76 වසරක සාපය කිය කියා බලයට පැමිණි මාලිමා රජයේ දෙබිඩි නිරුවත දැන් හෙළිදරව් වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ 76 වසරක රාජ්‍ය පාලනය තුළ ගොවියාට ලබා දුන් සැලකිල්ලට වඩා වැඩි සේවාවක් ගොවියා වෙනුවෙන් ඉටු කරන්න බවත් එදා සමගි ජන බලවේගය සහ තමා විසින් පොහොර මිටිය රු.5000ට දෙනවායැයි පවසන විට වී වගාවට හෙට්ටයාරයට රු. 25000ක් ලැබුනොත් හොදයි යැයි සිතා මාලිමාවට ඡන්දය දුන්නත් අද වන විට සහන මිලට බීජ නොමැති වීම, පොහොර සහනාධාරය වෙලාවට නොමැති වීම, පොහොරවල මෙන්ම තෙල් පොහොරවලද ගුණාත්මකභාවය ගැන ගැටලු පැවතීම, උපකරණ මිල ඉහළ යාම, වන අලි මිනිස් ගැටුම ආදිය ඇතුළු ගැටලු රැසක් මත වගා කටයුතු කළත් අවසානයේ අස්වැන්න වෙළෙදපොළට දෙන විට නියමිත මිලක් නොමැතිව කුණු කොල්ලයට අස්වැන්න මිලදී ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවල සහතික මිල රු. 150ක් බවට අනපනත් හරහා පත් කරනවා කිව්වත් අද වන විට තෙත් වී රු. 90ට බවත් සමහර වී ගබඩා විවෘත කරවත් නොමැති බවත් මේ රජය බොරු කර කර රවටා බලය ගත් පසු වෙනත් කතාවක් කියන බවත් එදා බී ලූණු ගොවියාට පවා සහතික මිලක් ලබා දීම රජයේ වගකීමක් යැයි පවසා අද බී ලූණු ආනයනය හොද යැයි අද පවසන බවත් ගොවියාත් ජනතාවත් මංමුලා කර රැවටීම නිසා අද වන විට ගොවි ජනතාව අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.
''අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන්ට අනුව නම් කෘෂිකර්මාන්තයෙන් රට දියුණු කරන්න බැහැ''
අලි මිනිස් ගැටුම මෙන්ම රිලා මිනිස් ගැටුමක් ද රටේ පවතින බවත් අනෙකුත් වන සතුන් අතර ද ගැටුමක් පවතින බවත් පසුගිය දිනවල අනෙකුත් සතුන් ගැන සංගණනයක් කරනවා කියා රටේ ඉන්න සතුන් ප්‍රමාණය හෙළිදරව් කළ බවත් ජනතාව මේවාට විසදුම් අපේක්ෂාවෙන් සිටින බවත් නෙදර්ලන්තය වැනි රටවල් කෘෂිකාර්මික ක්ෂේත්‍රය හරහා පොහොසත් වී ඇති මොහොතක අප රටේ සමහර අයට අනුව කෘෂිකර්මාන්තයෙන් අප රට දියුණු කරන්න බැරි බවත් අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන් එසේ කිව්වත් නෙදර්ලන්තය කෘෂි අපනයනවලින් ඩොලර් බිලියන ගණන් ආධාර ලබන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
කෘෂිකර්මාන්තයට ද කෘතීම බුද්ධිය උපයෝගී කර ගත හැකි වුවත් මේ රජයට තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සුහුරු ගොවියා බිහි කරන්න නොහැකි බවත් සමගි ජන බලවේගයේ සංකල්පය වන්නේ සුහුරු ගොවියා බවත් අඩු වියදමින් වැඩි පළදාවක් ලබන ගුණාත්මකභාවයෙන් ඉහළ ප්‍රභේද නිර්මාණය කර දේශීය අවශ්‍යතාවට පමණක් නොව ලෝකයේ අවශ්‍යතාවලටද සැපයුමක් දිය හැකි අපනයන කෘෂිකර්මාන්තයක් බිහි කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.