Image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය: සුරේෂ් සලේට 'අයියෝ' කියවුණේ ඇයි?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය: සුරේෂ් සලේට 'අයියෝ' කියවුණේ ඇයි?

-Shalika Wimalasena-

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වූයේ 2019 අප්‍රේල් 21දා ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කිව්වේ ඒ සමග ය. ජනාධිපතිවරණය පැවැත්වුණේ නොවැම්බර් 16දා ය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ගාල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යැව්වේත්, ඒ විමර්ශනයට සම්බන්ධ වූ සියලු නිලධාරීන් මාරු කිරීම කළේත් ජනාධිපතිවරණයෙන් සති දෙකක කාලයක් තුළ ය. ශානි අබේසේකර වෙනුවට ඒ අධ්‍යක්ෂ ධුරයට පත්කළේ තිලකරත්න ය. ඔහු විමර්ශන අත්දැකීම් නොතිබූ ප්‍රභූ ආරක්ෂාව භාර ව දිගට ම කටයුතු කළ නිලධාරියෙකි.

ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නටත් නොකියා සීඅයිඩියේ සිටි නිලධාරීන් 702කට විදෙස් ගමන් තහනමක් පනවන ලදි. මේ විදෙස් ගමන් තහනම ගැන රවී සෙනෙවිරත්න ගේ නියෝගයකට අනුව විමර්ශනයක් ආරම්භ කළ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත හදිසියේ වව්නියාවට මාරු කෙරිණි. ගුවන් ගමන් තහනමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ගිය පොලිස් අධිකාරි රංජිත් නැවත කාර්යාලයට එන විට, ඔහුව පොලිස් මූලස්ථානයට මාරු කිරීමේ ලිපිය ලැබී තිබිණි. පාස්කු විමර්ශනය වෙනස් - අලුත් නිලධාරීන් පිරිසක් අතට පත් කෙරුණු අතර, 2024 නොවැම්බර් මාසයේ දී එම විමර්ශන යළිත් විධිමත්ව ආරම්භ කරන තුරු අලුත් කිසිවක් සිදු වූයේ නැත.

පාස්කු විමර්ශනය පිළිබඳ සමාජයේ පුළුල් සංවාදයක් ඇති වූයේ පසුගිය 20දා කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද පිටු 14ක වාර්තාවත් සමග ය. දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ ලේකම්වරයකු වූ හන්සීර් අසාද් මවුලානා ගෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ගේ නිල නිවසේ දී ලබාගත් ප්‍රකාශයක සාරාංශයක් ලෙස මේ වාර්තාව ඉදිරිපත් කර තිබිණි. කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මේ නඩුව ආරම්භ කෙරුණේ අසාද් මවුලානා විසින් චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද ‘Sri Lanka’s Ester Bombing Dispatches’ නම් වාර්තා චිත්‍රපටයට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන සිදු කළ පැමිණිල්ලක් නිසා ය. බී/35882/24 අංකය යටතේ කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මීට අදාළ නඩුව ගොනු කර ඇත.

 

ඉටු කළ පොරොන්දුව

ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට අදාළ ව මඩකළපුව බන්ධනාගාරයේ සිටි පිල්ලෙයාන් බැලීමට පාස්කු ප්‍රහාරය ආසන්න දිනවල දී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ගිය බවත්, 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසු පිල්ලෙයාන් නිදහස් කරගන්නා බව ඔවුන් පැවසූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ අදාළ වාර්තාවේ දැක්වේ. 2021 ජනවාරි 13 දින නීතිපති දෙපාර්තමේන්තුව මගින් මඩකළපුව මහාධිකරණයට දැනුම් දුන්නේ ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන බවයි. ඒ අනුව එම ඝාතනයේ සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කෙරිණි.

 

අල්ලියාර් සිද්ධියට ඇප දුන් හැටි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ 07වන පිටුවේ 02වන ඡේදයේ සඳහන් වන්නේ 2017 මාර්තු 10දා මඩකළපුව, අල්ලියාර් හන්දියේ ඇති වූ ගැටුම සම්බන්ධයෙනි. රාවුෆ් මවුලවි ගේ කණ්ඩායම සහ සහරාන් ගේ කණ්ඩායම අතර මේ ගැටුම ඇති විය. එහි දී සහරාන් සහ ඔහු ගේ සහෝදරයකු වූ රිල්වාන් පලාගියහ. සහරාන් ගේ තවත් සහෝදරයකු වූ ෂයිනි මවුලවි සහ සහරාන් ගේ පියා පොලිසිය මගින් ගැටුමට අදාළ ව අත්අඩංගුවට ගැනිණි. පිල්ලෙයාන් සහ සහරාන් ගේ කණ්ඩායම අතර සම්බන්ධය හැදෙන්නේ මෙහිදී ය. ඉන්පසු ෂයිනි මවුලවි ඇතුළු පිරිසට ඇප ලබාගැනීමට රුපියල් 250,000ක් ලබාදී ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය මගිනි; එනම් මහජන මුදල් ය.

