V2025

පුවත්

මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න - සිරිසේන

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලිකව තමන්ට එරෙහිව නොව රජයට එරෙහිව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූ 109ක් එක්ව පැවරූ නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී සිය නීතිඥවරු මාර්ගයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මේ බව අධිකරණයට දන්වා තිබේ.

මෙම නඩුව ව්‍යවස්ථාපිත කරුණු පදනම් කරගෙන පවරා ඇති බව පෙන්වා පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා ව්‍යවස්ථාපිත කරුණක් විභාග කළ හැක්කේ ශේෂ්ඨාධිකරණය පමණක් බවත්, සිවිල් අධිකරණයකට එම කරුණු විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවත් සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරු එම්.බී.බී.එස් මොරායස් හා මහාධිකරණ විනිසුරු ඩී.එෆ්.එච් ගුණවර්ධන මහත්වරුන් ඉදිරියේ නඩුව විභාගයට ගැනුණු අතර වැඩිදුර කරුණු විමසීම සඳහා නඩුව ලබන 28 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියෝග කළේය.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට....

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 4,610කි.

5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 1,850කි.

2.3Kg සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860ක් වේ.

බැසිල්ගේ ආරාධනෙට විමල්ගෙන් කිස් කන උත්තරයක් !

බැසිල් ලංකාවට ආපු වෙලාවේ ඉඳලා බරටම වැඩ.. අයෙත් පොහොට්ටුව ගොඩ දාගන්න ලු හිටු කියලා දුවනවයි කියන්නේ..

බැසිල් පහුගිය සතියේ ලංකාදීප පත්තරෙන් සාකච්ජාවක් ඉල්ලගෙන එයාගේ මතේ කියල තිබුනා. පක්සෙන් ගියපු කට්ටිය අයෙත් පක්සේට එකතුකර ගන්න එක තමා මගේ වැඩි අවධානයක් යොමුවෙලා තියන්නේ කියල බැසිල් ලංකාදීපෙට කියල තිබුනා. '' විමල්ල අයෙත් පක්සේට ගන්න තමා ඕනෑම කැපකිරීමක් කරන්න සුදානම් කියලත් කියල තිබුනා. බැසිල්ගේ ලංකාදීප සාකච්ජාවේ මුලික ඉලක්කය වෙලා තිබුනේ විමල්ලට එන්න කියන විවෘත ආරාධනේ කරන්න.. පත්තෙරෙනුත් ඒ කතාව තමයි උස්සල දීලා තිබුනේ..

පත්තරේ හරහා විමල්ලට සිග්නල් එක දීලා, පොහොට්ටුවේ සිට කැඩීගිය සියලු දෙනා එකතු කිරීමේ මෙහෙයුමට බැසිල් පහුගිය සතියේ අත තිබ්බේය.

එදා පොහොට්ටුවේ ප්‍රබලයන්ව සිට අද ස්වාධීනව සිටින ජී.එල්.-ඩලස් පිල, විමල් පිල, අනුර යාපා පිල යළි පොහොට්ටුවට එක් කරගන්න , බැසිල් විවිධ පාර්ශ්ව අතේ පණිවුඩ යැවීමට පටන් අරගෙන තිබුනා.

නමුත් ප්‍රශ්නයවෙලා තිබුණේ මේ සියලු පාර්ශ්වයන් බැසිල් ගේ කෙනෙහිලිකන් ඉවසගන්න බැරුව පොහොට්ටුවෙන් අස්වෙලා ගිහින් එක දිගටම බැසිල්ට ඇටක් කරපු පිරිසක් වෙච්ච එක..

ඒ කතා මොනවා වුනත්, විමල් සහ ගම්මන්පිල එක්ක සාකච්ඡා කරන්න බැසිල් ලොක්කා හරිම කැමැත්තකින් ඉන්නවා කියල, මැසෙන්ජර කෙනෙක් අතේ විශේෂ පණිවුඩයක් යවලා තිබුනේ..

ඔය කියන මැසෙන්ජර් විමල්ගෙන් අහලා තිබුණේ පැරැණි අඩුපාඩු හදාගෙන යළිත් පොහොට්ටුව සමග සන්ධානගත වීම සඳහා බැසිල්ගෙන් ආරාධනාවක් කරනවා කියලා. . ඔය ආරාධනේ අහපු ගමන් විමලුයි - ගම්මන්පිලයි සැර උත්තරයක් මේ දූතයාට දීල තියනවා ලු..

69 ලක්ෂයක ජන වරමක් ගත් ගෝඨා වත් විනාශ කරලා,, තුනෙන් දෙකක බහුතර බලයක් ගත්තු ආණ්ඩුවත් විනාශ කරලා, මුදල් ඇමැතිකමත් නැති කරගෙන, මන්ත්‍රීකමත් නැති කරගෙන, අවසානයේදී පක්ෂයත් විනාශ කළ පුද්ගලයන් එක්ක අයෙත් මේ කපේදි සන්ධාන ගහන්නේ නැ කියලා විමල් කියලා.

