ජුනි 1වෙනි දා (අද) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අධිකරණ නිලධාරින්ගේ සංගමය අතර රැස්වීමක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව ද, එම රැස්වීමේ අවසාන භාගයේ දී අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත්වීමට නියමිත බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
අධිකරණ නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන්නේ සිය වැටුප් සහ දීමනා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව වාර්තා වෙයි. අධිකරණ නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වෙති.
අධිකරණ නිලධාරින්ගේ සංගමය යනු, මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අධිකරණවල විනිසුරුවරුන් ගේ වෘත්තීය සංවිධානය යි.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න ද අල්විස් ද මෙම රැස්වීමට සහභාගි වීමට නියමිතය.
අධිකරණ සේවා කොමිෂන් සභාවට අයත් කාර්යභාරය වන්නේ මහාධිකරණය ඇතුළු පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහකිරීම ආදියයි. නිල බලයෙන් එහි සභාපතිවරයා වන්නේ අගවිනිසුරුවරයා යි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනා එහි අනෙක් සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතු ය.
පසුගිය දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික තනතුරක් හිස්ව පැවති අතර, ඒ පිළිබඳව අධිකරණ හා නීති ක්ෂේත්‍රයෙන් පැනනැගුණු දැඩි විවේචනය නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු යසන්ත කෝදාගොඩ පසුගිය සතියේ සාමාජිකයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ය.
අද රැස්වීමේ දී ඉදිරිපත් වීමට නියමිත ඉහළ අධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව, සියලු විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරෙන යෝජනාවක් ලෙස ‘යහපත් මුහුණුවරකින්’ ඉදිරිපත් වීමට නියමිත වුණත්, එහි මූලික අරමුණ, වත්මන් අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට තිබෙන වුවමනාව බව ද වැඩිදුරටත් වාර්තා වෙයි. මෙවැනි සේවා දීර්ඝයක් නොලැබුණොත්, වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, එළඹෙන දෙසැම්බරයේ දී විශ්‍රාම ගැනීමට නියමිත ය.
තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් තමන් කැමති කාලයක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුව දරන උත්සාහයට මේ වන විට නීති හා අධිකරණ ක්ෂේත්‍රයේ දැඩි විවේචනයක් හා විරෝධයක් එල්ල වී තිබේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් නිසැකවම වැරදි පූර්වාදර්ශයක් වන බව නීති ක්ෂේත්‍රයේ මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේද ප්‍රවීණයන්ගේ මතයයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ එම වයස අවුරුදු 63කි. මේ සීමාව දිගු කිරීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු වෙයි.
මූලාශ්‍ර ;Anidda Newspaper ෆේස්බුක් පිටුව
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
