V2025

පුවත්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ලබන 15 ට පෙර අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ ආර්. දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ද ඒකමතිකව අනුමත කොට තිබියදීත් ජනාධිපති පොදු සමාවක් මත ඔහු මුදා හැරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ, දියණිය සහ තවත් නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද යසන්ත කෝදාගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.

විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන දෙසැම්බර් 16 වැනි දින දක්වා කල් තැබීමටයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් : තිලංගට විරෝධයක් !

තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත .

සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව හෝ සන්ධානගත පක්ෂ දැනුවත් කළ යුතු බවත් එම පක්ෂ නිකුත්කළ නිවේදනය සඳහන් කර ඇත .

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්දා , ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, දේශවිමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලංසූරිය යන පක්ෂ නියෝජිතයන් ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ලලිත්ගේ ජන්ම සමරුවේ : එජාපයේ ඊළඟ පිම්ම මතුවේ !

IMG 20221123 WA0039

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වන දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ගේ 86 වන ජන්ම දින සැමරුම අද (23) ට යෙදී තිබුනා .

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් .

ලලිත් ඇතුලත්මුදලි පදනමෙහි සභාපති ධූරය දරන්නේත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක .

මේ වෙනකොට රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ මීළඟ මහ ලේකම් ලෙස නම් කරන්න යන බවටත් ලොකු හාහොවක් යනවා . එහෙම පසුබිමක තමයි ජනාධිපති රනිල් , ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක සමග රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා එකම වේදිකාවක දකින්න ලැබුණේ .

මේ අවස්ථාව දැකපු පාක්ෂිකයින් වගේම දේශපාලනය ගැන කෘතහස්ත අදහස් ඇත්තන් ගණනාවක් කිව්වා කියන්නේ , රටේ ආර්ථික අර්බුදයක් ඇති පසුබිමේ , ඒ වගේම අරගලය සමග තරුණයන් ලිබරල් දේශපාලනය ගැන පෙර නොවූවිරූ පිබිදීමක් ඇති සමයක රනිල් - රවී යුගලය එක වේදිකාවක මරු කම්බයින් එකක් කියලා .

මොකද මේ වෙලාවේ සමාජය ඉල්ලන්නේ , මිනිසුන් විශ්වාසය තියලා තියෙන්නේ මේ දෙන්නම කාලයක් තිස්සේ යෝජනා කළ ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ .

ඒ විතරක් නෙවෙයි , මෑතකදී ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ත්, රවී කරුණානායක හිටපු ඇමතිගේ රජමල්වත්ත පිහිටි ගෙදර ගිහින් ඩිනර් එකක් පවා අරගෙන ගොඩක් වෙලා පෞද්ගලික කතාවක හිටපු බවත් රහසක් නෙවෙයි .

මේ එකතුව එක්සත් ජාතික පක්ෂයටත් හොඳ ගැම්මකින් නැගිටින්න චාන්ස් එකක් කියලත් කට්ටිය අදහස් දක්වා තිබුනා .

කොහොම හරි මේ උත්සවය ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයත් නිවේදනයක් නිකුත්කරලා තියෙනවා . පහත දැක්වෙන්නේ ඒක.

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණ වී තිබෙනවා - දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ජන්ම දින සැමරුම් උත්සවයේ දී ජනපති පවසයි.

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස අප ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (23)පැවති උත්සවය අමතමිනි.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීමට හැකි සංකල්පයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර කළේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

ලලිත් ඇතුළත්මුදලි පදනම විසින් ශ්‍රී ලංකා තාරුණ්‍යයට ජාත්‍යන්තර වෙළෙඳපොළට ස්වාධීනව සම්බන්ධවීමේ පහසුකම ලබාදෙන ඩිජිටල් අවකාශයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

ජන්ම දින සැමරුම ඇමතූ ලලිත් ඇතුලත්මුදලි පදනමේ සභාපති, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සිහිපත් කර සිටියේ ලලිත් ඇතුලත් මුදලි මහතා ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය හඳුන්වා දුන් බවයි.

එතුමා ජීවත්ව සිටියා නම් එම ක්‍රමය තවත් විධිමත් කර ඉදිරියට ගෙන යනු ඇති බව සඳහන් කළ රවී කරුණානායක මහතා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දැයේ දරුවන්ගේ අධ්‍යාපන මං පෙත් විවර කළ බව ද පැවසීය.

මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලැබූ දරුවන් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකර ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා අද විවෘත කළ ඩිජිටල් අවකාශය ද මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලබාගත් සිසුන් විසින් නිර්මාණය කරනු ලැබූවක් බව ද සඳහන් කළේය.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ, නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන්වහන්සේ, සේදවත්ත මංගලාරාමාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, වරාය හා නාවුක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර, රවුෆ් හකීම්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා සහ හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221123 WA0042

 

සතොස ආහාර ද්‍රව්‍ය 4ක මිල තවත් පහළ දමයි !

ලංකා සතොස අද (23) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සුදු සීනි කිලෝවක මිල රුපියල් 9.00 කින්, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 14.00 කින්, සුදු ලූනු කිලෝවක මිල රුපියල් 30.00 කින් සහ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 43.00 කින් පහළ දැමීමට තීරණය කර ඇත.

අද සිට ක්‍රියාත්මක වන මෙම මිල පහළ දැමීමත් සමඟ සුදු සීනි කිලෝවක් රුපියල් 229කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265කට, සුදු ලූනු කිලෝවක් රුපියල් 495කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 255කට සතොස හරහා මිලදී ගැනීමට හැකියාව ඇති බවත් ආයතනය පවසයි.

ශ්‍රීලනිප දුමීටත් විනය පරීක්ෂණයක් : CBK අලුත් ගේමක !

අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අයවැයට විරුද්ධව ඡන්දයදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ඔහුට ද අදාළ බවත්, එතුමන්ද මධ්‍යම කාරක සභාවට සහභාගී වී සිටි බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් පක්‍ෂයේ බලය අල්ලයිද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ ඒ ගැන කිසිම බයක් නොමැති අතර, ඕනෑම අයකුට පක්‍ෂයට පැමිණිය හැකි බවත් ය.

කෙසේ වුවත් ශ්‍රීලනිප සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු සිදුකළ අනාවරණයක් පහත දැක්වෙයි.

සිරිසේනට අත දී චන්ද්‍රිකා අලුත් ගේමකට සූදානම් වෙයි !

ඊයේ (22) තිබුන 2023 අයවැය දෙවනවර කියවීමේ දී, ඒකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, ඒ කියන්නේ CC එක, තීරණය කෙරුවේ 21 හවස..

එදා ඔය කියන CC එකේදී, තවත් තීරණාත්මක තීන්දු කීපයක්ම අරගෙන තිබුනා.

හිටපු ජනාධිපතිනි, CBK ඇතුළු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වෙලා වැඩකරන, සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න , ඒ CC එකේදී තීන්දුවක් ගත්තා.

මෙතෙක් භාණ්ඩාගාරික විදියට හිටපු, ලසන්ත අලගියවන්න අයින් කරලා, නව භාණ්ඩාගාරික විදියට, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පත්කරලා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන්, ඇමැති මහින්ද අමරවීර අයින්කරලා, තිලංග සුමතිපාලව පත් කරලා.

ආරංචියේ හැටියට, CBK ඇතුළු සෙට් එකම දොට්ට දාන්න ආසන්නම හේතුව වෙලා තියෙන්නේ , ඇමති මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමක්, පහුගිය දවසක, CBK හමුවෙන්න ගිය සීන් එකලු.

මේ කට්ටිය CBK හමුවෙච්ච වෙලාවේ, CBK කිව්වලු , “මම දේශපාලනේදී කරගත්ත මෝඩම වැඩේ, මෛත්‍රීව ජනාධිපති කරන්න, උදව් කරපු එක." කියලා.

CBK කියපු ඒ කතාව විතරක් නෙමෙයි, කට්ටිය අලුත් සන්ධානයක් ගහන්න කරපු කතාබහ ගැනත්, මෛත්‍රීට ආරංචි වෙලා.

පක්ෂ සාමාජිකත්වය අත්හිටවපු කතාව, CBK දැනගෙන තියෙන්නේ , ඊයේ උදේ.. කට්ටියක් නඩු දාන කතාවක් කියලා.

''අනේ මම නං නඩු කියන්න යන්නේ නෑ .. '' CBK කිව්වලු..

'' මහින්දලා - මෛත්‍රීලා මිට ඉස්සරත්, මට ඔහොම කරලා තියනවනේ.. හැබැයි වැරදුනේ මට නෙමෙයි, ඒගොල්ලන්ට..'' CBK දුමින්දලට කියල තියෙන්නේ එහෙම. ඒ කියන ගමන් ඉතිහාස කතාත් කියලා.

