පුවත්

කබ්‍රාල්ගේ වැඩ නිසා ඩොලර් බිලියන කීයක් අහිමිද ? රාජ්‍ය ඇමති හෙළිකරයි !
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සමයේ ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාම නිසා ඩොලර් බිලියන හයක හතක මුදලක් අහිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
එවැනි අනම්‍ය තීරණ වත්මන් පාලනය විසින් නොගන්නා බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා අද වන විට ක්‍රියාත්මක කරන්නේ එම කාලයට වඩා බොහෝ වෙනස් ප්‍රතිපත්ති බවත් සඳහන් කරයි.
එම යුගයේ ඩොලරය රඳවා ගැනීමට ගොස් රටේ තිබුණු ඩොලර් බිලියන 6-7ක මුදලක් වියදම් වූ බවද ඔහු පවසයි .

පේරේ ශාස්ත පීඨ ආචාර්යවරුන් දේශනා වර්ජනයක !
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් දේශනවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට සිසුන් පිරිසක් එල්ල කළ අමානුෂික ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව තමන්ට දැනුම් දුන් බවයි.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පංච පුද්ගල පරීක්ෂණ කමිටුවක් විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

වෛද්‍යවරුන් 60 න් විශ්‍රාමයාමට අතුරු තහනම් නියෝගයක් !
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත්කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුවය.

ලබන වසරේ ඩොලර් බිලියන 08ක් !
ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 05ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත්තේ රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමිනි.
එළඹෙන වසරේ දී රාජ්‍ය අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් එක්රැස් කළ හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපතිගේ දේශගුණ සෞභාග්‍ය සැලැස්ම ගැන රුවන් කියයි !
අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන දේශගුණ සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීම මගින් එම බිලියන ගණනක මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාවන් උදාවන බවද ඔහු සඳහන් කරයි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මෙි බව සඳහන් කර සිටියේ දේශගුණික මූල්‍යකරණ ව්‍යාපෘතියේ ආරම්භක වැඩමුළුවට සහභාගී වෙමිනි.
පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ මෙම වැඩසටහන කොළඹ පැවැත්විණි.
2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 75% දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් සුළං බලය ඇතුළු ස්වභාවික බලයන් භාවිතයටත්, පරිසර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන ඇති බවත් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පැවසීය.

සපුගස්කන්ද ආයෙත් වැඩ !
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.
මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

බාස්මති හැර අනෙක් සහල් ආනයනය තහනම් !
බාස්මති සහල් හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කොට තිබේ.
එහෙත් නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වැනිදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවත් එහි සඳහන් කර ඇත.
මීට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීමට සියලු දේශපාලන පක්ෂ එක් විය යුතුයි - ජනපති

ජාතික පුෂ්පයේ අවුල .........
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන අය වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු හා මත භේදයට තුඩු දී ඇති ජාතික පුෂ්පයේ ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය යකන්දාවල පැවසුවේ ජාතික පුෂ්පය නිල් මහනෙල් බවට කැබිනට් පත්‍රිකාවක් මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද නිල්මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කර ඇත්තේ දම්පැහැති මානෙල් මලක ඡායාරූපයක් බවයි. එය සැබෑ නිල් මානෙල් මල නොවන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදි පරිසර අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස්වූයේ සිංහල භාෂා ප්‍රවීණයකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ දක්වන ලද මතයක් අනුව බවයි. මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට ඔහු යෝජනා කළ බවද එම නිලධාරීහු පැවසූහ.
ගෝලීයව පිළිගත් ශාක වර්ගිකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත්විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතාවූ පොදු නම් වෙනස් නොකළ යුතු බව මහාචාර්ය වරයා ප්‍රකාශ කළේය.
මානෙල් යනු පොදු නාමයක් බවත් දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින හෙයින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවරැදි වියයුතු බවත් මහාචාර්ය දෙපළ පෙන්වා දුන්හ.
ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් 1986 දී සලකා බලන ලද ස්වදේශියවීම හා ආවේණික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, වර්ණය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්ය යකන්දාවල ප්‍රකාශ කළේය.
මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක් සහිත මුද්දරයක් නිකුත් කර ඇති නමුත් එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක් බව මහාචාර්ය දීප්ති යකන්දාවල පැවසුවාය. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේද වැරැදි මලක රූපයක් බවත් පාසල්වල පමණක් නොව ඇතැම් උසස් අධ්‍යාපන ආයතනවලද අද උගන්වන්නේ වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
එමෙන්ම ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කරමින් අලෙවි කැරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නොවන බව මේ මහාචාර්යවරුන්ගේ අදහසයි.
මෙම රැස්වීමට මන්ත්‍රීවරු පිරිසක්ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහුද සහභාගී වූහ.

