තජුඩීන්ගේ මෝටර් රථය පසුපසින් ගිය රථයේ කජ්ජා සිටි බව තහවුරුයි

තජුඩීන්ගේ මෝටර් රථය පසුපසින් ගිය රථයේ කජ්ජා සිටි බව තහවුරුයි

රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13ක් පුරා විමර්ශන සිදු කෙරේ.

කෙසේ වෙතත් තවමත් එම ඝාතනය සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවී නොමැත.

එවන් පසුබිමක තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපසින් ගමන් ගන්නා ජීප් රථයේ මිද්දෙණියේදී ඝාතනය වූ අනුර විදානගමගේ නැමැත්තා සිටි බවට ඔහුගේ බිරිඳ පසුගිය දා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදී තිබුණි.

ඒ ඊට අදාළ සීසීටීවී දර්ශන පෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීමේදීය.

 



ඒ අනුව විමර්ශන නිලධාරීන් මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව අදාළ රූපරාමුවල සිටින පුද්ගලයා කජ්ජා නැමැත්තා බවට තහවුරු වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.




මෙය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.


කජ්ජා ඝාතනය ගැන තවත් තොරතුරු එළියට


කජ්ජා ඝාතනයෙන් පසුව එහි වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව බැකෝ සමන් නැමැත්තා පවසා තිබේ.

ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ඔහුගෙන් රඳවාගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් අතරතුරදීය.

සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් හෙළිකිරීම හේතුවෙන් කජ්ජා ඝාතනය කළ බව සැකකරු එහිදී පවසා ඇත.



තමාට එල්ලවන චෝදනාවලින් බේරීම සඳහා තමා කජ්ජාගේ බිරියගේ බැංකු ගිනුමකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් බැර කළ බවත් බැකෝ සමන් පිළිගෙන තිබේ.




එමගින් කජ්ජාගේ පවුලේ උදවිය සමග සබඳතාවක් ඇති කරගැනීමට තමන් උත්සාහ කළ බවද ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

තමන්ට කජ්ජාගේ දරු දෙදෙනා ඝාතනය කිරීමට කිසිඳු උවමනාවක් නොවූ බවද එහිදී බැකෝ සමන් පවසා ඇති බව වාර්තා වේ.

මේ අතර කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව සම්පත් මනම්පේරිද විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

ඔහු බැකෝ සමන්ගේ උපදෙස් මත ඝාතනයක් සඳහා ගිනිඅවි ලබා දුන්න ද ඒවා ලබාදුන්නේ කජ්ජා ඝාතන කිරීමට බව නොදැන සිටි බව ද සැකකරු පැවසූ බව පොලිසිය සඳහන් කළේය.

සම්පත් මනම්පේරි සිදුකරන ප්‍රකාශ තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසුවේය.

එමෙන්ම කජ්ජා ඝාතන කළ කාල වකවානුව තුළ සම්පත් මනම්පේරිගේ දුරකතන දත්ත වාර්තාවක් ද ලබාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.



කෙසේ වෙතත් කජ්ජා ඝාතන කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් සිදුව ඇති බවට අනාවරණ වී නොමැති බව වාර්තා වේ.




(මුලාශ්‍රය - aruna)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න