V2025

පුවත්

මැණික් කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ගැටළු විසඳීමට ජනපතිගේ අවධානය !

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටළු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු ඇතුළු කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති වෙනත් ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙරට මැණික් කර්මාන්තය ආශ්‍රිත අපනයනය වැඩි කිරීමට මෙන්ම අගය එකතු කිරීම් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව ද සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගන්නට මෙවන් මාතෘකාවන් පිළිබඳව මේ අයුරින් හෝ කතා කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි. ජන ජිවිතය පවා දැඩි අවධානමකට ලක්ව තිබු අවස්ථාවක රටේ වගකීම භාරගත් ජනාධිපතිතුමා අද රට තුළ සිදු කර ඇති පරිවර්තනය පිළිබඳ තමා සතුටට පත්වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස් . සමරතුංග යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ග්‍රාමසේවක නිලධාරීන් 2002කට නව පත්වීම් !

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනඟන වැඩ පිළිවෙල ඔස්සේ තවත් වසර දෙකක් හෝ ඉදිරියට ගමන් කිරීමට හැකි වුවහොත් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පසුගිය සමයේ පැවති අර්බුද අවසන් වෙමින් මේ වන විට ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සඳහා අප අමාත්‍යාංශය ද විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ආහාර සුරක්ෂිතතා, පෝෂණ කමිටු නිර්මාණය කිරීමට අප කටයුතු කළා. දරිද්‍රතා සහිත පවුල් ලක්ෂ විස්සක් සඳහා ඇස්වැසුම ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. විමධ්‍යගත අයවැය හරහා ග්‍රාමීය සංවර්ධනය යළි නඟාසිටුවන්න ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාමසේවා නිලධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය 13,14 යන දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකළා. 15 වනදා ද ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මේ හරහා බඳවා ගන්නා ග්‍රාම නිලධාරීන් එළැඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා.

එමෙන්ම ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව (14) වනදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළා. එහිදී ඔවුන් විසින් ගමන් වියදම්, කාර්යාල දීමනා සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත් කළා. අප ඒ වෙනුවෙන් දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

තවද ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධාන ගැටලුවක්ව පවතින ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව නිර්මාණය කර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යොමු කරනවා. කොහොම නමුත් එම ගැටලුව සම්බන්ධයෙන් ද සුබවාදී ප්‍රතිඵලයක් නොබෝ දිනකින් බලාපොරොත්තු විය හැකියි.

ඒ වගේම පැවති ආර්ථික සහ වෙනත් අර්බුද හමුවේ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ සහ සමාජයේ පැවති බෙදීම නැවත එක් කිරීම අපගේ යුතුකමක් සහ වගකීමක්ව පැවතුණා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම විශ්වාසය ගොඩනැඟීම සිදුකළා. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ තවත් වසර දෙකක් හෝ ගමන් කිරීමට හැකි නම් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින්, විනාශකාරී ව්‍යාපෘති නවතාලමින් යහපත් රටක් නිර්මාණය කළ හැකි වනවා.

පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවක් !

පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයේ ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත.

ඒ සඳහා අවශ්‍ය ලියැවිලි හුවමාරුව පසුගියදා සිදුකර ඇති බවද දැනගන්නට තිබේ.

දෙමළ භාෂාවෙන් පැමිණිලි කිරීමට නව අංකයක්

දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ ඕනෑම දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව පැවසීය.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ද්‍රවිඩ ජාතිකයන්ට සෘජුවම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෙම පහසුකම සලසා දී ඇති බව නිහාල් තල්දූව  පැවසීය.

image f0c721f48c

උණුසුම් කාලගුණය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක්

මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි.

එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි.

හිරුඑළිය සම මතට සෘජුවම පතිතවීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර මෙහිදී සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකිය.

සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහදිය වැඩිවශයෙන් එකතුවන ස්තානවල රවුම් හැඩැති දිලීර තත්ත්වයක් ඇතිවීම මෙම ආසාදිත තත්ත්වයන් ලෙස හඳුනාගෙන තිබේ.

මීට අමතරව සමෙහි දැනට පවතින ආසාත්මික තත්ත්වයන්ගේ වැඩිවීමක්ද උණුසුම් කාලගුණයත් සමග ඇතිවිය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙයි.

විශේෂයෙන් කුඩා දරුවන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරුවීමේ අවධානමක් පවතින අතර ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසීය.

"විශේෂයෙන්ම දිලීර ආසාදනයකදී ෆාමසියකට ගිහිල්ලා බෙහෙතක් දෙන්න කියලා ඉල්ලන්න එපා. දිලීර ආසාදනවලට ඒ විදියට ප්‍රතිකාර කරන්න ගියොත් ඒ දිලීර අපේ ප්‍රතිකාරවලට ඔරෙත්තු දීමකට ලක්වෙලා‌ ඔබට නිසි ප්‍රතිකාරයක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්."

"ළමයි අව්වට යන්න පුරුදු විය යුතුයි කියන මතය මේ වගේ කාලයකදී පාවිච්චි කරන එක එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නෙමෙයි. මොකද මේ සැර දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් දරාගැනීම අපහසුයි."

සංවර්ධනට රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න - ජනපති

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම” “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ඊයේ  (15)  කොළඹ පදනම් ආයතනයේ දී පැවති සාකච්ඡාවේදීය.

“සවිමත් අනාගතයට පෙරවදනක් – 2024′ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේ දී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

“අස්වැසුම” වැඩසටහන යටතේ පවුල් මිලියන 2කට ප්‍රතිලාභ හිමිවන අතර එම පවුල් සංඛ්‍යාව මිලියන 2.4ක් දක්වා ඉහළ නැංවිමට නියමිතය. ඒ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 183කි.

එමෙන්ම පවුල් ලක්ෂ 20කට “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත අතර ඒ සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කර තිබේ.

විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් මිලියන 11,250ක ප්‍රතිලාභ වෙන් කර ඇත.