බුද්ධි අංශවලට මුදල් ලබාදෙන්නේ ඒකාබද්ධ අරමුදලෙනි. මේ වියදම් විගණනයට යටත් නොවේ. එය බරපතළ කරුණක් බව පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් අනාවරණය වී ඇති තවත් වැදගත් කරුණකි. බුද්ධි මෙහෙයුම්වල රහසිගතභාවය තබාගනිමින් එම මුදල් විගණනයට යටත් කිරීමේ අත්‍යවශ්‍ය ය. ඇතැම් රටවල් එය සිදුකරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් තවත් කරුණක් වන්නේ ජමීල් ගැන කතාවයි. 2019 අප්‍රේල් 21දා සුරේෂ් සලේ විසින් අසාද් මවුලානාට දුරකතන ඇමතුමක් ලබාදී ටාජ් සමුද්‍රා හෝටලයෙන් ජමීල්ව ගන්නා ලෙස පවසා ඇත. මවුලානා පවසන ආකාරයට ඔහු ඒ වන විට සිටින්නේ මඩකළපුවේ බව පවසා ඇත. එහිදී සලේ ‘අයියෝ‘ යනුවෙන් පැවසූ බව මවුලානා විසින් ලබාදී ඇති ප්‍රකාශයේ දැක්වේ. සීඅයිඩියට පෙර මවුලානා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ පිළිබඳ පිටු 90ක ප්‍රකාශයක් ද ලබා දී ඇත.

 

අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සාහ කර පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ දී බෝම්බය පිපිරී මරණයට පත්වූ අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල්ට අදාළ ව සැකකටයුතු කරුණු ගණනාවක් තිබේ.

ජමීල් සම්බන්ධයෙන් බුද්ධි අංශ අවධානය යොමු වී ඇත්තේ 2015 වසරේ සිට බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ දී හෙළිදරව් විය. මෙම ප්‍රහාරයට පෙර ජමීල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම දැනට වාර්තා වී ඇති පරිදි රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය යන ආයතනවලින් සිදු කර ඇත. ජමීල් සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී ඇති පරිදි ඉහත අංශ තුන මගින් සොයාබැලීම් කළ ද, මෙම ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීම් ඔහු හරහා ලබාගැනීමට හෝ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් විය.

 

අතුරුදන් වූ ජමීල් ගේ හැඳුනුම්පත් අංකය

සෑම දිනක ම උදෑසන 7ත් 8ත් අතර, ඊට පෙර දින රාත්‍රී 12 වන විට හෝටලයට පැමිණි පුද්ගලයින් ගේ නම් ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යැවීම සාමාන්‍ය පුරුද්දක් බව ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. 2019 අප්‍රේල් 20වන දා සවස ජමීල් පැමිණ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමරයක් වෙන්කර ගත්තේ ය. 2019 අප්‍රේල් 20වන දා රාත්‍රී 12 වන විට කාමර වෙන් කරවා ගත් ලැයිස්තුව ඔහු විසින් 21වන දා උදෑසන ම අදාළ අංශ වෙත යොමු කර ඇත. ඒ අනුව මෙම ලැයිස්තුවේ තමන් විසින් තොරතුරු රැස්කරමින් සිටින පුද්ගලයකු වන ජමීල් ගේ නම තිබෙනු රාජ්‍ය බුද්ධි සේවය උදෑසනම හඳුනාගත්තේ ද සහ එලෙස හඳුනාගත්තේ නම් ඊට අදාළ ව ගත් පියවර කුමක්ද යන්න ගැන විමර්ශනය කළ යුතුව තිබේ. හෝටලයේ කාමර වෙන්කර ගන්නා සියලු ම දෙනාගේ ජාතික හැඳුනුම්පත් අංක හෝටල් දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යයෙන් සිදුකරන බව හෝටලයේ ආරක්ෂක කළමනාකරු ජනාධිපති කොමිසමේ දී ප්‍රකාශ කළේ ය. එහෙත් ජමීල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පද්ධතියේ නොමැති බව පසුව අනාවරණය විය.