ශ්‍රී ලංකා එක නිර්මාණය කලේ, CBK ගේ තාත්තා. SWRD බණ්ඩාරනායක දිවනගත අගමැතිතුමා. .. අසීරුම අවස්ථාවල පක්ෂය රැකගෙන පෝෂණය කෙරුවේ, CBK ගේ අම්මා. සිරිමාවෝ මැතිනිය. වසර 17 ක් ගුටිකකා හිටපු පක්ෂය ආයෙත් බලයට ගෙනාවේ CBK .

එහෙව් CBK ව, 2006 දී, ශ්‍රී ලංකා එකේ සභාපති කමෙන් පන්නනවා. ඒ මහින්ද ජනාධිපතිවෙලා අවුරුද්දකින්.. මංගලලා එපා කියද්දී , CBK ව එහෙම සභාපති කමෙන් එළියට ඇදලා දාන්නේ, CBK ගේ උපන්දිනය දවසෙම.

'' සර් උපන්දිනේ දවසේ එහෙම කරන්න එපා' CC එකේ සමහරු කියද්දේ.. '' නෑ, මට ඕන ඕකිගේ උපන්දිනේ දවසෙම පන්නලා දාන්න ඕන.'' මහින්ද එදා කියලා තිබුනේ එහෙම.

හැබැයි මොනවා වුනත්, මහින්ද පස්සේ, CBK ව ශ්‍රී ලංකා එකේ යාවජීව අනුශාෂිකාව කෙරුවා.

2018 දී ජනාධිපති මෛත්‍රී , ශ්‍රී ලංකා එකෙන් CBK ඉවත් කළා කියලා දැනුම් දෙනවා.. ඒ පොහොට්ටුවත් එක්ක සන්ධානගත නොවී , ශ්‍රී ලංකා එක, පළාත්පාලන චන්දෙට තනියම තරඟ කරමු කියල යෝජනා කලාට .. ''

ඔය ඉතිහාසේ මතක් කරන ගමන් , පක්ෂ වලට කුලල්කා ගන්නේ නැතුව, රට ගොඩ දාන්න එකතුවෙමු කියලත් CBK කිව්වලු ...

ඒ කතාවෙන් නම් පෙන්නේ, CBK අලුත් වැඩකට අතගහන්න යන පාටක් ..

උද්ඝෝෂණ අවුරුද්දකට නවත්වන්න : වෙල්ගම ඉල්ලයි !

රට ගැන සිතා උද්ඝෝෂණ අවුරුද්දකට හෝ දෙකකට නවත්වන්නැයි රටේ සියලුම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඉල්ලා සිටියි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී පැවති ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.

උද්ඝෝෂණ කර රටක් දියුණු කළ නොහැකි බව එහිදී අවධාරණය කළ මන්ත්‍රීවරයා , "රටට සංචාරකයෝ පැමිණිය හොත් පමණයි ඩොලර් එන්නේ. නැත්නම් ඩොලර් නැහැ. උද්ඝෝෂණ තියෙනකොට සංචාරකයෝ එන්නේ නෑ" යැයිද පැවසීය.

රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව වැඩිවීමට මේ සභාවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා වගකිවයුතු බවත් තමාද කලුතර අය රජයේ රැකියාවලට දැමූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 79 වැනි වියෙහි පසුවිය.

1962 වසරේදී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වශයෙන් දේශපාලනයට පිවිසි මුත්තු සිවලිංගම්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් යහපාලන රජය සමයේ ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයෙන් ඉවත් වූ පසුවත් ඔහු පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන් දිගටම කටයුතු කර ඇත.

ඕමානයේ සිටින තානාපති නිලධාරියා ගැන කෝපා කමිටුවෙදීත් ඇදිලා !

වැඩ තහනමකට ලක්ව සහ අත්අඩංගුවට ගැනීමට නියමිත ඕමාන තානාපති කාර්යාල නිලධාරියාට එරෙහිව පැමිණිලි මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඒ සදහා තීරණයක් ගැනීම ප්‍රමාද වී ඇති බව ඊයේ (22) පැවති රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී ඇත.

