V2025

පුවත්

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්නට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න  පත්කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක  විසිනි.

රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

1997 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ වේන් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු ආහාරයට ගත හැකි තෙල් වර්ගවල රසායනික සහ පෝෂණ ගුණ පිළිබඳ පර්යේෂණ රැසක් මෙහෙයවූ ප්‍රමුඛ පෙලේ ආචාර්යවරයෙකු ද වේ.

2014- 2017 දක්වා විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබේ.

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර  පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම් රවිරාජ් සහ ජනාධිපති නීතිඥ කේ. සී. ඩබ්ලිව්. උනම්බූව යන  පත් කර ඇත.

හිටපු ජනාධිපති රනිල් ගේ විශේෂ ප්‍රකාශය

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද(17) පැවසීය.

එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව කී වික්‍රමසිංහ, ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම් වලින් පැන යන්නේ නැති අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බව අවධාරණය කළේය.

ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩ ගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බව සඳහන් කළේය.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.

''මම ජනාධිපති ලෙස රට බාරගත්තේ අපට ණය ගෙවන්නට බැරිව බංකොලොත්භාවය ප්‍රකාශ කළ අවස්ථාවේදීයි. මගේ මූලික අරමුණ වුණේ ඒ අවස්ථාවේදී යළිත් ණය තිරසර බව ඇති කර බංකොලොත් භාවය ඉවත් කර ගැනීමයි. ඒ සඳහා මා එම අවුරුදු දෙකේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,අපට ණය ලබා දී තිබූ රටවල් දහ අට සහ පෞද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කොට ගිවිසුමකට එළඹුණා. ඒ අනුව අප ණය තිරසර බව ඇති කිරීම සම්බන්ධයෙනුත් අනතුරුව අප රට බංකොලොත් භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් එකඟතාවයකට පැමිණියා.මේ සියලු ක්‍රමවේද අවසන් කොට පෞද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දීයි.

මෙලෙස අප ඇති කරගත් ක්‍රමවේදය නිසා අපට දැන් විදේශ බැංකු සමග ගනුදෙනු කරන්න පුළුවන්. එමෙන්ම විදේශ ආධාර ලැබෙනවා. අපගේ ණය තිරසර බව නිසා මේ වනවිට බංකොලොත් බව අවසන් වී තිබෙනවා.

රට බංකොලොත් බවින් මුදා ගැනීමේ කාර්යභාරය සඳහා මා පසුගිය පාර්ලිමේන්තුව සමඟ වැඩ කටයුතු කළා.එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එමෙන්ම ඒ පාර්ලිමේන්තුව සමග වැඩකටයුතු කළ මගේ නිලධාරී මණ්ඩලයටත් ස්තුතිය ප්‍රකාශ කරනවා.

දැන් අපට තිබෙන්නේ එම තිරසර බව පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන බවට වාර්තා වී තිබෙනවා.

එසේ නම් එම සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එය ක්‍රියාත්මක කිරීම අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්.

එම වැඩ කටයුතු ක්‍රියාත්මක කර තිරසර භාවය ඇතිකර ගැනීම සඳහා අපට ඉලක්ක කිහිපයක් තිබෙනවා.

පළමුවෙන්ම 2028 වසරේ සිට අපට ණය ගෙවන්නට තිබෙනවා. 2027 වසර වන විට අපගේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක් විය යුතුයි. දැන් එම අගය සියයට 12 යි. ඒ ඉලක්කයට යෑම සඳහා සෑම වසරකම සියයට එකක වර්ධනයක් ලබාගත යුතුයි.

මූලික වශයෙන් මේ වසර අවසන් වන විට අපට 2019 වසරේ තිබූ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබාගන්න පුළුවන්. ඒ සමගම අපගේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගත යුතුව තිබෙනවා. එම විදේශ විනිමය සංචිතය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10-14 අතර අගයක තිබිය යුතුයි.මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව අපට ණය ගෙවන්නට තිබෙනවා.මේ කාල සීමාව ඇතුළත අප ඉහත ඉලක්ක සපුරා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා අප ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි.