ඒ ප්‍රතිචරෙන් බැසිල් රිවස් වෙලා නැ .. ඒ විදියට ම ජී.එල්. ඩලස් පිලටත් පණිවුඩේ යවලා. එත් පාර්ශ්වයන්ගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් තාමත් ලැබිලා නෑලු.

දේශපාලන වාර්තාකරු

ක්‍රිකට්වලට දේශපාලන ඇඟිලි ගැසීම් එපා : ICC යෙන් අවවාදයක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දේශපාලනමය වශයෙන් ඇඟිලි ගැසීම් සිදු නොකරන ලෙස දන්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ ලිපියක් නිකුත් කර තිබේ. එහි පිටපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධරයන්ට ලැබී ඇතැයි ද වාර්තා වෙයි.

යම් හෙයකින් එවන් ඇඟිලි ගැසීමක් සිදුකොට අනවශ්‍ය බලපෑම් සිදු කරන්නේ නම් ඒ ගැන පරීක්ෂා කිරීමට විශේෂ නියෝජිතයකු මෙරටට එවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැරසෙන බව දැනගන්නට ඇත.

ඒ අතර මෑතක සිට දේශපාලන ක්ෂේත්‍රයට හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බලවත් පාර්ශ්වයක් විසින් විවිධ හේතු ඉදිරිපත් කරමින් නැවතත් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙයි. එම තොරතුරුද පදනම්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අවවාදාත්මක ලිපිය නිකුත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වසරකට ඩොලර් මිලියන 3 ක පමණ අනුග්‍රාහක දීමනාවක් ලබා දෙයි. තරගාවලි වැඩිපුර පැවැත්වෙන විට මෙම මුදල තවත් ඉහළ යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොකළ යුතු බවට අයිසීසියේ මෙම විශේෂ නිවේදනය ක්‍රිකට් බලධරයන් විසින් ක්‍රීඩා අමාත්‍යංශයටද යොමුකර ඇතැයි දැනගන්නට ඇත.

-deshaya

සජිත්ගේ දූෂණ වංචා ඇතුළත් : විගණන වාර්තා 2ක් සභාගත කරලා !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී එම විගණන වාර්තා සභාගත කර ඇත.

මේ ආකාරයට සභාගත කර තිබෙන්නේ විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදුකර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාය.

එමෙන්ම 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ නිවාස ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ සමරු කලාප සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ ස්තූති කතාව සිදුකරමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සභාගත කර තිබේ.

ශ්‍රීලන්කන් වෙත නව ගුවන් යානා 11 ක් !

කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ පවසයි.

ශ්‍රීලන්කන් ගුවන්සේවයේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

ඉදිරි මාස 3,4ක කාලය තුළදී ගුවන් යානා 3ක් හෝ 4ක් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් වන බවත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් විශ්ලේෂණයක් සිදුකර ගුවන්සේවයට සහ රටට උචිත ආකාරයට ක්‍රියාකරන බවත් ඔහු එහිදී පැවසීය.

රට විරුවන් එවන විදෙස් මුදලට මොකද වෙන්නේ ? මහ බැංකුවෙන් නිවේදනයක් !

විදෙස්ගත සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරන අතර අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කරන බවට පැතිර යන ප්‍රචාරද සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවත් සඳහන් කරයි.

මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන්ම තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ රුපියල් බවට පරිවර්ථනය කිරීම සේවා නියුක්තිකයන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවද මහ බැංකුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම විදේශගතව සිටින සේවා නියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව තවදුරටත් කිසිදු වෙනසකින් තොරව ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේය.

අයියෝ සාමි : මහින්දට සමුගන්න ඉඩදෙන්න ලු !

ගෝඨා , ජනාධිපතිවෙලා හිටිය අන්තිම කාලේ පත්කරපු කැබිනට් එක වෙනුවට , අලුත් කැබිනට් එක 10 වෙනිදා දිව්රුම් දෙන කතාවක් යනවා..

කොහොම වුනත් දිනේෂ් අගමැති විදියට පත්කෙරුවේ ජනාධිපති රනිල්..

ඔන්න මහින්ද රාජපක්ෂ පවුලෙන් ජනාධිපති රනිල්ට ඉල්ලීමක් ඇවිත්. ඊළඟ කැබිනට් එක පත්කරන දවසට මහින්ද රාජපක්ෂ අගමැති කරන්න කියලා. සති දෙකකට. අගමැති විදියට ජාතික මට්ටමේ ගෞරවාන්විත උත්සවයක් තියලා, මහින්ද දේශපාලනෙන් සමුගැනීම ප්‍රකාශකරන්න ලු යන්නේ.. එදාම ආයෙත් ඉල්ලා අස්වෙන්නන් කියලත් සහතික වෙලා.

