විශේෂාංග

කණ්නාඩියෙන් පස්ස බලනකොට පේන්නේ අනාගතය..!
ඉතිහාසය ඇතුලේ සාර්ථක අවසන් සංග්‍රාමයක් වෙනුවෙන් සේනා සම්පාදනය කරලා ඒ වෙනුවෙන් මාර වෙහෙසක් වෙන්නේ වළගම්බා. ඒක එක්තරා ගරිල්ලා අත්දැකීමක් අද දවසේ අර්ථයෙන් ගත්තම. ඒ මහන්සිය වගේම වළගම්බා ආපසු අනුරාධපුරයට ඇවිල්ල ඒ සංග්‍රාමය අවසානයක් දක්වා සාර්ථකව අරන් ගියා.
ඒ වගේම තමයි වළගම්බා හැංගිලා හිටියේ වැඩිපුරම ගල් ගුහාවල. ඒ කියන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරය ආසන්නයේ සබරගමු පළාතේ බොහොමයක් ගල් ගුහාවල. ඒ ගල්ගුහා වල කුඩා කුඩා පන්සල් දකින්නත් පුළුවන් (cave temples). ඒවා ඔක්කොම කෙරෙව්වෙත් වළගම්බා. ඒ පන්සල් අද හොඳ තෝතැන්නක් ඓතිහාසික 'ගුහා සංචරණය' ලංකාවේ ප්‍රවර්ධනය කරන්න (cave tourism).
ගල් ගුහා මතක් උනේ ඉතිහාසය අද දවසේ ඉඳන් පසු අර්ථකතනය කරන්න ගත්තම විමුක්තිගේ ''අහසින් වැටෙයි'' ඊයේ තරංගනී ශාලාවේ ආයෙත් බලල.
අහසින් වැටුණු කතා නායකයා මේ මහා ඩිස්තොපික ඝාතන සෙවනැල්ලෙන් බේරෙන්න කරන්නේ ගහක තියන ගුලකට රිංගන එක. ඒකට රිංගල ජීවිතේ බේරගන්න හදන එක. පස්සේ පුළුවන් 'මාමල' මරන්න. දැන් ඕනි පණ බේරාගන්න. මේ ගුහාව (ගුල) විමුක්ති ගෙනෙන්නේත් ඉතිහාසයේ මොකක්දෝ කුමාරයෙක්ගේ කතාවක් පදනම් කරගෙන.
ඒ කියන්නේ කණ්නාඩියෙන් පස්ස බලනකොට (A) ඇත්තටම පේන්නේ අතීතය නෙවෙයි (B) වර්තමානය (Not B). වෙන විදියකට කිව්වොත් අතීතය නොවන දෙය. මෙන්න මේක තමයි විමුක්ති මේ ෆිල්ම් එකෙන් ගේන්න හදන ප්‍රවාදය. A කියන ස්ථානයේ ඉඳල පසු ආවර්තිතව B දෙස බලනකොට පේන්නේ B නෙවෙයි. වෙනත් දෙයක්. C වෙන්නත් පුළුවන්.
මේ අනුව අනාගතයේ අර්ථයෙන් අද දවසේ හොයාගන්න ගුහාව වැදගත්. බයේ රිංගලා ඉන්න නෙවෙයි. අවස්ථාව එන කල් පසුබහින්න. වළගම්බා කළා වගේ.
මේ අනුව කතා නායකයා 'අහසින් වැටිලා' ටවුමේ අලකලංචි මැද්දෙන් යන්නේ ගමට. ස්වභාවධර්මය දෙසට. ස්වභාව ධර්මයේ තිබෙන ගහක තමයි අවසන් සැඟවුම් ස්ථානය තෝරාගන්නේ. හරියට මවගේ ඇකය වගේ. නැත්නම් ගර්භාෂය වගේ (womb). අතරමඟදී වුණත් උදව්කරන්නේ වයසක අම්මා කෙනෙක්. දුටුගැමුණුට කළා වගේ.
නමුත් විමුක්ති අර ජැක්සන් ඇන්තනී ගෙනාපු ඉතිහාසයෙන් සාර්ථකව වෙනස් වෙනවා. ඒක වැදගත්.
මේක ලංකාවේ අරගල ඉතිහාසය එක්ක සැසඳෙනවා. ජවිපෙ වගේම විමුක්ති කොටි කියන පාර්ශව දෙකම තෝරාගත්තේ කැලේ.
නගරය තෝරා ගත්ත ගෝල්ෆේස් අරගල මොඩලයට අල්ලාගෙන ඉන්න පුළුවන් උණේ මාස තුනක් විතරයි. වන්නි කැලේ කොටි අවුරුදු තිහක් අල්ලාගෙන හිටිය. ජවිපෙ අවුරුදු ගණනක් අල්ලාගෙන හිටිය.
ඒ නිසා මම අවිඥාණිකව මෑතදී ලිව්වා ආයේ අරගල කරන්න කොළඹ එන්න එපා කියල. විමුක්ති කියන්නෙත් ඊට ටිකක් සමාන අදහසක්. මේ ෆිල්ම් එක 2009 කරනකොට කොටි සංවිධානය අවසන් වෙලත් නැහැ. ගෝල්ෆේස් කියල එකක් දැකල තිබ්බෙත් නැහැ. බංකොලොත් ලංකාවක් කියල එකක් දැනගෙන හිටියෙත් නැහැ.
ඒ නිසා විමුක්තිගේ ෆිල්ම් එක ස්ථානගත වෙන්නේ කාලයට නිරපේක්ෂක තැනක. සාපේක්ෂව නිරපේක්ෂක තැනක. එහෙම ෆිල්ම් මේ කාලයේ කෙරෙනවා අඩුයි. ඒ ෆිල්ම් එක තනිකර රූපකයක්. ගිහිල්ල බලන්න. ❤
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කළ යුතු ය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. එය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි. මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර
1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7 ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛන මීට වසර 13 කට පෙර මෙරට වැසි වනාන්තරවල තත්ත්වය වන අතර අද වන විට තේ වැනි වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර තිබේ.
මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් වැඩි ම වර්ශාපතනයක් ලැබෙන තෙත් කලාපයේ ජලය රඳවා ගන්නා ජල පෝෂක බිම් අහිමි වීම හා වැසි වනාන්තර තුළ ජීවත්වන සීමිත ව්‍යාප්තියක් ඇති ඉතා ම දුර්ලභ ජීවී විශේෂවල පැවැත්මට දරුණු බලපෑම් එල්ල වීම සිදු ව තිබේ.
නමුත් ලංකාවේ ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වන වැසි වනාන්තර තුළ මෙරටට ආවේණික ජීවී විශේෂ අතුරෙන් 90% ක් පමණ ජීවත් වේ. ඊට අමතර ව වඳවීමේ තර්ජනයට දරුණු ලෙස ලක් වී ඇති ජීවී විශේෂ අතුරෙන් 99% ක් ම වාර්තා වන්නේ මෙම වැසි වනාන්තර තුළ ය. ලෝකයේ නිවර්තන වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර බිලියන 1.84 කි. එය පෘථිවියේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 12% ක් පමණ වේ. නැතහොත් පෘථිවියේ සමස්ත ගොඩබිම් ප්‍රදේශවලින් 3.6% කි. ලෝකයේ වැසි වනාන්තර ව්‍යාප්ත ව ඇත්තේ දකුණු ඇමරිකාව, කැරිබියන් දූපත්, මධ්‍යම අප්‍රිකාව, මැඩගස්කරය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, නැගෙනහිර හා
අග්නිදිග ආසියාව, නිව් ගිනියාව හා පැසිෆික් දූපත්වල පමණි. මෙම වනාන්තර තුළ භෞමික ජීවීන්ගෙන් 50% ක් ජීවත් වේ. ලෝකයේ හඳුනාගෙන ඇති ජීවීන්ගෙන් 75% ක් පමණ වැසි වනාන්තරවලට ආවේණික වේ. ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති සපුෂ්ප ශාක අතුරෙන් 2/3 ක් වැසි වනාන්තරවලින් වාර්තා වේ. ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති සත්ත්ව විශේෂ අතුරෙන් 50% ක් ජීවත් වන්නේ වැසි වනාන්තර තුළ ය.
ස්වාභාවික ඖෂධවලින් 1/4 ක් සොයා ගෙන ඇත්තේ ද මෙම වනාන්තරවලිනි. මෙම වනාන්තරවල අවම වශයෙන් කාබන් මෙටි්රක්ටොන් බිලියන 250 ක් පමණ ගබඩා කර තබනු ඇතැයි වාර්තා වේ. මෙවන් වූ සුවිශේෂී වනාන්තර දැව ලබා ගැනීම හා කටුපොල් වැනි වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා සීග්‍රයෙන් එළි පෙහෙළි කරනු ලැබේ. මේ නිසා සෑම පැයකට ම ලෝකයේ වැසි වනාන්තර අක්කර 6000 ක් විනාශ කරන බව හඳුනාගෙන තිබේ. ලංකාවේ ද තේ වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා වර්තමානය වන විට වැඩි ම වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කිරීම සිදු වී ඇත. යටත්විජිත යුගයේ වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 84 ක් විය. වර්ෂ 1900 දී එය සියයට 70 දක්වා පහළ වැටී තිබුණි. ඊට හේතුව කෝපි හා තේ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා ශීඝ්‍රයෙන් තෙත් කලාපයේ වනාන්තර එළි කිරීම ය.
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වනාන්තර පිළිබඳ ව පුළුල් සමීක්ෂණයක් සිදු කෙරුනේ 1956 - 1961 වසර වල ය. එහි දී වන ආවරණය සියයට 44.2 ක්නැ තහොත් හෙක්ටයාර 28,98,842 ක් බව හඳුනා ගැනින. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 - 1985 වසරවල ලෝක හා කෘෂිකර්ම සංවිධානය මගින් නිදහසින් පසුව සිදු කරන ලද දෙවන වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය සියයට 37.5 ක් නැතහොත් හෙක්ටයාර 24,58,250 ක් බව අනාවරණය විය. ලෙග් හා ජුවෙල් විසින් සකස් කරන ලද සිතියම් අනුසාරයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තා වලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය සියයට 31.2 ක් නැතහොත් හෙක්ටයාර 20,46,599 ක් වන බව හඳුනා ගැනින. එම වාර්තාවලට අනුව තෙත් කලාපයේ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 2,13,495 ක් වන අතර එය සියයට 3.23 ක ප්රතිශතයකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තා වලට අනුව වන ආවරණය සියයට 1.6 ක් නැතහොත් හෙක්ටයාර 19,42,219 ක් බව සඳහන් වේ. 2010 වසරේ දී අවසන් වරට සිදු කළ වන ආවරණය පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන වාර්තා වලට අනුව ලංකාවේ වන ආවරණය සියයට 29.7 ක් නැතහොත් හෙක්ටයාර 19,51,472 ක් බව සඳහන් වේ. මෙම එක් එක් අධ්‍යයන වල දී වනාන්තර හා වනාන්තර දර්ශ පිළිබඳ ව එක් නිර්ණායකයක් මත පදනම් ව අධ්‍යයන සිදු කර නොමැති බැවින් වන වැස්මේ ප්‍රතිශතය පිළිබඳ ව නිවැරදි සංසන්දනාත්මක අවබෝධයක් ලබා ගත නොහැකි ය. 1960 සිට 2010 වසර දක්වා ගෙවුණු වසර පනහ තුළ දී ලංකාවේ වනාන්තර 9,47,370 ක්
එළිපෙහෙලි කර තිබේ. වර්ෂ 1992 සිට 2010 දක්වා ගත වූ වසර 18 ක කාලය තුළ තෙත් වනාන්තර හෙක්ටයාර 16,922 ක් ඉවත් කර තිබේ. මේ වසර වන විට එම අගය තවත් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත. මේ සඳහා ප්‍රධාන හේතු සාධක ය තේ වගා බිම් ඇති කිරීම ය. මෙරට දේශීය නොවන වාණිජ වගාවන් ගේ ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බි්රතාන්ය යටත්විජිත යුගයේ ය. පළමු ව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. නමුත් කෝපි පළමු ව වගා කරන්නේ බි්රතාන්යයන් නොව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක්රමානුකූල ව වගා කිරීම අත්හදා බලා ඇති අතර 1833 දී බි්රතාන්යයන් විසින්
කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ කොමිෂම ගෙන ඒමෙන් පසුව මහ පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙම වගාව ස්ථාපිත කෙරින. ඒ සඳහා කඳුකරයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර ඇති අතර අලි - ඇතුන් ජීවත් වූ තෙත් කඳුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර එම සතුන් තෙත් කලාපයෙන් වඳ කර කෝපි වගාව ස්ථාපිත කර තිබේ. 1860 වනවිට ලංකාවේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක් වූ අතර 1870 වනවිට මෙරට කෝපි වගාව අක්කර 275,000 ක් දක්වා පැතිර තිබී ඇත. ඒ අතර තුර කෝපි වගාවට දිලීර රෝගයක් පැතිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් මෙම වගා බිම් විනාශ වීම ආරම්භ විය.
මේ අතරතුර 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරින. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර, උප කඳුකර හා පහතරට තෙත් කලාපීය වනාන්තර විශාල ප්‍රතිශතයක් එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩ ව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේතුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.
වැසි වනාන්තර එළි කරමින් ඇති කරන තේ වගා බිම් හරිත පැහැ කාන්තාර (ඨරුැබ ෘැිැරඑ) වැනි ය. එහි ජීවී විවිධත්වය ඉතා ම පහළ අගයක පවතී. තේ වගා බිම්වලට භාවිත කරන අධික කෘෂි රසායනික හේතුවෙන් හා ශාක ස්ථර නොමැති වීමෙන් මෙම වගා බිම් ජීවී විවිධත්වයෙන් අඩු කාන්තාර තත්ත්වයට පරිවර්තනය වේ. මේ නිසා හරිත පැහැයෙන් යුත් තේ වගා බිම් හරිත කාන්තාර ලෙස හැදින්විය හැකි ය. නිසා වනාන්තර පද්ධති ආශ්රිත ව තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හුදෙකලා වූ වනාන්තර කුට්ටි ඇති වන අතර එම වනාන්තර කුට්ටි අතර තේ වගා බිම් තුළින් ජීවීන් ගමන් නොකරයි. මේ නිසා ජීවී ගහනයන් වනාන්තර කුට්ටි තුළ හුදෙකලා කිරීමට ද තේ වගා බිම් හේතු වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් ම දායක වන්නේ වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට අයත් විශාල තේ වගා බිම් ය. සුළු පරිමාණ තේ වගා බිම් පවත්වාගෙන යන ග්‍රාමීය ජනතාව බහු බෝග වගා බිමක් ලෙස තේ වගා බිම් පවත්වා ගෙන යනු ලැබේ. ග්‍රාමීය ජනතාව ගේ තේ වගා බිම් තුළ හා ඒ වටා බොහෝ ශාක විශේෂ වගා කරනු ලැබේ. කුරුදු, කෝපි, ගම්මිරිස්, එනසාල්, කරාබුනැටි, පුවක්, පොල්, වල්ලපට්ටා හෙවත් අගාව්රඩ් වැනි භෝගවලට අමතර ව කොස්, දෙල්, කරපිංච, ගොරකා, කටුඅනෝදා, කෙසෙල්, දූරියන් වැනි ශාක විශේෂ බොහොමයක් වගා කෙරේ.
ඊට හේතු ව ග්‍රාමීය ජනතාව ගේ කුඩා වගා බිමකින් උපරිම ඵලදායීතාවය ලබා ගැනීමට හා විවිධ ආදායම් මාර්ග විවෘත කර ගැනීමට මෙන් ම ආහාර ස්වෛරීභාවය ඇති කර ගැනීම සඳහා ය. නමුත් තේ වගා බිම් පවත්වා ගෙන යන වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙවැනි වගා බිම් පවත්වා ගෙන යාමට අවශ්‍ය නැත. එපමණක් නොව තේ පර්යේෂණායතනය නිර්දේශ කරන්නේ ද ඒක බෝග වගාවක් ලෙස තේ වගා බිම් ඇති කිරීම ය. මේ නිසා තේ වගා බිම් පාරිසරික ගොවිතැනේ සංකල්ප හා කෘෂි වන වගාවේ සංකල්ප මත ව ගොඩනැගීම තුළින් භූමියේ ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් ජීවී පද්ධතියක් බවට
පත් කළ හැකි ය. එවිට තේ වගා බිම්වලින් ආදායම් උත්පාදන මාර්ග බොහොමයක් විවෘත වීම, ආහාර අවශ්‍යතාව සැපිරීම, පාංශු ඛාදනය අවම වීම, බාහිර යෙදවුම් සඳහා යන පිරිවැය අවම වීම තුළින් වැඩි ලාබයක් ලබා ගත හැකි වීම, ජල සුරක්ෂිතතාව ඇති වීම, වනාන්තර කුට්ටි ජාල ගත වීම තුළින් වනාන්තර පද්ධති ඇති වීම, කාලගුණික හා දේශගුණික විපර්යාසවලින් ඇති වන බලපෑම් සහ ආපදා තත්ත්වයන් අවම වීම වැනි ප්රතිලාභ රැසක් ලබා ගත හැකි ය.
එපමණක් නොව හරිත කාන්තාර තත්ත්වයේ පැවති තේ වගා බිම් ස්වභාවීකරණයට ලක් වීම තුළින් බොහෝ ජීවීන් ගේ පැවැත්ම තහවුරු වීම ද සිදු වනු ඇත. මේ සියලූ ම ප්රතිලාභ තුළින් එක ම වගා බිමක් තුළ විවිධ ආදායම් උත්පාදන මාර්ග ගොවීන්ට විවර වීම හේතුවෙන් තවදුරටත් වනාන්තර එළි කරමින් සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීම නතර කළ හැකි ය. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට බලපෑම් කළ යුතු ය. ඒ තුළින් තේ වගා බිම්වල වහල් කම්කරු සේවය වෙනුවට සුළු පරිමාණ නිෂ්පාදකයෙක් බිහි කළ යුතු ය.
ලෝකයේ වැසි වනාන්තරවල ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ වනාන්තර ව්‍යාප්තිය
වැසි වනාන්තර විනාශකරමින් තේ වගා බිම් ව්‍යාපිත කරන ආකාරය
සජීව චාමිකර

ඉන්දියාව භාරත් වීම...
