සාමාන්‍යය දේවල් නම් නිතරම අසන්නට තිබෙන්නේය. එයට හේතුව වන්නේ ඒවා බහුලවීම නිසා ය. නමුත් කලාතුරකින් අසාමාන්‍යය වූ දේවල් ද අසන්නට ලැබෙන්නේ ය. ඒවා අසාමාන්‍යය දේවල් වීම නිසාම විශේෂිත වූ දේවල් ගණයට අයත් වේ. ඊටත් එහා ගිය විට තිබෙන්නේ අතිවිශේෂ දේවල්ය. මේ අතිවිශේෂ දේවල් අතිශය පිළිකුල් සහගත සහ ජුගුප්සා ජනක වූ විට ඒවා ගැන නම් කතා කළ යුතු ම ය. මක්නිසා ද යත් ඒවා සමාජයේ නැවත නැවතත් සිදුවීමට ඉඩදියයුතු නැති බැවිනි. “පල්ලේගම” නාටකය ද එබඳු අතිශය ජුගුප්සා ජනක අතිශය පිළිකුල් ජවනිකාවකි.
පූජනීය උත්තමයා ගේ අතිවිශේෂත්වය
මෙහි දී සලකන්නේ මහා පරිමාණයෙන් අවධානය යොමුකිරීම කළයුතු දේවල් ය. මක්නිසා ද යත් රටේ ජනතාවට ඒවා එතරම්ම බලපාන නිසාමය. අති පූජනීය වූ බෞද්ධ අටමස්ථානය තවදුරටත් විස්තර කළොත්, ශ්‍රී මහා බෝධිය, ලෝවා මහාපාය, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, ජේතවනාරාමය, අභයගිරිය, ලංකාරාමය, මිරිසවැටිය යන සිද්ධස්ථාන වල එකතුවයි. මෙම සිද්ධස්ථානයන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ පමණක්ම නොව ලෝකයේ අතිමහත්වූ ජනතාවකගේ භක්ති ප්‍රණාමයට පාත්‍ර වූ ප්‍රධානතම ආගමික ස්ථානයකි. මේ අති පූජනීය ස්ථානයේ භාරකත්වය ගෙන කටයුතු කරන්නේ අටමස්ථානාධිපති හිමියෝය. එය පවුලේ බූදලයක් ලෙසින් එන තනතුරක් ලෙස එකම පවුලක ජීවිත භුක්තියට සවිවූ තනතුරකි.
එම අටමස්තානාධිපති තනතුරේ කටයුතු කරමින් සිටියේ පල්ලේගම හේමරතන නමැති භික්ෂුව ය. ඔහුට ඉන්දියාවේ සාරානාත් ටිබෙට් උසස් අධ්‍යාපන ආයතනය මගින් ගෞරව ආචාර්‍ය පදවියක් ද පිරිනමා තිබිණී. එසේ බලන කල මෙම ගරුකටයුතු තනතුර වනාහී එසේ මෙසේ තනතුරක් නම් නොවේම ය. එය අපේ ගමක පන්සලේ හෝ පිරිවනක නායක තනතුරක් හෝ ධර්ම ආයතනයක නායක තනතුරක් හෝ ලෙස සැලකිය හැකි තනතුරක් නම් නොවේ . ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයේ ඉතාම ඉහළින් පිහිටන මහා තනතුරක් වන්නේ ය. විධායක බලයෙන් මෙන්ම පූජනීයත්වයෙන් ඉහළින්ම තිබෙන තනතුරක් වන්නේ ය. එය නම් සාමාන්‍යය තනතුරක් නොවේ . විශේෂ නොව අතිවිශේෂ වූ තනතුරක් ම වේ. එබැවින්ම එම තනතුර සහ එම තනතුරේ වැඩ හිටින හිමියෝ උත්තරීතරම වේ. මේ උත්තරීතර හිමිගේ ක්‍රියාකලාපය ජනතාව ගේ හිත සුව පිණිසම විය යුතුමය. රටේ ජනතාවට හෝ රටට යහපතක්ම මිස අයහපත් ක්‍රියාවක් මේ උත්තරීතර හිමිගෙන් ජනතාව කිසිවිටකත් කිසිම මොහොතක බලාපොරොත්තු විය නොහැකි ය. සත්‍ය ලෙස ම මෙවන් තනතුරක වැඩවසන හිමියෙකු ගෙන් ජනතාවට හිංසාවක් හෝ අවැඩක් හීනෙකින් හෝ බලාපොරොත්තු වන්නේ නැත. මේ පූජනීය උත්තමයගේ අතිවිශේෂත්වය එයම වන්නේය .