මේ වැඩසටහනේ තවත් වැදගත් කාරණයක් වන්නේ දුෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කිරීමයි.මේ සියලු කාරණා සම්බන්ධ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.මෙම ජනපතිවරණ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙන්නේ නැහැ.

කෙසේ හෝ නව පාර්ලිමේන්තුවේ වගකීම් ඉටු කරන්නට නම් පසුගිය ගිය පාර්ලිමේන්තුවේ ලැබූ අත්දැකීම් නතර කළ යුතුව තිබෙනවා. එනම් පසුගිය පාර්ලිමේන්තුවේදී කිසිවෙකුත් මේ වගකීම් බාරගන්නට ඉදිරිපත් වුණේ නැහැ. මම පැමිණ පොහොට්ටුවේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකතු කරගෙන මේ ආණ්ඩුව හදා වැඩකටයුතු කළා.

ඊළඟ පාර්ලිමේන්තුවේදී මෙවැනි සිදුවීම් වන්නට ඉඩ නොතැබිය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් තුනක් තිබෙනවා.ඒ කණ්ඩායම් තුන අතුරින් එක කණ්ඩායමක් ගැන මා මෙහිදී ප්‍රකාශ කරන්න අවශ්‍යයි..මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේයි. පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,නව සන්ධානය මෙන්ම අනෙක් සියලු කණ්ඩායම් එකට එකතු වී මට සහයෝගය දුන්නා.මගේ නායකත්වය යටතේ මේ අය වැඩකටයුතු කළා. දැන් ඒ සියලු දෙනා එකට එකතු වී තිබෙනවා.

එම මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් මෙන්ම මා සමග වැඩ කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් කොටසක්ද එකට එක්වී මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.ඒ අය ඉදිරිපත් වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාර්ගයෙනුයි .මගේ නායකත්වය යටතේ ඒ අය මේ ඡන්ද වැඩකටයුතු කරන්නට යනවා. මේ සියලු දෙනාටම ඒ පළපුරුද්ද තිබෙනවා. ඒ අය නිසි පරිදි මේ වැඩ කටයුතු කර තිබෙනවා.

මා සමග ඉකුත් වසර දෙකේ වැඩකටයුතු කළ අයට ආර්ථික අර්බුද වලට මුහුණ දීම සඳහා පලපුරුද්ද තිබෙන නිසා ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. විපක්ෂයේ සිටියත් පාර්ලිමේන්තුවේ සිටියත් මේ පළපුරුද්ද නැතිව පාර්ලිමේන්තුව ගෙන යන්න බැහැ. එමෙන්ම එවිට ඉලක්ක ලබා ගැනීමේදීත් අසාර්ථක වෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු කළ අයත් අපට සහයෝගය දුන් පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම නව සන්ධානයේත් අනිත් පක්ෂ වල සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපගේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙසයි.

එමෙන්ම මීට පෙර අවස්ථාවේ ඡන්දය නුදුන් අයගෙන් ඉල්ලීමක් කරනවා.රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් මේ පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

නව පාර්ලිමේන්තුවෙන් තීරණය වන්නේ ඔබේ අනාගතයයි.අප සාර්ථකව මේ වැඩ කටයුතු කරනවා නම් රටක් ලෙස ගොඩ එන්න පුළුවන්.අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටෙනවා. නැවත පෝලිම් යුගයට ගමන් කරනවා. එම නිසා ගෑස් සිලින්ඩරයට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව.......

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අපේක්ෂකයෙකු පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව මෙසේය.

MR PE 2024 27 page 001

විභාග ප්‍රශ්න පත්‍ර හැදීම පරි­ග­ණක ක්‍රම­වේ­ද­ය­කට

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරී­මේදී අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව නිර්මා­ණය කිරීමේ නව ක්‍රම­වේ­ද­යක් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­යේදී අනු­ග­ම­නය කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර  පැව­සීය.

