Image

තරුණ විරැකියාවට විසඳුම් සොයමින් “Door to Door Skill Campaign:” ඇරඹේ

තරුණ විරැකියාවට විසඳුම් සොයමින් “Door to Door Skill Campaign:” ඇරඹේ

තරුණ තරුණියන්ගේ සහජ හැකියාවන් වෘත්තීය නිපුණතා බවට පත් කරමින් ඔවුන් රැකියා වෙළඳපොළට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන “Door to Door Skill Campaign” හෙවත් “දොරින් දොරට” වෘත්තීය නිපුණතා ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (21) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව, දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම් 14,008ම ආවරණය වන පරිදි දීපව්‍යාප්තව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

තරුණ විරැකියාව හා නව අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මාවත්

HARINIWI1122

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නේ, රටේ සමස්ත විරැකියා අනුපාතය 2024 වසරේ පැවති 4.4% සිට 2025 වසර වන විට 3.9% දක්වා අඩු වී තිබුණද, වයස අවුරුදු 15-24 අතර තරුණ විරැකියාව 19.6%ක් වැනි ඉහළ මට්ටමක පැවතීම රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීමේදී සැලකිල්ලට ගත යුතු බරපතළ අභියෝගයක් බවයි.

වාර්ෂිකව පාසල් පද්ධතියට විශාල සිසු පිරිසක් ඇතුළත් වුවද, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන්නේ සීමිත පිරිසකට පමණක් බවත්, ඒ හේතුවෙන් සියලු දරුවන් විභාග සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත් විය යුතුය යන සාම්ප්‍රදායික අධ්‍යාපන මාවතෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ හැකියාවන්, දක්ෂතා සහ කැමැත්ත මත පදනම් වූ විවිධ අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මාවත් විවෘත කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

රැකියා වෙළඳපොළ සහ තරුණ ප්‍රජාව අතර පරතරය

වර්තමාන රැකියා වෙළඳපොළට ගැළපෙන පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, ඒ පිළිබඳ දැනුම පාසල් අධ්‍යාපනය තුළට ද ගෙන එමින් දරුවන්ට තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සේ ඉදිරියට යාමට අවස්ථාව සැලසිය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පුහුණු ශ්‍රමිකයන් සඳහා විශාල රැකියා ඉල්ලුමක් පැවතියද, ඒ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිව තරුණ පිරිසක් නිවෙස්වල රැඳී සිටීම හේතුවෙන් රැකියා වෙළඳපොළ සහ තරුණ ප්‍රජාව අතර පරතරයක් නිර්මාණය වී ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.

 

නිවෙස් වෙතම ගොස් වෘත්තීය අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම

NALINHEWAGE1122

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සඳහන් කළේ, මෙතෙක් තරුණ තරුණියන් වෘත්තීය පුහුණු ආයතන වෙත පැමිණෙන තෙක් බලා සිටි ක්‍රමවේදය වෙනස් කරමින්, රජයේ නිලධාරීන් ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් වෘත්තීය අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වය බවයි.

 

වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ සමාජ සවිබලගැන්වීමේ හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ, අදාළ රාජ්‍ය නිලධාරීන් පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පැය තුනක කාලයක් තුළ දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම නිවෙස් වෙත ගොස් පාසල් අධ්‍යාපනය අවසන් කළ, පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව සිටින සහ රැකියාවක හෝ පුහුණුවක නිරත නොවන තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමට කටයුතු කරනු ඇත.

විශේෂයෙන්ම අධ්‍යාපනය, රැකියාව හෝ පුහුණුව යන කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවන NEET (Not in Employment, Education or Training) කාණ්ඩයට අයත් තරුණ පිරිස හඳුනාගෙන ඔවුන්ට සුදුසු වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණකි.

 

විවර වන නව අවස්ථා හා ඉලක්ක

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් NVQ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා ගැනීමටත්, එතැනින් නොනැවතී ඩිප්ලෝමා සහ උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමටත් තරුණ තරුණියන්ට අවස්ථා පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එමෙන්ම වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේදී මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන තරුණ තරුණියන් සඳහා සමෘද්ධි වැඩසටහන සහ සේවක භාරකාර අරමුදල (ETF) ඇතුළු අදාළ ක්‍රමවේද ඔස්සේ මූල්‍ය සහාය ලබාදීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

මානව සම්පත සංවර්ධනය කිරීම රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස සලකමින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා මෙවර අයවැයෙන් සැලකිය යුතු ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, රාජ්‍ය සේවයට 30,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමේ සැලසුම යටතේ ගුරුවරුන් 23,000ක් ඇතුළු අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

2030 වසර වන විට මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීම සහ සංචාරකයින් මිලියන හතරක් මෙරටට ආකර්ෂණය කර ගැනීම වැනි ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම්, දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට ගැළපෙන නිපුණතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සමාරම්භක අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් පිරිසක් ද සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න