අපකීර්තිමත් පොලිස් පරීක්ෂක උදයපාල
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව සහ අනාථ දැරිවිය පිළිබඳව කතාව සමාජ මධ්‍යයේ අද දවසේ ප්‍රධාන පුවත බවට පත්වී තිබේ. මෙහි සඳහන් කරුණු පිළිබඳව දැනටමත් නීතිය අනුව කටයුතු කරමින් සිටියි . එසේ වුවත් දිනපතා විවිධ වූ පුද්ගලයින් හා විවිධවූ පාර්ශව විවිධ වූ මතවාද මේ පිළිබඳව පළකරමින් සිටියි. මෙතරම් ප්‍රසිද්ධියක් වූ මෙතරම් මතවාදවලට මේ කාලය තුළ ලක් වූ වෙනත් දෙයක් ගැන නම් කිව නොහැකි ය. ඒ තරමටම මෙය මේ දිනවල සමාජ මාද්‍යය තුළ ජනප්‍රිය වී ඇත. ඒ නිසා මෙහි විශේෂත්වයක් ඇතිබව නම් ඉතාමත් පැහැදිලි කරුණක් වෙයි. ඒ නිසාම මේ පිළිබඳව කතා කළ යුතුමය.
අනුරාධපුරයේ මීට බොහෝ කලකට පෙර ජවිපෙ පූර්ණකාලීනව දේශපාලනය කරන සමයේ සිටම මාගේ අවධානය යොමුවූ දෙයක්නම් මේ අටමස්ථාන පාලක හිමිවරුන් ගේ සහ ඉහළ හිමිවරුන් ගේ අතිශය දූෂිත හැසිරීම් සහ ක්‍රියාකලාප ය. මේවා කිසිවකු විශ්වාස නොකරන මට්ටමේ ක්‍රියාකලාප වේ. මෙහි එක් චීවර ධාරියෙක් බීමත්කම වැඩිවී සිරෝසිස්(Cirrhosis) හැදී මියගිය අතර ථූපාරාමය භාරව එකල සිටි චීවර ධාරියා එකල මාකට් පෙදෙසේ කුලී රථවාහන ගණනාවක් හිමි ව්‍යාපාරිකයෙක් වී ද සිටියේ ය.
එපමණක් නොව එදා සිට අනුරාධපුරයේ බොහෝ ගණීකා නිවාස හමුදා භටයින් ඉලක්ක කරගෙන ම පවත්වාගෙන ගිය අතර මේ ගණීකා නිවාසවලට ඈත පිටිසර ගම්වලින් ගෙනඑන කාන්තාවන් මුලින්ම යැව්වේ ප්‍රදේශයේ බලවත් චීවර ධාරීන් ගේ ඉල්ලුම සැපයීමට ය. මෙවන් කාන්තාවන් අපහරණය සඳහා කොළඹ සහ වෙනත් ප්‍රදේශවල සිට පවා ප්‍රභල චීවර ධාරීන් පැමිණුණ අතර ඔවුන්ට: ඉත්තෑමස්, වල් ඌරු මස්, ඉබිමස් ඇතුළු දඩමස් සැපයීමට වෙනම කණ්ඩායමක් සිටි අතර: තිසා වැවේ, බසවක්කුලම වැවේ පවා ඉබ්බන් ඇල්ලීමට කණ්ඩායම් යොදවා තිබිණි. මේ බොහෝ දේවල් එදා අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක අපකීර්තිමත් උදයපාල ඉතා හොඳින් දැන සිටියහ. වෙනකක් තබා පරිපාලන නිලධාරීන්ද හොඳහැටි දැනසිටියහ.
