පුවත්

ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවතට
ප්‍රතිජීවක ඖෂධයක, කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ, අදාළ එන්නත් කාණ්ඩ ලබාදීමෙන් අනතුරුව ආසාත්මිකතා ඇතිවීම හේතුවෙනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය සහ මහනුවර ජාතික රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා ඇතිවූ එන්නත් කාණ්ඩය එලෙස භාවිතය අත්හිට වූ බවයි.
මහනුවර, ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධය ලබා ගැනීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද, ඔහු සඳහන් කළේ ය.
මේ අතර ප්‍රතිජීවික ඖෂධය ලබාදීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් උග්‍ර වීමෙන් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි චමෝදි සංදීපනී නමැති 21 හැවිරිදි තරුණිය මියගොස් ඇතැයි, අදාළ නිලධාරියා පැවසුවේ ය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (15) ප්‍රකාශ කළේ, අදාළ එන්නත තරුණියට දුන් දිනයේදීම තවත් රෝගීන් 12 දෙනෙකුට එය ලබා දී ඇති බවයි.
ජනවාරි සිට මේ දක්වා රෝගීන් 2,715 දෙනෙකුට පේරාදෙණිය රෝහලේදීම එම එන්නත් කාණ්ඩය ලබාදී ඇතැයි, අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජූනි මාසයේ මහ බැංකුවේ මැදිහත්වීම් මෙන්න !
ජූනි මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 77.5ක් මිල දී ගෙන ඩොලර් මිලියන 91.0ක් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5ක් විකුණලා. මේ ප්‍රමාණය සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් වුවත්, මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් විකුණන්නේ මාස ගණනාවකට පසුවයි.
පසුගිය අප්‍රේල් හා මැයි මාසවලදී මහ බැංකුව ඩොලර් විකිණුවේම නැහැ. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එක පමණයි කළේ. ඊට පෙර මාස තුනේදී යම් ඩොලර් ප්‍රමාණයක් විකිණුවත් ඒ ප්‍රමාණය මිල දී ගත් ප්‍රමාණයට වඩා අඩුයි. සුළුවෙන් වුවත්, ජූනි මාසයේදී මේ ප්‍රවණතාව වෙනස් වෙලා. ඒ වගේම, සුළුවෙන් වුනත් නිල සංචිත ප්‍රමාණයත් පහළ ගිහින්.
මෙම වසරේ පළමු මාස පහ ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 1,899.10ක් මිල දී ගෙන එයින් ඩොලර් මිලියන 226.17ක් නැවත විකුණා තිබුණා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,672.93ක් මිල දී ගෙන තිබුණා. ජුනි අවසාන වෙද්දී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 1,659.43 දක්වා අඩු වෙලා. ඒ වගේම, සංචිත ප්‍රමාණයත් ඩොලර් මිලියන 3,491 සිට ඩොලර් මිලියන 3,468 දක්වා අඩු වෙලා.
විණිමය අනුපාතයේ තාවකාලික විචලනයන් සීමා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් මෙවැනි මැදිහත් කිරීම් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙද්දී මහ බැංකුව මැදිහත් වෙලා විශාල වශයෙන් ඩොලර් මිල දී ගෙන එම පහත වැටීම සීමා කළා. දැන් මිල ඉහළ යද්දී ඒ විදිහට කලින් මිල දී ගත් ඩොලර් වලින් යම් ප්‍රමාණයක් විකුණන එකේ කිසිම වැරැද්දක් නැතත්, මහ බැංකුව විසින් ළඟා කර ගත යුතු විදේශ සංචිත ඉලක්කත් එක්ක මහ බැංකුවට ලොකුවට ඩොලර් විකුණන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම, ඩොලරයක මිල ඉහළ යන එක ලොකුවට පාලනය කරන්න පුළුවන්කමකුත් නැහැ. දිගින් දිගටම ඔය වැරැද්ද කරන්න ගිහින් අත විතරක් නෙමෙයි සරුවාංගෙම පුච්චගෙන ඒ ගින්නෙන් රටම ගිණි තියපු මහ බැංකුව විසින් නැවතත් එම පරණ වැරැද්දම කරන්න උත්සාහ කරන එකක් නැහැ. යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළ එහෙම කරන්න පුළුවන් අවකාශයකුත් නැහැ.
පසුගිය දෙසතියක කාලය තුළ ඩොලරයක මිල ඉහළ යන ප්‍රවණතාවක් පැහැදිලි ලෙසම දකින්න පුළුවන්. එම කාලය තුළ මහ බැංකුව විසින් සුළු වශයෙන් හෝ ඩොලර් විකිණුවා මිසක් මිල දී ගත්තා කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ, බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙලා කියන එක. මේ හිඟයට කරුණු කීපයක් හේතු වෙන්න පුළුවන්.