විභාග ප්‍රශ්න පත්‍ර පිට­වීම යනාදි වංචා­වන් අවම කර ගැනීම මෙම­ඟින් අපේක්ෂා කරන බවත් අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව ප්‍රශ්න පත්‍ර නිර්මා­ණ­යේදී පුද්ගල දාය­ක­ත්වය අවම කර පරි­ග­ණ­ක­ගත ක්‍රම­වේ­ද­යක් මඟින් ප්‍රශ්න පත්‍ර නිර්මා­ණය සිදු වන බවත්ඔහු කීය.

මෙම නව ක්‍රම­වේ­දය යටතේ වංචා දූෂණ අවම කර ගැනීමේ හැකි­යා­වක් පව­තින්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණත් සමඟ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රියා­ව­ලිය විශාල පරි­ව­ර්ත­න­ය­කට යොමුව ති‍බෙන අතර එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙම නව ක්‍රම­වේ­ද­යන් අනු­ග­ම­නය කරන බව ද හෙතෙම පැව­සීය.

විභාග ප්‍රශ්න පත්‍ර සැක­සීමේ කට­යුතු පුද්ග­ල­යන් සමඟ කරන තාක්කල් වංචා දූෂ­ණ­ව­ලින් සිය­යට සිය­යක් බැහැර වීමට නොහැකි බව ද ඔහු පැව­සු­වේය.

පසු­ගිය කාලය තුළදී ප්‍රශ්න පත්‍ර පිට­වීම ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ යන්ත්‍ර­ණය තුළ ඇති වූ ගැට­ලු­කාරී තත්ත්ව­යක් නොවන බවත් පුද්ග­ල­යන්ගේ විශ්වා­සය හා සම්බන්ධ ගැට­ලු­වක් නිසා විභාග ප්‍රශ්න පත්‍ර පිට­වීම සිදු වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ විධි­වි­ධාන සහ දණ්ඩ­නීති සංග්‍ර­හයේ විධි­වි­ධාන අනුව විභාග වංචා­ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන්ට දඬු­වම් ලබා­දීම සිදු කරන අතර වරෙ­න්තු­වක් නැතිව අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි ප්‍රසිද්ධ විභාග පනත සම්පූ­ර්ණ­යෙන්ම අප­රා­ධ­මය වැරදි සඳ­හන් නීති­යක් බව ද ඔහු පැව­සු­වේය.

මාධ්‍ය කියන ආකාරයට විශේෂ හෝ අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකර නැහැ - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළඳපොළෙන් අරමුදල් රැස් කරගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතමෙකු නගන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු ලබාදෙමින් මහාචාර්යවරයා ඒ බව කීය.

'' ආණ්ඩුවකට එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට, එම සේවා ඉදිරියට පවත්වාගෙන යාමට අරමුදල් අවශ්‍යයි. සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම මගින් මහ බැංකුව අරමුදල් රැස් කර ගන්නවා.

ඒ වගේම නියමිත දිනට කල්පිරෙන ඒවාට ආපසු ගේවිම් සිදු කරනවා.

මේ සාමාන්‍ය ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය මේ දිනවලත් සිදුවනවා. නව ජනාධිපතිවරයා පත් වූවා යැයි කියා විශේෂයක් නැහැ.

අලුතෙන් ණය ගැනීම් සිදුකිරීමක් සිදුකර නැහැ. සාමාන්‍ය පරිදි අරමුදල් රැස් කිරීමක් පමණයි සිදු කරන්නේ. ඒ හැරෙන්නට දේශීය මූල්‍ය වෙළඳපොලෙන් විශේෂ, අමුතු වැඩකට හෝ අසාමාන්‍ය ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමක් සිදු කර නැහැ.

මාධ්‍ය මගින් පෙන්වා දෙන ආකාරයට දේශීය හෝ විදේශීය මූල්‍ය වෙළඳපොළෙන් අප ණය ලබාගෙන ඇත්දැයි සොයා බැලීමක් කළ යුතු යයිද මහාචාර්යවරයා අවධාරණය කළේය.