ඉන්දියාව ඒ රටේ නම වෙනස් කරන්න යනවා කියල කසුකුසුවක් යනවා. ඒ ගැන කතාව ඇවිල්ල තියෙන්නේ ඉන්දීය ජනාධිපති කාර්යාලෙන් G20 සමුළුවට ගිය ආරාධනා පත්‍රයකින්. ඒ වගේම අගමැති කාර්යාලේ අළුත් ලේඛනවලත් මේ වෙනස දකින්න පුළුවන් ඊයේ පෙරේදා ඉඳල.
අලුත් නම (ඇත්තටම මේක අලුත් නැහැ) ඇවිල්ල භාරත් (Bharath). මේ නමත් ඉන්දියා, හින්දුස්ථාන් කියන නම් වගේම සියවස් ගණනක් මාරුවෙන් මාරුවට පාවිච්චි වෙලා තියනවා. හැබැයි ඉන්දියා කියන නම ග්‍රීක ව්‍යුත්පත්තියක් සහිතව ඉන්දු නදිය එක්ක පවතින මහා නිම්න භූගෝලීය කලාපයම (Indus basin) ආවරණය කරන්නක්.
මේකේ යටත් විජිත පංගුව තමයි ඉන්දීය නිදහසට ඔන්න මෙන්න තියල ජවහල් ලාල් නේරු විසින් මවුන්ට්බැටන් සාමිවරයාට යෝජනා කරන නම ''ඉන්දියා'' වීම. ඒක මවුන්ට්බැටන් පිළිගත්තා. එයාලටත් හුරු නම. ග්‍රීක සම්භවයකුත් තියන නම. ලංකාවේ සිලෝන් වගේ එයාල ඒ රටට ඉන්දියා කියල නමක් දාල ගියා. උච්චාරණයට පහසු සහ දැන් ලෝකේ පුරා පාවිච්චි වෙන නමක්.
අපි නම් සිලෝන් ශ්‍රී ලංකා කරගත්ත. ඉන්දියා නම ඉන්දියාව ඒ විදියටම තියා ගත්ත.
මීට පස්සේ ඉන්දියන් ක්‍රිකට් වෙනුවට භාරත් ක්‍රිකට්, එයා ඉන්දියා වෙනුවට භාරත් එයා වගේ නම් එන්න පටන් ගනියි.
මේකේ නිර්යටත්විජිතකරණ (decolonizing element) කෑල්ල තමයි මවුන්ට්බැටන් - නේරු සංකලනයෙන් දාපු නම වෙනුවට මහාභාරත් වගේ එකක් එක්ක එකට නැගල යන භාරත් වගේ රෝමෑන්තික නමක් වෙත ආපසු ගමන් කිරීම. ඒ කියන්නේ 'ජරා' යටත්විජිත කාලෙට ඉස්සර තිබ්බ ශුද්ධ ඉන්දියානු නමක් වෙත ආපසු ගමනය.
මෝදිට එරෙහිව පොදු විපක්ෂය ප්‍රභල වෙමින් තියන මේ වගේ වෙලාවක රටේ නම වගේ ඉතාම සංවේදී දෙයක් රෝමෑන්තිකකරණය කිරීමේ ජාතිකත්ව වාසිය ගැන ආණ්ඩු පක්ෂය සිතමින් සිටිනවා වෙන්න පුළුවන්.
අනික තමයි ඉන්දීය කොංග්‍රසය ඇතුළු පොදු විපක්ෂය සංවිධානය වෙලා ඉන්නේ INDIA කියන නමින්. ඒ නම එන්නේ Indian National Development Inclusive Alliance කියන පොදු සන්ධානයේ මුල් අකුරුවලින්.
හුඟක් ඉන්දියානුවෝ නම් කියන්නේ නම නෙවෙයි දැන් ඕනි මේ රටට වැඩ කියල.
කොහොමත් ඉන්දියානු ජාතිකවාදය රෝමෑන්තිකකරණය කරලා ඒකෙන් දේශපාලනය කරන එක අලුත් දෙයක් නම් නෙවෙයි ඉන්දියාවට. මේ වැඩේ ඇතුලේ ඉන්දු නිම්නය පිරෙන්න මහා ලේ ගංගාවක් ගලා ගියේ නැත්නම් ඇති. ඉන්දියාව ඉන්දියාව වෙන්න ගිහිල්ල වෙච්ච විනාසේ වගේම එකක් ආයේ නොවුනොත් ඒක ලොකු දෙයක්.
මේ කලාපේ ගොඩක් වැඩකරන්නේ ඇත්ත නෙවෙයි. ඇත්ත වගේ තියන ජිමික්.
ඒ ජිමික් වල සමකාලීන විනාශය මෙතෙකක් කියල ගණන් හදන්න බැරි තරම්.
ඒ නිසා ඉන්දියාව...පරිස්සමින්.
Image@ India-Pakistan Partition
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

ලෝකය ජයගන්න සුද්දෝධන රජ්ජුරුවන්ගේ දරුවා කවදාවත් බාධාවක් වෙන එකක් නැහැ..!
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් Women in Aviation Multimedia Engagement Contest වෙනුවෙන් ලාංකිකයෙක් ඉදිරිපත්කල තත්පර 45 පමණ වීඩියෝවක් එම තරඟයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. රූප ශාස්ත්රයේ තේමා සොයායාම අතින් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් ලෝකයේ අනෙක් ඕනෑම රටක් එක්ක කරට කර ඉන්නවා කියන්න මේක උදාහරණයක්.
අනෙක ස්ත්‍රිය සහ ඇගේ අනාගතය සම්බන්දයෙන් ධනාත්මකව සහ වෘත්තීයමය ලෙස බලන්න පුළුවන් පිරිමි නිර්මාණකරුවන් ඉන්නවා කියන එක අනිත් අතින් ඔප්පු වෙනවා.
එවන් වීඩියෝවක් තුල කාලය කළමණාකරණය කරමින් තමන්ට ඕනි පණිවිඩය එම කාලය ඇතුලේ දෙන්න එම නිර්මාණකරුට හැකියාව ලැබී තියනවා. ඒකත් ප්ලස් පොයින්ට් එකක්.
ජිවිතයේ යාත්‍රාව (journey of life) කියන එක කුඩා කාලයේ ඉඳල යම් තරුණ වයසක් දක්වා මේකේ පෙන්නනවා. සිහිනයක් ඒ ඇතුළට ගේනවා. ජයග්‍රහණයක් ඒ ඇතුලේ තියනවා. හැමෝම දොස්තරලා වෙන්න ඕනි නැහැ කියන එක සහ වෘත්තීය අධ්‍යාපනය කියන එක කොච්චර වැදගත් ද කියන එකත් මේ පොඩි කාලය ඇතුලේ පෙන්නනවා.
දොස්තර කෙනෙක් වෙන්න සිහින නොදැක්කත් තමන්ගේ දරුවාගේ ඕනෑම සුබ සිහිනයක් එක්ක හිටගන්න අම්මාවරු සහ පියවරු මේ බිමේ ඉන්නවා කියන එක තවත් පණිවුඩයක්.
අපේ කුඩා කාලේ උනත් අහස දිහා බලමින් ගුවන් යානා ගැන පරිකල්පනය කරපු දේවල් යම් තේමාවක් ඇතුලේ ලෝකයේ නිර්මාණයක් වෙනුවෙන් නැවත ප්රතිනිර්මානය මේ නිර්මාණකරු ලස්සනට කරලා තියනවා. මේ ඒ වෙනුවෙන් ක්‍රෙඩිට් එකක්.
ඒ පරිකල්පනය ස්ත්‍රියක් පැත්තෙන්, ඇගේ සිහිනය පැත්තෙන්, පිරිමි ඇසක් තුල නැවත ලෝකයට ප්‍රතිනිර්මාණය කරන එක ඇත්තටම සතුටුදායක වැඩක්. අපි ආසියාවේ රටක් හැටියට දියුණු ලෝකයට අපේ හැකියාව පෙන්නන්න මැලි වෙන්නේ නැහැ කියන එක සහ නිර්මාණශීලි ශ්‍රමය යන්න තවත් ස්ත්‍රී පුරුෂ බෙදුමක් නෙවෙයි කියන එකත් වැදගත්.
ඒ ඔක්කොමට වඩා ලෝකය වෙනුවෙන් නිර්මාණ කරන්න, ලෝකය හා එකතු වෙන්න, සහ ලෝකය ජයගන්න සුද්දෝධන රජ්ජුරුවන්ගේ දරුවා කවදාවත් බාධාවක් උනේ නැහැ කියන එකත් මේකේ තියනවා.
ඕනිනම් විශ්වීය ආදරය වෙනුවෙන් බුදුන් පාමුළ මලක් පහනකුත් තියල යන්න ඔයාගේ හිතට තවත් ධෛර්යයක් එයි. තිබ්බේ නැහැ කියල කවදාවත් ඒ කරුණාවේ අඩුවක් වෙන එකකුත් නැහැ.
කොහොම උනත් බුදුන්ට බැන බැන ඉන්නේ නැතුව අපේ වැඩේ අපි කරමු.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

චැනල් 4 වීඩියෝව මට වැදගත් වෙන්නේ ඇයි?
කම්පනයකට අමතරව චැනල් 4 වීඩියෝව ගැන මට හිතෙන දේ මෙච්චරයි. වෙනත් විදියකට කිව්වොත් ඒක මට වැදගත් වෙන්නේ ඇයි?
පාස්කු ඉරිදා මියගිය සහ මියනොගිය (එහෙත් සංකේතීයව මියගිය) මිනිස්සු දහස් ගණනක්ගේ ලේ කඳුළුවලට මේ පොළොවේ සාධාරණයක් ඉටු නොවෙන්න තියන ඉඩකඩ බොහොමයි. ඒක බ්‍රිතාන්‍ය භූමියේ පවා නොවෙන්න තියන ඉඩකඩ වැඩියි. සමහර විට මේ පෘතුවි තලයේ කොහේවත් එහෙම නොවී, ඇත්ත නොදැක අපිට මියයන්න සිදුවේවි. ඒ වගේම ලසන්ත, ප්‍රගීත්, නිමලරාජන්, සිවරාම් අපේ මතකය ඇතුලේ මමිකරණය වේවි. ඝනීභවනය වේවි.
චැනල් 4 වීඩියෝවේ එක තැනක හන්සීර් මවුලානා කියනවා ''මට මේ අඳුරු සත්‍යය දරාගෙන තවදුරටත් ඉන්න බැරි නිසයි එහෙම කිව්වේ'' කියල. සමහර විට ඒකත් ඇත්ත නොවෙන්න පුළුවන්. රංගනයක් වෙන්නත් පුළුවන්.
ඒක රංගනයක් උණත් නැතත් ඒ වාක්‍යයෙන් විවර කරන ඉඩ පරතරය (gap) ඇතුලේ කියවෙන දේ තමයි එහෙම අඳුරු බරක් ඒකට සම්බන්ද වෙච්ච හැමෝටම ඇති කියන එක. එහෙම තියාගෙන මියයන එක ලේසි නැහැ. මොන ආගමකට අයිති උණත්. අනාගමික උණත්.
පාස්කුවෙන් මියගිය ඥාතීන් ඉන්න හැමෝටමත්, ප්‍රගීත්, ලසන්ත, සිවරාම් ඇතුළු හැමෝගෙම කවුරු හරි ජීවත්වෙලා ඉන්නවානම් එයාලටත් මේ මරණ ගැන යම් සත්‍යයක් දැනගන්න ඕනි ඇති. මොකද සිද්ද වුණේ මේකයි කියල හිත හදාගෙන යම් සැනසීමකින් මේ ඉතුරුකාලේ ජීවත්වෙන්න හරි, හුස්ම ටික පිටකරන්න හරි ඒ ''දැනුම'' අවශ්‍යයි. නොවිසඳුනු මරණයක් තියන හැමෝගෙම ජීවතුන් අතර ඉන්න අයට ඒ ක්ෂිතියෙන් එළියට යන්න පිටවීමේ පොයින්ට් එකක් ඕනි (exit point). ඒක යම් සුවපත් වීමක්.
හැමෝම චැනල් 4 දිහා බලන් හිටියේ ඒ අර්ථයෙන් කියල මට හිතෙනවා. විශේෂයෙන් කාදිනල්තුමා වගේ කෙනෙක්ට එයාගේ භක්තිකයින්ගේ අර්ථයෙන් මේක කොච්චර දැනෙනවා ඇත්ද? එයාටත් බැහැ මේකෙන් එළියට යන්න.
චැනල් 4 වාර්තා වැඩසටහන මට වැදගත් උණේ ඒ අර්ථයෙන්. චැනල් 4 එකට මේ මරණ වැදගත් වෙන්නේ මොන අර්ථයෙන්ද මම දන්නේ නැහැ.
අනෙකාට දඬුවම් කරන එකට වඩා වැදගත් දෙයක් තමයි තමන් තමන්ගේ පැවැත්මේ ''පිටවුම් ස්ථානයක්'' සලකුණු කරන එක. හෝ එහෙම කරන්න බැරුව අරගල කරමින් ඉන්න කෙනෙක්ට උදව්කරන එක. මේ වීඩියෝවෙන් ඒ සඳහා ආලෝකයක් ලැබුණ ද කියන එක ඉදිරියේ සිද්ද වෙන දේවල් විසින් තීරණය කරයි.
මේක සෙල්ලමක් නෙවෙයි.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්..!
තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ ජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා.
කතාබහේ වාසිය ජනාධිපතිවරයා ගැනීමේ ප්‍රධාන හේතුව පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ කරුණුමය නොසූදානම (factual unpreparedness). ඒ කියන්නේ කරුණු හොඳට හදාරලා නොපැමිණීම. අනික කරුණු එක්කම එන තර්කනයේ නොසූදානම (lack of articulation). පොදුවේ කිව්වොත් මොන භාෂාවකින් හරි දක්ෂ ලෙස කරුණු ගලපමින් කරුණු සහ භාෂාව සංස්ලේෂණය (synthesize) කරමින් ප්‍රතිඋත්තර දෙන්න බැරිකම. ඒ කුසලතා (skills) නැති නිසා හෝ මෙතැනදී ඒවා පාවිච්චි කරන්න බැරිවීම නිසා පුරාවිද්‍යා අධ්යක්ෂ තමන්ගේ ඊගෝ (ego) එක රිදවා ගන්නවා.
තවත් විශේෂ දෙයක් තමයි රනිල් භාෂා දෙක (සිංහල සහ ඉංග්‍රීසි) අතර දක්ෂ ලෙස මාරුවෙමින් (code switching and code mixing) තමන්ගේ සාකච්චාව සිංහල සහ දෙමළ ජනකොට්ටාශ දෙක අතරේ පාලමක් ලෙස භාවිත කිරීම. මේ දක්ෂතාව සමකාලීන කිසිදු දේශපාලන නායකයෙකුට නැහැ.
අනික තමයි ඔය මානවම්ම කතාවේ ඉඳල මම කියපු එක. ඒ තමයි රනිල් දක්ෂයි ඉතිහාසය එක්ක භාෂා සෙල්ලම් කරන්න. අනික එයා ලංකාවේ ඉතිහාසය කියවන්නේ ඉංග්‍රීසියෙන්. අපිට දැනෙනවට වැඩිය ඒක එයාට දැනෙන්නේ එයා රාජ්‍ය පාලනය ඇතුලේ ඉඳල ආපස්සට ඉතිහාසය කියවන නිසා (retroactive).
දැන් අපිට මානවම්ම රජ්ජුරුවෝ එතරම් දැනෙන්නේ නැති උනාට ඒ දවස්වල රට පට්ට අර්බුදයක තියන වෙලාවේ එයා බලය නැතුව ඉඳගෙන මානවම්ම කියවද්දී දැනෙන විදිය ගැන හිතන්න.
මානවම්ම කියන්නේ අරාජක අනුරාධපුරය එක්සේසත් කරලා ආපහු සෞභාග්‍යය ගෙනාපු රජ්ජුරුවෝ කියල තමයි මහාවංසය කියන්නේ. දැන් ඒක අපි වගේ පොරවල්වලට එතරම් දැනෙන්නේ නැති උනාට රටේ රාජ්‍ය පාලනය ඇතුලේ හිටපු, රාජ්‍ය පාලනය වෙනුවෙන් වැඩකරන පවුලක කෙනෙක්ට ඒක දැනෙන්නේ වෙනත් විදියකට. ඔතන තමයි ඔය අතිමූලික වෙනස එන්නේ.
''හරි...මේ අරාජක වෙලාවේ මටත් පුළුවන් නේද මානවම්ම වගේ වෙන්න....'' ඉතින් එහෙම සිතුවිල්ලක් එක්ක ඉතිහාසය කියවන එකෙක් සහ කොහේහරි ගමකින් විශ්ව විද්‍යාලට ඇවිල්ල තවත් ඔය තියන විෂයන් අතරින් පුරාවිද්‍යාව ඉගෙනගෙන ඒකෙන් මහාචාර්යවරයෙක් වෙච්ච එකෙක්ගේ කියවීමයි කියන්නේ පැහැදිළි දෙකක්. පළවෙනි එක තමන්ට සමීප ඓන්ද්‍රීය කියවීමක්. දෙවැන්න ජීවත්වෙන්න ඕනි නිසා වෘත්තියක් ඇතුලේ කියවන කියවීමක්. ඒ අස්සේ දේශපාලන පත්වීම්.
ගිරිහඬු සෑය, තිරියාය, තපස්සු භල්ලුක, ලයිට් හවුස්, මානවම්ම, මහා විහාරය, ජේතවනාරාමය, තන්නි මුරිප්පු, හොරොව්පතාන, මන්නාරම ඔය ඔක්කොම රනිල් කියවන්නේ සහ උච්චාරණය කරන්නේ එයාගේ රාජ්‍ය පාලන ෆැන්ටසි එකක් එක්ක. අපි ඒවා කියවන්නේ දුරස්ථ දැනුම් කරුණු විදියට.
ඒක නිසා තමයි රනිල් ඒ කරුණු සිතියම්ගත කරන විදියට (තිරියායේ සිට හොරව්පතාන සහ අනුරාධපුර සහ මල්වතු ඔය සහ එතන ඉඳල අරාබි මුහුදට) අපිට ඒ ගැන කතාකරන්න බැරි. දෙමළ මන්ත්‍රීවරුත් වැඩිය සද්ද නැහැ. සුළුජන චන්දත් ඕනි මේ වෙලාවේ. ඒවා අර ෆැන්ටසි එකේ අමතර කරුණු.
ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්. ඔච්චරයි වෙනස...
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි
Image@Paula Bronstein/Getty Images

අපරාදේ ගන්ටාර මාක්...
