මේ සුළි කුණාටු සමයේ සහ ඉන් පසුව රජය සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා විවිධ යෝජනා ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුවත් මේ වන විට එම වරප්‍රසාද හා සම්පත් මෙන්ම මූල්‍ය ශක්තිය ලබා දෙන්න රජය අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 11 රෝහලට සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන හුස්ම වැඩසටහන යටතේ රු. ලක්ෂ 28ක් වටිනා Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රෝහල් සංවර්ධනය කිරීමේ අරමුණින් හුස්ම වැඩසටහන යටතේ මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කළේ ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මේ කන්නයේ ගොවිතැන් සිදු නොවුවහොත්...?
''ටකරන් කෑල්ලක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියපු රජය පූර්ණ හානි සිදු වූ නිවෙස්වලට දෙනවා කියපු ලක්ෂ 50 ආධාරය හෝ පදිංචියට නුසුදුසු ඉඩම් සඳහා දෙනවා කියපු ඉඩම් ලබා දී නොමැති බවට වාර්තා වෙනවා. මෙය බරපතළ කරුණක් නිසා කරුණාකර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව ගේ ජීවිත එක්ක සෙල්ලම් නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රකාශ කළ ආකාරයට ම සියලු ම සහන විපතට පත් වූ ජනතාවට ලබා දිය යුතු යි.
මේ නගර ගම්නියම්ගම්වල ඇවිදින විට ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් සමග කතා කරන විට ණය අය කර ගැනීම නතර කරන බවට රජයේ පාර්ශ්වයන් මාධ්‍ය ඔස්සේ කියපු බව බවට දැක්කා. නමුත් ඒවා බිම් මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවට චෝදනා එල්ලකරනවා. රජය මේවා මාධ්‍ය හරහා ප්‍රචාරය කළේ වගකීමෙන්. ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන්, ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන වන්දි හරියට ලබා දිය යුතු යි. මේ කන්නයේ හරියට ගොවිතැන් සිදු නොවුවහොත් ආහාර අර්බුධයක් එන නිසා මේ සෑම දෙනා ගැනම සිතිය යුතු යි.
ජනතාවට සහන ලැබෙන තුරු විපක්ෂය ඒ වෙනුවෙන් සටන් කරනවා
මේ වින්දිතයන් ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායමක් නිර්මාණය කරනවා. ගැසට් එක හරහා, කතාවේ දී, පාර්ලිමේන්තුවේ දී කියූ දේවල් කරන තුරු, මේ අයිතිවාසිකම් ඉටු කරන තුරු සමගි ජන බලවේගය මේ වින්දිතයන් වෙනුවෙන් පෙනි සිටිනවා. මේ අයිතිවාසිකම් යනු මානව හා මූලික අයිතිවාසිකම්. විපක්ෂයේ සිට ජනතාවට මේවා ලැබෙන තුරු සටන් කරනවා. ඊට අමතරව විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි සෑම උපකාරයක්ම ජනතාව වෙනුවෙන් සිදු කරනවා. ස්වයංරැකියා ලාභියාගේ සිට සෑම සියලු දෙනාට ම මේ සහන දිය යුතු යි. පොරොන්දු වූ සහන දෙනවා සේම මේ සහන මුදල් අඩු නොකළ යුතු යි. ජනතාවගේ පීඩනය සමනය කරන්න බොරු නොකියා සැබවින් ම කියපු දේ කළ යුතු යි. ජනතාවට මේ සහන ලබා දෙන තුරු විපක්ෂය බලා සිටිනවා.''