මූල්‍ය වෙළෙඳපොළ ස්ථායි කරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඒ ඇති කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් පසුගියදා එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා. එය නව ජනාධිපතිවරයා පත්වීමට පෙර කළ දෙයක්. අපි ඒ සම්බන්ධයෙනුත් සොයා බැලීමක් කළ යුතුයි.

දේශීය වෙළඳපොලෙන් අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන්, කොපමණ මුදලක් රැස් කර තිබේද? යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා මහාචාර්වරයා ප්‍රකාශ කළේය.

(ජේ. මුණසිංහ)

ආණ්ඩුව පසුගිය දවස් 13ට රුපියල් කෝටි 41,900ක ණය අරන් - රෝහිණි කවිරත්න

2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.

''රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටිනවා. හැබැයි දැනෙන සහනයක් රටට ලැබෙන්නේ නම් නෑ. තවමත් විශ්‍රාමිකයින්ට ලැබිය යුතු රු. 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවා ගන්න බැරිව ඉන්නවා. රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ වැටුප ගෙවන්න බැරි බව මේ වෙන කොටත් පැහැදිලිවම පේන්න තියෙනවා යැයි කවිරත්න හිටපු මන්ත්‍රීවරිය පැවසූවේ දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

  • ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200
  • ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500
  • ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500
  • ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 ක් ලෙස රජය අලුත් ණය ලබා ගෙන තියෙනවා.

'' පසුගිය දවස් කිහිපය තුල රජය දවසකට රු. කෝටි 3,223 ක් බැගින්, ඒ කියන්නේ පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ලබාගෙන තියෙනවා. මේ ණය අරගෙන කරන්නේ මොනවාද? මේ ණය වලින් කරන ආයෝජනය මොකක්ද? රජය පැහැදිලි කළ යුතුයි.'' යයි ද ඇය පැවසුවාය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතමෙකු මෙසේ නගන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කර සිටියේ, ඔය කියන ආකාරයට විශේෂ හෝ අමුතු අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකළ නොමැති බවයි.

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළඳපොළෙන් අරමුදල් රැස් කරගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව මහචාර්යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

'වෙනත් විකල්පයක් නැ' - මුදල් අමාත්‍යංශයේ ලේකම්

අලුතෙන් පත්වූ ජනපති අනුර කුමාර දිසානායක ගේ පාලන කාලය තුල දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබාගෙන ඇතැයි ඇතැමෙකු කරන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන පැවසුයේ, වාර්ෂිකව ඉහළ අයවැය හිගයක් පවතින විට එය පියවා ගැනීමට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා - කැබිනට් ප්‍රකාශක

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු තීරු බදු සහන සහිත වාහන ගෙන්වීම සිදු කර නොමැති බවත් නිවැරදි ක්‍රමවේදයකට යටත්ව වාහන ගෙන්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

''වාහන ගෙන්වීම නිවැරදි ක්‍රමවේදයකට යටත්ව අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදී යන්නේ නැති විදිහට අපට නැවත රට තුළ ඩොලර් අර්බුදයක් ඇති නොවන ලෙසට වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් විවෘත කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා '' යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

(lankadeepa.lk)

ශ්‍රී ලංකන් ගැන රජයේ තීරණය මෙන්න

ශ්‍රී ලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව සභාපතිවරයා පැවසූ බවයි.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රීලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණි.

එම සැලසුම යටතේ ගුවන්සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණු අතර ඒ සඳහා පාර්ශ්ව 06ක් සිය කැමැත්ත දන්වා තිබූ බව සඳහන්වේ.

නමුත් එම ක්‍රමවේදයේ ඊළඟ පියවර සඳහා ඉන් කිසිවෙකුත් සුදුසුකම් ලැබුවේ නැහැ.

මේ අතර 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා වූ කාලය සඳහා මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී තිබේ.

එහි එකතුවී ඇති ණය ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක්වේ.

සභාපතිවරයා පවසා ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවයි.

එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50% ක් පමණ භාවිතා කරන්නේද ශ්‍රී ලංකන් ගුවන් සේවයයි.

