රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.
අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.
අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිට ඇතැයි අනාවරණ කර ඇත්තේ ඔහුගේ බිරිඳ විසිනි. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.
කජ්ජාගේ බිරිඳට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වන ලද තාජුඩීන් හැව්ලොක් සිටි සංකීර්ණය අසළ වෙළෙඳසැලකින් වතුර බෝතලයක් මිලට ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන නරඹා ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තාජුඩීන් පිටුපස සිට ඇති පුද්ගලයා තම ස්වාමියා බවය.
ඇය එලෙස එම පුද්ගලයා නිසැකවම තම සැමියා වන කජ්ජා බවට හඳුනාගෙන ඇත්තේ ඔහුට දීර්ඝ කාලයක පටන් තිබූ කොන්දේ අමාරුවක් හේතුවෙන් සහ ඔහුගේ ඉරියව් හේතුවෙන් බවය.
වතුර බෝතලය මිලට ගැනීමෙන් අනතුරුව තාජුඩීන් පිටුපසින් පැමිණි සැකකටයතු වාහනයකට කජ්ජා අත දමා ගොඩ වී ඇති බවත් ඉන් විනාඩි 20කට පසු තාජුඩීන් ඝාතනය සිදුවූ බවත් බිරිඳ ප්‍රකාශ ලබාදෙමින් පවසා තිබේ.