ආයෙත් දිනේෂ් අගමැති කරන්න කියලත් කියල තියනවා ලු.. අගමැති දිනේෂුත් එකට එකඟයි කියල තමයි ආරංචි..

ඔන්න ඔහොමලු මහින්ද සමුගන්න හදනවයි කියන්නේ. අපි බලමු අරගලයෙන් එළවපු මහින්දට ආයෙත් අගමැති ලැබෙයි ද කියලා.

දේශපාලන වාර්තාකරු

ජනපති නීතිඥ දිවියේ 50 සපුරයි : සැමරුම් උත්සවයේ ජනපති කළ කතාව මෙන්න !

සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලුබේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිතිවරවයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී නීති වෘත්තිකයින් විසින් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.
ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මෙම අවස්ථාව සලසාදීම පිළිබඳව මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙම කටයුතු සම්බන්ධීකරණය කළ රොනල්ඩ් පෙරේරා මහතාට මම ස්තූති කළ යුතුයි. රොනල්ඩ්ට ඔහුගේ පියාට සමාන ලක්ෂණ තිබෙනවා. ඉතින් ඔහුට එක්සත් ජාතික පක්ෂයට වැඩ කිරීමට සිදුවීම පුදුමයක් නොවෙයි.

ඒ වගේම තිලක් මාරපන, මුලින්ම නීතිපති ලෙසත් පසුව රජයට සම්බන්ධවත් කටයුතු කළා. මම හිතන්නේ ලංකාවේ ජනාධිපති හෝ අගමැති නොවී ආරක්‍ෂක අමාත්‍යාංශය දැරූ එකම පුද්ගලයා ඔහුයි.

මීළඟට මම බොහෝ කලක සිට දන්නා හඳුනන ෆායිස් මහතා ගැන සඳහන් කළොත් මම නීතිඥ වෘත්තියට එනවිට ඔහු එතන සාමාජිකයෙක්. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධව කටයුතු කළ අතර , ඔහුගේ දිගුකාලීන ඇසුර නීතිඥ වෘත්තීයට ඇළුම් කිරීමට මට උපකාරී වුණා. ඒ වගේම රොමේෂ් ද සිල්වා සහ මම අතර තිබෙන්නේ පරම්පරා කිහිපයක සිට පැවත එන සම්බන්ධයක්. අපේ තාත්තලා, සීයලා මිත්‍රයින්. ඒ වගේම එච්. ඩබ්ලිව් ජයවර්ධන මහතා යටතේ තමයි අපි දෙන්නම වැඩ කළේ.

බොහෝ දෙනෙක් මගෙන් අහනවා අවුරුදු 50ම නීති වෘත්තියේ හිටියේ නෑ නේද කියලා. මම කිව්වා නෑ, මම අවුරුදු 50ක් පුහුණුවීම් කළා කියලා. එකම දේ මම අවුරුදු 5කට පස්සේ එච්.ඩබ්ලිව්. ජයවර්ධනගේ කාර්යාලයෙන්, ජේ.ආර්. ජයවර්ධනගේ කාර්යාලයට ගියා. ඒ කාර්යාලය හිටපු කාර්යාලයට වඩා ආකර්ශණීය තැනක් වුණා.

මගේ ජ්‍යෙෂ්ඨයෙක් වන එච්.ඩබ්ලිව්.ජයවර්ධන මැතිතුමාටත්, මම වැඩ කරපු වර්නන් විජේතුංග මැතිතුමාටත්, බදු නීති සහ වානිජ නීති ගැන මට ඉගැන්වූ අම්බෙලවන් මැතිතුමාටත් මම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම දිවංගත තිරුචෙල්වම් මහතාවත් සිහිපත් කළ යුතුයි. ඔවුන් හතර දෙනා තමයි මගේ නීතිඥ වෘත්තීය ජීවිතයට මඟ පෙන්වනු ලැබුවේ. ඒ වගේම නීති විද්‍යාලය තුළත්, නීති පීඨයේදීත් මා සමග සිටී අය සිහිපත් කළ යුතුයි. ඔවුන්ට මගේ ස්තුතිය පිරිනමනවා.

