V2025

පුවත්

සාගර - ප්‍රසන්න මරාගෙන : මහින්ද නිහඬයි !

පොහොට්ටුව ඇතුලේ මේවෙනකොට, ලොකු ලොකු ආරවුල් තියන පාටක් නම්, පැහැදිලිව පේන්න තියනවා..

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන්, පෙරේදා තිබිච්ච ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් අතර, උණුසුම් තත්ත්වයක් ඇතිවුනා කියල ආරංචියි..

ඒ වෙලාවේ ප්‍රසන්න රණවීර , සාගර කාරියවසම් ගේ මුනටම, කුණුහරුපයෙන් බැන වැදුනා කියලයි, කියන්නේ.

මහින්ද ලොක්කා, මූලාසනේ ඉන්දෙද්දී, මේවගේ සිදුවීමක් සිදුවෙලා තියෙන්නේ , පලවෙනි වතාවට.

මොකක්ද මේ ප්‍රසන්න රණවීරගෙයි, සාගර කාරියවසම්ගෙයි, වලිය කියල, කට්ටිය අහන්න පටන් අරන්..

පෙරේදත් කණ්ඩායම් රැස්වීම අස්සෙ, දෙන්න ප්‍රසිද්ධියේම පැටලුණාලු.

මේ දවස්වල බලන හැමවෙලාවෙම, රණවීර ඉන්නෙ මල පැනල.

ඒකට විශේෂම හේතුවකුත් නෑ. කොයි වෙලාවෙත් හු යන්න කියාගත්ත ගමන්ලු ඉන්නෙ.

දැන් ඔය දවසකට දෙකකට ඉස්සෙල්ල, රණවීර ඇමතිතුමා , සාගර එක්ක වලියක පැටලීලා ..

ප්‍රශ්නෙට හේතුව, කෝපා කමිටුවේ රණවීරගෙ නම කපපු එකලු

රණවීර පහුගිය කෝපා කමිටුවේ හිටියා . ඉතින් මේ පාර මගෙ නම නැත්තෙ ඇයි කියලා , රණවීර සාගරගෙන් ගේම ඉල්ලනව. පෙරේදත් උණේ ඒකමයි..

මේ සගර කෝ මගෙ නම, තාම නෑනෙ කෝපා ඒකේ. කයනු පයනු එහෙට මෙහෙට දාල, රණවීර සද්දෙන්, සාගරගෙන් අහලා තියෙන්නේ , කණ්ඩායම් රැස්වීම ඉවර වෙලා යද්දී අහලා.

ඒ වෙලාවේ , කතාවට මැදිහත් වෙලා තියෙන්නේ , සංජීව එදිරිමාන්න .

''අයියෙ , මේ ඔයා ඔය විදිහට කතා කරන්න එපා. හැම මනුස්සයෙක්ටම ආත්ම ගෞරවයත් තියෙනවා .කරුණාකරල ඒකට ගරු කරන්න....''

සංජීව එදිරිමාන්න එහෙම කියද්දි , රණවීර කතාව නතර කරලා .

ඊට පස්සෙ සාගර , රණවීරට මෙහෙම කියල . ''මම තමුන්ගෙ නම කෝපා එකෙන් අයින් කලේ නෑ .බොරුනම් ගිහින් අහනව අගමැතිතුමාගෙන්.''

''සර්..සමාවෙන්න , කරුණාකරල වෙච්ච ඇත්ත දේ, මෙතුමාට කියල, මේ ප්‍රශ්නය ඉවර කරල දෙන්න.'' සංජීව එදිරිමාන්න එතන හිටපු, අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කරලා.

''හරි ..සාගර කාගෙවත් නමක් කැපුවෙ නෑ එච්චරයි . මට හදිසි මීටින් එකක් තියෙනවා , මම ගිහින් ඇවිත් කතා කරන්නම්'' අගමැති දිනේෂ් , හදිසි රැස්වීමකට යනවා කියලා , හිමින් සැරේ මාරුවෙලා ගිහින්..

ඇත්තටම රණවීරගෙ නම කෝපා එකෙන් හැලුණෙ කොහොමද ?

මෙන්න මේකයි වෙලා තියෙන්නෙ .

ජනාධිපතියි - අගමැතියි තීරණය කරල තියෙනවා, ආණ්ඩුවෙ ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් නැති මන්ත්‍රීවරුන්ව, ප්‍රධාන කාරක සභාවල, සාමාජිකයන් විදිහට පත්කරන්න. ඉතින් ප්‍රසන්න රණවීරට රාජ්‍ය ඇමතිකමක් තියෙන නිසා, කෝපා වැනි ප්‍රධානම කමිටුවකටත් නම්, කරන්න අවශ්‍ය නෑ කියල, තීරණය කරල. ඒක පොදු තීරණයක්ඔ ලු..

ඔන්න ඕකලු කතාව .නැතුව රණවීරට කැපිල්ලක් නෙවෙයිලු.

ඒත් ඉතින් මේ හාදය මේක කනකටවත් ගන්නෙ නැතුව, සාගර එක්ක හිතෙන හිතෙන වෙලාවට වලියක් ඇදගන්නවලු.

රණවීරත් ඉතින්, මර්වින් සිල්වා එක්කත් හැප්පුණු මිනිහනෙ..ඒ නිසා රණවීර ලොක්කට, ගෝරියක් නැතුව, ගෝ එකක් නෑ වගේද මන්ද..

දේශපාලන වාර්තාකරු

අයවැය කතාව නිසා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් !

එළැඹෙන සඳුදා (14) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 වර්ෂය සඳහා අයවැය කථාව ඉදිරිපත් කිරීමට අදාළව විශේෂ ආරක්ෂක විධිවිධාන පෙර වසරවලදී සිදු කළ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය .

ඊට අනුව, 2022 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල , මෙදින ආරක්ෂක අංශ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

අයවැය පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරෙන 14 වැනි දින මහජන ගැලරිය රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ඇත .

පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමි‍ණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කරන අතර, මෙදින පාර්ලිමේන්තුවට පැමි‍ණීමේදී, හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙසද කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවනු ලබන බවද කථානායකවරයා දන්වා සිටියේය.

මීට අමතරව, මෙදින රථ වාහන පොලීසිය සහ අවට පොලිස් ස්ථාන මඟින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.එසේම ඉහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද කථානායකවරයා පැවසීය .

සජිත් ඩලස් විමල්ලා ඊළඟ ජන්දයට කඳවුරු බඳිති !

තිලිනි ල, ජානකී ල, සංගීත ල, සේමණි ල, විතරක් නෙමෙයි, ධනුෂ්ක ල, මේ වෙනකොට, එකදිගටම නිව්ස් මේකස්ලා විදියට , හිට් වෙලා තියන වෙලාවේ, දේශපාලන ෆීල්ඩ් එකත්, රත්වෙන්න පටන් අරන්.. මොකද ඡන්දයක් එනවා කියන කතාවට..

වැඩේ කියන්නේ, ආණ්ඩුව ඡන්දයක් තියන පාටක්වත් පේන්න නැති වුනාට මොකද , ජෙප්පොයි - සජබේ කට්ටියයි, ඡන්දයක් එනවා කියනවා. ඡන්දයක් ඕන කියනවා.

ඒ කට්ටිය ඡන්දය ඉල්ල ඉල්ල, වොයිස් කට් දෙන ගමන් , බැරිවෙලාවත් රනිල් ඡන්දයක් කැදෙව්වොත්, මොකද කරන්නේ කියල තමයි ලු, දැන් කට්ටිය කකා -බීබී කයිවාරු ගහනවයි කියන්නේ..

ආණ්ඩුව, පලාත් පාලන මැතිවරණය කල දාගන්න, 'සීමා නීර්ණ කමිටුවක්' ඉස්සරහට දාගෙන, ලොකු උප්පර වැට්ටියකට ලැස්ස්ති වෙද්දී , එන අවුරුද්දේ මොකක් හෝ මැතිවරණයක් ආවොත්, මුහුණ දෙන්නේ කොහොමද කියල, විපක්ෂය ඇතුලේ, වාද විවාද ගොඩයි...

විමල්ලා රතනලා ගේ, උත්තර ලංකා එක, කොහොම හරි , වෙන කාට හරි ජැක් එකක් ගහන්න උත්සාහ කලාට , තාම කවුරුවත් එයාලව, සීරියස් ගත්තු පාටක් පෙන්න නං නෑ කියලා තමයි, ආරංචිය.

පහුගිය දවසක, මේ පක්ෂයේ කිහිපදෙනෙක්, නාවල තියන නිදහස සභාව, ඔෆිස් එකටත් ගිහින්.... හැබැයි එතනදී චරිතයි , ඩලසුයි දෙන්නම, උත්තර ලංකා සභාගෙ කට්ටියට නුහුරට ම කතා කලා කියල තමයි , රතන සාදු තැන් තැන් වල ආඩපාලි කියලා තියෙන්නේ.

ඔය අස්සේ , ''නිදහස සභාවට එක්කෝ එන්න නැත්නම් වෙන අතක් බලා ගන්න" කියලා, සජබෙනුත් රතු එලියක් ඇවිල්ල ලු.

