හේමරතන සිදුවීම සම්බන්ධයෙන් නිර්මාල්ගේ විශ්ලේෂණය ඇතුළත් වීඩියෝව බලන්න කියා ඉල්ලමි. මට තේරෙන ආකාරයට මේ සම්බන්ධයෙන් අපට තිබෙන සැබෑ තීරණ මොනවාද කියා එමගින් පැහැදිලි වෙයි. එහි එක් උපන්‍යාසයක් ඇති බව මම පිලිගනිමි.
එම උපන්‍යාසය වන්නේ ආණ්ඩුවට වඩා සංඝ සංස්ථාව බලවත් වනවා යන්නයි.
දිලුම් අමුණුගම ගේ නග්න, නරුම ප්‍රකාශය
කෙනෙකුට අවශ්‍යනම් මෙය වැරදි උපන්‍යාසයක් කියා කිව හැකිය. නමුත් එය එසේ නොවනවා කියා තහවුරු කිරීමට ද කිසිවකුට නොහැකි ය. මට සිතෙන්නේ එය සාධාරණ උපන්‍යාසයක් බවයි. එය නිවැරදි වන්නේ නම් සහ එම නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සංඝ සමාජය පසමිතුරු කරගන්නා මැදිහත්වීමක් කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස බලයට එන්නට නියමිත වන්නේ පරාජිත දේශපාලන පන්තියයි. එම පන්තිය යටතේ මේ සිදුවීමට අත්වීමට නියමිත ඉරණම දිලුම් අමුණුගම බඳු එම දේශපාලන පන්තියේ නග්න නරුම බව පෙන්වන ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.
එනිසා මෙහි දී අපට තිබෙන්නේ සීමිත තෝරාගැනීම් කීපයකි. එකක් වන්නේ මෙයට එරෙහි හඬ නැගීම අකණ්ඩව සිදු කිරීමයි. එමගින් ආණ්ඩුව අපහසුතාවයට පත්වන්නේ වුවත් කරන්නට දෙයක් නැත. නමුත් අනෙක් අතට මෙහි දී මෙම සිදුවීම වෙනුවෙන් පෙනී සිටිනා අය සම්බන්ධයෙන් ද විවේචනයක් එල්ල කළ යුතු ය. මෙවැනි දෙයක් කිසිදා ආණ්ඩුවකින් පමණක් කළ හැකි නොවේ. ඒ වෙනුවට භික්ෂු සංස්ථාව පිළිබඳව දෘෂ්ටිවාදී විචාරයක්ද අප කළ යුතු ය. එයට එරෙහි සමාජ මතයක් ද ගොඩනැගිය යුතුය. නමුත් දැනට පොදුවේ දක්නට ලැබෙන ප්‍රවණතාව වන්නේ මෙය මුළුමනින්ම ආණ්ඩුවට දමා ගැසීමට ආයුධයක් කරගැනීම පමණි.
සංඝ සමාජයේ ඉහළ මාලයේ ප්‍රභූ භික්ෂූන්
මේ සම්බන්ධයෙන් අප කීපදෙනෙකු අතර ඇතිවුණු කතා බහක දී අපේ සහෝදරියක් අසා සිටියේ මහනායක හිමිවරුන්ට කියා හේමරතනට දඬුවම් දිය නොහැකි වන්නේ ඇයිද යන්නයි. මේ මගින් අපට පොදුවේ භික්ෂු සංස්ථාව සම්බන්ධයෙන් ඇති වැරදි අවබෝධය කෙතරම් තියුණුද කියා පැහැදිලි වෙයි. මේ තිබෙන්නේ එක් 'දුශ්ලීල භික්ෂුවකගේ' හුදෙකලා වරදක් නොවේ. ඒ වෙනුවට මේ තිබෙන්නේ සංඝ සංස්ථාව ලෙස අප ප්‍රශ්න කළ යුතු ව්‍යුහාත්මක අර්බුදයක ප්‍රකාශනයකි. අනෙක් බොහෝ ප්‍රභූ භික්ෂූන් දරුවන් සමග ලිංගිකව එකතු වීමේ ෆැන්ටසි නොමැති අය වියහැකි වුවත් ඔවුන් සියලු දෙනා මේ ආකාරයට බැලු බැල්මට බෞද්ධ විරෝධී දූෂිත ව්‍යවහාරයන්වල කොටස්කරුවන්ය. ඉතාම පැහැදිලි වන්නේ අපේ රටේ පන්සල්වල සිටින බහුතර භික්ෂූන් එසේ සිටින්නේ 'නිවන් දැකීමේ' ඍජු ඉලක්කයක් වෙනුවෙන් නොවනා බවයි. ඒ වෙනුවට මේ තිබෙන්නේ අපේ රටේ එක්තරා සමාජීය භූමිකාවකි. එය මානව විමුක්තිය සඳහා වූ අධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කැප වූවක් නොවේ. එයට වඩා මෙය අපේ රටේ සමාජීය භූමිකාවක් ඉටු කරන ආයතනයක් ලෙස අප ගත යුතුය. එනිසාම මෙයට එවැනි සමාජීය භූමිකාවන් ඉටු කරන ආයතන වෙත උරුම වන දූෂිත ප්‍රවණතා උරුම වෙයි. එහි ඉහළ මාලයේ ප්‍රභූ භික්ෂූන් හේමරතනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පක්ෂ නොවන්නේ මේ නිසාය (මා කියන්නේ සැබවින්ම 'බෞද්ධ විශ්වීයත්වයක්' ලෙස ගත හැකි පරස්පර විරෝධී භාවිතාව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කරන පරිදියේ සිටිනා භික්ෂූන් ගැන නොව සංඝ සමාජයේ ඉහළ මාලයේ ප්‍රභූ භික්ෂූන් ගැනයි).
හේමරතනට විරුද්ධ ව්‍යාපාරය අඛණ්ඩව
එනිසාම අප කළ යුත්තේ මේ විවේචනය හැකිතාක් පුළුල් කිරීමයි. ඒ අතරතුර හේමරතනට විරුද්ධ ව්‍යාපාරය ද අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. එයට තවත් අමතර සාක්ෂි එකතු කළ හැකිය කියා මට දැඩි විශ්වාසයක් තිබේ. අනුරාධපුරයේ බොහෝ පිරිස් දන්නා මේ කරුණ ප්‍රශ්නයක් ලෙස එම සමාජයේ මතු කිරීමේ හැකියාවක් තිබේ. අප මේ අරගලය දැන් එම පුළුල් සටන් පෙරමුණවල් වෙත ද ගෙන යා යුතු ය. ආණ්ඩුව විවේචනය කිරීම නතර කළ යුතුය කියා මා කියන්නේ නැත. නමුත් අපට සැබවින් ම අවශ්‍ය වන්නේ මේ ක්‍රමය වෙනස් කිරීමටනම් එය පමණක් මෙහි දී කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත. අප ආණ්ඩුවට පීඩනය යොදන අතරම එයට හයියක්ද විය යුතුය. ආණ්ඩුවට සේම අපටද තිබෙන්නේ අපහසු අභියෝගයක් වන්නේ මේ නිසාය.

Vangeesa Sumanasekara
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
