Image

කිතුණුවන් අභිභවා ඉස්ලාම් භක්තිය ලොව සුවිසල්ම ආගම වන බවට සමීක්ෂණ වාර්තාවකින් හෙළි වේ

කිතුණුවන් අභිභවා ඉස්ලාම් භක්තිය ලොව සුවිසල්ම ආගම වන බවට සමීක්ෂණ වාර්තාවකින් හෙළි වේ

ඉදිරි  දශකයේ මැද භාගය වන විට ඉස්ලාම් භක්තික ජනගහනය කිතුණු ජනගහනය ඉක්මවා යනු ඇතැයි, නවතම වාර්තාවකින් අනාවරණය වේ. වොෂින්ටනයේ, පියු  පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center ) විසින් නිකුත් කර ඇති එම නවතම සමීක්ෂණ වාර්තාවට අනුව, ලොව අන් කිසිදු දහමක් අදහන කාන්තාවන් විසින් බිහි කරන දරු උපත් සංඛ්‍යාවට  වඩා සීග්‍රයෙන්, ඉස්ලාම් කාන්තාවන් විසින් සිදු කරන දරු උපත් ඉහළ යමින් පවතින බව අවධාරණය කර තිබේ. 

ශත වර්ෂ ගණනක් මනුෂ්‍යත්වයේ විශාලතම ආගම වූයේ කිතුණු දහම ය. ගෝලීය මුස්ලිම් ජනගහනය ඉතා සීග්‍රයෙන් වර්ධනය වෙමින් ඇති පසුබිමෙක, 2035 වන විට, අපේක්ෂිත බිලියන 2.52ක කිතුණු ජනගහනයට සාපේක්ෂව, එය බිලියන 2.57 ඉක්මවා යනු ඇතැයි, පියු සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. 

2070 වන විට, ලොව කිතුණු ජනගහනය බිලියන 3කින් අභිබවා, මුස්ලිම් ජනගහනය බිලියන 3.6ක් තෙක් ඉහළ යනු ඇතැයි, එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.  ඒ අනුව, එම වසර වන විට ලෝක ජනගහනයේ බහුතර නියෝජනය ඉස්ලාම් ආගම වනු ඇත. 2020 දී 26%ක් වූ එහි ජනගහන ප්‍රතිශතය, ඒ වන විට 37% දක්වා ඉහළ යනු ඇත.

කිතුණු ආගම ලෝක ජනගහනයෙන් 29%ක පමණ ප්‍රතිශතයක් අඛණ්ඩව නියෝජනය කරමින්, ලොව දෙවැනි විශාලතම ආගම ලෙස පවතිනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

යට කී ජනගහන වෙනසට ප්‍රධානව බලපා ඇත්තේ ඉස්ලාමීය සමාජයේ ඉහළ උපත් අනුපාතය ය.  2020–2025 කාලසීමාව තුළ මුස්ලිම් කාන්තාවකගේ දරු උපත් සාමාන්‍යය 3.1 වූ අතර, කිතුණු කාන්තාවකගේ දරු උපත් සාමාන්‍යය 2.5ක් විය.

එම වකවානුව  තුළ අන්  සියලු ආගමික කාණ්ඩවලට අයත් කාන්තාවන්ගේ සාමාන්‍ය දරු උපත් සංඛ්‍යාව එක් කාන්තාවකට දරුවන් 1.6ක් ලෙස වාර්තා වී තිබේ. එය, එක් පරපුරෙක ජනගහනයේ අඛණ්ඩ පැවැත්මට අවශ්‍ය අවම අනුපාතය සේ ගැනෙන, දරුවන් 2.1ක මට්ටමට වඩා අඩු අගයකි.

පුද්ගල මරණ සංඛ්‍යාවට වඩා උපත් සංඛ්‍යාව ඉහළ යාම, ඉස්ලාම් සහ කිතුණු ජනගහන සංයුතියේ විචල්‍යයන්ට ප්‍රධානතම සාධකය වේ. කෙසේ වෙතත්, ආගම් මාරු කිරීම ද ඊට සාධනීය බලපෑමක් සිදු කර ඇතැයි, ඉහත අධ්‍යයනය පෙන්වා දෙයි.

