ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක ගේ අභාවයෙන් පසුව ලෝකයේ ප්‍රථම අග්‍රාමත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කරනු ලදුව, ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොකඩවා පැවැත්වූ වාර්ෂික පිරිත් පිංකම 63 වන වරටත් වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දෙසැම්බර් මස 31 වන දින මෙවර මෙම පිංකම පවත්වන්නේ කතරගම කිරි වෙහෙර අබියස දී ය. 31වන දින රාත්‍රි 07.00 ට ඇරඹෙන කිරිවෙහෙර ආලෝක පුජාවත්, රාත්‍රි 8.00 ට සර්ව රාත්‍රික පිරිත් පිංකමත්, 2026 ජනවාරි මස 01 වන දින හිල් දානමය පිංකම සහ සංඝගත දක්ෂිනාව පිරිනැමීමටත් කටයුතු සුදානම් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නීතිඥ, නිමල් සිරිපාල ද සිල්වා ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරී මණ්ඩලය, සියලුම ආසන සංවිධාකවරු, අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් ගේ සහභාගිත්වයෙන් මෙවර මෙම පින්කම පැවැත්වෙන්නේ: රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍යපාද කොබවක ධම්මින්ද නාහිමිපානන් වහන්සේගේ අනුශාසකත්වයෙන් නව වසරේ රටටත්, ජනතාවටත් සෙත් ප්‍රාර්ථනා කරමින් සහ ආපදා තත්ත්වය මත මිය ගිය අපගේම සහෝදර සහෝදරියන් වෙත පිංපැමිණ වීම අරමුණු කර ගනිමිනි.