සජබ හා නිදහස සභාව එකතුකරන්න, ලොකු උත්සාහයක් ගන්න , කුරුනෑගල පැත්තේ සජබ මංත්‍රීතුමෙක්, මේ ලඟදී මන්ත්‍රී සගයෝ දෙනෙක් එක්ක, කොල්ලුපිටියේ කැප්රි එකට ගිහින් ... හීනියට දෙකක් දාගන්න ගමන් , ලොකු කයියක් ගහලා.

" අනුර යාපා කන්ඩායමයි, ජී එල්ලාගේ කන්ඩායමයි, අපිට එකතු වෙනවා නම්, අපේ නායක තුමා හරිම කැමතියි. මොකද එතන මංත්‍රීවරු 20 ක් විතර ඉන්නවා. ඔක්කොම නැතත් වැඩිහරිය කොලිටි බඩු. ඒ අය ආවොත් අපිට වෙන කාව වත් ඕනේ නෑ. මෛත්‍රීලා ගත්තොත් අපිට කතෝලික චන්ද නැති වෙනවා. විමල්ලාගේ කට්ටියට තනියම ඉල්ලුවොත් ඊලඟ පාර ඇපත් නෑ. චම්පික දැනටම යටින්, රනිල් එක්ක වැඩ. එක පාරක් අපිව දාල ගිය මිනිහා, ගන්නේ මොකටද. ඒ නිසා මේ 20 දෙනා තමයි අපට හොඳටම ගැල පෙන්නේ." කුරුණාගල මංත්‍රී තුමා කියල තියෙන්නේ එහෙම ලු.

ඒ අතරේ ඔය 20 දෙනා අතරේ අනුරගේ කන්ඩායමේ ඉන්න, දකුණු පලාතේ මංත්‍රීමෙකුත් මේ කසාදේ කරන්න තදටම වැඩලු. හැබැයි ඩලස්ලා චරිතල නාලකලා චන්නලා තාම වැනෙනවා කියලා, මෙතුමා කට්ටිය සෙට් වෙච්ච වෙලාවක , සජබ මංත්‍රීතුමාල පිරිසක් එක්ක, හිතේ අමාරුවෙන් කතා කරලා තියෙනවා.

ඒ කතාවෙදී කොළඹ නියෝජනය කරණ සජබ මංත්‍රී තුමෙක්, මෙහෙම විග්‍රයක් කරලා තියෙනවා.

" මටත් තේරෙන්නේ නෑ ඔයාල මොනවා කරනවද කියලා. නායක තුමත් දැන් ටිකක් අවුල්. දැන් බලන්න ඉදිරි මැතිවරණයක්දි, අනිවාර්යයෙන්ම පොහොට්ටුවයි, රනිල්ලයි එකට තරඟ කරනවා. පොහොට්ටුවට රනිල් නැතුව බෑ. එතකොට ඔබ තුමලා අපිත් එක්ක සංධාන ගත උනොත් අපිට කාටත් ලොකු හයියක්. කුරුණෑගලින් අනිවාර්යයෙනම, අපේ නලින් බන්ඩාර, අසෝකා අබේසිංහ වගේම ඔයාලගේ අනුර යාපා, චරිත හේරත් එහෙම උඩින්ම එනවා. ගාල්ලෙන් ගයන්තයි චන්දිමයි දෙන්නම අනිවාර්‍යයෙනම දිනනවා . මාතර ගත්තොත් අපේ බුද්දික පතිරන උඩින්ම එනවා ඊලඟට ඩලස් ශුවර්. ගම්පහ අපේ ෆීල්ඩ් මර්ෂල්, හර්ෂණ රාජකරුනා , කාවින්ද ජයවර්ධන එක්ක ඔයාලගේ නාලක ගොඩහේවයි, සුදර්ශිණියි දිනන්නෙ නැද්ද ? අනුරාධපුරේ මුස්ලිම් චන්ද වලින්, ඉෂාක් එනකොට චන්න ජයසුමන ඔයාලගෙන් උඩින්ම එනවා. නුවරින් අපේ ලක්ෂමන් කිරිඇල්ල එනකොට ඔයාලගේ ටියුශන් මාස්ටර්, යාපා බන්ඩාර දිනනවා. පුත්තලමේ අපේ හෙක්ටර් ඔයාලගේ ප්‍රියන්කර දෙන්නම දිනනවනේ. කලුතරත් අපේ රාජිත රනිල් ගාවට ගියොත්, සජබ චන්දත් ඇරන් ඔයාලගේ ලලිත් එල්ලාවලට දිනන්න පුලුවන්" ඔන්න ඔය විදියට ලු කොළඹ මංත්‍රී තුමා චන්ද ප්‍රතිපල ගැන අනාවැකි කිව්වයි කියන්නේ..

''එතකොට කොළඹ ගැන මොකද නොකිව්වේ '' කියලා අනික් මංත්‍රීතුමා හිනා වෙලා ඇහුවලු.

" මචන් කොළඹ නම් ඉතින් අපේ රාජ්‍යයනේ. බඩු ශුවර් නෑ. එන පාර හෙන සෙට් එකක්, අපෙන් ඉල්ලනවා. ඔයාලගේ ජී එල් ලොක්කා වුනත් චන්දේ ඉල්ලනවට වඩා ජාතික ලැයිතුවෙන් එන එක තමයි ඇඟට ගුණ" ඔන්න ඔහොමලු කොළඹ මංත්‍රී තුමා උත්තර දීලා තියන්නේ..

ඒ උනාට අනික් මංත්‍රී සගයා එකතාවට එකඟ වෙලා නෑ.

" මල්ලී ජී එල් එකපාරක් ඡන්දේ ඉල්ලලා කොළඹින් 1 ට ආපු මිනිහෙක්. ඒ නිසා මගේ මතයනම් මේ පාර එකට එකතුවෙලා ඉල්ලුවොත් සජිත් ගාවට චන්දේ ගන්නවා"

ඊට පස්සේ එයා මෙහෙමත් කිව්වලු.

" ප්‍රශ්ණේ තියෙන්නෙ ඉස්සෙල්ල එන්නෙ මහ මැතිවරණයද , පලාත් පාලනද කියන එකනේ. මහ මැතිවරණයකදී නම් , ඔය කතා ඔක්කොම වලංගුයි. ඒත් මේ කට්ටිය වැනෙන්නෙ, පලාත් පාලන මැතිවරණයක් ආවොත්, මොකද කරන්නේ කියල. මට බය පලාත් පාලනේට සංධාන ගහන්න ගිහින් ,වැඩේ වකුරු වෙයිද කියලයි" .

කොහොම කොහොම හරි එතැනින් පස්සෙ සාකච්චාව පැත්තක දාලා කට්ටිය බෝතලේට සෙට් උනාලු.

දේශපාලන වාර්තාකරු

මුදලිගේගේ පෙත්සම විභාගයට අවසර !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවනේ ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත .

එසේම ඔහුව මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත් , අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර සම්පූර්ණ වාර්තාවක් ලබාගන්නා ලෙසත් එම නියෝගයේ සදහන් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමටද අධිකරණය අවසර ලබාදී ඇති අතර පෙත්සම ජනවාරි 31 වැනිදා කැදවීමට ද නියෝග කර ඇත .

ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් !

ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද (10) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි .

ඊඩල්වයිස් ( Edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.068 දරන පළමු ගුවන් යානය අද දහවල් 12.20 ට ස්විට්සර්ලන්තයේ සුරීච් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් සේවය සතියකට වරක් මෙතැන් සිට ස්විට්සර්ලන්තයේ සුරීච් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිටස්තර මැදිහත්වීමකින් තොරව විසඳනවා - ජනාධිපති

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිටස්තර මැදිහත්වීමකින් තොරව සාමකාමීව විසඳා ගැනීම සඳහා ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලුම දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කළේය.

75 වන නිදහස් දින සැමරුමට පෙර මෙම ගැටලුවට විසඳුම් සෙවීම සිය අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි .

අද අධිකරණ ඇමතිතුමා වැදගත් කරුණු 10ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ මෙතන දීර්ඝ ලෙස කතා කර තිබෙන නිසා මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාලය අනුව අපේ නීති නවීකරණය කළයුතුයි. ඒ වැඩකටයුතු එතුමාට භාර දී තිබෙනවා. එයින් කොටසක් අද අපි ඉදිරිපත් කර තිබෙන්නේ. අමතර දිනවලදී හෝ පාර්ලිමේන්තුව රැස් වෙලා මේවා සම්මත කර ගැනීමට අපි කටයුතු කරමු.

මම පසුගිය සඳුදා සහ අගහරුවාදා අපේ පරිසර ඇමතිතුමා සමග ඊජිප්තුවේ පැවති COP 27 සමුළුවට සහභාගි වුණා. මමත් සමග දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාත්, අපට උපකාර කරන මාලදිවයිනේ හිටපු ජනාධිපති අහමඩ් නෂීඩ් මහතාත් ඊට සහභාගී වුණා.

