ ඇති මෙගා වොට් 250ක සුළං විදුලි බලාගාරය සඳහා ඩොලර් මිලියන 204ක මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා. මම පළමුවෙන්ම ඉල්ලා සිටිනවා මේවා සම්මත කර දෙන්න කියලා.

නොරොච්චෝලේ බලාගාරයට තව මාස 06කට අවශ්‍ය ගල් අඟුරු ගන්න ති‍බෙනවා. මොකද මාස 06කට නැවකට එම ප්‍රදේශයට ගමන් කළ නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. 2001 මම අගමැති ධූරයට පත් වුණම නොරොච්චෝලේ ව්‍යාපාතිය නතර කළා. ඒ මාස 06 ගැටලුව නිසා. අපේ ආණ්ඩුව පරාජය වුණාට පස්සේ ඔවුන් නැවත ඊළග ආණ්ඩුවට ගිහින් කිව්වා මේක කරමු, මෙතන තමයි හරි තැන කියලා. ඒවා කරපු අය දැන් නැහැ. විශ්‍රාම ගිහින්. ඒත් මම මේවා මතක් කරන්න කැමතියි.

අපිට 2002දී විදුලිබලය ගැන වාර්තාවක් දුන්නා. ඒ අනුව 2003 දී මේ දැන් තිබෙන කෙටුම්පතම තමයි කරු ජයසූරිය මහත්තයාත් විදුලිබල අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළේ. අපි 2004 පරාජය වුණාට පස්සේ එය ක්‍රියාත්මක කළේ නැහැ. ඒක ක්‍රියාත්මක නොකර, මේ අය කිව්වා 2007 පනත ගේන්න කියලා. එම පනත අනුව කිසිම විදුලි බලාගාරයක් ඇති කරලා නැහැ.
2017, 2018 අපි ඉන්දියාව සහ ජපානය සමඟ කතා කරලා එල්.එන්.ජී විදුලිබලාගාර දෙකක් ලබා ගත්තා. අපේ ආණ්ඩුව පරාජ වුණාට පස්සේ මොකක්ද මේ අය කළේ, මේ තිබෙන ගිවිසුම් අහෝසි කරන්නෙත් නැතිව ඇමරිකාවේ නිව්‍ ෆෝට්‍රස් එකට දුන්නා. ඊට පස්සේ ඒකටත් අකමැති වෙලා චීනයටයි, පකිස්ථානයටයි ලබා දුන්නා.

එකම භූමියේ ඉන්දියාව, ජපානය, ඇමරිකාව, චීනය, පකිස්ථානය ඉන්නවා. ලෝක යුද්ධයක් ඇති නොවුණ එක තමයි මෙතන නොවුන ලොකුම දේ. රුසියාව විතරයි නැත්තේ. දැන් මේක විසඳන්න කියලා මට කියනවා. ලෝකේ හැමතැනම ඉන්න බලවතුන්ට එකම ඉඩම දිලා. ඉන්දියාවයි, ජපානයයි සමඟ එල්.එන්.ජී බලාගාර දෙක හැදුව නම් අද ඒකවත් ඉතුරු වෙනවා.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත්තේ කවුද, ඔවුන්ට ලබාදෙන දඩුවම කුමක්දැයි මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ එකඟතාව මත ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කළ හැකි බවයි. 

අයවැය උඩින්ම දිනුම් !

ලබන වසර (2023) සඳහාවූ රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 80 ක් පමණි.

සමගි ජන බලවේගය පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය,දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ මන්ත්‍රීවරුන් වන සී.වී විග්නේෂ්වරන් සහ වේලු කුමාර් ය.

පනත් කෙටුම්පතට විරුද්ධ හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මුලසුනෙන් ඉල්ලා සිටි අතර ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

මෙහිදී අලි සබ්‍රි රහීම්, එම්.‍රාමේෂ්වරන්,
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ,
දුමින්ද දිසානායක ,
ජීවන් තොණ්ඩමන් ,
ඒ. එම්. අතාවුල්ලා
ජෝන් සෙනෙවිරත්න
ප්‍රියංකර ජයරත්න , නිමල්
ලන්සා , විපක්ෂයේ ඉඳිමින් පක්ෂව ජන්දය භාවිතා කරන ලදී.