පීතෘ මූලික සමාජයක දැරියන් ගේ ඉරණම
අද ද අනුරාධපුර පොලිසියට හොරෙන් මේ අකටයුතු සිදුවීමට කිසිදු හැකියාවක් නැත. අටමස්ථානාධිපති ගේ සහ උඩමළුවේ ආරක්ෂාවට පොලිස් ඒකකයක් උඩමළුව තුළ ක්‍රියාත්මක ය. මේ ඒකකයට හොරෙන් කිසිවකුට අටමස්ථානාධිපති ගේ ආවාස ගෙට රිංගිය නොහැකි ය. කිසියම්ම ළාබාල දැරියක් පල්ලේගම ගේ ආවාසෙට දින තුනෙන් තුනට ගෙන්වාගන්නවා නම් ඒ බව නොදන සිටීමට තරම් උඩමලුවේ පොලිස් ඒකකය මොංගල් විය නොහැකි ය. එසේම මේ ආවාසවල ජීවත්වූ අනෙකුත් චීවර ධාරීන් ද මේ පලේගම ගේ ආවාසෙට කාන්තාවන් ගෙන්වන බව නොදැන සිටීමට කිසිම ඉඩක් නොමැත්තේ ඔවුන් අන්ධයින් ගොලුවන් නොවන බැවිනි.
බොහෝ උපාසක උපාසිකාවන් උඩමලුව සහ රුවන්මැලි සෑය යනු මහා අනුහස් ඇති මහානුභා සම්පත් ඇති ස්ථාන ලෙස අදහන අතර ගෞතම සිද්ධාර්ථයන් දෙසූ අසම සම දහම තුළ උන් වහන්සේ දේශනා කළ දේවල නියම අර්ථය මේ වනතුරුත් ඔවුන් වටහාගෙන නොමැත. එසේ වටහාගත්තේනම් මෙවැනි සෙප්පඩ විජ්ජා චීවර ධාරීන් ගෙන් බලාපොරොත්තු වන්නේද නැත. සියල්ල අනිත්‍ය බේස් කොට සිද්ධාර්ථ ගෞතමයන් එතුමන් විසින්මත් සියල්ල ආදර්ශමත් ලෙස අතහැර ලොවට පෙන්වා දුන් අසමසම දහම අංශක 180 ක් හරවමින් අත් හැරීම වෙනුවට බදාගැනීම මුල් කරගනිමින් අන්ත දූශිත චීවර ධාරීන් ශාසනය රැකගැනීමේ මහා කෙබරය මුලින් තබාගෙන කරගෙන යන මේ කපටි වංචාව දැන්නම් රජය මදිහත්වී හෝ අවසන් කලයුතු කාලය එළඹ ඇත.
මේ ප්‍රශ්නයේ දී පැහැදිලිව දැකිය යුතුවන ප්‍රධාන කරුණක් ඇත . එනම් මෙහි ප්‍රධාන වූ පැති දෙකක් තිබීමයි. එක් පැත්තක් නියෝජනය කරන්නේ පල්ලේගම හිමි ය. අනෙක් පැත්ත නියෝජනය කරන්නේ අනාථ වූ දැරිය යි. ඇත්තෙන් ම එය මේ ප්‍රශ්නයේ බාහිරින් පෙනෙන ආකරය මිස සැබෑ ස්වරූපය නම් නොවේ ම ය. මෙහි අභ්‍යන්තර පෙනුම නම් මෙයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේය. එහි දී මෙයට වඩා වෙනස් පෙනුමක් පෙන්වයි. වැදගත් වන්නේ එය යි. මොකක්ද මේ අභ්‍යන්තර පෙනුම? කෙටියෙන්ම කියතොත් බලය සහ ධනය හිමි පැත්ත සහ බලය සහ ධනය අහිමි පැත්ත ලෙස ප්‍රධානවු පැති දෙකක් ඇත. මෙහි දී බලය හා ධනය හිමි පැත්ත අටමස්ථානාධිපති භික්ෂුව නියෝජනය කරන්නේය.
