V2025

පුවත්

තිළිණි ප්‍රියමාලිව අසාමාන්‍ය විදිහට පරීක්ෂා කරලා !

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධව මේ වනවිට රක්ෂිත බන්ධනාගර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි අසාමාන්‍ය පරීක්ෂා කිරීමකට ලක්කර ඇති බවට චෝදනා කරමින් ඇයගේ නීතිඥවරු මානව හිමිකම් කොමිසම වෙත ඊයේ (06) පැමිණිල්ලක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන ප්‍රකාශ කර සිටියේ, මෙම අසාමාන්‍ය පරීක්ෂා කිරීම් හමුවේ තිළිණි ප්‍රියමාලිගේ රහස් ප්‍රදේශවලට තුවාල ද සිදුව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මෙසේ සඳහන් කළේය.

"සැකකාරියක් වන තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළදී සිදුවන මානව හිමිකම් උල්ලංඝන කිරීම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළා. බන්ධනාගාරයේ ඉන්නවා බන්ධනාගාර පොලීසිය. ඒකට විශේෂයෙන් හඳුන්වන නමක් තියෙනවා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය. ඔවුන් සිදුකරන්නේ බන්ධනාගාරයේ යම් නීතිවිරෝධී දෙයක් සිදුවෙනකොට පරීක්ෂා කිරීම් සහ විවිධ කටයුතු සිදුකරනවා. ඔවුන් පසුගිය 24 වනදා ඇයව අවස්ථා 3කදී පරීක්ෂාවට ලක්කරලා තියෙනවා. ඒ පරීක්ෂා කිරීමේදී සාමාන්‍ය කාර්ය පටිපාටියෙන් බැහැරව ඇයගේ ඇඳුම් ඉවත් කරලා ලිංගික ප්‍රදේශ පවා පරීක්ෂා කරලා තියෙනවා. මෙහිදී ඇයගේ ලිංගික ප්‍රදේශවලටත් තුවාළ සිදුවෙලා තියෙනවා. පසුව රෝහල්ගත කිරීමක් සිදුවෙලා තියෙනවා. මෙම අසාමාන්‍ය සැළකිල්ල තුළ ඇයගේ මානව හිමිකම් කඩවෙලා තියෙනවා කියන චෝදනාව කරනවා, සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂා කිරීම් සිදුකරද්දී බන්ධනාගාරයේ විවිධ උපකරණ තියෙනවා. ලිංගික ප්‍රදේශ පරීක්ෂා කරන්නේ තාක්ෂණික උපකරණ යොදාගෙන. නමුත් මේ තිළිණි ප්‍රියමාලි පරීක්ෂා කිරීමේදී ඇඳුම් ඉවත්කරලා භෞතිකව පරීක්ෂා කිරීම් සිදුකරලා තියෙනවා. මෙම තත්ත්වය පැහැදිළිවම සිරකරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. එසේම ඇයට වෙනස්කොට සැළකීමක්."

තිළිණි ප්‍රියමාලි ගේ නීතිඥවරුන් විසින් මානව හිමිකම් කොමිසම වෙත යොමුකළ ලිපිය !

0001

0002

උත්සව සමයේ බිත්තර හිඟ නෑ !

එළඹෙන උත්සව සමයේදී බිත්තරවල කිසිදු හිගයක් ඇති නොවන බවත් ඒ අනුව පාරිභෝගිකයන් හට අවශ්‍ය තරම් බිත්තර මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම් . සරත් අත්තනායක පවසයි.

රජය මගින් පනවා තිබෙන පාලන මිලටත් අඩුවෙන් උත්සව සමයේදී පාරිභෝගිකයන් හට බිත්තර මිලදී ගැනීමට හැකි වන බවත් කිසිදු අයුරකින් රු.50 ට වැඩියෙන් බිත්තර මිලදී නොගන්නා ලෙසත් සරත් අත්තනායක කියා සිටී .