පළමුව, ඩොලර් මිලියන 855ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 748ක්ම තිබෙන්නේ දේශීය බැංකු සතුව. දේශීය බැංකු වල විදේශ ශාඛා වලින් රජය විසින් ලබාගත් තවත් ඩොලර් ණය යම් ප්‍රමාණයකුත් තිබෙනවා. මේ ණය වලින් 30%ක් නොලැබී යද්දී බැංකු වල ඩොලර් වත්කම්ද ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. ගිණුම්කරණ ක්‍රමවේද වල උදවුවෙන් බැංකු වල ශේෂ පත්‍ර වල මේ විදිහට විදේශ වත්කම් අඩු වෙන එක නොපෙන්වා ඉන්න පුළුවන් වුනත්, එහෙම කළා කියලා කවුරු හරි බැංකුවෙන් ඩොලර් ආපසු ඉල්ලුවාම මතු වන ප්‍රශ්නය නැති වෙන්නේ නැහැ. ඒ නිසා, අඩුව පුරවා ගන්න බැංකු වලට යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගන්න වෙනවා.
මේ විදිහට කප්පාදුවට ලක්වෙන්නේ බැංකු වල දේශීය ණය පමණක් නෙමෙයි. බැංකු විසින් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ප්‍රමාණය ඉහත සංවර්ධන බැඳුම්කර ආයෝජන ප්‍රමාණය මෙන් දෙගුණයකට කිට්ටුයි. මේ ඩොලර් වලින් 30%කුත් ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒ අඩුව පුරව ගන්නත් බැංකු වලට සංචිත හදා ගන්න වෙනවා. මේ වැඩේට කොපමණ කාලයක් යයිද කියලා මම හරියටම දන්නේ නැහැ. මාස කිහිපයක් වෙන්න පුළුවන්. කාලය කොපමණ වුනත් අඩුව පිරෙනකම් ඔය ඩොලර් ඉල්ලුම තිබෙනවා.
දෙවනුව, පසුගිය මාස කිහිපය තුළ ඩොලරයක මිල පහත යාම සහ ඉහළ පොලී අනුපාතික නිසා කෙටිකාලීන ආයෝජන විදිහට රටට ඩොලර් ගලා ආවා. දැන් මේ තත්ත්වයන් දෙකම කණපිට හැරිලා නිසා ඒ ආපු ඩොලර් ආපසු යන්න පටන් අරගෙන. ඩොලර් රටට එද්දී මහ බැංකුව විසින් එම ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කරගත් නිසා අවශ්‍ය වූ විටෙක ආපසු විකුණන එකේ ප්‍රශ්නයක් නැතත්, එහෙම කළොත් මහ බැංකුවේ සංචිත ඉලක්ක වලට යන්න අසීරු වෙනවා. මහ බැංකුව විසින් මිල දී ගත් ඩොලර් ආපසු විකිණුවේ නැත්නම් ඒ ඩොලර් ටික අඩු වෙන්නේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන ඩොලර් වලින්.
තෙවනුව, තවමත් ආනයන පාලන ඉවත් වෙලා නැහැ. මේ තහනම් කොයි වෙලාවේ හෝ ඉවත් කරන්නම වෙනවා. එවිට ඩොලර් ඉල්ලුම ඉහළ ගිහින් ඩොලරයක මිල වැඩි වෙනවා. මේ වැඩේ කරලා ඉවරයක් කරන තුරු, ඔය දිහා බලාගෙන තීරණ ගන්න අය ඉන්න නිසා, ඩොලර් සැපයුම තරමක් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ දැනටත් ඒ වැඩේ වෙනවා. ඒ නිසා, මිල ඉහළ යන එකට බයේ ඔය වැඩේ ප්‍රමාද කරනවානම් ඒක මෝඩ වැඩක්.
ආනයන සීමාවන් ඉවත් කළොත් මිල පොඩ්ඩක් ඉහළ ගිහින් ඊට පස්සේ අළුත් තැනක ස්ථාවර වෙයි. ඔය වැඩේ කරන එක කල් යද්දී ඔය මිල වැඩි වීම දිහා බලාගෙන ඩොලර් සැපයුම්කරුවෝ තමන්ගේ අර්පණයන් ඉහළ දමන එක වලක්වන්න බැහැ. ඒ නිසා, වැඩේ පරක්කු කළත් මිල තෙරපුමෙන් සැලකිය යුතු කොටසක් තිබෙනවා. වැඩේ කරලා අහවර කළානම් ඔය ප්‍රශ්නය ඉවරයි.
සමහර විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වන තුරු හෝ ලෝක බැංකු සල්ලි ලැබෙන තුරු වැඩේ අදිනවා වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ හේතුවක් තියෙනවානම් පොඩ්ඩක් කල් දැම්මට කමක් නැහැ. නමුත් එහෙම කරන්නත් අවශ්‍යම නැහැ. උදාහරණයක් විදිහට ලෝක බැංකු සල්ලි සති දෙකකින් හෝ මාසයකින් එනවනම් ඒ එද්දී මිල පහත වැටෙන බව වෙළදපොළ සහභාගීවන්නෝ දන්නවා. ඒ නිසාම, ඊට කලින් වුනත් අර්පණයන් සිදු කරන්නේ ඒ ගැන සලකලා. ඒ නිසා, ඒ අනාගත මිල අඩු වීමේ බලපෑම කළින්ම එනවා.
ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF සහතිකයක් !
G20 පොදු යාන්ත්‍රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මේ බව ප්‍රකාශ කර ඇත .
අදාළ ක්‍රියාවලිය වේගවත් විය යුතු අතර සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත .
වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදී පොදු යාන්ත්‍රණයකින් පරිබාහිරව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මෙසේද සඳහන් කර ඇත .