මේ කියන ධනය ගොඩගැසෙන්නේ “නිවන් යෑමට” මුදල් පොම්ප කරන උපාසක උපාසිකාවන් ගේ අන්ධ විශ්වාසයට පින්සිදු වන්නට ය. බලය ගොඩගසෙන්නේ බලයේ සිටින ආණ්ඩුවල නායකයින් සමග මෙම අටමස්ථානාධිපතිවරු ගහට පොත්ත මෙන් එකතුවී බලය පවත්වාගනීමට ඔවුන් රාජ්‍යයට දෙන අනුබලයට පින්සිදු වන්නට ය. බලය සහ ධනය අහිමි පැත්ත අනාථ දැරිවිය නියෝජනය කරන්නේ ය. ඇයට සමාජයේ කිසිදු තැනක් හිමි නොවන අතර පීතෘ මූලික මෙවන් සමාජයක ඇය වැනි දැරියන් ගේ ඉරණම අතිශය ශෝචනීයවේ.
දේශපාළුවන් ගේ නිහඬ වත
පැහැදිලිවම වාසි පැත්ත වන්නේ බලය සහ ධනය හිමි පැත්තයි. මේ මොහොත වඩාත් වැදගත් වන්නේ ඒ පැත්තේ සිටින බලවේග සහ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා අවස්ථාව යොදා ගැනීමයි. මක්නිසා ද යත් රට හමුවේ ඉදිරියේදී එන ඕනෑම ජාතික ප්‍රශ්නයක දී, අර්බුධයක දී, ගැටලුවක දී මේ පිරිස ගන්නේ ධනය සහ බලයේ පැත්ත ම ය. ධනය සහ බලය හමුවේ කොඳුනාරටිය කඩාගෙන වාසි පැත්තට හෝයියා කියන මේ පුද්ගලයින් සහ කණ්ඩායම් මේ මොහොතේ හඳුනා ගැනීම මේ ප්‍රශ්ණය හමුවේ රටේ ජනතාව ලබන්නාවු මහත් වූ ජයග්‍රහණයක් වන්නේ ම ය.
''ආණ්ඩුව පක්ෂපාතියි. පොලිසිය ද පක්ෂපාතීව කටයුතුකර ඇත. නීතිපති කිසිම පෙනී සිටීමක් වෙන්නේනෑ. හාමුදුරුවන්ට ඇප ලබාදීම සඳහා අධිකරණයට බලපෑම්''
නුවන් බෝපගේ,පෙරටුගාමී සමාජවාදී පක්ෂය
මේ කරුණ සත්‍ය වන්නේ වෙනත් දේවලට ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් සමග සැසදීමේ දී ය. විශේෂයෙන් ම NPP ආන්ඩුවේ කාන්තා මන්ත්‍රීවරියන් ගේ ක්‍රියාකලාපය සැලකූ විට ධනය සහ බලය හිමි පැත්තට වාසිදායක වන ආකරයට ක්‍රියාකරන බව ඔවුන් ගේ නිශ්ශබ්දතාව මගින් පෙන්නුම් කරයි. ඔවුන් විපක්ෂ භූමිකාව කරන කාලයේ දී නම් උගුරු බෙරිහන් දෙනතුරු කාන්තා හිංසනයට කෑගසූ අතර තුනෙන් දෙකක බලය ලැබූවිට උගුඩුවා ඇටිකෙහෙල් කෑ ජවනිකාව රඟදක්වයි. එදා ජවිපෙ කාන්තා නායිකාවන් ලෙස රඟ දක්වූ බොහෝ දෙනා අද කිසිදෙයක් සිදු නොවූවා සේ සද්දෙ වසා සිටිති.
රටේ ප්‍රධාන විපක්ෂයේ ක්‍රියාවත් සලකා බැලිය යුතු ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී, ලිංගිකත්වය පිළිබඳව පාඩමක් කියාදී ඇත. මේ පිළිබඳව ඔහුගේ ක්‍රියා පිළිවෙත විපක්ෂ නායකයකුට කිසිසේත්ම වටින්නේ නැත. යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කළයුතු විපක්ෂ නායකයා ජනතාවට විහිළු සපයමින් සිටියි. ඇත්තටම රටේ විපක්ෂ නායකයෙක් සිටීදැයි යන්න පවා කිසිවෙකුට නොදනේ.