අතිරේක විගණකාධිපති. පී.එල්.කේ පෙරේරා එහිදී පෙන්වාදී ඇත්තේ 2022.02.28 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

එසේම මෙම පුද්ගයා සම්බන්ධයෙන් මුදල් වංචා, සහතික වංචා ආදිය වාර්තා වී තිබූ බවද අතිරේක විගණකාධිපතිවරයා සඳහන් කළේය.

මේ අනුව අදාළ පුද්ගලයා තනතුරේ රැදී සිටියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බැවින් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ‍මෙම වසරේ පෙබරවාරි මසදී අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්ද කර ඇති බව මෙහිදී අනාවරණය විය.
මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලැබෙන තුරු පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය මීට අදාළ නිලධාරීන්ට පළ කළ සිටියහ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේ 2022.02.28 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් සිදු කළද චෝදනා තහවුරු කිරීමට නොහැකි වූ බවයි. ඔමානයේ මෙරට තානාපතිවරයාගෙන් වාර්තාවක් කැදවීමෙන් අනතුරුව සහ නොවැම්බර් මාසයේ 4 වැනිදා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පරීක්ෂණ වාර්තාව මත කාර්යාංශය මගින් නිලධාරියාගේ වැඩතහනමකට ලක් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ තමා මෙම අමාත්‍යාංශයට පැමිණියේ මෙම වසරේ මැයි මාසයෙන් පසුව වුවද වගකීම භාර ගන්නාබවයි. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලේකම්වරයා වෙනස් වුවද නිලධාරීහු මෙහි වගකීම දැරිය යුතු බවයි.

පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නෑ : ඩින්ඩියන් පාලනයට ඉඩකුත් නෑ - ජනපති

ලංකාව තුළ ඩින්ඩියන් පන්නයේ පාලනයක් සඳහා තමන් කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, එවැනි උත්සාහයක් ගැනුනහොත් හමුදාව, හදිසි නීතිය යොදවා එය වැළැක්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (23) පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධාරණයක් කරමින් සඳහන් කර සිටියේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කදිම අනුගාමිකයෙක්වීමට වත්මන් විපක්ෂ නායකවරයා සුදුසුකම් සපුරා ඇති බවයි. ඒ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් දෙදෙනාම සමාන අදහස් දැරීම හේතුවෙනි. මෙහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් සිහිපත් කර සිටියේ ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම පළමුව සිදු කළේ ජනාධිපති ප්‍රේමදාස යුගයේදී බවත්, එවකට කර්මාන්ත අමාත්‍යවරයා තමන් බවත්ය.

එහිදී පෞද්ගලීකරණය කෙරුණේ ලාබ ලබන යනුවෙන් හඳුන්වන ආයතන බවත්, යුනයිටඩ් මෝටර්ස්, සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්, ටයර් කෝපරේෂන් ඇතුළු ආයතන කිහිපයක නම් ජනාධිපතිවරයා සභාවට සිහිපත් කළේය.

එහිදී අනුගමනය කළ ප්‍රතිපත්තිය වුයේ චීනය සම්බන්ධයෙන් ඩෙන්සියාඕ පින් ජනාධිපතිවරයා අනුගමනය කළ පියවර බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. එහෙත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදහස් දක්වමින් තම ප්‍රතිපත්තිය ලාබ ලබන ආයතන පෞද්ගලික ව්‍යවසාය වෙත පැවරීම නොවන බව පවසන විට ඔහුගේ කදිම අනුගාමිකයෙකු වෙමින් විපක්ෂ නායකවරයා ද එම අදහසට සහය දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේම මැයි 09දා සිට ජූලි 09දා දක්වා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. හොඳ හෝ නරක වේවා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්ව ඇත්තේ ජනතා ඡන්දයෙන් බවත්, ඔවුන් ඉවත් කළ යුත්තේ ද ඒ ක්‍රමයටම බවත් ජනාධිපතිවරයා පැවසීය.

තවද, 17, 19, 21 වැනි ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දුන් තමන්ව හිට්ලර් කියා හඳුන්වන බව ද ජනාධිපතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

"අපිට මෙතන තියෙන්නෙ වෙනසක් කරන්න. මම නං පාර්ලිමේන්තුව විසුවා හරින්න යන්නෙ නෑ. මේ රටේ ආර්ථිකය විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳගත්තට පස්සෙ කරන්න. මෙතන මං එකක් කියන්නම්, දැනට රටේ බොහෝ දෙනෙක්ට ඡන්දත් එපා වෙලා, දේශපාලන පක්ෂත් එපා වෙලා. මතක තියාගමු.