හැත්තෑ ගනන් වල ඒ කියන්නේ සිරිමගේ කාලේ තිබ්බ ''ගන්ටාර මාක්'' සරම් ගැන ලොකු දේශපාලනය විවේචනයක් තිබ්බ. ගන්ටාර මාක් කියන්නේ සරම අස්සෙන් ශරීරය විනිවිද පේන්න තරම් රෙද්ද තුනී නිසා.
ඒ නිසා සරම ඇන්ද ඕනි කෙනෙක්ගේ සීම්භ්රාන් කුට්ටිය රෙද්ද අස්සෙන් පේන නිසා.
ඉතින් මේක රෙද්දේ ගුණාත්මක කම එක්ක ආපු ආර්ථික දේශපාලන විවේචනයක් උනත් ඒක අස්සේ තිබ්බේ සංස්කෘතික ප්‍රශ්නයක්.
හරියට විළි වැහෙන්න රෙද්දක්වත් මේ ආණ්ඩුවට දෙන්න බැහැ කියල තමයි ඒ වෙලාවේ සිරිමගේ ආණ්ඩුවට ගැහුවේ. දේශපාලනික වශයෙන් ඒක නැගල ගියා. ආණ්ඩුව හේදිලා ගියා.
ඉන් අවුරුදු තිහකට විතර පස්සේ යුරෝපයේ කපල් එකක් සැරිසරනවා එහේ මාධ්‍යකාරයින්ට පේන්න ගන්නවා. නිකම් කපල් එකක් නෙවෙයි ලෝකයේ ධනවත්ම ගායකයෙක් සම්බන්ද වෙන කපල් එකක්. ඒ තමයි කෙන්යේ වෙස්ට් සහ ඔහුගේ අලුත් ම බිරිඳ වන බියන්කා සෙන්සෝරි කියන යුවල. මේ යුවල විසින් මේ වෙනකොට යුරෝපයේ ටැබ්ලොයිඩ් වල ප්‍රධාන මාතෘකා හදනවා.
කෙන්යේගේ අලුත් බිරිඳ ඒ මාධ්‍ය වලට අනුව ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරන්නේ සම්පුර්ණයෙන් වගේ නිර්වස්ත්රයෙන් (almost naked) කියන එක තමයි ඒ පත්තරවල යෙදුම. ඒ අස්සේ උන් කොටුත් දාල තවත් වැඩේ නංගල ගන්නවා.
හදවතින් තවමත් වික්ටෝරියන් යුරෝපයේ මේවා උණු කැවුම් වගේ විකිණෙනවා.
කෙන්යේගේ කලින් බිරිඳ කිම් වගේම පෙනුමක් තියන කෙනෙක් තමයි බියන්කා. ඒ නිසා කෙන්යේගේ රෝග ලක්ෂණය කියන්නත් පුළුවන් තමයි.
හැබැයි කිම් උනත් මේ මට්ටමට ක්ෂේත්රයට ගේන්නේ කෙන්යේ. ඊට කලින් සම්බන්දතා ඇතුලේ පවා කෙන්යේගේ ඇඟේ එල්ලිලා තමයි ඇලෙක්සිස් ෆයිපර්, ඇම්බර් රෝස්, ජුලියා ෆොක්ස් වගේ අයත් ජනප්‍රිය උණේ. ඒ ඒ අයට දක්ෂකම් තිබ්බ උනත් හිට් වෙන්න ගන්නේ කෙන්යේ එක්ක පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහිල්ලා.
දැන් බියන්කා ගැන උනත් යුරෝපයේ කතා වෙන්නේ කෙන්යේ එක්ක එහෙ මෙහෙ යන එන එක විතරක් නෙවෙයි ගන්ටාර මාක් එකෙන් පාරේ යන හින්ද. බය නැතුව. අපේ අයට අනුව නම් ලෝකෙට බම්බු ගහගන්න කියල. අනික් උන්ට ඉරිසියා හිතෙන්නත් එක්ක.
අපි එහෙම කළේ දුප්පත් කම නිසා. කෙන්යේලට සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා.
අපරාදේ අපිටත් අර ගන්ටාර මාක් සරම් එහෙමම තියාගන්න තිබ්බේ.
මෙයාල දැන් මේවා අත්හදා බලන්නේ අවුරුදු තිහකටත් පස්සේ ...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න..!
අර කොහෙද ඉස්කෝලෙක ඕ ලෙවල් ඉවරවෙලා ඉස්කෝලේ 'ළමයි' පිස්සු නටල ඒ ඉස්කෝලේ පන්ති කාමරේ දේපළ කම්බස් කරලා ගිය හැටි ගැන ෆොටෝ කීපයක් බුකියේ සංසරණය වෙනවා. සම්පුරණයෙන්ම පංති කාමරේ මස්කරලා දාල තමයි ළමයි ටික ගිහින් තියෙන්නේ.
දැන් කට්ටිය කියනවා ඔන්න කොන්ඩේ පීරන්න, සපත්තු දාන්න, සුදු අඳින්න විතරක් කියල දුන්න පාසැල් අධ්‍යාපනේ ප්‍රථිපල කියල. එක අතකට ඒක ඇත්ත තමයි. පුද්ගල සංවර්ධනය, වගකීම සහ වගවීම වෙනුවට අර විභාග මේ විභාග පස්සේ යන්න සහ කොහොමහරි පාස් වෙලා ලොක්කෙක් වෙන්න උගන්වන අධ්‍යාපනෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි.
මේ පංතියට බාල තවත් වසරක ළමයින්ට ඉගෙන ගන්න තියන ජාතික දේපළ මේවා. මෙයාල විනාශ කරන්නේ ඒ දේපළ. මෙයාල තමයි කෝච්චියේ බස් එකේ සීට් කපන්නේ. ඒවා මස් කරන්නේ.
දැන් මේ විභාගේ පීඩනය එළියට යවන කැතාස්මික විදියක් ද? ක්‍රම විරෝධයක්ද? මෙයාල ගෙදර තියන දේපළත් මෙහෙම විනාශ කරනවද?
සහානුකම්පාව සහ සංවේදී බව කියන දෙකම දන්නේ නැහැ හෝ දැනගත්තත් වැඩක් නැහැ කියන එක තමයි මේකෙන් පේන්නේ. ඒ කියන්නේ නරුම බව. තමන් කරන්නේ නරක දෙයක් බව දන්නවා. ඒත් රංචුවක් හැටියට ඒ දේම කරනවා. දන්නවා ඒත් කරනවා (disavowal) කියන එකට අධ්‍යාපනික විනය ඇතුලේ නම් බේත් නැහැ කියල තමයි කියන්න තියෙන්නේ.
මේ රටට හෝ ලෝකයට වැඩදායක ආචාර ධාර්මික පෞරුෂයක් (ethical person) බිහිකරන්නේ කොහොමද කියන කාන්ටියානු අධ්‍යාපනික ප්‍රශ්නේ මොකක් උණත් මෙයාල ලංකාවේ මෙහෙම හැසුරුනාට වෙන රටකට ගියොත් මේ අය පූසෝ වගේ ඉන්නේ කොහොමද? කොරියන් ජපන් යන්න පුහුණුවෙන මෙහෙ අය අපුරුවට එහෙ නීති රීති එක්ක ජීවත් වෙන්න හිත හදාගන්නේ කොහොමද?
මෙහෙ තියන අතිරික්ත ප්‍රමෝදය මුදාහැරීම එහෙදි නැත්තේ ඇයි? කියන විදියටත් වඩා හොඳට කරලා හොඳම හොඳ ළමයි වෙන්නේ කොහොමද මෙහෙන් චුත උනාට පස්සේ? එහෙනම් මේක මේ පොළොවේ ප්‍රශ්නයක් ද?
මුකුත් ලොකු තර්ක නැහැ. එහෙ වැඩ කරන විදියක් තියනවා. රටක් හැටියට ප්‍රොජෙක්ට් එකක් තියනවා (national project). ඒ ප්‍රොජෙක්ට් එකට අවශ්‍යවන විදියට මානසික සිතියමක් තියනවා (cognitive mapping). හරි හෝ වැරදි ලොක්කගේ ඉඳල පොඩ්ඩ දක්වා මුළු ජන සමාජයම ඒ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඉන්නවා. තමන් ඉන්න තැන සිතියම්ගත කරනවා. සිතියමෙන් ඔබ්බට ගිහිල්ල ඒ වැඩේ අල කරන එවුන්ගේ ඇට දෙක මුං ඇට කරනවා. මෙයින් කියන්නේ නැහැ වරින් වර විපරීත දේවල් වෙන්නේ නැහැ කියල.
අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න. අධ්‍යාපනය ලොකු සමාජ ව්‍යාපෘතියක් (mega social project) ඇතුලේ පිහිටුවන්න ඕනි. සහ ඒ ව්‍යාපෘතිය ප්‍රථිපලදායක වෙන්නත් ඕනි.
සියලු පෙරදිග සමාජ ධනවාදී ක්‍රමයට ගැට ගැහුණේ සහ ප්රගතියේ අරමුණු සාක්ෂාත් කරගත්තේ එකම විදියකට. ඒ තමයි නීති ව්‍යුහය සහ රාජ්‍යය ශක්තිමත් කිරීමෙන්. ජපානය, තායිවානය, කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව එකම ආකෘතියක්. එයින් හොඳම උදාහරණය චීනය.
චීනයේ පංති කාමරයක මෙහෙම උනානම් බලාගන්න තිබ්බ....
(ඡායාරූපය: ජපානයේ පාසල් වාර අවසානයේ පාසැලෙන් නික්මයන සිසු සිසුවියන්).
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

මේ පොළොවේ ආදරය කියල දෙයකුත් තිබ්බ කියල නාමල් උඩුගම සලකුණු කළා !
අපේ රටින් අවස්ථා ගණනාවකදී මිනිස්සු තොග පිටින් පිටවෙලා ගිහින් තියනවා. ප්රචණ්ඩත්වය, වාර්ගික අර්බුද, භාෂා ප්‍රශ්න සහ ඊට සමානවම ආර්ථික ප්‍රශ්න නිසාත් මේ රට දාල යන්න එයාලට හේතු උණා.
මින් සමහරක් පිටවයාම් (exodus) සදාකාලික උණා. ඒ කියන්නේ ගිය අය ආයේ ආවේ නැහැ (දෙමළ, වතු දෙමළ සහ බර්ගර් ජන කොටස්). තවත් අය යම් කාලෙකට පස්සේ ආව (ආර්ථික හේතු නිසා ගිය අය). සරණාගත පසුබිමින් ගිය අය නම් ආවේම නැති ගණන්.
ඔය ''මිල්ලේ සොයා'' වගේ චිත්‍රපටියක පේන්න තියෙන්නේ ගියා වගේම ආපහු ආපු කොටස් ගැන. මම හිතන්නේ මේ යන-එන පිරිස්වල තියන සමාජ ආතතිය අර සදාකාලික ලෙස පිටමං වෙච්චි අයට වඩා වැඩි කමක් දකින්න පුළුවන්.
අසූව දශකය අග සහ අනූව මුල ආර්ථික හේතු නිසා මේ රටෙන් ගොඩක් පිටව යනවා අපි දැක්ක. දැනුත් ඒකම දකින්න පුළුවන්. හැබැයි දැන් තියන තාක්ෂනය එක්ක ඒ පිටව යාම ඇත්තටම පිටව යාමක් ම නෙවෙයි කියල කියන්න පුළුවන්.
ඒ කාලේ ගියොත් ගියාමයි. ආයේ ඉතින් ඔය අමාරුවෙන් දෙන දුරකථන ඇමතුමක්, ලියුමක්, ටෙලිග්‍රෑම් එකක් නැත්නම් වෙනත් කෙනෙක් අතේ එවන පණිවිඩයක් වගේ ඇරෙන්න වෙන හාවක් හූවක් නැහැ. නමුත් අද එළියට යන්න බැහැපු වෙලාවේ ඉඳල කට්ටිය යන්නේ වීඩියෝ කෝල් එකක. ඒ නිසා ඇත්තම වෙන්වීමක් සලකුණු කරන්න බැහැ.
මෙන්න මේ 80 සහ 90 මුල තිබ්බ ගියොත් ගියාමයි පසුබිම එක්ක තමයි නාමල් උඩුගමගේ සින්දු ජනප්‍රිය උණේ. විශේෂයෙන් 1978 ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ ආපු විදෙස් රැකියා සන්දර්භය සහ සංක්‍රමණය මේ උඩුගමගේ වියෝ ගී වලට පසුබිමක් නිර්මාණය කළා.
ගමෙන් නගරයට එන එක වගේම මේ රටෙන් තවත් රටක් කරා යන එකත් උඩුගමගේ ශ්‍රාවක තීරය වෙන්න ඇති. මම හිතන්නේ ලංකාවේ ගායකයෙක් ලංකාවේ 80න් පස්සේ සංක්රමණීය තාරුණ්‍යයට එච්චර තදින් කා වැදිච්ච අවස්ථාවක් වෙන නැතුව ඇති.
සංසාර මාවතේ හමුවෙන්නයි, අප හමුවීම වෙන්වීම, මේ මල් පාර දිගේ, සමුගන්නේ නෑ -වෙන්වන්නේ නෑ, රෑ සිහිනේ, මා මුව අගින්, සිහිනෙන් සිහිනෙන්, වෙස්සන්තර බිසෝ, සිතගාව හදපෑව වගේ සිංදු නිකම් වෙන්වීමේ කීරි ගැහෙන අත්දැකීමක් අරන් ආව. විශේෂයෙන් අපේ පංතිවල යම් ප්‍රමාණයක් අම්මල හෝ තාත්තල හිටියේ මැද පෙරදිග වීම, වගේම ඕ ලෙවල් හරි ඒ ලෙවල් වලින් හරි පස්සේ අපේ සගයොත් හිටියේ රට යන වගේ හීනයක හින්ද මේ ''උඩුගමයානු වෙන්වීමේ ආතතිය'' සහ උච්චාරණය අපේ පරිකල්පනයට අමුතු හැඟීමක් අරන් ආව.
ආදර ෆැන්ටසි කැඩිලා තිබ්බේ නැතත් නිකම් කැඩුන හෝ කඩාගෙන බලන්න ඕනි වගේ හැඟීමකින් අපි හිටියා මට මතකයි. ඒවා එක අතකට ජනප්‍රිය සංස්කෘතියේ ලෙඩ. මේනියා.
ඒ කාලේ සංගීතයක් කියන්නේ අනිවා නාමල් උඩුගම ඉන්නවා. අර බ්‍රිතාන්‍යයේ බීටල්මේනියා (Beatlemenia) වගේම නැති උනත් නාමල් හින්ද අපේ පරම්පරාවේ කෙල්ලෝ ඇඬුව. ඇත්තටම වෙන්වුන ගැහැණු මිනිස්සු උඩුගමගේ සින්දු අහල සුවපත් උණා. ආදරය කියල මොකක් හරි එකක් තියනවා කියල හිත හදාගත්ත.
නාමල්ට කෙල්ලෝ පිස්සුම පිස්සු ම වැටිලා හිටපු වෙලාවක නාමල් ගයනවා, ''සොයුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ'' කියල. ආත්මීය වශයෙන් කිව්වොත් ඒ තමයි මට අනුව ලංකාවේ ජනප්‍රිය සංගීතය ආදරය වෙනුවෙන් කරපු උත්කෘඨම කාන්ටියානු ප්‍රකාශය (the highest Kantian statement of love). ඒක නිසාම කෙල්ලෝ වැඩියෙන් නාමල්ට ආදරය කළා.
''මා තනිවී නැහැ ලෝකේ - මට ද කුමරියක් ඇතේ'' කියල නාමල් කියන්නේ උන්ගේ ෆැන්ටසි කුඩු වෙන්න. නමුත් අද ලෝකේ ගායක ගායිකාවෝ ඉන්නේ සදාකාලික තනිකඩයෝ විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ගන්න. එහෙම ලෝකෙක නාමල් ම ලියන ඒ සිංදුව පට්ට.
හමුවීම, වෙන්වීම, සංසාර, ආදරය, සිහින, අහස, සඳ, තරු, ලංවෙන්න, වෙන්වෙන්න, සිත, දුර, ඈත, මුව, නෙතු, හැඟුම් වගේ ගණන් කරන්න පුළුවන් වචන ටිකක් එහාට මෙහාට කරලා අන්තිම සරල පදමාලාවක් (අර්ථයක් නැති තරම් සරල) ලංකාවේ හිට් කරන්න පුළුවන් සාස්තරේ දැනගන්න වෙන්නේ උඩුගමගෙන් විතරයි.
නිදහසින් පස්සේ හැම දශකයකටම වරක් දෙවරක් මහා පරිමාණ මිනිස් නික්මයාම් බහුල වෙච්ච වෙලාවක මේ භූමියේ ඒ ඔක්කොම ලේ කඳුළු අස්සේ ආදරය කියල දෙයකුත් තිබ්බ කියල නාමල් ගයලා තියනවා.
ඒ නිසා මේක විචාරයක් නෙවෙයි. අපේ පරම්පරාවේ තවත් එක ප්රපංචයක් මගේ පිටුවේ සලකුණු කිරීමක් විතරයි.
ආදරය ගැන ගායනා කරපු එකම කෙනා කියල නෙවෙයි මේ කියන්නේ.

ජීවිතයේ නර්තනය ආරම්භ කරන්න..!
චීනයේ දී සෙන් බුද්ධාගම (Zen) හැටියටත් ජපානයේදී සින් (Shin) බුද්ධාගම ලෙසටත් ඈත පෙරදිගට සංක්‍රමණය වූ බුද්ධාගම වඩාත් ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත් වුණා.
වසර දෙදහස් පන්සිය ගණනකට පසුවත්, විද්‍යාවේ සහ තාක්ෂණයේ ආගමනයට පසුවත්, තවත් ගෝලීය ආගම් ගණනක තරඟකාරී බව සමඟත්, බුද්ධාගමට අදටත් ලෝකයේ කෙලින් හිටගැනීමේ ශක්තිය ලැබුණේ පෙරදිග දියුණු වූ ඉහත බෞද්ධ ශාකා දෙක නිසා කියල කියන්න පුළුවන්.
සාමාන්‍ය බුද්ධාගම (general Buddhism) හැම කෙනෙකුටම යම් පමණකින් අවබෝධකර ගැනීමේ පහසුව තිබුණත් දීර්ඝ ඉතිහාසයක් සහ සම්භාව්‍ය පසුබිමක් තියන චීන සෙන් ප්‍රවේශය අප නොසිතන ගැඹුරක් කරා මිනිසුන් රැගෙන යනවා. ඒක ගොඩක් අමාරුයි.
