2027 අයවැයත් සමඟ දේශපාලන කරළිය යළිත් උණුසුම් වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙවුණු සතිය තුළත් අයවැය විවාදය, ජීවන වියදම, වෘත්තීය අයිතිවාසිකම්, රාජ්‍ය සේවයේ ගැටළු, මෙන්ම වන අලි සංරක්ෂණය ආදී විවිධ විෂයන් ගැන තම දේශපාලන මැදිහත්වීම සිදු කරන අයුරු දැකගත හැකි විය. ඒ රට වෙනුවෙන් පැවැරී ඇති වගකීම මනාව වටහා ගත් නායකයෙකු ලෙසය.
පාර්ලිමේන්තුවේදී පුපුරා ගිය ගෑස් ටැංකි...

ආණ්ඩුවේ හිතුවක්කාරී ආර්ථික තීන්දු තීරණ ආපස්සට හැරවීමේ සටන ගැන විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කළේය. පසුගිය 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1775කින් ඉහළ දමමින් එය රු 6740/= සීමාවට ළඟාවීම දැකගත හැකි විය.
පසුදාම පාර්ලිමේන්තුවේදී සජිත් මේ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කළ අතර, ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වුවේ සජිත්ගේ කථාවට විවිධ අයුරින් බාධා කරමින්ය.
අයවැය ඉදිරිපත් කර පැය 48ක් ගතවන්නටත් පෙර ජනතාවට තවත් බරක් පැටවීම ගැන ප්‍රශ්න කළ සජිත්ට කතානායක ජගත් වික්‍රමරත්න සහ සභානායක බිමල් රත්නායක දිගින් දිගටම බාධා කළේ රීති ප්‍රශ්ණයක් නොවන බව පවසමින්ය.
“මේ ගෑස් කියපු කෑලි හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න.... වහාම ඉවත් කරන්න....” සජිත් ජනතාවගේ ජීවන බර වැඩිකිරීමට එරෙහිව ආණ්ඩුවෙන් සිදුකළ ප්‍රශ්න කිරීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සභානායක බිමල් කෑ මොරදෙන ආකාරය මාධ්‍ය කුටියේ සිටි සියළු මාධ්‍යවේදීන්ටත්, නිවසේ සිට පාර්ලිමේන්තු සජීව විකාශය බලා සිටි සියළු දෙනාටත් දැකගන්නට ලැබුණි.
සජිත් ගෑස් කියන විටම, කතානායකවරයා හෝ ආණ්ඩුවේ 159 දෙනාගෙන් අයෙකු නැගිට බාධා කරන තත්ත්වයක් සභාවේ වූ අතර ඒ අවස්ථාවේ නැගී සිටි සජිත් විමසා සිටියේ…, “ඇත්තටම ගෑස්වලට ඔච්චර බයද ?” කියාය.
ගෑස් වැඩි කිරීම ගැන සජිත්, ආණ්ඩුවෙන් කළ ප්‍රශ්න කිරීම රට පුරා ගින්නක් සේ ඇවිලී ගිය පසුබිමක, ජනතාවගේ විරෝධයද දෙගුණ තෙගුණ වන තත්ත්වය අවබෝධ කරගත් ආණ්ඩුව 17 වනදා ලාෆ් සමාගමේ නිළධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවා ගෑස් මිල අඩු කිරීම ගැන සාකච්ජා කළේය.
ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියේ සිට රු 745 කින් ගෑස් මිල අඩුවිය.
මේ ගැන නිරීක්ෂණය කළ ආර්ථික විශේෂඥයින් විමසා සිටියේ…”ගෑස් මිල වැඩි කරද්දී ඉස්සරනම් පාරිභෝගික අධිකාරිය, අදාළ සමාගම් එක්ක සාකච්ජා කරලා තමයි තීන්දු තීරණ ගන්නේ, දැන් ඒවා අයාලේ ගිහිං සමාගම් තමන්ට හිතුණු, හිතුණු විදිහට වැඩි කරනවා. අන්තිමට විපක්ෂයෙයි, ජනතාවගෙයි විරෝධය එන බව තේරුණාම සමාගම් ගෙන්නලා අඩු කරන්න සාකච්ජා කරනවා. මේක ආණ්ඩුවක් ද? පාණ්ඩුවක් ද?”
