අප්‍රේල් මාසයේ 11%ක් විදුලි බිල වැඩි කර නැවත මැයි මාසයේ දී 30%කින් එය වැඩි කිරීමට රජය යෝජනා කර ඇති බවත්, එසේ උපයා ගන්න මුදල රු. බිලියන 41.5ක් බවත්, මේ රු. බිලියන 41.5න් දළ වශයෙන් අඩක් එනම් රු. බිලියන 20.5ක් වැය කරන්නේ බාල ගල් අඟුරු වංචාවේ අලාභය මඟහරවා ගැනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
බාල ගල් අඟුරු පාඩුව ගෙවන්නේ සමාගම් නොව ජනතාව යි
බාල ගල් අඟුරු නිසා ගිගාවොට් පැය 250ක් අහිමි වෙලා. මේ ප්‍රමාණය ලබා ගැනීම සඳහා ඩීසල් බලාගාර හරහා විදුලිය උත්පාදනය කිරීමට රු. බිලියන 20.5ක් වැය වෙනවා. මේ රු. බි. 20.5 ලබා ගන්නේ 30%කින් මැයි මාසයේ විදුලි බිල වැඩි කිරීමෙන්. ජනාධිපතිවරයා මේ අලාභය සමාගම්වලින් අයකර ගන්නවා කිව්වත් මේ බාල ගල් අඟුරු පාඩුව ගෙවන්න වෙන්නේ ලක්ෂ 75ක් වන විදුලි පාරිභෝගිකයන්ට.
ගෑස් පාරිභෝගිකයන්ට තවම සහන නෑ
අප රටේ 61 ලක්ෂයක් පවුල්වලින් ලක්ෂ 25ක් ගෑස් පරිභෝජනය කරනවා. මේ අයට සහන නැහැ. අදවත් මොවුන්ට සහන දෙන්න කිව්වත් අදටත් එය සිද්ධ වුණේ නැහැ. මැයි මාසයේ වැඩි කරන්න යෙදෙන 30%ක විදුලි බිල වැඩි කිරීම වහා හකුළා ගත යුතු යි. ඩීසල් ඒකකයට රු. 100 ගාණේ අය කර මේ පාඩුව අය කර ගැනීමට රජය දරනා උත්සාහය නතර කර මේ පාඩුව සිදු කළ සමාගම්වලින් මේ පාඩුව අයකර ගත යුතු යි. බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
මේ රජය රටේ ජනතාව අනාථ කර අවසන්
අද වන විට ගොවි ජනතාවට කිසිදු සහනයක් නැහැ. මාස් කන්නයේ තෙත වී රු. 85-90ටත් 14%ක තෙතමනය සහිත වී රු. 100-103ට ගියා. රජය රු. 120ක් පොරොන්දු වුවත් අද ඒ මිල නැහැ. රු. 150ක සහතික මිල නීතියක් කරනවා කිව්වත් අද එදා ගොයම් කාපු අයත් පුන්නක්කු බීපු අයත් නැහැ. අද රජය රටේ ජනතාවට තුන්වැනි පන්තියේ සැලකිල්ලක් ලබා දෙනවා. මේ රජය විදුලි පාරිභෝගිකයන් සේම ගොවියන් ද, ධීවරයන් ද, කම්කරුවන් ඇතුළු සියලු දෙනාම අනාථ කරලා. බාල ගල් අඟුරු සේම බාල රාජ්‍ය පාලනය නිසා රටේ ජනතාව අසහනයට විපතට පත්වෙලා.
විහිළු නොකර දැන්වත් රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගන්න කටයුතු කරන්න
පොහොර සහනාධාරය දෙනවා කිව්වත් අද වනවිට යූරියා ඇතුළු පොහොර හිඟයක් පවතිනවා. දේශපාලනඥයන් පොහොර තිබේ යැයි කිව්වත් ගොවි බිමේ පොහොර නැහැ. මැදපෙරදිග සති දෙකක සටන් විරාමය ඇති අවස්ථාවේ අප රටට අවශ්‍ය ඉන්ධන, පොහොර, ගෑස් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සැපයුම්වල සැපයුම් දාම ශක්තිමත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. සෙනාරියෝ ප්ලෑනින් එකක් සකස් කරන ලෙසත් වහලුන් යොදා සමාජ මාධ්‍ය හරහා මේ යෝජනා විහිළුවට ලක් නොකර හදිසි අවස්ථාව වෙනුවෙන් ක්‍රමෝපායික සැලසුමක් සකස් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා.
