පුවත්

2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනයක්
නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමිනි.
2024 වසරේ ඩොලර් බිලියන 16.1ක්ව පැවැති අපනයන ආදායම මෙම වසරේදී ඩොලර් බිලියන 18.2ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර, 2030 වන විට ඩොලර් බිලියන 36 දක්වා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙළ හරහා අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීම දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරගනිමින් අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ පිහිටීම, මානව සම්පත සහ ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් දීර්ඝ කාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් ඇති කිරීමද මෙහිදී අවධානයට ලක් විය.
එමගින් බිඳ වැටී ඇති දේශීය නිෂ්පාදන කර්මාන්ත නැවත පණ ගැන්වීම, අපනයන කර්මාන්ත තරගකාරී කිරීම, සේවා කර්මාන්ත ප්‍රවර්ධනය, නව විභවයන් හරහා ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීම, ජාතික සැලැස්මකට අනුව සෘජු විදේශ ආයෝජන කැඳවීම, නව ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම, අඩු පිරිවැය, අවශ්‍ය යටිතල පහසුකම් සහ යෙදවුම් සැපයීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.
• මෙරට පැමිණෙන සංචාරකයින් විසින් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා ඇතුළත් වන බදු නැවත ලබා දීමේ පද්ධතියක් (VAT REFUND SYSTEM) ගුවන් තොටුපළේ පිහිටුවීමට මෙහිදී තීරණය කරන ලදී.
• අපනයන නිෂ්පාදිත පරික්ෂා කිරීමේදී සිදු වන ප්‍රමාදය හා අකාර්යක්ෂමතා මඟහරවා ගැනීම සඳහා Manual පද්ධතිය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ස්වයංක්‍රීය පද්ධතියක් (Scanning) කටුනායක ගුවන් තොටුපළේ ස්ථාපිත කිරිමට සැලසුම් කළ අතර, ඒ සඳහා ප්‍රතිපාදන කර්මාන්ත අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට එකඟ වන ලදී.
• ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන දුම්රිය එංජින් අපනයන සඳහා බාධාවක්ව පැවැති, “දුම්රිය එංජින් පරීක්ෂා කිරීම” මෙරට තුළ සිදු කිරීමට අවසර ලබා දීම ද තීරණය විය.
• අපනයන කර්මාන්ත තුළ පිරිවැය අඩු කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හඳුන්වා දීමටත්, නවීන තාක්ෂණය උපයෝගි කර ගෙන පිරිවැය ඵලදායිතාව ඇති කරමින් විදුලිබලය ඉතිරි කරන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කිරීමටත් තීරණය කරන ලදී.
• අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා ව්‍යවසායකයින් හා ආයෝජකයින් මූලික කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෙස් (CESS) අරමුදලින් ප්‍රතිපාදන ලබා දීමට තීරණය කරන ලදී.
• අපනයන කර්මාන්තය තුළ සිදු කරන දේශිය හා විදේශිය ආයෝජන දිරි ගැන්වීම සඳහා ආයෝජන පහසුකම් සැලසීමේ කමිටුවක් (Investment Facilitation Committee) ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී.
• නිවැරැදිව අපනයන අගය හඳුනා ගනු ලබන ක්‍රමවේදයක් තුළින් අපනයනය කරනු ලබන මැණික් හා ස්වර්ණාභරණ සඳහා අපනයන දිරිගැන්වීම් ලබා දීමට මෙම සාකච්ඡාවේදී තීරණය විය.
• මෙරට තුළ නිෂ්පාදනය කරන විද්‍යුත් උපකරණ හා විද්‍යුත් උපාංග අපනයනය සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන අතර, මේ සඳහා අමුද්‍රව්‍ය ආනයනයේදී තීරුබදු පහසුකම් ලබා දීමට මෙහිදී සාකච්ඡා විය.
• ඉහත සඳහන් තීරණ ක්‍රියාත්මක කිරීමේදී අපනයන කර්මාන්තය ආශ්‍රිත දත්ත පද්ධති ඩිජිටල්කරණය කිරීමට විශේෂ අවධානය යොමු විය.
• සේවා අපනයන දිරි ගැන්වීම සඳහා බැංකු ඇපකර සීමාව වැඩි කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවේදී අපනයනය ආශ්‍රිතව දැනට පවතින ගැටලු හා ඒවාට ඇති විසඳුම් පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡාවට ගැනිණි.
මෙහිදී ඇඟලුම් අපනයන පරීක්ෂා කිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ අතර, ඒවා සඳහා සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවෙන් විසඳුම් ලබා දීමද සිදු කෙරිණි.
1980 සැප්තැම්බර් 11 පිහිටුවන ලද මෙම සභාව වරින් වර රැස් වුවද, 1992 සිට 2020 දක්වා මෙම සභාව රැස් වී නොමැති අතර, 2020 රැස්වීමේදී පවා අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ක්‍රියාත්මක කර නොමැත. එනයින් 2025 වසරේ මෙම සභාව රැස්ව අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ වසර 28කින් පසුව වීමද විශේෂත්වයකි. වෙළෙඳ, නාවික, වැවිලි කර්මාන්ත, කෘෂිකර්මාන්ත, කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, ධීවර, මුදල්, විදේශ කටයුතු, ක්‍රමසම්පාදන හා ග්‍රාමීය සංවර්ධන විෂයභාර අමාත්‍යවරු මෙම සභාවේ නියෝජිතයන් ලෙස කටයුතු කරනු ලබයි. ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජාතික අපනයන සංවර්ධන ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ යන අමාත්‍යවරුද, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතාද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යෝෂිතට ඇප : රට යන්න තහනම්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කර තිබේ.
අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණි.
සැකකාර යෝෂිත රාජපක්ෂගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබේ.
ඇප නියෝගයට අනුව සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) වාර්තා කළ යුතු යැයි සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පසුගිය 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෙලිඅත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන යෝෂිත රාජපක්ෂව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ඒ එදිනම සැකකාර යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කෙරුනු පසුවයි. අනතුරුව ඔහු අද දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකළේය.
පසුගිය 25වැනිදා යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඊට එරෙහිව කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්සි ද්ධියට අදාළ විමර්ශන කරන බැවින් ඇප ඉල්ලීමට තරයේ විරෝධය පළ කර තිබුණි.
නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂයට එරෙහිව විමර්ශනයක් පැවැත්වූ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටිමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පසුගිය 25 වැනිදා පවසා සිටියේය.