හිතුවක්කාරී ප්‍රතිපත්ති හමුවේ රට හැර යන ඉංජිනේරුවන්...

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගිය 17 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට පැමිණියේ සිය දුක්ගැනවිලි ගොන්නක්ද සමගින්ය. රටේ සංවර්ධනයට ඉංජිනේරුවන් අත්‍යාවශ්‍ය වුවත්, තමන් ලබාදෙන දායකත්වය ආණ්ඩුව කිසිදු ලෙසකින් ඇගයීමට ලක් නොකිරීම කණගාටුවට කරුණක් බව ඉංජිනේරු සංගමයේ සාමාජිකයින් ප්‍රකාශ කළේය.
ඉංජිනේරුවන්ගේ රාජකාරි ඇගයීම සඳහා 2012 සිට ක්‍රියාත්මක වූ FAT Allowance (Field Attendance and Transport Allowance) 2024 ජුලි සිට අහිමි කිරීමත්, දීමනා කප්පාදු කිරීමත් සිය වෘත්තියේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනයක් බව එම නියෝජිතයින් පෙන්වා දුන්නා.
ඔවුන් විපක්ෂ නායක සජිත්ගෙන් ඉල්ලා සිටියේ, ඉංජිනේරු වෘත්තියේ මතු පැවැත්ම උදෙසා මැදිහත්වන ලෙසය.
එම ඉල්ලීම පිළිගත් සජිත් පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කරුණු පැහැදිලි කළේය.
“මේ වෙද්දී ඉංජිනේරුවන් 500ක් රට හැර ගිහින්. රාජ්‍ය ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව 1,500 සිට 1,000 දක්වා පහළ වැටිලා. රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට බිලියන ගණනින් මුදල් වෙන් කළා කියලා ආණ්ඩුව කීවත්, ඒවා ක්‍රියාත්මක කරන්න ඉංජිනේරුවන් රටේ නැත්නම් ඒවා ක්‍රියාත්මක කරන්නේ කවුද? ඉංජිනේරුවන්ගේ වැටුප් ගැටළු, ඉංජිනේරු පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම වගේම, පෞද්ගලික හා විදේශීය ඉංජිනේරු උපදේශන ආයතන එක්ක ආණ්ඩුව කටයුතු කිරීම වගේ දේවල් නිසා රාජ්‍ය ඉංජිනේරුවන් කළකිරීමට පත්වෙලා ඉන්නේ. මේ ගැන ආණ්ඩුවත් විෂය භාර අමාත්‍යවරයාත් වහාම මැදිහත් විය යුතුයි. මේ ඉංජිනේරුවන් රට හැරගියහම කවුද ඒ ශිල්පීය ඥාණය දෙන්නේ.”
සජිත්ට පිළිතුරු දීමට නොහැකිව විෂයභාර ඇමතිවරු කට්ටි පනිද්දී, ඇමති ලාල් කාන්ත ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වනු දැකගත හැකි විය.
“විපක්ෂ නායකතුමා කියන්නේ ඇත්ත. අපි ඒක පිළිගන්න ඕන. ඉංජිනේරුවන් වැටුප් මදි කියනවා. විරෝධතාවලත් නිරත වෙනවා. ඒ වගේම රට හැර යමින් ඉන්නවා. මේක රට මුහුණ දී ඇති බරපතල ප්‍රශ්නයක්. මේක සුළුවෙන් තකන්න පුළුවන් ප්‍රශ්ණයක් නෙමෙයි.” එහෙම කියමින් ලාල් කාන්ත යන්තම් ආණ්ඩුවේ සායම බේරා ගත්තේය.