ආර්. ඩබ්ලිව් ලී අභාවප්‍රාප්ත වූ පසු රෝමානු ලන්දේසි නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් වූ මහාචාර්ය නඩරාජාගෙන් මා ඉගෙන ගත්තා. ආචාර්ය මාක් කුරේ, මහාචාර්ය සී.එෆ් අමරසිංහ වැනි තවත් බොහෝ අය අතර තවමත් ජීවතුන් අතර සිටින සාවිත්‍රි, ඒ වගේම නිර්මලා චන්ද්‍රහාසන්, මගේ කථිකාචාර්යවරුන් වුණා. විශේෂයෙන් අපරාධ නීතිය පිළිබඳ මගේ කථිකාචාර්යා වූ ජී. එල් පීරිස් මහතාවත් මම මතක් කරන්න ඕන.
මගේ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස ඔබ හඳුන්වන්නේ ෆායිස් මුස්තාෆා වැනි මා සමග රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කණ්ඩායමයි. නමුත් නීති පීඨයේ මා සමඟ සිටි සමකාලීන්යන්. අගවිනිසුරු ධූරය දක්වා පත්වූ බව මම ඔබට කිව යුතුයි. ඉතින් අපි අතරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත්ම තනතුරු හතරෙන් තුනක්ම තිබුණා. ඒ වගේම විනිශ්චයකාරවරු දෙදෙනෙක් සිටියා.

ඒ වගේම මමත් සමග පාසලේ, විවිධ ආයතනවල, අමාත්‍යාංශවල මෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භයේ හිටපු චරිත ගොඩක් මෙතන ඉන්නවා. ඒ වගේම චීනයේ සූරි රත්නපාල, ඔස්ටින් පුල්ලේ වගේ වෙනත් නීතිමය කටයුතුවල නියැලෙන අය, ජයකුමාර් මහත්තයා වගේ අය මෙන්ම අපිත් එක්ක කටයුතු කරපු පිරිසක් හිටියා. මම ඔවුන්ව ද සිහිපත් කළ යුතුයි.

එච්.ඩබ්ලිව්.ජයවර්ධන මහත්තයා මට කිව්වා නීතියයි, දේශපාලනයයි කියන දෙකෙන් එකක් තෝරගන්න කියලා. මොකද දේශපාලනය කරනවා නම් නීති වෘත්තියේ නියැලෙන්න බෑ කියලා. ඔහුගේ සහෝදරයා මට කිව්වා ඔබ අධිකරණයේ සිටිය යුතු නෑ, නමුත් ඔබට පාර්ලිමේන්තුවේ සිට නීති සම්පාදනය කළ හැකියි කියලා. ඉතින් මම දේශපාලනය තෝර ගත්තා. ඒ වගේම නව සභා ගර්භයට ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි තවත් තරුණ නීතීඥවරුන් කිහිප දෙනෙකුත් ඇතුළත් වුණා. එදා අප ලැබූ අත්දැකීම නීතිය ක්‍රියාත්මක කිරීමේ සිට නීතිය සම්පාදනය කිරීම දක්වා වූ අත්දැකීමක් බව මම කිවයුතුයි .

එදා සී.ඒ.ලැරේන්, ජේම්ස් අල්විස්, රිචඩ් මෝගන් සහ මුතුකුමාරස්වාමි යන මහත්වරුන් ව්‍යවස්ථාදායක සභාවෙහි ආධිපත්‍යය දැරුවා. නීතිඥයින් විසින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු නොකළ පාර්ලිමේන්තුවක් තමයි 1956 මේ රටේ තිබුණේ. බලන්න එදා මොනතරම් ව්‍යසනයක් සිදු වී තිබෙනවද කියලා. එම නිසා සෑමවිටම පාර්ලිමේන්තුව තුළ නීතිවේදීන් සිටිය යුතු වෙනවා.

මට මතකයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට මම සම්බන්ධ වුණා. ඒ වගේම 13 වැනි සංශෝධනය පිළිබඳව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සමඟ වැඩ කිරීමේ වරප්‍රසාදය ද මට හිමි වුණා.

පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක්වත් නොමැතිව මම ජනාධිපතිවරයා ලෙස පත්වීම විශාල ප්‍රශ්නාර්ථයක් බවට පත්වුණා. නමුත් මම හිතන්නේ අපි දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. රටේ මතුව තිබෙන ආර්ථික ගැටලු විසඳීමට මට දැන් ඔබ සියලුදෙනාගේ සහාය අවශ්‍ය වී තිබෙනවා. මම ආර්ථික විද්‍යාව හදාරන්නේ නැතිව රටේ මූල්‍ය සහ ආර්ථික කටයුතු හසුරවන්නේ කොහොමද කියලා ඇතැමුන් ප්‍රශ්න කරනවා. ඒක ඉතා සරල කාරණයක්. මම එය සිදු කරන්නේ නීතිඥයෙක් විදියටයි.

අපට ඉතා නරක කාලයක් තිබුණා. අපි මේ තත්ත්වය වෙනස් කර ගත යුතුයි. රටේ සමස්ත ඉදිරි ගමන්මග පිළිබඳ තරුණ පරම්පරාව ප්‍රශ්න කරන විට, අපිට ඊටත් වඩා අභියෝගයක් මතුව තිබෙනවා.

