පුවත්

ආනයන පොල්තෙල් සඳහා බද්දක් !
ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය පවසයි .
රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ අතර දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීම මෙම බද්ද පැණවීමේ අරමුණ බවද පැවසීය .
ඒ අනුව පැණවීමට නියමිත බද්ද මේ වන විට සාකච්ඡා කර ඇති පරිදි ලීටරයකට රුපියල් 25 ක් විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

ජනාධිපතිගේ ඉන්දීය සංචාරයේ අරමුණ : අලිසබ්‍රි හෙළිකරයි !
නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.
අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මේ බව සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳ දැනුවත් කිරීමට අද (22) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
කිසිසේත් රටට තර්ජනයක් වන දේ කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කටයුතු නොකරන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මනා අවබෝධයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මෙසේද පැවසීය .
ශ්‍රී ලංකාවේ සමීප සහ දිගුකාලීන මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාව සමඟ අවබෝධාත්මක සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම රටවල් දෙකට මෙන්ම කලාපයටම ඉතා යහපත් තත්ත්වයක් වන බව අප විශ්වාස කරනවා. ඉදිරි දශක දෙක, තුනේදී ලෝකයේ සිදුවන ආර්ථික වර්ධනයෙන් 2/3ක් පමණ සිදු වන්නේ ආසියානු පැසිෆික් කලාපය තුළ බව අද සියලුදෙනා පිළිගන්නා කරුණක්. ඒ වගේම එහි නායකත්වය ගනු ලබන්නේ ඉන්දියාව සහ චීනය යන්න විවාදයකින් තොරව ජාත්‍යන්තරයම පිළිගන්නා සත්‍යයක් බවට පත්ව තිබෙනවා.
ඒ නිසා ඉන්දියානු සාගර කලාපය තුළ තිබෙන මෙම විශාල සංවර්ධන අවකාශයෙන් අප ප්‍රයෝජන ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මයි. යුරෝපා හවුල දෙස බැලූ විට එමගින් සම්පුර්ණ යුරෝපා කලාපයම දියුණු වුණා. මැදපෙරදිග රටවල් ගත්විටත් තත්ත්වය එසේමයි. චීනය වගේම ඇමරිකානු කලාපයත් සංවර්ධනය අත්පත් කරගනු ලැබුවේ ඒ අයුරින්. අපත් බලාපොරොත්තු වන්නේ මෙම සංවර්ධන අවකාශයන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යාමටයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වුණා. එම කාලය තුළ එතුමා වැදගත් සාකච්ඡා කිහිපයකට එක් වුණා. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා සමඟද සාකච්ඡා පැවැත්වුවා. ඉන් පසුව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා දූත පිරිස සමඟ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා.
පසුගිය කාලය තුළ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව අපට විශාල වශයෙන් සහාය වුණා. මුල්‍ය සහන ලබාදීම තුළින් මෙන්ම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදි ඉන්දියාව නායකත්වය ගෙන ක්‍රියා කළා. අප මෙම ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කරගතයුතුව තිබෙනවා. ඒ සඳහා ද ඉන්දියාවේ සහය අපට අඛණ්ඩව හිමිවන අතර මෙම සියලු කටයුතු වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ස්තූති කිරීමට ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළා.
එසේම අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙන මෙම අවස්ථාවේ දී තවදුරටත් අපගේ ආර්ථික, සාමාජයීය හා දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නම් ආයෝජන අවශ්‍යයි. ඒ වගේම එම ආයෝජන තුළින් වෙළෙඳපොළ සොයාගත යුතුව තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළහොත් විශාල වාසියක් රටවල් දෙකටම ලබාගත හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා. එහිදී රජයන් අතර පමණක් නොව පෞද්ගලික අංශ අතරත් එකඟතා අති කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම විමසා බැලීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී සිදු කෙරුණා.
ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ලෙස ඉන්දියන් රුපියල භාවිතා කිරීමට ඇති හැකියාව මෙහිදී සලකා බැලුණු අතර ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුවක් සැලසීම එහි අරමුණයි. සිංගප්පුරුව සමඟ ද ඉන්දියාව මේ ආකාරයට කටයුතු කර තිබෙන අතර ඉන් දෙරටම විශාල ප්‍රතිලාභ අත්කරගෙන තිබෙනවා.
ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතා හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ කෙසේද පිළිබද අප පුළුල් ලෙස සාකච්ඡා කළා. මේ වන විටත් ඉන්දියාව සහ පලාලි ගුවන් තොටුපොළ අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේ දී මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ කටයුතු කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවදුරටත් අභ්‍යන්තර ගුවන් සේවා සබඳතා ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප විමසා බැලුවා.
සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව හා එහිදි සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළා. දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කර ගැනිමේදී සංචාරක යාත්‍රා (Cruise Tourism) ප්‍රවර්ධනය කිරීමේ හැකියාව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නා. එය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙන ක්ෂේත්‍රයක් වන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ විශාල ප්‍රබෝධයක් ඇති වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.
අද දකුණු ඉන්දියානු කලාපය සීග්‍ර සංවර්ධනයකට ලක්ව තිබෙනවා. තමිල්නාඩු, ආන්ද්‍රා, තෙලගනා යන මෙම ප්‍රදේශවල සිදුව ඇති ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රි ලංකාවට ලබා ගැනීම සඳහා වරායන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ වැදගත්කම දෙරටේම නායකයන් හඳුනාගෙන තිබෙනවා. වරායන් අතර මෙම සබඳතා ඇති කරගන්නේ කෙසේද පිළිබඳ විද්වතුන් එක්ව සාකච්ඡා කළයුතුයි. ඒ පිළිබඳ සාකච්ඡා කර කරුණු අධ්‍යයනය කරමින් තීරණයකට පැමිණීම පිළිබඳ මෙහිදි නායකයන් අතර එකගතාවක් ඇති කරගත්තා. එම කරුණු පිළිබඳ සියලු පාර්ශ්ව සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශ්වයම සාකච්ඡා කළා.
ඒ වගේම 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් පසුව එම ක්ෂේත්‍රයේ අපනයන සඳහා අපට වෙළෙඳපොළක් තිබිය යුතුයි. ඒ තුළින් විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ සුර්ය බලය, සුළං බලය අපනයනය සදහා අවශ්‍ය පරිසරය සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අපට විශාල අවශ්‍යතාවක් තිබෙන අතර අප ඒ පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වගේම එහිදි සාමුහිකව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමකට ද එළැඹුණා. ඒ වගේම නව තාක්ෂණය භාවිතා කරමින් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා යන අංශයන්හි සහයෝගීතාවට තිබෙන අවස්ථා සොයා බැලීම පිළිබඳව ද අප සාකච්ඡා කළා.
මෙරට කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණික දැනුම ලබාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. සත්ව පාලනය, කිරි නිෂ්පාදනය ඇතුළු මෙම ක්ෂේත්‍ර සදහා තාක්ෂණික දැනුම ලබාගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අප මෙහිදී අත්සන් තැබුවා.
ඩිජිටල්කරණයේ දී ඉන්දියාව මේ වන විට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඉන්දියාවේ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව ද අප සොයා බැලුවා.
එමෙන්ම ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සහයෝගිතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලංකාවේ ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බැලීමට ද කටයුතු කළා.
ඉන්දීය සම්භවයක් ඇති උඩරට ජීවත්වන වතුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ දන් වසර 200ක් පමණ ගතව තිබෙනවා. ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව එකඟතාව පළ කළ අතර ඒ සඳහා ඉන්දිය රුපියල් මිලියන 750ක මුදලක් ආයෝජනය කිරීමට ඉන්දිය රජය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ හැකියාව සහ ඒ පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළා.
එසේම ධීවර ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වුණා. උතුරේ බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් මසුන් ඇල්ලීම නැවැත්වීමේ හැකියාව පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කළා. ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දියානු සීමාව පසුකරගෙන ඉන් ඔබ්බට යාමට අවස්ථා ලබාදෙන ලෙස ද අප ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වය එකතු වී දිගින් දිගටම සාකච්ඡා කිරීම මඟින් මෙම ගැටලු විසදා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.
සම්පුර්ණ ඉන්දියානු සාගර කලාපය ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද සහ එහිදී සාමුහිකව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව, අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේ කිරීමට ඇති කැපවීම සමඟ දෙපාර්ශ්වයම මෙහිදී එකඟත්වයෙන් යුතුව සාකච්ඡා කළා.

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් !
මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද.
ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ ඉන්දියන් සංචාරය සඳහා රනිල් රටින් පිටවෙන්නේ ගැටළු ගණනාවක බර කරට ගනිමින්.
එක පැත්තකින් අපි මේ බංකොලොත් බවෙන් ගොඩඑන්න යම් උපකාර ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ ලෝකයෙන් ඉල්ලන්න ඕනි. ඒ සඳහා කේවල් කරන්න කිසිදෙයක් දැන් අපේ අතේ නැහැ. අනික් අතට සුළු ජාතීන් සම්බන්දයෙන් ධනාත්මක පිළිතුරක් ඉන්දියාව අපෙන් බලාපොරොත්තු වෙනවා. කේවල් කරන්න කිසිදෙයක් අතේ නැතුව සුළු ජාතීන් සම්බන්ද ප්‍රශ්නෙත් අරන් එහෙ යනවා කියන්නේ ඒක අන්තිම අමාරු ගණුදෙනුවක් වෙන්න නියමිතයි.