“කඳුරට දශකය” වැඩසටහන දිස්ත්‍රික්ක 11ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක, ග්‍රාම නිලධාරී වසම් 4,401ක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

කෘෂි නවීකරණ වැඩසටහනේ පළමු අදියර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කත්, දෙවන අදියර ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 75කත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම මුදල් නිසි ලෙස වැය කරමින් අපේක්ෂිත සංවර්ධන අරමුණ ඉටු කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ශ්‍රම බලාකය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පියවරා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු නැවත ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ මෙම 2024 වසරේදීයි. 2019 වසරේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටුණා. ඉන් පසුව කොවිඩ් වසංගතය නිසා 2022 වසර වන විට ආර්ථකය වර්ධන වේගය සීග්‍රයෙන් පහත වැටුණා.

ඉන් පසුව අප මෙම 2024 වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප මෙම වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇතියි. කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම මගේ අරමුණයි.

2022 වසරේ මම රට භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණා. එහිදී මම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ යල කන්නය සාර්ථක කර ගැනීම සඳහායි. ඉන් පසුව මහ කන්නය සාර්ථක කර ගැනීමට කටයුතු කළා. එදා අපට මුදල් තිබුණේ නැහැ.

ලෝක ආහාර සංවිධානය මාර්ගයෙන් ඇමරිකාව අපට පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ලබා දුන්නා. ඉන්දියාවෙන් යුරියා මෙට්‍රික් ටොන් 40,000ක් ලබා දුන්නා. ලෝක බැංකුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 135,000ක් ලැබුණා. මේ නිසා යල කන්නය වගේම මහ කන්නය ද සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

අප දැන් එතනින් ඉදිරියට යා යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ අඩු ආදායම්ලාභීන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම අපේ අරමුණයි. කෙසේ වෙතත් සහන අවශ්‍ය ජනතාවට එම සහනය ලබාදීමට අප දැන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම මගින් අප ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩිකර තිබෙනවා. එම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළේ යම් අඩු පාඩු තිබිය හැකියි. අප මෙම වසරේදී එම අඩු පාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

මෙම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අප ලබාදෙන මුදල් සියල්ල නැවත රටේ ආර්ථිකයට එකතු වෙනවා.ඒ ඔවුන් එම මුදල් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කරන නිසයි. ඒ අනුව මෙම වසරේදී මෙම මුදල් ටික රටේ ආර්ථිකයට එකතු වෙනවා. ඒ වගේම ආණ්ඩුවෙන් වැටුප් වැඩි කළ නිසා පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීම් සිදු වෙනවා. ඒ වගේම වතුකරයේ ද ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වැටුප් වැඩි කිරීමේ වාසිය ආර්ථිකයට ලැබෙනවා.

තෙවනුව තිබෙන්නේ විමධ්‍යගත අයවැයයි. පසුගිය සමයේ සංවර්ධන කටයුතු නැවතුණා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ලැබෙන මුදල් අහිමි වුණා. මෙම වසරේදී මෙම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මීට අමතරව අප කදුරට දශකය ආරම්භ කර තිබෙනවා. කදුකර ප්‍රදේශ මෙතෙක් නිසි ලෙස සංවර්ධනය වෙලා නැහැ. අප ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම මුදලත් වැය කළ විට එයත් රටේ ආර්ථිකයට එක් වෙනවා.

ඒ නිසා රජය ලබා දෙන මෙම සියලු මුදල් නිසි ලෙස වැය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මෙම මුදල් අදාළ විෂයන් සඳහා යොදවන්න. එවිට මෙම මුදල් රටේ ආර්ථිකයට එක්වෙනවා.

ඒ වගේම ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට මෙමඟින් විසඳුම් ලැබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ ලක්ෂ 10කට ඉඩම් අයිතිය ලබාදීමේ සියලු කටයුතු මේ වන විට සකස් කර අවසන්. ගැටලු ඇති තැන්වල එම ගැටලු නිරාකරණය කර ගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට ඔවුන් වෙසෙන තට්ටු නිවාසවල අයිතිය ලබාදිමට ද පියවර ගෙන තිබෙනවා.

අපට පවතින ආර්ථික ක්‍රමය තුළ ඉදිරියට යන්න බැහැ. රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමට දැන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ගෙවීමට තිබෙන ණය සඳහා අප සහන කාලයක් ඉල්ලා තිබෙනවා. මෙහිදී අප මතක තබා ගත යුත්තේ අපේ අපනයන වලට වඩා ආනයන වැඩි බවයි. ආනයන, අපනයන පරතරය පියවීමට අපට සෑම වසරකම ණය ගැනීමට සිදු වෙනවා. ඒ නිසා අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප සියලුදෙනා දුක් වින්දා. අප නැවත එම තත්ත්වයට පත් වුවහොත් අප සිදු කළ කැපවීම්වල ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප සියලුදෙනා කැපවිය යුතුයි.

අප එම වැඩපිළිවෙළ ආරම්භ කළේ සංචාරක ව්‍යාපාරයෙන්. මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.

එහිදී අප කාෂිකර්ම නවීකරණය වෙනුවෙන් කැප වී සිටිනවා. ඒ වෙනුවෙන් අපි ප්‍රදේශීය ලේකම් කාර්යාල 26ක් තෝරාගෙන තිබෙනවා. ගොවිජන සේවා කාර්යාල කෘෂිකර්ම නවීකරණ කාර්යාල බවට පත් කරනවා. කෘෂිකර්ම අංශ සියල්ල එක් ඇමතිවරයෙක් යටතට ගෙන ඒමට අප කටයුතු කළා. ඒ වගේම වී වගාවේදී අස්වැන්න වැඩිකර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. නව බෝග වගාව මෙන්ම කුරුඳු වගාව අප දැන් ආරම්භ කර තිබෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහන ඉදිරියේදී සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලංකාවේ තිබෙන ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 341 න් අපි විදේශ විනිමය ලබා ගන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීයකින්ද, ඒ නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන එක් කර වෘත්තීය විද්‍යාල ඇති කර වෘත්තීය පුහුණුව විධිමත් කිරීමට ද අප පියවර ගන්නවා.

