V2025

පුවත්

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනයට : රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් !

සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්‍ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ මාවතේ ‘ප්‍රවීණයන්ගේ නිවහන’ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක් වෙමිනි.

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීම හා සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

එසේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසට, විශ්‍රාම ලැබුවන්ට සහ සිවිල් පුරවැසියන්ට ද යුද උපක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසා දෙමින් Sri Lanka Institute of strategic studies ආයතනය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.

සමරු ඵලකය නිරාවරණය කර ‘ප්‍රවීණයන්ගේ නිවහන’ විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ සුබසාධක කටයුතු වෙනුවෙන්, දෙවන ලෝක සංග්‍රාමය අවසන් වකවානුවේ හමුදා සේවයෙන් ඉවත් වූ හා විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන් පිරිසක් විසින් 1944 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයට අඩුපාඩුවක්ව පැවති මුලස්ථාන ගොඩනැගිල්ල එම සංගමයේ සහ ත්‍රිවිධ හමුදාවේ මුල්‍ය දායකත්වයෙන් ඉදි කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

විශ්‍රාම ලැබූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ කටයුතු වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. එම සාමාජිකයන් බොහෝ දෙනෙක් 1983 සිට 2009 වන තෙක් රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට විශාල කැපවීමක් සිදු කළා.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන්ට මෙන්ම විශ්‍රාම ලැබූ අනෙකුත් රජයේ සේවකයන්ට තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට රජය අවධානය යොමු කර තිබෙනවා. අප තවම සිටින්නේ ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකයි. ඉදිරි වසර දෙක තුළදී එම තත්ත්වයෙන් ගොඩඒමට අපට හැකියාව තිබෙනවා.

රණවිරු ගම්මානවල ජිවත්වන රණවිරුවන්ට තවම එම ඉඩම් අයිතිය ලැබී නැහැ කියා මට දැන ගන්න ලැබුණා. ඇතැම් අය පොරොන්දු ලබා දුන්නට එම පොරොන්දු ඉටු කර නැහැ. ඒ නිසා ඉදිරි මාස දෙක තුළ මෙම වැඩකටයුතු අවසන් කර එම සියලුදෙනාට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීමට ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ ඉඩම් කොමසාරිස්වරයාගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව මෙම ජුලි මාසය වන විට උරුමය ජාතික වැඩසටහන යටතේ එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.

ඒ වගේම සන්නද්ධ හමුදාව සහ ජාතික ආරක්ෂාවේ අනාගතය පිළිබඳ අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව 2030 දක්වා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳ වෙනම උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. ඉදිරියේ දී එම වාර්තාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර සියලුදෙනාට ඒ පිළිබඳ සාකච්ඡා කර අදහස් ලබා දීමට අවස්ථාව සැලසෙනවා.

2030 වන විට මෙරට ජාතික ආරක්ෂාව තුළ ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. එහිදී ත්‍රිවිධ හමුදාවේ වගකීම් හදුනාගෙන නිසි සැලැස්මක් අනුව රටේ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සමඟම ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරිපත් කිරිමට ද මම බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීමට පාස්කු ඉරිදා කොමිෂමේදීත් සඳහන් කළා. එය කිරීම අවශ්‍යයි. එය නීතිගත කිරීමට වගේම සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරනවා.

ඒ වගේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසටත්, විශ්‍රාම ලැබු පිරිසට වගේම සිවිල් පාර්ශ්වයන්ටත් යුද උපක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට Sri Lanka Institute of strategic studies නමින් වෙනම ආයතනයක් ඇති කරනවා. ඒ අනුව කැමති පිරිසට එම වැඩකටයුතු සඳහා සහභාගි විය හැකියි.මෙම ආරම්භ කර තිබෙන වැඩකොටස සමග ආරක්ෂක හමුදාව ප්‍රතිව්‍යුගත කිරීම සිදු වෙනවා.

පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදය තුළ වැඩිපුරම පීඩාවට පත්වූයේ විශ්‍රාම ලැබු පිරිස බව පිළිගත යුතුයි. මෙම එක් එක් අංශ වෙනුවෙන් ලබාදිය යුතු සහන මොනවාද කියා අප සාකච්ඡා කළයුතුයි.

එක් නිලයකට, එක් විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. අනෙක් වැඩකටයුතු පිළිබඳ අප අවධානය යොමු කර තිබෙන අතර මෙම සංගමයේත්, රණවිරු සේවා අධිකාරියේත් සුබසාධන කටයුතු පිළිබඳ අදහස් සහ යෝජනා ලබා ගැනීමට මම කැමතියි. රණවිරු අධිකාරිය තුළ එම සුබසාධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

ඒවගේම සේවය අවසන් කරන අය පිළිබඳ අප ගත යුතු පියවර කුමක්ද කියා අවධානය යොමු කර තිබෙනවා. ඔවුන්ට නව ආදායම් මාර්ගයක් සළසා ගැනීමට තිබෙන අවස්ථා මොනවාද කියා සොයා බැලිය යුතුයි. එම අවස්ථාව නොතිබීම නිසා ඇතැමුන් රුසියාවට යාමට තීරණය කළා.

තමන්ගේ හැකියාව අනුව රට තුළ හෝ විදේශගතව හොඳ ආදායම් මාර්ගයක් උපයා ගැනීම සඳහා අවස්ථාව සලසා දිය යුතුයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් යෝජනා කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා.

හමුදා සේවයෙන් විශ්‍රාම ලබන පිරිස් තුළ විශේෂ දක්ෂතා තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමඟ අප ඔවුන්ට නව අවස්ථා සලසා දිය යුතුයි. අද රටේ ආර්ථිකය දියුණුව කරා ගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ එදා රණවිරුවන් රට ආරක්ෂා කර දුන් නිසයි.

ඒ වගේම අද අප මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන්නේ තවත් යුද්ධයක් අවසන් කිරීමෙන් පසුවයි. රටේ ඒකීයභාවයට එක් තර්ජනයක් වුණේ ත්‍රස්තවාදයයි. ඒ වගේම රට තුළ සිදු වූ දරුණු ආර්ථික කඩා වැටීම රටේ ඒකීයභාවයට තවත් තර්ජනයක් වුණා. මෙම තත්ත්වය තවදුරටත් පැවතියා නම් අපේ රට ආර්ථිකයක් නැති රටක්, එනම් තවත් ලිබියාවක් බවට පත් වෙනවා.

