V2025

පුවත්

පළාත් රැසකට මී.මී 100 පමණ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැක.

දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඩඩ්ලිගෙන් අද සිට පාලන මිලට සහල්

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් අද දින සිට (28) සියළුම සහල් පාලන මිලට ලබා දීමට කටයුතු කරන බව අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි.

පොළොන්නරුවේදී අද (28)  පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ පිළිබද පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඩඩ්ල් සිරිසේන,

වත්මන් බලයට පත්ව ඇති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට තමා සහයෝගය දක්වන බවත්, ලබන ජනවාරි දක්වා පාලන මිලට සහල් ලබාදීමෙන් පාරිභෝගික ජනතාවත්, ගොවියත් රැක ගැනීමේ වැඩපිළිවෙළට තමාද සහයෝගය දක්වන බවත්ය.

තවද, සම්බා, නාඩු, කීරි සම්බා වගා කිරීමේ වාසි අවාසි සහ ගොවීන්ට කුඹුරෙහි විවිධ වී වර්ග වගා කිරීමට රජය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද ඔහු මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ නිපුණ සහල් ව්‍යාපාරයේ අධිපති,

''නිව් රත්න අධිපතිතුමා සමගත් මං සාකච්ඡා කළා. ඔවුන් එකඟතාවයක් පත් කළා. සමස්ත වෙළෙඳ ප්‍රජාවගෙන්ම මම ඉල්ලා සිටින්නේ අද සිට රජයේ පාලන මිලට සහල් විකුණන්න පුළුවන් විදියට අපේ සහල් ටික අපි නිකුත් කරන්නම්. ජනවාරි 20 වෙනකම් පමණක් මේ විදියට අපි සහයෝගයක් දෙමු."

"මේ දිනය දා ගත්තේ... නව අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙනවා. මාස් කන්නයේ වී සඳහා නව මිලක්, සහල් සඳහා නව මිලක් අපිට අවශ්‍යයි. ඒකයි."

රැකියාවට පමණක් නොව ගුණ ගරුක සමාජයක් බිහි කිරීමට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කළ යුතුයි – අගමැතිනි

රැකියාවට පමණක් නොව ගුණ ගරුක සමාජයක් බිහි කිරීමට හැකි වන පරිදි අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවත්, දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතු බවත් අධ්‍යාපනය පිළිබඳව විශ්වාසය ගොඩනැගීම ජාතික ජන බලවේග රජයේ ප්‍රමුඛ වගකීමක් බවත් අගමැති, අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

එමෙන්ම පවුලේ ආර්ථික මට්ටම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට බාධාවක් නොවිය යුතු බවත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියේ සඳහන් වී ඇත්තේ අධ්‍යාපනය සදහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් විය යුතුයි යන පදනම බවත් ඇය සඳහන් කරයි.

අගමැති, අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය මේ බව අවධාරණය කළේ දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (28) කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවති විශේෂ වැඩමුළුවකදීය.

මෙම වැඩමුළුව පවත්වා ඇත්තේ වසර 05කට පසුවය.

මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුළත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම් සිදු කර ඇත.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අගමැති, අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“පුනරුද යුගයක – පොහොසත් රටක් තුළ අපි සියලුදෙනාටම ලස්සන ජීවිත ලබා ගැනීමට, මෙම දැක්ම යථාර්තයක් බවට පත් කර ගැනීමට අධ්‍යාපනයේ ඇති වටිනාකම මෙම විදුහල්පතිවරුන් හොඳින් දන්නා දෙයක්. රජයක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් දැක්විය යුතු සියලු සහයෝගයන්, මගපෙන්වීම් ලබා දීමට අප සූදානම්. අධ්‍යාපනය යනුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැනුම පමණක් ලබා දීම නොවෙයි. ඉන් එහාට ගිය විශාල දැක්මක් අධ්‍යාපනය තුළ තිබෙනවා. රැකියාවක් කිරීමට පමණක් අධ්‍යාපනය ලබා නොදී ගුණගරුක සමාජයක් බිහි කිරීමට මෙන්ම මේ රට භාරගත හැකි, මේ රට වෙනස් කළ හැකි මේ රට හදන්න නායකත්වය දිය හැකි පුරවැසියන් බිහි විය යුතුයි කියන විශ්වාසය සමග අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා.