අද සජබෙ රැස්වීමට ගියාමත් තියෙන්නෙ පරණ මූණු නේ. මමත් දන්න මූණු නේ. මම බොහෝ වෙලාවෙදි බලා ගන්නවා. දන්න මූණු තියෙන්නේ. අලුත් මොකක්වත් නෑ. ඔබතුමා යන එකටත් ඉන්නෙ පරණ මූණු. තරුණයො බලන්නෙ මේකෙ වෙනසක් කරනවද නැද්ද කියලා. ඒක කරැයින් පස්සෙ අපි යං. ඒතකොට ඕනෙ කෙනෙකුට බලය ගන්න පුළුවන්. ඒක කරල සහනයක් දීල අපි යන්න ඕනේ.
ඒකයි මම කියන්නෙ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. මනාප ක්‍රමය තියෙනකං දූෂණය තියෙනව මේ රටේ. කොච්චර වියදම් කරනවද ආසනයක් දිනන්න. ඒ කාලේ මිලියන විසිපහක් වියදම් කරනවා. පනහක් කරනවා. අද රුපියල තුන්සිය අසු ගානට තියෙන්නේ. කරන්න වත් බෑ ඡන්ද. මේව අපි හිතන්න ඕනෙ. ඉතින් මම කියන්නේ මෙතන තියෙන ක්‍රමය වෙනස් කරන්න. මම ආපහු විපක්ෂයට කියනවා ඒන්න අපි ඔක්කොම ඒකතු වෙලා මේ වැඩකටයුත්ත කරමු. මට පුළුවන් මේ ඔක්කොම ඒක්ක වැඩ කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ"

ජනාධිපතිවරයා මෙම සභාව ඇමතු අවස්ථාවේදී දේශපාලන බලය බෙදීම සම්බන්ධයෙන් ද එක් එක් පක්ෂ වෙතින් බලය බෙදීම සම්බන්ධයෙන් විවෘතව අදහස් විමසීමද විශේෂ සිදුවීමක් විය.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල බලය බෙදීමට තමන් පෞද්ගලිකව පක්ෂ බව පැවසීය. එසේම මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සමස්ත සමගි ජන සන්ධානය බලය බෙදීමට එකඟ බවත්, තමන් ඇතුළු අනෙක් පාර්ශව ඊට එකතුව සිටින්නේ එම පදනමින් බවත් පැවසීය.

සියලු දේශපාලන පක්ෂ බලය බෙදීමට එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් එළඹෙන 11 වැනිදා සිදුකිරීමට කටයුතු කරන බවත් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය.

P 627 නෞකාව “විජයබාහු" නමින් ජනාධිපති අතින් අධිකාරියට !

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.

නාවික හමුදා විශේෂ රථ පෙළපාලියකින් උත්සව භූමියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නාවික හමුදා උත්තමාචාර මැද පිළිගනු ලැබීය.

අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව “විජයබාහු" නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නෞකාවේ සමරු පොතෙ‍හි විශේෂ සමරු සටහනක් ද තැබීය.

නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

“Hamilton Class High Endurance Cutter” යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර් 115කි. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29කි. එක් වරකදි අවම වශයෙන් නාවික සැතපුම් 14,000ක දුරක් ආවරණය වන පරිදි අවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නාවික තාක්ෂණ උපාංග හා පහසුකම්වලින් ද මෙම නෞකාව සමන්විත වේ. ‍

එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ වකවානුවේ, එරට මුහුදු කලාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත.

P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරුව එහි අණ දෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ නෞකාවේ පළමු කාර්ය මණ්ඩලයට අයත් 130 දෙ‍නෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට මාස 10ක පමණ කාලයක් නෞකාව සම්බන්ධ පුහුණුවක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නෞකාවේ නවීකරණ කටයුතු සිදු කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සි. ඩී වික්‍රමරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධීවරයින්ට භූමිතෙල් සැපයීම විධිමත්ව සිදුකිරීමට රජයෙන් පියවර !

ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් විසින් 2022 නොවැම්බර් 22 දිනැතිව මේ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් දිස්ත්‍රික් ලේකම්රුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය ලේකම්වරු වෙත යොමු කර ඇත.