මූලික වශයෙන් සංචාරක ව්‍යාපාරය සහ කෘෂි සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනින් පසු විදේශ ආයෝජන ලබා ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ත්‍රිකුණාලය, හම්බන්තොට, ඉංගිරිය, නුවර, යාපනය වැනි ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇති අතර දකුණු පළාතේ සහ නැගෙනහිර මෙන්ම කඳුකරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙත යාම අපේ අරමුණයි. මෙම සියලු කටයුතු සමඟ අපට අලුත් ආර්ථිකයක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් අප නව නීති ගෙනවිත් තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සහ කාන්තාවන් ශ්‍රම බලකායට එක් කර ගැනීම ඉහළ නැංවීම වෙනුවෙන් ද අප වැඩකටයුතු කරගෙන යනවා.

පසුගිය වසර දෙක තුළ ගෙන ගිය අසීරු වැඩපිළිවෙළේදී ඔබ සියලුදෙනා ලබාදුන් සහායට මගේ ස්තූතිය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම අප සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු යැයි මම සියලුදෙනාට ආරාධනා කරනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා හා ඉඩම්) චන්ද්‍රා හේරත්, ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා හා යටිතල පහසුකම් සංවර්ධන) වර්ණන් පෙරේරා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, ප ළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. බී. පී. හේරත්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ඉඩම් කොමසාරිස් ජනරාල්, බන්දුල ජයසිංහ, මිනුම්පති ඩබ්ලිව්. සුදත් පෙරේරා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. සී. එම්. අබේගුණවර්ධන, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න, යන මහත්ම මහත්මීන් ද දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොලිස් පුටු මාරුවක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු ඇතුලු පොලිස් නිලධාරීන් 18 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ, ජාතික පොලිස් කොමිසමේ තීරණය පරිදි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා නව පත්කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා නියෝග කර ඇති බවයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

එම කාර්යාලය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකුද හා පොලිස් අධිකාරිවරයෙකුද ස්ථාන මාරුවීම් හා උසස්වීම් ලබාදී ඇති නිලධාරීන් අතර වන බවයි.

ගල්කිස්ස කොට්ඨාසභාර නිලධාරී තනතුරේ කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ.එම්.එම්.එස්.දෙහිදෙණිය  අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කර ඇතැයිද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

විශාලතම ජන ඒකරාශියකින් යුතුව මෙවර එජාප මැයි රැලිය කොළඹ පවත්වනවා !

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැමරුම විශාලතම ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දක්වමින් සංවිධානය කෙරෙන එම මැයි දින රැලිය අති සාර්ථක කර ගැනීම සඳහා පක්ෂයේ සියලු සංවිධායකයන් ගේ සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක  මේ බව සඳහන් කර සිටියේ අද (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු රට මේ වන විට නිවැරදි මාවතට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සමත්ව ඇති බවත් ඒ හමුවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය වී එහි වාසිය ජනතාව වෙත ලැබී තිබෙන බවත් සඳහන් කළේය.

එම සාර්ථකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙන බවත් පැවසූ හිටපු අමාත්‍යවරයා එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය අනිවාර්යයෙන් හිමිවනු ඇති බවත් පැවසීය.

මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

එළැඹෙන මැයි දින සැමරුම අති විශාල ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. මැයි රැලිය කොළඹ පැවැත්වූවත් එය වඩාත් සාර්ථක කරගන්නට එක්සත් ජාතික පක්ෂයේ සියලු සංවිධායකයන් සහ අනුබද්ධ සංවිධාන වල සහාය අපේක්ෂා කරනවා. මෙවර මැයි දින සැමරුමේ අපේක්ෂාව වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමයි. ඒ කටයුතු සාර්ථක කරගන්නට සියලු දෙනා එකමුතුව කටයුතු කිරීමට අවශ්‍යයි.

මේ වන විට රට නිවැරදි මාවතට පැමිණ තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගත් අභියෝගය සාර්ථක ලෙස ඉටුකරමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම මේ රට සංවර්ධනය කිරීමට නම් තරගකාරී ආර්ථිකයක් ඇති කළ යුතුයි. තරගකාරීත්වය තුළ මිල සමතුලිතතාවයක් ඇති වෙනවා. තවදුරටත් කෝටා ක්‍රමය සාර්ථක නෑ. ඒ වගේම එය අසාර්ථක වගේම දූෂිත බවත් තහවුරුව තිබෙනවා.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ නිසි මූල්‍ය විනයක් ඇතිව නිවැරදි මාර්ගයේ ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවා පැසසුමට ලක්ව තිබෙනවා. ජනතාව යම් පීඩනයකට ලක්ව සිටින බව ඇත්ත. නමුත් තිබුන තත්ත්වයට සාපේක්ෂව ‍යහපත් තැනකට රට ගෙනවිත් තිබෙනවා.

ඇතැම් ආයතන විවිධ සමීක්ෂණ වාර්තා එළිදක්වමින් IMF සමග වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාමට රජය අසමත් බව පවසනවා. නමුත් කිසිම දෙයක් අංගසම්පූර්ණ කිරීමට නොහැකි බව අප තේරුම් ගතයුතුයි. ඔය ආයතන සමීක්ෂණ වාර්තා කියලා එළිදක්වන්නේ විපක්ෂයේ අවශ්‍යතාව බවත් සිහිපත් කළ යුතුයි. නමුත් දත්ත අනුව රජය ආදායම් වැඩිකරගෙන තිබෙනවා. ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට නොහැකියි. ජනතාව අනවශ්‍ය පීඩාවට පත්කළ නොහැකියි. ඒ බව කවුරුත් පිළිගෙන කටයුතු කළ යුතුයි.

දැන් බලන්න , විදුලි බිල පසුගිය සමයේ ඉහළ දැමීමට සිදුවුණා. නමුත් මණ්ඩලයේ ණය ගෙවා සහනයක් ලබාගෙන , ජල විදුලි උත්පාදනය වැඩි වශයෙන් සිදුකිරීමට පහසු වූ පසුබිම තුළ ඉහළ දැමු විදුලි බිල විශාල ප්‍රමාණයකින් පහළ දමා ජනතාව ට ඒ සහනය ලබාදීමට ආණ්ඩුව කටයුතු කළා.