මම කියන්නේ මේ ප්‍රශ්න දෙක, ඒ කියන්නේ බංකොලොත් බවෙන් ගොඩ එන ගැටළුව වගේම සුළු ජාතීන් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගැන වූ පරක්කු ප්‍රශ්නය කවුරු ආවත් අනිවාර්යයෙන් විසඳිය යුතු ගැටළු දෙකක්.
අවම වශයෙන් පසුගිය අවුරුදු විස්ස තිහ ඇතුලේ කවුරු හරි මේකට බෙල්ල දිය යුතුව තිබුණ. දැන් රනිල් මේකට බෙල්ල දෙමින් තිබෙනවා.
ඉන්දියාවේ යන්න කලින් රනිල් සුළු ජාතික පක්ෂ එක්ක තිබ්බ රැස්වීමේදී සුමන්දිරන්ගේ මූණටම කියනවා මම මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන තැනදී මේකේ කෙළවරක් දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ කියල ( I am determined to go all the way - මම ඒක හිතුවක්කාර විදියට පරිවර්තනය කරන්නේ මම මේ ගැටළුවේ අවසානය දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ කියල).
එහෙම කෙළින් විවෘතව මේ දේ කියන්න නිදහසක් ලංකාවේ නිදහසින් පස්සේ බලයට පත්වෙච්ච කිසිම නායකයෙක්ට තිබ්බේ නැහැ කියල මට හිතෙනවා (ඩී. බී. විජේතුංග මහත්තයාට හැර). මේ තමයි ''ජනතාවගෙන් බරෙන්'' නිදහස් වීමේ සැහැල්ලුවේ තියන දේශපාලනික බව. කුන්දේරාගේ භාෂාවෙන් කියනවා නම් පියාපතක සැහැල්ලුව.
මීට කලින් ආපු හැම නායක නායිකාවක්ම මේ ප්‍රශ්නය ගැන ගැඹුරු මතවාදී කියවීමක් නැති ලාංකික ජනතාවගේ බර නිසා දුක්වින්ද. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද සහ ගෝඨා යන හැම කෙනෙක්ම (නිර්මාණය) තමන් මෙතෙන්ට ගෙනාපු ජනතාවගේ (නිර්මාණකරු) ගේ බර දරාගෙන හිටිය. හැත්තෑ වසරකටත් වඩා පරණ මේ සුළුජාතික ජන කොටස්වල බල අනන්‍යතා ගැටළුව පොඩ්ඩක්වත් ඉස්සරහට ගියේ නැත්තේ මේ ජනතා කැමැත්ත නම් පිස්සුව නිසා. රනිල් පවා එහි ගොදුරක් (ලංකාවේ හැම නායකයෙක්ම ලාංකික ජනතාවගේ ගොදුරු).
ජනවාර්ගික ගැටළුව ගැන යම් හෝ සාධනීය තැනක හිටපු රනිල් කියන මනුස්සයාගේ දේශපාලනය ලංකාවේ නැත්තට නැති කළේ මේ උඩක් පල්ලක් නැති ලාංකික ජනතාව. හැබැයි මම මීට කළිනුත් කිව්වා වගේ රනිල් දැන් ඇවිල්ල ඉන්නේ අර ජනතාව නැතුව. ගුරුත්ව කේන්ද්‍රයෙන් නිදහස් ව.
දැන් ''ජනතා නෛතික බව'' (people's mandate) නැහැ කියන ආණ්ඩුවක නායකයා හැටියට රනිල් කියනවා මේ බලය විකේන්ද්‍රනය කරන ගැටළුවේ (13 බලාත්මක කිරීමේ) අවසානය දක්වා යන්න හිත හදාගෙන තියනවා කියල. ජනතා නෛතිකබව නැහැ කියන ආණ්ඩුවක් ඇතුලේ පඬු කරඳ ගහ නැතිවුණා වගේම දශක ගණනක් දිග්ගැස්සුන මේ ප්‍රශ්නෙත් හිතුවක්කාර විදියට විසඳූනොත් ඒක කොහොමද?
ජනතා නෛතික බවෙන් නිදහස් මේ ආණ්ඩුවට එයාල නිර්මාණය කරපු අතීත ජනතාවක් නැහැ. ඉන්නවානම් ඉන්නේ අනාගතයේ බිහිකර යුතු ජනතාවක් විතරයි.
මේ සියල්ල ගැන සර්ව අශුභවාදීව බලාන ඉන්න හැමෝටම මම කියන්නේ මේ වැඩේට උදව් කරමු කියල. නිදහසෙන් පස්සේ ආපු මේ ''ආණ්ඩුවක් නොවන ආණ්ඩුවෙන්'' ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන් නේද? ඒක අනාගතයේ ''ජනතා කැමැත්තෙන්'' බලයට එන්න ඉන්න අයටත් හොඳයි නේද?
