පුවත්

ආණ්ඩුවෙන් යමු : ශ්‍රීලනිප ඇතුලේ තවත් යෝජනාවක් !
ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන ඇති බව වාර්තා වන අතර ඊට දේශපාලන ක්ශේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇත.
අදාළ යෝජනාව සම්මතව ඇත්තේ , කඹුරුපිටිය ශ්‍රීලනිප බලමණ්ඩලයේදීය.
එහිදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත වී තිබීම විශේෂ සිදුවීමක් වන බව ශ්‍රීලනිප පාක්ෂික අදහසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොදුජන පෙරමුණ වෙත බරපතළ දේශපාලන හානියක් සිදුකරමින් සිටින බවයි.
ලක්ෂ 69 සහ තුනෙන් දෙකේ පොදුජන පෙරමුණේ ජනවරම හමුවේ ශ්‍රීලනිප ය ආණ්ඩුව තුළ පහතට ඇද දැමීමක් රාජපක්ෂවරුන් සිදුකළ බවත් , ඒ පහතට දැමීම දැන් දේශපාලන වාසියක් කරගන්න ශ්‍රීලනිප ය සමත්ව කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ තත්ත්වය යටතේ ශ්‍රීලනිප අභ්‍යන්තරයේ පොදුජන පෙරමුණේ විරෝධය විටින් විට එළියට ගනිමින් ශ්‍රීලනිප ය ප්‍රචාරක වාසියක් ලබන බවත් , ආණ්ඩුව කරන කිසිදු කටයුත්තක් ගැන වගනොකියන තැනට නොනිල ලෙස ශ්‍රීලනිප ය පත්ව ඇති බවත් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

වන අලි වෙනුවෙන් නැවත හඩනගන වල්සපුගල ගොවීන් !
වල් සපුගල ගොවි ජනතාව දෙදහස් විසි එක වසරේ පැවැති අඛණ්ඩ සත්‍ර්‍යග්‍රහයකින් අනතුරුව දිනා ගත් වන අළි කළමණාකරණ රක්ෂිතයට අදාල 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින අංක 2222/ 62 දරණ ගැසටි පත්‍රයට අනුව කිසිදු ප්‍රයොගික ක්‍රීයාමාර්ගයක් ගෙන නොමැති නිසා නැවතත් අඛංඩ සත්‍යග්‍රහයක් වල් සපුගප ගොවි ජනතාව විසින් ආරමිභ කරණ ලදී .
වන සත්ව හා වෘක්ෂලතා අඥාපනතේ 2 වගන්තියෙ දෙවන උපවගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයාට පැවරේන බලතල අනුව 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින අංක 2222 /62 හෙක්ටයාර 23,746ක භූමි ප්‍රමාණයකින් යුතු ප්‍රදේශයක් එම වනඅලි කළමණාකරණ රක්ෂිතය ලෙස නම් කර ඇති අතර එම භූමියේ පිහිටා ඇති හෙක්ටයාර 866 කින් යුත් ගුවන් තොටුපොළ ලෙස නම්කර ඇති භූමි ප්‍රමාණය ඉන් ඉවත් කර තිබේ.
වල් හපුගල වන අලි රක්ෂිතයක අවශ්‍යතාවය !
හම්බන්තොටට වනඅලි රක්ෂිතයක අවශ්‍යතාවය පැන නගින්නේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟම ජාතික භෞතික සැලැස්ම ක්‍රීයාත්මක කිරීමට රජය මුලීක වීමත් සමගය . එහි එක් ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට මහානගර සැලැස්ම ක්‍රියාත්මක විය.එම නිසා හම්බන්තොට සූරියවැව තිස්සමහාරාමය ලුණුගම්වෙහෙර තණමල්විල මේ ප්‍රදේශ ගණනාවක්ම ඉතා සීග්‍ර ලෙස කැලෑ කැපීම සිදුවිය .
විශේෂයෙන්ම පැරණි හමිබන්තොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරාය, හම්බන්තොට නගරය, ක්‍රීඩා පිටි, මත්තල ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා ,හෝටල්, අධිවේගී මාර්ග ආදී විශාල ඉදිකිරීම් සඳහා කැළෑ ඉඩම් අත්පත් කරගැනීම සිදුවිය .