"G20 පොදු යාන්ත්‍රණය තුළින් වැඩ්, ඝානාව සහ සැම්බියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරෙනවා. එමෙන්ම පොදු යාන්ත්‍රණයෙන් පරිබාහිරව ශ්‍රී ලංකාව වැනි රටවලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. එහිදී ණයහිමියන් සමග සම්බන්ධීකරණය ඉදිරියට යන බව කිව යුතුයි. අප පිළිගන්නවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් විය යුතු බව. නිශ්චිතව සහ කාලරාමුවක් තුළ ක්‍රියාත්මක වියයුතු බව. එමෙන්ම සාකච්ඡා පැවැත්වෙන කාලසීමාව තුළ ණය අත්හිටුවීම වැනි ක්‍රියාවලි තුළින් ණයගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු වනවා."

ඉන්දියාවෙනුත් ඇවිත් ඉගෙන ගන්න සැලසුමක් සූදානම් !
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.
ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටින අතර කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලඟනා යන ප්‍රාන්ත ඇතුළත්, 2030 වන විට මිලියන 350 ක ජනගහනයක් මෙන්ම ආර්ථික වර්ධනයක් ද පෙන්නුම් කරන දකුණු ඉන්දීය වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම එම අවස්ථාව ලබා දීම රජයේ වගකීම බව ද අවධාරණය කර සිටියේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මෙම අදහස් පළ කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (14) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මෙසේද පැවසීය.
උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක් තරම් විශාල ආර්ථික පරාසයක පැතිර පවතිනවා. එම ක්ෂේත්‍රයෙහි දැනට පවතින තත්ත්වය විධිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ එකඟතාවද යහපත් මට්ටමක පවතිනවා.
අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සියලු දෙනාගේම මානව අයිතියක්. ඕනෑම රජයක් විසින් එම අයිතියට ඉඩ සැලසිය යුතුයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් වනවා.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටිනවා.
ඒ වගේම විදේශීය විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ආචාර්යවරුන් ගේ දැනුම, අත්දැකීම් සහ අධ්‍යාපන ක්‍රම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක්ද සැලසුම් කරමින් සිටිනවා. ඒ ඔවුන්ගේ අධ්‍යයන සහ සෘතු නිවාඩු කාල පරිච්ඡේදයන්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා සම්බන්ධ කර ගනිමින්. ඒ හරහා උසස් අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික විද්‍යාර්ථයින්ගේ අධ්‍යාපනය සංවර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාවයි.
විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමාජගත වන උපාධිධාරීන් ප්‍රශ්න නඟන කණ්ඩායම් වනවා වෙනුවට පවතින ප්‍රශ්නවලට විද්‍යාත්මක හා නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කරන පිරිසක් බවට පත් විය යුතුයි. එවැනි පිරිසක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමාජගත කිරීමත් රජයේ ප්‍රධාන අපේක්ෂාවක් වනවා.
ශ්‍රී ලංකාව සෑම විටම අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටිනවා. දකුණු ඉන්දීය වෙළෙඳපොළ පමණක් කෙරෙහි අවධානය යොමු කළ හොත් එහි කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා ප්‍රාන්තවල 2030 වන විට මිලියන 350 ක ජනගහනයක් සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ ආර්ථිකයද වර්ධනය වෙමින් තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන් යොමු වන්නේ කොහෙටද යන්න මෙහිදී වැදගත් වනවා. ඔවුන්ට දිල්ලියට යෑමට වඩා ලංකාවේ කොළඹට පැමිණ අධ්‍යාපන අවස්ථා සපුරා ගැනීම පහසුයි. ඒ නිසා අප එම වෙළෙඳපොළ දෙස බැලිය යුතුයි.
අපේ රටේ පවතින්නේ වසර 30කට වඩා ගතානුගතික පැරණි අධ්‍යාපන ක්‍රමවේදයක්. නමුත් නෝර්වේ, ස්වීඩනය සහ කාර්මික රටවල අධ්‍යාපන ක්‍රමවේද සමාජ අවශ්‍යතා අනුව ක්‍රමානුකූලව වෙනස් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තවමත් එවැනි තත්ත්වයක නැහැ. අපේ රට සංස්කෘතික රාජ්‍යයක් වීම ඊට හේතුවයි. නමුත් මේ ක්‍රමය ක්‍රමාණුකූලව වෙනස් කළ හැකියි. ඒ වගේම විවිධ ස්වරූපයෙන් පවත්වා ගෙන යන පෙර පාසල් විධිමත් කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. මේවා නිසි නියාමනයකට ලක් විය යුතුයි.
අප බොහෝ කටයුතුවලදී මතවාදී වශයෙන් පොදු එකඟතාවයක නොසිටීම බලවත් අඩුවක්. ජාතික ප්‍රතිපත්ති ගොඩ නැඟීමේදී මෙවැනි පසුබිමක් පැවතීම අතිශය දුෂ්කර තත්ත්වයක්. එසේ වුවත් ඒවාද වෙනස් කර ගනිමින් අපි පවතින අභියෝග ජයගත යුතුයි.
2030 වර්ෂය වන විට සාර්ථක, ඵලදායී, විමර්ෂණ පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණයි.