සජිත් සහ ශ්‍රී ලංකා චීන තානාපති අතර විශේෂ හමුවක්...

ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව අංක 30 විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය සතියේ හමුවිය.
එහිදී දෙරටට පමණක් නොව ගෝලීය වශයෙන් ද වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි.
සාගර ආරක්ෂාව, තාක්ෂණික හුවමාරුව, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, බලශක්තිය සහ තාක්ෂණික හුවමාරුව පිළිබඳවත්, ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග පිළිබඳවත් විපක්ෂ නායකවරයා සහ චීන තානාපතිවරයා ඉතා වැදගත් කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරු කරගත් බවත් අපට දැනගන්නට ලැබුණි.
ආනන්දගේ සුවදුක් බලන්නට පැමිණි සජිත්…

ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කළ, ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයකු වන ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීම ගෙවුණු සතියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ තවත් සිද්ධියක් විය.
ආනන්ද පාලිත අත්අඩංගුවට ගත් බව සජිත්ට දැනගන්නට ලැබුණේ 16 වනදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතර තුරදීය.
ඒ අනුව වහාම ඔහු වෙනුවෙන් මැදිහත්වන ලෙස, විපක්ෂ නායක සජිත්, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරටත්, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාටත්, සමගි වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්කටත් උපදෙස් ලබාදී තිබුණි.
ආනන්ද වෙනුවෙන් ඇත්තටම ඉදිරිපත් වුණේ කවුද?

මධ්‍යම අපරාද කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතිඥවරුන් ලෙස ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුළු පිරිසක් සමගි ජනබලවේගය මගින් සූදානම් කෙරුණි.
තම වෘත්තීය සමිති නායකයා වෙනුවෙන් උපරිම මැදිහත්වීම සිදු කරන ලෙස උපදෙස් දුන් සජිත්, 17 වනදා ආනන්ද පාලිත අලුත්කඩේ අංක 02 අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවට ද පැමිණ සිටියේය.
රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂ ද සිල්වා, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, නිරෝෂන් පාදුක්ක, නීතිඥ රජිත ලක්මාල් ඇතුළු පිරිසක් ද සජිත් සමඟ අධිකරණ භූමියට පැමිණ තිබුණි.
ආනන්ද පාලිත වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය සහ මෛත්‍රී ගුණරත්නය.
ඔවුන් අධිකරණයේදී ඉදිරිපත් කළ කරුණුද එදින රාත්‍රී ප්‍රධාන ප්රවෘත්ති විකාශවල අන්තර්ගතව තිබුණි.
එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය සහ පුවත්පත්වල දේශපාලන ගොසිප් විශේෂාංග තුළ හුවා දක්වා තිබුණේ, සජිත් හෝ සමගි ජන බලවේගයට සම්බන්ධ නීතිඥයින් ආනන්ද පාලිත වෙනුවෙන් ඉදිරිපත් නොවූ බවක්ය.
සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය පිහිටුවීමේ වැඩසටහන සෙනසුරාදා පක්ෂ මූලස්ථානයේ පැවති අවස්ථාවේ ඒ ගැනත් කරළියට ආවේය.
නිරෝෂන් පාදුක්ක ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සහ කොළඹ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් සතුටු සාමිච්චියේ නිරතව සිටි අවස්ථාවක අයෙක් කිව්වේ..,” නිරෝෂන් අයියා බලන්න අර ගොසිප් කොලම් එකක ගහලා තිබුනා දැක්කද? ආනන්ද පාලිතට නීතිඥයන් දීලා තියෙන්නෙත් සජබෙන් නෙමෙයි. UNP එකෙන් නිශ්ශංක නානායක්කාරයි, දිනේෂ් විදානපතිරණයි දැම්මා කියලා. නායකතුමා ඇවිල්ලා විනාඩි දහයක් ඉඳලා ගියාය, අනිත් පක්ෂවල අයයි ආනන්ද වෙනුවෙන් එතන හිටියේ කියලා.”