සතොසේ බඩු මිළ තවත් අඩුවෙයි
එළැඹෙන උත්සවය සමය නිමිත්තෙන් අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ.
පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.
පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි.
සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා තිබේ.
ඒ අනුව සුදුළූණු නව මිල දැක්වෙන්නේ රුපියල් 460ක් ලෙසයි.
ලොකුළූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190කි.
දේශිය ටින් මාළු නව මිල රුපියල් 490ක් වන අතර එය රුපියල් 5කින් පහත දමා තිබේ.

කරාපිටිය TRAIL පිළිකා රෝහල ඉදිකිරිමට ත්‍රිවිධ හමුදාවේ සහය ගැනීමට සාකච්ඡාවක් !
කරාපිටිය TRAIL පිළිකා රෝහල ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීම පිලිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ Colours of Courage සංවිධානය අතර සහයෝගිතා ප්‍රයත්නයක් වන යෝජිත මහල් 10 කින් යුත් නව ඒකකය ඉදිකිරීමට අවශ්‍ය සහය ත්‍රිවිධ හමුදාව මගින් ලබාදීමට ඇති හැකියාව පිලිබඳ මෙහිදී අවධානය යොමු විය.
මේ සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ පිළිකාවට එරෙහිව සටන්වදින මිනිසුන් සඳහා උපකාර කිරීමට අරඹන ලද Colours of Courage ව්‍යාපෘතිය මගින් 2011 වසරේදී යාපනයේදී ආරම්භ කරන ලද Trail යාපනය විශේෂිත පිළිකා ප්‍රතිකාර මද්‍යස්තානයක් ඉදිකිරිම සඳහා අරමුදල් රැස්කළ අතර 2014 දී ආරම්භ කරන ලද තෙලිප්පලෙයි Trail පිළිකා රෝහල මගින් මේ දක්වා රෝගීන් 26000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති අතර එමගින් බොහෝ දෙනකුගේ ජිවිත වලට නැවත ජිවය ලබාදී ඇත.
2011 ඔක්තෝබර් 6 වැනිදා සිට 2016 නොවැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වූ Trail 2016 - The Walk Back සාර්ථකත්වයත් සමග ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට අවශ්‍ය සහනයන් ලබාදීමට ඩොලර් මිලියන 5ක් රැස්කර ගැනීමට හැකිවී ඇත.

පාසල්වලට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට සැලසුම් !
පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම සඳහා පොලිස් සෝදිසි කිරීමේ වැඩසටහනක් අද (13) දින කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ සිදුකෙරුණි.
උදෑසන 6 සිට පාසල ආරම්භ වනතුරු පාසලට පැමිණෙන සිසු සිසුවියන්ගේ පොත් බෑග හා ඇඳුම් පරීක්ෂා කිරීම ඒ අනුව සිදුවුණි.
පාසල් තුළට පසුගිය කාලයේ විවිධ ආකාරයේ මත්පෙති හා මත්ද්‍රව්‍ය පැමිණීමත් සමග පාසල් කටයුතුවලට බරපතළ ලෙස ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබුණි.
එම කරුණු සැලකිල්ලට ගනිමින් පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල්වලට නිල දැනුම්දීමකින් තොරව හදිසි සෝදිසියක් සිදුකර තිබේ.
ඒ සඳහා පොලිස් කාන්තා හා පිරිමි පොලිස් නිලධාරින් 30 කට ආසන්න කණ්ඩායමක් යොදවා තිබුණි.
අදාළ පරීක්ෂා කිරීම සිදුවන අවස්ථාවේ පාසල් අවට සියලුම මාර්ග සෙසු පොලිස් නිලධාරින් විසින් දැඩි පරීක්ෂාවට ලක්කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජීත් හේසිරි මහතාගේ උපදෙස් මත කොට්ඨාස රථවාහන, ප්‍රජා, පරිසර භාර සහකාර පොලිස් අධිකාරි එෆ්.පී.සී. රොද්‍රිගෝ ගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ලාල් ඇතුළු නිලධාරින් විසින් එම සෝදිසි කිරීම්වලට එක්ව තිබුණි.