2015 දී මෙම සමුළුවට සහභාගීවූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අපි ප්‍රශංසා කළයුතුයි. එහිදී ඇතිකරගත් ගිවිසුමට එකඟ වෙමින් අපේ විදුලි බලාගාර සීමා කිරීමට එතුමා තීරණය කළා. අලුතින් ඒකක්වත් අපි ඇති කරලා නැහැ. ඒ වගේම ග්ලාස්ගෝ නුවරදී පසුගිය වසරේ පැවති COP 26 සමුළුව කොවිඩ් නිසා ප්‍රමාද වුණා, 2050 වන විට සෙන්ට්‍රිග්‍රේඩ් 1.5කට උෂ්ණත්වය සීමා කර ගනිමින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට බ්‍රිතාන්‍ය හිටපු අගමැති මොරිස් ජොන්සන් මැතිතුමාගේ නායකත්වය යටතේ යෝජනාවක් ඉදිරිපත් කළා.මේ සඳහා අපි ගෙන තිබෙන පියවර පිළිබඳ මෙම සමුළුවේ දි කරුණු ඉදිරිපත් කළා.

මෙවර අපි COP 27 සමුළුවට යන විට, පෙර පැවති COP 26 සමුළුවේදි ගත් තීරණය සම්බන්ධව කිසිදු ප්‍රගතියක් ලබා තිබුණේ නෑ. 2050 වන විට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ට සීමා කර ගැනිමට ඇතැම් සංවර්ධිත රටවල් හෝ ඇතැම් G20 රටවල් පවා කිසිදු පියවරක් ගෙන තිබුනේ නැහැ.

ඔවුන් පොරොන්දු වූ මුදල දායක කරගෙන නොතිබූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වසරකට අවශ්‍ය මුදල ලබාදීම පොරොන්දු වූ පරිද ඉටු කර තිබුණේ නැහැ.

ඒ අනුව, අපි COP 27 වෙත ගියේ COP 26 හි ගිවිසුම් සහ ජයග්‍රහණවල පසුබැසීමක් ඇතිව යි. COP 27 විධිවිධාන දෙස බැලුවහොත්, සංවර්ධිත රටවල් හෝ G20 රටවල් සමග බරපතල සංවාද කිසිවක් නොතිබූ බව අපට පෙනී ගියා. සමහර නායකයින් පැමිණියේ ආරම්භක දිනයට පමණක් වන අතර ප්‍රකාශ සිදු කිරීමට නියමිතව තිබුණද එම ප්‍රකාශ සිදු කළේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී නොව වෙනත් විවිධ වැඩසටහන්වලදීයි. ඉන්පසු ඔවුන් සියල්ලෝම පිටව ගියා.
ඇත්ත වශයෙන්ම, දෙවන දිනයේ අපට ඉතිරි වූයේ යුරෝපීය පැත්තෙන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් (Olaf Scholz) පමණි. යුරෝපයීය පාර්ශ්වයෙන් ආරම්භ කරන ලද ගෝලීය ආරක්ෂාව සඳහා මුල පිරීම්වලට ඔහු සහභාගී වූ අතර, ඒ සඳහා අපි ඔහුට ස්තූතිවන්ත විය යුතුයි.

G20 නායකයින් වෙනුවෙන් ප්‍රධාන ස්ථානය ගනු ලැබුවේ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා විසින්. එම පසුබිම තුළ, G20 රටවල්, G7 සහ සංවර්ධිත ආර්ථිකයන් විසින් ගෙන ඇති ස්ථාවරය හෙළා දැකීමට සහ විවේචනය කිරීමට මට සහ අනෙකුත් ඇතැම් පාර්ශ්වයන්ට සිදු වුණා. අපිට මෙසේ ඉදිරියට යා නොහැකියි. ලෝකය මුහුණ දෙන බරපතළ ප්‍රශ්න තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කළ කතාව පිළිබඳ අවධානය යොමු කළහොත් මම හිතන්නේ ඉදිරි වසර 20-30 තුළ මෙම තත්ත්වය තවත් බරපතළ වේවි. අපි පකිස්තාන අගමැතිතුමාගේ කතාවට ඇහුම්කන් දුන්නා වගේම හිමාල කඳුවැටිය දියවීම පාකිස්තානයට බලපාන තත්ත්වය අධ්‍යයනය කළ‌ා. එපමණක් නොවේ. නේපාලය පවසන්නේ එය ඔවුන්ගේ රටට බලපෑම් ඇතිකරන බවයි. ගංගානම් නදිය නිසා ඉන්දියාවට ද ඒයින් බලපෑම් ඇතිවිය හැකියි. ගංගා සහ බ්‍රහ්මපුත්‍ර යන ගංගා දෙකම බංග්ලාදේශය හරහා ගලන බැවින් බංග්ලාදේශයට මෙය බලපානු ඇත. මෙය මියන්මාරයට බලපානු ලබන්නේ ඉරාවඩ්ඩි ගංගාව සහ සැන් වින් ගංගා මියන්මාරය හරහා ගලා බසින නිසාය.

එය මාලදිවයින ද ජලයෙන් යටවීමට බලපාන අතර එය අපට බලපානු ඇත්තේ අපගේ බටහිර වෙරළ තීරයෙන් කොටසක් ජලයෙන් යට වන බැවිනි. දකුණු ඉන්දියාවේ කන්‍යාකුමාරි වැනි ස්ථාන පවා ජලයෙන් යට විය හැකියි. එය තමයි අප සියලුදෙනාට තිබෙන තර්ජනය. නමුත් ප්‍රධාන රටවල් මේ ගැන ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.

2050 වන විට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ට සීමා කර ගැනීම වෙනුවෙන් COP 28 සමුළුවේදී G20 රටවල් සමග සෘජුව ගැටීමට අපි සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් අප හා සමාන අදහස් ඇති රටවල් සමග සාකච්ඡා කිරීමට අපිට සිදු වෙනවා. අපගේ විදේශ අමාත්‍යවරයාට සහ පරිසර අමාත්‍යවරුන් දෙදෙනාටම එය කළ හැකි බව මට විශ්වාසයි.
ශ්‍රී ලංකාව මේ සඳහා අනෙක් රටවල් සමග එක් විය යුතුයි. අපි හැකි පමණින් එයට සහාය දිය යුතු අතර, අවශ්‍ය අවස්ථාවලදී මෙම ප්‍රශ්නයට නායකත්වය ලබා දිය යුතුයි.

දෙවැනි කාරණය තමයි ආහාර සුරක්ෂිතතාව. අපි ගැටළුකාරී අවධියක් පසු කර තිබෙනවා. අපට උදව් කළ රටවල්වලට මම ස්තූතිවන්ත විය යුතුයි. ලබන වසර තුළ අපට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රධාන ගැටලුවක් ඇති නොවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. නමුත් අප්‍රිකාව ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දෙනු ඇති අතර මිලියන 20 - 30 ජනතාව ඉන් පීඩාවට පත් වනු ඇති. මේ හේතුවෙන් අප්‍රිකානු කලාපයේ විශාල පිරිසක් මිය යනු ඇති අතර ඒ් සඳහා කිසිදු ආධාරයක් හෝ සහායක් හිමිව නෑ. එය සාකච්ඡාට ද ගෙන තිබුණේ නැහැ.

දැන් සමහර අයට ආහාර වගා කරන්න බෑ. අනෙක් අයට මුදල් නැති නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර ලබාගැනිමට නොහැකි වී තිබෙනවා. අපි ඔවුන්ට උදව් කළ යුතුයි.දෙවනුව ඔවුන් පීඩාවට පත් වන්නේ, බොහෝ දෙනා ණය වී සිටිම නිසයි. එබැවින් මගේ මතය අනුව, ආහාර හිඟය පිළිබඳ බරපතල ගැටළු ඇති රටවලට අප ලබා දිය යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්‍රේනයට ලබාදුන් කොන්දේසිමයි. යුක්‍රේනය රුසියාව සමඟ යුද්ධයක නිරත වුණා. මේ අය ජීවත් වෙන්න යුද්ධයක් කරනවා.ඒ නිසා බටහිර යුක්‍රේනයට ලබාදුන් සහයෝගයම දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එබැවින් මේවා ඉදිරියේදී අපගේ විදේශ ප්‍රතිපත්තියේ සහ පාරිසරික ප්‍රතිපත්තියේ ප්‍රධාන ගැටළු වනු ඇති.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ජිනීවා ගැන සඳහන් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. මක්නිසාද යත්, 2050 වන විට 40 - 50 දක්වා වන පරම්පරාවේ, තරුණ තරුණියන්ගේ, නූපන් පරපුරේ මූලික අයිතිය වන්නේ, ජීවත්වීමේ අයිතිය යැයි මම සිතනවා. එබැවින් ඔබ තරුණ පරම්පරාවේ සහ නූපන් දරුවන්ගේ අයිතිවාසිකම් නොසලකා හරින්නේ නම්, සිදුවිය හැකි දරුණුතම ජන සංහාරය එයයි. ‍‍

ඒ අතරම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රකාශ කළා අපේ ප්‍රශ්න අපිම විසඳගන්න බලාපොරොත්තු වෙනවා කියලා. සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම, ත්‍රස්ත මර්දන පනත සහ දූෂණය යන ව්‍යවස්ථා තුන පිළිබඳව අමාත්‍යවරයා අදහස් දක්වනු ඇති. ජනවාරි සහ පෙබරවාරි මාසවල ඇමතිවරු දෙදෙනා ඒවා ඉදිරිපත් කරනවා.