අතීතයේ තුවාල සුව කිරීමට හා එය ඔඩු දිවීමට ඉඩ නොතබා ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට දැන් අපිට අවස්ථාව ලැබී තිබෙනවා.
රටේ ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ගැටලු විසඳගන්නේ කෙසේද කියලා පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. රටේ එක්සත්භාවය සහ ඒකාග්‍රතාවය බිඳවැටීමට මෙම තත්ත්වය හේතු නොවිය යුතුයි. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවුණත් කළ නොහැකි කාර්යයක් නොවෙයි. දේශපාලඥයින් විතරක් නොවෙයි අපි සියලුදෙනාම එකතුවෙලා මෙය ඉටු කළයුතුයි. ඒ නිසා 75 වන නිදහස් සංවත්සරය වන විට අපි හැමෝම එක මවකගේ දරුවන් ලෙස එක් වෙලා මම කටයුතු ඉදිරියට ගෙන යමු කියලා මම සියලුදෙනාට කියන්න කැමතියි.

මේ තුළින් අපිට යම් අවබෝධයක් ලැබෙනවා එකිනෙකාගේ අදහස් ලබා ගැනීමට. එමෙන්ම අද අපි රටක් ලෙස භුක්ති විඳින නිදහස තහවුරු කර ගනිමින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට එය මනා පිටිවහලක් වනු ඇති බවත් මම විශ්වාස කරනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට මිස කිසිවිටෙක තමන්ව ප්‍රවර්ධනය කිරීමට කටයුතු නොකළ නායකයෙක්. පසුගිය ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වන විට රටේ ඉන්ධන, ගෑස් සහ ඖෂධ සඳහා දිගු පෝලිම් පැවතුනා. නමුත් කෙටි කාලයක් තුළ එම පෝළිම් යුගය අවසන් කිරීමට එතුමාට හැකි වුණා.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා :

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උරුම වී ඇත්තේ ස්තුතිවන්ත නොවන රැකියාවක් බව අපි දන්වා. ඔහු පැවසූ පරිදි ඔහුට ටයිටැනික් නෞකාව ලැබී ඇත්තේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් පසුවයි. මේ වසරේ ජුලි 12 වැනිදා ඔහු නීති වෘත්තියේ වසර 50ක් සම්පූර්ණ කරන විට රට තුළ ඇති වූ තත්ත්වය ඊට සාක්ෂි සපයනවා.

ජනාධිපති නීති ෆායිස් මුස්තාපා :

රට මුහුණ පා තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සුදුසුම පුද්ගලයාට අද රට භාරදී තිබෙනවා. එවැනි තෝරා ගැනීමක් සිදු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට අප ස්තූතිවන්ත විය යුතුයි. අපිට විශ්වාසයක් තිබෙනවා ඔබ අපි වෙනුවෙන් බැට් කරන්න හොඳම කෙනා එව්වා කියලා. මේ අවස්ථාවේ දී ජනතාවගේ එකම තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර නීතිඥ කුෂාන් ද අල්විස් මහතා ස්තුති කතාව කළේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, උදය ගම්මන්පිල, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායකයන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජිත in කෙහෙළිය out !

සෞඛ්‍ය ඇමැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මේ දවස්වල ඉන්නේ ෆුල් අප්සට් එකේ කියන කතාව බොරුවක් වෙන්න බෑ. වැඩිය සද්ද බද්ද ඇත්තෙත් නෑ. කිසි තැනකට එන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ වැඩි කතා බහකුත් කෑ...

කාලයක් තිස්සේ ආණ්ඩුවෙත් පොරක් වෙලා කැබිනට් එකේ ප්‍රකාශක වෙලා ආණ්ඩුවේ වැඩ ගැන තවුසන් ටෝක් මාධ්‍ය වලට ඉෂූ කරපු කෙහෙළිය ඇමතිට මේ මොකද වෙලා තියෙන්නෙ කියලා හැමෝම අකම්පාල වෙනවා.

ඒත් ඉතිං ඇත්ත කතාව දන්න අයත් නැතුව නොවෙයි. දන්නෑ වගේ ඉන්නවා.

කොරෝනාවෙන් පස්සේ 2022 දී යාන්තමින් රට කෙලින් කරගෙන එනකොට ම තමයි විදුලි අර්බුදය පටන් ගත්තේ. ලයිට් කැපිල්ල දවසට පැය දාහතර දක්වා දික් වුණා. ඊට පස්සේ රටේ ගෑස් ප්‍රශ්නය ආවා. ඊටත් පස්සේ රටේ පෙට්ට්‍රල් ඩීසල් භූමිතෙල් ප්‍රශ්නය ආවා. ඔය ඔක්කොටම පස්සේ තමයි ඉස්පිරිතාලවල් වල බෙහෙත් නැති ප්‍රශ්නය ආවේ.