සෙන් බුද්ධාගමේ පරිචායකයින් (practitioners) විසින් තම ප්‍රායෝගික බෞද්ධ ගවේෂණයේදී විශාල අවබෝධයක් ලැබුවා උණත් එය අන් අයට අවබෝධකර දෙන තැනට එනකොට සෙන් ධර්මයට එතරම් සාධාරණයක් ඔවුන් අතින් සිදුවුණේ නැහැ කියන්න පුළුවන්. කොහොමත් අන් අයට අවබෝධකර දීමේ ගැටළුවක් බුද්ධාගමේ මුල් අවස්ථාවේ ඉඳලම තිබ්බ. විශේෂයෙන් විද්‍යාව ඉදිරියේ දී ඔවුන් ඔවුන්ගේ අවබෝධය ප්‍රකාශකරන්න සෙන් ගුරුවරු සෑහෙන අපහොසත්කමක් දැක්වුවා.
ඒ නිසා සෙන් මාස්ටර්ල කිව්ව දෙයක් උපුටන එකෙන් ඔබ්බට සෙන් දර්ශනය නූතන ලෝකයේ ගමන්කළේ නැහැ. විශේෂයෙන් සෙන් මනෝවිද්‍යාව සහ දර්ශනය සෙන් උපුටන ඇතුලෙම මැකිලා ගියා. ඒක අපරාදයක්.
කොහොමත් සාමාන්‍ය හේතුව සහ තර්කය එක්ක (common reasoning and logic) බුද්ධ දේශනාවේ හරයට ලඟාවෙන්න අමාරුයි. ඒක හැමෝම තේරුම්ගන්න.
අපි හැමෝටම අපේම වූ පැවැත්මක් තියනවා. එය සුවිශේෂයි. ඒ සුවිශේෂ පැවැත්ම ඇතුලට පැවැත්මේ ගැඹුරුම අර්ථයෙන් චාරිකාවක් යන එක තමයි සෙන් ධර්මයෙන් කියවෙන්නේ. මේ චාරිකාව ඇතුලේ සිදුවෙන එකම දෙය තමයි යම් බන්ධනයක ඉඳල එක්තරා නිදහසක් කරා මිනිස් පැවැත්ම ගමන්කරන එක (from bondage to freedom).
පැවැත්මේ උල්පතෙන් ඇත්තටම දිය දෝතක් බොන්න ඔබට පුළුවන් උනොත් අපිට පුළුවන් බුදුන් දේශනා කළ දුකින් මිදීමේ ආරම්භය සොයාගන්න. අප තුල තියන සියලු ශක්තීන් ආපසු මේ අප අවට තියන ශක්ති ප්‍රභවයන් වෙතම මුදාහරින්න. ඉන් පස්සේ ඒ ශක්තිය අපව එක එක දිශාවලට පොළඹවන එක වලක්වාගන්න.
අප තුල තියන මේ අසාමාන්‍ය ශක්ති ප්රභවය හඳුනාගෙන ඒ ශක්තිය අපව උමතු මාර්ගවල ගමන් කරවන එකෙන් මුදවාගන්න සෙන් දහමට පුළුවන්. අපට හිතාගන්නවත් බැරි මේ ශක්ති ප්‍රභවයන් විනාශකාරී දේවල්වලට යොමුකරන්නේ නැතුව යහපත් ක්‍රියා වෙනුවෙන් පමණක් යොදවන්න සෙන් හදාරන්නෙකුට පුළුවන්. පැවැත්මේ ශක්තිය (life energy) හරි විදියට කළමනාකරණය කරගන්න ඕනි අධ්‍යාත්මික හැකියාව සොයාගත්ත අපට මෙතැනදී සංතෘෂ්ටිය කියන දේ මුණගැසෙනවා (happiness). ඒ සතුට එක්ක තමයි නිදහස එන්නේ (freedom).
අපට මෙතක් ඇරිලා නොතිබ්බ තුන්වන ඇසක් (third-eye) මෙතනදී විවර වෙනවා. අවිද්‍යාව කියන නොසැලකිලිමත් බව විතැන් වෙලා ජීවිතයේ ඇත්ත වටිනාකම, ඇත්ත වැදගත්කම මෙන්න මේ මොහොතේ ඉඳන් අපිට තේරුම් යනවා. අශුභවාදී දේවල් ඉවත් වෙලා ශුභවාදී උත්ප්රේරණක් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙනවා.
''සදාකාලික ඇත'' (Everlasting Yea) කියලවත් ''සදාකාලික නැත'' (Everlasting No) කියලවත් දෙයක් ඇත්ත මිනිස් පැවැත්මේ නැහැ කියල වටහා ගන්න මේ එක්ක ඔබට පුළුවන් වෙනවා.
ඒ වගේ අවබෝධයක් ජීවිතයේ අපරිමිත ශක්තිය එක්ක මුසුකරගෙන දැන් ඔබට පුළුවන් ජීවිතයේ නර්තනය ආරම්භ කරන්න....
ඩයිසෙට් ටෙයිතාරෝ සුසුකි, කියෝතෝ, 1926
D.T. Suzuki (1949). Esseys in Zen Buddhism, Rider and Company, London.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

අන්තරේ බයිට් වීම !
මුදල් අය කරන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (අගෝස්තු 10) දින පැවැත්වීමට නියමිත බව සඳහන් උද්ඝෝෂණයක් හා අදාළ ප්රචාරක දැන්වීමක් සමාජ ජාලා තුළ බයිට් වෙමින් තිබෙනවා. මේක ටිකක් අලුත් ප්‍රවණතාවක්. ඇතැම් විට දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් වලට සෘජුව සම්බන්ධ සමාජ ජාලා ක්‍රියාකාරිකයින් විසින් සංවිධානාත්මක ලෙස මේ වගේ දේවල් කරන නමුත් මේ අවස්ථාවේදී පේන්න තිබෙන්නේ එවැනි දෙයක් නෙමෙයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේ මුල් වී කරන මෙවැනි විරෝධතා වලට දශක ගණනාවක ඉතිහාසයක් තිබෙනවා. අන්තරේ කියන්නේ රටේ සමස්ත ජනගහණයට සාපේක්ෂව කුඩා කණ්ඩායමක් වුවත්, එම කණ්ඩායමේ ප්‍රමාණයට සාපේක්ෂව රටේ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි විශාල බලපෑමක් සිදු කරන කණ්ඩායමක්. විශේෂයෙන්ම අධ්‍යාපනය හා අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි එම බලපෑම සිදුව ඇති ආකාරය පැහැදිලිව හැකියි.
දේශපාලනිකව පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අන්තරේ අතර සම්බන්ධය රහසක් නෙමෙයි. පෙසපෙ ජවිපෙන් කැඩෙන්න කලින් ජවිපෙ හා අන්තරේ අතරද මේ ආකාරයේ සම්බන්ධයක් තිබුණා. අන්තරේ වගේම පෙසපෙ හා ජවිපෙ යන පක්ෂ සිටින්නේද අධ්‍යාපනය මිල දී ගැනීම, කළමනාකරණය කිරීම හා බෙදා හැරීම රාජ්‍ය ඒකාධිකාරයක් විය යුතුයි කියන මතයේ. මේ මතයේ සිටින තවත් පක්ෂ හා කණ්ඩායම් ඇති.
මේ හා අදාළ ජවිපෙ මතය පෙසපෙ හා අන්තරේ මත වලින් වෙනස් වෙන්නේ අවශ්‍ය ඉලක්කයට යාමට අදහස් කරන ආකාරය අනුව පමණයි. එම පක්ෂය සෘජු වාරණය කිරීම් වෙනුවට මෘදු රාජ්‍ය මැදිහත්වීම් හරහා ඉලක්කයට යන්න උත්සාහ කරන බවයි පෙනෙන්නේ. අඩු වශයෙන් එම පක්ෂයට සම්බන්ධ අපේ මිතුරන් කියන්නේ ඒ වගේ කතාවක්. හරියටම කිවුවොත්, රජය මුල් වී සියල්ලන්ටම ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබා දීම මගින් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා වන අවස්ථා නැති වෙන්න අරිනවා කියන එක. මේ ක්‍රමයට අවසන් ඉලක්කයට යාමේ ප්‍රායෝගික හැකියාව කෙසේ වෙතත්, මෙය සෘජුව වෙළඳපොළට එරෙහිව නොයන ප්‍රවේශයක්.
අධ්‍යාපනය මුදලට විකිණීම හා මිල දී ගැනීම හැම මට්ටමකදීම මෙන් ප්‍රචලිතව ඇති දෙයක් වුවත් අන්තරේ විරෝධය බොහෝ විට එල්ල වී තිබෙන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට එරෙහිවයි. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති විරෝධයන්හිදීනම් එම විරෝධය එල්ල වුනේ උසස් අධ්‍යාපනයද ඇතුළු සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය කළ පුළුල් ප්‍රතිසංස්කරණ යෝජනාවලියකට එරෙහිවයි. පසුව ටිකෙන් ටික ක්‍රියාත්මක කරනු ලැබ ඇතත්, විරෝධය හමුවේ එම යෝජනා හකුළා ගනු ලැබුවා.
ඉන් පසුව, 1988/89 භීෂණය දක්වාම දිග් ගැසුණේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ වූ විරෝධයයි. එම විරෝධය අවසන් වුනේ අදාළ විශ්ව විද්‍යාලය රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයක් වීමෙන් අනතුරුවයි. ඉන් පසුව, සාපේක්ෂව මෑත කාලයකදී මතු වූ සයිටම් විරෝධයද ඊට සමාන ආකාරයකින් අවසන් වුනා. මේ නිදර්ශන වලින් පැහැදිලිව පෙනී යන පරිදි, ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය වී තිබෙන්නේ බහුතර ඡන්දයෙන් තේරී පත් වූ ආණ්ඩුවට අවශ්‍ය පරිදිම නෙමෙයි. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්ති හා අදාළව මේ තත්ත්වය කැපී පෙනෙනවා.
රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා අදාළව අන්තරේ වැනි කුඩා කණ්ඩායම් වලට ලොකු බලපෑම් සිදු කළ හැකි වූයේ අදාළ ඉල්ලීම් වලට යම් මහජන සහයෝගයක්ද තිබුණු නිසයි. අඩුම වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම්වලට මහජන විරෝධයක් නොපැවති නිසයි. එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ මුදල් නොගෙවා උගත් අයෙකු පසුව අධ්‍යාපනය මුදලට විකිණීම වෙනුවෙන් පෙනී සිටීම සදාචාරත්මක ප්‍රශ්නයක් සේ උලුප්පනු ලැබීමයි.
පෞද්ගලික පාසැල් හා සරසවිවල ඉගෙන ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ මේ තත්ත්වය සෑහෙන තරමකින් වෙනස් වී තිබෙනවා. එවැන්නන්ට ඉහත කී සදාචාරාත්මක ප්රශ්නය නැහැ. අරගලයට පෙර කාලයේදී වුවද අන්තරේ විරෝධතාවන් කෙරෙහි යම් මහජන විරෝධයක් මෝදු වෙමින් තිබුණා. අද සිදුව ඇති පරිදි කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ විරෝධතා විසුරුවා හරිද්දී "එනවා! නානවා!! යනවා!!!" ලෙස ඔවුන්ව සමච්චලයට ලක් කළ පිරිසක්ද සිටියා.
කෙසේ වුවත්, අරගලය අවස්ථාවේදී අන්තරේට ඔවුන්ගේ කවයෙන් පිටත යම් පිළිගැනීමක් ලැබුණා. ඒ එක්කම, පෞද්ගලික සරසවිවල ඉගෙන ගනිමින් සිටි හා ඉගෙන ගෙන සිටි බොහෝ දෙනෙකුද අරගලයට සම්බන්ධ වුනා. සීමිත සන්දර්භයක වුවද ඔවුන් එක්ව කටයුතු කළා.
මේ වන විට අන්තරය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සෘජුව අවි අමෝරාගෙන සිටින අතර ප්‍රසිද්ධ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තුනක් උපාධි කඩ ලෙස කෙළින්ම නම් කර තිබෙනවා. අන්තරේ සහ පෙසපෙ සතු එක් යහගුණයක් වන්නේ තමන් විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමයි. කෙසේ හෝ මැතිවරණ ජයගැනීම ඉලක්ක කරන දේශපාලන පක්ෂ වලට මෙය කළ නොහැකියි.
මගේ විශ්වාසය අනුවනම් තමන්ට අවශ්‍ය දෙයක් අවශ්‍ය අයෙකුගෙන් ඉගෙන ගැනීම මිනිසෙකුගේ මූලික අයිතියක්. අන්තරේ පෙනී සිටින්නේ එම මූලික මිනිස් අයිතියට එරෙහිවයි. ඉගෙන ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම හෝ නොගෙවීම පෞද්ගලික තීරණයක් මෙන්ම ද්වීතියක කාරණයක්. එම නිදහසට ඉඩ අහුරන රටවල් ලෝකයේ ඇත්නම් ඒ ඉතාම සීමිත රටවල් ගණනක් විය යුතුයි.
මුදල් නැති කම නිසා ඉගෙන ගැනීමේ අවස්ථාව අහිමි වන අයට ඉගෙන ගැනීමට අවස්ථා සැලසීම වෙනම කාරණයක්. ලෝකයේ හැම රටකම මෙන්ම අධ්‍යාපනය යම් ආකාරයකින් සුබසාධනය කෙරෙනවා. එහෙත්, කැමති අයෙකුට මුදල් ගෙවා ඉගෙනීමට තිබෙන නිදහසට බාධා කරන්නේ නැහැ.
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මූලික උපාධි පාඨමාලා වෙනුවෙන් ගාස්තු අය නොකිරීම යන්නේ අදහස් වන්නේ අධ්‍යපනය වෙනුවෙන් සිසුන් විසින් කිසිම මිලක් නොගෙවිය යුතු බව නෙමෙයි. සෑම සරසවි සිසුවෙකු විසින්ම අධ්‍යාපනය වෙනුවෙන් ගෙවන යම් මිලක් තිබෙනවා. පාඨමාලා ගාස්තු අය නොකිරීමේදී සිදු වන්නේ එම මිල සුබසාධනය වීමක් පමණයි.
ඉහත මිලට ඇතුළත් වෙන්නේ නවාතැන් ගාස්තු, පොත්පත් සඳහා යන වියදම් ඇතුළු පහසුවෙන් මුදලින් මැනිය හැකි අතින් යන වියදම් පමණක් නෙමෙයි. වසර හතරක පමණ කාලයක් උපාධි පාඨමාලාවක් වෙනුවෙන් වෙන් කිරීමේ ආවස්ථික පිරිවැය යනු විශාල මුදලක්. ලංකාවේ සරසවි වල ඇතැම් පාඨමාලා සඳහා අවශ්‍ය පමණ සිසුන් බඳවා ගත නොහැක්කේත්, එවැනි ඇතැම් සිසුන් රට තුළ සිට හෝ විදේශගතව මුදල් ගෙවා වෙනත් පාඨමාලා හදාරන්නේත් මෙම ආවස්ථික පිරිවැය සැලකූ විට මුදල් අය නොකර උගන්වන පසුබිමක වුවද එවැනි පාඨමාලාවක් හැදෑරීම මිල අධික නිසා.
උදාහරණයක් ලෙස මෙම ලේඛකයා ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා රජයේ සරසවියකට ඇතුළු වන විට රජයේ ඉංග්‍රීසි උපගුරුවරයෙක්. ඊටත් පෙර මාසික වැටුපකට පෞද්ගලික අංශයේ රැකියාවක් කළ අයෙක්. ඉහත රැකියා කර වසර පහකට ආසන්න කාලයක් තිස්සේ උපයාගත හැකිව තිබුණු මුදල උපාධිය හැදෑරීම සඳහා කාලය වෙන් කිරීමේ ආවස්ථික පිරිවැයෙහි කොටසක්. එම මුදල අත හැරීම යනු අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ මුදල් ගෙවීමකට සමාන ආයෝජනයක්.
මේ ලේඛකයානම් අධ්‍යාපනය විකුණන්න පටන් ගත්තේ වයස අවුරුදු එකොළහක කාලයේ සිටයි. ඒ විදිහට අධ්‍යාපනය විකුණා හොයා ගත් මුදල් බොහෝ විට නැවත වැය කළේත් අධ්‍යාපනය මිල දී ගන්නයි. දැනුම නිෂ්පාදනය කරන එක අමාරු වැඩක් වුනත් අධ්‍යාපනය නිෂ්පාදනය කළ හැකි බොහෝ අය ඉන්නවා.
පසුව රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලේඛකයා විසින් කළේද අධ්‍යාපනය විකිණීමක්. දැන් රජයේ සේවයේ සිටින ගුරුවරු මෙන්ම සරසවි ඇදුරන් විසින් කරන්නේද තමන්ගේ ජීවිකාව සඳහා අධ්‍යාපනය විකිණීමයි. ගුරු වර්ජන හා සරසවි ඇදුරු වර්ජන වලදී සිදු වන්නේ ඔවුන් විසින් අධ්‍යාපනය විකිණීම සඳහා රජයෙන් අය කරන මිල වැඩි කර ගැනීම සඳහා හෙට්ටු කිරීමක්. මෙම ගනුදෙනුව සහ මෙවැන්නකු විසින්ම මුදල් අය කර ටියුෂන් කිරීම අතර එකම වෙනස මුල් අවස්ථාවේදී රජය අතරමැදියෙකු සේ මැදිහත්වීම පමණයි.
රජය විසින් අධ්‍යාපනය මුදල් අය නොකර ලබා දීමේදී සිදු වන්නේ රජය විසින් රට පුරා සිටින ගුරුවරුන්ගෙන් හා සරසවි ඇදුරන්ගෙන් අධ්‍යාපනය තොග මිලට ලබා ගෙන තමන්ගේ අභිමතය පරිදි බෙදා හැරීමයි. රජයේ වැටුප් වියදම් බරින් තුනෙන් එකක් පමණම වැය වන්නේ මේ වෙනුවෙන්. මෙහිදී රජය විසින් අවසාන වශයෙන් එම අධ්‍යාපනය ලබා ගන්නා සිසුන්ගෙන් මුදල් අය කරන්නේ නැහැ. එහෙත්, එම මුදල කාගෙන් හෝ අය කර ගන්නවා.