බඩගෝස්තරවවාදී දේශපාළුවෝ සහ ටියුෂන්කාරයෝ
පොහොට්ටුව නියෝජනය කරමින් කිසිම වූ විරෝධයක් නැත. මෑතක දී මහින්ද රාජපක්ෂ කියා සිටියේ හරි වුණ ද වැරදි වුණ ද මහනායක වහන්සේලා දෙසන දෑ සියල්ල අප පිළිගත යුතු බවයි. එය වනාහී අන්ත ගොබ්බ ප්‍රකාශයකි. මහනායක තියා මහා ශක්‍රයා කීව ද වැරදිනම් එය වැරදි බව කීමට හැකි පෞරුෂයක් සහිත සමාජයක් අප නිර්මාණය කළ යුතුය. භූ දේශපාලනික තත්ත්වයන් මත ඉදිරියට යෑමට හකිවන්නේ එවන් පෞරුෂයක් සහිත සමාජයකට මිස මහා අධ්‍යාපනයක් නොමැති කුඩා කල සිට ම මහණවූ හිමිනමක් මහා නායක හිමිනමක් වූ පමණින් දෙසාබාන දේවල් හරිද වැරදිද නොබලා පිළිගන්නා වැඩවසම් සමාජයකට නම් නොවේ. ඉදිරියේ දී ජනාධිපති වීමට බලාපොරොත්තු වෙන නාමල් රාජපක්ෂ තම පියා පවසන දේවල් අනුමත නොකරන්නේ නම් අඩුතරමින් ඒගැන ප්‍රකාශයක් හෝ කළ යුතු ය. සර්වජන බලයේ අදහස නම් අතිශය ජුගුප්සා ජනකය. එහි නායකයෙකු වන දිලුම් අමුණුගම මේ පල්ලේගම චීවරධාරියා අතින් නැවත නැවතත් කෙලෙසුණු ලාබාල දැරිය ගණිකාවක් ලෙස අර්ථ දක්වා ඇත. රටේ පාලන බලය ඉල්ලන්නේ මෙවන් දේසපාළුවන් වීම ම රටේ අභාග්‍යයකි.
පැහැදිලිවම පෙනෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර අනෙක් සියලු ම දේශපාලන පක්ෂ බලය සහ ධනය පැත්තේ සිටගෙන ඇති බවයි. පෙරටුගාමී පක්ෂයේ වාමාංශික දැක්ම ගැන බොහෝ විවේචන අපට තිබිය දී පවා මේ පිළිබඳව ප්‍රශංසාව ඔවුනට හිමිකර දිය යුතු ය. රටේ ප්‍රසිද්ධ ජනතාව ගේ මහත් ගරුත්වයට පාත්‍ර ස්වාමීන් වහන්සේලා ගණනාවක් ද බලය සහ ධනය පැත්ත ගෙන ඇත්තේ බොහෝදුරට තමන්ට ද ඉදිරියේදී මුහුණදීමට සිදුවන දේවලින් බේරීමට වියහැකියි.
තවත් රටේ සුප්‍රසිද්ධ පුද්ගලයින් බලය සහ ධනය පැත්තේ සිටගෙන සිටින්නේ බොහෝ දුරට තමන්ගේ බඩ ගෝස්තරය නිසාම ය. සමහර ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරු ද මේ පැත්තේ සිටියි. ඔවුන් බලය සහ ධනය පැත්ත ගන්නේ වෙන කිසිම හේතුවක් නිසානම් නොවේ. ඒ ඔවුන්ගේ බඩගෝස්තරය නිසා ම ය. මෙහි දී ගුරුවරු වශයෙන් අහිංසක දරුවන් නොමග හරින ප්‍රකාශ කරමින් සිටීම ඉතාම අසෝබන සහගතය.