පළාත් පාලන ඡන්දය විමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම දෙසැම්බර් අවසන් සතියේ

පළාත් පාලන ආයතන සදහා ඡන්දය වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ 26වැනි වගන්තිය ප්‍රකාරවයි.

2022 වසර සදහා වූ පළමුවන හා දෙවන පරිපූරක ලැයිස්තු අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද හිමියන් සංඛ්‍යාව සහ ඊට තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීන් සංඛ්‍යාවද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අද නිකුත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුය.

එබැවින් ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්තා ඇති අතර, ඉදිරි දිනවලදීත් ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද සදහන් කෙරේ.

කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය ඉහළට

කොළඹ නගරය සහ ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් ලෙස සැළකේ.

වායූ දූෂණ අවස්ථාවකදී ස්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘධ වැඩිහිටියන්, ගැබිණි මව්වරුන් අනුගමනය කළ යුතු පියවර මොනවා ද?

හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි අතර එළිමහනේ ව්‍යායාම කිරීම සිදු කරන්නේ නම් හැකි තාක් එයින් වැළකිසිටීම වැදගත් බව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ පැවසීය.

තව ද නිවසින් බැහැරව යන අවස්ථාවන්හි මුඛ ආවරණයක් පැළඳීම මගින් විෂ වායුන් හා විෂ දුම ආග්‍රහණය අවම කරගත හැකිවේ.

ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ වැඩිදුරටත් පැවසුවේ, නිවෙස් හා රැකියා ස්ථාන මනා ලෙස වාතාශ්‍රය ලැබෙන සේ තබා ගැනීම මගින් වායු දූෂණයේ ඇති අහිතකර ප්‍රතිවිපාකවලින් ආරක්ෂා විය හැකි බවයි.

ප්‍රියමාලිට අනුබල දුන්න ක්‍රිෂ් කාල්ටන් ලොක්කි : ජානකීට ඇප !

කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කළ බව කියන තිළිණි ප්‍රියමාලිට මුදල් වංචා කිරීමට ආධාර අනුබල දීම, මුදල් සාවද්‍ය පරිහරණය කිරීම චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින ක්‍රිෂ් කාල්ටන් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත.

සැකකාර ජානකී සිරිවර්ධනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනු කර ඇති අතර එක් නඩුවක් සඳහා ඇය මෙලෙස මුදාහරින ලද නමුත් අනෙක් නඩු සඳහා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගෙන් රුපියල් ලක්ෂ 800ක මුදලක් වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් අනුව ගොනු කර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මඬුල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇය මුදාහරින ලෙස නියෝග අතර තිබිණි.

ප්‍රියමාලි වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

රුපියල් පනස්දහසක මුදල් ඇපයක් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර සැකකාර ජානකී සිරිවර්ධනගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසත් නියෝග කළේය.

එමෙන්ම ඇප ලැබූ පසු සෑම මසකම අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසි ඉදිරිපත් කරමින් නියෝග කළ අතර ඇපකරුවන්ගේ පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණි.

ඇය මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, විමර්ශන අවසන් වීම ඇතුළු කරුණු යටතේ නීතිඥ දසුන් නාගස්හේන මහතා ඇතුළු නීතිඥ මඬුල්ල ඇප ඉල්ලීම කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය !

ශ්‍රී ලංකාව ගෙන එන "දේශගුණික සෞභාග්‍ය සැලැස්ම" ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall) පැවසුවාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන හා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ඉදිකිරිමට සැලසුම් කර ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට අවශ්‍ය උපරීම සහයෝගය ලබාදිමට කටයුතු කරන බව ද ලීසා වැන්ස්ටාල් ප්‍රකාශ කළාය.

මීට අමතරව, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ගෙන යනු ලබන වැඩපිළිවෙළ පැසසුමට ලක්කළ මහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එය මෙරට අනාගත සුබ සිද්ධිය උදෙසා සැලසුම් සහගතව ගත් පියවරක් ලෙස ද පෙන්වා දුන්නාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ඉදිරි වැඩසටහන් ගැන කරුණු ඉදිරිපත් කළ අතර, දේශගුණික විපර්යාස පිළිබඳ පනත ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද එහිදි සඳහන් කළේය.

