Image

කන්‍යා පටල වෙන්දේසිය

කන්‍යා පටල වෙන්දේසිය

තම්බා බුදින කෙළෙසුන් බඩවැලෙහි රැකී

ගිම්හානයක ඉපනැල්ලේ සිහින දකී

සම්භෝගයක පටුනේ කිසිදාක නොකී

කන්‍යා පටල වෙන්දේසිය බලව සකී

 

වියළි කලාපේ අසරණ අමුඩ කෙටී

සරම කඩාවැටෙනා විට දහස් වටී

පරම රමණයක හංකිති විදුලි කෙටී

අඳන සමග ඇත පුහුලම් බිමට වැටී

 

රඟන කලට අම්බරුවන් කෙළි මඬලේ

බිඳුණ හීන පුපුරයි දිවි රඟ මඬලේ

ඇඳුණ කඳුළු දහරා බල මුව කමලේ

ඉරුණ තනපටක් එල්ලේ කැණිමඬලේ

 

ඈවර සේම දෑවර කරනා සද්දේ

පාවර උඩම ගොම රිටි වළඳන යුද්දේ

කෑදර ගොනුන් අද තනියම වෙල මැද්දේ

චීවර යටින් චූ බර රුවිතෙට පැද්දේ

 

කම්බ හොරුන් ළඟ දහමක මග ඇහිරූ

හොම්බ ළඟ ම අපමණ බණ පද තැවරූ

කුම්භකර්ණ නින්දේ හිටිය ද කවුරූ

ඩිම්බ කෝෂ මිරිකා පැණි බොති දෙබරූ

 

පැලෝපීය නාලයකින් පඬුරු බැඳ

විලාපයම පිරිතක් සේ විඳින සඳ

මෙලෝ රහක් නැති දිවියක තැවුල විඳ

හඬා වැටෙයි පුන්සඳ මහ වෙහෙර වැඳ

 

සිංහාසනාරූඨව කී පැරණි කතා

මංචාඩියට ගෙන වැදි බණ දෙසුම ගොතා

ඉන්නා කලට මතු සුරලොව ඉසුර පතා

කන්‍යා පටල ඇත සව් කරදාසි ඔතා

 

කලාපයේ දූවිල්ලේ බිජු රැක්කූ

උලා කෑව ඉපනැල්ලේ කිරිකොක්කූ

තළා පෙළා බොරු වළ පතුලට දැක්කූ

කලාවැවේ බල සකි හිල්වූ ජොක්කූ

 

නිම්මා නොවන සංසාරේ බර ඇද්ද

පෙම්මා වඩන අම්මාවරු බුදු වෙද්ද

බන්දා විනේ දුන් ගිනි කඳ උහුලද්ද

කන්‍යා පටල වෙන්දේසිය බඩ සුද්ද

kumara hettiarachchi

 

 

 

 

 

කුමාර හෙට්ටිආරච්චි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න