මීට සාපේක්ෂව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් කරන්නේද රට පුරා සිටින ගුරුවරුන්ගෙන් හා සරසවි ඇදුරන්ගෙන් අධ්‍යාපනය තොග මිලට හෝ සිල්ලර මිලට ලබාගෙන නැවත අලෙවි කිරීමයි. මෙහිදී ඒ වෙනුවෙන් සිසුන්ගෙන් හෝ ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් සෘජුව මුදල් අය කෙරෙනවා. ඒ වගේම, අවස්ථා දෙකේදීම, සිසුවෙකු විසින් සෘජුව වැය කරන හෝ නොකරන මුදලට අමතරව, ඔවුන්ට ආවස්ථික පිරිවැයක්ද දරන්නට සිදු වෙනවා.
අධ්‍යාපනයේ අරමුණ කුමක්ද? අධ්‍යාපනයේ පිරිවැය දැරිය යුත්තේ කවුද? මේ දේවල් පසුව සාකච්ඡා කරමු.
ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

දවසට දහ දොළොස් වතාවක් ජීවිතය පරදුවට තබන්නෝ !
ඔවුහු හැම දවසකම එක් වතාවක් නොව, අඩු තරමින් දහ දාළොස් වතාවක්වත් සිය ජීවිතය පරදුවට තබති. ඒ තමන්ගේත් තම දරු පවුල්වලත් ජීවිත ගැටගසා ගැනීම පිණිසය. උතුරේ ආර්ථිකයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටද වැදගත් දායකත්වයක් දැක්වුවද ඔවුහු තවමත් අතීත වැඩවසම් මිනුම් දඬු මත බරපතළ ලෙස කොන්කිරීමට ලක් වෙති. දැන්වත් මේවා එළිපිට කතා කොට කෙළවර කරගත යුතු නොවේද?
වියළී ගිය පත්‍ර, පිති, මල් කිනිති අවිධිමත් ලෙස එල්ලා වැටෙන අඳුරු තල් ‘කරටිය’ කොණ්ඩා රැවුල් වවාගත් යාචකයෙකු මෙනි. මේ යාචක පෙනුමැති තල්ගස්වලට ‘කඩවසම්’ පෙනුම ලබා දෙන්නේ යාපනයේ සිටින තල් රා මදින්නන්ය.
ඔවුහු තල්ගසේ මේ පැරණි කටු සහිත වැරහැලි ඉවත් කර ඉතාමත් සීරුවෙන් තල් ගසට නැගීමේ මාර්ගය පාදා ගනිති. අනතුරුව තල් කරටියේ අවිධිමත් අතු පිති, කිනිති ඉවත් කර පිරිසිදු කර ගනිති. නාඹර මල් තැළෙන්නේ ඊට පසුවයි. බාබර්ගේ කාරියත් බමරුන්ගේ කාරියත් එකවර ඉටු කරන මේ රා මදින්නන් නිසා තල් ගසට ලැබෙන ආලෝකය ඔවුන්ගේ ජීවිත දක්වාම පැතිරේ. බඹරුන් මල නොතළා රොන් ගත්තත් මේ රා මදින්නන් පැනි එකතු කරන්නේ නාඹර මල් පදමට තළා ගැනීමෙනි.
‘මදින පෙට්ටිය’ ‘මල්තැලුම’, මදින පිහි කට්ටලය, වාඩිය, රා ලබ්බ, ගස්නගින තල් වළල්ල, ගෙරිහමෙන් තැනු ලාඩම් දෙක, ඔවුන්ගේ රැකියාවේ උපකරණ කට්ටලයි. පැල්පත් තිබෙන තැන සිට ඇතැම්විට තල් රා මදින්නාගේ වැඩබිම හෙවත් තල් රුප්පාව ඇත්තේ කිලෝමීටර් දහයක් පහළොවක් දුරිනි. පාපැදිය හා යතුරු පැදිය සහාය වන්නේ මේ දුර ගෙවා දැමීමටයි. හිරු උදාවීමත් සමඟ මී මැස්සන් මෙන් කඩිසරව තල් රුප්පාව වෙත යන ඔවුන්, කුහුඹුවන් මෙන් තල්ගස තරණය කරන අයුරු ‘මනිපායි’ හිදී අපට දැක ගන්නට ලැබුණි.
එක ගහේ මල් හතයි
එක් මුරයකට කිතුල් ගසකින් තැළීමට ලැබෙන්නේ එක මලකි. පොල් ගසෙන් නම් දෙකක් හෝ තුනකි. එහෙත් තල් රා මදින්නන්ට නම් එක තල් ගසකින් මල් පහක් හයක් හෝ හතක් තළා ගැනීමට වාසනාව තිබේ. ‘මනිපායිහිදී’ හමු වූ ප්‍රදීපන්, එම ප්‍රදේශයේ තල් රා මදින්නන්ගේ සමුපකාර සමිතියේ සභාපති වරයාය. අච්වේලි, පණ්ඩතාරිප්පු, චාවකච්චේරි, තෙලිප්පලෙයි, කොණඩාවිල් චුන්නාකම් හා කරෙයිනාගර්හි තල් සංවර්ධන සමිති නියෝජිතයන් හමුවීමද මෙම ලිපිය සම්පාදනයේ දී මහත් රුකුලත් වූයේය.
හිරු එළියට මදින පෙට්ටිය පේන්න පටන් ගන්නා හෝරාව තල් රා මදින්නේකුගේ කාල සටහනේ ආරම්භයයි. මනිපායිහි ප්‍රදීපන් (40) ඔහුගේ දවසේ කාලසටහන අපට කීවේය. “ඉර එළිය වැටෙන්න කලින් නැගිටින්න ඕනේ. ඊට පස්සේ මදින පෙට්ටියේ පිහි මුවාත තියලා මැද ගන්නවා. රා එකතු කරන භාජන ටික බයිසිකලේ ගැට ගහලා තියෙන්නේ. ගෙදරින් යන්නෙ උදේ පහට. මම කිලෝමීටර් හතරක් දුර යන්න ඕනේ. උදේට මොකුත් කාලා යන්නෙ නෑ, ගස් නගින්න අමාරු නිසා. මම ගස් 11ක රා මදිනවා. ඒ ඔක්කොම සමුපකාර සමිතියට තමයි දෙන්නේ.”
රා මදින රස්සාව එන්නේ උරුමයෙනි. ප්රදීපන්ට එය ආවේ ඔහුගේ අප්පාගෙනි. අප්පාටද එලෙසමය. එය පැරණි දෙමළ සමාජ සංවිධානය තුළ එක් කුල කණ්ඩායමක් ලෙස සැලකේ. ඒ ගැන ඉදිරියේදී කතා කරන නිසා, අපි ප්‍රදීපන් සමග කතා කළේ මේ අපූරු රස්සාවේ වගතුග ගැනය.
ලාඩම් දාගෙන ගස් නැගීම
“මම ගස් නගින්න පටන් ගත්තේ තාත්තාට මේ රස්සාව කරන්න අමාරු නිසා. ඒත් තාත්තා තාමත් මාත් එක්ක රා මදින්න යනවා. ඉස්සර වගේ ඉක්මනට තාත්තාට වැඩ කරන්න බෑ. ඒ වගේ වයසක අයට ගස් නගින්න හැර ගහන්න ඕනේ. අපි ගස් නගින්නේ තල් ගහේ පිත්තෙන් ගත්ත පට්ටෙන් හදපු වළල්ලෙන්. ඒක කකුලේ දාන්න මේ වගේ ලාඩන් දෙකක් ඕනේ නැත්නම් වළල්ලට පිටිපතුල තුවාල වෙනවා. වැස්ස දවසට ගස් එකොළහේ නගින්න ලේසි නෑ, පරක්කු වෙනවා.”
ප්‍රදීපන් තල් ගස් තරණය කරන්නට පටන්ගෙන තිබුණේ අවුරුදු 18 දීය. “තාත්තා එක්ක ගිහින් රා මැදලා ඒ සල්ලිවලින් තමයි මම උසස්පෙළ දක්වා ඉගෙන ගත්තේ. අපේ ගෙදර පිරීමි පරම්පරාවම ජීවත්වෙන්නෙ මේ රස්සාවෙන්. දවසට ලීටර් 12ක් විතර ගන්න දවස් තියෙනවා. තාත්තයි මමයි ලීටර් 40ක් රා ගන්න දවස් තියෙනවා. වැස්සෙන් කරදර වුණේ නැත්නම්, දවසට රුපියල් පන්දාහක් හයදාහක් හොයාගන්න අමාරු නෑ.” ප්‍රදීපන් කීවේය.
ශන්මුගනාදන් රාසයියා (69) ආලඩි හන්දියේ පදිංචි රා මදින්නෙකි. පාපැදිය නිල රිය කර ගත් ඔහු රා මදින රුප්පාව ඇත්තේ හැතක්ම තුනක් හතරක් දුරිනි. “පාන්දර හරක් ටික ලිහලා දාලා මම යන්නෙ. ගෙදර එනකොට 11 විතර වෙනවා උදේට දවල්ට දෙකටම එක වේල තමා. යාපනේ කොහෙවත් උදේට බත් නෑ. පාන්, රොටි, පිට්ටු, ඉන්දිඅප්ප තමයි තියෙන්නේ. බත් කන්නේ දවල්ට. මම ගස් අටක රා මදිනවා. තවත් දෙකක් මේ දවස්වල හදමින් ඉන්නේ. එක මලකින් ලීටරයක් ගන්නෙ බොහොම හදිස්සියෙන්. බෝතල් බාගයක් විතර නම් වෑස්සෙනවා. ගහකින් රා බෝතල් 4-5ක් ගන්න පුළුවන් ඒක වේලකට. දවසට රුපියල් 3,000ක් හොයන්න පුළුවන්, වෙන කරදර වුණේ නැත්නම්.” ඔහු පැවසුවේය.
මදින පෙට්ටියේ උරුමය
කන්දස්ස්වාමි මුල්ලි (64) පැරණි රා මදින්නෙකි. මේ වන විට තල් ගස් සමග ඇසුර අත්හැර ඇති ඔහු, දැන් සම්බන්ධකම් පවත්වන්නේ තල් රා සමග පමණය. “දැන් මට ගස් නගින්න බෑ. මෙතන ඉන්නේ රා වඩියක් බොන්න. මට නම් කිරි වීදුරුවකට වැඩිය අගෙයි රා වඩිය. අපේ පරම්පාරවේ පිරිමි උපදින්නේ මදින පෙට්ටිය අතේ අරගෙන” මුල්ලි ඒසේ කීවේ බුලත් කහටින් පදම් වුණු ගෙවිගිය දසන් දක්වමිනි.
“මම රා මැද්දේ අවුරුදු 17 ඉඳලා. අවුරුදු 62ක් වෙනකම් මේක මගේ රස්සාව. දැන්නම් ගස් නගින්න බෑ, අමාරුයි. ඒක නිසා නවත්තලා දැම්මා. මගේ පුතාලා හතර දෙනාම මනිපායිවල රා මදිනවා. මගේ සීයා ගෝපාල් ස්වාමිගේ මදින පෙට්ටිය දැන් තියෙන්නේ මගේ ලොකු පුතා කදිරවේලු ළඟ. ඉර පායන්නේ කොයි වෙලාවේද කියලා නින්දෙන් ඇහැරුණත් වෙලාව බලනවා. මොකද අපේ රස්සාව මේක නිසා. එකතු කරපු රා ඒ දවස්වල නම් ගහ යටදිම වික්කා. දැන් තමයි සමිති තියෙන්නේ. රා බෝතලයක් රුපියල් 200ක් විතර වුණා නම් අද කාලේ හැටියට කාලා බීලා ළමයි ඉස්කෝලේ යවලා ජීවත් වෙන්න තිබුණා. දැන් රා බෝතලයක් රුපියල් 150යි. මේක කියන්නම ඕනේ. තල් රා මදින්න ලයිසන් ඕනේ නැති කාලේ අපිට කරදර තිබුණේ නෑ. දැන් එහෙම බෑ. බදු ගහන එකත් ඒ දවස්වල තිබුණේ නෑ. මේවා අපිට බරක්.”
රූබන් වේලායුධම්, (59) තල් රා මදින්න්කු ලෙස ඔහු ලැබූ අද්දැකීම් එකින් එක දිගහැරීයේ යුද්ධයේ අමිහිරි මතකද අවුළුවමිනි. “මාත් එක්ක රා මදින්න ගිය කනපති පිල්ලේ තල් ගහේ ඉද්දි වෙඩි වැදිලා මැරුණා. එදා ජීවිතේ ගැලවුණේ අනූ නමයෙන්...! මගේ අය්යා තල් ගහෙන් වැටිලා මරුණේ. මගේ බාප්පාගේ පුතා තල් ගහෙන් වැටිලා අබ්බගාත වෙලා ඉන්නේ. මේක හරි කල්පනාවෙන් කරන්න ඕන රස්සාවක්... ඕන කෙනෙකුට මේක කරන්න බෑ.. අතේ හුරුවෙන් මල තළන්න, හීන් සීරුවෙන් මල කපන්න. වගේම ඒකතු කරන රා ටික පරිස්සමින් බා ගන්න ඕනේ. දෙවියන් අපිට දීපු තෑග්ග තමයි තල් ගහ..!
ගැහැනුන්ට දුන් තිළිණ
තල් රා මදින රස්සාවේ ගැහැනු කවුරුවත් නැතත්, දෙවියන් දුන් තෑග්ග පිරිමින්ට පමණකැයි සිතුවොත් එය මුළාවකි. බිම ඉඳගෙන පරිස්සමට කරන්න අප්‍රමාණ වැඩ, තල් ගස ගැහැනුන්ටත් දී තිබේ.
වඩිවේල් සිවගාමි අම්මා (63) ඒ ගැන බොහෝ දේ අපට පැවසුවාය. “අපේ පරම්පරාවේ හැමොමෝ ජීවත්වුණේ තල් ගහෙන්. පිරිමි තල් රා මදින්න ගස් නගිද්දී අපි ඒ තල් කොළවලින් වට්ටි පෙට්ටි ගෙතුවා. 2009 යුද්දේ ඉවර වෙනකම් ජීවත්වුණේ පාත්තයෝ වගේ. එහේ යනවා, මෙහේ යනවා ජීවත්වෙන්න ස්ථිර තැනක් නෑ. 2009න් පස්සේ කුඩාරම් ගහගෙන හිටියේ. 2011 නැවත පදිංච් කිරීමෙන් පස්සේ තමයි එක තැනක ඉඳලා හුස්ම ගන්න පටන් ගත්තේ. කිලිනොච්චියේ ඉඳලා අපි කෝපායිවලට ආවා. අපේ පවුලේ හොයාගන්න බැරි වුණු සහෝදරයෝ දෙන්නම හමු වුණා. බාල පුතා නෑ. එයාගෙ නෝනා එක්ක අපි ජීවත්වෙන්න මොනවා හරි කරන්න ඕනේ නිසා තල් හකුරු හදන්න පටන් ගත්තා. මම තල් කොළවලින් වට්ටි පෙට්ටි හැදුවා... මෙහේ එන්ජීඕ සමිතියක් අපිට මුදල් ආධාරයක් දුන්නා...”
මුලදී ඔවුන්ගේ නිෂ්පාදනවලට එතරම් ඉල්ලුමක් නොතිබුණත්, යුද්ධය නම වීමෙන් පසුව එක් වරම විශාල ඉල්ලුමක් නිර්මාණය විය.
“මිනිස්සු යාපනේ එන්න පටන්ගත්තා. තල් හකුරු කිලෝ එකක් දෙකක් තමයි මුලින් හැදුවේ. පස්සේ කිලෝ අටක් දහයක් වුණත් දෙන්න පුළුවන් වුණා. තල් හකුරුයි වට්ටි පෙට්ටියි අරගෙන ටවුමට ගියාම ඒවා ඔක්කොම දීලා එන්න පුළුවන් වුණා. එහෙම එකතු කරපු සල්ලිත් දාලා, තව ලීසිං එකක් දාලා තමයි ලොකු පුතා ත්‍රීවිල් එක ගත්තේ. දැන් බිස්නස් කරන්න බඩු අරගෙන යන්නේ එන්නේ මේකෙන්. කොවිඩ් කාලේ බිස්නස් කරන්න හම්බවුණේ නෑ, අමාරුවෙන් ජීවත්වුණේ. දූලගේ ළමයි ඉස්කෝලේ යවන්නේ, අපි කන බොන දේ ගන්නෙ, ලෙඩට දුකට පිහිට වෙන්නෙ අපේ පිරිමිගේ තල් රා මැදීමයි අපේ අත්වලින් තල් හකුරු වට්ටි පෙටිටි ගෙතීමයි නිසා.
කුලේ නොතකන- කොළේ ශිල්පය
“හකුරු පැණි රස වුණාට මේවා හදන්නේ අඩු කුලේ අය කියලා හංවඩු ගහල තියෙන්නේ. අපේ සමහර ගෑනු කුණු කතා අහන්න බෑ කියලා වෙන වෙන රස්සාවල් හෙව්වා. මම එහෙම අය කීප දෙනෙක් එකතු කරගෙන මේ ගෙතුම් සාත්තරේ කියා දුන්නා. දැන් ඔය ඉන්නේ යස අගේට. දැන් දවසකට රුපියල් හත් දාහක් විතර හොයනවා. අනිත් අයත් එහෙමයි. පිරිමි තල් ගස් මදින තැන්වලට අපි යන්නෙ නෑ. වට්ටි පෙට්ටි ගොතන්න තල් කොළ, පොඩි ගස්වලින් කපා ගන්නෙ අපි මයි. ඒවයෙ කටු දැන් අතට හුරු වෙලා තියෙන්නේ. රා මදින පිරිමින්ගේ ගෑනු වුණාම තල් කොළේ සිල්පේ දැනගෙන ඉන්න ඕනේ.”
ලංකාවේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පහසුවෙන් වැඩෙන තල්ගස දකුණු කෙළවරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සු`ඵ වශයෙන් පැතිර තිබේ. තල් සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව 2007 වසරේ ක්‍රියාත්මක කළ තල් නිෂ්පාදන සඳහා අගයදාම සැලැස්ම යටතේ යාපනය, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, පුත්තලම, මුලතිව්, අම්පාර, අනුරාධපුරය, වව්නියාව, හම්බන්තොට යන දිස්ත්‍රික්ක එකොළහේ සංගණනයකින් තල් ගස් 11,120,000ක් තිබු බව සොයාගෙන ඇත. උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ පැවති යුද්ධය හේතුවෙන් තල් රා මදින්නන් මෙන්ම තල් ගස් විශාල ප්‍රමාණයක් රටට අහිමි විය. තල් සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ තල් ශාක ගහණය දැන් මිලියන දොළහකට ආසන්න වෙමින් තිබේ. ඒ ආශ්රිත සෘජු හා වක්‍ර රැකියාවල යෙදෙන්නන් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවයි.