මේ වන විට විදෙස් සංචිතය ඩොලර් බිලියන 5ක් පමණ වි තිබෙනවා. එහි සහනය ජනතාවට ලැබී තිබෙනවා.

න්‍යායික නොවන , ප්‍රායෝගික නැති විවිධ පොරොන්දු දීලා , ජනතාව රවට්ටලා රට හදන්න බෑ. ආර්ථිකය හදන්න නම් නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අවශ්‍යයි.

දැන් බලන්න පරාටේ නීතිය අත්හිටුවීමට කටයුතු කළොත් බැංකු කඩා වැටෙයි කිව්වා. ලෝකය පුරා බැංකු තිබෙනවා. පරාටේ නීතිය තිබිලා බැංකු කඩා වැටිලා නැද්ද ? ඔය කතා මහ බැංකුව පහසුවට කියන කතා. මහ බැංකුවේ වැඩ වලින් ආණ්ඩුවක් පෙරලන්න වුණත් පුළුවන්.

බැංකු ණය නොගෙවා ඉන්නේ 5% ක් වගේ ඉතාම සුළුතරයක්. 95 % ක් ආත්ම ගෞරවයක් ඇතිව ණය ගෙවන්න කටයුතු කරනවා. වංචනික ලෙස ණය නොගෙවා සිටිනවා නම් ඊට එරෙහිව කටයුතු කළ යුතුයි. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය ගත්තේ පොලිය 10% -12% ට තිබියදීයි. නමුත් පොලිය 30%ට ඉහළ දැම්මට පස්සේ ඒ මිනිස්සු කොහොමද එකපාරටම ඒ වැඩි වුණු ප්‍රමාණය ගෙවන්නේ ? පොලිය වැඩි කළා කියලා ඔවුන්ගේ ආදායම් වැඩි වුණේ නෑ . ඒ නිසා ඔවුන් ගැන මානුෂීය විය යුතුයි. ව්‍යාපාර නැතිව ආර්ථිකයක් පවතින්නේ කොහොමද ? අපිටත් ව්‍යාපාර තිබෙනවා . අපි ආර්ථිකය හසුරුවලත් තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් බැංකු පවා සාධාරණ ලෙස කටයුතු කළ යුතුයි. ඔවුන්ව බිත්තියට හේත්තු කරන්න නරකයි. පරාටේ නීතිය නැත්නම් බැංකු වැටෙනවා කියලා බොරු කියන්න නරකයි.

මහ බැංකුව පසුගියදා ඔවුන්ගේ වැටුප් ඉතාම අසාධාරණය ලෙස වැඩිකර ගත්තා. දැන් ඒ ආකාරයට හැසිරීම වලක්වන්න නීති ගේන්න සාකච්ඡා කරනවා. නමුත් මම මුලින්ම ඔය අනතුර පෙන්වා දුන්නා. මහ බැංකුව එහිදී කටයුතු කළේ, " මම කියන දේ කරන්න : හැබැයි මම කරන දේ කරන්න එපා" කියන ආකාරයට යි. ඒ නිසා මේ වගේ කටයුතු පාලනය කිරීමට නීති අවශ්‍යයි.

ඒ වගේම තමයි , වාහන ආනයනය ගැන කතා බහක් තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම් මේ වසරේදී ත් වාහන ආනයනය කිරීමට අවශ්‍ය නෑ . මොකද ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 1.5 - 2 ක් පමණ ඇදී යනවා. 5% -10% ක අවශ්‍යතාව ඉටුකරන්න ගිහින් අවධානමක් ගන්න අවශ්‍ය නෑ . නමුත් සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ ගැන සළකා බැලීමේ වරදක් නෑ.

දැන් බලන්න බඩ ගැන නොහිතා රට ගැන හිතන්න ගිහින් අන්තිමට බඩයි රටයි දෙකම නැති කරගත්තා. ඒ වෙලාවේ කවුරුත් අභියෝගය බාරගන්න ඉදිරිපත් වුණේ නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි අභියෝගය බාරගත්තේ. දැන් රට මූල්‍ය විනයක් ඇතුව නිවැරදි මාර්ගයේ යනවා. ජනතාවට අමාරුකම් තියෙනවා. ඒක නෑ කියන්නේ නෑ . නමුත් හිඟය අවසන් කරලා තියෙනවා. අර්බුදය එකවර විසඳීමට හැකියාවක් නෑ . නමුත් රට ගොඩනැගීම ආරම්භ වී තියෙනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා .

විපක්ෂයට එක එක කතා කියන්න පුළුවන්. අරක කරනවා, මේක දෙනවා කියන්න පුළුවන්. නමුත් ක්‍රමවේදය කියන්නේ නෑ . අපි යමක් නොමිලේ දෙනවා නම් ,එය උපයන ක්‍රමයක් ද තිබිය යුතුයි . " මචං , මට ණය ටික ගෙවන්න විදියක් නෑ . පස්සේ තියෙන වෙලාවක දෙන්නම් " වගේ කතා කියලා රට ගොඩනගන්න බෑ. " ගිය පාරට වඩා ඩොලර් 500ක් එවන්න" කියලා රටේ ආර්ථිකය හදන්න බෑ. අපේ කාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක මිල අඩු කළා. ආදායම් ඉහළ නංවන ක්‍රමවේදයක් ඇතුවයි ඒ දේවල් කළේ.