හැමෝම මේ වෙලාවේ වැඩේට උදව් කරන්න. මේ කාල කොරිඩෝව ඇතුලේ පුළුවන් හැම දෙයක්ම දිනාගන්න බලමු. මොකද ඉතිහාසය ඇතුලේ නාට්‍ය ඇත්ත වෙන්නත් පුළුවන්.
මේ සටහන නිසා කොනිත්තන් බට්ටෙක් වෙන කෙනෙක් ඉන්නවානම් එයා අර ජනතාවගෙන් කෙනෙක්.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

හිටපු ජනපති මෛත්‍රී කාම්බෝජයේ මැතිවරණ නිරීක්‍ෂණයට
කාම්බෝජයේ හෙට (ජූලි 23) පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයෙකු වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වීමට නියමිත ය.
ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව පසුගිය ඊයේ (21) කාම්බෝජය බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා එහි පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්‍ෂකයෙකු ලෙස ද ඊට එක්වේ.
තෙදිනක් පුරා කාම්බෝජයේ නොම්පෙන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ සමාරම්භක උළෙලට ද හිටපු ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.

අච්චු කර සිටි දෙදෙනෙකුට ජනාධිපති සමාව !
පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවූ 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිරදඬුවමක් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.
එමෙන්ම එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ද ජනාධිපති සමාවී හිමිව ඇති බවත් වාර්තා වෙයි .
ජනාධිපති සමාව ලද ඔවුන් දෙදෙනා පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කෙරේ !
උසස් අධ්‍යාපනය සංවර්ධන කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ තේරීම් කාරක සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කර ඒ වෙනුවට "ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව'' නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට නිර්දේශ කර තිබේ.
එම කොමිෂන් සභාව ජනධිපතිවරයා විසින් පත්කරන සාමාජිකයින් 11 දෙනෙක්ගෙන් යුක්ත වනු ඇත.
දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් ආවරණය කරන විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මින් පසු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන (Non-state) සහ වෘත්තීය අධ්‍යාපන (Vocational) සහ තත්ත්ව සහතික (Accreditation) යන අංශ සියල්ලම ආවරණය කිරීමට නියමිතය.
කෙසේ වුවද විශ්වවිද්‍යාලවල ස්වාධීන බවට මින් කිසිදු හානියක් නොවෙනු ඇති බව තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ විශ්වවිද්‍යාල
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ විශ්වවිද්‍යාල පිහිටුවීමටත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මූල්‍ය, යහපාලනය, වගවීම සහ විනිවිදභාවය පිළිබඳ වගකීම පවරමින් පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් එහි දී තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇත.
ක්ෂේත්‍රයේ සිටින ඇතැම් විද්වතුන් පවසන්නේ දැනට ඉන්දියාව විසින් කලාපීය විශ්වවිද්‍යාල මධ්‍යස්ථානයක් (Regional Higher Education Hub) ලෙස ඉන්දියාව ප්‍රවර්ධනය කරන තත්වයක් තුල ලංකාවේ මීට වඩා ප්‍රතිසංස්කරණමය මට්ටමෙන් ඉදිරියට ආයුතු බවයි. විශේෂයෙන් සෑහෙන පමණ තරගකාරී මට්ටමක ලාංකික උසස් අධ්‍යාපනය පවතින බැවින් අවශ්‍ය ප්‍රවර්ධනය කෙරේනම් අපටද ඉන්දියාව සමඟ යම් තරගයක් දීමට හැකි වනු ඇති බව එම විද්වතුන්ගේ මතයයි.
ආර්ථික වශයෙන් අසීරු අඩියක සිටින මේ අවස්ථාවේ ලාංකික උසස් අධ්‍යාපනය කලාපීයකරණය සහ අන්තර්ජාතිකකරණය වීම ආර්ථිකයේ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නව නිම්වළලු පුළුල් කරනු ඇත.

ජනපති, ජනාධිපතිවරණයට යන වියදම විමසයි !
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් අදාල ඇස්තමේන්තු සකස් කොට ඉක්මනින්ම මුදල් අමාත්‍යාංශයට ලබාදෙන බව එහිදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.
Lankadeepa

මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇත - මහ බැංකු අධිපති
මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
අද කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,
"නව මහ බැංකු පනත අවසානයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න හැකිවුණා. දැන් එය නීතියක් බවට පත්ව තිබෙනවා. එය දේශීය මිල ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අපට පැවරී තියෙන වගකීමට වඩාත් ස්වාධීනත්වයක් ලබාදීලා තියෙනවා වගේම වැඩි ශක්තිමත් වගවීමක් ලබාදීලා තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අතර ඇති වෙනස පිළිබඳ පැටලිලි සහගත තත්වයක් නිර්මාණය වී තිබුණා. පාර්ලිමේන්තුවේදීත් සමහරු කියනවා ඇහුනා රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට බව. ඔවුන් කතාකරන්නේ මහජන මූල්‍ය බලය පිළිබඳ. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නෙමෙයි. අපිට දැන් නව ව්‍යුහයක් තියෙනවා. මූල්‍ය මණ්ඩලය සහ පාලක මණ්ඩලය. අපි මේ මාසයේ අවසන් වෙද්දී තනි ඉලක්කමේ උද්ධමන අගයක් අත්පත්කරගන්න තැනක ඉන්නවා."