“මේ තරම් සම්බුද්ධ සාසනයට සමාජ මාධ්‍යයෙන් පහර ගහන යුගයක් දැක නැහැ”
“අමුඩයක් ගහගෙන ඉන්න එකාට හූ කියනවා හෙළුවෙන් ඉන්න එකෙක්”
“අනේ අපේ සාසනේ කථා ටික අපි බලාගන්නම්”
“ජනාධිපතිතුමනි, සමාජ මාධ්‍යය පාලනය කරන්න”
ඉහතින් දැක්වූයේ මේ සිද්ධිය පිලබඳව ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු ගේ අදහස් ය.
තම වාසියට යුක්තිය හා සාධාරණත්වය නොතකා හැරීම
“යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය ඉටුවන බව පැහැදිලිව සහ සැකයකින් තොරව දැකිය හැකි විය යුතු යි. මේ දෙකෙන් එකක්වත් හරියට කෙරෙන බවක් නොපෙනේ. බලවතුන්ට, ධනවතුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ විශේෂ ආකාරයකටය යන්න ද, දුගියෙකුට, බාල වයස් කාරියෙකුට යුක්තිය ඉටුකරගැනීම ඉතාම දුෂ්කරය යන්න ද ප්‍රදර්ශනය වෙමින් පවතී. මේ අප අපේක්ෂාකළ වෙනස නොවේ.”
ගල්කන්දේ ධම්මානන්ද හිමි
දුමින්ද නාගමුව, නුවන් බෝපගේ, හේමමාලි අබේරත්න ඇතුළු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැදිහත්වීම අගය කළ යුතු ය. ඔවුන් දිගින් දිගට ම මේ වෙනුවෙන් ක්‍රියාකරමින් සිටියි. එසේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ද විශාල ලෙස මේ දැරියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටී. රජයේ නිලධාරිනියක් ලෙස කටයුතු කරන ළමා රක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂක සංජීවනී අබේකෝන් මහත්මිය ගේ ක්‍රියාකාරිත්වය ද ඉතාම ඉහළින් අගය කළ යුතු ය. විශේෂයෙන්ම ප්‍රධාන මාධ්‍යය ධනය සහ බලයට යටවී කටයුතු කරණ මොහොතක සමාජ මාධ්‍යය යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරමින් සිටීම ද පැසසිය යුතුම කරුණක් වේ. පසුවී හෝ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් හොරගල් ඇහිලීම පසෙකින් තබා මෙවන් දැරිවියන් හට සිදුවන බලහත්කාරකම් නැවැත්වීමට මීට වඩා දැඩි නීති රීති ගෙනඒමටවත් අඩුම තරමින් කටයුතු කළ යුතු ය. ධනය සහ බලය වෙනුවෙන් බොහෝ ආයතන සහ පුද්ගලයන් කටයුතු කරමින් සිටින අවස්ථාවක දී යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සඳහා කටයුතු කරමින් සිටින නීතිවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඉතාම ඉහළින් අගය කරමි.
ගිහි සමාජය මෙන් ම සංඝ සමාජය ද දූෂිත නම්...
ශ්‍රී ලංකාවේ සමාජය පිළිබඳව සලකා බැලුවිට එය පරිහාණිය කරා ගමන් කරන සමාජයක් ලෙස දැක්විය හැකිය . එයට හේතුව ලෙස සමාජ දේශපාලනික හා ආර්ථීක කරුණු ලෙස විග්‍රහයක් ගෙන ආ හැකි ය. ඒ කෙසේ වෙතත් පවතින සැබෑ ස්වරූපය සෑම අංශයක් ම පිරිහුණු දූෂිත වූ සමාජයකි. මහත්ම අභාග්‍ය නම් මේ සමාජය පිරිසිදු කිරීමට සහ නීතිය සැමට සමසේ ක්‍රියාකිරීමට පැමිණි බලවේගය ද මේ දූෂීත සිස්ටම් එකේම ගොදුරු වෙමින් තිබීම යි.