තල් නැමති කප්රුකේ අස්වැන්න
තල් නිෂ්පාදන අගයදාම සැලැස්මට අනුව ශ්‍රී ලංකාව තල්ගසේ යුෂ ආශ්රිත නිෂ්පාදන ලෙස පැණිරස කාරක, මධ්‍යසාර, පැසවූ නිෂ්පාදන ලෙස හකුරු, පැණි, මීරා, සූකිරි, අරක්කු, බෝතල් කළ රා, විනාකිරි නිපදවනු ලබයි. තල් මද ආශ්රිත නිෂ්පාදන වන්නේ, බෝතල් කළ මද ජිනාටු, පැණි ජිනාටු, ජෑම්, කෝඩියල් පිළියෙල කළ පාන වර්ග ඔසු ආශ්රිත නිශ්පාදනයි.
තල් අල ආශ්රිත නිෂ්පාදන වන්නේ නැවුම් තල් අල, වියලි තල් අල, වියලි තල් අල පිටි, තැම්බු තල් අල පිටි, පාම් පෝෂ, බිස්කට් සහ කේක් වර්ගයි.
තල්කොළ ආශ්රිත නිෂ්පාදන වන්නේ, සාම්ප්‍රදායික අත්කම් භාණ්ඩ, ගෙතූ කූඩ, වියන ලද පුටු, ඇසුරුම් මලු, තොප්පි පැදුරු, ඉරටු නිෂ්පාදන, කොසු, දත් සාරන කූරු, කෑම කූරු, මල් පෝච්චි, විසිතුරු භාණ්ඩ, බිත්ති සැරසිලි, ගමන්මලු, ගෙතූ පෙට්ටි, මු`ඵතැන්ගේ උපකරණ වැනි දේ ය. තදකෙඳි, බරවැඩ බුරුසු, මධ්‍යම කෙඳි, පවිත්රාතා හා ගෘහමය බුරුසු, මෘදු කෙඳි, නූල් කෙඳි හා අත්කම් භාණ්ඩ කෙඳි ආශ්රිත නිශ්පාදන ලෙස ප්‍රචලිතය. ඉදි කිරීමේ කාර්ය අධාරක, ගෘහ භාණ්ඩ, තුනී ලෑලි හා දර, දැව ආශ්රිත නිෂ්පාදන වන්නේ ය.
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ යාපන නගරයේ. ඊට කලාපිය කාර්යාල 9ක් හා අලෙවි සැල් 14ක්, නිෂ්පාදන මධ්‍යස්ථාන 14ක්, පර්යේෂණ මධ්‍යස්ථානයක්, තල් අරක්කු නිෂ්පාදනාගාරයක් හා තල් ආදර්ශ ගොවිපළ 11ක් ඇතුළත්ය. තල් සංවර්ධන මණ්ඩලය, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට අයත්ය. ආයතනයේ දැක්ම ලෙස ‘ජීවනෝපාය සංවර්ධනය කිරිම සඳහා ජවයෙන් යුතු ක්ෂේත්රයක් වශයෙන් තල් අංශය සංවර්ධනය කිරිම’ අරමුණු කරගෙන ඇත. ‘දේශයේ දළ දේශීය නිෂ්පාදනය වෙත සුවිශේෂී දායකයෙකු වනු පිණිස තිරසාර තල් කර්මාන්තය සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීම ජනප්‍රිය කරවීම හා නියාමනය කිරිම එහි ‘මෙහෙවර’ යි.
තල් මලෙන් ඩොලර් පෙරීම
තල් රා මදින උතුරේ කුරාකුහුඹු මිනිසුන්ගේ අතිශය දුෂ්කර ව්‍යායාමයෙන් රටට ඩොලර් ගෙන ඒමට හැකියාව ඇති බව ඔප්පු කරනු ලැබුවේ 2022 වසරේය. එම වසරේ දෙසැම්බර් 10 දින තල් සංවර්ධන මණ්ඩලය ප්‍රකාශයට පත් කර සිටියේ මෙරටින් තල් රා බෝතල් 25,000ක් අඩංගු බහාලුමක් ප්‍රංශයට අපනයනය කළ බවයි. එකී අපනයනයෙන් ඩොලර් 45,000ක පමණ මුදලක් උපයා ගැනීමට හැකි වූ බවද සඳහන්ය. එලෙස තල් රා අපනයනය කරනු ලැබුවේ ඉතිහාසයේ මුල් වරට වීමද විශේෂත්වයකි. උතුරු ප්‍රදේශයේ තල් රා සමිති හරහා මෙම රා එකතු කරගෙන තිබුණි. මෙකී අපනයනයක් සමඟ ඇමරිකාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය ඇතු`ඵ ලොව ප්රමුඛ පෙළේ රටවල් 10කට පමණ තල් රා අපනයනය ආරම්භ කෙරිණි. තල් රා මදින්නන් විසින් මෙරට ආර්ථිකයට එකතු කළ මේ ශක්තිය අතිවිශිෂ්ට ක්රියාදාමයකි.
උතුරු නැගෙනහිර දැව අවශ්‍යතාවයෙන් 80%ක් පිරිමැසෙනුයේ තල් ගසෙනි. තල් සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව මේ සඳහා වර්ෂයකට පරිණත ගස් 20,000ක් පමණ කපා දමනු ලැබේ. අදාළ දැව සැපයුම මඟින් දළ දේශීය නිෂ්පාදිතයට වාර්ෂිකව රුපියල් මිලියන එකසිය හතළිහක (140) පමණ දායකත්වයක් සැපයේ. තල් ආශ්රිත නිෂ්පාදන දේශීය වෙළඳපොළේ විකිණීම හරහා වාර්ෂිකව රුපියල් මිලියන දහයකට වැඩි මුදලක් තල් සංවර්ධන මණ්ඩලයට ලැබේ. තල් ආශ්රිත නිෂ්පාදන වඩා විධිමත් කිරීම වෙනුවෙන් සිංගානගර් කඩ්ඩුකරාන් කුඩිරුපු, තාරාවන් කෝඩෙයි, පඩප්පිඩ්ඩි යන ප්‍රදේශවල හකුරු නිෂ්පාදන මධ්‍යස්ථානත් සරාසාලී, සෙල්වෙරි, කල්පිටිය කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානත් සිංගානගර්, ඩෙලෆ්ට්, කව්දරිමුනෙයි, පඩප්පිඩ්ඩි, වෙරෝදය නගර්, මුකුතුවේරම්, කල්පිටිය ‘මද’ නිෂ්පාදන මධ්‍යස්ථානත්, යාපනය, බම්බලපිටිය ආහාර හා සිසිල්බිම නිෂ්පාදන මධ්‍යස්ථානත් පිහිටුවා තිබේ. මීට අමතරව තල් සංවර්ධන මණ්ඩලය යටතේ පවතින තික්කම් ස්කාගාරයද ක්‍රියාත්මක වේ. අතිරික්ත රා තොග මඟින් ගුණාත්මක මධ්‍යසාර හා වෙනත් නිෂ්පාදන නිපදවීම සඳහා තික්කම් ස්කාගාරය ස්ථාපිත කරනු ලැබුවේ 1984 වර්ෂයේ දීය.
තල් සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික ව්‍යාප්ති වැඩසටහන් යටතේ අත්කම් භාණ්ඩ සෑදීමේ පුහුණුව, ආහාර පිරිසැකසුම් පුහුණුව, කෙඳි නිෂ්පාදන පුහුණුව, දිස්ත්‍රික් එකොළහක වාර්ෂිකව ක්‍රියාත්මක කෙරේ.
මලට කලින් තැළෙන ජීවිත
තල් කර්මාන්තය කෙතරම් දැවැන්ත කර්මාන්තයක්ද යන්න ඉහත දත්තවලින් පැහැදිලි වන අතර, ඒ දැවැන්ත ආර්ථික ක්‍රියාවලිය පදනම් වන්නේ, තල් මල් කැපීමට දිනපතා දහ දාළාස් වතාවක් ජීවිතය පරදුවට තබන ‘කුරා කුහඹු මිනිසුන්’ මතය.
තල් රා මදින්නන්ගේ සමූපකාර සමිති නියෝජිතයින් පැවසුවේ 2017 වසරෙන් පසුව තල් රා මැදීම සඳහා තිබූ නිදහස සීමා වූ බවයි. ඒ අනුව දැන් තල් රා මැදීම සඳහා බලපත්‍ර අනිවාර්ය කර තිබේ. රා මදින සෑම ගසක්ම අංක පැලඳ සිටින්නේ මේ නිසාය.
ග්‍රාම නිලධාරින්ගේ රේකමදුරුව ඇතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා අයදුම්පත් පුරවා තල් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතුය. ඒවා කිරීමට සාක්ෂරතාවයක් නැති ඇතමෙක් තල් රා මැදීම පසෙක තබා කුලියක් මලියක් කරගෙන ජීවත්වීමට පුරදු වූහ. දශක ගණනාවක් පුරා පැවති යුද්ධය නිසා ලියන්නට කියන්නට ඉගෙන ගැනීමට වඩා ජීවිතය රැක ගැනීමට වෙහෙසණු මේ මිනිසුන් ගැන තල් සංවර්ධන මණ්ඩලය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව සාධාරණව කටයුතු කර නැත. රාවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ලබා ගන්නා රා සාම්පල්වල වාර්තා ලැබෙන්නේ අදාළ රා මැදීමේ මුරය අවසන් වීමෙනුත් පසුවය. උදාසීන රාජ්‍ය ආයතන හා නිලධාරීන් නිසා රා මදින්නන්ට වඩා මෙරට ආර්ථිකයට සිදු වන පාඩුව ගණනය කරන්නේ කවුරුන්ද?
පවුල් 18,000ක් අවුල් කිරීම
නියාමනයේදී දැඩි නීති රීති පැනවිම ප්‍රශ්න පත්රවලට පිළිතුරු සැපයීම රා මදින්නන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන වැනිය. කිතුල් හැර පොල් හා තල් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතු බවට නිකුත් කළ, 2017 ඔක්තෝබර් 20 දිනැති ගැසට් නිවේදනය උතුරු ප්‍රදේශයේ තල් රා මදින්නන් 18,000කගේ පවුල් ජීවිත අවුල් කරන්නක් බවට එවකට ඇමතිවරයෙකු වූ ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කර තිබිණි. 2020.10.09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මුදල් අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරුවලින්, තල් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතු බවට 2017 වසරේ කරන ලද නියාමනයේ ප්‍රතිඵලය පැහැදිලි පෙන්වා දුනි. ඒ අනුව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ 2019.12.31 දිනට බලපත්‍ර ලබා ගත් රා මදින්නන්ගේ සංඛ්‍යාව 3,024ක් බවයි. රා නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාගත් ආයතන සංඛ්‍යාව 32ක් බවද එහිදී හෙළි කෙරිණි.
නිෂ්පාදිත තල් රා බෝතලයක වත්මන් මිල රුපියල් 150කි. ඉන් රුපියල් 31ක් සුරා බද්දයි. ඊට අමතරව මදින තල් ගසක් වෙනුවෙන් රුපියල් 10ක මුදලක් වෙනම අය කෙරේ.
කුලයේ කුළු ගෙඩියෙන් තැළීම
තල් රා මදින්නන් යනු සමාජ වරප්‍රසාද අහිමි, ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවකි. යුද්ධයේදී මෙන්ම සුනාමි ව්යවසනයේදීද අපමණ පීඩා විඳි ඔවුහු නිරන්තරයෙන්ම රැකියාව නිසා පීඩාවට ලක් වෙති.
තල් සංවර්ධන මණ්ඩලයේ 2014 වාර්ෂික වාර්තාවේ තල් රා මැදීමේ කර්මාන්තය පසුබෑමකට ලක්ව ඇති හේතු කාරණා දක්වා තිබේ. වෙනත් කාරණා යටතේ දක්වා ඇති කරුණු 13න් මූලිකම කාරණාව ලෙස දක්වා ඇත්තේ ‘කුල ක්රමයේ බලපෑම ඉහළ ජීවිත අවදානම හා මැදීමේහි ඇති වෙහෙස කර ක්‍රියාවලිය හේතුවෙන් පුහුණු ශ්‍රමිකයින් අඩු වීම මඟින් තල් සම්පත් සැපයුම සීමා වී ඇති බව’යි. බැලූ බැල්මට නොපෙනෙන මේ කුලවාදය අදත් දහයියා කඳු යට ගිනි අඟුරු මෙන් පැතිරී තිබේ.
කුලය සම්බන්ධයෙන් කිසිවෙකු අදහසක් පළ නොකරන්නේ ඉන් තමන්ට අත්විය හැකි ඉරණම සම්බන්ධයෙන් ඔවුන් දන්නා නිසායි. මේ නිසා බොහෝ තල් රා මදින්නන් ඡායාරූප ගැනීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. මෙහි කිසිවකුගේ මුහුණු නැත්තේ ඒ නිසාය. ඔවුන්ගේ මුහුණ පුවත්පතක පළවීම පවා ප්‍රතික්ෂේප කරන්නේ කවර හේතුවක් නිසාද?
කුල බේදයේ කළු පැල්ලම්
කුලවතුන්ගේ කෝවිල්, සුසානභූමි ළිං හෝ නාන තොටුපළ, අවාහ විවාහ කිසිවක් පහත් කුලවල අයට ලැබෙන්නේ නැත. අදත් එවැනි සුසාන භූමි යාපනයේ තිබේ. ලංකාවේ කුල බයිබලය ලෙස සැලකිය හැකි බ්‍රයිස් රයන් ^Bryce Rayan& ගේ Caste in Modern Ceylon නමැති ග්‍රන්ථයේ ඔහු කියා තිබෙන්නේ, දහවැනි සියවසේ අවසානයේ පටන් 1952 දක්වා ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව විවිධ කුල අතර බවයි. (2017.04.27 රාවය- වික්ටර් අයිවන්) 1920 දශකයේ දෙවතාවක් ලන්ඩන් නුවර ගොස් ලංකාවේ කුල ක්‍රමය නීතිගත කිරීමට ඉල්ලීම් කර ඇත්තේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. ද්‍රවිඩ ජාතික ශාන්තුවරයෙකු හා විරයෙකු ලෙස සලකන ආරුමුග නාවලර් (1822 - 1879) ගුරුවරයෙකු ලෙස සේවය කළ යාපනය මහා විද්‍යාලයේ ගුරු සේවයෙන් ඉල්ලා අස් වූයේ එවකට විදුහල්පතිව සිටි පීටර් පර්සිවල් පහත් කුල දරුවන් එම විද්‍යාලයට ඇතුළත් කර ගැනිමට ගත් තීරණය නිසාය. (විජේදාස රාජපක්ෂ 2018.04.08 ඉරිදා දිවයින) යාපනයේ කුල භේදය කොතෙක් බරපතළද යන්න ආචාර්ය සෙබස්තියන් රාජලිංගම් මහතා පළ කළ ලිපියක දැක්වේ. එහි දක්වා තිබෙන්නේ ගුරු සේවයෙන් ඉල්ලා අස් වූ ආරුමුග නාවලර් ඊට වසර තිහකට පසුව යාපනයේ ඇති වූ නියං සාය වකවනුවේ වෙල්ලාල කුලයේ මිනිසුන්ට පමණක් ආහාර බෙදා දීමේ ප්‍රබල ව්‍යාපාතියක් පවත්වාගෙන ගිය බවයි.
ඔවුන්ගේ නිදහස තව දුරද?
නිදහසින් පසුව වසර 75ක් ගත වුවත්, මේ ජනතාව තවමත් පැරණි වැඩවසම් විය ගසින් මිදී නැත. නලවාර් හෙවත් තල්රා මදින්නන්ගේ ජීවිතයම යුද්ධයකි. කුලවතුන් ඔවුන් සමඟ සමඅසුන් ගන්නේ නැත. අවාහ විවාහ නැත. සොහොන්බිම පවා තවමත් ඇත්තේ වෙනමයි. කුලවතුන්ගේ ඉඩම්වල ළිංවල ජලය පිරි තිබුණත් කිලෝ මීටර් හයක් හතක් දුරින් ඇති උල්පතකින් ජලය සපයා ගන්නා රා මදින්නෝ මනිපායිහි ජීවත් වෙති. කුලවතුන් කිසිසේත් ඔවුන්ගේ දූ පුතුන්ට එක්ව ක්‍රීඩා කිරීමටවත් ඉඩ දෙන්නේ නැත. අරක්කු බීමට ඇති තැබෑරුම්වලට කුලවතුන් යන්නේ නම් ඔවුන්ගේ මේසයේ අතිරේක පුටු, පවා ඉවත් කිරිමට ඔවුහු කටයුතු කරති. කුලවතුන් නලවාර් ජන කොටස ඔවුන්ගේ යටත් වැඩ කරන පිරිසක් ලෙස තබා ගැනීමට කැමති වුවත් ඔවුන්ට සමාජ වරප්‍රසාද හිමි වීමට නම් කිසිසේත්ම ඉඩ නොදේ. තල් රා නිෂ්පාදන සමූපකාර සමිතිය හැර වෙනත් සමිති නියෝජනය කිරීමට ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැත. රටට ඩොලර් ගෙනෙන ක්‍රියාන්විතයේ මිනිසුන් සිය ජීවිත වියමන ගොතා ගන්නේ මෙවැනි ශුෂ්ක පසුබිමක නම්, එය සමාජ ගැටලුවක් පමණක් නොව සංවර්ධනය පිළිබඳ ගැටලුවක් ලෙසද සලකා විසඳුම් සෙවිය යුතු නොවේද?
සටහන සහ ඡායාරූප -
දයා නෙත්තසිංහ
උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටර්නිව්ස් ආයතනය

කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටුවේවි..!
ඔබ ගොඩක් පරිභව කරනවා කියන්නේ ඔබ ගොඩක් ආදරෙන් ඉඳල තියනවා කියන එක....
කිසිම න්‍යායක් පාවිච්චි කරන්නේ නැතුව ''ලිබරල්'' කියන එක තේරුම්ගන්න උනොත් මම ඒක ජීර්ණය කරගන්නේ මේ වගේ ජීවන උදාහරණයක් එක්ක. මොකද දැන් වමේ අය පොඩි ලිබරල් කෑල්ලකුත් එල්ලගෙන දේශපාලනය කරමින් ඉන්න නිසා.