වේග රිද්ම බයිලා සිංදු කෙනෙක් හැටියට මතකයි.. ඒ ඇති !
නිහාල් නෙල්සන් අප අතරින් වෙන්වෙලා. දවස් කීපයකට කලින් නුවන් ගුණවර්ධන ගියා. කෝවිඩ් කාලේ සුනිල් පෙරේරා ගියා. අපේ පොඩි කාලේ ජනප්‍රිය සංගීතය පැත්තේ හිටපු කට්ටිය තමයි මේ යමින් පවතින්නේ. ඒ කියන්නේ කාලෙ හරි.
ගුණේ අයියගේ බජව් දාන කාමරේ, ලස්සනට පිපුණ වනමල්, කාවඩි බයිලා සහ මම එතරම් ආස නැති කිරි දුන්නේ දරුවන්ටයි වගේ සින්දු කිහිපයක් ඇරුනම අනික්වා මතක හිටින්නේ නැති තරම්. 'ගුණේ අයියගේ කාමරේ' තමයි ඉතිං කියපු සිංදුව. මම කියන්නේ එයාගේ සංගීත අනන්‍යතාවේ සිංදුව.
ගොඩක් දේවල් සිදු නොවුන හැබැයි ගොඩක් අභාග්‍යසම්පන්න දේවල් සිදුඋන මේ සිලෝන්ලන්තේ නිහාල් නෙල්සන්ගේ මොකක් හරි ''කලාව'' මේ කොදෙව්වෙන් එහාට නොගිය එක ගැන නම් එහෙමට අරෝවක් නැහැ මට නිහාල් එක්ක. මොකද එහෙම එකක් ගැන එයා සිහින දැක්කේ නැහැ. බයිලාවක් කියල මේ භුමියේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ක්ෂණික සංතෝසයක් දුන්න. එච්චරයි. ඒකටත් අරෝවක් නැහැ.
සින්දු කැසට් සීයක් කළා කිව්වට මට නම් මතක ඔය කිව්ව එක දෙක විතරයි. අංක ගාණ නම් වැඩක් නැහැ. මතක හිටින එක වැඩයි කරන්න ඕනි. ඒකත් හරියට උනාද දන්නේ නැහැ. කමක් නැහැ.
ගුණ යහපත් කම් අතින් හොඳ මනුස්සයෙක් කියල කියනවා. ඒක ඉතිං මියුසික් වලට ගොඩක් අදාල නැහැ. ඒත් කමක් නැහැ.
ලෝකේ මියුසික් එක්ක සම්බන්ද කරලා කියන්න තරම් දේකුත් නැහැ. ඒත් කමක් නැහැ.
අපේ පොඩි කාලේ වේග රිද්ම බයිලා සිංදු කෙනෙක් හැටියට මතකයි. ඒ ඇති.
සුබ ගමන් !
නිහාල්ගේ කාලේ ලෝක ගෝලයේ හිට් වුන සිංදුවක් අමුණන්නම්.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් !
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (13) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි දක්වා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන්නේය.
මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳ මේ වන විටත් රජය අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ ජාතික ආහාර සුරක්ෂිතභාවය සඳහා ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ වැඩසටහන ඉතා වැදගත් බවයි. රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමත් සමඟ විදේශ විනිමය ද ඉතිරි කර ගත හැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ජනතාවට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය රටතුළම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදිමට කටයුතු කරන බවත් පැවසීය.
පසුගිය කාලයේ ගත් ඇතැම් තීන්දු තීරණ නිසා රටේ කෘෂිකර්මාන්තයේ යම් පසුබෑමක් ඇති වූ නමුත් ඉදිරි මහ කන්නයට ගොවිජනතාවට ශක්තිමත්ව මුහුණදීමට හැකි පසුබිම මේ වන විට රට තුළ ගොඩනඟ ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සහල් සම්පූර්ණයෙන් රට තුළම නිෂ්පාදනය කිරීමට ගොවි ජනතාව අද ශක්තිමත්ව සිටින බව පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරියේ ද ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