එහෙම කියමින් තමන්ගේ ජංගම දුරකථනය ගෙන එම සමාජ මාධ්‍යයේ පළකර තිබූ පුවත පෙන්වූ සැනින් මල පැන්න නිරෝෂන් සිද්ධියම කියාගෙන, කියාගෙන ගියේය…, “ අනේ බං… අපේ ලොක්ක තමයි පාර්ලිමේන්තුවේ ඉඳගෙන මටත් කථා කරලා ඉක්මන කරන්න ඕන මොනවද කියලා හොයලා කියන්න කිව්වේ. ඔය අර තට්ටය ලියන ගොසිප් එක නේද? පොර ඉතිං රනිල් ලොක්කගෙන් එක දාගන්න ගහන අතේ රෝල්නේ ඕකේ ඔක්කොම තියෙන්නේ. ඕකේ හැමදාම නම් බැලුවොත් තියෙන්නේ මිනිහගෙයි, රනිල් ලොක්කගෙයි නම් විතරයි. ඕක බැලුවම නිකං UNP එකේ රනිල් නායක, ඔය තට්ටයා උපනායක වගේ තමයි තේරෙන්නේ. මිනිහා බලන්නේ ආනන්ද පාලිතගෙන් හරි අපේ ලොක්කට ෂොට් එකක් දෙන්න පුලුවන් නම් එච්චරයි. අපේ ලොක්කා එදා උසාවියටත් ආවා, පස්සේ බන්ධනාගාරයටත් ආවා. ඕක දිනිය කියනකොට ලියපු එකාට නම්දෙක පැටලිලා ලියලද දන්නේ නෑ… මොකද අපේ ලොක්ක කරන්න ඕන සියල්ල කරලා තිබුණේ ඒ වෙද්දී. අනුන්ගේ මල්වට්ටියට අත ගහලා හරි පිං රැස්කරගන්නවා නම් මොකද බං.” නිරෝෂන් එලෙස එක දිගට කියාගෙන, කියාගෙන යද්දී අසල සිටි සියල්ලන් කොක් හඬලා සිනාසෙනු දැකගත හැකි විය.
කාවන්තිස්ස වෙනුවෙන් ඉටුකළ යුතුකම්...

කාවන්තිස්ස ඝාතනයට ලක්ව මාසයක් ගතවීම නිමිත්තෙන්, පිං අනුමෝදනා කිරීමේ පිංකමක් ගල්ගමුව බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී සංවිධාන කෙරුණේ සජිත් ප්‍රේමදාසගේ පූර්ණ මැදිහත්වීම මතය. පසුගිය 16 වෙනිදා විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වුණු අතර, 17 වැනිදා මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පින්කමක්, සමගි ජනබලවේගයේ ගල්ගමුව ආසන සංවිධායක බන්දුල බණ්ඩාරනායක ඇතුළු ප්‍රදේශවාසීන් සහ විහාරස්ථානයේ දායක, දායිකාවන් විසින් සංවිධානය කර තිබුණි.
ඔක්තෝබර් 16 වැනිදා සිදුවූ කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතු සෙවීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක සජිත්, යෝජනා කළේ ඔක්තෝබර් 23 වැනිදාය. එහෙත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවස්ථා තුනකදී රැස්වී තිබුණද එම යෝජනාව සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගැනීම පිළිබඳ කරුණු විමසා කතානායකවරයා වෙත ලිපියක් යොමු කිරීමටද සජිත් කටයුතු කළේය. මෙම හැසිරීම් හරහා කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සහ වනජීවීන් පිළිබඳ ආණ්ඩුව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට සාධාරණ සැකයක් මතුවන බවද සජිත් එම ලිපිය හරහා පෙන්වා දී තිබුණි.