රට භාර ගැනීමෙන් පසු මගේ පළමු කාර්ය බවට පත් වුණේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ වගේම ඉදිරි වසර 04, 05 ට අදාළව රටේ ආර්ථිකය වෙනුවෙන් ගත යුතු තීරණ කඩිනමින් ගැනීමට සිදු වුණා. යුද්ධයේදී ප්‍රකාශ කරනවා “යුද්ධය ඇදගෙන යාමට හොඳ නැහැ, උපක්‍රමශීලිව වහා අවසන් කළයුතුයි කියලා. යුද්ධයේදීත්, ආර්ථිකය ගොඩනැගීමේදීත් ඒ අනුව කටයුතු කළයුතුව තිබෙනවා.

අපේ රට දැන් ආර්ථික වශයෙන් ගොඩ එමින් තිබෙනවා. බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අදාළව අප දැන් ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම කමිටුවත්, චීනයත් අපේ යෝජනා සාකච්ඡා කර පිළිගැනීමට සූදානමින් සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් එය පිළිගෙන අවසන්. ඉන්පසුව එම රටවල් සමඟ වෙන වෙනම ගිවිසුම් අත්සන් තැබීමට කටයුතු කරනවා.

ඒ වගේම පුද්ගලික ණයකරුවන් සහ බැංකු, විශ්‍රාම වැටුප් අරමුදල් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව තිබෙන නිසා අපට ඉදිරියට යා හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙම ජුනි මාසයේ මෙරටට පැමිණීමෙන් පසු අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඉන්පසුව 2025 අය වැය සමඟ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මැතිවරණ පැවැත්වෙන නිසා එම අය වැය ජනවාරි මාසයේ නැත්නම් පෙබරවාරි මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ කටයුතු සමඟ ඇතිවන ආර්ථික දියුණුව සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. මේ වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කළ විශ්‍රාම ලැබූ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමමින් සේවා මුක්ත භට කණ්ඩායමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් ඇතුලු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Home of Veterans Opening Ceremony 15

අවුරා ලංකා තාඹුගල ඇතුලේ !

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ අද (22) නියෝග කළාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් ය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.

පළමුව පවත්වන මැතිවරණය : ජනපති කැබිනට් මණ්ඩලයට දන්වයි !

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

වාර්තා වන ආකාරයට අද (22) පෙරවරුවේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ සඳහා සූදානම් වන ලෙසද පවසා ඇත.

මහ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති බවත් 2024 අයවැයෙන් මුදල් වෙන් කිරීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළ බවද වාර්තා වෙයි.

news -ok -SL - ඉරාන ජනාධිපතිගේ අභාවයට ශෝකය පළ කිරීමට : ජනපති ඉරාන තානාපති කාර්යාලයට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි ගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ්  ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේය.

Iran ambassador office 09

අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිතිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (20) පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

මෙහිදී වන අලි මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල එම ගැටුම් පාලනය කිරීම සඳහා ඉදිකර පවත්වා ගෙන යනු ලබන විදුලි වැටට අමතරව, ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හි නියමු ව්‍යාපෘති ලෙස ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු ආරම්භ කර අස්වැන්න නෙලන කාලය දක්වා පමණක් අදාළ ගොවිබිම් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකරන ලද තාවකාලික කෘෂි විදුලි වැට (Agro Fence) ඉදිකිරීමට අවධානය යොමු කෙරිණි.

එසේම වනඅලි මිනිස් ගැටුම් බහුල ගම්මාන ආරක්ෂා කර ගැනීම සඳහා ගම්මානය වටා ඉදිකරන විදුලි වැට (Village Fence) ඉදිකිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලදී.

එසේම කෘෂි විදුලි වැට (Agro Fence) ගොවිතැන් කටයුතු ආරම්භ කරන මොහොතේ අස්වැන්න නෙලීමෙන් පසු ඉවත් කිරීම අදාළ ගොවීන් විසින් සිදු කළ යුතු බව මෙන්ම එම විදුලි වැට නඩත්තු කිරීම හා භාරකාරත්වය සම්බන්ධයෙන් වූ වගකීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරීමට ද ගම්මාන විදුලි වැට (Village Fence) නඩත්තු කර පවත්වා ගෙන යාම අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට ද සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

එමෙන්ම විවිධ සංස්කෘතික කටයුතු හා පෙරහැර වෙනුවෙන් අලි ඇතුන් යොදා ගැනීමේදී පෞද්ගලික අලි ඇතුන්ට අමතරව හීලෑ අලි ඇතුන්ගේ සංචිතයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින ගැටලු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම සඳහා සකස් කොට භාර දෙන ලෙසද මෙහිදී සාගල රත්තායක මහතා අදාල බලධාරීන්ට උපදෙස් දුන්නේය.

වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීන් හා වනඅලි මිනිස් පාලනය කිරීමේ කමිටු සාමාජිකයින් වන ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහත්වරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

විජේදාස සහ කීර්තිට එරෙහිව වාරණ නියෝග !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන අද (20) නිකුත් කළේය.

එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක ගොනුකළ සංශෝධිත පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු මෙම වාරණය නිකුත් කෙරිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ගේ සහ සභාපති, අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වන වාරණ නියෝගයක්ද දිසා විනිසුරුවරයා නිකුත් කළ අතර අදාළ වාරණ නියෝග ලබන 03වෙනි දින දක්වා ක්‍රියාත්මක වෙයි.

ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙක : මැයි 22 ක පාර්ලිමේන්තුවට !

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේය.

ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත ම්ට්මක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ඉදිරිපත් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙසේද සඳහන් කළේය,

මෙරට ආර්ථිකයට ඉතා වැදගත් පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙනවා. මින් එක් පනත් කෙටුම්පතක් වන්නේ යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව ඉදිරිපත් කෙරෙන“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත”(Economic Transformation law)යි. මෙම පනත් පනත් කෙටුම්පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරනු ලැබූවක් නොවෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතක් බව පැවසිය යුතුයි. පසුගිය සමයේ බිඳ වැටුණු ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වය දක්වා ගෙනවිත් තිබෙනවා. එම තත්ත්වය ඉදිරියට ද රැකගැනීමට අවශ්‍යයි.