පොහොසත් රටක් යනුවෙන් අපේ රජය හඳුන්වා දෙන්නේ ආර්ථික මට්ටමින් පොහොසත් වීම පමණක් නොවෙයි. සංස්කෘතික, සාරධර්ම, ආකල්ප සමග සෑම අතින්ම අපි පොහොසත් විය යුතුයි. එවැනි සමාජ තුළ අප සැමට ලස්සන ජීවිත ගත කරන් පුලුවන්. අපි පුනරුද යුගයක් යනුවෙන් අදහස් කරන්නේ අලුත් ආරම්භයක් මේ රටට අවශ්‍යයි කියන එක. සාමූහිකත්වය, සහකම්පනය සහ නූතන ලෝකය තුළ අභිමානවත්ව ඉදිරියට යා හැකි පුරවැසියන් අපි බිහිකළ යුතුයි. අපි යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉලක්ක කර ගන්නේ මෙම අභිලාෂයන් ලගා කර ගැනීමටයි.

මේ වන විට සමාජය තුළ අධ්‍යාපනය පිළිබඳව විශ්වාසයක් නැහැ. අධ්‍යාපනය පිළිබඳව විශ්වාසය ගොඩ නැගීම අතිශයින්ම වැදගත්. කළකිරීමකින් සිටින ස්වභාවයක් තමයි දකින්න තිබෙන්නේ. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්, දෙමාපියන්, සමාජය සෑහීමකට පත් වනවාද, මේ සියල්ල ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. විභාගයක් නියමිත පරිදි පවත්වාගෙන යා හැකිද? විභාග ප්‍රථිපල පිළිබඳ විශ්වාසයක් ඇති කර ගත හැකිද? අධ්‍යාන ක්ෂේත්‍රයේ පත්වීම් හා ස්ථාන මාරුවීම් පිළිබඳව විශ්වාසය තබා ගත හැකිද? දරුවන් පාසලට ඇතුලත් කර ගැනීම සම්බන්ධව ඇති ක්‍රමවේදය සමාජයට විශ්වාසය තැබිය හැකිද? ක්‍රියාවලිය හා පද්ධතිය පිළිබඳව විශ්වාසයක් නැති වන අන්දමට දුර්වල කර තිබෙනවා. දේශපාලනීයකරණය වී තිබෙනවා.

මෙතනදී අධ්‍යාපන පද්ධතිය තුළ සේවය කරන ඔබ තුළ නොවේ එම වැරැද්ද තිබෙන්නේ. කාලයක් පුරා අධ්‍යාපනයට ලබා දී තිබෙන අඩු සැලකිල්ල, අධ්‍යාපනයේ වැදගත්කම, අධ්‍යාපනය රටක සංවර්ධනයේ මූලික තැනක් ගත යුතුයි කියන වගකීම තුළින් ක්‍රමානුකූලව රජය ඈත් වීම නිසා මෙම අර්බුදය නිර්මාණය වී තිබෙනවා. අධ්‍යාපනය දේශපාලනීයකරණය වී ඇති නිසා මෙම ක්ෂේත්‍රයේ සියලුම දෙනා පීඩාවට පත්ව ඇති බව අප දන්නවා. අපිට අවශ්‍යයි ඔබේ වෘත්තීමය ගෞරවය රැකෙන ආකාරයේ අධ්‍යාපන පද්ධතියක් ගොඩ නැගීමට. ඔබේ කාර්‍යභාරය ස්වාධීනව ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම අපේ අරමුණයි.