විශේෂයෙන් එළඹෙන උත්සව සමය සඳහා නිෂ්පාදනය කරන කේක් යනාදී සඳහා බේකරි වලින් බිත්තර වලට විශාල ඉල්ලුමක් තිබෙන බව පවසන ඔහු එහෙත් එළඹෙන සතියෙන් පසු හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාවන බවත් කියා සිටියේය .

මේ වන විට රට පුරා සියලු කුකුළු ගොවිපළවල බිත්තර නිෂ්පාදනය සාර්ථකව සිදු වෙමින් පවතින බවත් තව මාස දෙක තුනකින් පමණ රජයේ පාලන මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයන් සදහා බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය .

එසේම මේ වන විට බිත්තර හිගයක් ඇති බව මවාපාමින් බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් උත්සාහ දරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන සරත් අත්තනායක,  එසේ බිත්තර මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ තම නිවසේ කුකුලෙක් වත් නොමැති පුද්ගලයන් බව ද වැඩිදුරටත් පැවසීය .

ඕන රාජ්‍ය සේවකයෙකුට වසර 5ක නිවාඩුවක් !

තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සදහා රාජ්‍ය අංශයේ සේවකයන් සුදානම් කිරීම සදහා “Refresher Bootcamp” ප්‍රථම පුහුණු වැඩසටහන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද (06)පැවැත්වුණී.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීයමය සංවිධාන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙම වැඩසටහනට පූර්ණ සහාය ලබාදෙයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/ 2022 හි ප්‍රතිපාදන අනුව, සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට රාජ්‍ය අංශයෙන් බැහැරව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) වසර පහක් (05ක්) දක්වා වූ නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ද වර්තමානයේ ක්‍රියාත්මක වේ.

එම චක්‍රලේඛය පරිදි රැකියා අවස්ථා සඳහා තාවකාලික නිවාඩු අපේක්ෂා කරනු ලබන රාජ්‍ය අංශයේ රැකියාවන්හි නියුතු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සඳහා මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.

මෙම සමාරම්භක සැසිය හා දැනුවත් කිරීමේ වැඩසටහනට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල , තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන, CSSL ආයතනයේ සභාපති දමිත් හෙට්ටිහේවා, SLASS COM ආයතනයේ අධ්‍යක්ෂක අර්ජුන් නානයක්කාර, BCS ආයතනය නියෝජනය කරන මහාචාර්ය ලසිත් ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය

ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් : ලංකාව ගැන තීරණාත්මක තීන්දුවක !

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අද (06) කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම" සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser), ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් (Shixin Chen), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් (Peter Breuer), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel) සමග පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පිරිසක් සමග ආණ්ඩුවට සහය දෙනවා - රාජිත

සාගින්නෙන් ජනතාව මුදා ගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය දීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

තමන් එසේ සහාය දෙන්නේ තනිව නොව තවත් කණ්ඩායමක් සමග බවද පැවසූ ඔහු ඒ සන්ධානයක් ලෙස විය හැකි බවද කියා සිටියේය.

ජනතාව ඉතාම අසීරුවෙන් ආහාර සොයා ගත නොහැකිව සිටින කාලයක දේශපාලන කතා නොකළ යුතු බවද හෙතෙම පැවසීය.

පසුගිය යුද සමයේ ද රට බරපතළ අර්බුදයක වැටී සිටි අවස්ථාවේ තමන් ආණ්ඩුවට එක් වී එම කටයුත්ත සඳහා සහය දුන් බවද පැවසූ දැන් උදා වී ඇත්තේ ද එවන් ආර්ථික අර්බුදයක් බවද සදහන් කලේය.

2050 ට මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා - ජනපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බව ද පැවසීය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ (05) පවත්වන ලද "2022 ආර්ථික සමුළුව " අමතමිනි.

රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසිය.

දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ණය ප්‍රතිව්‍යුගතකරණයේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන්දියාවත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක බවත් පැවසීය.

චීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත් මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ලබන වසරේදී චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිවරයා චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ද පැවසීය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ණය මුදල ලබන වසරේදී ලබාගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

අනාගතය සඳහා හරිත හයිඩ්‍රජන් අංශය කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සූර්ය බලශක්ති කර්මාන්තයට වඩා විශාල විභවයක් ඇති හරිත හයිඩ්‍රජන් කෙරෙහි පෞද්ගලික අංශය අවධානය යොමු කළ යුතු බව ද පැවසීය.

ඉඩම් නීති ද නැවත සලකා බලා ආයෝජකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි පරිදි පවතින නීති වෙනස්කම් සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පළමුව කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ජනාධිපති වික්‍රමසිංහ අනාවරණය කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානය පළමුවෙන්ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බවත් සිහිපත් කළේය. ‍

කෙසේ වුවත් දැනට සිදු කරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බවත්, උපායමාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙම ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දීය පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනයේ (NITI Aayog) ප්‍රධාන විධායක නිලධාරි පරමේෂ්වරන් අයියර් විසින් සිදු කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221206 WA0002

IMG 20221206 WA0004

ඉන්දීය සහයෙන් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ උත්සාහයක් !

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ.

ඊට අදාළව ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NDDB) සහ ඉන්දියානු Amul කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම‍ට පියවර ගෙන තිබෙන අතර එහි මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කෙටි සහ මධ්‍යකාලීන සැලසුම් ක්‍රියාත්මක කරමින් දේශීය කිරි නිෂ්පාදනය දෙගුණ කර ගැනීම පිළිබඳව සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ දිගුකාලීනව ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය නිමල් සමරනායක, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් ඇතුළු කමිටු සාමාජිකයන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍හා රේඛීය ආයතනවල නිලධාරීන් ද, ඉන්දියානු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි රජේශ් ඔන්කර්නාත් ගුප්තා (Rajesh Onkarnath Gupta), සාමාන්‍යාධිකාරී සුනිල් ශිවප්‍රසාද් සිංහා (Sunil Shivprasad Sinha), ජ්‍යෙෂ්ඨ කළමනාකරු රාජේශ් කුමාර ශර්මා Rajesh Kumar Sharma ඇතුළු නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20221205 WA0028

ශ්‍රීලනිපය හැරදමා යන්නේ නෑ : චන්ද්‍රිකා කියයි !

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

මේ බව සඳහන් වන්නේ හිටපු ජනාධිපතිනිය නිකුත්කළ නිවේදනයක වන අතර තමා දේශපාලනිකව ඉපදුනේත්, හැදී වැඩුණේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බවත්, විවිධ පහර කෑම් වලට ලක් වූයේ ද පක්ෂය වෙනුවෙන් බවත් තමා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙස බවත් එහි සඳහන් කර ඇත .

බණ්ඩාරනායක දර්ශනය අගය කරන, තමන්, එම දර්ශනයට අනුගත දේශපාලනයක නිරත වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වන බව ද ඇය සඳහන් කර ඇත .

එමෙන්ම මේ මොහොතේ පවතින ජාතික අර්බුද දෙකක් වන ළමා මන්දපෝෂණය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබාදීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට තම උපදෙස් ලබාදෙන බව ද ඇය නිවේදනය හරහා පවසයි .

වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්වයය පත්ව තිබෙන බවත් ඇය සඳහන් කර ඇත.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව ද ඇය සිය නිවේදනයේ දක්වා ඇත.

ජන්දය කල්දාන එක භයානකයි : බැසිලුත් කියයි !

පොහොට්ටුවේ ලොක්කා, ඒ කියන්නේ බැසිල් , ලංකාවට ඇවිත් වැඩි දවසක් නෑ.

හැබැයි ඉතින් ආපු දවසේ දවසෙ ඉඳල වැඩ. එයාට පොඩ්ඩක්වත් විවේකයකුත් නෑ...