මේ හැම විජ්ජුම්බරයකටම මුල රටේ ඩොලර් නැතිකම බව ඇත්ත. ඒත් එක්කම මනා කලමනාකරණයක් නැති ආන්ඩුවේ බැරි බැරියාවත් මේ ඛේදවාචකයට තව ප්‍රබල හේතුවක් වුණා.

ඔක්කොම පව් ගෝඨාභය පිටින් හේදිලා ගියා. රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුණා.

ටික කලක් යනකොට අරගලයත් පාලනය වුණා. විදුලි කැපිල්ල, ගෑස් හිඟය, ඉන්ධන පෝලිම, වගේ සියලුම ප්‍රශ්න ටිකින් ටික නිරාකරණය වුණා.

ඒත් තාම නිරාකරණය නොවුණු එකම ප්‍රශ්නය තිබුනෙ සෞඛ්‍ය අමාත්‍යංශයේ.

පහුගිය දවස්වල අයවැය කාරක සභා අවස්ථාවේදීත් මේ රටේ පවතින බෙහෙත් හිඟය ගැන කතාබහට ලක්වුනා. බෙහෙත් හේත් අඩුවක් පාඩුවක් නැතුව සපයන්න පුළුවන් විදියට ඩොලර් ලැබිලා නෑ කියන එක තමයි ඇමති කෙහෙළියගේ පැත්තෙන් කියවුණේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයෙදි හිටපු ඇමති රාජිතත් හොඳ කතාවක් කළා. ඖෂධ හිඟය ගැන ඇත්ත දත්ත ඔහු එළියට දැම්මා. රෝගියකුට මරණය වැළැක්විය හැකි ජීවිතාරක්ෂක ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග බර ගණනක් තවම රෝහල් පද්ධතිය සතුව නැත්තේ ඩොලර් නැති කම නිසා නෙවෙයි කියලා ඔහු ඔප්පු කලා.

එහෙනම් මොකක්ද හේතුව. නිසි කළමනාකරණයක් අමාත්‍යාංශය පැත්තෙන් නැති එක නෙවෙයිද කියලා කෙනෙක් අහන්න පුළුවන්.

රාජිතගේ ඒ කතාව ඇහුවට පස්සෙ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් හුඟක් අය ඇවිල්ලා රාජිතට කතා කළා. "තමුන්නාන්සේ මේ ක්ෂේත්‍රය ගැන මෙච්චර දන්න කෙනා මොන එකක්ද විපක්ෂයට වෙලා කරන්නේ." ආණ්ඩුවට සම්බන්ධ ජේෂ්ඨ ඇමතිවරයෙක් ඇහුවා.

"ඒකනේ අපි කිව්වෙ හැමෝටම එකඟ වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් මත ආණ්ඩුවක් හදන්න කියලා. කොහෙද ඕගොල්ලන් පොහොට්ටුවට යටවුනා. දැන් ඉතින් වැඩේ අමාරුයි..."

කොහොම වුණත් සමහරු රනිල් වික්‍රමසිංහ එක්කත් මේ ගැන සාකච්ඡා කළා.

මෙහෙම සාකච්ඡාවක් යටින් යන බව කෙහෙළියත් දැනගෙන ඉන්න ඇති. පහුගිය දවස් වල නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ කෙහෙළිය කරබාගෙන හිටියේ ඒක ද කියලත් සැකයි...

කෙහෙළියගේ සැකය තව තවත් තහවුරු කරන සිද්ධියක් පහුගිය බදාදා හවස මහනුවරදී සිද්ධ වුණා.

ෆාමසි කරුවන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය එදා එහි පැවැත්වුනා. ඒත් සම්මේලනය පටන් ගන්නා අවස්ථාවේ දී සංගමේ සභාපති නිවේදනයක් නිකුත් කරමින් සතුට ප්‍රකාශ කළා. හිටපු සෞඛ්‍ය ඇමති ඇමැති රාජිත සේනාරත්න නැවතත් ඇමතිකමේ වැඩ භාර ගන්නා බව ඔහු කිව්වා. මුළු සභාවම ඒ කතාවට අත්පොලසන් දෙමින් සතුට පළ කරද්දි වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයා ඒ සභාවේ රැඳී සිටියා.

එදා හවස නිසැකවම ඒ කතාව ඔහු සහෝදරයාට කියන්නට ඇති.

දේශපාලන වාර්තාකරු

පවතින ස්වාධීන කොමිෂන් සභා 7ක් : දෙසැම්බර් සිට අහෝසියි !