“ඇත් පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් අවශයයි. රතු නිවේදනයක් නිකුත් කර මේ සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕන. ඒක ආණ්ඩුවේ වගකීමක්. දැන් ආණ්ඩුවත් විවිධ දේ කරනවා. ඒත් ඒවට විධිමත් සැලසුමක් නෑ. ඇතුන් සුරක්ෂා කරන්න ක්ෂණික විහිදුම් බලකායක් කඩිනමින් ස්ථාපිත කළ යුතුයි කියන දේ මම දැන් කාලයක ඉඳන් කියනවා. ඒත් ඒ ගැන ආණ්ඩුවේ කිසිම මැදිහත්වීමක් නෑ.” එලෙස සජිත් පාර්ලිමේන්තුවේදී යළිත් මේ ගැටළුව මතු කළේය.
කැදැල්ලේදී හමුවූ ඩිල්ෂාන්ට සජිත්ගෙන් ඩිල්ස් කූප් පහරක්

බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පසුගියදා ආරම්භ වූ කැදැල්ල නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය නැරඹීමට සජිත් ද ආරාධනා ලැබ තිබුණි.
විවිධ නිවාස සැලසුම් සහ ඉදිකිරීම් තාක්ෂණික ක්‍රමවේද ඇතුලත් ප්‍රදර්ශන කුටි වෙත යමින් නවීන නිවාස සැලසුම්, ගොඩනැගිලි අමුද්‍රව්‍ය, දොර ජනෙල් නිෂ්පාදන මෙන්ම අභ්‍යන්තර අලංකරණය කටයුතු සඳහා යොදාගන්නා නිර්මාණ සජිත් නිරීක්ෂණය කරමින් සිටියදී සජිත්ට අමුත්තෙකු මුණගැසුණි.
“ හලෝ, After a long time. මම හිතන්නේ ඡන්දෙන් පස්සේ නේද අපි අද හම්වුනේ. මේ දුවද? Nice to meet you දුව.” එහෙම කියූ සජිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයකු වූ තිලකරත්න ඩිල්ශාන් සහ ඔහුගේ දියණිය සමඟ මද වේලාවක් සතුටු සාම්ච්චියේ නිරතව සිටිනු දැකගත හැකි විය.
අනතුරුව යන්නට සූදානම් වූ අවස්ථාවේ.., “මේ මම පුංචි කථාවක් කියනද දුවට ? තාත්තත් ඉන්න තැන…ඔයා දන්නවද? තාත්තා මටත් ඩිල්ස්කූප් එකක් ගහල තමයි ගියේ…” කියමින් සිනාසුනු සජිත් “මේ විහිළුවක් කළේ හොඳ ද?… අපි ආයෙත් හම්බවෙලා කථා කරමු. මම දැකලා තියෙනවා දුවත් ක්‍රිකට් ගහනවා නේද? මම දැක්කා ළඟදී ටුවර් එකකුත් ගියා නේ….” කියමින් ඩිල්ෂාන්ගේ පිටට තට්ටුවකුත් දාපු සජිත් එතැනින් නික්ම ගියේය.
මේ අතර කැදැල්ල ප්‍රදර්ශනයට කුටි එක්කළ බොහෝ දෙනෙකුගේ මැසිවිල්ල වී තිබුණේ, අද වනවිට ගොඩනැගිලි ඉදිකිරීම් කේෂ්ත්‍රයේ කඩාවැටීමක් සිදුවෙමින් පවතින බවය.
ව්‍යාපෘති සිදු නොවීමත්, ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් කේෂ්ත්‍රයේ ඉදිරි ගමනට මෙන්ම තමන්ගේ ආර්ථික අභිවෘද්ධියට බාධාවක් බව ඔවුන් සජිත්ට පවසා තිබුණි.
ඒ සඳහා පාර්ලිමේන්තුවේදී කළ හැකි මැදිහත්වීම සිදුකරන බවට සජිත් එහිදී අවධාරණය කර තිබුණි.