ජනපති, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේ නිරතව සිටින ජනාධිපති වික්‍රමසිංහ, දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අද (21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය ඉන්දීය නිල සංචාරයේ නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඇගයීමට ලක් ව තිබේ. ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රටවලට සහ ඉන්දියානු සාගර කලාපයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට, ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ තම කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යළිත් තහවුරු කරයි. ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.
''රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් සිටිනවා''
ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ දූත මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් පසුව, ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය රටතුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී ඇතැයි ද ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා, දෙරට අතර සබඳතා වැඩි දියුණු කරන අනාගත ඉන්දු - ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම අවධාරණය කර තිබේ. එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වීමට හේතු වනු ඇති බවද ඔහු පවසා ඇත.
චෙන්නායි සහ යාපනය ගුවන් සේවා නැවත ආරම්භ කිරීම
ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා නූතන සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව පවසා ඇති ජනාධිපතිවරයා, මෑතකදී චෙන්නායි සහ යාපනය ගුවන් සේවා නැවත ආරම්භ කිරීම දෙරට අතර ගුවන් සම්බන්ධතාවයේ වැදගත් පියවරක් බව සඳහන් කර තිබේ. දෙරට අතර ගුවන් සේවා සහ යාත්‍රා සේවා වැඩිදියුණු කිරීමට එකඟත්වයක් ඇති බවත් එය සංචාරක හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනයටද ඉවහල් වන බව ජනාධිපතිවරයා පවසා ඇත.
ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.
ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන බිහි කිරීම තුළ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රී ලාංකික තරුණ පරපුරක් බිහි කිරීම මඟින් රටේ ජාතික සංවර්ධනයට ලබා ගත හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මගී ප්‍රවාහන බෝට්ටු සේවා
තලෛයිමන්නාරම- රාමේෂ්වරම් සහ නාගපට්ටිනම්- කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පිළිබඳ නව මංපෙත් ගවේෂණය කිරීම දෙරටේ ආර්ථික වර්ධනය තව දුරටත් උත්ප්‍රේරණය කරනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට !
ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවත් කරමින් අද (20) මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ඩොලර් හිඟය හේතුවෙන් රටින් ඩොලර් පිටවීම වැලැක්වීමේ පියවරක් ලෙස රජය භාණ්ඩ රැසකට වසර දෙකකට ආසන්න කාලය සිට සීමා පනවා ඇති අතර මීට පෙර ද භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කළේය.

මහ බැංකු පනත සම්මතයි !
ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 24ක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනතට විරුද්ධවය.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ(20) දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහාවූ විධිවිධාන රැසක් ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

ප්‍රථම වතාවට ජනාධිපති ලේකම් ධූරයේ වැඩබැලීමට කාන්තාවක් !
ජනාධිපති ලේකම් සමන් ඒකනායක ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන පත් කර තිබේ.
අද (20) සිට බල පැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම්වරයා නැවත දිවයිනට පැමිණෙන තුරු එය ක්‍රියාත්මකය.
ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන චාන්දනී විජේවර්ධන මහත්මිය මේ වන විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරයි.
1994 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට එක් වූ විජේවර්ධන මහත්මිය වසර 22ක් මහා භාණ්ඩාගාරයේ විවිධ තනතුරු හොඹවා ඇති අතර අවසානයේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය.
එසේම අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ චාන්දනී විජේවර්ධන 2015 වසරේ සිට 2019 වසර දක්වා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද කටයුතු කරනු ලැබුවාය.
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන එතුමිය රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අතර නෙදර්ලන්තයේ හෙග් විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් ද වේ.

ථෙරවාදය ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදාගන්නවා !
ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය අද( 20)සිට ජූලි 27 වන දා දක්වා මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත් වේ.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේට හා පූජ්‍ය මුගුණෙවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ගෞරවනාම සන්නස්පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්මයට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද සමරු තිළිණයක් පිළිගැන්විණි.
රාමඤ්ඤ මහා නිකාය විසින් සංස්කරණය කරන ලද "පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය" මහනායක ස්වාමීන් වහන්සේට හා ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
රාමඤ්ඤ මහා නිකායේ 73වන උපසම්පදා මහෝත්සවයට සහභාගීවීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඉන්දීය සංචාරය හමුවේ වුවත් මට මෙම අවස්ථාව සඳහා සහභාගීවීමට ලැබෙන පරිදි උත්සව කටයුතු සංශෝධනය කිරීම පිළිබඳව ස්වාමීන් වහන්සේලාට මෙන්ම දායක සභාවට ද මම ස්තූතිවන්ත වෙනවා.
