ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මහනුවරදී අද (20) පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ලබා ගන්නා එම ණය මුදල් මෙන්ම සහනාධාරද කළමනාකරණය කර ගැනීම මහජනතාවගේ යුතුකමක් වන බවය.
එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රජය විසින් මෙම ආපදා තත්ත්වයේදී සහනාධාර ලෙස විශාල මුදලක් ආපදාවට පත්වූවන් වෙනුවෙන් වෙන් කර ඇති බවය.
ඒ අනුව පුරවැසියන් ලෙස එම සහනාධාර මුදල් ලබා ගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමේ වගකීමක් සියලු පාර්ශ්ව සතුව පැවතිය යුතු බවත් මේ අනුව තවත් එවැනි සහනාධාර අවැසි පාර්ශ්වයන් වෙත එම මුදල් නිසි කළමනාකරණයක් යටතේ ලබා දීමේ හැකියාව රජයට පවතින බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම ලබාගන්නා සහනාධාර මුදල් ද නිසි කළමනාකරණයක් සහිතව භාවිත කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.
තවද පසුගිය කාලයේදී පැවැති ආර්ථික අර්බුද හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීමේදී එම කර්මාන්ත සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කළ බවත් එහිදී ණය ලබා ගැනීම සඳහා බලපෑමට පත් වූ සහ නොවූ දෙපාර්ශ්වයම ගත යුතු ප්‍රමාණය ඉක්මවා ණය ලබා ගත් බවත් පසුව එම ණය මුදල ගෙවා ගත නොහැකිව එම ව්‍යාපාර අර්බුයන්ට මුහුණ දුන් බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ලබා දෙන සහන ණය පවා තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් ලබා ගැනීමෙන් තමන් ණය අර්බුදයකට ගොදුරු නොවන බවද පෙන්වාදුන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ රජය විසින් ජන ජීවිතය සහ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ණය මුදල් නිසි කළමනාකරණයක් යටතේ ලබා ගනිමින් භාවිතයට ගැනීම සියලු පාර්ශ්වවල වගකීමක් වන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
"මෙතනදි අපි තේරුම් ගන්න ඕනේ එකක් තමයි පළවෙනි කාරණය අපි දකින්නේ ඉතිහාසයේ විශේෂ අවස්ථාවලදි පාස්කු ප්‍රහාරයේදී සංචාරක ක්ෂේත්‍රයට මේ වගේම දුන්නා ලොකු මොනටෝරියම් එකක්. මෙතන නිලධාරියෙක් කිව්වා දීපු නිසා අවශ්‍ය අයයි නොවන අයයි හැමෝම මේ මොනටෝරියම් එක අරගෙන තමන්ට ගෙවන්න තියන ණය ගෙව්වේ නෑ, පොළිය ගෙව්වේ නෑ කියලා. අන්තිමට ණය ගෙවාගන්න බැරිව ඒ සංචාරක ව්‍යාපාරයේ යෙදිලා ඉන්න අය ඉතාම අමාරුවකට පත්වුණා. අපේ පළවෙනි උපදෙස තමයි සහනයක් දෙනවා කියුවාට මේක ණයක් සහ පොළියකුත් තියෙනවා. ඒ නිසා තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න. ඕනවට වඩා දෙන නිසා ගන්න එපා.
මේ දෙන්නේ ණයක්. අපි රටක් විදිහට අපි අවුරුදු 20-30ක් තිස්සේ ඕනවට වඩා ණය අරගෙන දැන් ණය අර්බුදයකට ගිහිල්ලා අපි ලොකු ආර්ථික අර්බුදයකට පත්වෙලා. ව්‍යාපාරයක් වුණාත් මේකම තමයි සංසිද්ධිය... තමන්ගේ ව්‍යාපාරයට තමන්ට ගෙවා ගත හැකි ප්‍රමාණයට තමයි ණය ලබා ගත යුත්තේ මේ තමයි පළවෙනි කාරණය
දෙවැනි කාරණය එහෙම අරගෙන ගෙව්වේ නැති වුණාම ඒකේ බරපැන දරන්නේ අනිත් පැත්තෙන් බැංකු තැන්පත්කරුවන් සහ මේකට සම්බන්ධවෙලා ඉන්න වෙනත් තැන්පත්කරුවන් අනිත් එක තමයි ඒකෙන් වෙන්නේ තවත් හොඳට ණයක් ගන්න අවස්ථාව තියෙන කෙනෙක්ට තමන්ගේ අවස්ථාව නැතිවෙන එක. ඒ නිසා ප්‍රධානම කාරණය ණය ගැනීමේදි පරිස්සම් වෙන්න.
ඒ වගේම තමයි අනෙකුත් රජයෙන් දෙන සහන ඒකත් වැදගත්. මේ අවස්ථාවේදී රජය වෙතත් කිසිම අවස්ථාවක දෙනවාට වඩා ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා. දැන් රජය කියන්නේ කවුද ? රජයට මුදල් නෑ. රජය කියන්නේ ඔබ හැම ව්‍යාපාර කරලා, දුප්පත් මනුස්සයෙක් කඩයට ගිහිල්ලා බඩු අරගෙන ගෙවන වැට් එක කියලා ගෙවන බදු මුදල්. ඒ බදු මුදල් තමයි මේ නැවත බෙදා හරින්නේ.
දෙනකොට හිතනවා මේක මට ප්‍රශ්නක් නෑ මේක නොමිලේ දෙන එකක් මම ඒක ගන්නවා කියලා. නොමිලේම දුන්නත් අපි පුරවැසියන් විදිහට වගකීමක් තියෙනවා මේක නොමිලේ දුන්නත් තවත් කවුරුන් හරි අමාරුවෙන් ගෙවපු බදු මුදල්. තමන්ට ඒක අවශ්‍ය නැත්නම් ඒක ඕනවට වැඩිය දෙන නිසා ගන්න ඕනෙත් නෑ. තමන්ට සහනය අවශ්‍ය නැත්නම් ඒක නොගත යුතුයි. මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි තමන්ට අයිති නැති දෙයක් ලබා ගත්තොත් ඒක මේ ආත්මෙදි හරි එන ආත්මෙදි හරි ගෙවන්න වෙනවා. තමන්ට අයිති නැති දෙයක් ලබා ගැනීම, අන්සතු දෙයක් ලබා ගැනීම ඒක ණයක්.... රජයකට අලුතින් මුදල් මවන්න බෑ. එක්කෝ බදු ගහන්න ඕනේ.. කිසිම තැනක මේක නොමිලේ දෙන එකක් කියලා හිතන්න එපා. ඒ ගැන කල්පනාව ඇතුව මුදල් ගන්න එක ගන්න. "
ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න - මහ බැංකු අධිපති ඉල්ලයි