ඒ වගේම යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කරමින් රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත් ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත යුතුව තිබෙනවා. ඊට අදාළ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර රාජ්‍ය මූල්‍ය මනා ලෙස කළමනාකරණය සඳහා “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ද ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධ වැඩසටහන තුළ අපට පෙන්වා දුන් කරුණක් වනවා. ඒ වගේම මෙය රටේ ඉදිරි මූල්‍ය කළමනාකරණයේ දී ඉතාමත් වැදගත් වන පනත් කෙටුම්පතක් බව ද පැවසිය යුතුයි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත් දෙකම මෙරට ආනාගතයට ඉතාම තීරණාත්මක වන බව සඳහන් කළ යුතුයි. මෙම කෙටුම්පත් දෙක තුළ තාක්ෂණික කාරුණු රැසක් ඇතුළත් වනවා. මේ හරහා බලාපොරොත්තු වන්නේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති නව ආර්ථික ගමන් මඟ වෙනස් නොකර ආර්ථිකය පිළිබඳව විශ්වාසය තවදුරටත් තහවුරු වන ආකාරයට කටයුතු කිරීමයි.

මෙහිදී ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ තව දුරටත් විස්තර කළහොත් එය අප රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉතා වැදගත් වනවා. 2023 වසරේ දෙවන සහ තුන්වන කාර්තුවල ආර්ථික සංකෝචනයක් සිදුවුණා. නමුත් හතරවන කාර්තුවේ 4.5%ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනු ලැබුවා. ඒ සමඟ මෙරට පහලම මට්ට්ම දක්වා ආර්ථික වාසිය ගලාගෙන යාම ආරම්භ වුණා.

ඒ වගේම මෙරට ආර්ථික තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආර්ථිකයට ගෝලීය වශයෙන් පැමිණිය හැකි අභියෝග සඳහා මුහුණ දියහැකි තත්ත්වයට පරිවර්තනය කිරීම, ගෝලීය සහයෝගීතාවය මනාව පවත්වාගෙන යාම සහ වර්ධනය කීරීම අවශ්‍යයි.

එපමණක් නොවෙයි, වෙනස් විය යුතු තැන්වලවදී වෙනස් වීම වැනි කරුණු ද මෙම පනත් කෙටුම්පතින් ආවරණය වනවා.

විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳාම, වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනස්කම්වලට භාජනය විය යුතු නීති පද්ධතිය මෙම පනත් කෙටුම්පත හරහා ආවරණය වනවා.

තවද ශ්‍රී ලංකාවේ නව ආර්ථික කොම්ෂන් සභාවක් පිහිටුවීම, තරගකාරීත්වය තුළ ආයෝජන ආකර්ශනය කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කීරීම, ආයෝජකයන්ට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර වෙළඳාම පුළුල් කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව පිහිටුවීම, අපනයනය සම්බන්ධයෙන්වූ අදාළ ආයතන පිහිටුවීම මෙම පනත් කෙටුම්පත හරහා සිදුවන බව සඳහන් කළ යුතුයි.

විශේෂයෙන්ම ආර්ථික පරිවර්තනය සම්බන්ධයෙන් අප විසින් ගත් තීන්දු පාර්ලිමේන්තුව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා. 2022 වර්ෂයේ රාජ්‍ය ණය අනුපාතය 128% ක් ලෙස පැවතුණා. එය 2032 වසර වන විට 95% කට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාමට අවශ්‍යයි.

ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 වසර වන විට 34.6 %ක්ව පැවති රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව 2032 වසර වන විට 13% වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාම අවශ්‍ය වනවා.

එමෙන්ම ණය සේවාකරණය ද ඉතාමත් වැදගත් වනවා. අප උත්සහ කරන්නේ ණය ගෙවාගත හැකි ණය තිරසර භාවයෙන් යුතු රටක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමටයි. 2022 වර්ෂයේ 9.4% ක්ව පැවති ණය ගෙවීම් අනුපාතය 2027 වසර වන විට 4.5% කට වඩා අඩු කර ගැනීම අවශ්‍ය වනවා.

රට වෙනුවෙන් සපුරාගත යුතු මෙවැනි නිෂ්චිත ඉලක්ක සහ රටේ ආර්ථිකයට එල්ල විය හැකි යම් අභියෝග පිළිබඳ ගන්නා ක්‍රියා මාර්ග පාර්ලිමේන්තුවට නැවත වාර්තා කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් ලෙස මෙය හඳුන්වා දිය හැකි වනවා.

මෙම පනත් හරහා අවසාන වශයෙන් අප බලාපොරොත්තු වන්නේ තිරසර ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම, ණය ගෙවීම තිරසර මට්ටමක පවත්වාගෙන යාම, කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම, ආනයනය සහ අපනයනය කළමනාකරණය කිරීම, ගෙවුම් ශේෂය කළමනාකරණය කිරීම හරහා රටේ ආර්ථික දිශානතිය නිවැරදිව මෙහෙය වීම බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත හරහා විශාල කථිකාවතක් ගොඩ නැඟුණා. පැවති පනතේ දුර්වලතා හඳුනාගෙන අනාගතයේ අවශ්‍යතා සම්පූර්ණ කල හැකි ගැලපෙන නීති රාමුවක් ඉදිරිපත් කිරීම මෙමඟින් සිදු කෙරෙනවා.

සජිත්ට ගැළවිල්ලක් නෑ : ජුනි 6 විවාදයට අනුර සූදානම් !

ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය ජුනි 06 පැවැත්වීමට තම පාර්ශ්වය සූදානම් බව ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස අද (20) පැවසීය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර සිටියේ සජබ වෙනුවෙන් අදාළ විවාදයේ කටයුතු සූදානම් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඊයේ (19) යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින්ය.

ඒ අනුව නලින්ද ජයතිස්ස පවසා සිටියේ , අදාළ විවාදය සඳහා අභියෝගය ලබාදුන් අවස්ථාවේ තම පාර්ශ්වය ඒ සඳහා දින කිහිපයක් ලබාදුන් නමුත් සජබ ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවය. අනතුරුව තම පක්ෂය විසින් මැයි 20 වනදාට පෙර අදාළ විවාදය සඳහා දින නියම කළත්, ඒ සම්බන්ධවද ප්‍රතිචාර නොදක්වා සිටි සජබ , ඊයේ ලිපියක් යොමුකරමින් දින කිහිපයක් ඉදිරිපත් කර , ඉන් එක් දිනයක් විවාදය සඳහා තෝරාගන්නා ලෙස දැනුම්දී ඇති බවද ඔහු පැවසීය. ඒ අනුව සජිත් ප්‍රේමදාස  සමග විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බවට ප්‍රකාශ කළ නලින්ද ජයතිස්ස ඒ අනුව සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැස්සත් සමඟ හිස ඔසවන ඩෙංගු මඩින්න කඩිනම් පියවර !