2006 වැනි කාලවලදී ඉතාමත් කැලෑබදව තිබූ ප්‍රදේශ විශාල ලෙස එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වර්ධනය විය .ඒ අනුව 2006 වර්ෂයේදී සාදන ලද වන අලි කළමනාකරණ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව මෙවන් අලි මිනිස් ගැටුමට ගොදුරුවන ප්‍රදේශ වල අලි කළමනාකරණ කලාප ඉදි කිරීමේ ප්‍රතිපත්තියක් එළිදැක්වෙන ලදී .
ඒ අනුව හම්බන්තොට දිස්ත්රික්කයේ වන අලි කළමනාකරණ රක්ෂිතය යෝජනා වූ අතර . බහුතර ඉඩමි ප්‍රමාණයක් චීන ව්‍යාපෘති වලට ලබාදිම හා ව්‍යාපාරීක අවස්ථාවලට ලබාදීමේ අවශ්‍යතාවය මත හම්බන්තොට වනාතර ඉඩමි කොල්ල කෑම පසුගිය වසර දෙලහ තුල වැඩි වශයෙන් සිදුවිය . එහි ප්‍රතිපලයක් ලෙස වන අලි ඇතුලි සතුන්ගේ වාස භූමි අහිමි වීම ,අලි මිනිස් ගැටුම් වර්ධනය විමී ,ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය විනාශ වී යාම හා ජලය සතුන්ට හා ගොවි බිමිවලට හිගවීම , වනානත්ර ආශ්‍රීත ආර්ථිකය ගොඩ නගාගන සිටි ජනතාවද දුප්පත්කමේ අන්තයට ඇද වැටීම සිදුවිය
මෙම තත්වයන් පදනම් කරගනිමින් හා එහි පිඩාව දැනුන ජනතාව දෙදහස් පහළව වසරේ සිට වන අලි රක්ෂිතය ප්‍රකාශයට පත්කර කැලෑ ප්‍රදේශය ආරක්ෂා කරන ලෙස විවිධ අරගල ගෙන ගිය අතර අවසාන දින අසුහයට පෙර වසර හයක් එම අරගලය අඛණ්ඩව ගෙන යන ලදී. සංවර්ධනයෙන් වඩා පිඩාවට පත්වූ ගොවි ජනතාව දෙදහස් නවය වැනි වසර වලදී සංවර්ධන සිහිනය දැක එයට අනුමැතිය දුන්නද එම සිහිනය බිද වැටී එයින් පිඩාවට පත්වන විට ඒ වෙනුවෙන් අරගල කර තමන්ට හා වන සතුන්ට ජයග්‍රණ ලබාදීම ඉතාමත් වටි.
සංවර්ධනයට අත එසවු ජනතාව එය වෙනුවට කැලෑ ඉල්ලා අරගල කරන්නේ ඇයි ?
හම්බන්තොට ජනතාවගේ ආර්ථිකය සම්පුර්ණ වශයෙන් ගොඩ නැගී තිබුනේ කෘෂි කර්මය හා වනාන්තර පදනමි කරගනිමින්ය. විශාල ලෙස වනානතර අහිමි විමත් සමගම වන සතුන්ට වාසස්ථාන අහිමි වුවා පමණක් නොව මිනිසුන්ගේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටුන අතර බරපත පොෂණ ඌණතාවයන්ට හා දුප්පත් කමේ අන්තයට අද වන විට මිනිසුන් වැටි ඇත.
වනාන්තරයෙන් ලැබූ ආර්ථිකය හා පෝෂණය අහිමිවිමත් ,කාබන් ප්‍රමාණය ඉහළයාම නිසා උෂ්නත්වය වැඩි විමත්, ජල හිගයන් වලට මුහුණ දිමත් ඒ සියල්ල සමගින් අලි මිනිස්ගැටුමට ගොවි ජනතාව මුහුණ දීමත් යන සියල්ල එක් වී මෙම අරගලය ආරම්භය සනිටුවහන් කෙරුණේ දෙදහස් පහළව වසරෙදිය.
වනාන්තර අහිමි වීම නිසා තමන්ගේ ජීවිත වලට එල්ලවී ඇති බලපෑම ජයගත හැක්කේ වනානත්ර රකින ලෙස රජයට බලකිරමින් අරගල කිරීම බව වටහා ගත් ගොවි ජනතාව සංවර්ධනයට කියා දුන් අවසරයට දුන් මනාපයෙන් වනාන්තර අහිමිවීම හා එහි පිඩාව මනාව වටහා ගන එයට විරුද්ධව පෙළ ගැසීම පැසසිය යුතුය .
