වෙසක් සතියත් සම ගෙවුණු සතිය දේශපාලනය එතරම් උණුසුම් නොවූවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණය දිනා ගැනීම ගැනත්, “පච මදිවට හොරු - අනුරට බෑ” සම්මන්ත්රණ මාලාව යළි ආරම්භ කිරීම ගැනත් වැදගත් තීන්දු තීරණ රැසක් ගත් පසුබිමක මේ දිගහැරෙන්නේ සජිත් ඇතුළු සජබයේ ගෙවුණු සතියේ දේශපාලනයේ විශේෂ සිදුවීම් පෙළයි.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හදිසියේ සජිත් හමුවෙයි

2017 වසරේ පළාත් සභා අක්‍රීයවන අවස්ථාවේ පළාත් සභා නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පසුගිය දවසක විපක්ෂ නායක කාර්යාලයේ දී සජිත් ප්‍රේමදාසව හමුවෙනවා. ඔවුන් මේ හමුව ඉල්ලා තිබුණේ පළාත් සභා ඡන්දය ඉල්ලා බල කරන්න කියන ඉල්ලීම සජිත්ට කරන්න. මේකට ආවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2017 පළාත් සභා නියෝජනය කරපු මන්ත්‍රීවරු. හිටපු පළාත් සභා මන්ත්‍රී සංසදයේ ජ්යේෂ්ඨතමයෙක් වෙච්ච සබරගමුවේ ඒ.ඒ. විජේතුංග සජිත්ට අපූරු යෝජනාවක් කළේය.

“සර්, දැන් ගම්වල මාලිමාවට ඡන්දේ දීපු මිනිස්සු හොයාගන්නත් නෑ. අපි දුන්නා කියලා කියන්න මිනිස්සු කවුරුත් නෑ. පළාත් සභා ඡන්දය තියන්න කියලා අපි බලපෑම් කරන්නම ඕන, අපි ඒක ඉල්ලලා පාරට බැස්සත් කමක් නෑ. 2029 ජනාධිපතිවරණයේ අපේ ජයග්‍රහණයට ඒක ලොකු තල්ලුවක් වෙනවා. අනිත් එක සර් ටිකක් තදින් ඉන්න ප්‍රේමදාස මහත්තයා වගේ, කිසිම කෙනෙකුට බුරුලක් දෙන්න එපා. සර්ගේ මනුස්සකම වැඩීයී, සැරට ඉන්න ඕන.”
පළාත් සභා කතාව සාවධානව අහගෙන හිටපු සජිත්, විජේතුංග මන්ත්‍රීවරයා ගේ සැර වීමේ කතාවට පුංචි විහිළුවක් කළේය.
“මේක නේ විජේතුංග මන්ත්‍රීතුමා, මම තාත්ත ගෙයි, අම්ම ගෙයි සම්මිශ්‍රණයක් නේ. මට තාත්ත ගේ හොඳයි, අම්ම ගේ හොඳයි දෙකම තියෙනවා නේ. දැන් සමහරු මගේ DNAත් පරීක්ෂා කරන්න වෙන තත්ත්වයේ කථා හරියට කියනවා. මම කිව්වේ අපේ අය නෙමෙයි, අපට විරුද්ධ අය,” කියමින් සභාවම සිනහවට පත් කළේ ය.
පළාත් සභා ඡන්දයට සජබෙන් ජාතික මෙහෙයුම් කමිටුවක්

පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජයට බලකිරීම සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කරන බවත්, ඒ හරහා පළාත් මට්ටමින්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා බල කෙරෙන වැඩසටහනක් ආරම්භ කරන බවත් විපක්ෂ නායක සජිත් මෙහි දී අවධාරණය කළේය.
“පළාත් සභා සුදු අලියෙක් කියලා එදා මතයක් හැදුවේ වර්මාන ආණ්ඩුවයි, ඒක කළේ පාර්ලිමේන්තුව ගැන වගේම පළාත් සභාව ගැනත් ජනතාව තුළ පිළිකුලක් ඇති කරන්න. ඒත් අපි දැක්කා පළාත් සභා ක්ෂේත්රය හරියට ක්‍රියාත්මක වීම හරහා විශාල මෙහෙවරක් රටට සිද්ධ වුණා. අපිට මතකයි ඉතිහාසයේ පළාත් සභාව හරහා විශිෂ්ට සේවාවන් කරපු මහඇමතිවරු හිටියා. ඒ අය කොච්චර විශිෂ්ටයින් ද කියනවා නම් තමන් ගේ පළාත් සභා බලප්‍රදේශවලට ජාත්‍යන්තර සමාගම් පවා ආකර්ෂණය කරගෙන දැවැන්ත ආයෝජන අවස්ථා, රැකියා අවස්ථා බිහිකළා. මධ්‍යම ආණ්ඩුව නොකරපු සමහර සංවර්ධන කටයුතු සිදුවුණේ පළාත් සභාව හරහායි. අපි ඒවගේ යුගයක් තමයි බිහිකළ යුත්තේ.”
සජිත් කියන IMF අනුප්‍රාප්තික සැලැස්ම යළිත් කරළියට