ආපු දවසේ ඉඳලා රෑට රෑට හිතවතුන්ගේ ගෙවල් වල විශේෂ හමුවීම් වලට සහභාගි වෙමින් පුංචි පුංචි සාකච්ඡා පවත්වමින් හිටපු බැසිල් එකපාරටම පොහොට්ටුවේ ලොකු රැස්වීමක් කැදෙව්වා.

සෑම දිස්ත්‍රික්කයකම ඉන්න පොහොට්ටුවේ ඉහළම නායකාරකාදීන් මේ රැස්වීමට පැමිණිය යුතු බව දන්වලා තිබුණා.

සාකච්ඡාව තිබුණෙ පහුගිය සෙනසුරාදා උදේ...

හුඟ දවසකින් නෙළුම් මාවත පැත්තේ ලොකු traffic එකක් මොකද කියලා කවුරුත් බැලුවා...

"බැසිල්ගේ රැස්වීමක්. ආයෙත් නෙළුම් මාවත ඔෆිස් එකේ වැඩ පටන් අරන්. බැසිල් ඇවිල්ල නේ..." පාර්ලිමේන්තුව කිට්ටුව ඩියුටි කරන පොලිස් නිලධාරීන් එක එක්කෙනා කුටු කුටු ගෑවා.

ඇත්තම කියනවා නම් බැසිල් ලංකාවට ආවට පස්සේ මේක තමයි පලමුවෙන්ම ලොකුවට කළ නියෝජිත හමුව.

එදා පාර්ලිමේන්තුව පැවැති දවසක් වුණත් පොහොට්ටුවේ ප්‍රධාන පෙළේ චරිත වැඩි දෙනෙක් පාර්ලිමේන්තු නොගිහින් ආවේ නෙළුම් මාවතට.

ඒත් සෙනසුරාදා පාර්ලිමේන්තුවේත් බර විවාදයක්. අමාත්‍යාංශ දෙකක් නේ. එකක් නාගරික සංවර්ධන හා නිවාස. අනෙක කම්කරු හා විදේශ රැකියා. මේ නිසා අමාත්‍යාංශ වලට අදාල සමහර ඇමතිවරු ඇවිත් හිටියේ නෑ....

කට්ටියක්... ප්‍රසන්න ඇවිත් නෑ කියමින් ලොකු ගාලගෝට්ටියක් ගෙනිච්චා. ඒක බැසිල්ටත් කිව්වා... බැසිල් සිනාවුනා මිසක් මොනවත් කිව්වේ නෑ... අද ප්‍රසන්නට අදාල වැය ශීර්ෂය කියලා බැසිල් දැනුවත්. කල්තියාම ඔහු ඒක බැසිල්ට දන්වලා තිබුණා.

"අද හැමෝටම වැඩ දවසක්. ඒක හින්ද අපි මේක ඉක්මනට ඉවර කරනවා..." කියමින් කතාව පටන් ගත් බැසිල් රාජපක්ෂ පහුගිය දිනවල දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි පුහුණුවෙන් නියැදියක් තෝරා ගෙන කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ඉදිරිපත් කළා...

"චන්ද්‍රිකා මැතිනියගේ කාලේ ඉඳලම අපි මාස කීපයකට වරක් තත්කාලීන දේශපාලන තත්ත්වය ගැන විනිශ්චයක් ගන්න රිසර්ච් එකක් කරනවා. අපිත් ඒක හැම කාලෙම කළා. අපි නිතරම අපේ ජන බලය මැනල බැලුවා.

මේ රිසර්ච් එකේ රිසල්ට් එක මාස එකාමරකට විතර ඉස්සෙල්ල මට එවල තිබුනේ ඇමරිකාවේ ඉන්න කාලේ. ඔය රිසච් එකට 10,000ක ගේ මතය අරගෙන තියනවා.. මේකෙන් හෙළිදරව් වෙන්නේ රටේ වර්තමාන දේශපාලන හැසිරීම...."

එසේ කියමින් බැසිල් සමීක්ෂණයේ දත්ත හෙළිදරව් කිරීම පටන් ගත්තා.

