V2025

පුවත්

හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමති ගේ සමාගම් නිල් වලා ද්‍රෝණියේ මැටි කැණීමට එයි !

පරදුව යායේ ගොවීහු කුඹුරට පැමිණියේ යල් කන්නයේ අස්වනු ලැබූ ඉපනැල්ල පෙරළා බිඳ නැවුම් පස පෙරළුණු පිණිසය. ඉල් මහේ ඇදවැටුණු මහ වැසි කුඹුරු ලියැදිවල පිරී පැවතිණි. මාස් කන්නය අස්වද්දනු පිණිස ගොවීහු කුඹුරු යායේ මඩ කළල් කරන්නට පටන් ගත්තේය. ඔවුන්ගේ විලාසයේ තිබුණේ මහ පොළොවටත් නොරිදෙන රිද්මයකි. යායේ අනෙක් කෙළවර දැවැන්ත බැකෝ යන්ත්‍ර මොර දෙමින් මහ පොළොවත් කපා හාරා තුවාල කර මහා පතල් කපන්නට පටන් ගත්තේය. ගිජු ලිහිණියෙකු ට ගොදුරුවූ හාවෙකුගේ අතුණුබහන් ඇද කන්නාක් මෙන් පොළොව අභ්‍යන්තරයේ ඇති මැටි නිධි සමාගමට අයත් බැකෝ යන්ත්‍ර විසින් ගොඩට ඇද ටිපර් රථ වලට පටවනු ලැබිණි. මේ විනාශය දෙස සංවේගයෙන් බලා සිටිනු වෙනුවට සිය මුතුන්මිත්තන්ගෙන් දායාද වශයෙන් ලැබුණු මේ කුඹුරු යායේ මැටි කැනීමට ගොවිහු එක හෙළා සිය විරෝධය ප්‍රකාශ කළේය. මේ මහා පරිසර විනාශයට එරෙහිව උපදේශයේ මැටි කර්මාන්ත කරුවෝත් සිවිල් සංවිධාන පරිසර සංවිධාන හා අකුරැස්ස ගොවි සංවිධාන සමූහයත් එක්ව ගම සුරකින සමගි පවුර නම් සංවිධානයක් ද පිහිටුවා ගනු ලැබීය. සමාගමේ මොර දුන් බැකෝ යන්ත්‍ර ගොලු වූයේ ඉන් පසුවයි. එහෙත් ඒ වන විටත් මැට් කියූබ් පහලොවක මැටි තොග සමාගම විසින් නීති විරෝධීව සිය කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කරගෙන තිබිණි. මැටි කණිනු ලැබූ සමාගම පවසන්නේ කෙසේ හෝ මේ මැටි නිධිය ගොඩට ගැනීමට තමන් කටයුතු කරන බවයි. විද්‍යාත්මක ක්‍රමවේදයක්‍ ඔස්සේ එය කිරීමට අපේක්ෂා කරන බව ද සමාගමේ නියෝජිතයකු අපට පැවසීය. ඒ අනුව මේ නිහැඬියාව ඔවුන්ගේ විද්‍යාත්මක ක්‍රමවේදය සොයාගන්නා තුරු පමණක් බව පැහැදිලිය.

විකිණීම සහ මිලදී ගැනීම.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරදුව උතුර දකුණ සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් තුල පිහිටි පරදුව වත්ත බ්‍රිතාන්‍ය සමයේ උක් වගාව සඳහා යොදාගෙන තිබූ කෘෂිකාර්මික භූමියකි. අක්කර 300ක් පමණ ඊට අයත්ව තිබූ බව සඳහන්. ඉන් අක්කර අනූවක් පමණ ගොඩ ඉඩම් වන අතර අනෙක් සියල්ලම මඩ ඉඩම් හෙවත්කුඹුරු ඉඩම් ය. රබර් සහ පොල් වගාවට යොදාගත් අක්කර 90ක කොටස හැරුණු කොට සෙසු සියලු ම කුඹුරු ඉඩම්" අඳය" හෙවත් අඳ ගොවියන් විසින් සරුසාර කරනු ලැබීය. පරදුව උතුර-දකුණ නැගෙනහිර ගොවි පවුල් 400ක් පමණ පරදුව වත්තට අයත් උක්වත්ත යාය ඇතුළු කුඹුරු ඉඩම් සරුසාර කෙත් යායක් ලෙස පවත්වාගෙන එනු ලැබීය. එක් කන්නයක් හෝ අත් නොහැර "අඳය" නිසි පරිදි වතු සමාගමට ලබා දෙමින් ඔවුහු මේ කාර්යයේ නිරත විය. එක්දාස් නවසිය හැත්තෑ දෙකේ ඩී පරදුව වත්ත අයිතිව තිබුණේ මාකර් මරික්කාර් නම් පුද්ගලයකුටය. පසුව ඒ එම් එස් මරික්කාර් එම් ජේ එම් මුබාරක් ඇතුළු පුද්ගලයන් දහතුන් දෙනෙකුට මේ ඉඩම් බෙදී ගොස් තිබූ බව සඳහන්. ඉක්බිතිව පරදූව වත්ත සඳහා නීත්‍යානුකූල නොවන ඔප්පුවක් පිළියෙල කර ඇත්තේ ඊට අක්කර 299 ක් රූඩ් 02 ක් පර්චස් 31.49 ක්‍ අයිතිව ඇති බව පෙන්වා දෙමිනි.2021 මාර්තු 10 වන දින සී.පී හෝල්ඩින්ග්ස් (cp holding (pvt) සමාගමට පරදුව වත්ත විකිණීමට පියවර ගෙන ඇත්තේ එම ඉඩම් ප්‍රමාණය ඇතුළත් කරමිනි. අඳය හෙවත් අඳ ගොවීන්ගේ අයිතීන් කුඹුරු පනතේ දක්වා ඇති නිසා පරදුව වත්ත වතු සමාගම සිය අක්කර 299 ට කුඹුරු ඉඩම් අයත් බව ඔප්පුවේ සටහන් කර නැත.

මැටි කැපීමෙන් එළියට ආ රහස්

අඳ ගොවියන්ට නොදන්වා පරදුව වත්ත වැවිලි සමාගම සී පී හෝල්ඩින්ග්ස් සමාගමට විකිණීමට එරෙහිව පරදුව යායේ ගොවීහු නව සමාගමට "අඳය" දීම නවතා දැමූහ. ඒ 2021 මාර්තු මස දහ වන දින සිටය. එතෙක් වසර 100 කට වැඩි කාලයක් තමන්ගේ මුතුන් මිත්තන් අඳය හෙවත් අස්වැද්දූ කුඹුරු අස්වැන්නෙන් හතරෙන් පංගුවක් පරදුව වත්ත වැවිලි සමාගමට පුදනු ලැබීය. නව සමාගම හෙවත් සී පී හෝල්ඩින්ග්ස් සමාගමට පරවේණිය හෙවත් අඳගොවියන් විසින් ගෙවිය යුතු අස්වනු බද්ද ප්‍රශ්නයක් නොවීය. ඔවුන්ට අවශ්‍යව තිබුනේ සමාගම සතු අයිතිය පෙන්වා අඳ ගොවියන් මේ ඉඩම් වලින් පන්නා දමා මේ සරුසාර කෙත් යායේ පතල් කපා නිල්වලා ද්‍රෝණියේ ඇති බෝල මැටි නිධිය කැණීම ය. සමාගමට මෙසේ මැටි කැණීමට බලපත්‍ර ලැබුණේ කෙසේදැයි ගොවීහු තොරතුරු රැස් කරන්නට විය. දුෂිත ගනුදෙනු එළියට ගලා ආවේය. ඒවා පුදුම සහගතය.

මුලා කිරීමේ සිතියම හමුවීම.

1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත මගින් අක්කර 50ට වැඩි ඉඩම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් රජයට පවරාගැනීම ට කටයුතු කෙරිණ.පනතේ විධිවිධාන වලට අනුව එහි පළමු කොටසේ කෘෂිකාර්මික ඉඩම් පිළිබඳ උපරිමය ඡේදය යටතේ දක්වා ඇත්තේ " මේ පනත ආරම්භ වීමේ දිනයෙහි හා ඉන් පසු යම් තැනැත්තකු විසින් අයිතිව තබාගතහැකි මේ පනතෙහි උපරිමය යනුවෙන් සඳහන් කරනු ලබන වැඩිම කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය (අ ) එම ඉඩම තනිකරම කුඹුරු වලින් සමන්විත නම් අක්කර 25 ක් විය යුතුය. නැතහොත් (ආ ) එම ඉඩම් තනිකරම කුඹුරු වලින් සමන්විත නොවේ නම් අක්කර 50ක් විය යුතුය එහෙත් ඒ අක්කර 50 ට කුඹුරු කිසිවක් අඩංගු වේ නම් ඒ කුඹුරු වල මුළු ප්‍රමාණය(අ ) ඡේදයෙහි නිශ්චිතව සඳහන් කුඹුරු පිළිබඳ උපරිමයට වැඩි නොවිය යුතුය. යන්නය. පනතේ දහ වැනි වගන්තියේ දක්වා ඇත්තේ " මේ පනතෙහි විධිවිධාන යටතේ යම් කෘෂිකාර්මික ඉඩමක අයිතිය වෙනස් වීමෙන් 1958 අංක 1 දරණ කුඹුරු පනත යටතේ අඳය "ගොවීන්ගේ අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් ඇති නොවිය යුතු බවය.