2019 අප්‍රේල් 20වන දා ටාජ් සමුද්‍රා හෝටලයට ජමීල් පැමිණීමට පෙර 2019 අප්‍රේල් 17වන දා සැකකටයුතු පුද්ගලයකු හෝටලයට පැමිණි බවට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දී කරුණු ඉදිරිපත් විය. දහවල් 1.45ට පැමිණි ඔහු ඉන්ෆාස් බව පසුව හඳුනාගැනිණි. ඒ අනුව අප්‍රේල් 17වන දා ඉන්ෆාස් පැමිණීමට අමතරව තවත් සැකකටයුතු පුද්ගලයින් මෙම ප්‍රහාරයට පෙර සහ පසුව හෝටලයට පැමිණියේ ද යන්න ගැන නිසි විමර්ශනයක් වී නොමැති බැවින් ඒ ගැන තවදුරටත් විමර්ශනය කළ යුතුය. 2019 අප්‍රේල් 20වන දා සවස 4.17ට පමණ කාමරය වෙන්කරගෙන හෝටල් කාමරයට ගොස් යළි හෝටලයෙන් පිටත්වී ගොස් ඇති ජමීල්, නැවත පැමිණ ඇත්තේ 2019 අප්‍රේල් මස 21වන දා උදෑසන ය. උදෑසන පැමිණි ඔහු කාමරය අසලට ගොස් නැවත පැමිණ කාමරය විවෘත කිරීමට අලුත් කාඩ්පතක් ඉල්ලා ඇති බව ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය. ඔහුට මුල් අවස්ථාවේ නිකුත් කළ කාඩ්පතට කුමක් සිදුවීද යන්න ගැන වැඩිදුර විමර්ශනයක් සිදුවී නැත. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් ද විමර්ශනය කළ යුතුව තිබේ.

 

උමර්කාතා ගේ වොයිස් පණිවුඩය

2019 අප්‍රේල් 21වන දා උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයට ජමීල් යළි පැමිණ (බෝම්බය පුපුරා නොයෑම නිසා හෝ වෙනත් කරුණක් මත) ඔහු හෝටලයෙන් පිටත්වීමට මොහොතකට පෙර, එනම් උදෑසන 8.51ත් 8.54ත් අතර ජමීල්ට දුරකතන ඇමතුම් ආ බව සීසීටීවී කැමරාවල සටහන් විය. ජමීල්ට එලෙස ඇමතුම් ලබා දුන් පුද්ගලයා කවුරුන්ද යන්න ගැන මෙතෙක් අනාවරණය කරගෙන නැති බැවින් ඒ ගැන විමර්ශනය කළ යුතුය. තමන් හිජ්රා යන බව පවසමින් 2019 අප්‍රේල් 20වන දා උදෑසන 8.30ට ජමීල් විසින් ඔහු ගේ බිරිඳ ෆාතිමා ෂිෆානා උමර්කාතාට වොයිස් පණිවුඩයක් යවා ඇති බව විමර්ශනවල දී උමර්කාතා ප්‍රකාශ කර තිබිණි. එලෙස යැව්වේ යැයි උමර්කාතා විසින් ප්‍රකාශ කරනු ලැබූ වොයිස් පණිවුඩවල කුඩා ළමයින් ගේ ශබ්ද ඇසෙන බව ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය. එම වොයිස් පණිවුඩයේ පසුබිමින් කටහඬ ඇසෙන ළමයින් කවුරුන්ද සහ එම වොයිස් පණිවුඩ පටිගත කළේ කුමන ස්ථානයක දී ද, කුමන දිනයක දී ද යන්න විමර්ශනය කළ යුතු ය. එම වොයිස් පණිවුඩය එවූයේ යැයි කියන ජංගම දුරකතන අංකය මකා දැමූ බව ජමීල් ගේ බිරිඳ උමර්කාතා විමර්ශනව ලදී ප්‍රකාශ කර ඇත. එම වොයිස් පණිවුඩය පැමිණියේ ජමීල් ගේ සාමාන්‍ය දුරකතන අංකයෙන් නොවන බව ද ඇය සඳහන් කර ඇත.