ඒ අනුව රටේ ප්‍රධාන පක්ෂ තුනකට වර්තමාන ජනමතය බෙදී ගොස් ඇති ආකාරය ඔහු විග්‍රහ කළා. පොහොට්ටුව සජබය හා ජවිපය එම පක්ෂ තුන බව ඔහු පැහැදිලි කලා.

සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජාතික පවුර, උත්තර ලංකා සභාගය ආදී අනෙකුත් සියළුම පක්ෂ ස්ථානගත වී තිබුණේ ප්‍රධාන පක්ෂ තුනට බොහෝ පහලින් බව බැසිල් කිව්වා.

"පොහොට්ටුව අද ඉවරයි, හෙට ඉවරයි, දැන් කැඩිලා බිඳිලා විසිරිලා, මන්ත්‍රීවරු විසිරිලා ගිහින් කියලා හැමදාම මේ රටේ ගොසිප් කාරයෝ කිව්වට ඇත්ත ඊට වඩා බොහෝ වෙනස්..."

මේ research එකට අනුව ජන මනස ක්‍රියා කරන ආකාරය ගැන අපට හොඳ ෆිගර් එකක් ගන්න පුළුවන්.

තාමත් මුළු වයඹ ම ඉන්නේ පොහොට්ටුවත් එක්ක. මධ්‍යම පළාත ගත්තම එහි යම් බලයක් සජබය තහවුරු කරගෙන. ගාල්ල මාතර හම්බන්තොට ගත්තාම ඒවායේ යම් යම් සාධනීය ස්ථාන වල බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන බලවේගය ට අයත් බව පේනවා.

අවසාන වශයෙන් පේන වැදගත්ම දේ තමයි මේ කිසිදු පක්ෂයකට 40% ප්‍රතිශතය උඩට එන්න බැරි වීම.." බැසිල් අවධාරණේ කලේ එහෙම..

මේ වගේ සමීක්ෂණයක් කරන්න ට බලපෑ කාරණාව කුමක්ද කියලාත් බැසිල් කිව්වා. රට අභ්‍යන්තරයේ පවතින ජනමතය තුළත් ඉදිරි මැතිවරණයක් සදහා අපේක්ෂාවක් තියෙන බව ඔහු පෙන්වා දුන්නා. ඒ වගේම ලංකාවත් එක්ක ආර්ථිකමය වශයෙන් ගණුදෙනු කරන ජාත්‍යන්තර සංවිධානවලත් දේශපාලන එළඹුමකට යම් ආශිර්වාදයක් පවතින බව බැසිල් කිව්වා...

"ලබන වසරේ මාර්තු වලින් පස්සේ අපට කුමන හෝ මැතිවරණයකට මුහුණ පාන්න සිදු වෙන බව පේනවා. මට අවශ්‍ය වුණේ මේ වෙලාවේ අපි ජනමතය තුළ කොතැනද ඉන්නේ කියන එක හොයාගන්න . මේ සමීක්ෂණයෙන් ඒක හොඳට පිළිබිඹු වෙනවා. එහෙම නම් මීට වඩා සූදානමකින් අපි ඉදිරි දේශපාලන කටයුතු වලට අවතීර්න විය යුතුයි" බැසිල් කිව්වා.

ඉන් පසුව සභාවෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා...

" ජොන්ස්ටන් මැතිතුමාලා වගේ පොහොට්ටුවේ ඉන්න අයගේ ඇමතිකම් තාම ලැබුණේ නැත්තේ ඇයි.."කියලත් සමහරු ඇහුවා.

"මහින්ද ජනාධිපතිපති තුමාගේ කාලෙ නම් මම ඔය රජයේ පරිපාලන වැඩවලට මැදිහත් වුණා... හැබැයි ගෝඨාභය ජනාධිපති තුමාගේ කලේ මම ඕවට අතගහන්න ගියේ නැ .. රනිල් ජනාධිපති තුමාගේ වැඩවලට මම කොහෙත්ම මැදිහත් වෙන්නේ නෑ.."