ඉස්ලාම් සහ කිතුණු  භක්තිකයින්, අන්‍ය ආගම් වැළඳගැනීමෙන්, සිය අනුගාමිකයන් අහිමි කරගන්නා අනුපාතයට වඩා අඩු අනුපාතයකින්, නව අනුගාමිකයින් සිය ආගම් වෙත එක්  කරගන්නා බවට පූර්ව ප්‍රවණතා පවතින්නේය. කෙසේ වෙතත්, ආගම් මාරු කිරීමෙන්  ගිලිහෙන මුස්ලිම් අනුගාමිකයන්ගේ සංඛ්‍යාව, කිතුණු  ආගමට සාපේක්ෂව බෙහෙවින් අඩු අගයක් ගන්නේය. ඒ අනුව, 2020 සිට 2070 දක්වා කාලය තුළ මුස්ලිම්වරුන් මිලියන 8ක්, ඉන් ගිලිහෙනු ඇතැයි අනුමාන කෙරෙන අතර, කිතුණු  ආගමට අහිමි වන අනුගාමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 105ක් වනු ඇත.

2020 සිට 2070 තෙක් ගෝලීය ජනගහනය 29%කින් ඉහළ යනු ඇත. එම වර්ධන වේගයට සාපේක්ෂව හෝ එය අභබිභවා යනු ඇතැයි අපේක්ෂිත  ආගමික කාණ්ඩ දෙක වන්නේ ඉස්ලාම් සහ කිතුණු  ආගම් පමණි. එම වකවානුව තුළ ඉස්ලාම් ආගම 80% කින් ද, කිතුණු   ආගම 30% කින් ද වර්ධනය වනු ඇත.

ඉදිරි කාලයේ, ලොව හින්දු ජනගහනය ද සංඛ්‍යාත්මකව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, ගෝලීය ජනගහනයේ එම නියෝජන ප්‍රතිශතය සුළු වශයෙන් පහළ යනු ඇතැයි අනුමාන කෙරේ. ඒ අනුව, 2070 වන විට එම ප්‍රතිශතය 13.6%ක් වනු ඇත. යුදෙව් ජනගහනය ද ඒ හා සමාන ප්‍රවණතා දක්වන අතර 2070 වන විට එය, ලෝක ජනගහනයෙන් 0.17%ක් වනු ඇත.

මේ අතර, ලොව බෞද්ධ ජනගහනය සංඛ්‍යාත්මකව මෙන්ම, ගෝලීය ජනගහනයේ එම නියෝජන ප්‍රතිශතය අනුව ද පහළ යනු ඇත. ඒ අනුව, 2070 වන විට එම ප්‍රතිශතය 2.5%ක් දක්වා අඩුවනු ඇතැයි සඳහන් ය.

ඉහත අධ්‍යනයට  අනුව ඉදිරියේ, බහායි, දාඕ, ජෛන, සික් සහ තවත් විවිධ ආගම් අදහන්නන් ඇතුළු  සියලු අන්‍යාගමික ජනගහනහි ද සුළු  වර්ධනයක් අපේක්ෂා කෙරේ. එහෙත්, 2070 වන විට එම සමස්ත ප්‍රතිශතය, ලෝක ජනගහනයෙන් 2%කටත් වඩා අඩු අගයක් වනු  ඇත.

කිසිදු ආගමික ඇදහීමකින් හෝ විශ්වාසයකින් තොර  ප්‍රතිශතය ද සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. 2020 දී 24%ක් වූ එම ප්‍රතිශතය 2070 වන විට 17% දක්වා පහළ යනු ඇත.

විවිධ ආගමික කොටස්හි  භූගෝලීය ව්‍යාප්තිය ද විශාල විචල්‍යයන්ට බඳුන් වෙමින් පවතී.

නිදසුන් ලෙස, 2070 වන විට, කිතුණු  ආගම එක්සත් ජනපදයේ විශාලතම ආගම  වුවද, එරට බහුතරය  කිතුණුවන් නොවනු ඇත. ලොව වැඩිම කිතුණු ජනගහනයක් සහිත රට ලෙස මෙතෙක් එක්සත් ජනපදයට හිමි  ස්ථානය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් හිමි කරගනු ඇත.

ඉදිරි දශක කිහිපය තුළ බොහෝ රටවල කිසිදු ආගමක් නොඅදහන ජනගහනය ඉහළ යන බවට පැවති  අනුමානය ද, චීනයේ ජනගහන වර්ධනය හීන වීමත් සමග වියැකී යනු ඇත. ලොව, කිසිදු  ආගමක් නොඅදහන බහුතර ජනගහනය දැනට වාර්තා වන්නේ චීනයෙනි. 

(REUTERS ඇසුරින් හර්ෂ උදයකාන්ත පීරිස්)

2026. 11. 22

https://www.reuters.com/world/middle-east/islam-forecast-soon-exceed-christianity-worlds-biggest-faith-2026-11-19/

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න