ඒ අනුව ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණි. නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ ඇති නමුත්, ධීවර ප්‍රඡාවට භුමිතෙල් සැපයීම නිසි ලෙස සිදු කර නැති අතර එමගින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකිවී ඇති බව ද ලිපියෙන් පෙන්වා දී තිබේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනු ලබන අතර ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

එබැවින් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබිය යුතු ප්‍රදේශ තීරණය කිරීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දී තිබෙන බව ද අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.

පළාත් ධීවර අමාත්‍යාංශ සහ පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් ධීවර දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව හා එක්ව ධීවරයින්ට අවශ්‍ය භුමිතෙල් අනුමත සීමාවන් තුළ සැපයීම සඳහා වන වගකීම ලබාදී තිබෙන බවත්, ඒ සඳහා පෞද්ගලික, සමූපකාර හෝ වෙනත් බලයලත් ඉන්ධන පිරවුම්හල් මගින් හෝ නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් වෙත අඛණ්ඩව භුමිතෙල් සැපයීම සිදු කරන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අයවැය 2023 දෙවනවර කියවීම ඉහළින්ම සම්මතයි !

විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවන වර කියවීම අද (22) වැඩි ඡන්ද 37කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්දව 121ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 84ක් පමණි.

එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිට ඇත.

පසුගිය නොවැම්බර් 14 වන දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

පුදනකොටම කාපි යකා : බැසිලාගමනයේ පොල්ලක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේම තියපු පොල්ලක් ගැන කතාවක් යනවා.

සමාජ මාධ්‍ය වලත් මේ ගැන අවධානය යොමුවෙලා. වෙබ් අඩවි කිහිපයකුත් ඒ ගැන නිව්ස් දාලා තිබුනා.

මේ පුවතේ කියන විදිහට බැසිල් රාජපක්ෂ පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සඳහා අදාළ මුදල් ගෙවා නැතිලු.

මේ වන විට මෙරට සිවිල් පුරවැසියෙක් පමණක් වන බැසිල් රාජපක්ෂට කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ලැබෙන සේවා නොමිලේ ලබා ගැනීමේ වරප්‍රසාදය හිමි නොවන බවත් ඒ පුවතේ සඳහන් කරලා.

බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා එහි ගිය මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසකට සංග්‍රහයක් ද එහි සූදානම් කර තිබු බවත් එක් පුද්ගලයෙකුට ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සඳහා ඩොලර් 200ක මුදලක් ගෙවිය යුතු නමුත් එම මුදල් කිසිවක් මේ වන තෙක් ගෙවා නැතෙයි කියලයි කියන්නේ.

මේවායේ ඇත්ත නැත්ත අපි නම් දන්නේ නෑ. ඒ මොනවා වුණත් ඉතිං රටට එදා වේල ඇදගන්න අමාරුවෙන් ඉන්න වෙලාවේ මෙහෙම ජෝගි නම් අනුමත කරන්න බෑ කියලයි විචාරකයන් කියන්නේ. කොහොමටත් මේ ගැන පොහොට්ටු ඇත්තෝ ඉක්මනින් කරුණු පැහැදිළි කිරීමක් කරයි කියලත්, පාක්ෂිකයන් බලාගෙන ඉන්නවා. නැත්නම් ඉතිං තව දවස් කීයක් යනකල් බුකියේ පහර කන්නද ?

දේශපාලන වාර්තාකරු

සාරි අවුල දුරදිග යයි !

සාරිය ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

පාසැල් ගුරුවරියන් සඳහා අනුමත වී ඇත්තේ සාරිය සහ ඔසරිය පමණක් බවත් ඒ වෙනුවට වෙනත් ඇඳුම්වලින් පැමිණි ගුරුවරියන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද (22) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නෙ සඳහන් කරන්නේ රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට පැමිණීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසැල්වලට අදාළ නොවන බවත් පාසල් රාජ්‍ය කාර්යාල ලෙස සැළකිය නොහැකි බවත්ය.

දේශීය ණය ගැන හර්ෂගේ ප්‍රශ්නයට ෂෙහාන්ගේ ප්‍රතිචාරය !

රජයට ඉදිරි මාස 03 තුළ දේශීය ණය ලබාගැනීමට නොහැකි ප්‍රධානතම හේතුව ජනතාව තුළ තිබෙන අනුමානයන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, අද (22) අය වැය විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

දේශීය ණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු ජනතාව අතර හුවමාරුවෙමින් ඇති බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දේශීය ණය ගැන අනුමාන නොකර සිටීම පාර්ලිමේන්තුවේත් වගකීමක් බවය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා :

"අපේ අයවැය ඉදිරිපත් කරන කොට ඒක තක්සේරුවක් කරන්න ඕනේ...උපකල්පන සම්බන්ධයෙන්. ඒක ඉතාමත්ම වැදගත්."

