Image

ලාල්කාන්තගේ වත්කම් ගැන පරීක්ෂණයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ලාල්කාන්තගේ වත්කම් ගැන පරීක්ෂණයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ වත්කම් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් 'අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය' සංවිධානය අද(11) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාරගේ අත්සනින් යුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව යොමු කර ඇති මෙම පැමිණිල්ලට අනුව, 2026 නොවැම්බර් 21 වන දින 'කයිවාරු' වෙබ් අඩවියේ පළ වූ පුවතක් පරිශීලනය කිරීමේදී අමාත්‍යවරයාගේ 2025 සහ 2026 වත්කම් හා බැරකම් ප්‍රකාශවල මූල්‍ය පරස්පරතා රාශියක් ඇති බවත්, ඔහුගේ වත්කම් ලැබුන ආකාරය සැක සහිත බවත් පෙනී යන බව සඳහන් කර ඇත.

පැමිණිල්ල මගින් පෙන්වා දෙන ප්‍රධාන කරුණු:

මීට පෙර ලාල්කාන්ත අමාත්‍ය වරයා හා විජිත හේරත් අමාත්‍ය වරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහුගේ දේපළ විකුණා එම මුදල් වලින් කඩුවෙල නිවස ඉදිකර ඇති බවත්ය.

කෙසේ වෙතත්, ඔහුගේ 2025 වත්කම් බැරකම් ප්‍රකාශ වල දැක්වෙන්නේ 2024 අප්‍රේල් 10 හා 2024 මැයි 25 දින වලදී රු.ලක්ෂ 20 බැගින් වූ පොරොන්දු නෝට්ටු මත රුපියල් ලක්ෂ 40ක ණය මුදලක් ලබා ගෙන ඇති බවයි. ඊට අමතරව 2025 මැයි 26 වන දින නිවාස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂ අනූ දහස් හත්සිය අනූ හතක (රු.1 15 90 797) ණය මුදලක් ලබා ගෙන එය 2026 පෙබරවාරි 26 වෙනි දිනට පෙර පියවිය යුතු බවත් එහි සඳහන් වේ.

2025 ප්‍රකාශයට අනුව ගිණුම් පහක රුපියල් මිලියන 3.31 ආසන්න මුදලක් පැවතිණි.   2026 වසරේ ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේ දී 2025 ප්‍රකාශයේ සඳහන් වූ ඉඩම් සංඛ්‍යාව 4 සිට 5 දක්වා වැඩි වී ඇත. 2025 වසරේ දී ඔහුගේ බිරිඳ විසින් රුපියල් 56 50000ක් වැය කර කඩුවෙල ප්‍රදේශයේ පර්චස් 8.60ක හිස් ඉඩම මිල දී ගෙන ඇති බව 2026 ප්‍රකාශයේ දැක්වේ. 2026 ප්‍රකාශයට අනුව පවුලේ බැංකු හා ගිණුම් සංඛ්‍යාව 07 සිට 11 දක්වා ඉහළ ගොස් ඇති අතර ලාල්කාන්තගේ පෑන්ඒෂියා බැංකු ගිණුමේ රුපියල් 30 75 285.67 සහ ලංකා බැංකු ගිණුමේ 1 81 842.23 ද බිරිඳගේ ස්ථාවර තැන්පතු ලක්ෂ 25 සහ සෙසු ගිණුම් වල තව මුදල් ද සටහන්ව ඇත.

2025 ප්‍රකාශයේ සඳහන් වූ හිරුල් තඩවත ආරච්චි නැමැත්තාගෙන් 2024 දී ගත් රුපියල් ලක්ෂ 40 පෞද්ගලික ණය මුදල ඉදිරියට ගෙනවිත් තිබියදී 2025 මැයි 26 වන දා නිවාස ඉදි කිරීමට ගත් රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂ අනූ දහස් හත්සිය අනූ හතක (රු.1 15 90 797) ණය මුදල 2026 වත්කම් බැරකම් ප්‍රකාශ වල සඳහන් නොවීමයි.

මෙම පරස්පරතා සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා සහ ඔහුගේ පවුල සාධාරණ ලෙස වත්කම් උපයාගෙන ඇත්ද, නැතහොත් අමාත්‍ය වරප්‍රසාද අවභාවිත කරමින් අනීතික ආකාරයට ධනය රැස් කර ඇත්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, වරදක් හෙළිදරව් වන්නේ නම් දූෂණ විරෝධී පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් 'අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය' සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න