අක්කර හතළිස් නවයක් පෙන්වා අක්කර දෙසිය පනහක් ක්‍ සැඟවීම හෙවත් ග්‍රාම නිලධාරීවරයාගේ උප්පරවැට්ටිය

1972 අංක 1 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතට අනුව පරදුව වත්තට අයිති ඉඩම් ප්‍රමාණයක් ඊට අදාල ඔප්පුවත් සකස් කර දීමේ වගකීම බාරගෙන තිබුනේ ඒවා කට පරදුව උතුර (359) ග්‍රාම නිලධාරී ඩි. වයි. කරුණාදාස මහතාය. මැනීමේ නියෝගය අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මායිම් පෙන්වා දුන්නේ ඔහු විසිනි. ඒ බව මාර 569/302 මූලික පිඹුරේ පැහැදිලිව සටහන් කර ඇත. අක්කර දෙසිය අනු නවයක් හිමිව තිබූ පරදූව වත්ත අක්කර 49 යි රුඩ් 3 පර්චස් 14 කට මැනීම්කටයුතු කර තිබුනේ ඊට කුඹුරු අක්කර හතරක් ද ඇතුළත් බව පෙන්වා දෙමිනි. පරදුව වත්තට අයිති නීත්‍යානුකූල කොටස එයයි.එවකට පරදුව වත්තේ හිමිකරු ලෙස නම් කර තිබුණේ, කොළඹ 3 ගෝල්ෆේස් කෝට් 2හි අංක 26 පදිංචි ඒ එච් මාකන් මාකර් නමැත්තෙකු ය. කැණීම් කටයුතු අවසන් කර ඊට අදාළ පත්තිරු සකස් කර තිබුණේ 1976.11.05 දිනය. මේ මැනීම් කටයුතු සිදු කරද්දී පරදුව වත්තට අයත් නොවන ඔවුන් විසින් භුක්ති විඳි බව පෙන්වා දෙමින් අක්කර 25 ක්‌ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා දීමට ක්‍රියා කෙරිණි. රජයට පවරා ගත් එම අක්කර 25 න් අක්කර පහ ක්‌ පරදූව ජිනරතන හිමි ට ත් අක්කර හයක් කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සඳහා අකුරැස්ස ප්‍රාදේශීය සභාවටත් ඉතිරි අක්කර දාහතර පොදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු අමාත්‍ය එච්.ජී සිරිසේන මහතාටත් ලබාදී තිබේ. අමාත්‍යවරයා ලබාගත් අක්කර දාහතරේ පොදු ව්‍යාපෘති කිසිවක් ක්‍රියාත්මක වූයේ නැත. අද එම ඉඩම එච් ජී. සිරිසේනගේ පුද්ගලික පොල්වත්ත කි. සියලු කටයුතු අවසානයේ පරදුව වත්තට අක්කර 49 ක නීත්‍යානුකූල ඔප්පුවක් සකස් කරදීමට පරදුව උතුර ග්‍රාම නිලධාරි ඩි. වයි. කරුණාදාස ක්‍රියාකර තිබුණි. සත්‍ය වශයෙන්ම අක්කර දෙසිය අනූ නවයෙන් අක්කර 49ක් පමණක් පෙන්වා දී ග්‍රාම නිලධාරිවරයා කළේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමග රජය නොමඟ යැවීම ය. අක්කර 250 ක් සඟවා තැබීම ය. මේ අක්කර 250 තුළ පිහිටියේ පරදුව උතුර දකුණ නැගෙනහිර ග්‍රාමසේවා වසම් වල අඳ ගොවියන්ගේ කුඹුරු ඉඩම් ය. පරවේණිය හෙවත් අස්වනු බද්ද ලබා ගනිමින් පරදුව වත්ත සමාගම ඔප්පු රහිතව මේ අක්කර 250 පවත්වාගෙන යාමට කටයුතු කර තිබිණි. ඊට සහාය දුන් ග්‍රාම නිලධාරීවරයාගේ මේ වංචනික ක්‍රියාව වෙනුවෙන් එවකට පරදුව වත්ත පාලනාධිකාරිය ග්‍රාමනිලධාරී ඩී. වයි. කරුණාදාස ට අක්කර දෙකක ඉඩමක් තෑගි කර තිබුණි.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වරයාගේ සමාගමක් විසින් පරදුව වත්ත මිලට ගැනීම.

අකුරැස්ස පරදුව වත්ත සීමාසහිත පරදුව වතු පුද්ගලික සමාගමෙන් 2021 මාර්තු මස දහ වන දින සී පී හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගම මිලදී ගත් බව 2021.03.23 දිනැති ලිපියෙන් එහි අධ්‍යක්ෂ ජේ. එම්. ජේ. පී. ලියනගේ මාතර දිස්ත්‍රික් ගොවිජන කොමසාරිස් වෙත දැනුම් දී තිබේ. අදාල සමගම රෝයල් සෙරමික් ලංකා පී. එල්. සී හා ලංකා ටයිල්ස් පී. එල්. සී සමාගම් වල උප සමාගමක් බව ද එම ලිපියේ දැක්වේ මේ සමාගම් ජාලය හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාට අයත් ඒවාය.2022.11.12 වන දින මාතර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් එස්. එම්. පී. එස් නිරෝශනි imi/c/n/30u/ball clay/2022/6351 දරන බෝල මැටි අයදුම්පත සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයාට දන්වා ඇත්තේ අඳ ගොවියන්ට නොදන්වා කුඹුරු ඉඩම් විකිණීම ක්‌ සම්බන්ධයෙන් 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන ( සංශෝධිත ) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන 2(5) ගන්තිය යටතේ අඳ ගොවි අයිතිවාසිකම් කියාපාන පාර්ශව 45 ක් විසින් පරදුව යායෙ හිටපු සහ දැනට සිටින පාලනාධිකාරියට විරුද්ධව පැමිණිලි 45 ක්‍ තමන් වෙත ලැබී ඇති බවයි. පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තම කාර්යාලයේදී දී සිදු වන බව ද වැඩිදුරටත් දන්වා ඇත.

පාරදූව වත්ත විකිණීම නීති විරෝධී බව පෙන්වා දෙන ගොවිජන සංවර්ධන පනත

2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත තුළින් කුඹුරු ඉඩම් විකිණීම සම්බන්ධයෙන් සුවිශේෂී සීමාවන් පනවා ඇත. පනතේ 2(1) වගන්තිය අනුව කුඹුරු හිමියා විසින් කුඹුරු ඉඩම් විකිණීමට අදහස් කරන්නේ නම් ද පළමුකොටම එම ඉඩමේ අඳ ගොවියෙකු සිටීනම් ද අඳ ගොවියාට ඉඩම් මිල ගනන් සඳහන් කරමින් මිලදී ගැනීමේ අවස්ථාව පිරිනැමිය යුතුය. එම දැන්වීමේ පිටපතක් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන සභාව වෙත ලියා පදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. අයිතිකරු විසින් යෝජනා කරන ලද මිලට අඳ ගොවියා ඉඩම මිලට ගැනීමට කැමති වන්නේ නම් ඔහු විසින් තම කැමැත්ත ඉඩම් හිමියාට සහ ගොවිජන සංවර්ධන සභාවට ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දිය යුතුය. ඉන් අනතුරුව පැවරුම සම්පූර්ණ කළයුතු කාලය සභාව විසින් තීරණය කරනු ඇත. (2(2) එබදු මිල ගණන් ඉදිරිපත් කිරීමකදී අයිතිකරු විසින් යෝජනා කළ මිල අධිකතර බව අඳ ගොවියා ප්‍රකාශ කර සිටී නම් වෙළෙඳපොල මිල සලකා බැලීමෙන් පසු සභාව විසින් මිල තීරණය කරනු ඇත.2(3)(අ ) එලෙස මිල ගනන් නිශ්චය කරගත් පසු සභාව විසින් නියම කරන කාලයක් තුළ පැවරීම සම්පූර්ණ කළ යුතුය. (2(3)(ආ ) යම් අද ගොවියකු විසින් 2(2),2(3) වගන්ති අනුව ක්‍රියාකිරීම කඩ කර ඇත්නම් එම අද ගොවියා එම කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් අස් කිරීමට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලය ඇත. යම් කුඹුරු හිමියකු විසින් පෙරකී විධිවිධාන කඩකර කුඹුරු ඉඩමක් පවරනු ලැබුවේ නම් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් කරනු ලබන පරීක්ෂණයකින් පසුව එකී පැවරීම ශුන්‍ය හා බල රහිත බව කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කල හැකිය. එසේම එම පැවරීම යටතේ එම කුඹුරු ඉඩම් ප්‍රමාණය භුක්තිවිදින තැනැත්තා පනතේ අටවන වගන්තිය අනුව නෙරපා දැමිය හැකිය. (3(5). යම් පැවරීමක් ශූන්‍ය හා බල රහිත බව 3(5) වගන්තිය යටතේ ප්‍රකාශ කරනු ලැබූ විට එම ප්‍රකාශය අදාළ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය වෙත ද යොමු කරනු ලැබිය යුතුය.3(6)ගොවිජන සංවර්ධන පනතේ 8 වන වගන්තිය අනුව ගොවිජන සේවා කොමසාරිස් වරයා වෙත යොමු කරන පැමිණිලි විභාග කිරීමට ඔහුට දිසා අධිකරණය සතු බලතල ඇත. පාරදූව වත්ත විකිණීමේදී කුඹුරු පනත හෝ ගොවිජන සංවර්ධන පනත හෝ ඒවායේ සඳහන් විධි විධාන කිසිවක් සම්පූර්ණ කර නැත. ඒ අනුව බැලු බැල්මටම පරදූව වත්ත විකිණීම කළ එම වතු සමාගමත් වත්ත මිලදී ගත් නව සමාගමත් දෙකම අද ගොවියන්ගේ ඉඩම් අයිතියට පයින් ගසා ඇත.

ජනාධිපතිවරයාට පැමිණිලි.

සමාගමට මේ මැටි නිධිය කැණීම තවත් ව්‍යාපාරික කටයුත්තක් වුවත් පරදුව යායේ ගොවීන්ට නම් ඒය තමන්ගේ අනාගත පරම්පරාවේ බඩගින්න පිළිබඳ සැක සංකා මතු කරන්නකි. සමාගම මේ සරුසාර යායේ මැටි ගොඩ දැමීමට පතල් කැණීමෙන් එතෙක් මෙතෙක් තමන්ගේ ගොවිතැන වගා බිම් අහිමි වීම යනු අඳ ගොවීන්ට ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය අහිමි වීම මිස අන් යමක් නොවේ. පරදුව ග්‍රාමයේ පවුල් 1100 ක පුද්ගලයන් 5370 ක්‌ ජීවත්වන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්තාවල දැක්වේ. පරදුව "වල වෙල " පාරම්පරික මැටි කර්මාන්තයේ නිරත වූ කර්මාන්තකරුවන් මැටි ලබාගත්තේ ද මේ පරදුව යාය ආශ්‍රිතවය. අනාදිමත් කාලයක සිට ඔවුන් මේ කර්මාන්තයේ නිරත වූයේ පරිසර හානියක් නොවන ලෙස මැටි වලවල් නැවත වසා දමමින. මහා පරිමාණ පතල් කැපුවේ නැත. නිල්වලා ගංගා ද්‍රෝණියේ පහළ නිම්නයේ ජීවත්වෙන පරදුව වැසියන් අසාර්ථක නිල්වලා යෝජනා ක්‍රමයෙන් අප්‍රමාණ ගැහැට විඳින්නේ ය. ඉහළ නිම්නයට ඇදවැටෙන සුළු වර්ෂාවකදී පවා ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වේ. කියාඬුව රක්ෂිතයෙන් පටන්ගෙන ගලන නා ගහ දොල ඇල ගලා බසින්නේ ද මේ වත්ත මැදිනි. සරුසාර තෙත් බිමක් වූ පරදුව රකින නිල්වලා ද්‍රෝණියේ පිහිටි බෝල මැටි මහා පරිමාණයෙන් කැණීම් කළ පසුව ප්‍රදේශයේ ළිං ජලය සිඳී යාම හා ගොවිබිම් වියලී යාම ගොවියන්ට කුඹුරු ඉඩම් අහිමි විම කිරි කර්මාන්තයේ නිරත ගොවීන්ට තණ බිම් අහිමි වීම ඇතුළු කෘෂිකාර්මික හා පාරිසරික ගැටලු රැසක් මතුවන බව ගම සුරකින සමගි පවුර නම් සංවිධානය පෙන්වා දෙයි. ඔවුන් මේ විනාශයට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ගෙන් ලිඛිතවම ඉල්ලා තිබේ. ඊට අමතරව අත්සන් දහසක පෙත්සමක් ජනාධිපතිවරයාට භාර දීමට ද ක්‍රියා කරමින් සිටී.