උතුරේ පුනර්ජනනීය බලශක්ති විභවය සහ හරිත හයිඩ්‍රජන් තිබීමේ හැකියාව පිළිබඳව මම තක්සේරුවක් කරනවා. තරඟකාරී පදනමක් මත හරිත හයිඩ්‍රජන් ලබා ගන්නේ නම්, උතුරේ ආර්ථිකය ඉහළ යාම සිදු වෙනවා. ඒ නිසා අපි මේ ගැන සොයා බැලිය යුතුයි. මොකද අපේ පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් පුත්තලමේ ඉඳන් ත්‍රිකුණාමලය දක්වාම ලැබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සඳහා නැගෙනහිරින් ආරම්භ කළ ත්‍රිකුණාමල සංවර්ධනය සිදු වෙනවා .

අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා අපේ 75 වැනි නිදහස් සංවත්සරය වන විට මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. අපේ රටේ ප්‍රශ්නවලට වෙනත් අය මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. අපට අපගේ ප්‍රශ්න විසඳා ගත හැකි අතර එය ඉටු කිරීමටයි අප උත්සාහ කරන්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ප්‍රකාශ කල පරිදි අපේ ප්‍රශ්න අපිම විසඳගන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඇමතිවරුන් දෙදෙනා නව නිති සකස් කරලා ජනවාරි, පෙබරවාරි මාසය වන විට ඒවා ඉදිරිපත් කරනු ඇති. ඒ සමගම උතුරේ සිටින අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. දැනටමත් අත්අඩංගුවේ සිටි කිහිප දෙනෙක් අපි නිදහස් කරලා තිබෙනවා. තවත් කිහිප දෙනෙක් සිටිනවා නිදහස් කිරීමට.ඒ අතර ලේඛකයෙක් සිටිනවා. ඒ නඩු කටයුතු දැන් සිදු වෙනවා. ඒ නඩුවේදි එයා නිවැරදි කියලා තිරණය වුණොත් අපි එතුමටත් එම සහය ලබා දෙනවා. එතුමා සම්බන්ධවෙලා තිබෙන්නේ පිත්තල හන්දියේ සිදුවිමට. අපේ හිටපු ජනාධිපතිවරයා සමගත් සාකච්ඡා කරලා ඒ ගැන තීරණයක් ගන්නවා. අපිට අවශ්‍ය මේ ප්‍රශ්න විසඳා ගැනීමට.

අතුරුදන්වූවන් පිළිබඳ කතාකළොත් 2019 වන විට නඩු 65යි තිබුණේ. දැන් නඩු 2000ක් අවසන් කරලා තිබෙනවා. මම උපදෙස් දීලා තිබෙනවා කඩිනමින් මෙම කටයුතු අවසන් කිරීමට.

ඒ වගේම 17 වන සංශෝධනය සම්මත කරගත්තේ ආණ්ඩුවයි, විපක්ෂයයි දෙකම එකතු වෙලා. 19 වන සංශෝධනයේදීත්, 21 වන සංශෝධනයේදීත් වුනේ එහෙමයි.

ව්‍යවස්ථාදායක සභාව ඇතිකළ යුතුයි. මම හිතන්නේ මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවේ, අර සිවිල් සමාජයේ තුන්දෙනා නම් කරන්නේ අගමැතිතුමයි, විපක්ෂනායකතුමයි එකතුවෙලා. එය සහතික කරන්නේ කථානායකතුමා. එය ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට බැහැ. එහෙම කරනවා නම් අගමැතිතුමාට ආණ්ඩු පක්ෂයේ සහයෝගය නැහැ. විපක්ෂනායකතුමාට විපක්ෂයේ සහයෝගය නැහැ. කතානායකතුමාට දෙපැත්තේම සහයෝගය නැහැ. එහෙම නම් තුන්දෙනාටම ඉල්ලා අස්වෙන්න වෙනවා. එය කරන්න බැරි දෙයක්. නායකයෝ දෙන්නා එකඟ වෙලා කතානායකතුමා එකතු වුණහම 17වන සංශෝධනය ගෙන ආවා. 19 ව්‍යවස්ථා සංශෝධනයේදිත් සිදුවණේ එලෙසයි.

මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ විපක්ෂයේ සජබේට අයිති නොවන මන්ත්‍රීවරයා කවුද කියලා. ද්‍රවිඩ පක්ෂවලින් නම් කරනවා නම් මේ සිවිල් සමාජයේ තුන්දෙනා ගැන තීරණය කරන්න පුළුවන්. අපි පසුගිය වතාවේ කාන්තා සහ ද්‍රවිඩ නියොජනයන් ඇතුළත් කළා. මෙවර කාන්තා නියෝජනය ගැන බලන්න පුළුවන්. මුස්ලිම් එක්කෙනෙක් ගැන බලන්නත් පුළුවන්. මේ කටයුතු ඉක්මනින් සිදු කළ යුතුයි. එවිට කොමිසම් සභා සියල්ල පත් කළ හැකියි. එය සිදුකිරීමට අපි සූදානම්. ඒ සඳහා කටයුතු සූදානම් කර දෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

කෝප් සමුළුවේ දි මට අවස්ථාව ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය මුණ ගැසීමට. මම එතුමිය සමග සාකච්ඡා කළා. අපිට සහයෝගය ලබා දෙන බව එතුමිය ප්‍රකාශ කළා.

කිසිදු බියක් තබා ගන්න එපා. අපිට දැන් තිබෙන්නේ ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා සාර්ථක කර ගැනීමට. අපි රටවල් දෙකෙන්ම ඉල්ලා තිබෙන්නේ දෙසැම්බර් මාසය වන විට මේ සාකච්ඡා අවසන් කරන්න කියලා. මෙම සාකච්ඡා අවසන් වුණහම අපිට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණයි. ලෝක බැංකු සභාපතිවරයා සමගත් අපි සාකච්ඡා කළා.

මේ දේවල් නොදන්නවා නම් විවාදය වර්ජනය කරන බව ප්‍රකාශ කිරීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා ආණ්ඩු පාර්ශ්වයට සහ විපක්ෂයට එය සම්මත කළ හැකියි.

ජනතාව ඉන්නේ ජන්ද පිපාසයෙන් : කිරිඇල්ල අලුතෙන් හොයාගෙන !

ලංකාවෙ ජනතාව අද ඉන්නේ ඡන්ද පිපාසෙකින් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අයත් ලංකාවට පැමිණ ඡන්දයක් විමසන ලෙස පැවසූ බවත් කිසිවකුටත් බය නොවී ඡන්දය තැබුවොත් මැතිවරණ කොමසාරිස්වරයා ඉතිහාසයට එකතු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ "කියා බෞද්ධ කියමනක් තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයාට සිහිපත් කරන බවද ඔහු පැවසීය .

දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක් වෙනුවෙන් : රුවන්ට යෝජනාවක් !

රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධ “දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්” පිහිටුවීම සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති වාර්තාවක් එහි උපකුපතිවරයාගේ නියෝජිතයන් පිරිසක් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදි බාර දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවීමට පැමිණි රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්.පි.අයි.ආර් ප්‍රසන්න මහතා ප්‍රමුඛ කණ්ඩායම පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස අධ්‍යයනය වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට සමගාමීව මෙම මධ්‍යස්ථානය ද පිහිටුවිය හැකි බවයි.

ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති අධ්‍යයන වාර්තාවේ අන්තර් ගතය මෙසේය.

විෂය පථය:

දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධාන ක්ෂේත්‍රවල පර්යේෂණ මෙන්ම දේශගුණික අනුවර්තනය සහ එම පීඩාවන් අවම කිරීම වැනි කළමනාකරණ අංග ඇතුළුව පර්යේෂණ පැවැත්වීමේ හැකියාව මෙම මධ්‍යස්ථානයට ඇත. අදාල පර්යේෂණයන් ක්ෂේත්‍රගත විවිධ නිපුණතාවයන් ගෙන් හෙබි විශේෂඥ කණ්ඩායමක් මගින් සිදු කරනු ලබයි. එම මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කිරීමට සැලසුම් කෙරෙන සම්මන්ත්‍රණය හරහා දේශගුණික විපර්යාස හා පර්යේෂණ සම්බන්ධ දැනුම ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතී. තව ද මෙය කලාපීය සහ ජාතික ගැටළු සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කරනු ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුල තිරසාර සංවර්ධනයේ සියලු අංශයන් ඇතුලත් මූලික ප්‍රවාහය තුල දේශගුණික ක්‍රියාකාරී ප්‍රතිපත්ති මෙන්ම නීති රීති සම්පාදනයේ දී අදාල ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආයතන සමඟ ද කටයුතු කරනු ඇත. තව ද දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ එම තත්ත්වයන් අවම කිරීම සඳහා ක්‍රියාකාරී අයුරින් ප්‍රජාවට සහාය වනු ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමඟ බද්ධ කිරීමට කටයුතු කෙරෙනු ඇති අතරම, විවිධ තලයන් ඔස්සේ සාමාන්‍ය ජනතාව වෙත සමීප කරවීමට ද කටයුතු කරනු ඇත.

යාන්ත්‍රණය:

මෙම මධ්‍යස්ථානය උපකුලපතිවරයා සහ උපකුලපතිවරයාගේ යම් බලතල පවරනු ලබන අධ්‍යක්ෂවරයකු හරහා විශ්වවිද්‍යාල සභාව විසින් සෘජුවම පාලනය වන ඒකකයක් ලෙස ස්ථාපිත කෙරේ.