"කලබල කරන්නේ නැතුව මේ කතාව කියන්න ඕනේ.. ඒ තමයි, උපකල්පනය කරලා තියෙන්නේ 2023 ජුනි මාසයේ 31 වනදා වෙනකම් විදේශ ණය ගෙවීම අත්හිටුවලා තියෙන්නේ. ඒ නිසා ගෙවීමට අවශ්‍යතාවයක් නැහැ."

"ඊට පස්සේ ජුලි මාසයේ සිට දෙසැම්බර් 31 වනදා වෙනකම් බලාපොරොත්තු වෙන්නේ විදේශ ණයවලින් 50%ක් ගෙවන්න විතරයි."

"අපිට තිබෙන ලොකුම වියදම තමයි පොලිය. මේ පොලිය දේශීය පොලිය. මාස 3නේ ණය තමයි අපි ලබාගන්නේ.. ඒකටත් අපි 33%ක් දැන් ගෙවනවා. එතකොට පොලී අනුපාතය අඩුකර ගන්න නම් කරන්න තියෙන්නේ එක ක්‍රමයක් තමයි දේශීය ණය පිළිබඳව හිතන්න වෙනවා."

"දේශීය ණව ගෙවීම පිළිබඳව ගැටලුවක් මතුවෙමින් පවතිනවා. රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපි දැඩිව ප්‍රකාශ කරන්න කැමතියි."

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ :

"මම හර්ෂ ද සිල්වා මහතා සමග එකඟ වෙනවා. විශේෂයෙන්ම මේ දේශීය ණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු හුවමාරු වෙනවා."

"අපිට ඉදිරි මාස 03 තුළ ණය ගන්න බැරි ප්‍රධානම හේතුව ඒක තමයි. මිනිස්සු විවිධ අනුමානයන් කරනවා. අනුමානයන් කරද්දි.. මිනිස්සු ඉදිරි මාස 03 තුළ බැඳුම්කරවල ආයෝජනය කරන්න පැකිලෙනවා."

"ඔබ මතුකරන කාරණාව හරි. ඒක මං හිතන්නේ දේශීය ණය ගැන අනුමාන නොකර ඉන්න එක පාර්ලිමේන්තුවේත් වගකීමක් වෙනවා. අපි ඒ ගැන තවම තීන්දුවක් අරගෙන නැහැ."

මන්ත්‍රී හර්ෂ ද සිල්වා :

"ඔබ කියන කතාව හරි. විශ්වාසය මත තමයි මූල්‍ය වෙළෙඳපොළ වැඩ කරන්නේ. ඒ විශ්වාසය දේශීයව සහ ජාත්‍යන්තරව ගොඩනගන එක ඔබලාගේ මූලිකම වගකීම."

ජන්දෙට වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රී ධූරය අහෝසියි !

මැතිවරණයකදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා වන නීතිය ඇතුළත් ‘මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්ය.

අදාළ පනත අනුව යම් අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි මුදල තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව බවත්, යම් අපේක්‍ෂකයකු එය ඉක්මවා වියදම් කර ජයග්‍රහණය කළහොත් එම මන්ත්‍රීධූරය අහිමි කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන බවත් අමාත්‍යවරයා පවසයි.

ඕමාන් ගණිකා ජාවාරම : තවත් දෙදෙනෙකු හිරේ

ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සදහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් දෙදෙනකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝගකර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් අද (22) මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කාන්තාවන් දෙදෙනකුට විදෙස් ගත වීම සඳහා සංචාරක වීසා ලබාදුන් තැරැව්කරුවන් වන අජිත් කුමාර සමරකෝන් සහ යෝගේන්ද්‍ර නොහොත් ‘යෝගා’ නැමැත්තන්ය.

චන්ද්‍රිකා නිමල් ශ්‍රීලනිපයෙන් එළියට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත.

ඊට අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ බව පවසමින් ශ්‍රීලනිප හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කරයුතු කර ඇත.

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා පත්කර ඇති බවද ඔහු පවසයි.

Page 171 of 383