ගොවියන්ට දැනුම් නොදී මේ කුඹුරු ඉඩම් විකිණීමට අපි විරුද්ධයි...! ඒ. කේ.නෙවිල් කුමාර - සභාපති පරදුව උතුර ගොවි සංවිධානය

20221115 103934" පරදුව වත්ත විකිණීමට කලින් අපි හිතුවේ අපි අඳේට වැඩ කළ කුඹුරු ඉඩම් පරදුව වත්තට අයිතියි කියලා. උක්වත්ත යායේ අක්කර 150 ක්‌ විතර තියෙනවා. සමාගම ට මේවා අයිති නැ. සමාගමට මේ කුඹුරු ඉඩම් වලට ඔප්පු නෑ. අපිට අයිතියක් ඇත්තෙත් නෑ අපිට ඔප්පු නෑ ඒත් අපේ පරම්පරාව ජීවත් වුණේ මේ කුඹුරු ඉඩම් වලින්. මැටි කපන්න දෙන්න බෑ අපි මේකට විරුද්ද යි.

සියලු සංවිධාන ඒකාබද්ද කරගෙන මේ විනාශය ට විරෝධය දක්වනවා. ලශිකා ජයලත් - සමාජ ක්‍රියාකාරී අකුරැස්ස.

"මේක පරදුව වත්තේ කුඹුරු ගොවියන්ට බලපාන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේක නිල්වලා ගඟෙන් වතුර බොන ලක්ෂ තුනකට වැඩි ජනතාවට බලපාන ප්‍රශ්නයක්. කළුතර මීටියාගොඩ යන ප්‍රදේශවල මැටි නිධි කැණීම් කරලා කරපු විනාසය නිල්වලා ගංගා ද්‍රෝණියට ගේන්න එපා. සමාගම කියන්නේ මුල් අදියරේ අක්කර 15 ක ගොඩ ඉඩම් වල මැටි කැණීම් කරනවා කියලා ඒ මුල් අදියර පස්සේ තමයි වෙළටත් බහින්නේ.අපි සියලු සංවිධාන ඒකාබද්ධ කරගෙන විනාසයට විරෝධය දක්වනවා.

වගකිවයුතු නිලධාරීන් තීරණ ගත යුතුයි. කුමාරසිරි පතිරණ - පරදුව උතුර ගොවි සංවිධානය.

" මේ පරිසර විනාශයට එරෙහිව වගකිවයුතු නිලධාරීන් නිවැරදි තීරණ ගත යුතුයි. පරදුව කියන්නේ තේ පොල් රබර් කුරුඳු ගම්මිරිස් ආදී අපනයන බෝග සරුවට වැවෙන බිමක් කිරි ගොවීන් මැටි කර්මාන්තකරුවන් කුඹුරු ගොවීන් පවුල් 2000 කට ආසන්නයි. මහා පරිමාණ පතල් කැපීමෙන් යාය විතරක් නෙවෙයි මේ ප්‍රදේශයම මේ ප්‍රශ්නයට ගොදුරු වෙනවා. කුඹුරු ඉඩම් විකුනපු විදියත් වැරදියි ගොවිජන සංවර්ධන පනත ට අනුවගොවිජන සංවර්ධන කොමසාරිස්ට මේ විකිණීම ශූන්‍ය කරන්න පුළුවන්.

මේ පරිසර විනාශය ට එරෙහිව අපි සටන් කරනවා. ජනක හිත්තැටිය ගේ - යාය ගොවි.

" භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය මධ්‍යම පරිසර අධිකාරිය ජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන මේ රාජ්‍ය ආයතන සමාගමේ මේ මැටි කැපීමේ20221115 104819 ව්‍යාපෘතිය නවතා දැමිය යුතුයි. මේක රටටම බලපාන ප්‍රශ්නයක් සමාගමට ඩොලර් පිපාසය තිබුනට අපිට තියෙන්නේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක් මේ කුඹුරු වගා කරලා තමයි අපේ පරම්පරාවම බඩගිනි නිවා ගත්තේ මේක මැටි හාරන්න දෙන්න බෑ මේ විනාශයට එරෙහිව අපි සටන් කරනවා.මොකද මේක අපේ දරුවන්ගේ අනාගතයට බලපාන ප්‍රශ්නයක්.

රතුපස්වල කරපු දේවල් මෙහෙ කරන්න එන්න එපා.නිල්වලා ද්‍රෝණිය වනසන්න ඉඩ දෙන්නේ නෑ.ආර්. කේ අනුර ( විශ්‍රාමික ගුරු ) සභාපති ගම සුරකින සමගි පවුර සංවිධානය

" සමාගමට උවමනා විදියට සමහර රාජ්‍ය ආයතන කටයුතු කරන්න පුළුවන් එහෙම අත්දැකීම් අපට තියෙනවා. මේ ටයිල් සමාගම් පවත්වාගෙන යාමට මැටි කැණීම් කරන්න ඕනේ මේ සරුසාර වෙල් යායවල් වනසල නෙවෙයි. ඒකට සුදුසු බිම් ඔවුන් සොයා ගත යුතුයි. පරදුව මැටි නිදිය තියෙන්නේ නිල්වලා ගඟ ද්‍රෝණියේ. මාතර දිස්ත්‍රික්කයේ සියයට අනුවක් පානීය ජලය සපයා ගන්නේ බලකා වල, කද්දුව, නාදුගල පොම්පාගර වලින් පිරිසිදු කරන නිල්වලා ගඟේ ජලය පරදුවට ඉතාම කිට්ටුවෙන් මේවා තියෙන්නේ මැටි ගොඩ දාන්න පතල් කපන්නේ මේ සංවේදී කලාපයේ එංගලන්තයෙන් කුණු ගෙනාපු ව්‍යාපාරිකයෙක් ගේ සමාගම ක්‌ මේක කරන්නේ ඒ ගෙනාපු කුණු මේ මැටි වල වල් වල පුරවලා මේවා වහලා දාන්නත් පුළුවන් අපි මේකට ඉඩදිය යුතු නෑ. රතුපස්වල කරපු වැඩ මෙහෙ කරන්න එපා.

අඳ ගොවියන්ට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. මුළු ගමම මේකට විරුද්ධයි . ගුණපාල උඩගෙ.- විශ්‍රාමික රාජ්‍ය නිලධාරී, යාය ගොවි.

"සමාගමට පරවේණිය දුන්නේ නෑ කියලා පරදුව වත්තෙ හිටපු වතු අධිකාරී මිල්ලවාන ගොවියන් හතරකට නඩු දැම්මා. ගොවිජන සංවර්ධන පනත ට අනුව අද ගොවියන්ට විරුද්ධව නඩු පැවරිය යුත්තේ ඉඩම් හිමියා විසින් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකු විසින් මිල්ලවාන ට එසේ බලය පවරා නැහැ. ඉඩම් හිමියා මාකර් මරික්කාර් ඔහු ජීවතුන් අතර නැහැ. කොහොම උනත් අපි පෙනී ඉන්නේ අද ගොවියන්ගේ කුඹුරු ඉඩම් කැණීමට එරෙහිව පමණක් නෙවෙයි. මේක රටටම බලපාන පොදු ප්‍රශ්නයක් රට ආහාර හිඟයකට මුහුණ දෙන බව කියලා කුඹුරු යායවල් මැටි කපලා විනාශ කරන්න ඉඩදෙන්න පුලුවන්ද.....?

මම තෑගි ගත්තෙ නෑ.- ඩි. වයි කරුණාදාස - විශ්‍රාමික ග්‍රාම නිලධාරී පරදුව උතුර

ප්‍රශ්න ය - පරදුව වත්ත මැනුම් කටයුතු කරද්දී ඔබ ඊට සහාය දුන්නා ද ඔබට ඒ වෙනුවෙන් පරදුව වත්තෙන් අක්කර දෙකක් තෑගිත් ලැබුණාද..?

" මම තෑගි ගත්තෙ නෑ කවුද කියන්නෙ මම ඒ ඉඩම ගත්තේ මාකර් මරික්කාර් ගෙන් රුපියල් හතලිස් දාහක් ඒකට මම දුන්නා ඔප්පු තිබුණේ නෑ. මම පස්සෙ ඔප්පුවක් හදාගත්තා. වත්ත මනින්න සහය දුන්න කියල කවුද කිව්වේ...? පත්තිරුවේ නම තියෙනවා කිව්වට මම ඒක දැක්කෙ නෑ.. මම තෑගි ගත්තේ නෑ වත්තෙන් අක්කර දෙකක් මට මාකර් මරික්කාර් දුන්නා.

තියෙන සම්පත නැති කරගෙන ඩොලර් ගේන්න මැටි කැපුවම ගොවියන්ටත් ඩොලර් බෙදනවා ද...? ආර්. කේ. චන්ද්‍රසිරි- ලේකම් පරදුව උතුර ගොවි සංවිධානය.

" සමාගම රැස්වීමක් තියලා අපට කිව්වේ රටට ඩොලර් ගෙන මේ ව්‍යාපෘතියට අකුල් හෙලන්න එපා කියලා. ගොවියෝ ඇහුවේ මැටි කපන්න කුඹුරු දුන්නම අපිටත් ඩොලර් බෙදනවා ද කියලා ඒකට සමාගම ට කටඋත්තර නැති උනා. මුලදී පෙන්නන හොඳ මැටි කපා ගෙන යද්දි නැහැ. ඊට පස්සේ එන ප්‍රශ්න වලටත් සමාගම උත්තර දෙන්නෙ නැහැ.

අපිට ජීවත් වෙන්න තියෙන මැටි ටික සමාගම කපාගෙන ගියාම අපි මැටි ගේන්නේ කොහෙන්ද? මැටි කර්මාන්ත ශිල්පිනී ඩබ්ලිව්. එච්. සිරියාවතී - පරදුව දකුණ මැදගොඩ.