දෙසැම්බර් මාසයේ නව ව්‍යවස්ථාදායක සභාව පත්වීමත් සමඟ දැනට පවතින ස්වාධීන කොමිෂන් සභා 7 අහෝසි කර නව කොමිෂන් සභා 7ක් පත්කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් දූෂණ කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා 7 වෙනුවට අලුතෙන් කොමිෂන් සභා පත් කෙරුණු ඇත .

වාර්තා වන ආකාරයට එම කටයුතු සිදුවන්නේ පසුගියදා සම්මත වූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුවය.

මෙම ඇතැම් කොමිෂන් සභා සඳහා දැනට ඒවායේ සිටින සාමාජිකයන්ම පත්වීමට ඉඩ ඇති බව දැනගන්නට ඇති නමුත් කොමිෂන් සභා බහුතරයකට නව කොමසාරිස්වරුන් පත්කෙරෙනු ඇතැයි ද වාර්තා වෙයි .

ඉදිරි පළාත් පාලන ඡන්දයේ මෙහෙයුම් කටයුතු දැනටමත් ස්වාධීන මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර ඇත . එහෙත් විශේෂ සිදුවීම වන්නේ එම කොමිසමද ජනවාරියේ අහෝසි වන කොමිෂන් සභා අතර වීම ය.

කැබිනට් සංශෝධනය ගැන ඉඟියක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ලංකාවට ආවට පස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට කරපු බලපෑමක් ගැන පහුගිය දිනවල කතා පැතිර ගියා. කාරක සභා අවස්ථාවේ දී වැය ශීර්ෂ කීපයක් හොල්ලලා පාඩමක් උගන්නන්න සූදානමක් තියෙන බව තමයි කිව්වෙ.

ඒත් එදා ඔය කතාව දෙපැත්තෙම අය ප්‍රතික්ෂේප කළා. ඒත් අයවැයෙන් පස්සේ කැබිනට් සංශෝධනයක් ඉල්ලලා බැසිල් පුංචි තරවටුවකුත් කරල තිබුණයි කියලා තමයි කතාව පැතිර ගියේ.

එහෙම දෙයක් වෙයි කියලා ජනාධිපති රනිල්ගෙනුත් පහුගිය දිනක ඉඟියක් පළවුනා.

ඕක උනේ පහුගිය බදාදා හැන්දෑවේ අරලියගහ මන්දිරයේ තිබුණු අගමැතිනි දිනේෂ් ගුණවර්ධනගෙන් භෝජන සංග්‍රහයෙ.

භෝජන සංග්‍රහය නම් මෙලෝ රහක් නැති එකක්. ආණ්ඩුපක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ට පණිවිඩය හරියට ගිහින් තිබුනෙත් නෑ. පවුලේ සියලුම දෙනාට එන්න කියලා කරපු ආරාධනාව හරිහැටි සන්නිවේදනය වෙලා තිබුණෙත් නෑ. ඒක නිසා එදා එතැනට නෝනලාත් එක්ක ඇවිල්ලා හිටියේ සනත් නිශාන්ත , ජනක වක්කුබුර හා බන්දුල ගුණවර්ධන කියන තුන්දෙනා විතරයි.

සාදයේ බොන්න දේවල් නොතිබුන හින්දා ආණ්ඩුවේ අරමුණ මැති ඇමැතිවරු ටික සද්ද නැතුව එකා පිටුපස එකා පාරට බැස්සා. ඒ කිව්වේ අරලියගහ මැදුරේ කාර් පාර්ක් එකට. ප්‍රසන්න රණතුංග රහමෙර කට ගෑවේ නැතත් බෝතල් දෙක තුනක් ගෙනල්ල මිතුරන්ට දුන්නා.

මිත්‍රයෝ ටික ඒක කඩාගෙන පරණ කතා පෙට්ටි අවුස්සගෙන ඉන්න වෙලාවේ තමයි ජනාධිපති රනිල් එතැනට ආවේ.

ජනාධිපති රනිල් මේ මැති ඇමැතිවරු පිරිසක් එක්ක සම්පූර්ණ චැට් එක දාල තිබුනේ එතන.

අමාත්‍යංශවල නිලධාරීන් වෙනස් කරන්න මෙච්චර දවසක් කල්පනා නොකරපු ජනාධිපති අවශ්‍ය වුනොත් වුනොත් ඉදිරියේදී වෙනස්කම් කරන්න පියවර ගන්න බව පැහැදිලිව කියලා තිබුණේත් එතන...

කැබිනට් ඇමතිකම්වල උනත් යම් වෙනසක් වේවි කියන ඉඟිය ඔහු එහිදී ලබා දුන්නා.