කොළඹ අඩු ආදායම්ලාභීන්ට නිවාස සංකීර්ණ 06ක් !
කොළඹ අඩු අදායම් ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා මහල් නිවාස සංකීර්ණ 6 ක් ඉදිකරමින් පවතින බවත් එම මහල් නිවාස සංකීර්ණවල නිවාස 4,000 කට අධික සංඛ්‍යාවක් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
කොළඹගේ මාවත, ස්ටේඩියම් ගම, ඇපල්වත්ත, ෆර්ගසන් පාර, ඔබේසේකරපුර සහ මාදම්පිටිය යන ප්‍රදේශවල මෙම නිවාස සංකීර්ණ ඉදිකෙරෙන එම කියන නාගරික සංවර්ධන අධිකාරිය එම නිවාස ඒකකයක් වර්ග අඩි 550 කින් යුක්ත වන බව ද සඳහන් කළේය.
එම නිවාස ලාභීන්ට ඔප්පුව සහ නොමිලයේ ජල සහ විදුලි සම්බන්ධතාව ඇතුළු පහසුකම් රැසක් හිමිවන බවත් ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ අනුග්‍රහය යටතේ එම නිවාස සංකීර්ණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීමට ආයෝජකයන් නෑ !
බරපතළ ණය අර්බුදයකට මුහුණ දී තිබෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි වාර්තා වෙයි .
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ආයෝජකයන් ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරන්න යෙදී සිටියි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව සඳහන් අතර ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බවද වාර්තා වෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් සිටින අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.
ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බවත් වාර්තා වෙයි .
ඊට අනුව ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ.
සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.
ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් ඉවත්කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.
කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.
අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.
. ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.

සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීම අද අරඹයි
චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
රාජ්‍ය අමාතවරයා පැවසුවේ, අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බවයි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ‘සිනොපෙක්’ සමාගම ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇත.
ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සම්බන්ධයෙන් එම සමාගම වෙත බලය පවරා තිබේ.
මෙම ගිවිසුම්ගත වීම ඉදිරි අවුරුදු 20කට බලපැවැත්වෙයි.
සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) කොළඹදී සිදු කෙරුණි.

අතුරුදන් වූ විදේශීය කාන්තාවගේ මළසිරුර සොයාගැනීමට 11 පාබල සේනාංක භටපිරිස්හි සහයෝගය
මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පිහිටි Kandy Backpackers Hostel ආයතනයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම හෝටලයේ නවාතැන් ගෙන සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් පසුගිය බදාදා (12) දින අතුරුදන් වී ඇති අතර අලගල්ල කඳුකරයේ සංචාරයක නිරතව සිටියදී අනතුරට පත්ව සිටි කාන්තාවගේ මළ සිරුර සොයාගැනීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමත්වූහ.
ඩෙන්මාර්ක් ජාතික කාර්බ් මන්ක් එබ්සෙන් (Karb Munk Ebssen) මෙනවිය පසුගිය බදාදා (12) දින පෙරවරු 10.00 ට පමණ අලගල්ල කඳු තරණය කිරීමට ගොස් එදිනම සන්ධ්‍යාවේ ආපසු පැමිණෙන බවට එම හෝටල් බලධාරින් වෙත දැනුවත් කර පිටව ගිය නමුත් එදින නැවත හෝටලය වෙත නොපැමිණ ඇත.
මේ පිළිබඳ හෝටල් බලධාරින් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින පස්වරු 03.00 ට පමණ මහනුවර සංචාරක පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති අතර එම පොලිස් ස්ථානයේ නිලධාරින් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතු සඳහා 11 පාබල සේනාංකයේ භටපිරිස්හි සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.
අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුම්වල නිරත වූ භටපිරිස් අද (14) දින උදෑසන එම කන්ද තරණය සඳහා කඳුවැටිය පාමුල පිහිටි සංචාරකයින් අතර ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක් අසල තිබියදී ජීවිතක්‍ෂයට පත් කාන්තාවගේ මළසිරුර සොයාගනු ලැබීය.
ඉදිරි පරීක්‍ෂණ සඳහා මෘත ශරීරය පොලිස් ස්ථානයට සහ රෝහල වෙත රැගෙන යාමට භටපිරිස් සහ පොලිස් නිලධාරින් මේ වනවිට කටයුතු කරමින් සිටියි.

මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යයි - ජනපති
මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු සම්බන්ධව පැවති සාකච්ඡාවේදී ය.
ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යංශය සහතික විය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක් සතු ඖෂධ ගණන සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ගණන පිළිබඳ දත්ත ලබා දිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමට ද අවස්ථාව හිමි වන බව එහිදී සඳහන් වී තිබේ.
හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරු සිසුන් ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකි වන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 කරයි
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
2024 වර්ෂය අවසානය දක්වා මෙම තීරණය බලාත්මක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගත යුතු බවද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන්ය.

ගානියා බැනිස්ටර්ට අත්හිටවූ සිර දඬුවමක්
ඉදිරි නීතිමය කටයුතු සඳහා භාවිත කිරීමේ අරමුණින් CIDයට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට අද (14) තීන්දුව ලබාදී තිබුණි.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ නියෝග කළේ, රුපියල් 5,000ක දඩයක් සහ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර 05කට අත්හිටුවීමට නියෝග කරන බවය.