" අපේ පරම්පරාවම ජීවත් වුණේ මේ මැටි කර්මාන්තයේන් අවුරුදු සීයකට වැඩි ඉතිහාසයක් අපට තියෙනවා අපි මැටි ගත්තෙ වල වෙල යායෙන්. මැටි ගත්තට පස්සේ අපි ඒ වලවල් එදාම වැහුවා. යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මහා වලවල් කැපුවේ නෑ. සමාගම කරන්නේ බිත්තර දාන කිකිළි මරාගෙන කෑවා වගේ වැඩක් නේ. ඒගොල්ලො පතල් කපල මැටි ඔක්කොම අරගෙන ගියාම අපි ජීවත් වෙන්නෙ කොහොම ද .....

"කෙසේවත් එකග වෙන්න බෑ මේක මහා අපරාධයක්" මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, බමුණුගම ධම්මරතන හිමි - පහුරංවල ශ්‍රී ධර්මරාජ විහාරය

" මේ අඳ ගොවියන්ගේ කරල පැහුනෝත් තමයි මට දානේ ලැබෙන්නේ මේ පන්සල අවට ජීවත් වෙන්නේ මැටි කර්මාන්තයෙන් ජීවත්වෙන අහිංසක පවුල් මේ ගම ගොවි ජනපදයක් මේක වනසන්න ඉඩ දෙන්න බැහැ.. මේ මැටි කැපිල්ලට අපි විරුද්ධයි කෙසේවත් එකඟ වෙන්න බැහැ.

අපි විද්‍යාත්මකව මේ මැටි නිධිය ගොඩට ගන්න කටයුතු කරනවා. ජේෂ්ඨ කළමනාකරු උපදේශක ආචාර්ය පත්මසිරි රණවක - සී. පී. හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම

" ඉඩම මිලදී ගැනීමේදී ඉඩම ලබා දුන් සමාගමත් අපිත් අතර අඩුපාඩු තියෙනවා. නමුත් අපි මැටි සාම්පල් ලබා ගත්තේ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ අවසර ඇතිවයි. මැටි කියන්නේ පොලොව යට තියෙන සම්පතක් ඒක පරදුව වත්තේ අක්කර 100 ක විතර පැතිරිලා තියෙනවා. මේවා රටේ සංවර්ධනයට යොදා ගන්න ධනාත්මකව හිතන්න ඕනේ. පවතින නීතියට එකඟව අපි මේ මැටි නිධිය විද්‍යාත්මකව ගොඩට ගන්න කටයුතු කරනවා.

වත්ත මිලදී ගත්තේ මැටි කපන්න මේක කරන්න අපිට ඉඩ දෙන්න කමල් කුඩාහෙට්ටි - සාමාන්‍යාධිකාරී ලංකා සෙරමික් පී එල් සී

" මුල් අදියරේ අපි කැණීම් කරන්නේ ගොඩ ඉඩම් වල විතරයි නිෂ්පාදන පරීක්ෂාවන් කරන්න ඕනේ නිසා මැටි සාම්පල් අපි ගොඩට ගත්තා. මේ බෝල මැටි නිධිය අක්කර 100 ක විතර පැතිරිලා තියෙනවා මේ වර්ගය කාලයක් තිස්සේ ගලාගෙන ගිහින් ගංගාද්‍රෝණි වල තැන්පත්වලා තියෙනවා. කළුතර මැටි නිධි අවසන් වෙමින් තියෙන්නේ අපි මේ මැටි නිදිය සොයාගත්තේ ටයිල් කර්මාන්තය පවත්වාගෙන යන්න. නමුත් කලින් අත්දැකීම් නිසා අපේ රටේ කිසිවක්කරන්න බෑ රට දියුණු කරන්න හිතෙනවා නම් මේ මැටි නිධිය ගොඩට අරගෙන ඒකට වටිනාකමක් දෙන්න.ඕනේ. අපි අවුරුදු හතලිහක් විතර මේ කර්මාන්තයේ නිරත වෙනවා. පරදුව වත්තේ ගොඩ මඩ ඉඩම් කොටස් දෙකේම මේ බෝල මැටි නිධිය තියෙනවා තවමත් අපි කැනීම් බලපත්‍ර ලබා ගත්තේ නැහැ. ඒ සඳහා ක්‍රියා කරමිනුයි ඉන්නේ කුඹුරු ඉඩම් සම්බන්ධ ව වෙනම ගැටලුවක් තිබෙනවා. ඒ එක වෙන ප්‍රශ්නයක් අපේ නිෂ්පාදන වලින් 5% අපි අපනයනය කරනවා. ඉතිරිය මේ රටට. මැටි කපන්නේ නැතුව මේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ. ඒක නිසා නිල්වලා ද්‍රෝණියේ මේ මැටි නිධිය ගොඩට ගන්න අපිට ඉඩ දෙන්න. අපි කරගෙන යන විදිය පරික්ෂා කරලා තීරණයක් දෙන්න.

දයා නෙත්තසිංහ

ආගමික ස්ථානවල විදුලිබිලට සහනයක් : විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල සඳහා ලබාදුන් සහනය මේ වන විට ක්‍රියාත්මක බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම සහනය විදුලි බිලට ඇතුළත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේය. 

ඒ අනුව සියලුම විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන සඳහා අගොස්තු මාසයේ සිට ආදාළ සහනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කිසිදු ආගමික ස්ථානයක් නම්කර සහන ලබා නොදෙන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් ක්‍රමවේදයට අනුව එම සහනය ක්‍රමානුකුලව සියලු ආගමික ස්ථාන වෙත හිමිවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ම සඳහන් කළේය.

විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි

මේ අතර හෙට (28) සහ අනිද්දා (29) යන දින දෙක තුළ පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බවය.

 

දෙසැම්බර් මස සිට දෛනිකව ගෑස් වෙළෙඳපොළට.....

දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

හෙට(28) සහ අනිද්දා(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේය.

අද දිනයේ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක තොගයක් රැගත් නෞකාවක් දෙසැම්බර් 30 වැනිදා දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළ අතර ඒ අනුව උත්සව සමයට සරිලන පිරිදි ගෑස් ඇණවුම් කර ඇති බව ද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කළේ ය.

දළදා මාළිගයටත් විදුලි බිල බර වැඩිලු !

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝබර් මාසය සඳහා වන විදුලි බිල ගෙවීමට නොහැකි බව එහි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට එහිදී දියවඩන නිලමේ මහජන උපයෝගීතා කොමිසම වෙතින් ඉල්ලා ඇත්තේ, ඔක්තෝබර් මාසය සඳහා මාලිගාවේ විදුලි බිල රුපියල් ලක්ෂ 28ක් පැමිණ ඇති බවත් එනිසා බිල්පත සංශෝධනය කරන ලෙසත් ය.

විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මහජන උපයෝගීතාවය සභාපතිවරයාව මෑතක දී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් සමග ද සාකච්ඡා කර ඇති අතර විදුලි බිල අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවද එහිදී පොරොන්දු වී ඇති බවත් දැනගන්නට ඇත .

මහ බැංකු අධිපති : ජනාධිපති සූට් මහගෙන !

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ජනාධිපති සූට් මහගෙන කියලා දේශපාලන ක්ෂේත්‍රෙය් හාහොවක් යන්න අරගෙන තියෙන්නේ .

දේශපාලන ක්ෂේත්‍රෙය් උදවිය කියන විදිහට ආණ්ඩුවේ වගේම විපක්ෂයේ සෙට් එකක් එකතු වෙලාලු මේ විදිහට නන්දලාල් ඊළඟ ජනාධිපති පොදු අපේක්ෂක කරන්න සූදානම් වෙන්නේ .

ඒ වෙනුවෙන් නන්දලාල් ගේ PR එක හදන වැඩෙත් ආණ්ඩුවේ වගේම විපක්ෂයේ මීඩියා වැඩවල ඉන්න සෙට් එකකට බාරදීලා කියලත් කතා යනවා.

ඒ නිසාලු ජනාධිපතිට පවා හීනියට අනින සීන් එකක මෑන් ඉන්නේ . ඕවා කියන්නේ අපි නම් නෙවෙයි දේශපාලන ක්ශේත්‍රයේ උඩ ලේයර් එක තමයි ඕවා කියන්නේ .

ඒ කතා වල ඇත්ත නැත්ත මොනවා වුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහත් ප්‍රසිද්ධියේ ම නන්දලාල් ගේ ජනාධිපති සිහිනය ගැන කිව්වා .

ඒ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ඊළග ජනාධිපති අපේක්ෂක වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා කියමින්.

මහබැංකු අධිපතිවරයාට එවන් සැලසුමක් ඇති බවත් ඔහු දැනටමත් ඒ සඳහා වැඩ ප්‍රචාරක වැඩසටහනක් අරඹා ඇති බවත් ආශු කිව්වා.

ආශු මේ ගැන කිව්වේ , ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තුලාව දේශපාලන වැඩ වැඩසටහනට එක්වෙමින්.

මේ කතා අහපු තවත් දේශපාලනඥයෙක් කිව්වේ , ගෝඨාභයට ජනාධිපති වෙන්න පුළුවන් නම් ඇයි මට බැරි කියලා නන්දලාල් හිතනවා වෙන්න පුළුවන් කියලා . ඒ වගේම දරන තනතුර අනුව ආශු මෙහෙම කියන්නේ නිකම්ම වෙන්නත් බෑ කියලා.

දේශපාලන වාර්තාකරු

ශ්‍රීලනිප නායක සිහිනය : දයාසිරි ගෙර් කටින් පනියි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ප්‍රතිසංවිධානය කරමින් සිටියදී ඇතැමුන් පක්ශ නායකත්වයට දයාසිරි ජයසේකර පත්වීමේ වැයමක් ඇති බවට බිය වී ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි .

නමුත් තමන් කිසිම අවස්ථාවක නායකයාගේ කකුලෙන් ඇද කටුව ගසන අයකු නොවන බවද ඔහු සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබෙන මතබේදයට ප්‍රධාන හේතුවක් වූයේ පෞද්ගලික මට්ටමෙන් ඊර්ෂ්‍යාව හා වෛරය බවද ඔහු පවසයි .

නියපොත්තෙන් කඩා දැමිය හැකිව තිබූ දේ අවසානයේ පොරොවෙන් කපන තැනට වර්ධනය වූ නමුත් මේ වන විට කුණු කන්දල් පක්ෂයෙන් ඉවත් කර ඇති බවද ශ්‍රීලනිප මහ ලේකම් තවදුරටත් කියා සිටියේය.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු සඳහන් කර සිටියේ , දයාසිරිගේ බොක්කේ තිබූ දේ කටින් පැන ඇති බවය.