නව ගුවන් හමුදාපති පත් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කර තිබෙයි.
ඒ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ එළඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑම හේතුවෙන් ඇතිවන පුරප්පාඩුව සඳහායි.
1970 වසරේ මහනුවර දී උපත ලැබූ එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහනුවර ශාන්ත සිල්වෙත්තර විදුහලේ ආදි සිසුවෙකි.
ඔහු වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර, 1991 වසරේ දී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට එක්ව තිබෙයි.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නවා - ජනපති
පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීය.
ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේයය.
රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපිති මාධ්‍ය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර ඊට අදාළ මුදල් වෙන්කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.
එමෙන්ම තාක්ෂණික ක්‍රමවේද නිසා සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද විය හැකි පුරප්පාඩු සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා වූ අතර ඒකාබද්ධ රාජ්‍ය සේවයක් මගින් මානව සම්පත කළමනාකරණය කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන අලි ගැටලු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බව සඳහන් වේ.
මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කළ අතර “City Branding” ක්‍රමවේදය භාවිතා කර අනුරාධපුර නගරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.
දේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන අනුරාධපුර නගරය විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට හොඳ විභවයක් තිබෙන අතර ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය ලෙස සහ පළමු වැව පිහිටි ස්ථානය ලෙස විදේශිකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රචලිත කිරීමටද අවධානය යොමුව තිබේ.
සමාජ ආකල්ප වෙනසක් ඇති කරමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා "Clean Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