ඒ අනුව සෞඛ්‍යය, මහාමාර්ග, වරාය, වෙළඳ, කර්මාන්ත, ක්‍රීඩා, වනජීවී අමාත්‍යාංශවල යම් සංශෝධනයක් ඇති වනු ඇතැයි කතාබහ වුණා.

ගල් මිල පහළට !

දෙසැම්බර් 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ස්කාගාර පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත කරන ගල් අරක්කුවල මිල අඩු කර ඇත .

ඒ අනුව නව මිල ගණන් මෙසේය .

ගල් අරක්කු 750 ml බෝතලයක මිල රුපියල් 80 කින් මිල පහත දමා ඇත.

එසේම 375 ml බෝතලයක මිල රුපියල් 60කින් මෙන්ම 180 ml බෝතලයක් රුපියල් 20 කින් අඩු කළ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ .

ලංකාවට වසර 10ක ණය සහනයක් : පැරිස් ක්ලබ් යෝජනාවක් !

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය විසඳීම සඳහා පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක සහන කාලයක් ලබා දීමටත් ඉන්පසුව වසර 15 ක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමටත් පැරිස් සමාජය යෝජනා කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.

පැරිස් සමාජය පැහැදිලිවම ඉඟි කරන්නේ ධනය අසමාන ලෙස බෙදී ගියද ශ්‍රී ලංකාවට නැවත පණ දීම සඳහා ගෝලීය උතුරට සමාන කප්පාදුවක් දකුණ ද දරා ගත යුතු බව යැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට නැවත පණ දීමට ණය හිමියන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.

කෙසේ නමුත් පැරිස් සමාජය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියන් වන චීනයට සහ ඉන්දියාවට මෙම යෝජනාව ඉදිරිපත් කර නැතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත් චීන රජය සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර නොමැති වීම හේතුවෙන් දෙසැම්බර් කාල සීමාව ඉතාමත් අපහසු බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.

එම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තැබිය හැක්කේ මාර්තු මස පැවැත්වෙන රැස්වීමේදී බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගන්නා තෙක් ඉදිරි මාස තුන සඳහා ශ්‍රී ලංකාවට කෙටි කාලීන මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බවත් සියල්ල යථා තත්ත්වයට පත් වීමට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අර්බුදය නිසැකවම තවත් නරක අතට හැරෙණු ඇති බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.

-Lankadeepa

වාහනය සමග විශ්‍රාම ගිහින් හමාරයි !

රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අනුව මෙතෙක් පැවති රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම අහෝසි වෙයි.

ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙයි .

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනයට නව වැඩපිළිවෙළක් - ජනපති

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

මේ සඳහා ක්‍රීඩා, සෞඛ්‍ය, තරුණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගය ලබා ගෙන අදාළ නව වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ , 2022 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (03) පෙරවරුවේ සංවිධානය කර තිබූ ජාතික උත්සවයට එක්වෙමින්ය.

විවිධ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතාවයන් රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින අඩු පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ සොයා බලා එම අංශයන්හි පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බව ද පැවසීය.

කාන්තා, ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ආබාධිත සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්විම් අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අනුරාධා හේරත් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=3024#sigProId9ec5a5fbe3

ජියැං සෙමින්ගේ අභාවය වෙනුවෙන් : ජනපති ශෝකය පළ කරයි "!

චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කළේය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත ඊයේ (02) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා එහි තබා ඇති ශෝක සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් අභාවප්‍රාප්ත චීනයේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳව සිය ශෝකය සනිටුහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ජියැං සෙමින් මහජන චීන සමූහාණ්ඩුව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ විශිෂ්ට නායකයෙක් බවයි.

රෑ 10 ට පස්සේ බොන්න තැනක් කෝ ? ඩයනා

මෙරට තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් මත්පැන් ශාලා, හෝටල් සහ කඩ සාප්පු දවස පුරා පැය විසි හතරෙම විවෘතව තැබීමට කටයුතු කළ යුතුයැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් ය.

අදාළ ස්ථාන රාත්‍රි 10ට පසු වසා දමන්නේ නම් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ මුදල් වියදම් කර වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ රාජ්‍ය අමාත්‍යවරිය රාත්‍රී ආර්ථිකයක් නොමැති නම් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මුදල් වියදම් නොකරනු ඇති බවත් කියා සිටියාය.

සංචාරක කර්මාන්තය හරහා උපරිම ආදායමක් ලබාගැනීම නම් මත්පැන් හල් ආදිය පැය 24 පුරාම විවෘත කර තැබිය යුතු බවද ඇය පැවසුවාය.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට රාත්‍රී දහයට එකොළහට පසු මත්පැන් බීමට උවමනාව වූයේ නම් එය මිලට ගැනීමට තැනක් නැති බවද ඇය සඳහන් කළාය.

Page 169 of 386