ඉතා සූක්ෂම ආකාරයට පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් එකිනෙකා ඉවත් කරමින්, අසාර්ථක නායකයා වන සිරිසේන හිටපු ජනාධිපති ගේ කීකරු ගෝලයාගේ භුමිකාවට දයාසිරි පණපොවන බවත් , ශ්‍රීලනිප ඉතිහාසයේ සිටි අසාර්ථකම සභාපති සහ මහ ලේකම් ලෙස මේ දෙබෑයන් පක්ෂය කනත්ත වෙත ගෙනයමින් සිටින බවත් ඔහු පැවසීය .

සජිත් කෝටි දහසකට මොකද කළේ ? පරීක්ෂණයක් ඇරඹේ !

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් 2015 - 2019 අතර වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් ) අනාවරණය විය.

ඒ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (24) වනදා රැස්වූ අවස්ථාවේ ය.

එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2017 වර්ෂයේදී මුරකරුවන් 2250 දෙනකු බඳවා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමුවිය.

පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ස්ථාවර තැන්පතු වලින් මුදා හැරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වූ බව කෝප් කමිටුව පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2018-2019 අතර කාලයේදී සියයට 100 කින් වැඩි වී තිබූ බවටත් වැඩි මුදල් ප්‍රමාණයක් ආදායම් උත්පාදනය වන ව්‍යාපෘතිවලට වඩා දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වැය කර ඇති බවටත් එහිදී තොරතුරු අනාවරණය විය.

සේවක වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වැය කර ඇතැයිද එහිදී සඳහන් විය.

ආදාහන පූජෝත්සව 21 සඳහා රුපියල් කෝටි ගණනක්ද වෙනත් ව්‍යාපෘති 368 කට රුපියල් ලක්ෂ 30 බැගින්ද වැය කර ඇතැයි මෙහිදී අනාවරණය විය.

මෙම කාල වකවානුව තුළ විෂය භාර අමාත්‍යවරයා වූයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය.

ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර නෑ : ලලිත් ජන්ම සැමරුමේදී රවී කියයි !

ජනතාව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක් මතුව ඇති බවත් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇදවැටී තිබෙන ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණය බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මෙරට ආර්ථිකය ගොඩගැනීම කළ නොහැකි දෙයක් නොවන බවත් ඊට අවශ්‍ය සැබෑ වුවමනාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ අද ( 26) කොළඹ පැවති දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වන ජන්මදින සැමරුමට එක්වෙමිනි.

කොළඹ පිහිටි දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ දුෂ්කරම අවස්ථාවේ රට ඉදිරියට ගෙනයා හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන බවය.

මතුව ඇති තත්ත්වය හමුවේ රට ඉදිරියට ගෙනයාම ලේසි පහසු කටයුත්තක් නොවන නමුත්, එම කටයුත්ත වෙනුවෙන් නිවැරදි මාවතට මේ වන විටත් යොමුව ඇති බවක් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

රට ඉදිරියට ගෙන යන කටයුත්තේදී දිවංගත ලලිත් ඇතුලත්මුදලි දර්ශනය අතිශය වැදගත් වන බව සදහන් කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ආර්ථිකය මෙන්ම වරාය සහ නාවුක ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය ඇතුළු ඇතුලත්මුදලි අමාත්‍යවරයා රටට සිදුකළ මෙහෙය සම්බන්ධයෙන්ද සිහිපත් කළේය.

"දේශපාලනයේ පුදුම කුහකකම් ඇවිත් තියනවා. ඒක නැති කරන්න ඕන . කරන්න පුළුවන් අය පැත්තකට දාලා කරන්න බැරි අය ඉදිරියට අරගෙන ගිහිල්ලා කරපු දේවල් වල ප්‍රතිඵල තමයි, අද මේ භුක්ති විඳිමින් තියෙන්නේ. ඒක නිවැරදි කරන එක අපි කරන්න ඕන."

අරගලය නමින් දිනපතා ඇති විරෝධතා සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකටද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රතිචාර දැක්වීය.

"රටට මුලින්ම විනයක් අවශ්‍යයි. ඒ විනය තුලින් තමයි රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. කෝලම් මඩුවක් වගේ රට ඉදිරියට ගෙනියන්න බෑ. අපේ රට නිදහස ලබලා අවුරුදු 74ක්. නමුත් අපි තවමත් ආර්ථික නිදහසක් ලබලා නෑ. අපි මේ ගැන දිගටම කතා කලේ. හැමදේම නිකන් දෙන්න ගිහිල්ලා , ඒවායේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තියෙන්නේ."

"අහිංසක ජනතාවට තවදුරටත් දුක් විඳින්න නොදී සියලු දෙනාම එකතුවෙලා රට හරි පාරට ගන්න ඕන. කතාව විතරක් මදි. ක්‍රියාවත් තියෙන්න ඕන. අරගලය කියන්නේ පශ්න නිසා පීඩාවට පත්වූ ජනතාවගේ සිතීම එලියට ආපු අවස්ථාවක්. අරගලය පාවිච්චි කරන්න අවශ්‍ය එහි පාඩම හරියට ඉගෙනීමට මිසක් හැම හන්දියක් ගානේ කෑ ගසා ප්‍රශ්න ඇතිකරලා රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද ?

"සියයට 30-32 පොලී අනුපාත එක්ක රටක් ඉදිරියට ගෙනියන්න බෑ. කෑගැහුවා කියලා පොලි අනුපාත අඩුවෙනවා නම් කෑගහහ ඉමු. අපි මෑතකදී සංවර්ධනය වූ රටවල් ගැන කතා කරනවා නමුත් ඒ රටවල් එම තත්ත්වයට එන්න සිදුකළ කැපවීම් ගැන කතා කරන්නේ නෑ."

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එහිදී පෙන්වා දුන්නේ සියයට 30 - 32 වැනි ඉහළ පොලී අනුපාතයක් සමඟ රටට ඉදිරියට යාම දුෂ්කර බවත් ඒ තුළ ආර්ථිකය තවදුරටත් හැකිළීයාමක් සිදුවන බවය.

"සියයට 30- 32 ඉහළ පොලී අනුපාතය සමඟ රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද ? මේ රටේ උද්ධමනය කාලනය කරන්න කියලා කරපු දෙයින් රටේ ආර්ථිකය සංකෝචනය කිරීමක් වෙන්නේ. ඒ තුල ජනතාව පීඩාවට ලක්කරලා. සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන් යටපත් කරලා,රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ ගැන හිතන්න ඕන. මානුෂීයව මේ දිහා බලන්න ඕන"

එසේම රටේ ආර්ථිය තවදුරටත් නිවැරදිව ඉදිරියට ගෙනයන මාර්ගය සම්බන්ධයෙන් ඉදිරියේදී මැදිහත්වීමක් සිදුකිරීමේ සූදානම සම්බන්ධයෙන්ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අදහස් දැක්වූ අතර අර්බුදයෙන් රට ගලවාගෙන ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එකමුතුව කැපවිය යුතු බවත් පෙන්වා දුන්නේය.

පාටි නොකිව්වයි : මහින්දානන්දට දොස්...

පහුගිය සතියෙ මහින්ද මහින්දානන්ද අලුත්ගමගේට, පාර්ලිමේන්තු ආලින්දවල හා, භෝජනාගාරයේ, නිදහසේ ගැවසෙන්න බැරි තත්වයක් උදා වෙලා තිබුණා. ඒ මොකද , හැම කෙනෙක්ගෙම උපන්දින පාටිවලට ගිහිල්ලා, සින්දු කියලා ජොලි කරන මහින්දානන්ද, තනියම තෝරාගත්ත සුළු පිරිසක් සමග, උපන්දින ආතල් එක ගැනීම ගැන, මන්ත්‍රීවරු හුඟ දෙනෙක් හිටිය කේන්තියෙන්...

තනියම බෝතල් කඩල, පාටි දැම්මයි කියලා, සහෝදර මන්ත්‍රීවරු හුඟදෙනෙක් , පාර්ලිමේන්තුවෙදි ඔහුව අල්ලගෙන දොස් කියන්න වුනා...

"මම දන්න මළදානයක් නෑ බං..

අපේ ගෑනි තමයි, මේ මගුල් ඔක්කොම කරල තියෙන්නෙ මටත් හොරෙන්.."

එහෙම කියලා මහින්දානන්ද ඇග බේරගන්න උත්සාහ කලත්, ඔහුට ඒක නම් ලේසි වුනේ නෑ...

"නාමල් එක්ක ඉන්න මන්ත්‍රීවරු තිස් දෙනෙක් තමයි පාටියට ඇවිල්ලා තියෙන්නෙ..."

සමහරු ඔන්න ඔහොම කියනකොට , ලෙන්ගතු හදවතින් මහින්දානන්ද ව ආශ්‍රය කරන , තවත් සමහරුන්ට දුක හිතෙන්නත් ඇති....

"එතකොට අපි පොහොට්ටුවේ නෙවෙයිද... නාමල් ගේ පිලට අපි අයිති නැද්ද... " සමහරු අන්න එහෙමත් ප්‍රශ්න කර කර මහින්දානන්ද පස්සෙන් වැටිලා දොස් කියන්නට වුණා.

මේ අතරෙ තමයි, ඩලස් ටයි විමල් ටයි උදය ටයි පාටියට ආරාධනා කරලා තිබුණා කියලා, කතාවක් පැතිරිලා ගියේ...

හැබැයි ඒ එක්කෙනෙක්වත්, එදා ඒ පාටියට ගිහින් තිබුණෙත් නෑ. ඒ ගොල්ල පහුවදා හොරෙන් හොරෙන් ගිහිල්ලා, කේක් කෑල්ලක් කාලා, සුබපැතුවා කියලයි ආරංචි වුණේ.

මේ කතාව ආරංචි වුණු, තරුණ කට හැකර මන්ත්‍රීවරයෙක්, කෙලින්ම ගිහිල්ලා මහින්දානන්දගෙන් ගේම ඉල්ලුවේ..." විමලයා ට කියපු එකක් කමක් නෑ කියමු. අඩුමගානේ ඌ විස්කි අඩියක් ගහලා, බෙල්ල කඩාගෙන සින්දු දෙකක්වත් කියයි. ඒත් මොන එකකටද අර ඇල්වතුරත් නිවලා බොන, උපාසකයෝ දෙන්නෙකුට , බොන්න එන්න කිව්වේ...

උඹට අපි හොඳ මදි ද අයියේ... කිය කියා මන්ත්‍රීවරු වදේ ගහද්දි, මහින්දානන්දට බේරෙන්න ලේසි උනේ නෑ...

ඒත් ඉතින් ඇත්ත කතාව , මහින්දානන්ද ගේ බිරිඳ, මේ පාටිය සූදානම් කරල කරල තිබුණේ, නම් මහින්දානන්දට හොරෙන්...

ඒකත් එහෙමයි කියමුකෝ..

දේශපාලන වාර්තාකරු

සිරිසේනගේ මරුසිරා දේශපාලනේ !