සෑම ආණ්ඩුවක්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම තුළින්ම අධ්‍යාපන පද්ධතිය විශාල ව්‍යාකූලත්වයකට පත් වෙලා තිබෙනවා. අධ්‍යාපන පද්ධතිය බිද වැටීමට තවත් කාරණයක් වන්නේ එක් තැනකින් නියාමනය නොවීමයි. අධ්‍යාපන අමාත්‍යාංශය එකක් කියනවා. අධ්‍යාපන කොමිෂම තව එකක් කියනවා. ඇතැම් විට ජනාධිපති කාර්යාලයෙන් තවත් දේවල් කියනවා. මොන ප්‍රතිපත්තියද ප්‍රමුඛ විය යුත්තේ, මොන ප්‍රතිපත්තියද ක්‍රියාත්මක කළ යුත්තේ යන අපහැදිලිතාවය පහුගිය වසර ගණනාව තුළම තිබුණා. අපිට අවශ්‍යයි එම අපහැදිලිතාවයෙන් තොර අපි සියලුදෙනාට එකග වෙන්න පුලුවන්, සාමූහිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න.

අපේ දේශපාලන ව්‍යාපාරය සාකච්ඡාවලට විවෘතයි, ඔබේ අදහස් වලට විවෘතයි. අපිට අවශ්‍යයි මේ රටේ තිබෙන අර්බුද සදහා කඩිනම් විසඳුම් සොයන ගමන් හොඳම අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටයි. නැවත මේ රට අර්බුදයකට නොයා ලෝකය තුළ පිළිගත් රටක් බවට පත් කිරීමට හැකි වන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කිරීමට කටයුතු කළ යුතුයි. අධ්‍යාපන ක්‍රමය තුළින් තමයි රටට අවශ්‍ය වටිනා පුරවැසියන් බිහි වෙන්නේ. රජයක් ලෙස අපි විශාල අවධානයක් අධ්‍යාපනය වෙත යොමු කරනවා. සංකල්පයක් පමණක් නොව ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය අපේ රජයෙන් ලබා දෙනවා. ඒ සඳහා අපි බැදී සිටිනවා. අපේ ප්‍රතිපත්තියේම සඳහන් වී තිබෙන්නේ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් විය යුතුයි කියන පදනමයි. බිඳවැටුණු ආර්ථික අර්බුදය තුළ එකවර මෙය ක්‍රියාවට නැන්වීමට අපහසු වුවද ක්‍රමාණුකූලව අපි ඒ ඉලක්කය වෙත යනවා. අපේ අය වැය තුළ අධ්‍යාපනය සදහා විශේෂ අවධානයක් ලබා දෙනවා.

පවුලේ ආර්ථික මට්ටම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට බාධාවක් නොවිය යුතුයි. දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න තිබෙන මුදල එන්න එන්නම වැඩි වෙලා තිබෙනවා. නිදහස් අධ්‍යාපනය ඇති රටක මෙය කිසිසේත්ම පිළිගත හැකි දෙයක් නොවෙයි. නිදහස් අධ්‍යාපනය තිබුනද දෙමාපියන්ගේ ආදායමෙන් විශාල මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට සිදුවී තිබෙනවා. අපි නිදහස් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වූ ප්‍රධානම දේ සිදු වන්නේ නැහැ. එනම් තමන්ගේ ආදායම දරුවන්ගේ අධ්‍යාපනයට සාධකයක් නොවිය යුතුයි කියන දේ ගිලිහී ගිහින්. නිදහස් අධ්‍යාපනය තුළින් මේ රටේ දහස් ගණන් බුද්ධිමතුන් බිහි වූවා. බොහෝ පිරිසකට ලෝකයේ ඉහළම තැන් සඳහා යාමට හැකි වූවා. නමුත් නැවත වතාවත් මුදල්, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න සාධකයක් බවට පත් වී තිබෙනවා. එබැවින් අපි පාසල් අතර අසමානතා වෙනස් කළ යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැය වන අධික මුදල් බරින් දෙමාපියන් නිදහස් කළ යුතුයි. දරුවා අධ්‍යාපනය සඳහා පාසලට භාර දුන් පසු දෙමාපියන් මැදිහත්වීම අවම කල යුතුයි. ඔවුන් නිදහස් කළ යුතුයි. මෙම ඉලක්ක වෙත යාමට දායක වන අධ්‍යාපන පරිපාලනය, විදුහල්පතිවරුන්, ගුරුවරුන් වෙත ලැබිය යුතු පහසුකම් හා අවශ්‍ය පුහුණුව ලබා දීමට විශේෂ අවධානයක් ලබා දෙනවා. ලෝකයේ හොඳම අධ්‍යාපන ව්‍යුහය මෙහි හඳුන්වා දුන්නද එය ක්‍රියාත්මක විය යුත්තේ ඔබ හරහා. එය ඉටු කිරීමට නොහැකි බාධක ඉවත් කිරීම අපේ ප්‍රමුඛ අරමුණක්. මෙය සාමූහික ගමනක්. එක් පක්ෂයක්, එක් ආණ්ඩුවක් තනියම කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා මම ඔබ සැමගේම සහයෝගය අපේක්ෂා කරනවා.”