වාහන ආනයනයට ඩොලර් බිලියනයක් වෙන් කෙරේ
2025 දී මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන එකක වාහන ආනයනයන කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.
ඒ අනුව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අදාළව වාහනවලින් අය කරන බදු ප්‍රමාණය එම අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මෙරටට වාහන, රත්තරන් ආනයනය නතර කිරීමට සිදුවූයේ මෙරට විදේශ විනිමය ඉපැයීම අඩුවීම නිසා ආනයන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ යෑම නිසා බවත්, වර්තමානයේ දී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දැනට තිබෙන වාහන ප්‍රමාණය අලුත් කළ යුතු බවත් මහ බැංකුව පවසයි.
රට තුළ දැනට තිබෙන්නේ මීට වසර පහකට පෙර ආනයනය කරන ලද වාහන බැවින්, ඒවා නඩත්තුව සඳහා ද විශාල වියදම් වැය වන නිසා අලුත් වාහන ආනයනය කිරීමේ අවශ්‍යතාව පවතින බව මහ බැංකුවේ ප්‍රකාශකයෙක් කීවේය.
මෙරට විදෙස් සංචිත තවමත් හොඳ මට්ටමක නොතිබුණ ද, විදෙස් සංචිත ප්‍රමාණය ක්‍රමානුකූලව වර්ධනය කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, ඉදිරි වසර දෙක තුළ විදෙස් සංචිත වර්ධනය කරගැනීමේ ඉලක්කයට හානියක් නොවන පරිදි වාහන ආනයනය කිරීමට කොපමණ ප්‍රමාණයක් වෙන් කළ හැකිදැයි මහ බැංකුව අධ්‍යයනය කළ බවත්, ඒ අනුව, මේ වසරේදී ඩොලර් බිලියනයක වාහන ආනයනයට අදාළව මුදල් අමාත්‍යාංශයට පුරෝකථන ලබාදුන් බවද එම බැංකුව කියයි.
විදෙස් සංචිත වැඩි කරගනිමින් ඉදිරි වසරවලදී වාහන ආනයනයට වැඩි විදෙස් සංචිත ප්‍රමාණයක් ක්‍රමානුකූලව වැඩි කරගැනීමේ හැකියාව පවතින බවත්, ඩොලර් බිලියනයක වාහන ආනයනය කිරීම සංචිත වැඩි කිරීමට, විනිමය අනුපාතය ක්‍රමානුකුලව ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවන බවද මහ බැංකුව සඳහන් කරයි.
දැනට පවතින විදේශීය සංචිත ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6.8 කි.
(aruna | සාලිය කුමාර ගුණසේකර)

තව සති දෙකක් මට දෙන්න - ජනපති
වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි ආයතනයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
හෝමාගම ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක් වෙමින් ඊයේ(25) ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
දත්ත නොමැතිවීමෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඊට අදාල දත්ත පද්ධතීන් යලි ශක්තිමත්ව ගොඩනැගීමට මේ වනවිටත් පියවර ගෙන අවසන් බව ජනපතිවරයා අවධාරණය කළේය.
එහිදී ජනපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,
“හාල් හිඟයක් තියෙනවද, කොයි කාලෙද එන්නේ, එහෙනම් අපි ඒ හාල් හිඟයට මොකද කරන්නේ, දත්ත මත තමයි පුරෝකථනයන් එන්න ඕනෙ, කිසි දත්තයක් නැති රටක් මේක, ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් නිවැරදි දත්ත පද්ධතියක් හදනවා, මම ඕගොලන්ට කියන්නම් තව සති දෙකක් මට දෙන්න.. සහතික මිලට වඩා අඩුවෙන් හැර, වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවෙ වෙළඳපොලේ නෑ”

පළමු ආනයනික ලුණු තොගය 27 වැනිදා දිවයිනට
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එය මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය බව එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.
ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබේ.
ඉන්දියාවෙන් ලුණු ආනයනය සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර ලබා දී තිබේ.
පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගත්තේ ය.

යෝෂිත 27 දක්වා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු එලැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි නියෝග කර ඇත්තේ.
යෝෂිත අත්අඩංගුවට ගත් හේතුව ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණ පිළිබඳ මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව බවත්,
එම නඩුවට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව නීතිපති විසින් පසුගිය 23වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්ද සිදු කර ඇති බවත් lankatruth වාර්තා කරයි.