තම දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් !
“ජාතික තරුණ වේදිකාව" රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව (National youth Platform) සඳහා විශ්වවිද්‍යාල සිසුන් දායක කර ගැනීම පිළිබඳ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේ දී ය.
වැඩසටහනට අදාල පූර්ව සැලැස්ම තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඒ පිළිබඳ සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්‍යයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් වසර 25කින් නිදහසේ සියවන සංවත්සරය සමරන විට මේ රටේ නායකත්වයට පත්ව සිටින්නේ රටේ තරුණ තරුණියන් බව ද පැවසීය.
එබැවින් තරුණ තරුණියන් අපේක්ෂා කරන සංවර්ධිත රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දැක්ම, සැලසුම් සහ නිර්මාණශීලි කුසලතා ජාතික තරුණ වේදිකාව හරහා රජයට ඉදිරිපත් කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මීට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම දිස්ත්‍රික්කවල සංචාරක ආකර්ශණය සහිත ස්ථාන හඳුනා ගනිමින් සංචාරක කලාප ලෙස ඒවා ප්‍රවර්ධනයට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නව සංචාරක ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ලබන වසරේදී කටයුතු කරන බවයි.
එමෙන්ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නව මාවතකට යොමු කිරීම උදෙසා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා උපකුලපතිවරුන් දැනුවත් කළ අතර නවක වදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ද උපදෙස් දුන්නේය.
උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීම පිළිබඳ මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව රැකියා වෙළෙඳපොළට ගැලපෙන අයුරින් විශ්වවිද්‍යාල සිසුන්ගේ කුසලතා සංවර්ධනයට වැඩසටහන් සහ පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
ශ්‍රී ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්තානය ඇතුලු කලාපීය රටවල සිසුන්ට මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට එමගින් අවස්ථාව ලබාදිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව තවත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ සහ විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග , උපකුලපතිවරු, පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

වකුගඩු ජාවාරම : පෞද්ගලික රෝහලේ ලිපිගොනු CID යට !
නීතිවිරෝධී අයුරින් දිළිඳු පවුල්වල පුද්ගලයන්ගේ වකුගඩු ලබාගනිමින් ඡාවාරමක් සිදුකළැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ සිදුකළ වකුගඩු සැත්කම්වලට අදාළ ගොනු සියල්ල සිය භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශණ මෙතෙක් අවසන්ව නොමැති බවත්, වකුගඩු ප්‍රදානය කළ අයවලුන්ගේ ප්‍රකාශ ඇතුළු ප්‍රකාශ කිහිපයක් ලබාගත යුතුව ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (13) අධිකරණය හමුවේ යලි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා රක්ෂිත භාරයට පත්කර සිටි සැකකරු ද බන්ධනාගාරයෙන් අධිකරණට ඉදිරිපත් කර තිබිණී.
හදුනාගැනීමේ පෙරට්ටුවට අදාළ සාක්ෂිකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම පෙරට්ටුව කල් තබන ලෙසට මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.
ඒ අනුව මෙම සිද්ධියේ හදුනා ගැනීමේ පෙරට්ටුව ලබන 03 වැනිදා පැවැත්වීමටත් සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් අධිකරණය නියෝග කළේය.

තිලිණි ඇතුළට: ජානකී එළියට
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි, මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තිළිණි ප්‍රියමාලී සහ ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) අවසර දුන්නේය.
තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,50,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව තිළිණි ප්‍රියමාලි ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කළේය.
ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් 50,000 බැගින් 1,50,000.00 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් අභාවප්‍රාපාප්ත වී තිබේ.
මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය.
ලස්සනට පිපුණ වන මල් , සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ, සල්ලි මිටි ගණන් , රෝස මලකුයි නෙලුම් මලකුයි , කුක්කු කූ කූ කුකුළ අඬනවා, පත්තරවල විස්තර , කිරිදුන්නේ දරුවන්ටයි, කරුණා සුවඳ තවරාලූ, කාවඩි බයිලා, සල්ලි මිටි ගණන් ආදී ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.
ඔහුගේ දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ලැබේ.
Page 243 of 463