මම මෙවර ඉන්දියානු නිල සංචාරය සිදු කරන්නේ දෙරට අතර ඉදිරි සබඳතා පිළිබඳ සාකච්ඡා කිරිමටයි. ඒ වගේම මෙරට ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ඉන්දීය රජය අපට ලබාදුන් සහාය පිළිබඳ ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
රාමඤ්ඤ මහා නිකාය මෙම උපසම්පදා මහෝත්සවය මාතලේ ප්‍රදේශයේ පැවැත්වීම බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂ වනවා. ඒ වගේම මාතලේ පුරවරයට බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමිවෙනවා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට තැබූ පළමු පියවර තැබුවේ මාතලේ අලුවිහාරයේදියි. ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට රජයක් ලෙස මේ වන විට අප කටයුතු කර තිබෙනවා. ත්‍රිපිටකය සුරකිනවා යනු උතුම් සද්ධර්මය සුරැකීමයි. බෞද්ධ රටක් ලෙස ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ලෝකයට බුදු දහම රැගෙන යාමට අප කටයුතු කර තිබෙනවා.
මහායාන බුදු දහම තුළත් ත්‍රිපිටකය පිළිබඳ සඳහන් වෙනවා. චීනය මුද්‍රණය කර තිබෙන ලෝටස් සූත්‍රය ඇතුළත් මහායාන ත්‍රිපිටකය ලෝකයේ පළවෙනි මුද්‍රණය ලෙස සළකන්න පුලුවන්. ගර්ටන්බර්ග් මහතා බයිබලය මුද්‍රණය කළේ ඉන් පසුවයි. ඒ වගේම ථෙරවාද බුදුදහම ඇතුළත් ත්‍රිපිටකයත් මේ වන විට මුද්‍රණය කර තිබෙනවා.
ධර්මය ආරක්ෂා කිරීමට වර්තමානයේ තිබෙන තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැනුවත්භාවයක් තිබෙන නිසා ඊටත් වඩා පහසුවෙන් ධර්මය සුරක්ෂිත කිරීමට එය දායකකරගත හැකියි.
කෘතිම බුද්ධියට බුදු දහම පිළිබඳ සියලු දත්ත ඇතුළත් කිරීමෙන්, ඒ පිළිබඳ අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට හැකියාව තිබෙනවා. දුටුගැමුණු රජතුමා පිළිබඳව තිබෙන සියලුම තොරතුරු කෘතිම බුද්ධියට ලබා දුන්නොත් ඊට අදාළව අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට කෘතිම බුද්ධියට හැකියාව තිබෙනවා. වික්ටෝරියා රැජණ පිළිබඳව තොරතුරු ඇතුළත් කළත් එලෙසම පිළිතුරු සැපයීමට කෘතීම බුද්ධියට හැකියාව තිබෙනවා. තොරතුරු ලබා දෙනවා පමණක් නොව එය ප්‍රකාශ කිරිමේ හැකියාව GPT තාක්ෂණයෙන් ලැබී තිබෙනවා. මෙම නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් බුදු දහම තවදුරටත් සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකියි.
බෞද්ධ ධර්මය දෙවියන් පදනම් කර ගත් ආගමක් නොවන බව අද සියලුදෙනා පිළිගන්නවා. බුද්ධ දේශනයේ සඳහන් වෙන්නේ ධර්මයක්. එය ඕනෑම අයෙකුට පිළිපැදිය හැකියි. කැමති නම් පිළිපදින්නෙ නැතුව සිටිය හැකියි. ධර්මය පිළිපදිනවා නම් එය තවදුරටත් විග්‍රහ කළ හැකියි. ඒ නිසා තමයි ධම්ම පදයේ “මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා” යනුවෙන් සඳහන් වෙන්නේ. ධර්මය පිළිපදින්නේ මනසින්. මිනිස් ඥානය වගේ, අනෙක් පැත්තෙන් දැන් කෘතිම ඥානය ද තිබෙනවා. මෙම කෘතිම ඥානය අපට තර්ජනයක් වෙයිද, අපට අවශ්‍ය ලෙස ප්‍රයෝජනයට ගත හැකිද? ඊළග දශක දෙක තුන තුළ ඇතිවිය හැකි ප්‍රශ්නය එයයි.