එමෙන්ම රුපියල් ලක්ෂ 20 වන්දියක් ගෙවීමට ද ඇයට නියෝග කළ විනිසුරුවරයා, එකී වන්දි හා දඩ ගෙවීමෙන් අනතුරුව සිය අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ආගමන විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසද දැනුම් දුනි.
ඒ අනුව අධිකරණය භාරයේ තිබෙන ඇයගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඇයට භාරදෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.
2020 වසරේදී නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව පවරා තිබූ නඩුව පූර්ව නඩු විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ එක් මූලික විරෝධතාවයක් පිළිගත් විනිසුරුවරයා අධිචෝදනා පත්‍රය සංශෝධනය කරන ලෙසට දැනුම්දී තිබුණි.
ඒ අනුව අද දින සංශෝධිත අධිචෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
2019 වසරේ නොවැම්බර් මස 25 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

කිරිපිටි රේගු බදු ඉහළට !
ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර ඇත.
මුදල් අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ එම බද්ද අද (12) සිට ක්‍රියාත්මක වන බවය.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට සියයට 20 ක හෝ රුපියල් 225 ක රේගු බද්දක් මීට පෙර ක්‍රියාත්මක වූ බවත් කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූව ද කිරිපිටි මිල ඉහළ නොදමන බවත් කිරිපිටි සමාගම් පවසයි.

රාජ්‍ය නව ආදායම් උත්පාදන යෝජනා ඇතුළත් වාර්තාව ජනාධිපතිට !
රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව කියා සිටියේය.
එසේම පසුගිය වසර දෙක, තුන තුළ මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සංවාදයක් සිදු නොවිම අද රටේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආදායම් බදු මෙන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මේ වන විට පාර්ලිමේන්තුව තුළ කමිටු ගණාවක් පත් කර තිබෙන බව කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී භාරදුන් අවස්ථාවේ දීය.
වාර්තාව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා විධිමත් පරිසරයක් නිර්මාණය කිරීම, රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීම සහ ඒ සඳහා ඩිජිටල් ආර්ථික පසුබිමක් සකස් කිරීමට අදාළ යෝජනා මෙම වාර්තාවට ඇතුළත්ය.
මෙම යෝජනා තවදුරටත් සාකච්ඡාවට බඳුන්කර ක්‍රම සහ විදි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දුන්නේය.
එසේම මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී උපරිමයෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පෙනවා දුන් ජනාධිපතිවරයා පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් මගින් මේ පිළිබඳ ජනතාව විධිමත් ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අද තිබෙන ආර්ථික අර්බුදයේ දී අපට තිබෙන ප්‍රධාන චෝදනාවක් තමයි බදු ආදායම නිසියාකාරයට එකතු කර නොගැනීම. ආදායම් බදු ගෙවිය යුතු ඇතැම් පාර්ශ්ව ආදායම් බදු ගෙවන්නේ නැහැ. ඒ වගේම රේගුවේ සිදුවන ප්‍රමාදයන් නිසා සම්පුර්ණ බදු ආදායම රජයට නොලැබීම පිළිබඳ වාර්තා වී තිබෙනවා. ඒ වගේම සුරාබදු පිළිබඳවත් එම චෝදනාව තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අප උත්සාහ කරන මෙම අවස්ථාවේ රට තුළ පූර්ණ මුල්‍ය විනයක් ඇති කළ යුතුව තිබෙනවා. එහි පළමු කාරණය තමයි රජයේ වියදම් පාලනය කිරීම. ඒ පිළිබඳ දැනට වැඩකටයුතු කරගෙන යනවා. දෙවනුව රජය වියදම් කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබා ගතයුතුයි. බොහෝ දුරට එය රාජ්‍ය වියදම් තුළ සිදු වන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළත් අවධානය යොමු විය යුතුයි. තෙවනුව රාජ්‍ය ආදායම් අප ඉහළ නංවාගත යුතුයි. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පත්කර, වගකීම භාර දුන්නේ ඒ සඳහායි. අද මෙම වාර්තාව සකස් කර භාරදුන් හා ඊට සම්බන්ධ වූ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.
අපි ආදායම් බදු ඉහළ නංවා ගත හැකි නව ක්‍රමවේද සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳ මෙම වාර්තාවේ කරුණු රැසක් යෝජනා කර තිබෙනවා. විශේෂයෙන්ම අප පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ රටේ ආර්ථික අර්බුදය ඇතිවිමට ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය වසර දෙක තුන තුළ පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ සාකච්ඡා නොකිරීම වගේම ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ උනන්දුවක් නොදැක්වීම කියලා කියන්න පුළුවන්. එහෙත් දැන් අප ආදායම් බදු සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයන්න කමිටු ගණනාවක් පත් කර තිබෙනවා. එම කටයුතුවලදී අප මෙම අලුත් ක්‍රමවේද සොයා බැලිය යුතුයි.
ඒ වගේම මෙම කටයුතුවලදි ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා. යම් අයෙකු ඊට අකමැති නම් ඔවුන් එම අංශවලින් ඉවත් විය යුතුයි. මොකද ඩිජිටලකරණයට කාලසීමාවක් ලබාදෙමින් ඒ අනුව ක්‍රියාත්මක විමට මම අපේක්ෂා කරනවා. එහි අඩු පාඩු සිදු වුවහොත් ඊට අදාළ පියවර ගැනිමට සිදු වෙනවා.