පෙබරවාරි 07 සිට ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයේ
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ.
ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති මාර්ගගත සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සඳහන් කළේය.
මෙහිදී ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකිය.
රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීම සිදු කෙරිණි.

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන CIDට රැගෙන යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබේ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ලැබුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදීය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

රටින් බැහැරට ගිය වත්කම් නැවත අත්පත් කරගන්න සහය දෙන්න සූදානම් ! - ස්විට්සර්ලන්ත තානාපතිනිය
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් දැනුම්දී ඇත.
අද(24) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වූ අවස්ථාවේදී ඇය මේ පිළිබද සදහන් කර ඇත.
ජනාධිපති කාර්යාලයේදී ස්විට්සර්ලන්ත තානාපතිනිය ජනාධිපති ලේකම්වරයා හමු විය.
වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කර ඇති අතර ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට ද එකඟ වී තිබේ.
ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

කෝපා කමිටුවට නව සභාපතිවරයෙක්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් පත් කර ඇත.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය නිකුත් කරන ඇත.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස්වූ අවස්ථාවේ ඔහු එහි සභාපතිත්වයට තෝරා පත් කර ගෙන ඇත.
කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රට දැවැන්ත මූල්‍ය අර්බුදයෙන් නිවැරදි දිශානතිය වෙත රැගෙන යාමේ අභියෝගය ජය ගැනීම සඳහා සියලු දෙනාගේම කැපවීම අපේක්ෂා කරන බවයි.
එසේම කාරක සභාවේ ඉදිරි කටයුතු ඉතා අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටුකිරීමට අපේක්ෂා කරන බවත් නොබියව නිවැරදි තීන්දු තීරණ ගෙන ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට කිසිසේත්ම පසුබට නොවන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

පූර්ණ ආරක්ෂාව ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
වත්මන් රජය විසින් ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා යන පිරිසයි.
මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන් හරහා ගොනු කර ඇති පෙත්සමේ සඳහන් කර ඇත්තේ, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට සෙසු සියලු දෙනා ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ය.
මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත්, පොලිස් නිලධාරීන් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බව ද මහින්ද රාජපක්ෂ සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ පා සිටින අයෙකු වන අතර තම ජීවිතයට ද තර්ජන එල්ල වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා දන්වා සිටී.
අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
ඊට අමතරව තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.
එමෙන් ම, මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබා දෙන ලෙසට වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ආරක්ෂාව අඩු කළ හැටි
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද තමන් බලයට පත්වීමෙන් පසුව කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ මෙන් ම මහමැතිවරණ සමයේ ද ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසුව එම වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.
ඒ අනුව, මෙම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග තීන්දු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කරනු ලැබී ය.
ජනපතිගේ අනතුරු ඇඟවීම
ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, හිටපු ජනාධිපතිවරුන්ට නිවාස නොදෙන බවට තමා පොරොන්දුවක් දුන් බව ය. "මම ලියුමක් දෙන්න හිතාගෙන ඉන්නවා මට නම් විශ්‍රාම ගියා ම ගෙවල් එපා කියලා. හැබැයි අනිත් අයටත් දෙන්නේ නැහැ. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3ක් දෙන්න ඕනේ.
පඩියෙන් 1/3ක් කියන්නේ, රුපියල් 30,000ක්. මම හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට රු.30,000ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර මාසික කුලිය ලක්ෂ 46යි. තාම ඉඩම තක්සේරු කළේ නැහැ. බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. තිස් දාහයි. එහෙම නැත්නම් ඉතිරි සල්ලි දීලා ඒ ගෙයි ඉන්න පුළුවන්."
දැඩි ස්වරයකින් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, "හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70ක් ගිහින්. අපි ඔක්කෝම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවා ලු. තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂාව දෙනවා."
|BBC සිංහල සේවය

මහනුවර හා මහියංගනය මාර්ග දෙකක් තාවකාලිකව වැසේ
මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර - රිකිල්ලගස්කට- රාගල මාර්ගය සහ මහනුවර - මහියංගනය - පදියතලාව අතර මාර්ග වේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ග මතට ගල් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයයේ රථවාහන ධාවනයට බාධා එල්ලව තිබුණි.
ඒ අනුව එම මාර්ගයන්ට ඉහළින් ඇති ගල් කොටසක් ඉවත් කරන තෙක් මාර්ගය මතුපිට ඇති ගල් ඉවත් කිරීම අවදානම් වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම මාර්ග කොටසෙහි රථවාහන ධාවනය අත්හිටුවීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් මෙම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සඳහා පහත දක්වා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ.