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ඔහු උපදෙස් දුන්නේය.

මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, සහ නව ගොඩැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන් සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවලට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ දැනුවත් කළේය.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (20) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මීඨ ඉහතදී පවත්වන ලද සාකච්ඡාවේදී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම හා ඒවායේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කෙරිණ.

විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ඩෙංගු පාලනය කිරීම සඳහා සාගල රත්නායක මහතා විසින් ලබා දෙන නායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් අගය කළ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මෙම වැඩපිළිවෙල සඳහා සිය උපරිම සහාය ලබා දෙන බවද පැවසීය.

මීට අමතරව කොළඹ නගරයේ ඇති අවදානම් සහිත ගස් සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ අතු කපා දමා අවදානම අවම කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. කෙසේ වුවද කපා දමන ගස් වෙනුවෙන් නව පැලයක් සිටුවීමේ වැඩපිළිවලක් සකස් කර එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසද සාගල රත්නායක  උපදෙස් දුන්නේය.

එසේම පිරිසුදු සහ ආකර්ශණිය වෙරළ තීරයක් පවත්වා ගැනීම මෙන්ම අපජලය මුහුදට මුදා හැරීම සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගැනීම සම්බන්ධව සාකච්ඡාවක්ද අද (20) පෙරවරුවේ සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

රේඛීය අමාත්‍යාංශවල නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ.

ගෝලීය උතුරේ අවාසනාවන්ත අසමත්කම ජනපති පෙන්වාදෙයි

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමිනි.

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වනදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් මීට එක්ව සිටිති.

සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි.

1997 වසරේ සිට සෑම වසර තුනකට වරක්ම පැවැත්වෙන ජලය පිළිබඳ ප්‍රමුඛ සමුළුවක් වන ලෝක ජල සමුළුවේදී ලොව සියලු රටවලට අත්දැකීම් සහ ජල කළමනාකරණය සඳහා සුදුසුම භාවිතයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා වන අතර ජලය, සනීපාරක්ෂක අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධව පාර්ශ්වකරුවන් අතර සංවාද පැවැත්වීම එහි වැදගත් පියවරකි

ලෝක ජල සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්මික සංවර්ධන සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාළගුණ සංවිධානය එක්වී සිටී.

10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක් රාජ්‍ය නායකයන්, අදාළ ආමත්‍යවරු සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

සමුළුට එක්ව සිටී රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ඉන්දුනිසියානු ජනාධිපතිවරයා විසින් ඉතා මිත්‍රශිලීව පිළිගනු ලැබීය.

මෙම සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

10 වැනි ලෝක ජල සමුළුව බාලි හිදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා වෙත පළමුවෙන්ම මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි.

“සාමූහික සෞභාහ්‍ය සඳහා ජලය” යන තේමාව, සියලු ජීවීන්ගේ ජීව රුධිරය වන ජල සම්පත් සහ පරිසර පද්ධති සේවාවන් කළමනාකරණය කිරීමේ සාමූහික වගකීම කෙරෙහි අවධානය යොමු කරවන්නක් බව කිවයුතුයි.

ඒ වගේම මෙය ඉන්දුනීසියාව විසින් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ පස්වන සැසිවාරයේදී (UNEA-5) යෝජනා කරන ලද “තිරසර විල් කළමනාකරණය” යන යෝජනාවට ද අනුකූල වෙනවා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව “6/13 දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ අඩුවීම හා පරිසර දූෂණය යන කරුණු සම්බන්ධයෙන් තිරසර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ජල ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා ඵලදායී හා සියල්ල ඇතුළත් විසඳුම්” යන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

G20 සංවිධානයේ සභාපතිත්වය තුළ ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය ආරම්භ කිරීම සඳහා මුලපිරීම පිළිබඳ ඉන්දුනීසියානු රජයට සුබ පැතීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලංකාව එහි පුරෝගාමී සාමාජිකයෙකු වීමට කැමැත්ත පළ කරනවා.

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක්. අද පවතින ජල සම්පත් අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුව ද දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම් බව සඳහන් කළයුතුයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් 2090 දක්වා පුරෝකතනය කර ඇති දේශගුණික තත්ත්වයන්ට අනුව, ශ්‍රී ලංකාවේ වියළි කලාපය තවදුරටත් වැඩි වියළි ස්වභාවයකට පත්වන අතර තෙත් කලාපය පෙර නොවූ විරූ ආකාරයෙන් තෙත් තත්ත්වයට පත් වනු ඇත. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළබඩ ප්‍රදේශවලට ලවණ ජලය කාන්දු වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ලවණීකරණයට ලක් වෙනවා.

මා ශ්‍රී ලංකාව උදාහරණයට ගෙන මේ පිළිබඳ සඳහන් කළේ ලෝකය පුරාම සිදුවන්නේ ද මෙය බව සඳහන් කිරීමටයි.

ගෝලීය වශයෙන් ගත් විට, ජල අර්බුදයට විසඳුම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒ සඳහා අනුවර්තනය වීම මත රඳා පවතිනවා. ජලය ඉලක්ක කරගත් නිශ්චිත ක්‍රියාමාර්ග සමඟ ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කළ යුතුයි.

ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වය තුළ, ජලය, අනුවර්තන අංශ යටතේ වර්ගීකරණය කර තිබෙනවා. අනෙක් අතට, විමෝචනය මූලික හේතුව වන බැවින් දේශගුණික විපර්යාස අවම කිරීම සමානව වැදගත් වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සම්පතට එල්ල වන තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා. ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව අවසන් වීමෙන් පසුව මේ සඳහා පවතින දේශපාලන කැමැත්තෙහි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙනවා.

දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම බටහිර රටවල ප්‍රචලිත වෙමින් පවතිනවා. දිගු කලක් තිස්සේ ප්‍රමාද වී පවතින හානි හා පාඩු අරමුදල ස්ථාපිත කිරීම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළහොත්, මෙම පරතරය පියවා ගැනීමට එය උපකාරී වෙනවා වගේම එය විශාල පියවරක් වෙනවා.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එසේ වුවත්, එහි අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල මත රඳා පවතිනු ඇතියි.

