මේ ලිපිය මම ලියන්නේ අංගරචනය ගැන අවසාන නිර්වචනයක් දෙන්නවත්, කාටවත් ඉගැන්වීමක් කරන්නවත් නොවේ. ක්ෂේත්‍රය තුළ වැඩ කරමින්, විවිධ චරිත, අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන් සහ තාක්ෂණික අංශ සමග කටයුතු කිරීමෙන් ලැබුණු අත්දැකීම් ඇසුරින් මට දැනෙන සහ මම දකින සිනමා අංගරචනය පිළිබඳ අදහස් කිහිපයක් බෙදාගන්නයි. මට වඩා දැනුමත් අත්දැකීම්ත් ඇති බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රයේ සිටිනවා. ඒ නිසා මෙය අවසාන වචනයක් ලෙස නොව, කතිකාවක් ආරම්භ කිරීමක් ලෙස කියවන්න කියලා ආරාධනා කරනවා.
අංගරචනය කියන්නේ මූණක් වෙනස් කිරීම ද, නැත්නම් මනුෂ්‍යයෙක් චරිතයක් බවට පත් කිරීම ද?
Script එකක උපදින්නේ චරිතයක්. අධ්‍යක්ෂවරයා එම චරිතය පිළිබඳ තමන් ගේ අර්ථකථනය ගොඩනගනවා. රංගන ශිල්පියා ඒ අර්ථකථනයට ශරීරය, හඬ, හැඟීම් සහ ජීවිතය ලබා දෙනවා. නමුත් මේ ක්‍රියාවලියේ බොහෝ විට නොකියවෙන ප්‍රශ්නයක් තිබෙනවා. රංගන ශිල්පියා තමන් නොවන කෙනෙක් බවට පත්වෙන්නේ කොතැනින් ද? මගේ හැඟීම නම් ඒ මොහොත බොහෝ විට ආරම්භ වන්නේ අංගරචන පුටුවෙන්. හොඳ අංගරචනයක් කියන්නේ සම සුමට කිරීමක්, වර්ණ නිවැරදි කිරීමක්, හෝ කැමරාවට ලස්සන පෙනෙන මුහුණක් නිර්මාණය කිරීමක් පමණක් නොවේ. එය චරිතයක් පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය, රංගන ශිල්පියාගේ අභ්‍යන්තර ලෝකය සහ ප්‍රේක්ෂකයාගේ විශ්වාසය අතර ඇති පළමු දෘශ්‍ය සංවාදයයි.
රංගනය සිදු කරන්නට පෙර...
රංගනය සිදුවෙන්න කලින් ප්‍රේක්ෂකයා චරිතය විශ්වාස කළ යුතු ය. එම විශ්වාසය ගොඩනගන පළමු පුද්ගලයා බොහෝවිට අංගරචන ශිල්පියා ය. චරිතයක් වයසින් මුහුකුරා ගිය කෙනෙක් නම්, ජීවිතයෙන් පරාජිත කෙනෙක් නම්, මානසිකව බිඳවැටී ඇත්නම්, රෝගී නම්, රාජකීය නම්, දුප්පත් නම්, යුද්ධයකින් පැමිණියේ නම්, ප්‍රේමයෙන් දැවී ඇත්නම් යනාදි මේඑකී නොකී අත්දැකීමක්ම රංගනයට පෙර ප්‍රේක්ෂකයාගේ ඇසට කතා කළ යුතු යි. එතැනදී අංගරචනය යනු රූපලාවණ්‍යයක් නොව දෘශ්‍ය මනෝවිද්‍යාවකි. සැබෑ අංගරචන ශිල්පියෙකුට Make-up කිරීම පමණක් නොව, Make-up නොකිරීමේ අවශ්‍යතාව ද තීරණය කළ හැකි විය යුතු ය. චරිතවලට අවශ්‍ය වන්නේ Make-up පෙනෙන අංගරචනයක් නොව, කිසිදු අංගරචනයක් නොපෙනෙන අංගරචනයකි. නමුත් එවැනි තීරණයක් ගැනීමට නම් පිටපත, චරිතය, අධ්‍යක්ෂවරයා ගේ පරමාර්ථය සහ නිර්මාණයේ දෘශ්‍ය භාෂාව ගැඹුරින් තේරුම් ගැනීම අවශ්‍ය ය. ඒ නිසා අංගරචන ශිල්පියෙකුගේ වටිනාකම මනින්නේ ඔහු භාවිතා කරන නිෂ්පාදනවලින් නොව, ඔහු කියවන චරිතවල ගැඹුරින් යැයි මට සිතෙනවා.
නළුවා ගේ හෝ නිළිය ගේ අසීරුම කාර්ය සහ අංගරචන ශිල්පියා ගේ ප්‍රමුඛ වගකීම