අපේක්ෂිත ප්‍රතිඵල:

අපේක්‍ෂිත ප්‍රතිඵල වන්නේ අභියෝගවලට ජනතාව සතු සූදානම ඉහළ නැංවීම සහ විදෙස් ආදායම් උත්පාදනය තීව්‍ර කිරීම හරහා ජාතික ආර්ථිකය සවිමත් කිරීමත්, බලපෑමට ලක් වූ ජනතා ජීවනෝපාය මාර්ග ඉහළ නැංවීමත් ය. අනෙකුත් අපේක්ෂිත ප්‍රතිඵල අතර විධිමත් ජාතික ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම් හා සම්බන්ධ නීති රීති මෙන්ම පර්යේෂණ හා ප්‍රතිඵල ඉදිරිපත් කිරීමටත්, ගැටලු සහ පිළියම් සාකච්ඡා කිරීමටත් යෝග්‍ය භූමිකාවක් වශයෙන් පාර්ශ්වකරුවන්ගේ වාර්ෂික සම්මේලනය සඳහා සංසදයක් පිහිටුවීම ඇතුළත් වේ.

නියමු ප්‍රදේශය:

නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් වන සහ දේශගුණික අවදානම් වලට වැඩි වශයෙන් මුහුණපාන, ග්‍රාමීය ගොවි ප්‍රජාව ජීවත් වන වියළි කලාපීය කෘෂි පාරිසරික කලාපය මූලික අදියරෙහි නියමු ප්‍රදේශය වශයෙන් තෝරා ගැනේ.

මෙම අවස්ථාවට රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජේ.එම්.බී.එස් ජයසුන්දර, ආචාර්ය එච්.ඕ විජේවර්ධන, ආචාර්ය ජී.එන් චන්ද්‍රසිරි, ඩී.වයි.එස්.ආර්.ආර්. මුදලිගේ, එච්.එච් චමින්ද ලංකා යන මහත්ම මහත්මීන් සහභාගී විය.

IMG 20221109 WA0004

රෝහිනී මාරසිංහ ජිනීවා යන්න ෆස්ට් ක්ලාස් ටිකට් ඉල්ලලා !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශ්ව කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගී වීම සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට පිටත්ව යාම සඳහා තමන්ට පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ ලිපියක් යවමින් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි .

සභාපතිනිය මෙසේ ඉල්ලා ඇත්තේ දැනටමත් දෙවන පන්තියේ ටිකට් පතක් ඇය වෙනුවෙන් වෙන් කර තිබියදීය.

එම ලිපියෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දීර්ඝ ගුවන් ගමනක් බැවින් රුපියල් මිලියන 1.08 හෙවත් දස ලක්ෂ අසූ එක්දහසක් වටිනා පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් සහ හෝටල් ගාස්තු වශයෙන් රු. 467,249 ක මුදලක් ලබාදීමට ක්‍රියාකරන ලෙසය.

ඒ අනුව ඇයගේ ජිනීවා සංචාරය සඳහා රජය විසින් දැරිය යුතු සම්පූර්ණ මුදල රුපියල් 1,548,249/= ක් වන අතර එය ජනතා බදු මුදලින් ගෙවිය යුතුවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රටේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවය.

සුවයට උපදෙස් දෙන්න වැඩි හිමි සඳ !

රටටම සුවදෙන මිනිස්ට්‍රියක දුන්න, පට්ටම උපදේශක තනතුරක් ගැන, දිලිත්ගේ අරුණ පත්තරේ පත්තු කරලා තිබුනා . 
 
"මහජන මුදල් කාබාසිනියා කරන, පෞද්ගලික කාර්ය මණ්ඩලවලට අමතර ව , උපදේශක රොක්තක්ද පත්කර  ගැනීමට , ඇමතිවරුන්ට  හැකියාව  තිබේ . බිරිඳ හෝ සැමියා , දුව ,පුතා , බෑනා ආදී වශයෙන් , වන පෞද්ගලික  කාර්ය මණ්ඩලයට අමතරව , උපදේශකවරුන් පත් කෙරෙන්නේ , බොහෝ විට , ක්ශේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් ය. නැතහොත් ජනප්‍රිය චරිතයන් ය. පූජ්‍ය පක්ෂය ද ඒ අතර වෙති .
 
සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමක්, උපදේශක තනතුරකට පත් කෙරෙන්නේ,.. බුද්ධ ශාසන,  සංස්කෘතික , පුරාවිද්‍යා  හෝ අධ්‍යාපන , වැනි ක්ශේත්‍ර අරබයාය. එහෙත් රටටම සුවසෙත සපයන  ඇමතිවරයෙක් , සිය ප්‍රදේශයේ ම, ස්වාමින් වහන්සේ නමකට , උපදේශක තනතුරක් පිරිනැමීමට තරම් , කාරුණික වී සිටියි.
 
විශේෂත්වය වන්නේ , අමාත්‍යවරයාගෙන්, අමාත්‍යංශය මාරු වන මාරු වන , වාරයක් පාසා, මේ ස්වාමින් වහන්සේ උපදේශකකමද , ඊට සාපේක්ෂව වෙනස් වීම ය . වැදගත්ම දේ නම්, මෙතෙක් උපදේශක තනතුරු  දැරූ, කිසිම අමාත්‍යාංශයකට අදාලව උන්වහන්සේට කිසිදු දැනුමක් නොතිබීම ය .
 
මේ උපදේශක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් , අමාත්‍යාංශය, මාසිකව ගෙවන දීමනාව රුපියල් ලක්ෂයකි .අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට බරපතළම, ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වූයේ , මං සිට දීමනාව ලබා දීම නොව , වාහනයක් ලබාදීම සම්බන්ධයෙනි. ඇල්කෙමියාගේ නියෝගය වී තිබුණේ ද , උන් වහන්සේට ගැලපෙන වාහනයක් ලබා දෙන ලෙසය . එම නියෝගය ප්‍රකාරව  වෙන් කෙරුණු වාහනය සඳහා  , මාසයකට ඉන්ධන ලීටර්, 150ක් ද ලැබෙන්නේ ය. එම ඉන්ධන ප්‍රමාණය දවමින් උන් වහන්සේ සතියට දිනක් දෙකක් අමාත්‍යංශයට වඩින්නාහ. උන්වහන්සේ එලෙස වඩින්නේ කාලයක් පුරා , අමාත්‍යංශ ලේකම් වරයා පාවිච්චි කරමින් සිටී වාහනයෙනි. ලේකම් වරයා පාවිච්චි කරමින් සිටි වාහනය , අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයෙන් , උන්වහන්සේට පූජා කර තිබෙන්නේ ය .
අමාත්‍යංශයේ එම බර කරට ගෙන කටයුතු කරන ලේකම්වරයාට පරණ  වාහනයක් , ලැබී ඇත්තේ ය."
 
දිලිත්ගේ පත්තරේ තියෙන්නේ එහෙම.
 
 වැඩේ කියන්නේ මේ නිව්ස් එක නිසා ඊයේ , වගකිවයුතු පාර්ශ්ව ඒක ගැන  ෆයර් වුනා. ඒ නිසාම වෙන්න ඕන , වැඩි විස්තර වාන් දැම්මා වගේ එළියට ආවා .
 
ඒ වාන් දොරටු  හරහා ආරංචි විදිහට , සාමාන්‍යයෙන් රටටම සුවදෙන මිනිස්ට්‍රියේ උපදේශක වෙන්නේ විශ්ෂඥ වෛද්‍යවරයෙක් ලු. චමල්, සිරිසේන , රාජිත , පවිත්‍රා ඔය කොයි ඇමතිලත්, කැබිනට් සංදේශ දාලා , උපදේශක කරගත්තේ විශේෂඥ වෛද්‍යවරුන් ලු. නැත්නම් ඒ සබ්ජෙක්ට් එකේ WHO එක්ක කන්ටැක්ට් තියෙන , ප්‍රොෆෙසර්ලලු. 
 
ඒත් ඒ මොකුත් නැතුවම ආරංචි විදිහට , අද වෙනකොටත් , රටටම සුවසෙත දෙන මිනිස්ට්‍රියේ, උපදේශක ලෙස ඉන්නේ ,  ස්වාමීන් වහන්සේ නමක්ලු. ඒ උපදේශක හිමිනම, සබ්ජෙක්ට් එක නොදන්නා වුනාට, ඩිරෙක්ට්   ගනුදෙනු කරන්නේ, ඖෂධ සැපයුම් කරුවන් එක්කලු.  කොළඹ ආවහම නවතින්නේ තරු පංතියේ හෝටල් වලලු. ඒ හෝටල් වලට ඖෂධ සපයන ඒජන්ට්ලා , එනවා විතරක් නෙවෙයි , බිලටත් වග කියනවලු. දැන් අමාත්‍යංශයේ උදවිය අහනවලු , තරහ අවසර , ඖෂධ ගැන මොකුත් නොදැන කොහොමද මේ ගේම ගහන්නේ කියලා . එහෙම පසුබිමේ රටටම බෙහෙත් අඩුවක් නැතුව සප්ලයි එක දෙන්නේ කොහොමද කියලලු. 
 
විශේෂඥයන් කියන්නේ මේ තාලෙන් ගියොත්, රටම නවතින්නේ ඉස්පිරිතාලෙන් කියලලු. 
 