දැන් ලෝක වෙළෙදපොළෙ තෙල් මිල අඩු නිසා අපේ රටේ තෙල් මිලත් අඩු කරන්න
මේ අවස්ථාවේ ලෝකයේ තෙල් මිල අඩු වී ඇති නිසා මැදපෙරදිග යුද්ධයේ නාමයෙන් වැඩි කළ තෙල් මිල අඩු කළ යුතු යි; ඒ සහනය ජනතාවට ලබා දිය යුතු යි. දින 39ක් මර නින්දේ සිට හදිසියේ නැගිට ඇවිත් ඊයේ ජනාධිපතිවරයා පොරොන්දු වට්ටෝරුවක් ඉදිරිපත් කළත් අදටත් දිට්වා නිසා විපතට පත් ජනතාවට දෙනවා යැයි කියූ පොරොන්දු සහන ලබා දී නැහැ. මේ වන විට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිලා. මඩකළපුවේ රෝහලේ ඇති යන්ත්‍ර පවා ක්‍රියාවිරහිත වෙලා. මේ රජය රජරට ප්‍රදේශයේ පොඩි ගෙදරකට පවා රු. 80000ක බිලක් ඒවල තියෙනවා. මෙවැනි ගැටලු රැසක් රටේ පවතිනවා.
ඇමතිවරු හරියට වැඩ නොකරන නිසා රාජ්‍ය සේවකයෝ ගැටලු රැසකට මුහුණ දෙනවා
දැන්වත් මේ රාජ්‍ය සේවකයන්ට වැඩි පුහුණුවක් ලබා දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ඔම්බූඩ්ස්මන් කෙනෙක් පත් කරන්න. මෙවැනි දුක්ගැනවිලි කියන්න තැනක් තිබිය යුතු යි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජනය නතර කිරිම ගැන සතුටු වුවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මොවුන්ගේ ගැටලු ගැන ඇහුම්කන් දිය යුතු යි. දුෂ්කර සේවා රෝහල් 393 සිට 126ක් මේ රජය කප්පාදු කර කර තිබෙනවා. දුෂ්කර සේවා කාලය වසර 1 සිට 2 දක්වා වැඩි කරලා. වැඩවර්ජන ගැන සේවකයන්ට ඇගිල්ල දිගු කරනවා සේම ඇමතිවරයාට පවා ඇඟිලි දිගුවන නිසා මේ ගැන ඇමතිවරයා සාකච්ඡා කළ යුතු යි. මේ ගැටලු මැද රජයේ මාරුවීම් මණ්ඩල පවා දැන් දේශපාලනීකරණය වී පැලවත්තකරණය වෙලා.
කාන්තාවනට සිදු කරන වාචික සහ ශාරීරික හිංසනවලට එරෙහිව පියවර ගන්න
හැමදාම කියනවා වගේ ස්ථිර කර නොමැති ඩෙංගු මර්ධන සහායකයන් ගේ ගැටලු විසඳිය යුතු යි. 301 දෙනෙකු සිටින නිසා ස්ථිර කිරීම වහාම කරන්න. ඊට අමතරව පාර්ලිමේන්තුවේ සේවය කළ කාන්තාවකට හිංසනයක් සිදුව ඇති අවස්ථාවේ මහ අධිකරණ විනිසුරුවරයකු ගේ ප්‍රධානත්වයෙන් මේ ගැන සෙවූ කමිටුවේ දී වාචික හිංසනයක් සිදුව ඇති බවට වාර්තා වෙනවා. දැන්වත් මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යි. කාන්තාවන්ට එවැනි හිරිහැර සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතු යි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