විශේෂයෙන්ම අප මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය ලබාගත්තේ එක්සත් රාජධානියෙන්. අද එම ක්‍රමවේද බොහෝ දුරට දියුණු කර තිබෙනවා. ඒ නිසා අලුත්ම ක්‍රමවේදය දෙස බලා අපට අවශ්‍ය ක්‍රමවේදය සකස් කළයුතුයි. විගණන පනත තුළත් ඒ සඳහා නව නීති සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.
මේ පිළිබඳ කැමරන් අග්‍රාමාත්‍යවරයා යටතේ කටයුතු කළ අමාත්‍යවරයා තමයි ෆ්‍රැන්සිස් මෝඩ්. මෙම අංශයේ ප්‍රතිසංස්කණය පිළිබඳ අදහස් ලබා ගැනීමට අපි එතුමාටත් ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයන් මේ රටට පැමිණිමෙන් පසු වැඩි අවධානයක් යොමු කළේ ආදායම් එකතු කිරීම පිළිබඳවයි. ඒ සඳහා ආදායම් නිලධාරින‍් සිටියා. මුළු පළාතම එක ඒජන්තවරයෙකු යටතේ පාලනය වන විට ආදායම් නිලධාරින් සහ දේශීය නිලධාරීන් වූ මුදලිවරුන්, රටේ මහත්වරුන් ආදායම් එකතු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා. ඒ නිසා කිසිදු අවස්ථාවක ආදායම් අඩු වුණේ නැහැ. තේ, පොල්, රබර් කර්මාන්ත දියුණුවීමත් සමඟ ආදායම් ඉහළ ගියා. නමුත් 70 දශකයේ සිට ආදායම් අමතක කර කටයුතු කළා. රටේ පරිපාලන අංශයෙන් ආදායම් උත්පාදනය ඉවත් කර තිබෙනවා. ආදායම් අමතක කළා පමණක් නොව, රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වියදම් කර තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,
ජනතාවට බරක් නොවන පරිදි පවතින ආදායම් මාර්ග විධිමත් කිරීම හා නව ආදායම් මාර්ග හඳුන්වා දෙමින් කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන යෝජනා ඇතුළත් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
රාජ්‍ය ආදායම් පිළිබඳ අභියෝගය තුළ අප විශාල අත්දැකීම් ප්‍රමාණයකට මුහුණ දී දැන් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම අනුව යම් ස්ථාවරත්වයකට පැමිණ සිටින බව කිව යුතුයි. ඒ වගේම දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම සඳහා තවත් ළගාකරග යුතු ඉලක්ක රාශියක් තිබෙනවා.
නව බදු හඳුන්වාදීම්, බදු ප්‍රතිශත ඉහළ නැංවීම යන සීමාවන්වල අප උපරිමයට ළගා වී තිබෙනවා. ඒ නිසා අපට දැන් අවධානය යොමු කිරීමට සිදුව තිබෙන්නේ බදු පදනම පුළුල් කර ගැනීම සහ බදු දැලේ තිබෙන සිදුරු අවම කිරීම යන කරුණු පිළිබඳවයි.
ඒ වගේම තරගකාරිත්වය සහ විනිවිදභාවයෙන් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මේ පිළිබඳ අප සෑම පාර්ශ්වයක් සමගම දිගින් දිගටම සාකච්ඡා කරනවා. බොහෝ කාලයක් ආන්දෝළනයට ලක්ව තිබූ කරුණු යම් සාධාරණ තැනකට ගෙන ඒමට මෙම සාකච්ඡා ඉවහල් වුණා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ආර්.එම්. පී. රත්නායක ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කඩිනම් ඩිජිටල්කරණයට යාමේ වැඩසටහන ඔක්තෝබරයේ ඇරඹේ !
ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒම, විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම මෙරට සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ද ඉදිරියේදී කටයුතු කරන බව කනක හේරත් සඳහන් කළේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒමට කටයුතු කරනවා. රටේ ඩිජිටල් ආර්ථික නියාමන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ වැඩසටහනක් ද අප අරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයකට ගෙන යෑම සඳහා මෙම ඔක්තෝබර් මස මැද සිට නොවැම්බර් මාසයේ මැද දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් DIGIECON SRI LANKA 2023 – 2030 වැඩසටහන දියත් කෙරෙනවා. ලෝක බැංකුවේ තාක්ෂණික සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩසටහන ප්‍රදර්ශන, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ඇතුළු අංග ගණනාවකින් සමන්විතයි.
එමගින් ඩිජිටල්කරණය අපනයන කේෂ්ත්‍රයට ද හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහිදී මූලික වශයෙන්ම රටේ තාක්ෂණ හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණ ප්‍රමිතීන් භාවිතයට ගැනීමට බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික වෘත්තිකයන්ට ඩිජිටල් NOMAD වීසා වැඩසටහන ආරම්භ කිරීම, විද්‍යුත් ගෙවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම DIGIECON – 2023 හි ප්‍රධාන අරමුණු අතර වෙනවා.