දේශපාලන වාර්තාකරු 
 

විදෙස් ගමන් බලපත් නිකුතුවේ අවුල ලිහලා !

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත .

ඊට අනුව පරිගණක පද්ධතියේ අද (08) දින හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇත .

ඒ අනුව හෙට (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද දහවල් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

ඇමති ටිරාන් සිංගප්පූරු සංචාරයක !

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය සහ සිංගප්පූරුවේ නීතිය පිළිබඳ අමාත්‍ය  කේ. ෂන්මුගම් මැතිතුමාගේ ඇරයුමකට අනුව, 2022 ඔක්තෝබර් 25-29 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත විය.
 
මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් වෙයි.
 
ශ්‍රී ලංකා දූත  පිරිස, සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය (CNB) මහජන සාමය පවත්වාගැනීම සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා  සිංගප්පූරුව අනුගමනය කරන නීතිමය රාමුව පිළිබඳව සංවිධානය කළ දැනුම්වත් කිරීමේ සැසියකට සහභාගී විය. 
 
මෙම හමුවට එක් වූ අමාත්‍ය ෂන්මුගම් , මෙම ක්ෂේත්‍ර දෙකට අදාළව මෑත වසරවල හඳුන්වා දුන් නීතිමය රාමු සහ සංශෝධන පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කළේ ය.
 
 අදාළ නීති සම්පාදනයේ සහ සංශෝධනවල මෙහෙයුම්  අංශ සම්බන්ධයෙන් උගත් පාඩම් පිළිබඳව දෙපාර්ශ්වය අතර ඵලදායී අදහස් හුවමාරුවක් ද සිදු විය.
 
 වෙනම සැසියක් ලෙස පැවැත්වූ මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුන් ෂුඒලින්ග් සහ සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
 
අමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරයට ආගමන කටයුතු හා මුරපොළ අධිකාරියේ (ICA) නිලධාරීන් සමඟ අන්තර්ක්‍රියා පැවැත්වීම ද ඇතුළත් විය.
 
 ICA හි ප්‍රලේඛන කටයුතු පරිවර්තනයකට සහ ඩිජිටල්කරණයට ලක් කිරීමේ සැලසුම් පිළිබඳව කෙටි විස්තරයක් මෙහිදී සපයන ලද අතර, අනන්‍යතා සත්‍යාපනය සහ ලේඛන විශ්ලේෂණ (IADA) විද්‍යාගාරය තුළ සංචාරයක් ද ඊට ඇතුළත් විය.
 
 සිංගප්පූරුවේ ආගමන මුරපොළවල්වල දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉස්මතු වන අභියෝගවලට මුහුණ දීමේ අරමුණින්, සිංගප්පූරු ආගමන හා ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ (SIR) සහ රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ(CED) මුරපොළ මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා 2003 වසරේ දී ICA ආයතනය පිහිටුවීමේ දී සිදු කරන ලද ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී සිය අදහස් හුවමාරු කර ගත්හ.
 
සිංගප්පූරු පොලිස් සේවයේ නිලධාරීන් විසින් අපරාධ විමර්ශනය, බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් විධානය ඇතුළුව ඔවුන්ගේ මෙහෙයුම් අංශ පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සපයන ලදී.
 
 ඔවුහු චැන්ගි ගුවන් තොටුපොළ තුළ සංචාරයක ද නිරත වූහ. එහිදී සිංගප්පූරුවේ නවතම දේශසීමා ආරක්ෂක විධිවිධාන පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදු කරන ලදී.
 
මෙම සංචාරය නිම කිරීමේ අවස්ථාවේ දී අමාත්‍ය ෂන්මුගම් විසින් අමාත්‍ය අලස් ඇතුළු දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කෙරිණි.
 
අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට සහභාගී වූ දූත පිරිසට ආගමන විගමන පාලක ජනරාල්වරයා, ශ්‍රී ලංකා පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් විය.
 
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ  සහ ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මෙම සංචාරයේ කටයුතු සම්බන්ධීකරණය කළේ ය.
 IMG 20221108 WA0012
IMG 20221108 WA0013

තනි සූට් විමල්ට අභියෝගයක් !

තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාසල් ගුරුවරුන් කියන්නේ රජයේ වෙනත් රැකියා කරන අයට වඩා වෙනස් වෘත්තියක් බව කී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ළමයින් අනුකරණය කරන්නේ සහ ආදර්ශයට ගන්නේ ගුරුවරයා හෝ ගුරුවරිය බැවින් ගුරුවරුන්ගේ බාහිර පෙනුම රජයේ වෙනත් රැකියා කරන අයගේ බාහිර පෙනුමට බලපාන බව කීය.

එන්,ජී.ඕ කාර බත් බැලයන් එක එක යෝජනා කාලෙන් කාලෙට ගේන අතර දරුවන්ගේ නිල ඇඳුම ගලවන්න කියා එක පාරට කියන්න බැරි නිසා ගුරුවරුන්ගේ ඇදුම වෙනස් කරන්න හදන බවද ව්‍යාජ අනුකම්පාවක් මවා මෙය කරන්න එපා යැයිද ඔහු පැවසීය .

වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කරලා එන්න !

කෙසේ වුවත් මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශය හාස්‍යට ලක්කරන දේශපාලන විචාරකයන් පවසන්නේ කුඩා කාලයේ තනි කලිසමක් සහ කමිසයක් සහිතව සිට, ජවිපෙ දේශපාලනය තුළ වැටුප් නොගෙන මහජන සේවයක් සිදුකළ බව සඳහන් කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයා අමාත්‍යවරයකු වී වසර කිහිපයක් තුළ අති සුඛෝපභෝගී නිවසක් ඇතුළු දේපළක හිමිකරුවකු වූ ආකාරයත් අනාවරණය කළ යුතුව ඇති බවයි.

ඒ හරහා අදටත් හැඳි වත පමණක් උරුම ජනතාවට වසර කිහිපයක් යන තැන කෝටිපතියකු වීමේ කලාව උගත හැකි වනු ඇති බවත් ඔවුන් පවසයි .

කෙසේ වුවත් විමල් වීරවංශ අමාත්‍යවරයකු ලෙස සිය වත්කම් ඉපයීම් අනාවරණය කිරීමට නොහැකි වූ බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

ජනාධිපති රනිල් කාර්මික බලවතුන්ගෙන් වන්දි ඉල්ලයි !

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

COP 27 දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah El-Sisi) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් (António Guterres) ගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී අද (08) පැවැත්විණි.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදාකර ගැනීමේ ද්විත්ව සටනක එම රටවල් නියැලී සිටින බවත්ය.

එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම මගින් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ අනුව, දේශගුණික අවදානම් සංසදය විසින් යෝජනා කර ඇති පරිදි, ඉදිරි ප්‍රතිචාර සඳහා ජාත්‍යන්තර දැනුවත්භාවය ශක්තිමත් කිරීම සඳහා මෙම අංශය පිළිබඳ විශේෂ වාර්තාවක් සකස් කිරීම සුදුසු බව ජනාධිපතිවරයා පැවසීය.

Cop 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
සිදු කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි .

හරිත නගරයක් වන ෂාර්ම් එල්- ෂීක් ( Sharm El-Sheik ) හි වටපිටාව, COP27 හි අපගේ සාකච්ඡා සාර්ථක නිගමනයකට ගෙන එනු නොඅනුමානයි. උණුසුම් පිළිගැනීමට සහ ආගන්තුක සත්කාරයට මම ඊජිප්තු රජයට අවංකවම ස්තූතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පිරී පවතින බැවින් දේශගුණික විපර්යාසවල අභියෝගයන්ට නිරන්තරයෙන් මුහුණ දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග මෙසේ සඳහන් කළහැකියි.

• වසර 2030 වන විට කාබන් විමෝචනය 14.5% කින් අඩු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

• සමුද්‍ර අවකාශීය සැලසුම් ආරම්භ කර ඇත
• මෑතකදී දේශගුණික කාර්යාලයක් පිහිටුවනු ලැබීය
• මාර්තු 01 වන දා ලෝක මුහුදු තෘණ දිනය ලෙස නම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයට මුලිකත්වය ගෙන තිබේ.

ශ්‍රී ලංකාව,

• කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසාර භාවිතය සඳහා ජාතික ප්‍රතිපත්තිය භාවිතා කරයි
• දේශගුණික සහ සාගර අවදානම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි
• කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමට ( Commonwealth Blue Charter Action Group) නායකත්වය දෙයි
• ගල් අඟුරු බලය මගින් තවදුරටත් බලශක්ති ධාරිතාව වැඩි නොකරනු ඇත
• පොසිල ඉන්ධන සහනාධාර ක්‍රමානුකූලව ඉවත් කරනු ඇත
• වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
• වොෂින්ටනයේ මෑත කාලීන ගෝලීය මීතේන් ප්‍රතිඥාව සමඟ සම්බන්ධ වනු ඇත.

එහෙත්, දේශගුණික ක්‍රියාමාර්ග සාර්ථක වීමට නම්, UNFCC සහ පැරිස් ගිවිසුමට අනුකූල පුළුල් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

දේශගුණික ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රභලතම බාධාව වන්නේ ධාරිතාව නොමැතිකමයි. එබැවින් මේ සම්බන්ධයෙන් ධාරිතා ගොඩනැගීම ඉතා වැදගත් වේ.