කලාපයේ ‍දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සොයා බැලීමට දේශගුණික විපර්යාස කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන බව පැවසූ රුවන් විජයවර්ධන ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාසවලට මුහුණදීමට අවශ්‍ය විසඳුම් මෙහිදී සොය ගත හැකි බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හරිත හයිඩ්‍රජන් බලශක්තිය පිළිබඳ මේ වන විටත් රජය අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනිය බලශක්තියට ඇති ඉඩ ප්‍රස්ථාව තවත් වර්ධනය කිරිමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපති උපදේශකවරයා වැඩිදුරටත් ‍කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී කතා බහට ලක්විය.

බ්‍රිතාන්‍ය රජයේ සෞභාග්‍ය කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩෘ ප්‍රයිස් (Andrew Price), ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ සජන සූරියආරච්චි ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොරෝනා නීති තවත් ලිහිල් කරයි !

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර ඇත.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපපයක් එලෙස අහෝසි කර ඇති බවය.

ඒ අනුව, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන PCR පරික්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අද සිට අහෝසි වන බව ඔහු පවසයි.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

ජ'පුර රෝහලේ අක්‍රමිකතා : කෝප් කමිටුවේදී ඇදිලා !

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි පරිපාලනය විසින් සිදුකර ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳ අනාවරණය කර ඇති විගණකාධිපති වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවී අවධානය යොමුවී තිබේ.

ඒ අනුව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරියෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇත.

රෝහල් භූමියට අයත් ඉඩම් වෙනත් පාර්ශ්ව විසින් අත්පත් කරගැනීම මෙන්ම හඳුනාගැනීමට සිදු කළ මැනුම් කටයුත්තේ ද අක්‍රමිකතාවක් සිදුවී ඇති බව එහිදී අනාවරණය වුණි.

මේ සම්බන්ධයෙන් රංජිත් බණ්ඩාර මහතා සහ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විමසා සිටි අතර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර :

"සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් එකකට විශාල මුදලක් අත්තිකාරම් දීලා තිබුණා.. කෝ ඒක. ඒ වගේම අතිරික්ත තොග කල්ඉකුත්වෙච්ච ඒවා සම්බන්ධයෙන් විගණකාධිපති නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. කෝ ඒවා.. සභාපතිතුමා දැන් කියන්න එපා.. මම හිටපු නැති කාලේ ඒවා කියලා. අපි අහන්නේ මේ පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද?..ඔය රෝහලේ ඉඩම් වටෙන්ම අල්ලගෙන..ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමාලා කරේ, මැනලා මේ ටික තමයි ඉඩම් තියෙන්නේ කියලා කිව්වා. එතකොට බලහත්කාරයෙන් අල්ලගත් ඒවා."

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න :

"සර්වේයර් ජනරාල් මේක මැනලා පැහැදිලිවම කියලා තිබුණා මෙච්චර ප්‍රමාණයක් මෙන්න මේ මේ පුද්ගලයෝ තමයි අල්ලගෙන ඉන්නේ කියලා. නමුත් එක්කම දීලා තිබුණා.

ඔබතුමන්ලා කළේ, ඒක පැත්තකින් තියලා පුද්ගලික සර්වේයර් කෙනෙක් දාලා මැන්නා. ඒක තමයි පිළිගත්තේ. රජයේ සර්වේයර් කියන එක පිළිගත්තේ නැහැ."

රෝහල් අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ :

"අපි දැනුවත් වූ වහාම නීතිපති උපදෙස් ලබාගත්තා. දැන් වැඩකටයුතු කරගෙන යනවා. පර්චස් 165ක් අපිට නැතිවෙලා තිබෙනවා."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ :

" මිනිස්සු කියනවා.. මේ ඉඩම් අල්ලගෙන හොස්ටල් දාලා ලු. හොස්පිටල් එකටම දෙනවලු කුලියට. ජයවර්ධනපුර රෝහලේ ඉඩමක් අල්ලගන්න එක සාමාන්‍ය දෙයක් ද?. මහා දැවැන්ත වංචාවක්."