2019 අප්‍රේල් 19වන දා ජමීල් නිවසින් පිටවූ මොහොතට අදාළ ව සීසීටීවී කැමරාවල සටහන් වූ දර්ශන 2019 අප්‍රේල් 21 සවස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර, එම දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය ත්‍රස්ත මර්දන අංශයේ නිලධාරීන් රැගෙන ගොස් තිබිණි. එලෙස රැගෙන යන විට 2019 මාර්තු 31වන දා සිට අප්‍රේල් 21වන දා සවස යන්ත්‍රය ගලවන අවස්ථාව වන තෙක් දර්ශන පටිගත වී තිබී ඇත. එලෙස රැගෙන ගිය ඩීවීආර් යන්ත්‍රයේ 2019 අප්‍රේල් 19වන දා උදෑසන 8.00 සිට 2019 අප්‍රේල් 21වන දා සවස 2.30 දක්වා වූ වීඩියෝ කොටස පමණක් නොමැති බව ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය. නිලධාරීන් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණේ ඩීවීආර් යන්ත්‍රය ගලවාගෙන ගොස් අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේ දී එම වීඩියෝ දර්ශන මැකීයන්නට ඇති බවයි. මුලින් අදාළ දර්ශන තිබී ඇති අතර, පසුව සමස්ත සීසීටීවී දර්ශනවලින් ජමීල් නිවසින් පිටත් වන දිනයේ සිට ටීඅයිඩී නිලධාරීන් යන්ත්‍රය ගලවා ගන්නා අවස්ථාව වන තෙක් කොටස පමණක් මැකී ගියේ කෙසේද?

 

ජමීල් ගේ ජංගම දුරකතනය

2019 අප්‍රේල් 21වන දා ජමීල්, දෙහිවල එබනිසා පල්ලිය තුළ සිටිය දී ඔහුගේ අතේ ජංගම දුරකතනයක් තිබෙනු පල්ලියේ මවුලවිවරයා නිරීක්ෂණය කර තිබිණි. කෙසේ වෙතත් පල්ලියෙන් පිටතට යන ඔහු පරීක්ෂා කරද්දී ජංගම දුරකතනයක් නොතිබූ බව අමීර් නම් පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා ඔහු පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රකාශ කර ඇත. එබනිසා පල්ලිය තුළ දී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය පල්ලියෙන් පිටතට පැමිණීමේ දී නොතිබීමට හේතුව සහ ඔහු සතු වූ ජංගම දුරකතනය කිසියම් පුද්ගලයකු ලබාගෙන ඇද්ද, එසේ ලබාගෙන ඇත්නම් ඒ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු ය. ටාජ් සමුද්‍රා හෝටලයේදී ජමීල් අත වූ ජංගම දුරකතනය සහ එබනිසා පල්ලිය තුළ දී ජමීල් සතු වූ ජංගම දුරකතනය එක ම ජංගම දුරකතනය ද යන්න ගැන විමර්ශනය කළ යුතුය.

තමන් පල්ලියේ රැඳීසිටින්නේ වෙනත් කෙනෙකු එන තෙක් බවට ජමීල් ප්‍රකාශ කළේ යැයි ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඔහු එලෙස රැඳීසිටියේ කුමන පුද්ගලයකු පැමිණෙන තෙක් ද යන්න විමර්ශනය කළ යුතුය.

2019 අප්‍රේල් 21වනදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් සුළු වේලාවකට පසු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් ජමීල් ගේ නිවස වෙත යුද හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් යොමු කර ඇතැයි ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය. එබනිසා පල්ලිය අසල දී ජමීල් ව පරීක්ෂා කළ පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයාට එලෙස ගිය බුද්ධි නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබාදී හැව්ලොක් බුදු පිළිමයක් අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත්, ඔහු එහි ගිය ද අදාළ පිරිස නොපැමිණි නිසා ඔවුන් අනතුරක් කිරීමට උත්සාහ කළේ ද යන්න ගැන සැක මතු වී වහාම වැල්ලවත්ත පොලිසියට ආරක්ෂක නිලධාරියා ගොස් ඇති බවත් ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශකයන් මේ කරුණු පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමුකර තිබේ. ඒ ඔස්සේ ඉදිරියේදී තවත් කරුණු රැසක් අනාවරණය වනු ඇත. බල දේශපාලනයේ තීරණාත්මක සිදුවීමක සත්‍යය දැනගැනීමේ අනිවාර්ය අයිතියක් ජනතාවට තිබේ.

වැදගත් :

01. සුරේෂ් සලේ සිදුවීම සමග ප්‍රචාරය වන කතා නිසා පොලිස් වධහිංසාව සම්බන්ධයෙන් සංවාදයක් මතුවීම අතිශය වැදගත් ය. බහුතරය නිහඬව සිටිය දී ජෙරාඩ් මර්වින්ලාට පෙරත්, ඉන්පසුවත් කොපමණ පිරිසක් පොලිස් වධහිංසාවෙන් මියගියේ ද, පීඩාවින්දේ ද...?

 

සටහන - Shalika Wimalasena

(Shalika Wimalasena ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න