ඒ වගේම තොරතුරු තාක්ෂණය, කර්මාන්ත අංශය, අධ්‍යාපන හා පර්යේෂණ අංශ පිළිබඳව ද එහිදී අවධානය යොමු කර තිබෙනවා. රටට ආයෝජන අවස්ථා මෙන්ම තාක්ෂණය හඳුන්වාදීම ද ගෝලීය වැඩසටහනක් වශයෙන් සිදු කෙරෙනවා. මේ සඳහා අදාළ කේෂ්ත්‍රවල කටයුතු කරන ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද නියමිතයි.
මීට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ මේ වසර තුළ පාසල් 1000ක් සඳහා ෆයිබර් තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා. දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම පාසල් දහස හඳුනාගෙන තිබෙනවා. එහි කේෂ්ත්‍ර පරීක්ෂණ ද ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ වසර 1½ ක් ඇතුළත සන්නිවේදන තාක්ෂණ පහසුකම මුළු දිවයිනටම ලබාදීමට පියවර ගන්නවා.
එසේම මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට නව ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වාදීමට ද නියමිතයි. මෙයට අදාළ අවබෝධතා ගිවිසුම ඉන්දු - ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් වශයෙන් 2022 වසරේ මැයි මස 28 වැනිදා අත්සන් කරනු ලැබුවා. පළමු අදියර වශයෙන් මෘදුකාංග සංවර්ධනය කිරීමට ඉන්දියානු රුපියල් මිලියන 300ක් ලබා දී තිබෙනවා. මෙරට සන්නිවේදන තාක්ෂණික ආයතන මගින් මෙම වැඩසටහන පූර්ණ අධීක්ෂණයට ලක් කෙරෙනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය මෙරට ස්ථාපිත කිරීම මෙන්ම ඩිජිටල්කරණයේදී හැඳුනුම්පත ද ඉතා වැදගත් වන බව කිවයුතුයි.
මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඉපදෙන සෑම දරුවකුටම අනන්‍යතා අංකයක් ලැබෙනවා. ඒ වගේම අවුරුදු 15ක් වන විට හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙම හැඳුනුම්පත සකස් කරන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලවයි.
අවුරුදු දෙකක් ඇතුළත මෙරට සෑම පුරවැසියකුගෙන්ම ඊට අදාළ දත්ත ලබා ගැනීමට කටයුතු කරනවා. මේ තුළින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවාවක් ලබා ගැනීමට යෑමේදී ලිපිගොනු රැගෙන යෑමට අවශ්‍ය වෙන්නේ නැහැ. තම අනන්‍යතා අංකය ඔස්සේ අදාළ සේවා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කිසිවකුටත් අනවසරයෙන් දත්ත වෙනස් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
එසේම විද්‍යුත් ගෙවීම් සම්බන්ධයෙන් ද දීර්ඝ කාලයක් තිස්සේ නොයෙක් ආකාරයෙන් ව්‍යාපෘති සිදුවෙමින් තිබෙනවා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල ද දැනටමත් විද්‍යුත් ගෙවීම් ක්‍රමය ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම ලබන වසරේ මාර්තු මාසය වන විට සියලුම රාජ්‍ය ආයතනවල විද්‍යුත් ගෙවීම් ක්‍රමය සකස් කර අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. දැනටමත් මුදල් අමාත්‍යාංශය යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
මේ වසර අවසන් කාර්තුවේදී රාජ්‍ය ආයතන කිහිපයක නියමු වැඩසටහන් සහ පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. අක්‍රමිකතා, දූෂණ නතර කිරීමට මේ තුළින් අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම මෙරට විශ්වවිද්‍යාලවලින් පිටවන්නේ බහුතරයක් කලා උපාධිධාරීන්. ඔවුන් සඳහා වෘත්තීය අභිමුඛ සය මාසික පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව සලසා දීමට රජය කටයුතු කරනවා. නමුත් එය සිදු කරන්නේ එම කලා උපාධිධාරීන්ගේ කැමැත්ත අනුවයි.
ඉදිරියේදී සයිබර් අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරනවා. දැනටමත් එහි පූර්ව කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම 2022 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් දත්ත ආරක්ෂණ පනත මගින් ස්ථාපිත කිරීමට යෝජිත “අධිකාරිය” මේ වසරේදී ස්ථාපිත කිරීමට ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ව්‍යවසායක කාන්තාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම හා ඔවුන්ගේ සේවා අවශ්‍යතාව වෙනුවෙන් “සුහුරු ලිය” වැඩසටහන යටතේ මේ වන විටත් කාන්තාවන් 17,000කට ව්‍යවසායක පුහුණුව ලබා දීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සුදානම් වෙමු - අධ්‍යාපන ඇමති
ඉතා කෙටි කාල සීමාවක් තුළ වේගයෙන් දැනුම දෙගුණ වන ලෝකයක කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සිදු වන අනාගත වෘත්තීය ජීවිතය ජය ගන්නට නම් අප මේ අවස්ථාවේ සිට ම හිඟ මානව සම්පත මනා ව කළමනාකරණය කරගනිමින් ප්‍රශස්ථ සේවයක් ලබාගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසිය.