2021 දී ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් 2030 වසරේදී ගෝලීය වශයෙන් ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.7 ක් සහ 2058 වසරේදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 22 ක් ආයෝජනය කිරීමට ඇස්තමේන්තු කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනෙහි 2023 වසරේ (UNEP) “අඩු මුල්‍ය – අඩු සුදානම්” වාර්තාව අනුව දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම මූල්‍ය පරතරය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 194 සිට 366 දක්වා වන බව තක්සේරු කර තිබෙනවා.

යුක්‍රේනයේ මරණ සහ විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටිනවා. නමුත් දේශගුණික විපර්යාස නිසා සිදුවන මරණ සහ විනාශය වළක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට අකැමැත්තක් දක්වනවා.

අපේක්ෂිත ප්‍රමාණවලින් සහ අපේක්ෂිත වේගයකින් අප වෙත අරමුදල් නොපැමිණෙන නිසා සම්පත් පරතරය මඟහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව COP 28 සමුළුව වෙත නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative) ඉදිරිපත් කළා.

එය ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට මුහුණ දීම සඳහා නිවර්තන කලාපයේ ස්වභාවික වනාන්තර, කඩොලාන, වගුරු බිම්, තෘණ බිම්, ජල මූලාශ්‍ර සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා වාණිජ ආයෝජන උපයෝගී කර ගැනීමේ නව සංකල්පයක් වෙනවා.

මෙම කලාපය ආරම්භයේ සිටම සමස්ත ලෝකයටම ආරක්ෂක පලිහක් බවට පත්වුණා. එය වර්තමානයේ පවතින ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්ප්‍රේරක වේගකාරකයක් වෙනවා. නිවර්තන කලාපයේ ආයෝජනය කිරීම, ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා පරිවර්තනීය වෙනස්කම් ගෙන එනු ඇතියි.

මෙම සන්දර්භය තුළ, ගෝලීය මිශ්‍ර මූල්‍යකරණය පිළිබඳ වැඩසටහන මගින් ගෝලීය දකුණට අවශ්‍ය මූල්‍ය සම්පත් සකස් කර ගැනිමට හැකියාව ලැබෙනවා. මෙම අරමුදල ආරම්භ කිරීම සඳහා පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4 සහනදායී මූල්‍යකරණය සඳහා හොඳ උදාහරණයක් වෙනවා.

නිවර්තන කලාපීය මුලපිරීමට ද මෙම පහසුකම ප්‍රයෝජනවත් වනු ඇතියි. මෙම සන්දර්භය තුළ බදු පාරාදීසයන්හී තැන්පත් කර ඇති ගෝලීය බදු පැහැර හැරීම් ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය මත 10% ක බද්දක් පැනවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනා කරනවා.

එම වාර්ෂික ලාභය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැංකු සහ මූල්‍ය ආයතනවලට රුසියානු බැංකුවලට පැනවූ සම්බාධකවලට සමාන ආකාරයේ සම්බාධක පැනවීමෙන් මෙම බද්ද ක්‍රියාත්මක කළ හැකියි.

දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම වෙනුවෙන් වන මිශ්‍ර මූල්‍ය ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට මෙම බදු මඟින් අරමුදල් ලබා ගත යුතුයි.

ගෝලීය මිශ්‍ර මූල්‍යකරණ මුලපිරීම, හානි හා පාඩු පිළිබඳ අරමුදල්වලට අතිරේකයක් මිස විකල්පයක් නොවෙයි. මෙම ක්‍රියාමාර්ග දෙක එකට ක්‍රියාත්මක කළ යුතුයි.

එබැවින් සන්ධාන ලේකම් කාර්යාලය පිහිටුවීම සහ G20 සමුළුවේදී මෙම වැඩසටහන පිළිබඳ යෝජනා කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව විසින් සිදු කරන ලද භාරදූර කාර්යය වෙනුවෙන් මෙම සමුළුවේදී අපගේ ප්‍රශංසාව පළ කරමු.

ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය මිශ්‍ර සන්ධානය එකට එක්ව ගෙන ඒම සඳහා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා දැක්වූ දායකත්වය වෙනුවෙන් නැවතත් අපගේ ස්තූතිය පිරිනමනවා.

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo)  විසින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් බාලි සංස්කෘතික උද්‍යානයේ දී ඊයේ (19) පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එක් විය.

High Level Meeting 03

බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක්

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුපට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

බන්ධනාගාර නිලධාරින් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (මැයි 20) පස්වරුවේ අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී  ඔහු මේ බව පැවසීය.

කොළඹ ඇතුළු බන්ධනාගාර කිහිපයක බන්ධනාගාර නිලධාරින් අද අධිකරණයට ඉදිරිපත් කළ යුතු චූදිතයින් අධිකරණයට ඉදිරිපත් නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර බන්ධනාගාර නිලධාරින් යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට බැඳී සිටින බව ඔහු සඳහන් කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, 2013 වසරේ සිට පොලිස් සේවයේ නිලධාරින්ට වැටුප් වැඩිවීමක් සිදු කළත් බන්ධනාගාර නිලධාරින්ට වැටුප් වැඩිවීමක් සිදුව නොමැති අතර ඔවුන්ගේ වැටුප් වැඩීවීම පිළිබඳව 2023 ඔක්තෝම්බර් මස 9 වන දා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් අපි ඉදිරිපත් කළ බව ය.