හුඟ දෙනෙකුට අහන්න ප්‍රශ්න කප්පරක් තිබුණා. හැම මුහුණ කම තිබුණේ අවිනිශ්චිත බවක්... බැසිල් ඒ අවිනිශ්චිත බව නැති කිරීම වෙනුවෙන් කතාකලා...

"එහෙමනම් ඡන්දයක් ආවොත් අපි මොකද කරන්නේ..?

"ඕනෑම වර්ගයේ මැතිවරණයකට අපි සූදානම්. එතනින් එහා තවත් මොනවද..."

කිසිදු මැතිවරණයක් කල් දැමිය යුතු නැතැයි කියා බැසිල් කිව්වා. මැතිවරණ තියෙන්නෙ ජනතාවගේ කැමැත්ත විමසන්න . එළැඹෙන ඕනෑම මොහොතක. පැමිණෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් පක්ෂය සූදානම්ව සිටිය යුතු බව බැසිල් පෙන්වා දුන්නා.

"ඔය ගොල්ල දැනගන්න. ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී පාලකයෝ ඡන්ද කල් දාලා තියෙනවා. හැම අවස්ථාවෙම ඡන්දය කල් දාපු පක්ෂය කුජීත වෙන්න පැරදුනා. 75 දී සිරිමාවෝ මැතිනිය අවුරුදු දෙකකට චන්දේ කල්දාපු නිසා ශ්‍රීලංකා එක 77දී ආසන 08කට වැටුනා. ජනමතය වලක්වන්න හොඳ නෑ. ඒකට ඉඩ දීම තමයි හොඳ. මං කියන්නේ ලබන මාර්තු වලින් පස්සේ එළැඹෙන ඕනෑම මැතිවරණයකට අපි සූදානම් කියන එක විතරයි.

මේ රැස්වීම පැයකට වැඩි කාලයක් පැවතුනා. බැසිල් හිටියේ ඉතාම සැහැල්ලුවෙන්. ඔහු ඒ සැහැල්ලුවෙන් යුතුවම කතා කළා. පොහොට්ටුව අයෙත් ගොඩ දාන්න තමයි මේ දවස්වල දවාලක් රැයක් නැතුව දුවන්නේ..

දේශපාලන වාර්තාකරු

ලංගම සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට !

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සභාපති කිංස්ලි රණවක ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් ඉවත් විය යුතු බවටප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට අමාත්‍යවරයා මෙම නියෝගය සිදුකර ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක විශේෂ බස් සේවාව ප්‍රවාහන අමාත්‍යංශය සහ රජය දැනුවත් නොකර අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වමින් ය.

ඒ අනුව සිදුකර ඇති ක්‍රියාව සම්බන්ධයෙන් මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් යුතු බවට අමාත්‍යවරයා තීන්දු කර ඇත .

ගොඩහේවාට එරෙහි නඩුවේ තීන්දුවට දින නියමවෙයි !

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් “තාරුණ්‍යයට හෙටක්” සංවිධානයට ලබාදී එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (05) දින නියම කළේය.

පැමිණීල්ලේ නඩුව අවසන් කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශශයට පත් කිරීම සඳහා විනිසුරු අමල් රණරාජා එලෙස දින නියම කිරීම සිදුකළේය.

2013 අගෝස්තු මස 06 වැනිදාත් 18 වැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට මුදා හළ රුපියල් ලක්‍ෂ 50ක මුදලක් එම ගිණුමට බැර නොකොට සිලෝන් ප්‍රීමියර් ස්පොර්ට්ස් (සී.එස්.එන්) ගිණුමට බැර කොට එම රුපියල් ලක්‍ෂ 50ක මුදල සාවද්‍ය පරිහරණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා කොමිෂන් සභාවේ හිටපු සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධක්‍ෂක රොනී ඊබ්‍රාහිම් ය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

සුදු ඩීසල් මිල පහළට !

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10.00 කින් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420.00කි.

අනෙකුත් ඉන්ධන වර්ගවල සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් නැති බවත් සංස්ථාව පවසයි.

මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න - සිරිසේන

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලිකව තමන්ට එරෙහිව නොව රජයට එරෙහිව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූ 109ක් එක්ව පැවරූ නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී සිය නීතිඥවරු මාර්ගයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මේ බව අධිකරණයට දන්වා තිබේ.

මෙම නඩුව ව්‍යවස්ථාපිත කරුණු පදනම් කරගෙන පවරා ඇති බව පෙන්වා පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා ව්‍යවස්ථාපිත කරුණක් විභාග කළ හැක්කේ ශේෂ්ඨාධිකරණය පමණක් බවත්, සිවිල් අධිකරණයකට එම කරුණු විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවත් සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරු එම්.බී.බී.එස් මොරායස් හා මහාධිකරණ විනිසුරු ඩී.එෆ්.එච් ගුණවර්ධන මහත්වරුන් ඉදිරියේ නඩුව විභාගයට ගැනුණු අතර වැඩිදුර කරුණු විමසීම සඳහා නඩුව ලබන 28 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියෝග කළේය.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට....

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 4,610කි.

5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 1,850කි.

2.3Kg සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860ක් වේ.

බැසිල්ගේ ආරාධනෙට විමල්ගෙන් කිස් කන උත්තරයක් !

බැසිල් ලංකාවට ආපු වෙලාවේ ඉඳලා බරටම වැඩ.. අයෙත් පොහොට්ටුව ගොඩ දාගන්න ලු හිටු කියලා දුවනවයි කියන්නේ..

බැසිල් පහුගිය සතියේ ලංකාදීප පත්තරෙන් සාකච්ජාවක් ඉල්ලගෙන එයාගේ මතේ කියල තිබුනා. පක්සෙන් ගියපු කට්ටිය අයෙත් පක්සේට එකතුකර ගන්න එක තමා මගේ වැඩි අවධානයක් යොමුවෙලා තියන්නේ කියල බැසිල් ලංකාදීපෙට කියල තිබුනා. '' විමල්ල අයෙත් පක්සේට ගන්න තමා ඕනෑම කැපකිරීමක් කරන්න සුදානම් කියලත් කියල තිබුනා. බැසිල්ගේ ලංකාදීප සාකච්ජාවේ මුලික ඉලක්කය වෙලා තිබුනේ විමල්ලට එන්න කියන විවෘත ආරාධනේ කරන්න.. පත්තෙරෙනුත් ඒ කතාව තමයි උස්සල දීලා තිබුනේ..

පත්තරේ හරහා විමල්ලට සිග්නල් එක දීලා, පොහොට්ටුවේ සිට කැඩීගිය සියලු දෙනා එකතු කිරීමේ මෙහෙයුමට බැසිල් පහුගිය සතියේ අත තිබ්බේය.

එදා පොහොට්ටුවේ ප්‍රබලයන්ව සිට අද ස්වාධීනව සිටින ජී.එල්.-ඩලස් පිල, විමල් පිල, අනුර යාපා පිල යළි පොහොට්ටුවට එක් කරගන්න , බැසිල් විවිධ පාර්ශ්ව අතේ පණිවුඩ යැවීමට පටන් අරගෙන තිබුනා.

නමුත් ප්‍රශ්නයවෙලා තිබුණේ මේ සියලු පාර්ශ්වයන් බැසිල් ගේ කෙනෙහිලිකන් ඉවසගන්න බැරුව පොහොට්ටුවෙන් අස්වෙලා ගිහින් එක දිගටම බැසිල්ට ඇටක් කරපු පිරිසක් වෙච්ච එක..

ඒ කතා මොනවා වුනත්, විමල් සහ ගම්මන්පිල එක්ක සාකච්ඡා කරන්න බැසිල් ලොක්කා හරිම කැමැත්තකින් ඉන්නවා කියල, මැසෙන්ජර කෙනෙක් අතේ විශේෂ පණිවුඩයක් යවලා තිබුනේ..