මෙම බාධාව මඟහරවා ගැනීම සඳහා, මාලදිවයිනේ අනුපූරක ආයතනයක් සමඟ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අපි යෝජනා කරමු, එය එම මාදිලියේ පළමුවැන්න වනු ඇත.

ජාතික සහ විනය සීමාවන් ඉක්මවා දැනුම හුවමාරු කර ගැනීමට හරිත සහ නීල අධ්‍යයනය (Green and Blue Studies) , විද්‍යාඥයින්, පරිසරවේදීන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සංවර්ධන වෘත්තිකයන්, සහ ලොව පුරා සිටින සිසුන් සඳහා නිතැතින්ම මෙම ඉගෙනුම් පීඨය ගෝලීය මධ්‍යස්ථානයක් විය හැකියි.

යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය මඟින් දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒවාට අනුවර්තනය වීම පිළිබඳ හැකියාවන් ගොඩනැගීමට කෙටි කාලීන පාඨමාලා සහ පශ්චාත් උපාධි පිරිනමනු ඇත.මෙම විශ්ව විද්‍යාලය මඟින් නව පරපුරේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික කුසලතා නංවාලනු ඇත.

එය දේශගුණික විපර්යාස අභියෝග සහ අපේක්ෂාවන් දේශීය වශයෙන් දැනුවත් කිරීමට මාර්ගය වනු ඇත. බහුපාර්ශ්වික ආයතන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය, ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධානවල සහයෝගීතාවය මෙම උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවීම සඳහා ජාතික මට්ටමින් ඔබ්බට ගොස් බහු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරිත්වය අපේක්ෂා කෙරේ.ශ්‍රී ලංකාවේ මෙම යෝජනාවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් පුළුල් සහයෝගයක් සහ අනුමැතියක් ලැබෙනු ඇති බව මගේ බලාපොරොත්තුවයි.

දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීමේ යොජනා ගෝලීය කලාපය තුළ බෙදා හැරිය යුතු බැවින්, ඉහළ බලාපොරොත්තු සමඟින් අපි ලබන වසරේ නැවත හමුවෙමු. කෙසේ වෙතත්, COP 26 හි තීරණ ඇතුළුව පූර්ව තීරණ ක්‍රියාත්මක කිරීම අතිශයින් අධෛර්යමත් කරනු ලබයි.
කණගාටුවට කරුණක් නම්, මහ පොළොවේ යථාර්ථය වන්නේ හරිත හයිඩ්‍රජන් ප්‍රධාන ප්‍රවර්ධකයින් වූ G7 සහ G20 හි ෆොසිල ඉන්ධන පදනම් කරගත් කාර්මික රටවල් දැන් ෆොසිල ඉන්ධන පසුපස හඹා යාමයි. පසුගිය වසරේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය බිලියන 34.3 සිට බිලියන 36.3 දක්වා මෙට්‍රික් ටොන් බිලියන 2 කින් වැඩි වී ඇත. එවැනි දෙබිඩි පිළිවෙත් පිළිගත නොහැකියි. සංවර්ධිත රටවල් තම වගකීම් පැහැර හැරීමට වඩා දේශගුණික අභියෝග ජය ගැනීමට නායකත්වය දිය යුතුයි. දේශගුණික මූල්‍යකරණයේ ඉලක්කය මගහැරී ඇති බව නොරහසකි.

දේශගුණික අභියෝගවලට මුහුණදීමට මූල්‍ය පහසුකම් සැලසීම සඳහා වාර්ෂිකව පොරොන්දු වූ ඩොලර් බිලියන 100 ක සංචිතය නොතිබීම හාස්‍යයට කරුණකි. බොහෝ සංවර්ධිත රටවල් ඔවුන්ගේ දේශගුණික මූල්‍ය දායකත්වයේ වගකීම් පැහැර හරිමින් සිටී. යුක්‍රේන යුද්ධයේ දෙපස සිටින මෙම රටවලට යුද්ධයක් සඳහා වියදම් කිරීමට කිසිදු පැකිළීමක් නැති බව පේන්න තිබෙනවා.

මෙය යුද්ධයේ නියැලී සිටින්නන්ගේ අවශ්‍යතාවය මත සිදු වන්නක්. අවදානමට ලක්ව ඇති එකම දෙය වන්නේ යුද්ධයට පෙර අත්විඳ නැති මට්ටමේ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක් මතුවිමයි. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ජීවත්වන බොහෝ දෙනෙකුට දිනකට ආහාර වේල් තුන අහිමිව ඇත.විශේෂයෙන්ම අප්‍රිකාවේ මිලියන 30ත් 40ත් අතර සංඛ්‍යාවක් කුසගින්නෙන් පෙළෙන බවට තක්සේරු කර තිබේ.

මෙම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන ජීවන වියදම්, තෙල් හා ගෑස් සැපයුම් හිඟය සහ කුසගින්නට එරෙහි සටන අපේ නිවෙස් කරා පැමිණ තිබේ.

අපේක්ෂිත පරිදි, මෙම රටවල් විසින්ම පොරොන්දු වූ දේශගුණික මූල්‍ය කප්පාදු කිරීමට එය හේතු වී ඇත. අපට ඇති ප්‍රශ්නය යුද්ධයට වගකිව යුතු පාර්ශ්වය සොයා ගැනීම නොව යුද්ධය අවසන් කරන පර්ශ්වය සොයා ගැනීමයි.

අපට මෙම අරමුදල් අවශ්‍ය වන්නේ ඇයි? යටත්විජිත සමයේ ආසියාවේ සහ අප්‍රිකාවේ සම්පත් යුරෝපයට මාරු කළ අතර ඔවුන්ගේ රටවල් කාර්මිකකරණය කිරීමට භාවිතා කළ බව නොරහසකි. මෙම සම්පත් කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම රටවල් දිළිදුභාවයට පත්වුණා.

සංවර්ධිත ආර්ථිකයේ අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවල මූලික හේතුව ද වෙයි. එහි ප්‍රතිවිපාක ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අපට දුක් විඳීමට සිදු වී තිබෙනවා. ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම නිසා අපගේ ගැටලු උග්‍ර වෙනවා. ඒ නිසා මෙම රටවල් ඔවුන්ගේ ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන අතරම ආර්ථික වශයෙන් දියුණු වීමට අරගල කිරීම යන ද්විත්ව අනතුරකට මුහුණ දී සිටිනවා. එබැවින් සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීමෙන් ග්ලාස්ගෝ හි ඔවුන් දුන් ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා සිදුවන හානිය වැඩි වෙමින් පවතින අතර, ඒවායේ අනිසි බලපෑම් හේතුවෙන් අධික වියදමක් දැරීමට සිදුව තිබෙනවා. කාර්මික ලෝකයෙන් නිකුත් වන වායු විමෝචනයෙන් දරුණු ලෙස පීඩාවට පත්වන සංවර්ධනය වෙමින් පවතින රටවලට පාඩු හා හානි සඳහා වන්දි ගෙවිය යුතුයි.

අලාභය සහ හානිය පිළිබඳ ගැටළුව දැන් අපගේ විධිමත් න්‍යාය පත්‍රයට ඇතුළත් වන අතර, ඔවුන් විපතට පත් වූවන්ට මූල්‍යමය වශයෙන් දායක වන බවට අප සහතික විය යුතුයි. දේශගුණික අවදානම් සංසදය විසින් යෝජනා කරන ලද පරිදි, විශේෂයෙන් අනාගත ප්‍රතිචාර සඳහා ජාත්‍යන්තර දැනුවත්භාවය ශක්තිමත් කිරීම සඳහා මෙම අංශය පිළිබඳ වාර්තා කිරීම වඩාත් වැදගත් වනු ඇත.

බොහෝ සාකච්ඡා කරන ලද සහන පිළිබඳව සංවර්ධිත ලෝකයේ අසාර්ථකත්වය සලකා බලන විට, COP 28 සඳහා ඩුබායි වෙත යාමට පෙර, දේශගුණික මූල්‍යකරණයේ සියලු අංශවල ඉදිරිය අමාත්‍ය මට්ටමින් සාකච්ඡා කළ යුතු බවට යෝජනා කරනවා.

විපත් වළක්වා ගැනීම එක් මතයක සිටින රටවල නායකයින් COP28 සමුළුවට ප්‍රථමයෙන් මායිම්වල පිහිටි රටවල ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවිය යුතු බව ද මම යෝජනා කරනවා.

අවසාන වශයෙන්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෑතකදී සිදුකළ ප්‍රකාශය සිහිපත් කිරිමට මට ඉඩ දෙන්න. " කැමැත්ත වන්නේ සාමූහිකව ක්‍රියා කිරීම හෝ සාමූහික සියදිවි නසාගැනීම " යන්නයි.

අක්‍රිය වීම නිසා ඇති වූ රික්තයට මෙම ව්‍යසනය වැළැක්වීම සඳහා සමාන අදහස් ඇති රටවල ගතික ක්‍රියාකාරීත්වය සහ නිර්මාණාත්මක සහයෝගීතාවයෙන් තිරසාර දේශපාලන කැමැත්ත ප්‍රදර්ශනය කිරීම දැන් ගෝලීය අවශ්‍යතාවකි.අපි නොපමාව මෙම මාර්ගය තරණය කරමු.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් - සාගල

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්‍ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් අතර ලෝක බැංකු අයවැය සහාය සහ සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීමේ මෙහෙයුම (DPO) ආරම්භ කිරීමේ හමුවට එක්වෙමිනි.

රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට, ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට සහ අවශ්‍ය මාර්ග සිතියමට යාමට මෙය හොඳම අවස්ථාව බව පෙන්වා දුන් රත්නායක මහතා රටක් ලෙස අපට එම හැකියාව තිබෙන බවත් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ඉදිරි සති දෙක අවසානයේ එම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට අදාළ අවසන් වාර්තාව ලබා ගැනීම, මාර්ග සිතියම සැකසීම සහ කාල රාමුවට අනුව සියලුදෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී සඳහන් කර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැපවී සිටින බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා අසීරු තීරණ ගෙන ඇති බවත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට වෙනුවෙන් වූ ක්‍රියාකාරී ප්‍රතිපත්තිය සහ දැක්ම පිළිබඳ මවිතයට පත් වන බවත් ඊට සහාය දැක්වීමට ලෝක බැංකුව කටයුතු කරන බවත් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංවිධානය සඳහා රජයන්ට සෘජු අයවැය සහාය ලබා දෙන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් හරහා විශේෂිත සංවර්ධන ප්‍රතිඵල සමූහයක් සාක්ෂාත් කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණු වේ.

අපේක්ෂිත සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා වේගවත් මූල්‍ය ආධාර සැපයීම, මූල්‍ය පාලනය පරිවර්තනය කිරීම, තරඟකාරිත්වය ඉහළ නැංවීම යන කරුණු තුනක් යටතේ මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත.

ණය කළමනාකරණය සහ විනිවිදභාවය, මූල්‍ය අධීක්‍ෂණය, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම, රාජ්‍ය ප්‍රසම්පාදන විනිවිදභාවය මෙන්ම මුදලෙහි වටිනාකම වැඩි කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය බිඳ දැමීම සහ ක්‍රමානුකූල අවදානම අවම කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා මෙහිදි කරන ලදී.

රජය සතු ව්‍යවසාය පිළිබඳ අධීක්ෂණය ප්‍රතිසංස්කරණය සහ වැඩි දියුණු කිරීම, ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ අපනයන විරෝධී නැඹුරුව අඩු කිරීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රය ආනයනික ඉන්ධන මත යැපීම අඩු කිරීම, වඩාත් දේශගුණික හිතකාමී කිරීම, සමාජ ආරක්ෂණ ආයතන, බෙදා හැරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ඉලක්ක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා සහ ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයින් හා රේඛීය ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.

සංගීතාගෙන් ජීවන්ගෙන් පැය 05 බැගින් CID ප්‍රශ්න කරලා !

තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) පැය 05ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම ඇය සමඟ කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් තිළිණි සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලින් මතු කර ගත් වීඩියෝ දර්ශනයක් සංගීතා වීරරත්න මහත්මියට ඉදිරිපත් කරමින් ඒ ගැන විමසීමේදී ඇය කිසිවක් පැවසීමට නොහැකිව මඳ වේලාවක් නිරුත්තර වී සිටි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

සංගීතා වීරරත්න මහත්මිය විසින් ප්‍රශ්න කිරීමේදී ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වෙන බවත් එහිදී ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව හැඟී ගියහොත් ඇයව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගණ ශිල්පිනියක් වූ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශනයට අදාළව තවත් නවක නිළියක්ව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති අතර, ඇය මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව හමුවේ පෙනී සිට නැත. ඇයත් ඉදිරියේදී මේ ආකාරයටම පැමිණ ප්‍රකාශයක් දෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

තිළිණි ප්‍රියමාලි ජනප්‍රිය නිවේදක යුවළකට නිවසක් මිලදී ගැනීමට දී ඇතැයි කියන කෝටි එකහමාරක මුදලක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමු වී තිබේ. එම නිවේදක යුවළක් ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව එහි අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය.

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතාගෙන් සහ එම මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරදා පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ තිලිණි ප්‍රියමාලී සමඟ ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් පැවැති සම්බන්ධතාවය සහ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ඉදිරියේදී ඒ මහතාගේ පවුලේ කිහිපදෙනකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.

ගයාන් කුමාර වීරසිංහ

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට තිරසර ණය සහන සැලැස්මක් අවශ්‍යයි - ජනපති

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට අද (07) සහභාගී වෙමිනි.

2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ නොවුණහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බව පැවසීය.

ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහත දැක්වෙයි .

අද වන විට බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙළෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මිලියන 300 කට අධික ජනතාවගේ ජීවනෝපාය අනතුරට පත්ව තිබෙනවා. මෙම බලපෑමට ලක් වූ රටවල් වර්ග දෙකක් තිබෙනවා.ඉන් එකක් තවදුරටත් ආහාර නොමැති රටවල්. එනම් ඉහළ යන වියදම් හේතුවෙන් ආහාර මිලදී ගැනීමට ක්‍රමයක් නැති හෝ තමන්ගේම ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොමැති රටවල්. අනෙක සාම්ප්‍රදායිකව ප්‍රමාණවත් ආහාර සැපයුමක් තිබූ, නමුත් පිරිවැය ඉහළයාම හේතුවෙන් ආහාර සපයා ගත නොහැකි රටවල්.
පසුගිය සමයේ ඇතිවු පොහොර ගැටලුව හේතුවෙන් ලංකාවට ආහාර නිෂ්පාදනය සිදු කිරීමට නොහැකි වුණා. කෙසේවෙතත් අප විසින් ක්‍රියාවට නංවන ලද ආහාර සුරක්ෂිතතාව සඳහා වූ ඒකාබද්ධ යාන්ත්‍රණය මගින් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් මෑතකදී අපට පොහොර තොග ලබා ගැනීමට හැකි වුණා. එසේ වුවද, ආහාර ලබා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති සැලකිය යුතු පිරිසක් අපේ රටේ ඉන්නවා.

මෙම කොටස් දෙකටම අයත් රටවලට අවශ්‍ය ආහාර ලබාදීමට සියලුදෙනා සහතික විය යුතුයි. එම ජනතාවට ආහාර සැපයීම සදහා මුල්‍ය ආධාර අවශ්‍ය වෙනවා. මෙම කාණ්ඩ දෙකටම පොදු කරුණ නම් ණය පොළිය ඉහළ යාමයි. වැඩිවන ණය පිරිවැය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත ජනගහනය සඳහා ආහාර සැපයුම සහතික කිරීම වඩා දුෂ්කර වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇත්තේ ඉහළ යන ආහාර හා පොහොර මිල දරා ගත නොහැකි වනු ඇති බවයි. ණය පොළී පිරිවැය ඉහළ යාමත් සමඟ බලපෑමට ලක් වූ රටවල් 48 හි ආහාර ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් එකතු වන බවත් එහි සඳහන් වෙනවා. මෙයින් අදහස් කරන්නේ මෙම රටවල් වර්ග දෙකෙහිම ණය අර්බුදයට තීරණාත්මක විසඳුමක් අවශ්‍ය බවයි.

මේ තත්ත්වයට නිසි ලෙස මුහුණ දීමට දැනට කිසිදු පොදු සැලැස්මක් හෝ කේන්ද්‍රස්ථානයක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, COP, ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක ආහාර වැඩසටහන (WFP) ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්ව එම කේන්ද්‍රස්ථානය ස්ථාපිත කළ යුතු වෙනවා.

2023 සහ 2024 ආහාර අවශ්‍යතා තක්සේරු කර ආහාර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස මම COP27හි ප්‍රධානියා ලෙස ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටිනවා.

බහුආංශික අරමුදල් ප්‍රභවයන් සමඟ සමීපව කටයුතු කිරීම හා ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා තිරසාර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කළ යුතුයි. මෙම සැලැස්ම 2023 පෙබරවාරි වන විට සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.
මේ සඳහා අපි කඩිනමින් ක්‍රියා කළයුතුයි. එසේ නොවුනහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවන හානිය නැවත පිළිසකර කළ නොහැකි වනු ඇති බව සඳහන් කරන්න කැමැතියි. එළැඹෙන COP28 සමුළුවේ දී ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා අප මධ්‍ය කාලීන සැලැස්මක් සම්පාදනය කිරීම අතිශයින් වැදගත් බව ද කිව යුතුයි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ක්‍රිකට් තහනම් වූ ධනුෂ්ක ගැන දසුන් කතා කරයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිදු වූ දේ පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව නායක දසුන් ශානක පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට යාම හේතුවෙන් ලංකා කණ්ඩායම අද (07) මෙරටට පැමිණි අවස්ථාවේය.

“ඇත්ත තත්ත්වය තාම දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. අධිකරණයෙන් ඉක්මනින්ම ඒකට පිළිතුරක් හම්බවෙයි. අපි දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක් වෙලා කියලා. අපිට කතා කරන්න වුණේ නෑ.”

මේ අතර ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පනවා ඇති බව වාර්තා වන අතර ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ය.

ආයතනයේ සභාපති ශම්මිද සිල්වා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධිකරනයෙන් ලැබෙන තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීන්දු වනු ඇති බවයි.

Page 8 of 215