දැන් ඇතැම් අය කෘතිම ඥානයෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. ජපානයේ සෙන් බුදු දහම කෂුමා කියල පුද්ගලයෙක් hotoke.ai වැඩසටහනින් සෙන් බුදුදහමට අදාළව පිළිතුරු ලබාදෙන ආකාරය පසුගිය දිනක දකින්න ලැබුණා. එහි සඳහන් වන්නේ “බුද්ධ ධර්මය අත ළඟ” යනුවෙනි. නමුත් අපි බලාපොරාත්තු වෙන්නේ එවැන්නක් නොවෙයි. එතැන විකෘති කිරීමක් සිදුව තිබෙනවා.
බුදු දහමේ පමණක් නොවෙයි අනෙකුත් ආගම්වලත් මෙම විකෘති කිරීම් දකින්න ලැබෙනවා. බයිබල් GPT කියලා තවත් වැඩසටහනක් තිබෙනවා. එහි සඳහන් වන්නේ “ක්‍රිස්තියානි ආගම ජේසුස්වහන්සේගේ මුවින්” යනුවෙනි. නමුත් එය එසේ විය නොහැකියි.
මෙවැනි ආගමික විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන නිසා අපට නීතියෙන් එය පාලනය කිරිමට ද හැකියාවක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුයි.
ඒ වගේම කෘතිම බුද්ධිය ධර්මය සදහා භාවිතා කිරීමේ දී අප මීට වඩා ගැඹුරින් ඒ පිළිබඳ පරීක්ෂණ කළයුතුයි. ඒ නිසා අපි තීරණය කළා මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක් වෙන් කිරිමට. තවත් වැඩිපුර මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ද කටයුතු කළ හැකියි.
ථෙරවාද බුදුදහම ලෝකයට ගෙන යාමේ දී කෘතිම බුද්ධිය භාවිතා කිරීම පිළිබද අපේ අවධානය යොමුව තිබෙනවා. එහිදී අභිධර්මය පිළිබඳව ද ගැඹුරු විග්‍රහයක් සිදු කළයුතුයි. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම පිළිබඳ අපේ ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදහා උන්වහන්සේලාට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසනවා මිස අද බෙහෝ දෙනෙක් බයිබලය, ත්‍රිපිටකය වැනි ආගමික ග්‍රන්ථ කියවන්නේ නැහැ.
අතීතයේ සිටම ථෙරවාදී බුදු දහම ආරක්ෂා කිරීමට කැප වූ ශ්‍රී ලංකාව එය තවදුරටත් සුරක්ෂිත කරමින් ලෝකයට ගෙන යාමට කැපවිය යුතුයි. කෘතිම බුද්ධිය ප්‍රයෝජනයට ගනිමින් මෙම උතුම් කාර්යය ඉටුකිරීමේ වැඩපිළිවෙළ මහා සංඝරත්නයෙන් අවවාද අනුශාසනා මෙන්ම උගත් වියත් පිරිසකගේ අදහස් ලබාගෙන ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. එම කටයුතු සම්බන්ධීකරණය සදහා ජනාධිපති ලේකම්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාද පත් කර තිබෙනවා. ඉන්පසුව සාකච්ඡා මාර්ගයෙන් මෙම කටයුතු ඉදිරියට කරගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

වසරේ පළමු කාර්තුවේ ඩොලර් මිලියන 211ක ස්ථිර ආයෝජන ලැබිලා !
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.
එසේම මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
.
වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මගකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බලා විසඳුම් සැපයීමට මේ වන විටත් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩබලන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මෙසේද පැවසීය.
මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට නම් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින නීති පද්ධතිය සංශෝධනය කළ යුතුව තිබෙනවා. ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් ආයෝජනය කිරීමට හැකි පසුබිමක් සකස් කළ යුතුයි. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අප කටයුතු කර ගෙන යනවා. ඒ වගේම මෙරටට පැමිණෙ ආයෝජකයන් මුහුණ දෙන තවත් ගැටලුවක් තමයි ඔවුන්ට තම ආයෝජනවල අයිතිය නොලැබීම. ඊට විසඳුම් වශයෙන් අප ඔවුන්ගේ ආයෝජන අයිතිය තහවුරු වන ආකාරයට නීති පද්ධතිය යාවත්කාලීන කළ යුතුව තිබෙනවා.
යම් ආයෝජකයෙක් මෙරට සිදු කරන ආයෝජනවලදී ඔවුන් අපනයන තත්ත්වයට පත්ව වසර දෙකක් ගත වන තුරු ඔවුන් වෙනුවෙන් විශේෂ බඳු සහන ලබා දීමට රජය අපේක්ෂා කරනවා. ආයෝජකයන් සඳහා ඉඩම් ලබා දීමේදීද පවතින ක්‍රමවේද වෙනුවට නව්‍ය හා විධිමත් ක්‍රමවේද අවශ්‍යතාව නිරීක්ෂණය වී තිබෙනවා. දැනට පවතින ආයෝජනවල බදු කාලය අවසන් වූ පසුව ඒවා නැවත බදු දීමේදී ඔවුන් මෙරට ආර්ථිකයට ලබා දී ඇති දායකත්වය මත සහාය ලබා දීමටද කටයුතු කරනවා. එහි අරමුණ වන්නේ එම ආයෝජකයන් තව දුරටත් අප රට තුළ රඳවා ගැනීමයි.