ඔය කියන මැසෙන්ජර් විමල්ගෙන් අහලා තිබුණේ පැරැණි අඩුපාඩු හදාගෙන යළිත් පොහොට්ටුව සමග සන්ධානගත වීම සඳහා බැසිල්ගෙන් ආරාධනාවක් කරනවා කියලා. . ඔය ආරාධනේ අහපු ගමන් විමලුයි - ගම්මන්පිලයි සැර උත්තරයක් මේ දූතයාට දීල තියනවා ලු..

69 ලක්ෂයක ජන වරමක් ගත් ගෝඨා වත් විනාශ කරලා,, තුනෙන් දෙකක බහුතර බලයක් ගත්තු ආණ්ඩුවත් විනාශ කරලා, මුදල් ඇමැතිකමත් නැති කරගෙන, මන්ත්‍රීකමත් නැති කරගෙන, අවසානයේදී පක්ෂයත් විනාශ කළ පුද්ගලයන් එක්ක අයෙත් මේ කපේදි සන්ධාන ගහන්නේ නැ කියලා විමල් කියලා.

ඒ ප්‍රතිචරෙන් බැසිල් රිවස් වෙලා නැ .. ඒ විදියට ම ජී.එල්. ඩලස් පිලටත් පණිවුඩේ යවලා. එත් පාර්ශ්වයන්ගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් තාමත් ලැබිලා නෑලු.

දේශපාලන වාර්තාකරු

ක්‍රිකට්වලට දේශපාලන ඇඟිලි ගැසීම් එපා : ICC යෙන් අවවාදයක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දේශපාලනමය වශයෙන් ඇඟිලි ගැසීම් සිදු නොකරන ලෙස දන්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ ලිපියක් නිකුත් කර තිබේ. එහි පිටපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධරයන්ට ලැබී ඇතැයි ද වාර්තා වෙයි.

යම් හෙයකින් එවන් ඇඟිලි ගැසීමක් සිදුකොට අනවශ්‍ය බලපෑම් සිදු කරන්නේ නම් ඒ ගැන පරීක්ෂා කිරීමට විශේෂ නියෝජිතයකු මෙරටට එවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැරසෙන බව දැනගන්නට ඇත.

ඒ අතර මෑතක සිට දේශපාලන ක්ෂේත්‍රයට හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බලවත් පාර්ශ්වයක් විසින් විවිධ හේතු ඉදිරිපත් කරමින් නැවතත් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙයි. එම තොරතුරුද පදනම්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අවවාදාත්මක ලිපිය නිකුත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වසරකට ඩොලර් මිලියන 3 ක පමණ අනුග්‍රාහක දීමනාවක් ලබා දෙයි. තරගාවලි වැඩිපුර පැවැත්වෙන විට මෙම මුදල තවත් ඉහළ යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොකළ යුතු බවට අයිසීසියේ මෙම විශේෂ නිවේදනය ක්‍රිකට් බලධරයන් විසින් ක්‍රීඩා අමාත්‍යංශයටද යොමුකර ඇතැයි දැනගන්නට ඇත.

-deshaya

සජිත්ගේ දූෂණ වංචා ඇතුළත් : විගණන වාර්තා 2ක් සභාගත කරලා !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී එම විගණන වාර්තා සභාගත කර ඇත.

මේ ආකාරයට සභාගත කර තිබෙන්නේ විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදුකර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාය.

එමෙන්ම 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ නිවාස ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ සමරු කලාප සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ ස්තූති කතාව සිදුකරමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සභාගත කර තිබේ.

ශ්‍රීලන්කන් වෙත නව ගුවන් යානා 11 ක් !

කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ පවසයි.

ශ්‍රීලන්කන් ගුවන්සේවයේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

ඉදිරි මාස 3,4ක කාලය තුළදී ගුවන් යානා 3ක් හෝ 4ක් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් වන බවත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් විශ්ලේෂණයක් සිදුකර ගුවන්සේවයට සහ රටට උචිත ආකාරයට ක්‍රියාකරන බවත් ඔහු එහිදී පැවසීය.

Page 160 of 377