මේ යන ආකාරයට ඩොලරය රුපියල් 290ක් වගේ තත්ත්වයට පත්වෙයි. ඩොලරය කෘතිම ලෙස පාලනය නොකළ යුතුයි. අපි ඩොලර් එකතු කරන්න ඕන . අපනයනය වැඩි කරන්න ඕන . තවමත් අපේ රට 69% ක් ආනයනය කරනවා. එය වෙනස් කරන්න ඕන. අපි තවම එතනට පැමිණ නෑ . අපනයනය දිරිමත් කරන තරමට තමයි ඩොලර් එකතු කරන්න ලැබෙන්නේ . අපනයන ආර්ථිකය වෙත යන්න නම් ඒ සඳහා දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුලේ කටයුතු කළ යුතුයි. වසරින් වසර වෙනස් වෙන ප්‍රතිපත්ති සමග එතනට යන්න බෑ.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ සාර්ථක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇති නිසා තෙවැනි වාරිකය අනිවාර්යයෙන් ලැබෙයි. ජනතාව තුළත් ජනාධිපති ගේ වැඩපිළිවෙළ ගැන විශ්වාසය ඇතිවී තිබෙනවා . අපි බලය ගන්න ඕන ජනතාව ගේ විශ්වාසය දිනාගෙනයි. එහිදී ජනප්‍රිය තීන්දු ගන්නවා වෙනුවට නිවැරදි තීන්දුව ගත යුතුයි. ඒ සඳහා සැමගේ සහාය අවශ්‍යයි . කාටවත් තනියම රට ගොඩනගන්න බෑ. බහුතරයේ විශ්වාසය දිනාගැනීමට සමත් වැඩපිළිවෙළක් සමග රට ගැන හිතන සියලු දෙනා එක්කර ගනිමින් ඉදිරියට යායුතුයි.

කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නෑ - අමාත්‍ය අමරවීර

දිවයිනේ කුඹුරු ඉඩම් ගොඩ කර විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් උත්සාහ ගත්ත ද මින්පසු කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දෙයි.

ඊයේ (14) පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් නාගරිකව තිබෙන කුඹුරු ඉඩම්වලින් ඉහළම ඵලදායිත්වයක් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

දැනට පාදුක්ක ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් අක්කර 10,000ක් පමණ තිබෙන අතර එම ඉඩම්වල කොළඹ නගරයට හා තදාසන්න නගරවලට අවශ්‍ය එළවළු වගා කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකසන්නැයි කෘෂිකර්ම උපදේශකවරුන්ට හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම තවදුරටත් පුරන් කුඹුරු වී වගාව සඳහා අස්වැද්දීම ඵලදායක නොවන බව කී අමාත්‍යවරයා පුරන් කුඹුරුවල වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට පියවර ගත යුතු බවත් සඳහන් කළේය.

පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලති. නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඇතැම් පුද්ගලයින් මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම් හිතා මතා පුරන්වීමට ඉඩ හැර ඇති බව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පවා පසුගියදා පෙන්වා දුන් බව කී අමාත්‍යවරයා කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස ජනාධිපතිතුමන් තමන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාදුක්ක තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කුකුළු පැටව් හා පොල් පැළ ද බෙදා දෙනු ලැබීය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න යන අය ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

ඉන්දු - ශ්‍රී ලංකා එක්ව එළිදැක් වූ “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka India Society) විසින් ඊයේ (14) කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහභාගි වූ අතර විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා  එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ඉන්දු- ශ්‍රී ලංකා සබඳතාවන්හි මෑතකාලීන විශේෂ අවස්ථා ඇතුළත් “මෛත්‍රී” සඟරාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආගමික හා සංස්කෘතික වශයෙන් විශාල බැඳීමක් තිබෙනවා. ඒ වගේම අපේ රටවල් දෙකටම පොදු උරුමයන් පවතිනවා.

මෙවර 75 වන ඉන්දීය ජනරජ දින සංවත්සරයේ විශේෂත්වය වන්නේ මම පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමඟ එක්ව අත්සන් තැබු “දැක්ම” ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන දැක්ම ප්‍රකාශය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අප කැපවී සිටිනවා.

අපේ රටවල් දෙක අතර පවතින සංස්කෘතික හා ආගමික බැඳීම්, රටවල් දෙකම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වීම, සහ රටවල් දෙකටම බ්‍රිතාන්‍ය නීති පද්ධතියක් පැවතීම වැනි කාරණා පිළිබඳව අප නිරන්තරයෙන් සාකච්ඡා කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින වෙළඳ සහ ආර්ථික සම්බන්ධතාව අප අමතක කර තිබෙනවා.

එම සම්බන්ධතාව සංස්කෘතික බැඳීම්වලටත් වඩා ඔබ්බට ගිය සම්බන්ධතාවක් බව සිහිපත් කළ යුතුයි. මොහෙන්ජදාරෝ ශිෂ්ඨාචාරය පැවති කාලයේ සිට පවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නැව් පැමිණි බව පැවසෙනවා. විශේෂයෙන් දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සැළකූ විට, අනුරාධපුරය, තන්ජාවූර්, මධුරෙයි සහ කාන්චිපුරම් යන රාජධානි හතර ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වූ ආකාරය අනුව එකිනෙකා සමඟ සන්ධානගත වී හෝ එකිනෙකා සමඟ සටන් කිරිම සිදුව තිබෙනවා.

ඉන්දියානු රාජධානි තුනට බොහෝ අවස්ථාවල ලෝකයේ නැගෙනහිර රටවලට ප්‍රවේශ වීම සඳහා ප්‍රධාන වරායක් බවට පත් වූයේ ත්‍රිකුණාමල වරායයි. මුන්නෙස්වරම් කෝවිල, මන්තායිහි හි පිහිටි කේතීස්වරම් කෝවිල, දඹකොළපටුන ලෙස හඳුන්වන යාපනයේ සිට පැමිණි අය වෙනුවෙන් ඉදිකර ඇති නගුලේස්වරම් කෝවිල, ත්‍රිකුණාමලයේ පිහිටි කොනේශ්වරම් කෝවිල යන මේ සියලු සිද්ධස්ථානවලින් හමුවී ඇති කාසි ප්‍රමාණයෙන් පැහැදිළි වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති වෙළඳ සබඳතාව සහ දෙරට අතර සිදුවි ඇති ක්‍රියාකරකම් පිළිබඳවයි.

එමෙන්ම පැරණි ගම්මාන පිළිබඳ කැනිම් සිදුකිරීමේදී අනුරාධපුර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලින් දකුණු ඉන්දියානු වෙළෙඳ සංවිධාන විසින් නිකුත් කරන ලද කාසි සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දියානු රුපියල භාවිතා කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් තැබීමට පෙර සිටම, අතීතයේ සිටි පිරිස් වෙළඳ ගනුදෙනු සඳහා පොදු මුදල් ඒකකයක් භාවිතා කර තිබෙන බව මෙයින් පෙනී යනවා.ඒ අනුව මෙම සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට දැන් අප කටයුතු කළයුතුයි. ප්‍රවාහන, බලශක්ති යන සියලු ක්ෂේත්‍රවල අප දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනිමට අවශ්‍යයි.