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න:

"මට පේන්නේ මේ ආයතනය මේකට අනුබල දුන්නා කියන එක. නැත්තම් පුද්ගලික සර්වේයර් ගේ එක නගර සභාවේ රෙජිස්ටර් කරන්නත් සර්වේයර් ජනරාල්ගේ එක රෙජිස්ටර් නොකරන්නත් හේතුව මොකක්ද?."

වෘෂණ කෝෂ පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම කළ හැකි ද?

වෘෂණ කෝෂ අලෙවි කළ හැකි ද? නැති නම් විශාල මිලකට මිලදී ගන්නවාද ?එසේත් නැති නම් පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂ තවත් පුද්ගලයෙකුට බද්ධ කළ හැකි ද?

මේ පිළිබඳ සංවාදත්මක තත්ත්වයක් නිර්මාණය වූයේ බොරැල්ලේ පෞද්ගලික රෝහලක එවැනි සැත්කම් කරන බවට පුද්ගලයෙකු කළ හෙළිදරව්වක් නිසාවෙනි.

වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්‍ෂ 70ක මිලක් ලබාදෙන බව තැරැව්කරුවෙකු ප්‍රකාශ කළ බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණේ ය.

වෘෂණ කෝෂ බද්ධ කළ හැකිද?

වකුගඩු, අක්මා, ඇස්, ඇටමිදුළු බද්ධ කිරීම් සුලබවුවත් වෘෂණ කෝෂ බද්ධ කළ හැකි ද යන්න සංවාදයට ලක්වන්නේ එය ඉතාම විරලවීම හේතුවෙනි.

වෛද්‍ය ඉතිහාසය සලකා බැලීමේ දී ජාත්‍යන්තර ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් 2019 වසරේ දී සර්බියාවේ බෙල්ග්‍රේඩ්හි කරන ලද පැය හයක ශල්‍යකර්මයක් මඟින්, වෘෂණ කෝෂ නොමැතිව උපත ලැබූ 36 හැවිරිදි පුද්ගලයෙකුට ඔහුගේ නිවුන් සහෝදරයෙකුගෙන් ලබාගත් වෘෂණ කෝෂයක් බද්ධකර තිබේ.

ශල්‍ය වෛද්‍යවරු පූර්ණ වෘෂණ කෝෂ ක්‍රියාකාරීත්වයක් සහිත පිරිමි නිවුන් දරුවෙකුගේ වෘෂණ කෝෂයක්, ඒවා නොමැතිව උපන් ඔහුගේම නිවුන් සහෝදරයාට බද්ධ කළහ.

ශල්‍යකර්මයෙන් පැය දෙකක් ඇතුළත පරිත්‍යාගශීලියා සහ ලබන්නා යන දෙඅංශයෙන්ම ටෙස්ටොස්ටෙරෝන් මට්ටම සාමාන්‍ය විය. ලබන්නාගේ ශුක්‍රාණු ගණන සහ චලනය ද සාමාන්‍ය මට්ටමට ළඟාවූ බව වෛද්‍යවරුන් අනාවරණය කර තිබුණි.

ජාත්‍යන්තර වාර්තා සලකා බැලීමේ දී මානව වෘෂණ කෝෂ බද්ධ කිරීමේ පළමු වැන්න 1978 දී වාර්තා වෙයි.

සතුන් යොදාගෙන සිදුකළ අධ්‍යයනයක දී වෘෂණ කෝෂ සහ ඩිම්බකෝෂ තැන්පත් කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක වී ඇතත්, මිනිසුන් තුළ බද්ධ කිරීම් පර්යේෂණාත්මක හා අවදානම් තත්ත්වයක පවතියි.

ශල්‍යකර්මය සඳහා ඉතා විශේෂිත වූ ක්ෂුද්‍ර ශල්‍ය සහ ශිල්පීය ක්‍රම අවශ්‍යවනු ඇත.

මෙවැනි බද්ධ කිරීම් ශ්‍රී ලංකාවේ සිදුකළ හැකි ද?