“කොළඹ ඇතුළු බන්ධනාගාර කිහිපයක බන්ධනාගාර නිලධාරින් අද දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු චූදිතයින් අධිකරණයට ඉදිරිපත් නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. බන්ධනාගාර නිලධාරින් යුක්තිය පසිදලිමේ ක්‍රියාවලියට බැදි සිටිනවා. අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරින්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමේ හැකියාවක් නැහැ. අධිකරණයට වගකීම් ඉටු නොකිරීම පිළිබඳව කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගනීවි ද? යන්න ප්‍රකාශ කරන්න බැහැ. 2013 වසරට පෙර පොලිස් සේවයේ නිලධාරින්ට සහ බන්ධනාගාර නිලධාරින්ට සම මට්ටමේ ආකාරයෙන් වැටුප් වැඩීවීම් සිදු කර තිබෙනවා. එහෙත්, 2013 වසරේ සිට පොලිස් සේවයේ නිලධාරින්ට වැටුප් වැඩිවීමක් සිදු කළත් බන්ධනාගාර නිලධාරින්ට වැටුප් වැඩිවීමක් සිදුව නැහැ. ඒ නිසා වැටුප් විෂමතාවයක් තිබෙනවා. අපි මේ ගැටලුව පිළිබඳව අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළා. අවධානය යොමු කළා. බන්ධනාගාර නිලධාරින්ට වැටුප් වැඩීව්ම පිළිබදව 2023 ඔක්තෝම්බර් මස 9 වන දා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් අපි ඉදිරිපත් කළා.”

බන්ධනාගාර නිලධාරින් රුපියල් 20,000ක දීමනාව වෙනුවට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට යෝජනා කළ අතර ඒ ඒ ශ්‍රේණිවලට අදාළ දීමනා තීරණය කරන තෙක් මෙම දීමනාව ලබාදීමට යෝජනා කළ බව ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.

“බන්ධනාගාර නිලධාරින් රුපියල් විසි දහසක දීමනාවක් ඉල්ලා සිටියා. නමුත් අමාත්‍යාංශයේ ලේකම්තුමා බන්ධනාගාර කොමසාරිස්තුමා ඇතුළු සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කළා. රුපියල් විසි දහසේ දීමනාව වෙනුවට රුපියල් පහලොස් දහසක දීමනාවක් ලබාදීමට යෝජනා කළා. ඒ ඒ ශ්‍රේණිවලට අදාළ දීමනා තීරණය කරන තෙක් මෙම දීමනාව ලබාදීමට යෝජනා කළා. නමුත් ඒ අවස්ථාවේ සමස්ත රාජ්‍ය සේවයට ම රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට රජය විසින් තීරණය කළා. නමුත් බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනාව වැඩිවීම පිළිබඳව අවස්ථා කිහිපයකදි අපි සාකච්ඡා කළා. ඔවුන්ගේ වැටුප් ගැටලුව මුල් කර ගනිමින් ඔවුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව අපි පිළිගන්නවා”

රටේ පවතින ආර්ථක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය, ගරු ජනාධිපතිතුමා, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව ත් බන්ධනාගාර නිලධාරින්ගේ ප්‍රශ්නය නොසලකා හැර නොමැති බව ත් ඔහු සඳහන් කළේ ය.

“නමුත් රටේ පවතින ආර්ථක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු යි. ඒ නිසා එම ඉල්ලීම් ඉටු කිරීමට රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව අපි අමාත්‍ය මණ්ඩලය, ගරු ජනාධිපතිතුමා, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරනවා. අපි ඔවුන්ගේ ප්‍රශ්නය නොසලකා හැර නැහැ.”

2013 වසර දක්වා පොලිස් සේවයට සහ බන්ධනාගාර නිලධාරි සේවයට සමාන ලෙස වැටුප් වැඩිවීම් සිදු වුණ අතර 2013 වසරේ සිට පොලිස් සේවයට වැටුප් වැඩීවීම් සිදු කළත්, බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් වුණේ නැති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ නිසා, බන්ධනාගාර නිලධාරීන්ට අසාධාරණයක් සිදු වී ඇති බව ත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

ඔවුන්ගේ ඉල්ලීම්වලට යුක්තිය හා සාධාරණත්වය ඉටු කළ යුතු බවට අපි පිළිගන්නවා. නමුත් අධිකරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඔවුන් අද දිනයේ සේවයට වාර්තා කර සැකකරුවන් අධිකරණයට ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය කාලයේ බන්ධනාර නිලධාරින්ගේ අතිකාල දීමනාව සීමා කර තිබුණා. ඒ ගැටලුවට විසදුම් ලබාදීමට කටයුතු කළා. 2013 වසර දක්වා පොලිස් සේවයට සහ බන්ධනාගාර නිලධාරී සේවයට සමාන ලෙස වැටුප් වැඩිවීම් සිදු වුණා. නමුත් 2013 වසරේ සිට පොලිස් සේවයට වැටුප් වැඩීවීම් සිදු කළත්, බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් වුණේ නැහැ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළ යුතු යි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නවා”

දිස්ත්‍රික්ක 09 ක නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

පවතින අධික වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 9ක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂ සංවිධානය පියවර ගෙන තිබෙයි

ඒ අනුව අද පස්වරු 12 සිට හෙට පස්වරු 12 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි එම සංවිධානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශය සහ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීම් 2 (ඇම්බර් වර්ණය) නිකුත් කරමින් අවදානයෙන් සිටින බව දන්වා තිබෙයි

අනතුරු ඇඟවීම් 1 විමසිලිමත් (කහ) වර්ණය නිකුත් කරමින්,

බදුල්ල දිස්ත්‍රික්කයේ – ඇල්ල, හල්දුම්මුල්ල, ⁠හපුතලේ, ⁠හාලි ඇල, ⁠බදුල්ල,

කොළඹ දිස්ත්‍රික්කයේ – පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කයේ – නාගොඩ, ඇල්පිටිය,

ගම්පහ දිස්ත්‍රික්කයේ – අත්තනගල්ල,

කළුතර දිස්ත්‍රික්කයේ – දොඩන්ගොඩ, ⁠ඉංගිරිය, පාලින්දනුවර, ⁠බුලත්සිංහල, ⁠අගලවත්ත, ⁠වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කයේ – ගගවට කෝරළය, ⁠උඩුදුම්බර, යටිනුවර, ⁠උඩපලාත, ⁠උඩුනුවර, ⁠ගග ඉහළ කෝරළය, ⁠පස්බාගේ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කයේ – යටියන්තොට, මාවනැල්ල, ⁠දෙහිඹ්විට, ⁠බුලත්කොහුපිටිය, ⁠ගලිගමුව, ⁠වරකාපොල, ⁠කෑගල්ල, ⁠දැරණියගල, ⁠රුවන්වැල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ – අලව්ව, ⁠නාරම්මල, ⁠පොල්ගහවෙල

රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠බලංගොඩ, – ⁠රත්නපුර, ⁠ඉඹුල්පේ, ⁠කලවාන, ⁠කිරිඇල්ල, ⁠කුරුවිට, ⁠ඇහඅළියගොඩ, ⁠අයගම, ⁠ඇලපාත

යන දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙලෙස නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

ජනපති රනිල් සහ ඊලොන් මස්ක් අතර හමුවක් !