ඒ වගේම මෙම වසර අවසන් වීමට පෙර සියලුම වර්ගයේ ආයෝජන අවස්ථා ආවරණය වන ආකාරයටනව නීති හඳුන්වා දීම සිදු කරනවා. එම නීති ගෙන ඒමේදී සෙසු රාජ්‍ය ආයතනවල පවතින නීතිවලට බලපෑමක් නොවන ආකාරයට සිදු කිරීමටද අප අපේක්ෂා කරනවා.
මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බැලීමට අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන ප්‍රධානීන් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ආයෝජකයන්ට කෙටි, මධ්‍ය හා දිගු කාලීන විසඳුම් ලබා දීමද මෙයින් අපේක්ෂා කරනවා. ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීමත් මෙම කමිටු හරහා සිදු කෙරෙනවා.
පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා තිබූ ආයෝජන ව්‍යාපෘති 73න් 70ක් මේ වන විටත් යළි ආරම්භ කර තිබෙන බවද සඳහන් කළ යුතුයි.
ඒ වගේම “ One Village – One Product” සංකල්පය යටතේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන් අපනයන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. එය ප්‍රාද්ශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමෙන් පුළුල් කිරීමට පියවර ගැනීම රජයේ අරමුණයි.
මෙහිදී යම් නිෂ්පාදනයක් සිදු කර ඒ වෙනුවෙන් වෙළෙඳපොළක් සෙවීම වෙනුවට වෙළෙඳපොල අවශ්‍යතාවයට අනුව නිශ්පාදනය සිදු කිරීමට නිෂ්පාදකයන් පෙළඹවීමක් සිදු කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම මධ්‍යම අපනයන කේන්ද්‍රයක් ස්ථාපිත කර ග්‍රාමීය අපනයනකරුවන් හා අපනයන මණ්ඩලය අතර සම්බන්ධතාව පුළුල් කිරීමට ද පියවර ගන්නවා.
කංසා වගාව සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා 150ක් පමණ ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නම්, තිබෙන නීති සංශෝධනය කර අලුත් නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා. එම කාර්යය ඉටු කිරීම දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනවා. මෙම නීති සම්මත කර ගැනීමෙන් පසුව රක්ෂිත කලාපවල නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ අරමුණ වනවා. එසේම ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සඳහා වන පහසුකම් සළසා දීමටත් ඒ සඳහා වන අනුමැතිය ලබා දීම දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැවරෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපතිවරයා එම සංචාරයේදී ඉන්දීය ජනාධිපති ශ්‍රී මතී ද්‍රොපදී මුර්මු මහත්මිය මුණ ගැසෙන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවී අනෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඉන්ධන කෝටාව ලබන මාස සිට යළිත් ඉහළට
ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බව ය.
ඒවා ඇගයීමෙන් පසු ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නංවන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඩිල්මා නිර්මාතෘ මෙරිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.
අද (20) උදෑසන කොළඹ දී ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
1930 වසරේ මැයි මස 06 වනදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මිය යන විට 93 වන වියේ පසුවුණි.
1950 දශකයේ දී තේ රස පර්යේෂකයෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ මෙරිල් ප්‍රනාන්දු පසුකාලීනව තේ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළේය.
1985 වසරේ දී Dilmah සන්නාමය යටතේ ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යමින් මෙරට තේ කර්මාන්තය නව මඟකට ගෙන ඒමට ඔහු පුරෝගාමී කාර්යයක් ඉටුකළේය.
ඩිල්හාන් සහ මලික් යන ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් සම්බන්ධ කරගනිමින් Dilmah තේ සන්නාමය නිර්මාණය කර ඇති අතර පසුකාලීනව එය ලෝකප්‍රකට සන්නාමයක් බවට පත්වුණි.
මේ වන විට යුරෝපය, ඔස්ට්‍රේලියාව මැදපෙරදිග අප්‍රිකානු කලාපය ඇතුළු රටවල් 100කට අධික ප්‍රමාණයකට Dilmah Tea අපනයනය කරයි.

GSP ප්ලස් සහනය දීර්ඝ කෙරෙයි
යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම අද (19) තීරණය කර තිබේ.
එම තීරුබදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබිණි.
නව GSP ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප්‍රමුඛතා තීරු බදු සහන ප්‍රවේශය මේ නිසා අහිමි නොවන බව යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරයි.
මේ අතර, 2022 වසරේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට යුරෝ බිලියන 3.2ක වටිනා අපනයනයන් සිදුකර ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Page 170 of 463