ඒ වගේම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම දකුණු ඉන්දියාවට පහසුකම් සැලසෙන පරිදි භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කළයුතුයි. ඒ අනුව අග්නිදිග ආසියාව සහ බෙංගාල බොක්ක යන කලාපයන් සංවර්ධනය වන විට ත්‍රිකුණාමලය නැවත සංවර්ධනය කිරීම පිළිබඳ අපේ අවධානය යොමු කර තිබෙනවා. බෙංගාල බොක්ක කලාපය ආශ්‍රිත උපායමාර්ගික වටිනාකම නිසා කොළඹ වරාය භාවිතා කිරීම දැන් වැඩිදියුණු වෙමින් පවතිනවා. මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා ගන්නේ කෙසේද සහ ශ්‍රී ලංකාව සතු අතිරේක පුනර්ජනනීය බලශක්තිය දකුණු ඉන්දියාව සඳහා ලබාදෙන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අප කටයුතු කරමින් සිටිනවා.

සංචාරක කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සහ ඉන්දියාවට නිතර යන ශ්‍රී ලාංකිකයන් සිටිනවා. ඉන්දියාවේ සිට සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන තරමටම ශ්‍රී ලාංකික සංචාරකයින් විශාල පිරිසක් තිරුපති සහ අයෝධ්‍යා මෙන්ම ගුරුවායුවලට යනවා.

අප සාමුහිකව කටයුතු කළාහොත් ඉන්දියන් සාගරය දියුණු වනවිට අපේ රටත් දියුණු වෙනවා. අපි ආර්ථික ඒකාබද්ධතාවය කරා ගමන් කරනවා. වෙනත් ක්‍රමයක් නැහැ. මෙහිදී අප යුරෝපා සංගමය සමඟ එක්වූ බ්‍රිතාන්‍යය සිදු කළ දේ අනුගමනය නොකළ යුතුයි. පසුව ඉන් ඉවත්ව යනවා කියලා ඔවුන්ම තීරණය කළා. ඒ වගේම ඔවුන් තවමත් ඉන්දියාව සමඟ නිදහස් වෙළද ගිවිසුමකට ඇතුළු වන ආකාරය සොයමින් සිටිනවා. ඒය සිදුවෙයි ද නැද්ද කියා මා දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, අපට තිබෙන අවස්ථාවන් අප අවබෝධ කරගත යුතුයි. අප ඉන්දියාව සමඟ එක්ව ඉදිරියට යන්නේ කෙසේද කියා සිතා බැලිය යුතුයි. එය ඉතා පහසු ක්‍රියාවලියක් බව කිව යුතුයි.

බැංගලෝර්වල සිටින අයෙකුට රාජස්ථාන්වලට යනවාට වඩා පහසුවෙන් නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණිය හැකියි. රාජස්ථාන්වලට යාමට පැය දෙකක් ගතවුවත් ශ්‍රී ලංකාවට පැමිණීමට ගතවන්නේ පැයක කාලයක් පමණයි.

කර්මාන්ත කටයුතුවලදී මෙන්ම මේ සියලු කටයුතුවලදී සැපයුම් දාමයන් ස්ථාපිත කිරීමේ හැකියාව ද තිබෙනවා. ඉන්දියන් සාගරය දැන් සංවර්ධනය වෙමින් පවතිවා. ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය ආදී අනෙකුත් රටවල් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතිනවා.එවිට ඉන්දියන් සාගර කලාපය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඉදිරි වසර 50ක, 60ක කාලය තුළ අප්‍රිකානු කලාපයද දියුණු වන නිසා එය එසේ සිදුවනු ඇතියි. ඉතින් අප දැන් මේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. අප රටවල් දෙක අතර දේශපාලන සම්බන්ධතා පවතිනවා. මේ සියලු ක්ෂේත්‍ර තුළ අපේ රටවල් දෙක එකිනෙකාට සමීපයි. ඒ නිසා අපි එකිනෙකාට උපකාර කරමින් ඉදිරියට යා යුතුයි. මේ තුළින් දෙරටටම ප්‍රතිලාභ උදා වෙනවා.

ඒ නිසා, අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගිය වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ වෙනුවෙන් මම ශ්‍රී ලංකා-ඉන්දියා සමාජයට ස්තූති කරනවා. ඒ වගේම අප විසින් එළිදක්වන ලද මේ “දැක්ම” ප්‍රකාශය මෙතැන් සිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද් කුමාර්, ෂෙහාන් සේමසිංහ, සුරේන් රාඝවන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ශ්‍රී ලංකා ඉන්දියා සමාජයේ නිලධාරී මණ්ඩලය සහ එහි සමාජිකයන් මෙන්ම දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙයි.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදු කරනු ලබයි.

2024.03.15 දින දහවල් 12.00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වේ.

2024.03.15 දින දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින් එම අයදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතු ය.

කෙහෙළියගෙන් ඇප අයැදුමක්

මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පත්‍රයක් අද (මාර්තු 15) ගොනු කර ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට තමාන්ව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ත් තමන් විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම් ද එම අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව ත් ඔහු සිය ඇප ඉල්ලීමෙන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය මගින් තමාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමේ නියෝග අවලංගු කරමින්, ඕනෑ ම ඇප කොන්දේසියක් මත තමන්ව මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ඇප අයැදුම්පත්‍රය මගින් මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉල්ලා ඇති එම ඇප ඇයැදුම්පත්‍රය සලකා බැලීම සඳහා ලබන මාර්තු 18 වන සඳුදා මෙම නඩුව මහාධිකරණයේ හමුවේ කැඳවීමට නියමිත ය.

පොන්නාලේ සිදුවීම : නාවික සෙබළුන් ගැන විමර්ශනයක් !

