Image

බැඳුම්කරයටත් වඩා ලොකු ගල් අඟුරු "මංකොල්ලය" පිළිබඳ එස්. එම්. මරික්කාර් කරන හෙළිදරව්ව

බැඳුම්කරයටත් වඩා ලොකු ගල් අඟුරු "මංකොල්ලය" පිළිබඳ එස්. එම්. මරික්කාර් කරන හෙළිදරව්ව

මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර කොල්ලය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි පාඩුවක් රටට සිදු කළ මහා පරිමාණ ගල් අඟුරු වංචාවේ තොරතුරු පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද (08) සිය කතාව සිදු කළා. රජය විසින් සිදු කරනු ලබන මෙම මහා පරිමාණ දූෂණය හුදෙක් චෝදනාවක් නොව විගණකාධිපති වාර්තා මගින් තහවුරු වූ කරුණක් බව සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ ය.

හෝදන්න එන ජනාධිපති සහ අඟුරු දැලි

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ ආණ්ඩුවේ 'රෙදි සේදීමේ' මෙහෙයුම දැඩි උපහාසයට ලක් කරමින් මන්ත්‍රීවරයා සිය කතාව ආරම්භ කළේ මෙසේ ය:

"ජනාධිපතිතුමා සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් එනවා රජයේ වැරදි අඩුපාඩු හෝදන්න. ඊයෙත් ආවේ එතුමාගේ මිත්‍රයා, බලශක්තිය ඇනගෙන ඉන්න යාළුවාව බේරගන්න. ජනාධිපතිතුමා ඇවිල්ලා කතා කරයින් පස්සේ පොඩි ඩ්‍රාමා එකක් දැම්මා... මේ ගල් අඟුරු වලින් ජනාධිපතිතුමා ගේ මුහුණටත් දැලි ගාලා, එතුමාව 'අඟුරු කුමාර' කියන තැනට පත් කරලා තියෙන්නේ."

ගණන් හිලව් සහිතව හෙළි වූ බිලියන 4.2 ක පාඩුව

මෙම වංචාව හරහා රටට අහිමි වූ මුදල පිළිබඳව මරික්කාර් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන ඕනෑ ම පුරවැසියෙකු තැතිගන්වනසුලු ය:

"හදිසි මිලදී ගැනීම නිසා මිලියන 4200ක්, ඒ කියන්නේ ලක්ෂ 42000ක් පාඩු වෙනවා. මොකද හේතුව ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 98.50යි, හැබැයි මේගොල්ලෝ මේක දෙන්නේ 142ට. නැව් පහට විතරක් ඩොලර් මිලියන 13යි, රුපියල් බිලියන 4.2ක් පාඩුයි. මහා බැංකු බැඳුම්කර මංකොල්ලය වගේ තුන් ගුණයකට වැඩියි මේක."

ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ, "මිලියන 14ක කේස් එකකට රූපවාහිනී හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්ව හිරේ දානවා නම්, මිලියන 4200ක් නාස්ති කරපු අයට මොකද කරන්නේ?" යනුවෙනි.

විගණකාධිපති වාර්තාවෙන් තහවුරු වූ "තක්කඩි" වැඩ

මරික්කාර් මන්ත්‍රීවරයා විගණකාධිපති වාර්තාවේ 6.2, 6.3.1 යන වගන්ති සෘජුව උපුටා දක්වමින් ප්‍රමිති පරීක්ෂාව පැහැර හැර ඇති ආකාරය මෙසේ විස්තර කළේ ය:

"අපි කිව්වා මේක ලක්ෂ පහ ලක්ෂයට අඩු කරාම මේ වගේ හොර කොම්පැනිවලට, තක්කඩි කොම්පැනි වලටඇතුල් වෙන්න හිතාමතාම අවස්ථාව දුන්නා කියලා. ඒ විතරක් නෙමෙයි, සාම්පල් පරීක්ෂාවට තිබුණු අවස්ථාවත් භාවිතා කරලා නැහැ කියලා විගණනයේ දී හෙළි වෙලා තියෙනවා. සුදුසුකම් තියෙනවා කියන ලයිසන් එකවත් ඉදිරිපත් කරලා නැහැ."

හෘද සාක්ෂිය පාවා දුන් මාලිමාව

කතාවේ අවසාන භාගයේ දී මන්ත්‍රීවරයාගේ විවේචනය එල්ල වූයේ මාලිමාවේ නිහඬ පිළිවෙත වෙත ය. අතීතයේ දී බාල බෙහෙත් ගෙන ඒමට එරෙහිව ඔවුන් දැක්වූ අදහස් සිහිපත් කරමින් ඔහු මෙසේ පැවසී ය:

"අමරසූරිය මැතිනිය එදා කිව්වා හෘද සාක්ෂිය ගැන හිතන්න කියලා. මම අහනවා කෝ ඒ හෘද සාක්ෂිය? අනිද්දට අපිට බලාගන්න පුළුවන් ඒ හෘද සාක්ෂිය විකුණලා, පාවලා දීලා හැසිරෙන විදිය. රෝහණ විජේවීර මහත්තයා ඉන්න තැනක ඉඳලා බලලා ඉතාම කේන්තියෙන් බනිනවා ඇති 'තොපි මේ මොකක්ද කරන්නේ...?' කියලා."

මෙම මහා පරිමාණ ගල් අඟුරු වංචාව නිසා විදුලි බිල වැඩි කිරීමට සිදුව ඇති බවත්, මෙවැනි "පාදඩකම්"වලට එරෙහිව කොන්ද පණ ඇතිව කටයුතු කළ යුතු බවත් පවසමින් මරික්කාර් මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කළේ ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න