ශ්‍රී ලංකාව සහ IMF අතර ගිවිසුම 2027 මාර්තුවේ අවසන් වීමට නියමිත ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග අනුප්‍රාප්තික වැඩසටහනක් සඳහා වහාම සාකච්ඡා අරඹන්නැයි විපක්ෂ නායක සජිත් රජයෙන් ඉල්ලීමක් කරන්නේ එවැනි පසුබිමක ය. ඔහු අවධාරණය කරන්නේ, එම වැඩසටහන අවසන් වීමට ප්‍රථමයෙන් අනුප්‍රාප්තික වැඩසටහනක් සැලසුම් කළ යුතු බව ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මෙම යෝජනාව කෙතරම් ප්‍රතිඵලදායක ද සහ ප්‍රායෝගික ද යන්න තහවුරු කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා අදහස් දක්වා තිබුණි.
“අනුප්‍රාප්තික සැලැස්මක් යනු හුදෙක් නව ගිවිසුමක් පමණක් නොවේ. එය 2023 දී ලබාගත් ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) අවසන් වූ පසු ක්‍රියාත්මක වන, ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික ස්ථායිතාවය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ උපායමාර්ගික සැලැස්මක්. එමගින් හදිසි ආර්ථික කම්පන වළක්වා ගැනීමටත්, අපහසුවෙන් දිනාගත් ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම වළක්වා ගැනීමටත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ආරක්ෂණ දැල අඛණ්ඩව පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා. මේ අනුප්‍රාප්තික ගිවිසුමක් යනු අනාගත ස්ථාවරත්වය කරා ශක්තිමත් පාලමක් සකස් කිරීමක්.”
මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ…,
“දැනට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 6.7 ක් විතරයි. ඒත් 2027 වසර අවසානය සඳහා වන IMF පුරෝකථනය ඩොලර් බිලියන 11.8 (ඇමෙරිකානු ඩොලර් මිලියන 11,779) ක් තිබිය යුතු බව. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 ප්රකාශනයේ සඳහන් විදිහට දළ නිල සංචිත ගණනය කිරීමේදී විදේශ විනිමය හුවමාරු පහසුකම් ඉන් අඩු කළ යුතුයි. ඒ කියන්නේ චීනය සමඟ ඇති ඩොලර් බිලියන 1.4ක විදේශ විනිමය හුවමාරු පහසුකම අඩුකරන්න ඕන. එතකොට අපි සතුව තියෙන සැබෑ ලෙස භාවිතයට ගත හැකි සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.3ක් පමණ මට්ටමට අඩු වෙනවා. එහෙම නම් භාවිතයට ගත හැකි මේ සැබෑ සංචිත ප්‍රමාණය පදනම් කරගෙන 2027 ඉලක්කය කරා යන්න නම්, අදාළ මාස 12 තුළ දී මසකට ඩොලර් මිලියන 540ක් බැගින් අඛණ්ඩව අපේ රටට ඩොලර් සොයන්න වෙනවා. ඒත් ශ්‍රී ලංකාව දැනට ඒ ඉලක්කය සපුරාගත හැකි වේගයකින් ගමන් කරන බවක් පේන්න නැහැ.”
අනුප්‍රාප්තික වැඩසටහනක් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයි?