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) ගේ ආරාධනය පරිදි ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ලෝක ප්‍රමුඛ ධනවතෙක් මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් වන ඊලොන් මස්ක් (Elon Musk)  හමුව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට අද (19) මෙම හමුව සිදුව ඇති අතර එහිදී  ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ එහිදී  සාකච්ඡා කර තිබේ.

ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව එහිදී අවධාරණය කෙරිණි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන  ද මෙම අවස්ථාවට එක්ව ඇත.

අනුර -සජිත් විවාදයට : රනිල් ගිනි පිඹියි !

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ විවාදයට මේ වෙනකොට බාලගිරි දෝෂය. වැඩේ හැමදාම කල් යනවා. ඔන්න මේ වෙනකොට තිබුන තත්වය තමයි, මැයි 20 ට පෙර විවාදය පැවැත්වීම. ඕන විවාදයක් මැයි 20 ට පෙර පවත්වන්න ඕන බවත්, ඊට පස්සේ සජබ කියන කියන දවස් වලට විවාද ගැන කියවමින් ඉන්න තමන් සූදානම් නැති බවත් ජාතික ජනබලවේගය පාර්ශ්වය සඳහන් කළා.

නමුත් ඔන්න අද (19) තමයි සජබ පාර්ශ්වය විවාදයේ දවස මාරු කරලා නිවේදනයක් නිකුත්කරලා තියෙන්නේ. කොහොම නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ විවාදය ගැන උනන්දුවෙන් ඉඳලා තියෙනවා. ඒ ගැන ජනාධිපති දක්වපු ප්‍රතිචාරයක සඳහන් කරලා තියෙන්නේ අනුරගේ අභියෝගය  සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස  විසින් පිළිගත යුතුව තිබූ බවයි.

මැයි 20 වැනිදා එම අභියෝගයේ අවසන් දිනය ලෙස අනුර දිසානායක මහතා නියම කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා විසින් එය පිළිගෙන නැති බවත් ඔහු එය පිළිගෙන විවාදයට මුහුණ දිය යුතුව තිබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරලා.

 ඒ විතරක්ත නෙවෙයි, තමන් නම්  ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බවත්   තමන් පාර්ලිමේන්තුවේ නිතර සිටින බැවින්  ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණ තමන් සමඟ වාද කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා.

දේශපාලන ආරංචිමාර්ග නම් කියන්නේ අනුර එක්ක විවාදය සජිත් මඟ හැරියා වගේම , ආර්ථික කමිටු අතර විවාදයත් ඒ නිසාම නොකෙරෙන තැනට පත්කරා වගේ පේනවා කියලා. ඔය කතා මොනවා වුණත් සජබ ජාජබ දෙගොල්ලොම වැඩේ මඟ හැරියා කියලා කියන අය තමයි වැඩි.

දේශපාලන වාර්තාකරු 

අනුර - සජිත් විවාදයේ දවස මාරු වෙයි : වැඩේ විගඩමක් වෙයි !

2024 ජනාධිපතිවරණය මුල් කරගනිමින් ජාතික ජනබලවේගය පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂය අතර පැවැත්වීමට නියමිත විවාදයට අදාළ තවත් දින කිහිපයක් සමගි ජනබලවේගය පක්ෂය විසින් නියම කර ඇත.

එම ලිපිය අනුව එම ලිපිය අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදීද නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමටත් යෝජනා කර ඇත.

නමුත් ගැටලුව වී තිබෙන්නේ මේකී විවාදය සඳහා ජාතික ජනබලවේගය නියම කළ අවසන් දිනය හෙට (20) වීමය. එම දිනය ප්‍රකාශයට පත්කරමින් ජාතික ජනබලවේගය පක්ෂය දැනුම්දී සිටියේ මැයි 20 ට පෙර ඕනෑම මොහොතක ඕනෑම විවාදයකට තම පාර්ශ්වය සූදානම් බවත් ඉන් අනතුරුව විවාද සම්බන්ධ කතා අවසන් කරන බවය.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ ජාතික ජනබලවේගය නියම කළ දිනය අවසන් වන මොහොතේ තවත් දින නියම කිරීම සජබ විසින් සිදුකළ අපරිණත දේශපාලන ක්‍රියාවක් බවයි. අවසාන දිනයට පෙර අදාළ දිනය සංශෝධනය කර ගැනීමට අවස්ථාව පැවති බවත් එහිදේ පෙන්වාදෙන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ දෙපාර්ශ්වයම අදාළ විවාදය සඳහා සත්භාවයෙන් කැපවූ බවක් නොපෙන්නු බවයි. එබැවින් දැන් මෙය හරවත් විවාදයකට වඩා නාඩගමක් බවද ඔවුන් පවසයි.

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් !

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි  ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරන ආකාරයට අද  (19) අලුයම 03.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. 

ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා මෙන්ම මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසීය.

🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)        

බදුල්ල දිස්ත්‍රික්කය: 
- ඇල්ල
                    
🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)     

බදුල්ල දිස්ත්‍රික්කය: 
- හල්දුම්මුල්ල
- ⁠හපුතලේ
- ⁠හාලි ඇල
- ⁠බදුල්ල

කොළඹ දිස්ත්‍රික්කය: 
- සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය: 
- අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කය: 
- පාලින්දනුවර
- ⁠බුලත්සිංහල
- ⁠අගලවත්ත
- ⁠මතුගම
- ⁠වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය: 
- ගඟවට කෝරළය
- ⁠උඩුදුම්බර
- යටිනුවර
- උඩපළාත
- ⁠උඩුනුවර
- ⁠ගඟ ඉහළ කෝරළය
- ⁠පස්බාගේ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය: 
- යටියන්තොට
- මාවනැල්ල
- ⁠දෙහිඹ්විට
- ⁠බුලත්කොහුපිටිය
- ⁠ගලිගමුව
- ⁠වරකාපොල
- ⁠කෑගල්ල
- ⁠දැරණියගල
- ⁠රුවන්වැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය: 
- ⁠බලංගොඩ
- ⁠රත්නපුර
- ⁠ඉඹුල්පේ
- ⁠කලවාන
- ⁠කිරිඇල්ල
- ⁠කුරුවිට
- ⁠ඇහැළියගොඩ
- ⁠අයගම
- ⁠ඇලපාත

ජනපති උපදෙසින් “සුරක්ෂා” රක්ෂණාවරණය යළි ඇරඹේ

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වේ.

මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

“සුරක්ෂා” සිසු රක්ෂණාවරණය, සෞඛ්‍ය ගැටළු හේතුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් පාසල් සිසුන් දෛනිකව පාසල් පැමිණීම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2017 වර්ෂයේ එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද වැඩසටහනකි.

මෙම වැඩසටහන 2022.12.01 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන් පසු කාල සීමාවේදී මේ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතා මත තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.

කෙසේ නමුත් මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවයත් සමඟ”සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වර්ෂයේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලදී. 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම එහි අරමුණයි.

ඒ අනුව ලක්ෂ 45කට ආසන්න මෙරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්හි ඉගෙනුම ලබන 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 4ත් 21ත් අතර වයස සීමාවේ පසුවන සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණය සහ අනතුරු රක්ෂණාවරණය යටතේ වූ සියලු ප්‍රතිලාභ ලබාදීමට යෝජනා වී තිබේ.

එසේම අඩු ආදායම්ලාභී එනම් වාර්ෂික ආදායම රු. 180,000/= කට වඩා අඩු පවුල්වල සිසුන් සඳහා ජීවිත රක්ෂණ ආවරණය යටතේ වූ දෙමාපිය මරණ සඳහා ද ප්‍රතිලාභ ලබා දීමට යෝජනා කර ඇත.

මෙම වැඩසටහන යටතේ සියලුම සිසුන්ට ලබා දීමට අපේක්ෂිත ප්‍රතිලාභ මෙසේය.

  1. සෞඛ්‍ය රක්ෂණාවරණය.

නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 300,000/= දක්වා (රජයේ/පෞද්ගලික රෝහල්වල).
මෙහිදී දරුවා ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රජයේ රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු.2500/= බැගින් ද (රජයේ රෝහලකට ඇතුළත් වූවද මෙහිදී එක් රාත්‍රියක් සඳහා රු.2500/=ක මුදලක් ලබාදීම සිදු කරනුයේ දරුවෙකු අසනීප වූ විට සාමන්‍ය පවුලක දෙමාපියන්ට රැකියාවේ නිරතවීම සම්බන්ධයෙන් මතුවන අපහසුතා හේතුවෙනි.) පෞද්ගලික රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු7500/= බැගින් ද ප්‍රතිලාභ හිමි වේ.

බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 20,000/= දක්වා.
මෙම කාණ්ඩය යටතේ පෙර පැවති අක්ෂි දෝෂ සඳහා ඇස් කණ්නාඩි සඳහා ප්‍රතිලාභ ගෙවීමට අමතරව ශ්‍රවණාබාධ සඳහා ශ්‍රවණාධාර උපකරණ සඳහා ද ප්‍රතිලාභ ගෙවීම ඇතුළත් කර ඇත. එමෙන්ම දරුවන්ගේ අසනීප තත්ත්වයකදී බාහිර රෝහල් මඟින් සිදු කරනු ලබන රසායනාගාර පරීක්ෂණ ගාස්තු ද මෙම කාණ්ඩයේ ප්‍රතිලාභ යටතේ ආවරණය වේ.

බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිලාභ – රු. 200,000/= සිට රු. 1,500,000/= දක්වා.

      2. අනතුරු රක්ෂණාවරණය
පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු.200,000/=.

සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා – රු. 150,000/= සිට රු. 200,000/= දක්වා.

තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000/= සිට රු.100,000/= දක්වා.

     3. ජීවිත රක්ෂණාවරණය.
දෙමාපියන්ගේ මරණයකදී.

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු වෙනුවෙන් එක් සිසුවෙකු සඳහා රු.75,000/= ක් දෙමාපියන් දෙදෙනාම ආවරණය වන පරිදි ප්‍රතිලාභ හිමිවේ.

පවුලේ සියලු පාසල් යන ළමුන්ට ප්‍රතිලාභ හිමිවන නමුත් එක් සිද්ධියක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු.225,000/= කි. (රු.75,000/= බැගින් උපරිම දරුවන් 3 දෙනෙකු සඳහා)

මෙම රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ ගිවිසුම් ගත වීමට නියමිත අතර පාසල් සිසුන් සඳහා වූ මෙම සියලුම ප්‍රතිලාභ සතියක් ඇතුළත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සලසා ඇති මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කඩිනමින් ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ද සකස් කිරීමට නියමිතය.

ඒ අනුව “සුරක්ෂා” රක්ෂණාවරණය යටතේ දරුවන්ට හිමිවන ප්‍රතිලාභ මුදල් එම දරුවන්ගේ දෙමාපියන්ගේ අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කටයුතු කරනු ඇත.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ පාසල්වල විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ද සකස් කිරීමට නියමිත අතර ඊට අදාළ චක්‍ර ලේඛය ද ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතය.

මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒකාබද්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වේ.

ජනපති සහ ඉන්දුනීසියානු සමුද්‍රීය කටයුතු සහ ආයෝජන ඇමති අතර හමුවක් !

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan)  අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්විණි.

ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative), නීල ආර්ථිකය (Blue Economy) මෙන්ම මුහුදු පැලෑටි කර්මාන්තය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර කඩොලාන වගා කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහයෝගීතා වැඩපිළිවෙළක් ඇති කර ගැනීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් ද්විපාර්ශ්වික කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ඒ සඳහා ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳ ද සාකච්ඡා විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මින් මීට එක්ව සිටී අතර, ඉන්දුනීසියානු රජය නියෝජනය කරමින් එරට සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යාංශයේ ලේකම් අයෝධායි ජී. එල්. කලාකේ (Ayodhia G.L Kalake), වන හා පරිසර කළමනාකරණය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය නානි හෙන්ඩියාර්ට් (Nani Hendiarti), යටිතල පහසුකම් සහ ප්‍රවාහනය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය රහ්මත් කයිමුද්දීන් (Rahmat Kaimuddin), සමුද්‍රීය සම්පත් පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය ෆිර්මාන් හිදායත් (Firman Hidayat), දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ උපදේශක චෙරී නුර් සලිම් (Cherie Nur Salim) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

Page 9 of 401