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, “ඇතැම් මාධ්‍ය මඟින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් පිළිබඳව ද අසන්නට ලැබුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස එවැනි බද්ධ කිරීම්වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැහැ. එමෙන්ම සායනික වශයෙන් හෝ පර්යේෂණාත්මක වශයෙන් එවැනි බද්ධ කිරීම් සිදුකර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය යි,” කියා සිටියේ ය.

වෘෂණ කෝෂයක් හෝ වෙනත් අවයවයක් විකිණීම ඇමරිකා එක්සත් ජනපදය තුළද නීත්‍යානුකූල නොවේ.

ධනය නොසලකා පරිත්‍යාග කරන ලද අවයවවලට සමාන ප්‍රවේශයක් පවත්වා ගැනීම එක් සදාචාරාත්මක අවශ්‍යතාවයක් පමණි. අවසරයකින් තොරව බලහත්කාරයෙන් අවයවයක් ගැනීම හෝ අත්‍යවශ්‍ය මුදලට අවයව විකිණීම තවත් සදාචාරාත්මක සැලකිල්ලකි.

වෘෂණ කෝෂ අලෙවිය සම්බන්ධයෙන් අන්තර්ජාල මිථ්‍යාවන් රැසක් පවතියි. වෘෂණ කෝෂයක් ඩොලර් දසදහස් ගණනකට විකිණිය හැකිය යන ප්‍රකට අන්තර්ජාල මිථ්‍යාව තවදුරටත් පැතිර යමින් තිබේ.

විද්‍යාත්මක පර්යේෂණ සඳහා විදෙස් රටවල වෘෂණ කෝෂයක් ඩොලර් 35,000කට අලෙවි කරනබවට වාර්තා පළවුවත්, සැබෑ ලෙස එවැනි මුදලක් ලබාගත් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරක් නැතිබව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේ ය.

දුර්ලභ අවස්ථාවන්හි දී, වෛද්‍ය පර්යේෂකයන් මිනිසුන්ට අධ්‍යයනයකට සහභාගීවීමට මූල්‍ය වන්දි පිරිනැමිය හැකි ය. කෙසේ වෙතත්, පර්යේෂකයන්ට වෘෂණ කෝෂයක් අවශ්‍යවීමේ සම්භාවිතාව අතිශයින් අඩුබව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නම් හෙළිදරව් නොකළ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම සඳහන් කළේ වෘෂණ කෝෂ බද්ධ කිරීම් නොකෙරෙන බව ය.

එය මිල අධික මෙන්ම පළ රහිත ක්‍රියාවක් වනු ඇති බව ද ඔවුහු සඳහන් කළහ.

අවයව බද්ධ කළබව කියෙන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් !

බොරැල්ලේ පෞද්ගලික රෝහලක දී ජාවාරමක් ලෙස ඉන්ද්‍රියන් බද්ධ කළබව කියන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් පත්කරනු ලැබ තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත්කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

අදාළ සිද්ධි සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු නිසි ලෙස ඉටු කිරීම සදහා ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්, නීති නිලධාරීයෙකු, විමර්ශන නිලධාරීයෙකු පත්කර ඇති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරීමට මසක පමණ කාලයක් ගතවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ කමිටුවේ කාර්යභාරය, සමාජ මාධ්‍ය හා මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමත්, එවැනි කටයුත්තක් සිදුවී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස ගතයුතු ක්‍රියා මාර්ග කුමක්ද යන්න නිර්දේශ කිරීම බවත් ය.

"මෙයට අමතරව ඇතැම් මාධ්‍ය මඟින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් පිළිබඳව ද අසන්නට ලැබුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස එවැනි බද්ධ කිරීම්වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැහැ. එමෙන්ම සායනික වශයෙන් හෝ පර්යේෂණාත්මක වශයෙන් එවැනි බද්ධ කිරීම් සිදුකර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය යි. පත් කළ කමිටුවට ඒ පිළිබදවත් සොයා බැලීමට නියම කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම මේ පිළිබඳ විමර්ෂණයක් සිදුකර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගන්නා තෙක් එම රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා,” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම්, පෞද්ගලික වෛද්‍ය සේවා (සංවර්ධන) අංශයේ අධ්‍යක්ෂ ධම්මික අලහප්පෙරුම පැවසුවේ පසුගිය දිනවල මාධ්‍ය මඟින් වාර්තා කෙරුණු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙන බව ය.