සමාජයේ බහුතරයක් වූ පිරිසක් අයත් වන්නේ පහළ ආදායම් ලබන දුගී පංතියට ය. මෙයින් බහුතරයක් වූ පිරිසකට තමන් ගේ මූලික මිනිස් අවශ්‍යතා සපුරාගැනීම දවසේ ප්‍රශ්නය බවට වී ඇත. ඔවුන් ගේ බඩවියත රැකගැනීම සඳහා ඉතාමත් ම දුෂ්කර ක්‍රියාවක යෙදී සිටියි. මෙහිදී බොහෝවිට අයුතු පහත් සොරකම්, දූෂණ, මිනීමැරීම් යනාදි සමාජ දූෂිත ක්‍රියා කිරීමට මිනිසුන් කටයුතු කරමින් පවතියි. මෙවැනි සමාජයක් දූෂිත ය; අතිශයින්ම දූෂිත ය. මෙවන් දුෂිතවූ සමාජයකට මග පෙන්වන පෙරගමන්කරුවනුත් දූෂිත ම වුවහොත්, සිදුවන්නේ කුමක්ද? සමාජය වළ පල්ලටම යනවා මිස ගොඩ ඒමක් සිදු නොවනු ඇත. සිදුවිය යුක්ත එය නොවේ. සමාජයේ පෙරගමන්කරුවන් නැතහොත් අපේ මහ සඟරුවන මේ අපවිත්‍ර මඩ ගොහුරුවෙන් මිදී සමාජයට ආදර්ශය සපයමින් නිසි මග පෙන්වීම ය. සමාජයේ පෙර ගමන්කරුවන් වන ඔවුන් එසේම විය යුතු ය. එය ඔවුන් සතු මහඟු කාර්යය භාරය වන්නේ ම ය.
මඩ පොකුණක ඉහළට වැඩෙන ලස්සන නෙළුම් මලක් සේ අපේ මහ සඟරුවන මේ දූෂිත වූ සමාජයට බිලි නොවී ඉහළින්ම සිටිය යුතුමය. සමාජයක් දූෂිතවූ නිසා සංඝ සංස්ථාව එයින් දූෂිත වේ නම් එවන් සංඝ සංස්ථාවකින් කිසිම පලක් නැත. මන්ද සංඝ සංස්ථාව සිටිය යුත්තේ සමාජය නිවැරදි කිරීමේ ගථිකය සහිතව මිස සමාජය තුළ මිය යන අගතියක් ලෙස නොවේ. ස්මාජයේ පරිහාණිය තූළින් මතුවී සමාජය සුවපත් කිරීම ගරුතර ස්වාමීන් වහන්සේලා ගේ යුතුකම වන්නේ ම ය. ගෞතම සිද්ධාර්ථ ගේ පණිවිඩය හරියාකාරව සමාජය වෙත රැගෙන යෑම ඔවුන් ගේ එකම කාර්‍ය භාරය වන්නේ ය.
බෞද්ධ විරෝධී බලවේග භීතිකාව
මෙම සිද්ධිය පුද්ගලයින් විවිධ වූ මතවාද ඉදිරිපත් කරමින් සිටියි. ඔවුන් සැබෑවට ම පල්ලේගම භික්ෂුව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරමින් නොයෙකුත් දේ ප්‍රකාශ කරමින් සිටියි. ඒ අතරින් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ බුද්ධාගම විනාශ කිරීම සඳහා කරණ කුමන්ත්‍රණයක් බවයි. වෙනත් ආගමික සහ රාජ්‍යය නොවන සංවිධානවල මෙහෙය වීමෙන් කරණ දෙයක් බවයි. කුමන්ත්‍රණකිරීමට දෙයක් නැත. මේ වන විට ලංකාවේ පමණක්ම නොව විදේශ රටවලට ද ධර්ම ප්‍රචාරය කිරීමට යැයි කියමින් ගොස් ඒවායේ මාලිගා වැනි පංසල් සාදාගෙන අධිසුඛෝපභෝගී ජීවිත ගත කරණ නොයෙකුත් තරාතිරම්වල හිටියා වූ හාමුදුරුවරු බොහෝ පිරිසකට ළමා අපචාර පිළිබඳව චෝදනා ඉදිරිපත් වී ඇත. එම චෝදනාවලින් බොහොමයකට උසාවි මගින් දඩුවම් නියම කර ඇත. තවත් හිමිවරු වෙනත් බොහෝ අපචාරවලට හසුවී ඇත. තව ද පසුගිය කාලයේ ආගම සහ ජාතිය අන් ආගම්වලින් සහ ජාතීන් ගෙන් බේරාගනීමට යැයි කියමින් හතු පිපෙනවාක් මෙන් බිහිවූ සිංහල සංවිධාන ද අද මීක් නැත.