පහුගිය දවසක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන , හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන, දෙවැනි වතාවටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඉවත් කළා. අලුත් මහලේකම් කෙනෙක් පත් කළා. කලින් හිටියේ මහින්ද අමරවීර. අලුතෙන් පත්වුණේ තිලංග සුමතිපාල.

ඒත් ඒ වැඩේ මෙයාට තනියෙන් කරන්න පුළුවන්, හිතුවක්කාර කමක් නෙවෙයි කියලයි, බොහෝ දේශපාලන විචාරකයින් කිව්වේ. කවුරු මොනව කිව්වත්, සිරිසේන මහත්තයා කරන්නේ, එයාට ඕනදේ බව , නොදන්නා කෙනෙක් නෑ. හරියට මරු සිරාගේ ටැටූ එක වගෙයි . හිතුමතේ ජීවිතේ තමයි .

ඒත් ඉතිං සන්ධානයේ සහෝදර පක්ෂ ටික එකතු වෙලා, සිරිසේන මහත්තයට, ඒ වගේ හිතුවක්කාර තීන්දුව ගන්න බෑ කියලා , ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලත් තිබුණා.

මොකද මට බැරි... මම 2015 දීත් ඕක කලා. අදත් කරනවා. සමහරවිට අපේ සිරිසේන මහත්තයා එහෙම හිතනවා ඇති.

එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා කියන්නේ, 2004දී ඡන්දෙ දිනන්න මේ රටේ වාමවාදී කඳවුරේ පක්ෂ කීපයක් එකතු එකතුවෙලා, පිහිටුවා ගත්ත සංවිධානයක්. ඒකෙ මහ බලධාරියා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ඇත්ත. ඒත් එතන තීන්දු තීරණ ගනිද්දී, සන්ධානයේ සාමාජික පක්ෂ වල නායකයන්ගේ මතයත් වැදගත් කියන එක, අපට බැහැර කරන්න බැරි කාරණාවක්.

එදා චන්ද්‍රිකා මැතිනියගේ ප්‍රධානත්වයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි වුණේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ,, දේවානන්දගේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ජාතික කොංග්‍රසය කියන පක්ෂවල එකමුතුවෙන්.

එහි ආරම්භක නායිකාව වුණේ, චන්ද්‍රිකා මැතිණිය. මහලේකම් උනේ සුසිල් ප්‍රේමජයන්ත.

2004දි සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවන්න, ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, සමසමාජ පක්ෂයත් මගදී හවුල් වුණ බව ඇත්ත. ඒත් සන්ධානයේ නියම හවුල්කරුවෝ වුණේ, මුලින් කියපු පක්ෂ විතරයි.

සිරිසේන මහත්තයා 2015දී,, පළවෙනි හිතුවක්කාර කම කළේ, ජනාධිපති බලය තියාගෙන. එතුමා එදා දේශපාලන උප්පරවැට්ටියක් ලෙස , තනි තීන්දුවක් අරන්, මහලේකම් කමේ හිටපු සුසිල්ව ඉවත් කරලා, මහින්ද අමරවීර පත්කරද්දී, කවුරුවත්ම ඊට විරුද්ධව කතා කළේ නෑ. ඒ මොකද මහින්දවාදී පක්ෂ අතලොස්ස හැරුණම, එදා මුළු රටේම අධිපතිවාදි ජනමතය හැරිලා තිබුණේ, සිරිසේන මහත්තයාගේ පැත්තට නිසා .

එදා ඒ කරපු හිතුවක්කාරකමේ පුරුද්දට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා විසින්, මෙදාපාරත් ඒ වරද නැවත කරාම, අනිත් අය කරබාගෙන ඉඳියි කියලා, සිරිසේන මහත්තයා හිතන්න ඇති.

හැබැයි ඔවුන් සෙසු පක්ෂ දැන් නිහඬ නෑ. බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා.

දේශපාලන වාර්තාකරු

බන්ධනාගාරයේදී තිළිණිගෙන් ප්‍රකාශයක් ගන්න අවසර

මහා පරිමාණ මුදල් වංචාවකට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මේ මස 30 වැනිදා දක්වා අවසර දුන් බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක  පැවසීය.

මේ අතර තිළිණි ප්‍රියමාලි ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට නැවත අද බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එහි වැඩිදුර විභාගය සඳහා ඇය නැවත දෙසැම්බර් මස 08 වැනිදා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහුවැඩි දුරටත් පැවසීය.

මෙරට ඇඹුල් අපනයනය අද සිට

මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද (26)සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය අද(26) ඩුබායි බලා රැගෙන යාමට නියමිතය.

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් වගාවේ අස්වැන්න එලෙස අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

ඩුබායි ‍රාජ්‍ය වෙත අද අපනයනය කෙරෙන ඇඹුල් කෙසෙල් තොගය කිලෝග්‍රෑම් 12,500 කි.

මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එමගින් සතිපතා ඩොලර් 10,000 ක ආදායමක් මෙරටට උපයා ගැනීමට අපේක්ෂිතය.

අවශ්‍ය නම් අලුත් පක්ෂයක් හදන්නත් සූදානම් :අමරවීර ගේම ඉල්ලයි

තම පිරිස පක්ෂයේ ඉන්නවා ට විරුද්ධ වුවහොත් "අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්" හැදීමට සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් විරුද්ධව සිටිද්දී එම පක්ෂයේ ඉන්නේ කෙසේද යනුවෙන් මාධ්‍යවේදීන් විමසු පැනයකට ප්‍රතිචාර දක්වමින්ය.

"අපි බලමුකෝ. එහෙම නැත්තං අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්නම්.ඒකට නම විතරක් නෙමේ පොඩ්ඩක් වෙනස් කරගන්නේ අවශ්‍ය වෙන්නේ. අපට ඕන තරම් විකල්ප තිබෙනවා" යනුවෙන් ද අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගියදා පැවති අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේ අවස්ථාවේ ශ්‍රීලනිප මන්ත්‍රී බහුතරය ඊට පක්ෂව ජන්දය ලබාදුන් අතර ඊට විරුද්ධව ජන්දය ලබාදුන්නේ පස් දෙනෙක් පමණි , පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරියි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල යි , ශාන් විජයලාල් සහ අංගජන් රාමනාදන් පමණි.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් ඇතුළු 8 කට ඇප !

කොළඹ වරායට ආසනන්යේදී ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්න්ධයෙන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 08 දෙනෙකුට අධිචෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විත්තිකරුවන් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අද (25) නියම කළේය.

රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියට වාර්තා කිරීමේ කොන්දේසියක් පැනවු විනිසුරුවරයා නඩු විභාගය අවසන් වනතුරු අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක්ද පැනවීය.

අධිචෝදනා බාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා වු රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි, නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගම එහි සභාපතිවරයා අධ්‍යක්ෂවරු ඇතුළු අට දෙනෙකි.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනාා පත්‍ර බාරදුන් පසු ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මස 09 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

2023 පාසල් නිවාඩු අඩු කෙරේ !

එළඹෙන 2023 වසරේ නිවාඩු කාලය අඩු කර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කාලය වැඩි කිරීමට උත්සහ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද ( 25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව, එම වසර තුළ විෂය නිර්දේශය අවසන් කිරීමට උත්සහ කරන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, දෙවන පාසල් වාරය දෙසැම්බර් 2 වන දා අවසන් කෙරෙන බව ත් තෙවන වාරය දෙසැම්බර් 5 වන දා ආරම්භ කරන බව ත් ය.

අනතුරුව දෙසැම්බර් 22 වන දා පාසල් නිවාඩුව ලබා දී ජනවාරි 10 වන දා යළි පාසල් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“මේ වර්ෂය තුළදී ම මුලින් සැලසුම් කළ පරිදි අපේ විෂය මාලා අවසන් කිරීම යාවත්කාලීන කිරීමට තමයි අපි කටයුතු කරගෙන ගියේ. නමුත් අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ ඉල්ලීමත් උසස් පෙළ විභාගයට තව කාලයක් ලබා දිය යුතු නිසාත් අපිට සිද්ධ වුණා උසස් පෙළ විභාගය ජනවාරි 23 දක්වා කල් දාන්න. හැබැයි දෙසැම්බර් 2 අවසන් වන දෙවන වාරය, නැවත 5 වන දා තුන් වන වාරය ආරම්භ කරලා අපි දිගට ම පවත්වා ගෙන යනවා. දෙසැම්බර් 22 නිවාඩු දීලා, ආයෙත් පටන් ගන්නේ 10. ඊට පස්සේ අපි මාර්තු මාසය තුළදී මේ අවුරුද්දේ විෂය නිර්දේශය ආවරණය කරනවා. මේ 2023 තුළදී අපි උත්සහ කරනවා බොහෝ දුරට නිවාඩු කාලය අඩු කරලා පාසල් කාලය වැඩි කරලා විෂය නිර්දේශය ඒ වර්ෂය තුළදී බොහෝ දුරට අවසන් කර ගන්න. එහෙම වුණොත් අපිට සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ඒ නිශ්චිත කාල සීමාවලට ඉදිරියට ගන්න පුළුවන්කම තියේවි.”

ධීවරයන්ට බ්‍රිතාන්‍යයෙන් පවුම් 880000ක් !

එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා බ්‍රිතාන්‍ය පවුම් 880,000 ක් මුදලක් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් නිවේදනය කළාය.

තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම,හලාවත සහ මන්නාරම දිස්ත්‍රික්කයන් හි සිටින අවදානමට ලක්වූ ධීවරයන්ගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා මෙම ප්‍රදානය යොදා ගැනෙනු ඇතැයි සාරා හල්ටන් පෙන්වා දුන්නාය.

බැසිල් ආවේ ඇමරිකාවේ නඩුවක් නිසාද ?

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මීට මාස දෙකකට වගේ කලින්, ගෙදර ගියා. විවේක ගන්නද, බෙහෙත් ගන්න ද, වෙන මොකක් හරි උප්පරවැට්ටියකට ද කියලා, නිච්චියක් නැති උනත්, වැඩි දෙනෙක් ඒ ආරංචියෙන් සතුටු වුන බව නම් ඇත්ත.

ඒත් ඔන්න පසුගිය ඉරිදා, හිටි හැටියෙම බැසිල් ලොක්කා, ආයෙත් මෙහෙට කඩා කඩාපාත් උනාම, සමහරු කලබල වුණා. මොන මංගල්‍යකට ආයෙ කඩා කඩාපාත් වුණාද දන්නෑ කියලා, සමහරු කම්පා වෙන්නත් ඇති. ඒත් සමහරු නම් කියන්නේ, ඇමරිකාවේ තියන නඩුවකින් බේරෙන්න , බැසිල් මෙහාට පැනගත්තා කියලා.