යාපනය වඩුක්කෝට්ටේ පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසළදී අඹුසැමි යුවළක් පැහැරගෙන ගිය අවස්ථාවේ නාවික හමුදා සෙබළුන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට නාවික හමුදාව තීරණය කර තිබේ.

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පවසන්නේ අදාළ විමර්ශනයේදී නාවික හමුදා සෙබළුන් වැරදිකරුවන් වුවහොත් ගතහැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවය.

වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දියේ පිහිටි නාවික හමුදා මුරපොළ අසලදී කිසියම් පිරිසක් අඹුසැමි යුවළකට අමානුෂික අයුරින් පහරදී පැහැරගැනීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය 11 වනදාය.

එලෙස පැහැරගැනීමෙන් පසුව පිරිමි පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබුණි.

එදින පැහැරගැනීමේ සිදුවීම නාවික හමුදා මුරපොළ අසල CCTV කැමරාවක සටහන්ව තිබු බවද වාර්තා වෙයි.

2022 සහ 2023 වර්ෂවලදී නව පනත් සහ සංශෝධිත පනත් 107ක් පාර්ලිමේන්තුවට !

2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසීය.

2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

2022 වසරේ දී නව පනත් 29 ක් සහ 2023 වර්ෂයේ දී නව පනත් 78ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව නව පනත් සහ සංශෝධිත පනත් සමස්ත සංඛ්‍යාව 107ක් වනවා. මෙය අධිකරණ අමාත්‍යාංශයේ ඉතිහාසයේ සංශෝධනය කර ගැනීමට හැකිවූ වැඩිම පනත් සංඛ්‍යාව ලෙස හැඳින්විය හැකියි.

ඒ වගේම බන්ධනාගාරවල සිටින රැදවියන් රටට වැඩ ඇති පිරිසක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමඟින් රැදවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාර ආශ්‍රිතව මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මකයි. සපත්තු, කොයිල් සහ ආහාර මෙමඟින් නිෂ්පාදනය කෙරෙනවා.

එමෙන්ම දඩුවම් කාලයේදී නිවාස අඩස්සියේ රැඳවා තැබීම හරහා දඩුවම් කාලය අවසන් කරන්නේ (House arrest concept) කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව මේ වන විට අපට ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. එය මේ වන විට නීති කෙටුම්පත් කිරීම සඳහා යොමු කර තිබෙනවා. එය 2024 වසරේ දී නිතීයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. එමඟින් බන්ධනාගාර තදබදය සහ ආහාර ගැටළුවට විසඳා ගැනීමට හැකි බව සඳහන් කල යුතුයි.

මේ වන විට රැඳවියන් සඳහා වසරකට රුපියල් බිලියන 04ක වියදමක් දැරීමට සිදුව තිබෙනවා. රැදවියන් 12,000ක් සිටිය යුතු බන්ධනාගාර තුළ මේ වන විට රැදවියන් 30,793ක් සිටිනවා. මේ ගැටලුව විසඳීම සඳහා ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතයි.

තව ද 2023 වර්ෂයේ දී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. 2024 වර්ෂය සඳහා අපේක්ෂිත ලාබය රුපියල් 92572967.00ක් වනවා.

ඒ වගේම මත්ද්‍රව්‍ය සඳහා යොමු වී බන්ධනාගාරගත කර සිටින රැදවියන් සඳහා නිවැරදි පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමට මෙන්ම නිපුනතාවයක් ලබාදිය යුතු වනවා. ඒ සඳහා පැවති ප්‍රජාවිශෝධන ක්‍රමවේදය වඩාත් සක්‍රීය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් සිදුකල වැඩසටහන් සඳහා 2023 වසරේ දී පුද්ගලයින් 14,026ක් යොමු කළා. එම ප්‍රමාණය 2024 වසරේ දී 15,000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වනවා.

ඒ වගේම මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගර සඳහා යොමු කර සිටින රැදවියන් පුනරුත්තාපනය කිරීමට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි 22ක් සහ අක්කර 22ක භූමි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම වව්නියාව ප්‍රදේශයේ අක්කර 06කින් යුත් කාන්තා පුනරුත්තාපන ඒකාබද්ධ මධ්‍යස්ථානයක් වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

තවද අධිකරණය සහ මහජනතාව සමඟ සහසම්බන්ධතාවය වර්ධනය කිරීමට සෑම ග්‍රාමසේවා වසමකම සංහිඳියාව සඳහා කමිටු පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සර්වාගමික උපදේශක මණ්ඩල පිහිටුවීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බෝවන රෝග සඳහා වෙන්කර තිබූ මඩකලපුව මාන්තිව් දූපත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාවය පළකර තිබෙනවා. එය පුනරුත්ථාපන සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට විද්වත් කමිටුවක් : පොල් කර්මාන්තය නැංවීමටත් පියවර !

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළත්වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා පරිමාණ, සුළු හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සහ ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම, ඉදිකිරීම් සේවා ප්‍රවර්ධනය කිරීම, විකල්ප අරමුදල් සම්පාදනය සහ කොන්ත්‍රාත් උපදේශන ගැටළු පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතන ප්‍රධානීහු ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල නිරත කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාතික ආර්ථිකය සඳහා පොල් කර්මාන්තයේ දායකත්වය ඉහළ නංවමින් මෙරට පොල් වගාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අපනයනය ඉලක්ක කරගත් තරගකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධන කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික පොල් කර්මාන්ත මණ්ඩලය (National Chamber of Coconut Industry Sri lanka) පිහිටුවීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය.

පොල් කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලුණු අතර ක්ෂේත්‍රයේ නියුතු වූවන් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සහ පොල් කර්මාන්තය ආශ්‍රිත ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට පොල් කර්මාන්තය හා සම්බන්ධ සියලූම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතනවල ප්‍රධානීහු සහ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20240314 WA0012

අයි.එම්.එෆ්. - ජාතික ජන බලවේගය අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) ඇතුළු නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.

පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විමසීම් සිදු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් ට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ කැට්සියරිනා ස්විඩ්සෙන්කා Katsiaryna Svieydzenka සහ මානවී අබේවික්‍රම යන අය සාකච්ඡාවට එක්ව සිටි ඇත.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගි වී තිබේ.