අවුරුදු ගණනක් ජීවත් වෙලා යම් වෙලාවක දෙන්නෙකුට වෙන්වෙලා යන්න හිතෙනවා කියන්න. මොකද වෙන්වීමකදී තමයි මේ අධිකාරී බව, බලය, පුරුෂත්වය, ගහල දමන එක වගේ දේවල් එළියට එන්නේ. ඉවසීම, ඉඩදීම සහ සමුදීම කියන එක උරගා බැලෙන්නේ. විශේෂයෙන් ඇත්ත ආදරය උරගා බැලෙන්නේ.
අවුරුදු ගණනක් එකට ජීවත් වෙනකොට විශ්වාසය සහ තවත් කරුණු මත දෙන්නෙක් (හෝ කිහිප දෙනෙක්) අතරේ හුවමාරු වෙන ගොඩක් දේවල් තියනවා. දරුවෝ, දේපළ, මුදල්, යාන වාහන වගේ භෞතික දේවල් වගේම හැඟීම් එක්ක හුවමාරු වෙච්ච දේවලුත් ගොඩක් තියෙන්න පුළුවන්. ඒවායින් වෙන්වීම දුෂ්කරයි වගේම වේදනාත්මකයි. ඒ වේදනාව නිසාම ප්රචණ්ඩ වෙන්නත් පුළුවන්. ඔය හොලිවුඩ් නළු නිළියෝ උනත් කොච්චර මොඩ් ලයිෆ් ස්ටයිල්ස් තිබ්බත් මේ වෙන්වෙන තැනදී ගහ මරා ගන්නේ පරණ විදියටම තමයි. ඒක තේරුම්ගන්න පුළුවන්.
හැබැයි දේශපාලනය ඇතුලේ එක තැනක යම් කාලයක් ඉඳල එතනින් වෙන් වෙලා යන්න උණොත් ලංකාවේ වමේ හෝ වාම ප්රජාතන්ත්රවාදී (left liberals) කියන කොටස්වල ක්‍රියාකාරීන් නම් කෙළින්ම ත්රස්තවාදයක් වෙත ගමන් කරනවා. අඩෝ, මූ, පරය, බල්ල, පාදඩ, කාලකන්නි, මුගේ අම්මට, ගූ කෑලි, සක්කිලි වගේ යෙදුම් එක්ක තමයි සමු දුන්නත් දෙන්නේ.
ඒවා කාගෙන යන්න බැරිනම් ඒ කසාදේ එල්ලිලා ඉන්නම වෙනවා. ලංකාවේ කසාද පවතින්නේ මෙන්න මේ සමාජ අපවාදයට බයේ මිසක් ඇත්ත උවමනාව ඇතුලේ නෙවෙයි. වම සහ ලංකාවේ කසාදය කියන මේ දෙකම පවතින්නේ එකම තර්කයක් ඇතුළේ. දෙකම දේශපාලනිකයි. දෙකම ගෝත්‍රිකයි.
පරිභවවලින් කියවෙන්නේ යම් තර්ජනයක්. ''හොඳයි පලයන්. හැබැයි ආයේ කොහෙවත් යන්න බැරිවෙන්න තොගේ කාඩ් කුඩුකරලා තමයි අපි උඹව යවන්නේ''.
මේක පරණ අර්ථයෙන් පිතෘමූලික පවුලක අවිඥාණය වැඩකරන එක විදියක්. මේක ලිබරල් වෙන්නේ කොයි අර්ථයෙන්ද කියන්න මම දන්නේ නැහැ. ලංකාවේ වෙන්වීම්වල මම දන්නා නරකම උදාහරණය X එකේ වෙන්වීම.
මින් කියවෙන්නේ මිනිස්සුන්ට 'දේශපාලන නිරවද්‍ය බව' ඇතුලේ විතරක් කතාකරන්න අයිතිය තියනවා කියන එක නෙවෙයි.
හැබැයි එකක් තියනවා. ඔබ ගොඩක් යමෙකුට පරිභව කරනවා කියන්නේ ඔබ ඒ කෙනාට ගොඩක් ආදරය කරලා තියනවා කියන එක (One measure of true love is you can insult the other).
අනූව දශකයේ නාමල් උඩුගම මෙහෙම ගයනා කළා.
''කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටුවේවි....''
@ Johnny Depp and Amber Heard
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

අපි දන්නේ නැහැ අපි හිනාවෙනව ද අඬනවා ද කියල චින්තා...!
නටාෂාගේ විහිළු වලට නිදහස් අවස්ථාවක් දීම ගැන කතා නොකිරීම සහ එයට පක්ෂව මම වගේ පිරිත් වෙනුවට 'බටහිර රොක් අහන එකෙක්' විසින් අදහස් පළ නොකිරීම ගැන චින්තන ධර්මදාස පරල වෙලා. මේ සත දෙක ඒ වෙනුවෙන්.
නටාෂා උදාහරණය කියන්නේ මට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දීමේ කුලකය ඇතුළට ගන්න නම් එයා ප්‍රකාශ කලේ මොනවගේ අදහසක් ද කියන එකත් එක්ක අර්ථකථනය කරගන්න ඕනි. මොකද අපි මේ ඉන්නේ ''කියන දේ එක්ක පත්තු වෙන'' සහ ඒ පත්තු වීම එක්ක විශාල දේශපාලන පරිවර්තන සිද්ද වෙන්න පුළුවන් අතිශය අනතුරුදායක තැනක.
ඕනෑම අදහසක් කියාපෑම වෙනුවෙන් නිදහසක් දෙන්න ඕනි කියන උත්කර්ෂවත් අදහස වෙනුවෙන් පරමාදර්ශී තැනක ඉඳල කතාකරන්න පුළුවන් උනාට ඇත්ත මහපොළොවේ යථාර්තය විසින් මම අහන්නේ පිරිත් ද රොක් ද කියල තීරණය වෙනවා නම් මම මගේ ආශාව පැත්තෙන් සාවධාන වෙන්න ඕනි. නැත්නම් මේ අහන රොක් ටිකවත් මට අහන්නේ වෙන්නේ නැහැ කියන එක මට ෂුවර් චින්තා....
නටාෂා අදහසක් ප්‍රකාශ කිරීම වෙනුවට ටොක්සික් විහිළුවක් (toxic joke) තමයි කරලා තියෙන්නේ. දැන් චින්තාට කියන්න පුළුවන් ටෝක්සික් විහිලු උනත් කරන්න පුළුවන් කියල. ඔව්...ඉතාම පුළුල් නිදහස් ව්‍යුහයක් ඇතුලේ එහෙම කරන්න පුළුවන් තමයි. හැබැයි නටෂා මේ සියලු ටොක්සික් වැඩ කරන්නේ ලංකාවේ ඉතාම දුක්ඛිත තත්වයන් එක්ක ඉන්න ජනතාවක් එක්ක. ඒත් ඕනිනම් කියන්න පුළුවන් නිරපේක්ෂ නිදහසක් උනත් ඕනි කියල.
විශේෂයෙන් පොතක් පතක් බලනවා කලා කෘතියක් රස විඳිනවා වෙනුවට තුට්ටු දෙකක් හොයාගන්න දහදුක් විඳින මිනිස්සු ඉන්න සන්දර්භයක. කන්න බොන්න තියන වෙලාවේ බත් එක අත උඩ තියාන ටෙලි නාට්‍ය බලන මිනිස්සු ඉන්න වෙලාවක.
නටෂා බුදුන්ව සමච්චල් කරන්නේ හසලක තුෂාර කලිසම ගලවන් හිටියා උනත් මිනිස්සුන්ට හිනා නොයන වෙලාවක. ඒකත් තුට්ටු දෙකක් හොයාගන්න.
ටොක්සික් විහිළු කරලවත් මිනිස්සුන්ට හිනා යන්නේ නැහැ චින්තා. මොකද අපි ඉන්නේ ඒතරම් වේදනාවක (pain). විගලිත බවක. මේ යුගයේ අඩුම තරමින් ටින් හිනාවක්වත් යන්නේ නැහැ. ලකයි සිකයි කියනවා එයාල හිනා උනාද නැද්ද කියල එයාල දන්නෙත් නැහැ කියල. ඔන්න හදාරනවා නම් රෝග ලක්ෂණය.
හිනා උනාද කියල කියන්නවත් උන් පැවතිලා නැහැ. මේ මාරාන්තික ජෝක් එක්කම හිනාවත් අප්ලෝඩ් කරන්න වෙලා තියන යුගයක අපි ඔක්කොම ජීවත් වෙන්නේ. ඔයා හිතනවට වඩා මේ යුගය මාරාන්තිකයි චින්තා.
සාජන් නල්ලතම්බි බලල අපි හිනාවුණා බං. කිති කවාගන්න ඕනි උනේ නැහැ. ඒත් සාජන් නල්ලතම්බි මැරුණා. මේක එහෙම රටක්.
නටෂා මේ මාරාන්තික බව නොදන්නවා වෙන්න බැහැ විප්ලව දෙකක්, තිස් අවුරුදු යුද්දයක් සහ අරගලයක් එක්ක ලෙයින් තෙත් වෙච්ච මේ පොළව ගැන නටෂා නොදන්නා බබෙක් වෙන්න බැහැ. හැබැයි අපේ විගලිත බව කොච්චර විශාලද කියනවා මරණය අපිට පෙන්නේ නැහැ කියල ෆ්රෙඩ්රික් ජේම්සන් නම් කියනවා.
ආයේ මේ ගැන කියන්නේ නැහැ මචං...අපි අපේ පාරවල් වල යමු. එහෙම යනකොට මොනවා හරි දෙයක් හම්බ වෙන්නේ නැතෑ..
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

ඔබ මාධ්‍යවේදියෙක් නම් ඔබ මාධ්‍යවේදියෙක් යැයි කියන්නේ ඇයි?
ඊයේ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගන්න වීඩියෝව දැක්ක. ඒ වීඩියෝවේ හැටියට තරිඳුට හැමවෙලේම පොලිසියට කියන්න සිද්දවෙනවා ''ඒයි මම මාධ්‍යවේදියෙක්'' (මම මීඩියා) කියල. ඉතින් අර ෆ්‍රොයිඩ් අහනවා වගේ ඔබ ලක්සම්බර්ග් වලට යනවා නම් ඉතිං ඔබ ලක්සම්බර්ග් වලට යනවා කියල කියන්න වෙන්නේ ඇයි?
ඒ කියන්නේ තරිඳු ඇත්තටම මාධ්‍යවේදියෙක් නම් ඔහුට ''මම මාධ්‍යවේදියෙක් කියල'' පරසක්වල ගහල කියන්න සිද්ද වෙන්නේ ඇයි?
පසුගිය මාස දෙක දිහා විතරක් බැලුවොත් තරිඳු උඩුවරගෙදරගේ ''මාධ්‍ය හැසිරීම'' (media behavior) ඇතුලේ ඔහුව අත්අඩංගුවට පත්වෙනවා කියන එක චුටි බබෙකුට උනත් තේරෙන දෙයක්. ඔහුටම උනත් ඒක නොතේරෙන්න හැටියක් නැහැ. මේ විදියට හැප්පෙන ආකාරයේ මුණගැසීමක් (confrontational) අවසානයේ අත්අඩංගුවට පත්විමකින් අවසන් වෙන්න පුළුවන් කියන එක.
ඒ නිසා තරිඳුගේ මාධ්‍ය හැසිරීම ඇතුලේ මට පොඩි අධියථාර්තවාදී බවක් (hyperreal) - අධික්රියාකාරීබවක් (hyperactive) පේන්න තියනවා. එහෙම කියන්නේ ඔහුට එදිරිවවත්, එහෙම කරන්න ඔහුට තියන අයිතියට එරෙහිවවත් නෙවෙයි. මට පේන හැටියට.
ඒ කියන්නේ මනුස්සයෙක් හැටියට එහෙම හැප්පෙන ආකාරයේ දේශපාලනයක් (confrontational politics) කරන්න ඔහුට අයිතිය තියනවා. ඒක දේශපාලනික තෝරා ගැනීමක්. ඒකෙ ගැටළුවක් නැහැ.
හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් නැත්නම් සාමාන්‍ය මාධ්‍යවේදියෙක් ගන්න. ඒ වගේ කෙනෙක් හිතන්නේ කොහොමද?
ඔන්න යම් ජනතා විරෝධයක් එක්ක යම් මාධ්‍යවේදියෙක්ට පොලීසිය එක්ක හැපෙන්න වෙනවා. දවසක් හැපෙනවා. දෙකක් හැපෙනවා. එතකොට එයාට තේරෙන්න ඕනි මෙතනින් එහාට මම මේ විදියටම ගියොත් ''යම් දෙයක්'' වෙන්නත් පුළුවන් කියල. එහෙම හිතල පොඩ්ඩක් වෙනස් විදියට වැඩකරන්න හෝ පොඩි බ්රේක් එකකට යන්න පුළුවන් අර සිද්දිය පොඩ්ඩක් අකා මකා යනකල්. සාමාන්‍යයෙන් යාළු මිත්‍රයෝ වුනත්, පවුලේ අය උණත් මේක කියනවා. ''ඒයි පොඩ්ඩක් පරිස්සම් වෙයං බං'' කියල. ඒක තමයි සාමාන්‍ය තත්වය.
ඒ කියන්නේ මාධ්‍යවේදියෙක් හැටියට තමන් කරමින් ඉන්නේ පට්ට සීරියස් වැඩක් නම් ඒ වගේ කෙනෙක් අත්අඩංගුවට වගේ පත්වෙනවා වෙනුවට බලන්නේ මේ දේශපාලන ක්‍රියාකාරී බවෙන් පොඩ්ඩක් පහුබැහැල වැඩේට කාලය යොදන්න. තමන් වාර්තා කරමින් ඉන්න ''සත්‍යය'' සමාජය පැත්තෙන් වැදගත් නිසා තමයි එහෙම පසු බහින්නේ. නැත්නම් බය නිසාම නෙවෙයි. Spotlight (2015) ෆිල්ම් එකේ මාධ්‍යවේදියෝ ටිකක් තරමක් යටිබිම් ගතව වැඩ කරන්නේ බොස්ටන් කාදිනල්ට බය නිසා නෙවෙයි. තමන් කරමින් ඉන්න වැඩේ ඒ හැප්පෙන එකට වඩා වැදගත් වාර්තාකරණයක් නිසා. නැත්නම් වැඩේ අවුල් වෙන නිසා.
කෙවින් කාටර් කියන චායාරූප ශිල්පියා ගත්ත 'බඩගිණි දරුවා සහ ගිජු ලිහිණියා' (The Vulture and the Starving Child) චායාරූපය ලෝකේ හැම රටකට පත්තර මුල්පිටුවල ගියා. බඩගින්නට එරෙහි සමාජ ව්‍යපාරයක් ලෝකේ ඇති වුණා. ඒත් කෙවින් සද්ද නැතුව ඉඳල සියදිවි නසාගත්ත. ඒ කියන්නේ කෙවින් කරපු වැඩේ කෙවින්ට වඩා ලොකුයි.
ලෝකේ ඇත්තටම දැවැන්ත වැඩ කරපු මාධ්‍යවේදියෝ කළේ සත්‍යය කියන එක ඒ විදියටම ලෝකයට පෙන්නන එක මිසක් ඊට වඩා දෙයක් නෙවෙයි. එයාල ඒ නිසා ගොඩක් දැඟලුවෙත් නැහැ. එයාල පෙන්නුව සත්‍යය එයාලටත් වඩා ගොඩක් දැවැන්ත වෙච්ච නිසා එයාලට ලොකුවට දඟලන්න, අධික්රියාකාරී වෙන්න අවශ්‍ය උණෙත් නැහැ. මොකද වැඩේ බර වැඩියි.
ඒ නිසා මට හිතෙන්නේ තරිඳුට ඇත්තටම ලක්සම්බර්ග් වලට යන්න ඕනි නැතුව ඇති...
@Kevin Carter
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!
මියා කලීෆාට වඩා හොදට ප්‍රෆෝම් (perform) කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා (industry). හැබැයි ඔක්ස්ෆඩ් චාන්ස් එක එන්නේ මියාට. සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහපු උන් ක්‍රීඩාවේ ඉන්නවා ඒත් ඔක්ස්ෆඩ් ''කතා චාන්ස් එක'' එන්නේ සංගාට.
මියාට චාන්ස් එක එන්නේ පෝන් නිසාම නෙවෙයි. ඒ වගේම සංගාට චාන්ස් එක එන්නෙත් ක්‍රිකට් ගැහුව නිසාම නෙවෙයි. එයාල ඔක්ස්ෆඩ් බලන නිර්ණායකවලට සෙට්වෙන නිසා.
මම හිතන්නේ ඔක්ස්ෆඩ් නිර්ණායක සකස් වෙන්නේ එයා පෝන් නිසාවත් මෙයා ක්‍රිකට් නිසාවත් නෙවෙයි. ඊට වඩා වෙනස් දේවල් ටිකක් නිසා ඔක්ස්ෆඩ් උත්තේජනය වෙන නිසා. නැත්නම් එයාල බලන මොනවදෝ වටිනාකම් ප්‍රමාණයක් මෙයාල දරන්ඉන්න නිසා.
දැන් මියා ඉන්ඩස්ට්‍රි එකේ නැතුවා විතරක් නෙවෙයි ඒ ඉන්ඩස්ට්‍රි එකේ තියන භයානකකම එයා පෙන්නලා දෙමින් ඉන්නවා. හැබැයි එයා ජනප්‍රිය වෙන්නෙම ඒ නරකයි කියන නිෂ්පාදන මොඩලය ඇතුලේ.
දැන් මියා ඒ නරක නිෂ්පාදන මොඩලයට සමුදීල, ඒකේ නරක පෙන්නලා දීල, පවුලක් පන්සලක් වෙලා, අනික් අයට මෙන්න මේ වගේ වෙන්න කියල ''හොඳ ළමයෙක්'' හැටියට දැනමුතුකම් දිදී ලෝකෙ වටේ යනවා. හැබැයි මේ ''නරාවලට'' වැටුණු තව සිය දහස් ගණනක් කොල්ලෝ කෙල්ලෝ ඒකට බනින්නේ නැතුව දිගටම වැඩේ කරන් යනවා. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එක දැනගන්න ඕනි නම් එයාලට කතා කරානම් හරි.