ජපානයේ බොහෝ පන්සල් වල ඉස්තරම් මත්පන් නොඅඩුව ඇත. ඕස්ට්‍රේලියාවේ පන්සලක චීවරධාරියකු දැරියකට හදිකොට අධිකරණයෙන් දඬුවම් ලබාදී ඇත. එංගලන්තයේ පංසලක චීවරධාරියෙකු බුදුකුටිය තුළ දී ම දැරියක් අපයෝජනය කර අධිකරණයෙන් දරුවන් අසල ගැවසීමට පවා තහනම් නියෝග ලබා ඇත. රෝමයේ එක් පංසලක දායක සභාව, චීවරධාරියා එළවා ඇති අතර තවත් පංසලක චීවරධාරීන් දෙදෙනෙකු ගුටුබැට හුවමාරුවක නිරත වී ඇත. ජපානයේ පංසලක චීවරධාරියෙකු පිරිමි ළමයකු අපයෝජනය සඳහා පන්සලට ගෙන්වාගෙන ඇති බව දායකයිගේ අතටම හසුවී ඇත. මේ ධර්ම ප්‍රචාරක වැඩපිළවෙළෙහි තොරතුරු ඉතා ස්වල්පයක් පමණි. මීට අමතරව ලංකාවේ ගමක් ගමක් පාසා පිහිටුවා ඇති බොහෝ පංසල්වල කුඩා සාමණේර හිමිවරු දිනපතා වැඩිහිටි චීවරධාරීන් ගේ ලිංගික අවශ්‍යතාවලට ගොදුරුවී ඇත. මෙය මහා පරිමාණයෙන් සිදුවන බව කවුරුත් දන්නා, කවුරුත් කට නොඅරින සත්‍යයකි. ඇත්තටම බුද්ධ ශාසනය විනාශ කිරීමට පිටතින් කවුරුහෝ පැමිණ සිදුකිරීමට දැන් ඉතුරුවී ඇති පිරිසිදු ශාසනයක්ද අද නොමැත.
ජාතික ජනබලවේග ආණ්ඩුව සංඝ බලවේගයට යටත් ද...?
නමුත් මෙම චෝදනාව පිළිබඳව කතාකිරීමේ දී, අද සාසනයට සිදුවී ඇති මේසා හානිය නවැත්වීම සඳහා අවශ්‍ය කලමණාකරනය මේ NPP රජය සිදු කළ යුතු ම ය. ජනතාව රජයෙන් බලාපොරොත්තු වන්නේ එයයි. එසේ නොමැතිව දුෂ්ශීල භික්ෂූන් ආරක්ෂා කර බොරුවෙන් ජනතාව මුළා කිරීම රජයේ වගකීම නොවේ. නීතිය ධනය සහ බලය ඉදිරියේ නවන්නේ නම් එය මේ රජයට ප්‍රභල පාරාවළල්ලක් වනු නොඅනුමාන ය. මේ රජය බලයට ගෙනාවේ මිලියන ගණනින් ජනතාව මිස 40,000 ක් වූ භික්ෂූන් වහන්සේලා නොවන බව මේ රජය දැනගත යුතු ය. මේ අගතියට පත්වූ දැරියට සාධාරණය ඉටුකිරීමට රජය අපොහොසත් වුවහොත් එය රජයේ ක්‍රියාකලාප මැනීමේ තවත් එක් ලිට්මස් පරීක්ෂණයක් වීම නොවැළැක්විය හැකි ය.
ගාමිණී ජයසූරිය - “අධ්‍යයන කවය”
“89-සහෝදරත්වය”
මූලාශ්‍ර - lankapowernews.com
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