කොහොම වෙතත්, විපක්ෂයේ තර්කය වෙලා තියෙන්නේ, බැසිල් ආවෙ හොඳකට නෙවෙයි කියලයි.

කවුරු මොනව කිව්වත්, පොහොට්ටුවේ ඉන්න සුන්බුන් දේශපාලඥයෝ ඔක්කොම ටික, පෝලිමේ ගිහිල්ලා, දෙකට නැමිලා, බාරයක් ඔප්පු කරන්න වගේ, බැසිල්ව පිළිගන්ත එක නම් ඇත්ත. අය වැය පරද්දනවා කියලා පාරම් බබා, අතන මෙතන කැමරා කාරයන්ට වොයිස් කට් දිදී, චණ්ඩිකම් පෙන්නපු අය දිහායි අපි බලා හිටියේ. ඒගොල්ලො මීක් නෑ...

විපක්ෂයේ කණ්ඩායම් කීපයක් එක් වෙලා, පොහොට්ටුවේ ක් පිරිසකුත් පටලවගෙන, අයවැය පරද්දන්න ගහපු ප්ලෑන, අබල් බබල් කරන්න, බැසිල් හදිස්සියේම ගෙන්න ගත්තා කියල යි, පොහොට්ටුවේම ප්‍රකාශකයෙක් කිව්වේ.

ඒ කවුරු මොන මොනව කිව්වත් , පොහොට්ටුවෙ කූජීත වෙලා හිටපු මන්ත්‍රීවරු සෙට් එකට, බැසිල්ගේ මේ පැමිණීමෙන්, අමුතු පණක් ආව කියන එක නම් පිළිගන්න වෙනවා. පහුගිය දිනවල, මේ ගැන එක එක කතා, දේශපාලන කරලියේ ඒ මේ අත හුවමාරු වුණා.

දේශපාලන වාර්තාකරු

මානව හිමිකම්වල මුවාවී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට ඉඩ නෑ - ජනපති

මානව හිමිකම්වලට මුවාවි ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව යොදවා එය සම්පූර්ණයෙන් මැඩපවත්වන බව පැවසීය.

එවන් තත්ත්වයකදී තම වගකීම ඉටු කිරීමට හමුදාවේ පහළ නිලධාරියාගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලු දෙනා බැඳී සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මම මේ විෂය ගැන කතා කරන්න කළින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කරුණු දෙකක් ගැනත් විශේෂයෙන්ම සිහිපත් කළයුතුයි. මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා ප්‍රකාශ කළා ජනාධිපතිතුමාගේ සිතේ තුන් බිය ඇතිවෙලා තිබෙනවා කියලා. මම ඔබතුමාට කියන්න ඕන තුන්බිය පුද්ගලයෙකුට ඇතිවෙන්න බැහැ. තුන්බිය ඇතිවුනේ විශාලා මහනුවර. රෝග බිය, අමුනුෂ්‍ය බිය, මරණ බිය ඒක ජන සමූහයකට ඇති වෙන්න පුළුවන්. එතුමාට ඒ කරුණ පැහැදිළි කරගන්න රතන සූත්‍රයට ඇහුම්කන් දෙන්න කියලා ‍මම කියනවා.. මරික්කාර් බිය, හිරුණිකා බිය රෝසි බිය තිබුණත් ඒවා තුන් බිය නොවෙයි.

ඒ වගේම මගේ මිත්‍ර විජිත හේරත් මහත්තයා ප්‍රකාශ කළා අරගලයට පින්සිදු වෙන්න ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ අද අරගලය මර්දනය කරනවා කියලා. මම ජනාධිපති ධූරයට පත් වුනේ අරගලයේ පිනෙන් නොවේය. රටේ ජනාධිපති ධූරයෙන් ඉවත් වුණොත් ඒ තනතුර ගන්න ඕන අගමැති. අනික නීතියෙන් මම වැඩබලන ජනාධිපති වෙන්න තිබුණා. මට මේ ධූරයෙන් ඉවත් වෙන්න කියලා මගේ නිවස ගිනි තැබුවා.

ඒ වගේම අපේ විපක්ෂනායතුමත් අද මේ සභවේ දී ප්‍රකාශ කළා මම ජනාධිපතිකම ඉල්ලුවා කියලා. මම මේක ඉල්ලුවේ නැහැ. ඒ වෙනකොට රටේ ඇතිව තිබූ තත්ත්වය නිසා මම මේ ධූරය භාරගත්තා. මගෙන් මහනායක ස්වාමීන් වහන්සේලාත් මේ පිළිබඳ ඉල්ලීමක් කළා. මම ජනාධිපතිකම ඉල්ලුවේත් නැහැ. ලියුම් ලිව්වෙත් නැහැ. අද විපක්ෂනායතුමාට අමතක වෙලා තිබෙනවා මැයි 12 වෙනිදා එතුමා ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට යවපු ලිපිය.

“ගරු ජනාධිපතිතුමනි, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙක් පක්ෂ සමග එක්වී කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි.
ම‍ගේ කතාවෙන් පස්සේ මේ සම්පූර්ණ ලිපිය හැන්සාර්ඩ් එකට ඇතුළත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එදා විපක්ෂනායකතුමාගේ උපදෙස් ගත්තා. ඔබතුමන්ලාට ඕනනම් ඒක පක්ෂ ව්‍යවස්ථාවේ බලන්න පුළුවන්. විනය පරික්ෂණයක් තියන්න පුළුවන්. මට බනින්න එපා. එතුමා තමයි කව්වේ නිශ්චිත, අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට එකඟ වෙමි කියලා.ඉතින් මම අගමැති ධූ‍රයේ දිවුරුම් දීලා මාස 02කට පස්සේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුණා. මම නොවෙයි ඔබතුමන්ලයි කිව්වේ එතුමාට ඉවත් වෙන්න කියලා. ඉතින් මම මොනව කරන්නද,

හමුදාව ගැන කතාකරනකොට සමහර අය ප්‍රකාශ කළ මෙවර අයවැයෙන් හමුදාව සඳහා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා කියලා. ඒ අය කියන විදියට හමුදාවේ වියදම පැය 24න් අඩු කරන්න බැහැ. එකපාරට සේවයේ සිටන 25,000ක් පාරට දාන්න බැහැ. අපි දැන් මේ සඳහා සැලැස්මක් හදාගෙන යනවා. ඒ අනුව කටයුතු කළයුතුයි. යුද හමුදාව වෙනුවෙන් මෙවර වැඩි වියදමක් දරන්න සිදුවුණා. එය අපට නවත්වන්න බැහැ. හමුදාවල සංඛ්‍යාව අඩු වුණත්, උසස්වීම් වැඩි වෙලා තිබෙනවා. එවැනි කරුණුත් මේ සඳහා බලපා තිබෙනවා.
අනිත් කරුණ දැන් අපි යුද හමුදාව ආහාර සුරක්ෂිතතා වැඩසටහන් සඳහා යොදවාගෙන තිබෙනවා. මෙම ගොවිපොළවලින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනට විශාල දායකත්වයක් ලැබෙනවා.

අපි හමුදවේ අනාගතය ගැන බලන්න ඕන. අපි ඒ සඳහා “Defense 2030" වාර්තාව අනුව කටයුතු කරනවා. අපි අපේ ආරක්ෂක අංශ සැලසුම් කළයුතුයි.ලෝකයේ තර්ජනයක් නැහැ කියලා ඉන්න බැහැ. මෙම තත්ත්වයන් වෙනස් වෙනවා. 1971 තිබූ තර්ජනය නෙවේ, 80 ගණන්වල තිබුණේ, පාස්කු ඉරිදා සිදුවීම දෙස බලන විට එවැනි වෙනස් ආකාරයේ තර්ජන ඇතිවිය හැකියි. එය අප මතක තබාගත යුතුයි.

එමෙන්ම ගෝලීය තත්ත්වයන් වෙනස් වෙනවා. අපි ඉන්දියන් සාගරය පිළිබඳ අවධානය යොමුකළයුතුයි. 2030 වන විට අපේ නාවුක හමුදාවන් වැඩිකළ යුතුව තිබෙනවා. යුද හමුදාව අඩු විය හැකියි. ගුවන් හමුදාවේ ප්‍රහාරක යාත්‍රා වැඩියෙන් තියෙන්න පුළුවන්.ඩ්‍රෝන තාක්ෂණය අවශ්‍ය වෙනවා. 2040 වන විට මේ තත්ත්වය තවත් ඉහළ යනවා. අපි බලන්න ඕන කොහොමද මෙය ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා. අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ අපේ ආරක්ෂක වියදම අඩු කරගෙන 3% - 4% මට්ටමක පවත්වාගෙන යන්න.

අපිට පුළුවන්නම් අපේ ආර්ථික වර්ධන වේගය 8%කට ගේන්න අපට අවශ්‍ය තරම් මුදල් තිබෙනවා. සිංගප්පූරු‍වේ මේ තත්ත්වය ඇති කළේ වර්ෂ ගණනාවක් 8% ආර්ථික වර්ධනයක් සමගයි. අපි අලුතින් හිතන්න අවශ්‍යයි. පරණ විදියට හිතලා මේවා කරන්න බැහැ.
ඒ වගේම හමුදාවෙන් ඉවත්වන අයටත් මේ සමාජයේ වැඩකටයුතුවලට දායක වෙන්න අවස්ථාව තියෙන්න ඕනැ. අද වෘත්තීයවේදීන් මේ රටින් පිටවෙලා යනවා. ඒ හිඬැස පුරවන්න පුළුවන් අපේ හමුදාවේ අය පුරුදු කරලා ඒ තැන්වලට යොමු කිරිමෙන්. ඒකයි අපි හමුදා සේවයේ විශ්‍රාම ලබන කාලය වසර 22 සිට 18 දක්වා අඩු කළේ. අනිත් අයට ගැටලුවක් නැහැ. අපි අලුතින් මේවා සැලසුම් කළයුතුයි. අලුතින් සිතිය යුතුයි.
යුද නැවක් අපිට අලුතින් ලංකාවේ නිෂ්පාදනය කළහැකි නම් මම කැමතියි. ඒ ශක්තිය අපට තිබෙනවා. මුදල් පමණයි සොයාගත යුතුව තිබෙන්නේ.