දැන් අර අරවින්ද වගේ අය තමන්ගේ විදියට ක්‍රිකට් ගහල පැත්තකට වෙලා ඉන්නවා මිසක් ලෝකෙට උපදෙස් දෙන මහදැනමුත්තෝ වෙන්න ගියේ නැහැ. අරවින්ද හොඳ ළමයෙකුත් නෙවෙයි. ඒ නිසා අනික් අයට වැඩිය උපදෙස් දෙන්න යන්නත් බැහැ.
නමුත් සංගා කියන්නේ ඔක්ස්ෆඩ් වලට ''හොඳ ළමයෙක්''. මහත්මයෙක්. මිනිස්සු යහමඟ ගන්න උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක්. දෙවියෝ එක්කත් සම්බන්දයි.
අපි හිතුවට ඔක්ස්ෆඩ් රැඩිකල් කියල එයාල ඇත්තටම යක්ෂයා එක්ක ඉන්න අයට ආරාධනා කරන්නේ නැහැ. එයාල ආරාධනා කරන්නේ දෙවියන් පැත්තට හැරුණ අයට. නැත්නම් හැරෙන්න ඉන්න අයට. වික්ටෝරියන් වටිනාකම්, පවුල, රාජ්‍යය පැත්තට හැරුණ අයට. කොටින් කිව්වොත් හොඳ ළමයින්ට.
අපි උන්ට කවි ලියන්න හදිස්සි උනාට මට නම් හිතෙන්නේ ඔක්ස්ෆඩ් තවම අවිඥාණිකව 'හොඳ ළමයින්' හොයනවා කියලා. ඒ නිසා තවම වික්ටෝරියන් කියල. සමහර විට මම වැරදි ඇති.
ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න, තමන් කරන දේ ගැන වැරදිකාරි හැඟීමක් නැති, ඒකට බනින්නේ නැති කෙල්ලන්ට කොල්ලන්ට මගේ මෙව්වා එක.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

ඉන්දියාවෙන් ‘බැක් ඩේට්’ කර ලැබුණු රනිල්ගේ ‘මැන්ඩේට්’ එක !
රට පාලනය කරන්න වැදගත් වන්නේ කයිවාරුව හෝ බොරු පුරාජේරුව නොවේය. දැනුම, බුද්ධිය සහ දැක්මක් තිබීමය. ඒවා කැටි කළ වැඩපිළිවෙළක් තිබීමය. වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟීමට හැකියාවක් තිබීමය. පරිපාලන හැකියාව සහ කළමනාකරණ හැකියාව එහිදී සුවිශේෂීය. එසේම රාජ්‍ය තාන්ත්රිකභාවයත් පළපුරුද්දත් අවශ්‍යමය. ජනපති රනිල් පාලන බලය ගත් මොහොතේ විපක්ෂයේ නරි උඩ බිරුවේ ඔහුට “මැන්ඩේට් එකක්” නැති නම් ජනතා වරමක් නැති බව කියමින්ය. නමුත්, ජනපති රනිල් වික්‍රමසිංහගේ පදවි ප්රාප්ත්තියට වසරක් පිරෙන තැන, රට ඇත්තේ වසරකට පෙර තිබූ තැන නොවේය. මෑත ඉතිහාසයේ මෙරට රාජ්‍ය නායකයකු සිදු කළ දුෂ්කර සහ අභියෝගාත්මක නිල සංචාරය ලෙස ජනපති රනිල් වික්‍රමසිංහගේ ඓතිහාසික ඉන්දියානු නිල සංචාරය කා අතරත් කතාබහට ලක්ව ඇත.
ඒ, අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාවේ සහය ඉල්ලීමට සාපේක්ෂව සුළු ජාතීන් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ද ඉන්දියාවට සැපයීමට තිබූ නිසාය. එහිදී පිච්චියට හිඳුණු රටක් ලෙස රාජ්‍යතාන්ත්‍රික කේවල් කිරීමක් කරන්න හෝ දෙයක් මෙරටට තිබුණේ නැත. එහෙම පසුබිමක ඉන්දියාවේ සංචාරය කිරීම අතිශයම අභියෝගාත්මකය. නමුත්, ජනාධිපති රනිල් සතුව ඒ සඳහා ද බලගතු අවියක් තිබිණ. ඒ මෙරට ජාතික ගැටලුවට අදාළ ඔහුගේ දැක්ම, ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළය.
ජාතික ගැටලුව විසඳීමට අදාළ උතුර නැඟෙනහිර ද්‍රවිඩ දේශපාලන නායකයන් සමඟ අවසන් වරට පැවති සාකච්ඡාවේදී තම ස්ථාවරය ප්‍රසිද්ධියේ කීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ “මම මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන තැනදී මේකේ කෙළවරක් දක්වාම යන්න හිත හදාගෙනයි ඉන්නේ” ( I am determined to go all the way) කියා සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මුහුණටම කියමින්ය. මෑත ඉතිහාසයේ මෙරට රාජ්‍ය නායකයකු එතරම් ධෛර්යවත්ව මේ ගැටලුව සම්බන්ධව අදහස් දක්වා නැත.
පළමුවෙන් අසල්වැසියා
ශ්‍රී ලංකාව ඉන්දියාව යා කරන පාලමක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර සිටියේ මීට කාලයකට පෙරය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්ධන නළ පද්ධතියක් ඇතුළු බහුවිධ බලශක්ති මාර්ගයක අවශ්‍යතාව ද එසේමය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදි කළ යුතු බව මෙදා යෝජනා කර සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී පාලමක් සහ තෙල් නළ මාර්ගයක් ඉදි කිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා පිළිබඳ කටයුතු කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ඉන්දීය ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාව සෑම විටම වැදගත් ස්ථානයක පසුවන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
වඩාත් වැදගත් වන්නේ, ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය සහ “සාගර්” දැක්ම යන දෙකෙහිම ශ්‍රී ලංකාව ද වැදගත් ස්ථානයක් ගන්නා බවත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින බවට විශ්වාස කරන බවටත් අග්‍රාමාත්‍ය මෝදී මෙහිදී ප්‍රකාශ කිරීමය.
ඉන්දීය – ශ්‍රී ලංකා හවුල්කාරී වැඩපිළිවෙළ අනාගතවාදී දැක්මක් තුළ සිට ජනාධිපති රනිල් කටයුතු කිරීමට සමත්ව ඇති බව මෙයින් පැහැදිලිය.
සැබවින්ම ජනාධිපතිවරයාගේ මේ එළඹුම තුළ ඇත්තේ නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමය.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස ඉන්දු –ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ ඒ අනුවය. මෙහි මූලික පදනම වූයේ දිගු කාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් සකස් කර ගැනීමය. සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ වන සංවර්ධන ක්‍රියාදාමයක් මේ හවුල්කාරිත්ව දැක්මෙන් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සාරාංශගත කළ හැකිය.
සමුද්‍රීය සම්බන්ධතාවය
අන්‍යෝන්‍ය අවබෝධය පරිදි කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම.
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම්, තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.
ගුවන් සම්බන්ධතාවය
යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම මඟින් දෙරටේ ජනතාව අතර සබඳතා වැඩි දියුණු කර ඇති අතර, එය කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීම.
ජනතාවට වැඩි ආර්ථික ප්රතිලාභ ලබා දීම සඳහා පලාලි ගුවන් තොටුපළේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජන සහ සහයෝගීතාව දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීම.
බලශක්ති සම්බන්ධතාවය
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ නිගමනයන්ට අනුව සුළං සහ සූර්ය බලය ඇතුළුව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති විභවයන් වර්ධනය වනු ඇති අතර එමඟින් 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේ.
ශ්‍රී ලංකාව සහ BBIN (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය) රටවල් ඇතුළු අනෙකුත් කලාපීය රටවල් අතර ද්විපාර්ශ්වික විදුලිබල වෙළඳපොළ සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ විදුලිබල පිරිවැය අඩු කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා වටිනා සහ විශ්වසනීය විදේශ විනිමය මූලාශ්‍රයක් නිර්මාණය කිරීමට උපකාර කිරීමට ද එමඟින් හැකියාව ඇත.
සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG)යටිතල පහසුකම් පිළිබඳව ඇති කර ගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය තුළ පුනර්ජනනීය බලශක්ති මිශ්රණයන් උත්පාදනය ඉහළ නැංවීම.
ත්‍රිකුණාමලයේ වැව් ගොවිපළ සංවර්ධනය කිරීම. එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීම. මෙය දෙරටේ උත්සාහයේ පිළිබිඹුවකි. අන්‍යෝන්‍ය අවබෝධය මත කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීමට එකඟ විය.
ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති ප්‍රභවයන් සැපයීම. එය සහතික කිරීමේ අරමුණින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් (multi-product petroleum pipeline) ඉදි කිරීම. මේ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම.
ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඛනිජ තෙල් ක්ෂේත්රය සංවර්ධනය කිරීම.
මූල්‍ය සම්බන්ධතා
ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වල වැදගත්කම අවධාරණය කිරීම. ඒ අතර ප්‍රතිපත්ති අනුකූලතාව, ව්‍යාපාර කිරීමේ පහසුව, ප්‍රවර්ධනය කිරීම සහ එකිනෙකාගේ ආයෝජකයින්ට සාධාරණ ලෙස සැලකීම තුළින් අන්‍යෝන්‍ය ආයෝජන සඳහා තවදුරටත් පහසුකම් සැලසීමට එකඟ වීම.
ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් සහ විවිධ ක්ෂේත්රවල නිෂ්පාදන, ආර්ථික කලාපවලට ඉන්දියාවෙන් කෙරෙන ආයෝජන සඳහා පහසුකම් සැලසීම.
නව සහ ප්‍රමුඛතා ක්ෂේත්රවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩි දියුණු කිරීම. මේ අරමුණින් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම.
දෙරට අතර වෙළඳ ගනුදෙනු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.
ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ පාලනයට ඩිජිටල්කරණය මඟින් පරිවර්තනීය වෙනස්කම් සිදුවීම වැදගත් බලවේගයකි. ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ පුරවැසි කේන්ද්‍රීය සේවාවන් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂමව සැපයීමට ප්රමුඛතාවයන් අනුව ඉන්දියාවේ ඩිජිටල්කරණ පොදු යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය.
පුද්ගල සම්බන්ධතා
සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම. දඹදිව වන්දනා චාරිකාව සහ රාමායණ චාරිකාව මෙන්ම ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන පිළිබඳව දැනුම්වත් කිරීම සහ ප්‍රචලිත කිරීම. ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන සහ නිපුණතා මණ්ඩප (Skilled Campus) පිහිටුවීම.
කෘෂිකර්මය, ජලජීවී වගාව, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර, මූල්‍ය සහ කළමනාකරණය, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව, පෘථිවි හා සමුද්‍ර විද්‍යාව, සාගර විද්‍යාව, අභ්‍යවකාශ යෙදුම් යන ක්ෂේත්රයන් මෙන්ම ඉතිහාසය, සංස්කෘතිය, භාෂා, සාහිත්‍යය, ආගමික අධ්‍යයන සහ අනෙකුත් මානව ශාස්ත්‍ර වැනි අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්රවල ද පර්යේෂණ සහ අධ්‍යයන ආයතන අතර අන්තර් සහයෝගීතාව පුළුල් කිරීම.
ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම. ෙමමඟින් දෙරටෙහි ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීම.
රනිල්ගේ “මැන්ඩේට්” එක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනුයේ මේ කුඩා දූපත් රාජ්‍යය එහි භෞතික ප්‍රමාණයට සීමා නොකොට පුළුල් කිරීමටය. ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපීය සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම සහ සමෘද්ධිය උත්ප්‍රේරණය කිරීම ( Promoting Connectivity – Catalysing Prosperity) මත පදනම්ව සංවර්ධිත හා බලවත් කලාපීය රාජ්‍ය සමූහයක හවුල්කාරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමය.
සැබවින්ම මේ තුළ රට ආර්ථිකමය වශයෙන් ලබන ජයග්‍රහණයක් පමණක් ලියැවී නැත. ඒ වෙනුවට එය ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන් බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන උපාය මාර්ගික එළඹුම ද ඇත. වඩාත් වැදගත් කරුණ වන්නේ මේ මොහොතේ ජනාධිපති රනිල්ගේ උපාය මාර්ගික සැලැස්ම ඉන්දීය ප්‍රවේශය සමඟ කිසිඳු ඝට්ටනයකින් තොරව ඉදිරියට යාමට තරම් දියුණු වීමය. දෙරට වෙනුවෙන් මෙන්ම කලාපය වෙනුවෙන් දිගු ගමනක් සඳහා රනිල් – මෝදී සම්මුතිවාදී දියුණු රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක් ගෙන ඇත. ඊට අදාළව ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වසනීයත්වය පසුගිය වසරක පාලන කාලය තුළ ජනපති රනිල්ගේ පාලන ස්වභාවය තුළම ඇති කරගෙන ඇත.
ඉන්දීය නිල සංචාරය තවත් එක් නිදර්ශනයක් පමණි. මේවා බලාගෙන ඉන්න බැරි විපක්ෂය හෙට යළිත් ඉන්දීය ආක්‍රමණයක් ගා ගෙන රට බේරාගන්නැයි කියා මොරදීගෙන පිස්සු නටනු ඇත. පාරට බහින්න කියා ජනතාවට බල කරනු ඇත. අන්න එවිට විපක්ෂය නෑ කියූ ජනපති රනිල්ගේ “මැන්ඩේට්” එකේ තරම බලාගන්න පුළුවන.
එස්.එම්. ලියනගේ
2023-07-24 දිනමිණ

වට්ස්ඇප් : මිනිත්තු 15 ක් ඇතුළත මැසේජ් එඩිට් කරන්න ඉඩ !
ටෙලිග්‍රෑම් සහ සිග්නල් වැනි සිය තරගකරුවන් විසින් පිරිනමනු ලබන විශේෂාංගයකට සමගාමී පියවරක් ලෙස තම පරිශීලකයින්ට ද පණිවිඩ සංස්කරණය කිරීමට ඉඩදෙන බව වට්ස්ඇප් පවසයි.
ඒ අනුව පණිවිඩ යැවීමෙන් පසු විනාඩි 15 ක් දක්වා කාලය තුලදී එය සංස්කරණය කළ හැකිය.
වට්ස්ඇප් ක්ෂණික පණිවිඩ සේවාව, ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ද හිමි එක්සත් ජනපදයේ තාක්ෂණ දැවැන්තයෙකු වන මෙටා සමාගමේ හි කොටස්කරුවෙකු වේ.
මෙම විශේෂාංගය ඉදිරි සතිවලදී බිලියන 2ක වට්ස්ඇප් පරිශීලකයින්ට ලබා ගත හැකි වනු ඇත. ඔවුන්ගේ විශාලතම වෙළඳපොල ලෙස ඉන්දියාව සලකනු ලබන අතර එරට සිටින සමස්ත පරිශිලකන් සංඛ්‍යාව මිලියන 487 ක් වෙයි.
"වැරදි අක්ෂර වින්‍යාසයක් සරලව නිවැරදි කිරීමේ සිට පණිවිඩයකට අමතර කරුණු එක් කිරීමක් දක්වා, ඔබේ චැට් වල වැඩි පාලනයක් ඔබට ලබාදීමට අපි නොඉවසිල්ලෙන් පසුවෙමු" පණිවිඩ සේවාව සඳුදා බ්ලොග් සටහනක් තබමින් පැවසිය.
"මිනිත්තු 15ක කාලයක් ඇතුලත දී ඔබට අවශ්‍ය; යවන ලද පණිවිඩය මත දිගු වේලාවක් ඇඟිල්ලෙන් තද කර ගෙන සිට( long-press) එහි මෙනුවෙන් 'Edit' තෝරා ගැනීම පමණයි ඔබ කළයුතු වන්නේ," එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.
සංස්කරණය කරන ලද පණිවිඩ 'edited' ලෙස පෙන්නුම් කරනු ලබන අතර, එමඟින් පණිවිඩයේ අන්තර්ගතය වෙනස් කර ඇති බව එම පණිවිඩය ලබන අය දැනුවත් වනු ඇත.
කෙසේ වෙතත්, පණිවිඩය වෙනස් කර ඇත්තේ කෙසේදැයි යන්න ඔවුන්ට පෙන්වන්නේ නැත.
වට්ස්ඇප් විසින් මේ පිළිබඳව නිවේදනය කරනු ලැබුවේ පණිවුඩ හුවමාරු සේවාවන් වන ටෙලිග්‍රෑම් සහ සිග්නල් විසින් මෙම විශේෂාංගය පිරිනැමීමෙන් අනතුරුවය.
සංස්කරණ පහසුකම ෆේස්බුක් විසින් හඳුන්වා දෙනු ලැබුවේ මීට දශකයකට පමණ ඉහත දීය.
එම කාලය තුළදී, ෆේස්බුක් විසින් හෙළිදරව් කරන ලද්දේ එහි පරිශීලකයින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන වලින් වෙබ් අඩවියට පිවිස ඇති බවත් එහිදී ටයිප් කිරීමේ දෝෂ වලට ලක්වන බවත් ය.
යාවත්කාලීන කිරීමෙන් පසු ෆේස්බුක් හි එය සංස්කරණය කළ ලෙස සලකුණු කර ඇත. සංස්කරණය කරන ලද පණිවුඩ වල ඉතිහාසය පරිශීලකයින්ට බැලීමට ද හැකියාව තිබේ.
ඊලෝන් මස්ක් හිම්කාරිත්වය දරන සමාජ මාධ්‍ය වේදිකාව වන ට්විටර් පසුගිය වසරේදී ප්‍රකාශ කළේ එය මුදල් ගෙවන ග්‍රාහකයින් හට ඔවුන්ගේ ට්වීට් සංස්කරණය කිරීමේ හැකියාව ලබා දෙන බවයි.
ට්වීට් පළ කිරීමෙන් පසු මිනිත්තු 30ක් තුළ කිහිප වතාවක් සංස්කරණය කළ හැක.
" එමඟින් ට්වීට් කිරීමට වඩා පහසු බවක් සහ අවම ආතතියක් ඇති කරනු ඇත," යනුවෙන් ට්විටර් එකල බ්ලොග් සටහනක් තබමින් පවසා තිබුණි.
"තේරුමක් ඇති අයුරින් සංවාදයකට සහභාගී වීමට ඔබට හැකි විය යුතු අතර, එය විශාල අපහසුවකින් තොරව කළ හැකි ක්‍රමවේදයන් වෙනුවෙන් අපි දිගින් දිගටම වැඩ කරමින් සිටිමු " එහි වැඩි දුරටත් සඳහන්ව තිබුණි.
බීබීසී