මෙම අවස්ථාවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජේ.එම්. ලේකම් තිලකා ජයසුන්දර, ජාතික පාසල් අධ්‍යක්ෂ හසිනි තලගල ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති අනුර මැද්දෙගොඩ පත් කෙරේ

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ.

මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න  ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතුණි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සාරූක්  පත්වී ඇත.

සියලුම ආදායම් බදු සඳුදාට පෙර ගෙවන්නැයි දැනුම් දීමක්

2023/2024 තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතුව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර  සඳහන් කළේ, යම් තැනැත්තෙක් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත්වනු ඇති බවයි.

එමෙන්ම ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිඟ බදු පවතී නම් ඒ සියල්ලම ලබන සඳුදාට හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව ඇය පැවසුවාය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර  කියා සිටියේ, සඳුදාට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතී නම්, ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1944 කෙටි දුරකතන අංකයෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකියි.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි ‍

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම  අභාවප්‍රාප්ත වේ.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය.

ඔහු 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

චන්‍ද්‍රිකා - රනිල් - සජිත් මහ ඡන්දයට පොදු සන්ධානයකින් එන්න සාකච්ඡා

ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ (26දා) ජනාධිපතිවරණයේදී ඔහුට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡා පවත්වා ඇත.

හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිට්ටඹුවේදී ඊයේ සාකච්ඡා පැවැත්වූහ.

සමගි ජන බලවේගය පක්‍ෂය සමග එක්සත් ජාතික පක්‍ෂය ද ඊයේ පොදු සන්ධානයක් ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා ආරම්භ කළ බව ආශු මාරසිංහ පැවසීය.

මෙම පොදු සන්ධානය සම්බන්ධයෙන් අද (27දා) මාධ්‍ය වෙත තොරතුරු ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක සඳහන් කළේය.

(divaina.lk - උපාලි ද සේරම්)

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.

අද (27) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදි උපාධිධාරියෙක් වන ප්‍රියන්ත වීරසුරිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු සහාකාර පොලිස් නිලධාරියෙකු ලෙස උසස්වීම් ලැබුවේ ය.

ඔහු මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධාරියෙකි.

ප්‍රියන්ත වීරසුරිය, උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

පොලිස් අපරාධ හා රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස හා පොලිස් සැපයුම් අධ්‍යක්ෂකවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

ප්‍රියන්ත වීරසුරිය නැගෙනහිර ටිමෝටය හා හයිටි රාජ්‍යයේද එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු සඳහා එක්ව තිබීම විශේෂත්වයකි.

පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයට එක්වී වසර 158ක පොලිස් ඉතිහාසය තුළ පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලද එම නිලධාරියා ප්‍රියන්ත වීරසුරිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

“දේශපාලනඥයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන්න”- අග්‍රාමාත්‍ය හරිනි

මහජන නියෝජිතයින් පාසල් උත්සවවලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (සැප්. 26) අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ය.

එමෙන් ම, ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදුවූ අසාධාරණයට වහා ම සාධාරණය ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.

ඇය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, පිට වූ ප්‍රශ්න පිළිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කරන ලෙස ය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බව ත් විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රතිඵල ලබාදීම කඩිනම් කළ යුතු බව ත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.

හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (සැප්. 27) යළි කැඳවා ඇති බව ය.

කෙසේ වෙතත්, හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාට ලබා දී ඇති පොලිස් ආරක්ෂාව ඉවත් නොකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, තවදුරට ත් ආරක්ෂාව ලබා දියයුතු යැයි බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇති තනතුරු දරන නිලධාරීන්ට පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බව ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සැප්තැම්බර් 24 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.

ඒ අනුව, මන්ත්‍රීවරුන්ට ලබා දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැරණි ක්‍රමවේදයට වීසා

පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රමවේදය යළි ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පොහොර සහනාධාරය ඉහළ නංවන්න- ජනපතිගෙන් උපදෙස්

හෙක්ටෙයාරයකට ලබා දෙන රුපියල් 15,000 පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක  මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන්නේ ය.

ඒ අනුව, 2024 /25 මහ කන්නය සඳහා මෙම පොහොර සහනාධාරය ගොවීන්ට හිමිවනු ඇති.

ඔක්තොම්බර් 01වැනිදා සිට මෙම සහනාධාරය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යෑමට ජනපතිගෙන් උපදෙස්

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක  දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබීය.

මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස තම පූර්ණ සහාය ලබා දෙන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මේ බව සඳහන් කර සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදීය.

විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් අටසියය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා විදුලිබල අමාත්‍යාංශය මඟින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිතුමා විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එම කමිටුව හරහා විදෙස් ආධාර මත සිදු කරන ව්‍යාපෘති කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක  ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකි බව පැවසීය.

මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන්ට මහත් කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනා කැපවී කටයුතු කරනු ඇති බවටත් ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල  ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

තැපැල් ඡන්ද අයදුම්පත් ගැන කොමිසමෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක  පවසයි.

මෙම මැතිවරණයේ දී ද 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුදෙනාට නැවතත් මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බවද ඔහු පැහැදිලි කළේය.

කොළඹ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව පැහැදිලි කළේය.

"මේ මැතිවරණයේදී පහුගිය ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් පහුගිය ඡන්දහිමි නාමලේඛනයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. ඒ ඔබට අදාළ සියලුම දත්ත සියල්ල අප සතුව තිබෙනවා.

එහෙත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කරපු තැපැල් ඡන්ද අයදුම්පත මොනයම් හෝ කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ ගියවර තැපැල් ඡන්ද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙච්ච අයදුම්කරුවන් නැවත අයදුම් කරන්න සිදුවෙනවා.

ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ යම් ලෙසකින් තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් නොකරම සිටියා නම් ඒත් ඔබ මැතිවරණ රාජකාරී සඳහා යොදවා ගැනීමට අපේක්ෂිත සේවා කාණ්ඩයක සිටිනවා නම් ඔවුනටත් නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා සහතික කිරීමේ නිලධාරීවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ලිඛිතව දැනුම් දීමක් කරනවා ඊට අදාළව සහතික කරන නිලධාරියා විසින් සහතික කරන ලද ඡන්දදායකයින්ගේ ස්ථාන මාරුවීම් විශ්‍රාමයාම හෝ වෙනත් මිය යාමේ කාරණා තුළ ඉවත් වෙච්ච සහ අලුතින් පැමිණිච්ච අයට අදාළ තොරතුරු අපට ලබාගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල අපේ සහකාර තේරීම් භාර නිලධාරීන් විසින් කටයුතු කරනු ලබයි.

පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟම පසුගිය ජනාධිපතිවරණයේ දී අනුගමනය කරපු නීතිරිති රාමුව තුළ ඒ ආකාරයෙන්ම වලංගු වේ.

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්  ඉල්ලා අස්වී තිබේ.

හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වෙයි.

මුදිත පීරිස්  ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළේ, 2022 වසරේ ජුනි මාසයේ 13 වනදාය.

රට ගොඩ නැගීමට සැවොම එක්වන්නැයි ජනපති ජාතිය අමතමින් ඉල්ලයි

දේශපාලනය කිරීමේදී අප කුමන මතයක් දැරුවද රට ගොඩ නැගීමේදී සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බව තමා තරයේ පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතමින් පැවසීය.

දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඩ ජනතාව පිලිගැනීම ගැන තම ප්‍රණාමය පිරිනමන බවද පැවසූ ජනාධිපතිවරයා, නීතිය ඉදිරියේ සැවොම එක සමාන බව මතයට තමා නැවත ජීවය ලබා දෙන බවද පුද්ගල තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද කීවේය.

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කර ජනතාවට ඉක්මනින් සහන ලබාදීමට පියවරගන්නා බවද පැවසූ ජනාධිපතිවරයා, ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තරයේ හිමිවිය යුතු නිසි ගෞරවය ලබාදීමට කටයුතු කරන බවත්, රට ගොඩ නැගීමට එක්වන සියලුම දෙනාට දොරටු විවෘත කර ඇතැයිද පැවසීය.

සෑම ජාතියකටම එක සමානව ජීවත්වීමට අවශ්‍ය පරිසයර ගොඩ නැගිය යුතු බවත් කී ජනාධිපතිවරයා ඕනෑම පුද්ගලයකුගේ විවේචන අදහස් පිලිගැනීමට සූදානම් බවත් දෙමාපියනට යහපත් ජීවිතයක් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට තමා කැපවන බවද කීවේය.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ සම්පූර්ණ කථාව මෙසේය.

 

ස්වාමීන්වහන්ස,
පූජකතුමණි,
දෙමාපියණි,
හෝදර සහෝදරියණි,
දූ දරුවණි,

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි...

දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වෙන්නේ නම් පමණක් බව අප විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණයේ අයිතිය අප රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමතියි.

අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා, විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින්, අලුත් අත්හදා බැලීමකට බිය නොවී, අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාල අධිෂ්ඨානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ථ ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැංවීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා.

මෙරට ගොඩනැගීමේ කාර්යභාරය සාමූහික ප්‍රයත්නයක් ලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අපි සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා.

සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප
කටයුතු කරනවා.

අප අපෙක්ෂා කරන වෙනස සඳහා, සැලකිය යුතු කාලයක් තුළ, පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීමෙන් පමණයි. ඒ සඳහා, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල ණය පාර්ශව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාල ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා. ඒ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබා ගතහැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරනවා.

අපට බලය ලබා දීමේ දී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ “වෙනසක්” ඇති කිරීමයි. මෙතුලින්, වෙනසක් යන්නෙන් මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනු එකම මැතිවරණය පැවැති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත්වීම, මෙරට ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සනාථ කිරීමකි. මෙම තත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි.

දේශපාලනයේදී බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය වීම සහ ඒ වෙනුවෙන් උපාය මාර්ග ගැනීම ඕනෑම කෙනෙකුට තිබෙන අයිතියක්. දේශපාලනය කරන වෙලාවට දේශපාලනය කිරීමත්, රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ යුතු වෙලාවට ඒ වෙනුවෙන් සාමූහිකව එක්වීමේ වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අප නායකත්වය ලබා දෙනවා.

සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම “අප ශ්‍රී ලාංකික පුරවැසියන්” කියා අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වනවා හැර, සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය, ආර්ථක, දේශපාලනික ප්‍රතිසංස්කරණයන්
සිදු කිරීමට අප කිසිසේත්ම පැකිලෙන්නේ නෑ.

තමන්ගේ ජාතිය, ආගම, පංතිය, කුලය අනුව මේ රට වෙන් වුනු යුගය සහමුලින්ම අවසන් කර, විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මේ රට ගොඩනැංවීමේ නොවෙනස්, ස්ථිරසාර වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.

මේ සියලු කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඒවා මෙහෙයවීමට අවශ්‍ය කාර්යක්ෂම හා අවංක නිලධාරීන් පත් කිරීමේ පියවරයන් රැසක් අප මේ වන විටත් අවසන් කර තිබෙනවා. මහජන සේවාව බිඳ නොවැටෙන හා පුරවැසියන් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑමක් ඇති නෙවෙන පරිදි, අපේක්ෂිත වෙනස්කම් කරා, පියවරෙන් පියවර අප ඉදිරියට යනවා.

නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනය ගරුක සමාජයක් ඇති කරන්න අපි කැපවෙනවා. සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරනවා. නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය ලබා දෙනවා.

අප රට ගොඩ නැංවීමේ දී රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරෙන බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහජනතාවට අභිමානය සැලසෙන, රජයේ ඉලක්ක කරා හඹා යන රාජ්‍ය සේවයක් ඇති කරනවා. කාර්යක්ෂම අවංක සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් සථාපිත කිරීම වෙනුවෙන් අපේ කැප වෙනවා.

 ''අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා''

මේ රටේ මහ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම අපගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අප ක්‍රියාවලට නංවනවා. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා.

 මේ රටේ සෑම මවකට සහ පියකුට තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාංකාවක් ඇතිවෙන්න ඉඩක් තියන්නේ නැහැ. තමන්ගේ දරුවට හොඳ පාසැලක්, හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ හැම දෙමාපියකුටම අයිතියක් තියෙනවා. සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමට කැපවෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැප වෙනවා. දැනුම, ආකල්ප හා කුසලතා දියුණු කිරීම මඟින් අප රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් නිර්මාණය කරනවා.

 ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපොළේ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. එහි පිළිවෙල , මිනිසුන්ගෙ හැදියාව, ක්‍රියාකාරිත්වය , හැසිරීම් රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ ඒ රටේ ස්වභාවය. ඉන් ඔබ්බට පරිසරයේ පිරිසිදු බව, පාරවල් වල වාහන යන ආකාරය, වැඩිහිටියන්ට සලකන ආකාරය, ආගන්තුක සත්කාර ඒ වගේම සත්තුන්ට සලකන ආකාරය පවා එමගින් සනාථ කර ගන්න පුලුවන්. අප රටේ ප්‍රතිරූපයත් ඒ අකාරයෙන්ම පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩ නැංවීමට අප සැලසුම් සකස් කර අවසන්. ඒ ගොඩනැගීම වෙනුවෙන් කෙටි කාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගන්නවා.

 ''අපේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්වයකට රට ගොඩ නංවන්නට අවශ්‍යයි''

මේ රටේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්වයකට රට ගොඩ නංවන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට ‘මම ශ්‍රීලාංකිකයෙක්’ කියලා අභිමානයෙන්
කියන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි . “මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක්!” කියලා අපේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි.

ඊට ඔබේ සාමූහික දායකත්වය අවශ්‍යයි.

සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වය හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහගත ලෙස දායක වෙනවා.

දැනුම කුසලතාවය අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය දිරි ගන්වන වැඩපිළිවෙළක් තුළින් අපගේ ළමා හා තරුණ පරපුරට විහ්වසනීය අනාගතයක් අප විසින් නිර්මාණය
කරනවා.

අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් ඉක්මවන කාන්තා ප්‍රජාව මෙරට ආර්ථිකයේ සහ සමාජ ක්‍රියාවලියේ සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනය සම්බන්ධව සියලු දෙනාට එක්ව ගතහැකි ක්‍රියාමාර්ග වෙතට අපි යොමු වෙනවා. සියළු ආයතනයන්හි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත්, අපගේ අග්‍රාමාත්‍යධූරයට කාන්තාවක් පත් කර තිබෙනවා.

මෙරට ජනගහනයෙන් විශාල පිරිසක් ආබාධ සහිත, සුවිශේෂ සමාජ ආරක්ෂණයක් ලැබිය යුතු පිරිසක්. එම පිරිස වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අප විසින් යෝජනා කර තිබෙන අතර එහි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරනවා.

අප යන ගමනේදී මේ සමාජ දේහයේ සියලු කණ්ඩායම් මග නොහරින බවට අප වග කියනවා. එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරමින් ඒවා රටේ ප්‍රගතිය උදෙසා සාධනීය ලෙස යොදා ගැනීම වෙනුවෙන් අපේ දායකත්වය අපි ලබාදෙනවා.

මහජන පරමාධිපත්‍යය පිළිබඳව අප ඉතාම දැඩිව විශ්වාස කරන අතර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වෙනවා.

අප පිළිබඳව සැක සංකා හේතුවෙන් අවිනිශ්චිතතාව ඇති අය සිටින බව මා දන්නවා. මාගේ ක්‍රියාවන් තුළින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබගේ සාධනීය විවේචන මම පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනගන අනාගතයේ කොටස්කරුවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම්, ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබ වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එමගින් රට මුහුණ දී ඇති අර්බුදය පිළිගැනීමටත්, එතුළින් ඉදිරියට යාමට අවශ්‍ය උපාය මාර්ග එක්ව සැලසුම් කිරීමටත් හැකි වෙනවා. මේ රට ගොඩනැගීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට අපගේ දොරටු විවෘතයි.

ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජන වරමේ විකෘතියක්. ඒ අනුව මා, ඊයේ දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තා. ව්‍යාවස්තානුකුලව රට ගෙන යාම සදහා අපගේ පාර්ලිමේන්තු නියෝජනයට අනුරූපී වන ආකාරයට කැබිනට් මණ්ඩලයක් ද
පත් කර ගත්තා.

අලුත් ඉරක් පායන හැම දවසකම මේ රටේ සියලුම මිනිසුන් දකින සිහිනයක් තිබෙනවා.

ඒ අදට වඩා හොද හෙටක්!

එහෙත්,

දශක ගනනාවක් තිස්සේම එය සිහිනයක් පමණක් වූ බව ඔබත්, මමත් දන්නා කරුණක්.

අවස්‍ථාවාදය, බලලෝභය, ඒකාධිපතිවාදය හා ජාතිවාදය හේතුවෙන් අපේ රට තවමත් ඉහලින් ඔසවා තබන්නට අපට බැරිවෙලා තිබෙනවා..!

එහෙත්, දැන් අපට ඉතිහාසයේ අත්හල නොහැකි අවස්‍ථාව ලැබී තියෙනවා. අපි සියලු දෙනා එකට එක්ව, විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු.

ස්තුතියි

තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

ආගමන හා විගමන පාලක ඉලුක්පිටිය රිමාන්ඩ්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතය.

ලේක්හවුස් නව සභාපති ගාමිණි වරුෂමාන

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමාන  අද වැඩ භාර ගත්තේය.

කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඔහු ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙක් ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කරමින් විශ්ලේෂකයෙකු, පර්යේෂකයෙකු ලෙස ආයතන ගණනාවක සේවය කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය සදහා ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සදහා ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඒ මහතා ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගැමිදිරිය වැඩ සටහන ආදිය ආයතන ගණනාවක පරිපාලන සහ පර්යේෂණ අත්දැකීම් සහිත නිලධාරියෙකි.

Page 31 of 462