2024 සඳහා සංචාරකයින් මිලියන 2.3ක් ඉලක්ක කරන ශ්‍රී ලංකාව 2030 වනවිට එම ප්‍රමාණය මිලියන 3 දක්වා ඉහළ දමාගැනීමට සැලසුම් කරන බවද සඳහන්වේ.

අර්ජුන්ගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අද (ඔක්. 16) මෙම නියෝගය ලබා දුන්නේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසිනි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සාරුක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම පුද්ගලයන්ට එරෙහි නඩුකරය මේ වනවිට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති නිසා ඔවුන් ඇපමත මුදා හරින ලෙස ය.

මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කරනු ලැබූ නඩුවක් බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සඳහන් කළේ ය.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරට ත් සඳහන් කළේ, විකල්ප දඬුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන බව ත් එම නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ත් ය.

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තුන් දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිර දඩුවම් නියම කෙරිණි.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

රනිල් විශේෂ ප්‍රකාශයකට සැරසෙයි!

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

රනිල් වික්‍රමසිංහ මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.

රාජ්‍ය සේවකයින්ගෙන් ජනපති කළ ඉල්ලීම

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක  පවසයි.

ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමිනි.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම, මහජන ධනය සාංඝික දේපොළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදුකළහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වම්න් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බවය.

සන්ධ්‍යා කුමුදුනී රජයේ රස පරීක්ෂක ධුරයට

රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ පත් කර ති‌බේ.

ඒ, අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ රජයේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

එම තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න විශ්‍රාම යාම හේතුවෙන් වූ පුරප්පාඩුව සඳහා නව පත් කිරීම සිදුකර ඇත.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (15) උදෑසන 05.30 පමණ වනවිට හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්ව මධ්‍ය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය ඉදිරි දින 2 තුළ පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇත.

උතුරු අක්ෂාංශ 07ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 90 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 60-70), සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

පහත සිතියමේ “Warning”කාණ්ඩය යටතේ ලකුණු කරඇති මුහුදු ප්‍රදේශයට ඔක්තෝබර් 17 දක්වා යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ධීවරයින්ටත් ඉන්ධන සහනයක්

මාස 6ක් සඳහා රු:300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රු:25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත වන දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසීය

ලබන 17 වැනිදා දක්වා අධික වැසි සහිත කාලගුණයක් : කොළඹ, ගම්පහ, කැලණිය සියලු පාසල් වසා දැමේ

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 17 වැනිදා දක්වා පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ අද(14) දිනයේ ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි.

මේ අතර පවතින අධික වර්ෂාව සමග ගිං සහ නිල්වලා ගංඟා ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එහි ජල විද්‍යා ඒකකයේ ඉංජිනේරු සකුරා දිල්තාරා  පැවසුවේ, කළු, කැලණි සහ අත්තනගලු ඔයේ ගංවතුර අවදානම ද තවදුරටත් එලෙසම පවතින බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක 16කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 40,039ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතර පුද්ගලයින් 155,729 දෙනෙකු වන බවයි.

මේ වන විට පවුල් 2,523 ක පුද්ගලයින් 10,743දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 80 ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 490 ක්.

මේ අතර වැඩිම හානි ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව, 82839 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 15,130ක පුද්ගලයින් 56732 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර අධික වැසි සමග ඇති වු ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා තවත් රුපියල් මිලියන 50 ක් වෙන්කර ඇතැයි, ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

එහි ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ.ජී ධර්මතිලක  මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(14) පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්ය.

හෙට වැසෙන පාසල්

මේ අතර, හෙට(15) දිනයේත් කොළඹ, ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ  පැවසුවේ,පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

මේ අතර, අධික වැසි සමග ඇතිවි තිබෙන ආපදා හේතුවෙන්, අම්බලන්ගොඩ කලාපයේ පාසල් කිහිපයක් සහ ගාල්ල කලාපයේ පාසලක් හෙට(14) දින වසා තැබිමට තිරණය කර තිබේ.