චතුරංගට හිනා ගිය, බිමල්ට ඩෝං ගිය චිත්‍රාල්ගේ කථාව

මාලිමා රජයේ තුන්වෙනි අයවැය අස්සේ සජිත් කරපු ස්මාට් වැඩක් ගැන අපි ගිය සතියෙ පැහැදිලි කළා. ඒ වැඩෙන් ආණ්ඩුවට කොච්චර රිදිලද කියනවා නම්, නියෝජ්‍ය ඇමති චතුරංග ඒකට හොඳයි කියලා දාපු කමෙන්ට් එකට චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කරපු ස්තුතියට සභානායක බිමල් රත්නායකට සෙනසුරාදා හවස ඩෝං ගිහින් තිබුණා.
ඒ කථාව මෙන්න මෙහෙමයි…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිළධාරීන්ට උපදෙස් දී තිබුණනේ, 2025 සහ 2026 වසරවල ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙකේ ක්රියාකාරීත්වයේ ප්‍රගතියත්, 2027 අයවැය යෝජනා ගැන සමාලෝචනයත් අඩංගු කර App එකක් (යෙදවුමක්) නිර්මාණය කරන ලෙසටය.
ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පහසුවට වගේම පුරවැසියන්ට දත්ත සහ තොරතුරු ක්ෂණිකව බාගත කර ගැනීමට පහසුවක් ලෙස oversight.lk නමින් අලුත් වෙබ් අඩවියක් ඒ නිළධාරීන් නිර්මාණය කර තිබුණි.
එමෙන්ම sabha (සභා) නමින් තවත් මෘදුකාංගයක් ඔවුන් නිර්මාණය කර තිබුණේ, මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී සිදු කරන කථා, ඒවායේ සාරාංශය, ඒවායේ අඩුපාඩු, දත්ත සහ තොරතුරු මෙන්ම භාෂා පරිවර්ථනයද ක්ෂණිකව එකම තැනකින් ලබාගැනීමට පහසුකම් සලසමින්ය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් විසින් පළමු වරට හඳුන්වා දුන් දැනුම් කළමනාකරණයටම පමණක් සුවිශේෂී, KMLOP නමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ පහසුවට ජංගම දුරකතන මෘදුකාංගයක්ද සජිත්ගේ උපදෙස් මත ඒ නිළධාරීන් හඳුන්වදී තිබුණි.
මේ ගැන චිත්‍රාල් මන්ත්‍රීවරයා අදාළ නිළධාරීන්ට ස්තුති කරන අතර තුර නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ Newswire හී මීට අදාළ ප්රවෘත්තියකට දමා තිබූ කමෙන්ට් එක ගැනත් කියා තිබුණි.
ඊට උරණ වූ සභානායක බිමල් රත්නායක තමන්ගේ අයවැය කථාව තුළ මෙම වෙබ් අඩවිය පිළිබඳවද සඳහන් කරමින් අවේගශීලී කථාවක් සිදුකරනු දැකගැනීමට හැකි විය.
“දැන් මොකක්ද අර දැනුම දෙන වෙබ් සයිට් එක්ක තියෙනවලු නේ. විපක්ෂනායක කාර්යාලයේ මොකක්ද එහෙම එකක් තියෙනවා ලු නේ. දැන් කථාවලින් පේනවද එහෙම එකක්. දැන් දැනුම අරන්ද කථා කරන්නේ. ඇමති පුත්තු ගංජා ගහනවා මම දැකලා තියෙනවා. ඒ නිසා ප්ලීස් වෙනස් වෙන්න.”
එය දුටු චිත්‍රාල් මන්ත්‍රීවරයා පැවසුවේ, “අනේ පව් අන්න සභානායක බිමල් රත්නායක මහත්තයා තනිවෙලා…කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කථාවක් කරනවා දැක්කා. බැරිම තැන අපේ වෙබ්සයිට් එකත් අල්ලගෙන, වෙල මැද තනිවෙච්ච පඹයෙක් වගේ හිටගෙන ඒ මේ අතට පැද්දි පැද්දි පට්ට ආතල් එකක් දෙනවා.” කියාය.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