වෘත්තීය නිපුණත්වය වැඩිදියුණු වන්නේ කල් ඉකුත් වූ දැනුමෙන් නොව යාවත්කාලින කරගත් තාක්ෂණය පදනම් වූ නව දැනුමෙන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමිණි.
ඉදිරියේ දී නඩුකටයුතු පිළිබඳ සමථකරණයකට එළඹීමෙන් පසු පෙර පැවැත්වීමට නියමිත ව තිබූ උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වා ප්‍රතිඵල අනුව අනතුරුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන් වශයෙන් බඳවාගත් පසු මෙම ගුරු හිඟය බොහෝදුරට මගහැරී යනු ඇති බව ද ඉන්පසු ගුරුතුලනය යථාවත් වී පාසල් පද්ධතියේ කළමනාකරණ ව්‍යුහය ද ශක්තිමත් වීම නිසා එහි පරිපාලන කටයුතු පහසු වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
''අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවකම වැටුප් විෂමතා ඉවත් කිරීමට නුදුරේදිම පියවර ගන්නවා''
එමගින් පාසල් කළමනාකරණයට අවශ්‍ය මානව සම්පත ද ප්‍රමාණවත් පරිදි ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ අමාත්‍යවරයා, ඊළඟ මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගැඹුරු මට්ටමින් සාකච්ඡා පවත්වන අතර මේ වන විටත් අදාළ වෘත්තීය සංගම් සමග ඉතා සුහද මට්ටමින් කටයුතු සිදු කෙරීගෙන යන බව ද සඳහන් කළේ ය.
තවද ‘ළඟ ම පාසල හොඳ ම පාසල‘ වැනි සංකල්ප ඉදිරියට ගෙනවිත් පාසල්වලට අවශ්‍ය භෞතික පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

භාණ්ඩාගාර බිල්පත් පොළිය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (12) කැඳවා ඇති අතර එම භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 194,890 ක ලංසු ඉදිරිපත් වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහිදී රුපියල් මිලියන 99,660 ක ලංසු පමණක් පිලිගත් බව කී මහ බැංකුව දින 91 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 17.79 සිට 19.08 ක් දක්වාත්, දින 182 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 15.93 සිට 16.95 ක් දක්වාත් සහ දින 364 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 13.86 සිට 14.04 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.

බදු පොල්ලේ තරම මහින්දානන්ද හෙළිකරයි !
මෙරට ආදායම් බදු පෞද්ගලිකව ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින පුද්ගලයන් ලක්ෂ පහෙන් ආදායම් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි .
මෙරට සීමිත සමාගම් 105,000ක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින බවත් එම සමාගම්වල බදු ආදායමෙන් සියයට 82 ක් ලැබෙනුයේ සමාගම් 382කින් බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට ඇති හිග බදු මුදල වන රුපියල් කෝටි 90400 ක මුදල අයකර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත .
බදු ආදායම් අයකර ගැනීම ක්‍රමවත් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කරගෙන යන බව සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇත .
මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ලැබෙන සහයෝගය අගය කරන බවයි.
පසුගිය 2023 වර්ෂය සඳහා රජය ලබාදී ඇති බදු ආදායම් ඉලක්කය වන රුපියල් කෝටි ලක්ෂ 16ක මුදල මුල් මාස 6 තුළ සියයට 40 ක් ලෙස සහ ඉතිරි මාස හය තුළ සියයට 60ක් වශයෙන් ඉපයීමට අපේක්ෂිතවූ බවත් මුල් මාස 6ට අදාළ ඉලක්කය මේ වනවිට සපුරා ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.
එයට අමතරව ඉතිරි මාස 6 දී අපේක්ෂිත බදු ආදායම් උපයා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසිය.
මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්ගමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යනාදී ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ඉතා ඉක්මනින් සකසා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම මෙරට පෞද්ගලික බදු ලිපිගොනු නැවත ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන්වන විමලවීර දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සුදත් මංජුල, ගුණතිලක රාජපක්ෂ, ධම්මික පෙරේරා, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, මධුර විතානගේ, එම්. මුසාම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

හිමිනමක හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පහරදුන් චණ්ඩින්ට ඇප නෑ !
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුළදී හිමි නමක සහ කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනා ලබන 26 වෙනි දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර අද (12) දින නියෝග කළාය.
මෙකී සිදුවීමට අදාළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවති අතර එහිදී එම සැකකරුවන් අට දෙනා අතුරින් හත් දෙනෙකු හදුනා ගැනීමට සාක්ෂිකරුවන් දෙදෙනකු සමත්ව ඇති අතර එක් සාක්ෂිකාරියක කිසිවකු හදුනා ගැනීමට සමත්ව නැත.
මෙලෙස රිමාඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ කඩුවෙල ඉහල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන රසික හේමන්ත , අජිත් රංගජීව , මද්දුමගේ විජේසේන, චමින්ද රුද්‍රිගු , ඉමාන් නිලුක්ෂ රුද්‍රිගු , නික්සන් අප්පුහාම් , රොහාන් උදයංක ද සිල්වා සහ දිලාන් සුරංග යන අය වේ.
මෙහිදී පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත කරැණු දක්වමින් පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තවක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට සිටින බවට පොලිසිය දැනුවත් කර ඇති බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි.
Page 172 of 463