2022 ආර්ථික අර්බුදයෙන් පසු, IMF වැඩසටහන හරහා අපට මූල්‍ය ආධාර මෙන්ම ජාත්‍යන්තර ණය හිමියන් ගේ විශ්වාසය ද යළි හිමි වූ බවත්, රටේ මූල්‍ය ස්ථාවරත්වය ඉතා බිඳෙනසුලු බවත්, 2027 සිට ප්‍රතිව්‍යුහගත කළ විදේශ ණය ප්‍රමාණය සහ පොලිය යන දෙක ම ගෙවීමට සිදුවීම දැනටමත් පීඩනයට ලක්වෙමින් ඇති ඩොලර් සංචිත මත පැටවෙන දැවැන්ත බරක් බවත් මහාචාර්යවරයා පෙන්වා දේ.
එවැනි පසුබිමක අනුප්‍රාප්තික වැඩසටහනක් නොමැති වුවහොත්, ණය ශ්‍රේණිගත කිරීම් කඩා වැටීම, ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවේශය අහිමි වීම, ආයෝජන විශ්වාසය බිඳ වැටීම සිදුවිය හැකි බවත් අවධාරණය කරන මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, පෙන්වා දෙන්නේ 2025 ජූනි සිට 2026 ජූනි දක්වා වූ වසරක කාලය තුළ රුපියල 11% කින් පමණ අවප්‍රමාණය වී ඇති බවයි. ගෝලීය තෙල් මිල පීඩනය සහ භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් ආර්ථික අවිනිශ්චිතතා දිගටම පවතින තත්ත්වයක් තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අනුප්‍රාප්තික ගිවිසුම පිළිබඳ සමාජයට සහ බලයේ සිටින ආණ්ඩුවට සිහිකර දීම වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බංග්ලාදේශය පවා මේ වන විටත් වඩාත් ජනතාවාදී IMF ගිවිසුමක් සඳහා සාකච්ඡා පවත්වද්දී අප තවත් අර්බුදයක් එනතෙක් බලා නොසිටිය යුතු බවත් මහාචාර්ය ප්‍රසන්න සිය අදහස මගින් අවධාරණය කර තිබුණා.
අධිකරණයට රජයේ අතපෙවීම් වලට සජබ විරෝධය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීමට ආණ්ඩුව ගැනීමට යන අත්තනෝමතික තීරණයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති අනුර කුමාරට ලිපියක් යවා තිබුණා. ඔවුන් පෙන්වා දී තිබුණේ, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසය මෙවැනි කටයුතු හරහා පලුදු වන බව ය. මේ පිළිබඳ සමගි ජන බලවේගය ද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව සිදුකිරීමට යන මෙම වෙනසට පක්ෂයක් ලෙස තමන් ද විරුද්ධ බව ය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීමට ආණ්ඩුව ගැනීමට යන අත්තනෝමතික තීරණය බරපතළ සැකයක් උපදවන කටයුත්තක් බවත්, විනිසුරුවරුන් ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන ලද්දක් බවත් සජබ සිය නිවේදනය මගින් අවධාරණය කර තිබුණා. එදා විරුද්ධවීම්, ජනතා පෙළ ගැස්වීම් හරහා මෙවැනි කටයුතු විවේචනය කළ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් ආණ්ඩුව අද සිදුකරමින් යන්නේ එදා කතාව සහ අද ක්‍රියාව අතර පරස්පර විරෝධී කටයුත්තක් බවත් සමගි ජන බලවේගය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස වූ නීති පද්ධතියේ අඛණ්ඩතාව උල්ලංඝණය කිරීමත්, නීතියේ ආධිපත්‍ය බිඳවැට්ටවීමත්, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමත් යන කරුණු මේ හරහා සිදුවන නිසා තමන් ද ආණ්ඩුවේ මෙම ක්‍රියා කලාපයට විරුද්ධ වන බව සමගි ජන බලවේගයේ අදහස වී තිබුණා.
සජිත්ට වෙසක් කලාප වැසි වසී

පසුගිය සෙනසුරාදාට යෙදී තිබූ වෙසක් පොහොයට සමගාවීම කොළඹ අවට වෙසක් කලාප කිහිපයක් ම සංවිධානය කර තිබූ අතර, ඒවායේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සජිත් ප්‍රේමදාසට ඇරයුම් කර තිබීමත් දැකගත හැකි විය. ගංගාරාම වෙසක් කලපය, බෞද්ධාලෝක වෙසක් කලාපය සහ බෙල්ලන්විල වෙසක් කලාපය ඉන් ප්‍රධාන වූ අතර එම අවස්ථාවලට එක්වූ සජිත්ට ද පැමිණ සිට පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවන අයුරුද දැකගත හැකි විය.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