මම දුටුවා බ්‍රිතාන්‍ය 2035 වන තෙක් මෙම සැලසුම් සකස් කර තිබෙනවා. අපි අලුත් නීති ගේන්න ඕන. අපි ආරක්ෂක මණ්ඩලය නීතියෙන් ස්ථාපිත කරනවා. ජාතික ආරක්ෂක උපදේශක තනතුර, ඒ වගේම ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වාගේම ත්‍රිවිධ හමුදා කමිටුවක් පත්කරනවා ඒ නිලධාරින් සදහා. මේ සියල්ල සාකච්ඡා කරලා මේ සභාවට ඉදිරිපත් කරන්නම්.අපට අවශ්‍ය වී තිබෙන්නේ අලුත් හමුදාවක් ලංකාවේ ඇති කිරීම‍ට. එය සිදු කිරීම සඳහා සීග්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් අවශ්‍යයි.
ඒ වගේම පොලීසිය සම්බන්ධවත් අපි අවධානය යොමු කර තිබෙනවා. “පොදු ආරක්ෂක වාර්තාව" නමින් අපි වාර්තාවක් ලබා ගන්නවා ඊළග වස‍ර 10 ‍පොලීසිය දියුණු කරන්නේ කොහොමද කියලා සොයා බලන්න. මම ඇමතිතුමාට ඒ පිළිබඳ දැනුම් දුන්නා. දැන් පොලිස් ආඥා පනත කෞතුකාගාරයට යවන තත්ත්වයට පත්ව තිබෙනවා. අලුත් ආඥාපනතක් සකස් කිරීම පිළිබඳ අපි දැන් කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම මෙවැනි ගැටලු ගණනාවක් අද තිබෙනවා. මේවා සියල්ල විසඳා ගනිමින් අපි ඉදිරියට යා යුතුයි.

විශේෂයෙන්ම එදා ප්‍රචණ්ඩ පිරිස්වලින් මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුද හමුදාවේ ඒ සියලුදෙනාට මම ස්තූති කරනවා. එදා ඔවුන් නොසිටියා නම් අද මේ රටේ පාර්ලිමේන්තුවක් නැහැ. අපිට මෙහෙම වාඩිවෙලා සාකච්ඡා කරන්න බැරි වෙනවා.
පරමාධිපත්‍ය අයිති ජනතාවට බව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තියේ සඳහන් වෙනවා. එය ක්‍රියාත්මක වන අන්දම 04 වන වගන්තියේ සඳහන් වෙනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණය බලය. ඒ සමගම මුලික අයිතිවාසිකම්. එ‍මෙන්ම ජනතාවට සෘජුව සහභාගීවිය හැකි එකම අවස්ථාව ජනමත විචාරණයයි. කාටවත් පාරට බැහැලා කලබල කරන්න බැහැ. ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ. හමුදාවට තිබෙන මේ නීති ආරක්ෂා කරන්න.

ආණ්ඩු පෙරළන්න එද්දි හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ. අපේ මහානායක හිමිවරුන්ට තර්ජනය කරනකොට අපිට නිකන් ඉන්න බැහැ. ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට අනුව හමුදාවට බලයක් තිබෙනවා ඒවා නැවැත්වීමට. එවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ඉඩ දිය නොහැකියි. පැවැදි පුද්ගලයන් යොදවලා කලබන ඇති කරන එක නැවැත්විය යුතුයි. මම නම් මේවට ඉඩ දෙන්න කිසිසේත්ම කැමති නැහැ.

අද ඇතැම් සංඝයා වහන්සේලා යොදාගෙන අරගල කරනවා. කලබල ඇති කරනවා. සංඝයා වහන්සේලාට ශාසනික කටයුතු තිබෙනවා. උන්වහන්සේලා එම කටයුතුවල නිරතවිය යුතුයි. ගිහි අය මේවට සම්බන්ධවෙන එක වෙනම කාරණයක්.

විශ්වවිද්‍යාල එක ශිෂ්‍යයෙක්වත් අත්අඩංගුවේ පසු නොවන බව මම අධ්‍යාපන ඇමතිතුමාට සිහිපත් කරන්න කැමැතියි. වසන්ත මුදලිගේ වසර 8-9 ක්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේක හරි වැඩක්නෙ. මම විශ්ව විද්‍යාලයෙන් පිටවුණේ අවුරුදු 21 දී. මුදලි‌ගේ වයස අවුරුදු 31ක් වෙලත් තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. යම් ශිෂ්‍යයෙකුට වැඩිපුර ලබාදිය හැක්කේ එක් වසරක් පමණයි. ඊට පසුව විශ්වවිද්‍යාලයේ පිටවිය යුතුයි.
මම එකක් කියන්න ඕනැ. මටත් අවශ්‍ය මානව හිමිකම් ආරක්ෂා කරන්නයි. අරාජිකත්වයටත්, ප්‍රචණ්ඩත්වයටත් මානව හිමිකම්වලට ඇතුල් වෙන්නෙ ඉඩ දෙන්න බැහැ. මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වයත්, අරාජිකත්වයත් ඇති කරන්න ඉඩ දෙන්න බැහැ. මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩත්වය ඇති කරන අය ආරක්ෂා කරන්නත් බැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 14 වන වගන්තියේ අපේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සඳහන් වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, නීතියෙන් නියම කරනු ලැබූ සීමාවලට, මහජන ආරක්ෂාව සඳහා, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම ඇතුළු වගන්ති ඇතුළත්. ‌මේ සියල්ල තිබෙනවා 15/1, 15/2 වගන්ති තුළ. මේ සීමාවලින් පිට යන්න බැහැ.

සමහරු අද කියනවා අපි තමයි මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙ කියලා.. මොනවද ඔවුන් කරලා තිබෙන්නේ. අඩු තරමින් අපි මේවා ක්‍රියාවෙන් සිදු කරලා තිබෙනවා. අපි ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබෙනවා. ඊට කලින් අණ්ඩුවේ IPPCR පනත ගෙනල්ල තිබුණා.
මේ අය මානව හිමිකම් ආරක්ෂා කරනවා කියලා පිටරටින් සල්ලි අරන් ජීවත් වෙන එක තමයි කරන්නෙ. එයයි ඇත්ත තත්ත්වය. එක්කෙනෙක් හරි නැගිටලා මට කියන්න එහෙම කළේ නැහැ කියලා. මේ අය ගැන මම දන්නවා. මම ඔවුන් සමග වැඩ කරලා තිබෙනවා. මමයි ඔවුන්ව ආරක්ෂා කළේ. අද මටයි කෑගහන්නෙ. මේ විදිහට රට තුළ අවුල් ඇති කරන්න ඉඩ දෙන්න බැහැ.

නීතිය තුළ ඕන දෙයක් කරන්න. විපක්ෂ නායකතුමා කියලා තිබෙනවා මම පාර්ලිමේන්තුව කල් දානවා කියලා. මම කල් දාන්නෙ නැහැ. මට පාර්ලිමේන්තුව කල්දාන්න අයිතියකුත් නැහැ. පාරේ කෑගැහුවා කියලා මම නිකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යන්‌ෙනත් නැහැ. බහුතරය කියන්නෙ කෑගහන අයට නෙමෙයි. බහුතරය නිෂ්ශබ්දව සිටිනවා. ඒ නිෂ්ශබ්දව සිටින පිරිසට ජීවත් වෙන්න, තම අයිතිවාසිකම් ලබා ගන්න අයිතියක් තිබෙනවා. ඒ හිමිකම් අනුව තමයි ක්‍රියා කළ යුත්තේ

දැන් මානව හිමිකම්වලට මුවාවෙලා පොලිසියේ නිලධාරීන් හිර කරන්න හදනවා. සමහර විට පොලිසිය මානව හිමිකම් උල්ලංඝණය කර තිබෙනවා වෙන්න පුළුවන්. එහෙම කරපු අය ඉන්නවා නම්, ඒ අයට නඩු දාලා ඒවාට විරුද්ධව තීන්දු දෙනවා නම් ඒ පිළිබඳ ක්‍රියා කරන්න අපි සූදානම්.

හදිසි අවස්ථා ඇති කරලා, කලබල ඇති කරලා පොලිසියට ගියහම ඒක නවත්වන්න පොලිසියට විරුද්ධව මානව හිමිකම් නඩු දානවා. එහෙම කරන්නේ මානව හිමිකම් නිසා නොවෙයි, පොලිසියේ මැදිහත්වීම නතර කරන්නයි. ඒ නිසා මම නීතිපතිවරයාට කිව්වා මේ පිළිබඳ සොයා බලන්න කියලා. එහෙම කරනවා නම් නීතිය ක්‍රියාත්මක කළයුතුයි. මේ සෙල්ලම හැමදාම කරගෙන යන්න ඉඩ දෙන්න බැහැ.

හමුදා නිලධාරියෙක් වුණත්, පොලිස් නිලධාරියෙක් වුණත් ඒ සියලුදෙනාව අපි ආරක්ෂා කරන්න ඕන. මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කර මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාවත් අයින් කරන්න උත්සාහ කළා. මගේ නිවසත් ගිනි තැබුවා. මේකේ ප්‍රධාන මාධ්‍ය සිරස. මමයි ඒ අයට විරුද්ධව කටයුතු කරන්න ඕන. ඒත් මේ අය ගිහින් මානව හිමිකම් කොමිසමට කියනවා මගේ ප්‍රධාන ආරක්ෂකයාව ඉවත් කරන්න කියලා. මොකක්ද ඒයා කරපු වැරැද්ද. සිරසට වුවමනාව තිබුණෙත් මගේ ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂතුමාවත් ඉවත් කරන්න. එයා එතැනට සම්බන්ධ වුණේ නැහැ. අපේ ඉන්න අයගේ නම් කිව්වේ නැහැ.

මේ ගැන එදා මම ප්‍රකාශ කළාට පසු සිරස මාධ්‍ය ආයතනයෙන් මට ගහන්න හත් දෙනෙක් දාලා තියෙනවා. එක එක අයගෙන් ප්‍රකාශ ගන්නවා. දුමින්ද නාගමුව, විදර්ශන කන්නන්ගර, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ අයගෙන් ප්‍රකාශ ගන්නවා.
මං කියන්නෙ මම ගැන කියන්න කලින් විශ්වවිද්‍යාල සිසුන් නවක වධයෙන් ආරක්ෂා කරලා දෙන්න. නවක වධයට විරුද්ධ වෙන්න. ආණ්ඩුවක් වගේම විපක්ෂයක් තියෙන්න ඕන. මං කියන්නෙ අපි ඒකතු වෙලා මේ ප්‍රශ්න විසඳගමු. ආපසු පාරට ඇවිත් කියන්න බැහැනෙ ආණ්ඩු පෙරළන්න කියලා.

එවැනි අවස්ථාවක් ඇති වුණොත් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න ආරක්ෂක සේව‍යේ සිටින සෑම කෙනෙක්ටම වගකීමක් තිබෙනවා. ක්‍රෝප්‍රල්ගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලුදෙනා එකතු‍වී මේ ආයතන ආරක්ෂා කරගන්න කටයුතු කළයුතුයි. මේ පිළිබඳ කැපවී කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියේ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමන්න කැමතියි.

Page 2 of 215