හොරණ රාජකීයේ බිසඳි ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා වෙයි
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් කළුතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත් ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ බිසඳි යෙවින්යා ශිෂ්‍යාව ලකුණු 188 ක් ලබමින් සමත් වී ඇත.
හොරණ මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙක් වන දිළුම්ම මදුරංග වන ඇත ඇගේ සජානා නේපාලි මහත්මියයි.
හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල් අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම ද මෙම ජයග්‍රහණය පිටුපස මනා පිටුවහලක් වූ බව වාර්තා වෙයි.
දිනමිණ

2026 සිට විභාග සහ විෂයමාලාවන්ගේ වෙනසක්
පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
පහුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදලා තිබුණේ නැහැ. ඒ නිසා අපි එක සමාලෝචනය කරලා අධ්‍යාපනය තුළ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර 2026 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය සහ ගිණුම්කරණය වැනි විෂයන් වල අන්තර්ගතය වඩාත් යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමක් ඇරෙන්න ඒවා ඉවත් කරන්න අපිට කිසිම බලාපොරොත්තුවක් නෑ . අපි දකින විදියට මේ විෂයයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසක් කරන්න අපි සූදානම් කරමින් යනවා.
අපි විශාල අවධානයක් ගුරු පුහුණුවට දෙන්න බලාපොරොත්තු වෙනවා. පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් හරහා පාසල් අතර තියන පරතරය අඩු කිරීම වගේම පාසල් විෂය මාලාවේ අන්තර්ගතය පිළිබඳවත් අපේ අවධානය යොමු කර තිබෙනවා. පාසලකට ඇතුළත් වෙන දරුවෙක්ට ලෝකය විවෘත කරන අධ්‍යාපන අත්දැකීමක් ලබාගන්න පුළුවන් පරිසරයක් බිහි කිරීම තමයි අපේ අරමුණ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මගින් විෂය මාලා සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් විසින් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇගයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ශිෂ්‍යයන්ට ඇතිවන පීඩනය අවම වන පරිදි තමයි අපි විෂය මාලා සංශෝධනය කරන්නේ. අපි අපේක්ෂා කරන්නේ විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න.
උසස් අධ්‍යාපනය සැලකීමේදී විද්‍යා , තාක්ෂණ හා වෘත්තිය පුහුණු ක්ෂේත්‍ර තුළ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න අපි මැදිහත් වෙනවා. එහිදී අපි වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ රටේ ආර්ථිකයට සෘජුවම දායක වෙන වෘත්තීය අධ්‍යාපනය ගුණාත්මක තත්ත්වයට පත්කරන්න.
නිර්ණායක මත තෝරාගත් පාසල් ළමුන් ලක්ෂ 7ක් සඳහා පාවහන් ලබා දීමට කටයුතු කර ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අත්හිටුවා තිබෙන ශිෂ්‍යත්ව ප්‍රතිඵල ද ඉදිරියේදී ලබා දීමට සුදානම් බව පැවසුවාය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
පසුගිය සැප්තැම්බර් 15 වැනි දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරුණි.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, WWW.DOENETS.LK හෝ WWW.RESULTS.EXAMS.GOV.LK යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.
විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිත කරමින් හෙට(24) සිට පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට පහසුකම් සලසා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
පසුගිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 323,900 කි.
ඉන් කඩඉම් ලකුණින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244 ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවු බව කියන සිද්ධියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද විභාග වුණි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියෙන් අනුතුරුව පත්කළ විශේෂඥ මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව පිළිතුරු පත්‍ර පරීක්ෂා කර බලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ කෑම වේලක මිල ඉහළට
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ඒ බව සඳහන් කළේය.
මේ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබේ.
තේ එකක මිල රුපියල් 200කි.
මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Page 26 of 471