නඩු විභාගය අවසන් වන තෙක් කෙහෙළියට ඇප නෑ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

එහිදී ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම හා රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් අවසන් වරට අධිකරණය හමුවට ඉදිරි පත් කර තිබුණේ මාර්තු 1 වන දා ය.

නැවත මෙම නඩුව මාර්තු 28 වනදා කැඳවන බවට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාරිසරික උද්‍යාන ආරක්ෂා කිරීමට පනතක්

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පාරිසරික උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබේ.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි. වැවක්, ඇවිදින මංතීරු, යකඩ පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබාදීම ‍සූර්ය බලශක්තියෙන් සිදු කෙරේ.

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන අළෙවි කිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

මෙම පරිසර උද්‍යානය ඉදිකිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූවන්ට තිළිණ පත් ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මෙම ව්‍යාපෘතිය ආර්ථිකය දියුණු කරන වැඩසටහනක්. අප දැන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි වැඩසටහන් පිළිබඳවයි. අද ගාල්ල ප්‍රධාන සංචාරයක ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එය අප තවත් දියුණු කළයුතුයි. මේ තුළින් මෙම ප්‍රදේශවල ජනතාවට විශාල ආදායමක් ලබාගත හැකියි.

සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම අප පරිසරය ආරක්ෂා කරගත යුතුයි. මෙවැනි උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වෙනවා. නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් මෙම පරිසර උද්‍යානයේ අලංකාරය නැති කිරිමට පුද්ගලයන් කටයුතු කරනවා.

අප සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේදී එහි සුවිශේෂී ස්ථානයක් දකුණු පළාතට හිමි වෙනවා. ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම මහ මෝදර, ගාල්ල බන්ධනාගාරය පැවති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් වෙනවා.

සංචාරක ව්‍යාපාරය රටට ඉක්මණින් ආදායම් උපයා දෙන ක්ෂේත්‍රයක්. මුහුදු සීමාව තුළ පවතින සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමට මෙවැනි ව්‍යාපෘති මහත් රුකුලක් වෙනවා. මුහුදුකරයට පමණක් සංචාරක ව්‍යාපාරය සීමා විය යුතු නැහැ. අපි රටට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට මෙන්ම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් ද ගෙන්වා ගැනීමට කටයුතු කළයුතුයි.

රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. වසර දෙකකට පෙර ඉන්ධන තිබුණේ නැහැ. පොහොර, ඖෂධ තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඒ වගේම ජනතාව මුදල් උපයනවා.

ඒ වගේම කුරුඳු වගාව පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. තේ බෝගයට සුදුසු තැන් වල තේ වගා කර අනෙක් ස්ථානවල කුරුඳු වගා කිරීමෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි. එමෙන්ම තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන ආයතන මේ ප්‍රදේශවලට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා. මෙම කටයුතු සමග ගාල්ල විශාල දියුණුවකට ලක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,

මනස සුවපත් කරන මෙවැනි උද්‍යාන මීට පෙර හිමිව තිබුණේ අගනුවරට පමණයි. අද වන විට පාරිසරික උද්‍යානයක පහස විඳගැනීමට ගාල්ලේ ජනතාවට හැකිවී තිබෙනවා . ආර්ථික අර්බුදය පැවැති පසුගිය කාලයේ සංවර්ධනය අඩාල වූ බව අප කවුරුත් දන්නවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය ආර්ථික වැඩපිළිවෙළ නිසා නැවත රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා.

වසර 65ක් පුරා ප්‍රතිසංස්කරණය නොවූ ගාලු පුරහල ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කළා. එකම සම සෞඛ්‍ය පීඨය ගාල්ලේ ඉදිවෙමින් තිබෙනවා. නව අධිකරණ සංකීර්ණයේ වැඩකටයුතු 80%ක් පමණ අවසන් කර තිබෙනවා.

එය ලබන ජුනි මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ “හෙල්මුට්කෝල්” මාතෘ රෝහලේ වැඩ කටයුතු අවසන් කර තිබෙනවා. එය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයක් ලබන 27 වෙනිදා විවෘත කිරීමට නියමිතයි. කරාපිටිය ශික්ෂණ රෝහලට නව වකුගඩු ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 100ක් වෙන් කිරීමට නියමිතයි. හෘද ඒකකය සහ සීටී ස්කෑන් යන්ත්‍ර සදහා රුපියල් මිලියන 800ක් මේ වසරේදි වෙන් කර තිබෙනවා. ආර්ථික අභියෝග හමුවේ වුවද ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අද වන විට සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙමින් පවතිනවා.

වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ,

රිචඩ් පතිරණ අමාත්‍යවරයා ගාල්ල පුරවරයට මෙන්ම අධ්‍යාපනයට විශාල සේවාවක් සිදු කළා. එම සේවාව ඉදිරියට ගෙන යාමට රමේෂ් පතිරණ මහතා විශාල කැපවීමකින් කටයුතු කරනවා.

විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගනු ලැබුවේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකයි. ඉන්ධන පෝලිම්වල ජනතාව මැරී වැටෙන අවස්ථාවක, පොහොර නැතිව ගොවීන් පාරෙ උද්ඝෝෂණ කරන අවස්ථාවක රටේ ආර්ථිකය ගොඩනැගීමේ වගකීම භාරගත් එතුමා අද රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීලා, ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීලා ගොවීන් නැවත ගොවි බිම්වලට යැවීමට කටයුතු කර තිබෙනවා.

2022 වසරේදී මෙරටට අවශ්‍ය සහල් ආනයනය කිරීමට අපට සිදුවුණා. නමුත් 2023වසරේදී අපේ පාරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව ඉහළ නැංවීම පිළිබඳ ලබා දුන් පොරොන්දුව අනුව ඒ සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන ජනතාවට ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කර දීමට ජනාධිපතිමා කටයුතු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන , සම්පත් අතුකෝරළ යන මහත්වරුන් මෙන්ම පළාතේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Page 28 of 401