ඒ අනුව බලපිටිය ශ්‍රිපති විද්‍යාලය, බලපිටිය මාදුව කණිෂ්ඨ විද්‍යාලය,හික්කඩුව මලවැන්න විද්‍යාලය,අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය,සහ ගාල්ල කලාපයේ ගණේගොඩ රෝමානු කතෝලික විද්‍යාලය යන පාසල් හෙට(14) දින වසා තැබෙව බව පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.

කාත්තන්කුඩියේ සිට පාපැදියෙන් පැමිණි ෆාතිමාගෙන් අගමැතිනියට සංදේශයක්

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි තිබේ.

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී ඇත.WhatsApp Image 2024 10 14 at 15.45.12

UNDP සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා  අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක  හමු වූවාය.

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක  වෙත පිළිගන්වන ලදී.

මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පුර්ණ සහාය ලබා දෙන බවට ද නියෝජිතවරිය සහතික වුවාය.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳව ද මෙම හමුවේ දී විශේෂ සාකච්ඡාවට ලක් විය. ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතු වලට සම්බන්ධ වීම සීමා කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු තරම් අභියෝගවලට මුහුණ පැමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී තිබේ. එසේම කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්නුම් කිරීමද ඊට හේතුවකි.

ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව දුර්වල මට්ටමක පැවතීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා පැහැදිළි කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇති ඉඩම් කුඩා ප්‍රමාණයක් බවත්, ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස නොසලකන බවත්ය. මෙම ගැටලුව විසඳීම සඳහා, කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජයේ සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදීමට මෙහිදී කැමැත්ත පළ කළ සහකාර මහලේකම්වරිය ඩිජිටල්කරණය දූෂණය අවම කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස යොදා ගත හැකි බව ද පෙන්වා දුන්නාය.

මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එවැනි ප්‍රතිසංස්කරණ මගින් සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් නියෝජනයක් සහතික කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක  සඳහන් කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම ක්ෂේත්‍රයේ පොලී අනුපාත අසාධාරණ බවයි. කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත්, ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන හොඳම යෝජනා සඳහා භාණ්ඩාගාර ඇපකර ලබා දීමටත් රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ නව ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්නයන් සහ ආර්ථිකය හා පාර්ලිමේන්තුව යන දෙඅංශය තුළම කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම යන කාර්යයන් සඳහා සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කැපවීම මෙම සාකච්ඡවේ දී යළි තහවුරු කෙරිණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), උපාය මාර්ගික නියැලීම, ඩිජිටල් සහ නවෝත්පාදන කණ්ඩායම් නායක ෆාදිල් බාකීර් මාකර් Fadhil Bakeer Markar යන  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පිටවී ඇත්තේ ප්‍රශ්න 3යි : ශිෂ්‍යත්වය යළි නොපවත්වන්න තීරණයක්

ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම තීරණය අද (14 වැනිදා) ප්‍රකාශයට පත් කෙරේ.

විභාගයට පෙර පිට වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බව යළිත් වරක් තහවුරු වීම මෙම තීරණයට හේතු වී ඇත. ඒ අනුව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත ය.

විභාගයට පෙර පිට වී ඇති ප්‍රශ්න සංඛ්‍යාව නිශ්චිතව සොයා බැලීම සඳහා අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ද කමිටුවක් පත් කළ අතර එම කමිටුව ද අනාවරණය කර ඇත්තේ විභාගයට පෙර පිට වී තිබෙන්නේ ප්‍රශ්න තුනක් පමණක් බව ය.

මෙම කමිටුව පත් කරනු ලැබුවේ පිළිතුරු පත්‍ර ඇගයීම් සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කිරීමෙන් පසුව ය. ජනාධිපතිවරයා එම තීරණය ගත්තේ විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කළ දෙමව්පියන් පිරිසක් සමග කළ සාකච්ඡාවකින් අනතුරුවය.

පිට වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බවට විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙන වෙනම කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබිණි.

කෙසේ වුව ද සිද්ධියට අදාළව දෙමව්පියන් පිරිසක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර තිබේ.

(aruna.lk - නිලන්ත මදුරාවල)

Page 27 of 462