එම ආයතනය තුළ වකුගඩු බද්ධ කිරීමේ දී සිදු වතැ යි කියන අක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී තිබේ.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් මේ සම්බන්ධව පරීක්ෂණ දෙකක් පැවැත්වේ.

බීබීසී - සිංහල

කෑමට විතරක් : වියදමින් 75%ක් !

යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවට අනුව මෙරට සෑම පවුල් 5 කින්ම පවුල් 2 ක් සිදුකරන වියදම්වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමටය.

තම මාසික වැටුපෙන් හෝ අදායමෙන් සියයට 75 ආහාර සඳහා වියදම් කරන විට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය 2023 වසර පුරාවට පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ලබන වසරේ ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2 කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් මිලියන 2.9 ක් ළමුන් බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.

පසුගිය ඔක්තෝබර් මස සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තවත් පිරිහිය හැකි බවත් ඉදිරි මාස වලදී ළමා මන්දපෝෂණ තත්ත්වය දරුණු විය හැකි බවට යුනිසෙෆ් සංවිධානය පුරෝකථනය කරන බවත් එම වාර්තාවේ දැක්වේ.

සැහැල්ලු දුම්රිය අවලංගු කරලා : කෝටි 597ක් වතුරේ යවලා !

කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම් ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් ඇතැයි එම ව්‍යාපෘතිය අවලංගු කිරිම සම්බන්ධයෙන් කරන ලද විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත වියදමට අමතරව එතෙක් සපයන ලද උපදේශක ගාස්තුද ඇතුළත්ව, කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව ව්‍යාපෘතිය අවලංගු කිරිම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේශක සමාගම රුපියල් කෝටි 516ක් ඉල්ලා ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

එම මුදල නොගෙවන්නේ නම් අනාගතයේ එම සමාගම බේරුම්කරණ නඩුවකට ගිය හොත් සම්පූර්ණ උපදේශන ගාස්තුව හා වන්දි මුදලක් ආදී ලෙස තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවද එහි සඳහන් වේ.

එසේම මෙම ව්‍යාපෘතිය ආරම්භයේදීම පෙර ගෙවුම් ගාස්තුවක් ලෙස ජපන් යෙන් 60,080,000 (රුපියල් කෝටි 10.4ක) මුදලක් ව්‍යාපෘතියට යොදවා ඇති බවද ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වු පසු එම මුදලින් සියයට පනහක් ආපසු ගෙවනු ලබන බවද ව්‍යාපෘතිය අතරමග නැවතීම නිසා එසේ යෙදවූ පෙර ගෙවුම් ගාස්තුව අනර්ථකාරි වියදමක් වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රජය 2016 දී ජපන් රජයෙන් කළ ඉල්ලීමක් පරිදි මෙම ජපාන ජාත්‍යන්තර සහයෝගිකා ආයතනයෙන් (ජයිකා) මෙම ණය මුදල වසර දොළහක සහන කාලයක් සහිතව වසර හතලිහකදි ගෙවීමට සහන පොලී පදනමක් යටතේ ලබාදී ඇති බවද එසේ තිබියදී ව්‍යාපෘතිය අවලංගු කිරිමට කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය අවංගු කර තිබෙන්නේ 2020 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුවය.

අමාත්‍ය මණ්ඩල සංදේශවලට අදාලව මහාභාණ්ඩාගාරය සිය නිරීක්ෂන ඉදිරිපත් කිරිමේදි එම සංදේශ මගින් අපේක්ෂා කරන තීරණ සඳහා සහයෝගය දැක්වීමෙන් ඔබ්බට සිය ස්වාධීන වෘත්තීමය නිරීක්ෂන ලබාදීමට උපරිම ප්‍රයත්න දැරිය යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

මෙම කරුණු ඇතුළත් වි තිබෙන්නේ ජපන් සැහැල්ලු දුමරිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් මස නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකය.

-Lankadeepa

Page 159 of 377