තවත් කරුණක් තිබෙනවා. බොහෝ දෙනා හිතන්නේ අංගරචනය කියන්නේ චරිතයට Make-up දාලා අවසන් වෙන කාර්යයක් කියලා. නමුත් රූගත කිරීමක දී බොහෝ විට අමාරුම කාර්යය Make-up කිරීම නොව, චරිතය රැකගැනීම යි. එකම දර්ශනයක් පැය ගණනාවක් රූගත වෙන්න පුළුවන්. සමහර දර්ශන දවල් රූගත කරලා සති දෙක තුනකට පස්සේ එහි ඉතිරි කොටස රූගත කරන අවස්ථාත් තිබෙනවා. අව්ව, වැස්ස, දූවිලි, උණුසුම, ආලෝක වෙනස්වීම්, දහඩිය, පැය ගාණක් එකදිගට වැඩකිරීමෙන් රංගන ශිල්පීන්ගේ ශාරීරික වෙහෙස සහ මානසික පීඩනය යනාදි හැම දෙයක්ම මුහුණ මත සලකුණු තබනවා. ඒත් ප්‍රේක්ෂකයාට එය පෙනෙන්න බැහැ. මක්නිසාද ප්‍රේක්ෂකයා දකින්න ඕනේ චරිතය මිස, රූගත කිරීමේ වෙහෙස නොවේ. ඒ නිසා රූගත කිරීම ආරම්භයේ දී නිර්මාණය කළ චරිතය, දවස අවසානයේත්, ඊළඟ දවසේත්, ඊළඟ සතියේත් එලෙස ම පවත්වාගෙන යෑම අංගරචන ශිල්පියා ගේ විශාල වගකීමක්.
වෘත්තීය සිනමාවේ සාර්ථකත්වයේ ආරම්භය
ඇතැම් විට Make-up කිරීමකට වඩා Character Continuity පවත්වා ගැනීම අමාරු කාර්යයක්. ප්‍රේක්ෂකයා නොදකින, නමුත් චිත්‍රපටයක විශ්වසනීයත්වය තීරණය කරන කාර්යයක්. ඇතැම් විට අපට මෙවැනි අදහස් අහන්න ලැබෙනවා.
"Colour grading එකෙන් හදයි..."
"Lighting එකෙන් balance කරයි..."
"Post-production එකෙන් ගොඩ දාගන්න පුළුවන්..."
නමුත් වෘත්තීය සිනමාවේ සාර්ථකත්වය ආරම්භ වන්නේ Post-productionවලින් නොව, නිවැරදි Pre-production සහ Production Disciplineවලින්. සාර්ථක අංගරචනයක් යනු Colour Grading Artist ට තම නිර්මාණාත්මක කාර්යය නිදහසේ කිරීමට ඉඩ සලසන අංගරචනයකි; Editor ට ගැටලු විසඳීමට නොව, කතාව ගොඩනැගීමට ඉඩ දෙන අංගරචනයකි; Lighting Department එකෙන් වැරදි අඩුපාඩු වහන්න බලාපොරොත්තු නොවී, Lighting Design සමඟ එකතු වී චරිතය සම්පූර්ණ කරන අංගරචනයකි.
අංගරචන ශිල්පියා යනු Face Painter කෙනකු ද...?

ඇත්තටම බලනවා නම් අංගරචන ශිල්පියා යනු Face Painter කෙනකු නොවේ. ඔහු Character Interpreter කෙනෙකි.
ප්‍රේක්ෂකයාට චරිතය පෙනෙන්නෙත්, රංගන ශිල්පියා අමතක වන්නෙත් එතැනින්.
මට නම් අංගරචනයේ උසස්ම ජයග්‍රහණය වන්නේ ප්‍රේක්ෂකයා "Make-up එක හොඳයි" කියා පැවසීම නොවේ. "මට නළුවාව අමතක වුණා... මම දැක්කේ චරිතය විතරයි," යන ප්‍රතිචාරයයි.
මෙය මගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරින් ලියූ සටහනක් පමණි.

Priyantha Dissanayaka
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