1986 සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි පළමු වෙනි වගන්තියෙහි දැක්වෙන්නේ සංවර්ධනය වීම සඳහා ඇති අයිතිය අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකමක් බවයි. මෙම ප්‍රකාශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිමහත් සහයෝගයක් ලැබුණි.
1992 රියෝ ප්‍රකාශනයේ 3 වන මූලධර්මය මගින් සංවර්ධනයට ඇති අයිතිය සපුරාලීමේ අවශ්‍යතාව නැවත වරක් සහතික කෙරිණි. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එය සංවර්ධනය උදෙසාම හෝ එමගින් බිහි කරන ආර්ථික ප්‍රතිලාභ උදෙසාම ක්‍රියාත්මක වන දෙයක් නොවන බව සංවර්ධනය මානව ඉතිහාසයේ සිට සිදුවු යම් යම් ආකාරයන්ගෙන් හඳුනා ගත හැකිය.
එහෙයින් සියළුම ජනතාවන්ට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඒවායෙහි ප්‍රතිලාභ භුක්ති ඳීමටත් අයිතියක් ඇති අතරම එබඳු ව්‍යාපෘති මගින් පරිසරයට ප්‍රතිනිර්මාණය කළ නොහැකි හානියක් සිදු නොවන තැනට වගබලා ගැනීම සම්බන්ධයෙන් එකි රාජ්‍යයන් මෙන්ම ජන සමාජයද වග බලා ගත යුතුය.
ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

විදුලි කප්පාදුව අනිවාර්යයයි : ගම්මන්පිල ඉන්දියාවට කියලා !
පෙබරවාරි මැද හෝ මාර්තු මුල වනවිට, අනිවාර්යයෙන්ම විදුලිය කප්පාදුවකට යෑමට සිදුවනු ඇතැයි, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
WION News නමැති විදෙස් මාධ්‍යය හා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
තමා පුරෝකථනය කරන විදුලිය කප්පාදුවට හේතුව ඩොලර් හිගයම නොවන බවද අමාත්‍යවරයා පවසා තිබේ.
රටේ විදුලිය ඉල්ලූම සෑම වසරකම 8% කින් ඉහළ යන බවත්, එම ඉහළ යන විදුලිය ඉල්ලූමට සපයා ගැනීම සදහා අවශ්‍ය පුණර්ජනනීය හෝ තාප බලාගාර ඉදිකිරීමක් 2014 වසරේ සිට සිදු ව නැති බවත් අමාත්‍යවරයා පවසයි.
මේ හේතුව මත, ජලාශවල ජල මට්ටම පහත යෑම හේතුවෙන්, ජලවිදුලි බලාගාරවලට ප‍්‍රමාණවත් ලෙස විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වනු ඇති බවත්, ඒ අනුව, ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා වූ වියළි කාලගුණයක් සහිත කාලය තුල විදුලි ඉල්ලූම සපුරා ලීමට නොහැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
- mawrata

රන්ජන් ආණ්ඩුවේ උගුලට හසුවේද?
රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාගැනීම පිළිබඳව කතාබහ මේ වනවිට නැවත දේශපාලන තලයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් ද මෙයට පෙර රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් අවධාරණාත්මක ලිපියක් ද රජයට යොමු කර තිබේ.
තත්ත්වය එසේ තිබියදී රන්ජන් නිදහස් කරගැනීමේ මෙහෙයුමට ජනාධිපතිවරයාට අතිශය සමීප, තීරණ ගැනීම සඳහා බලපෑම් කලහැකි ප්‍රධානම පුද්ගලයෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා රන්ජන් නිදහස් කරගැනීමේ මැදහත් භූමිකාවට අවතීර්ණ වී ඇති බවක් දක්නට ලැබේ.
එම මැදිහත්වීමෙ එක් අංගයක් ලෙස රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා අර්ජුන් කමලනාත් සහ ගීතා කුමාරසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ කලා කරුවන් විසින් සකස්කරන ලද ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා නිශ්ශංක සේනාධිපති වෙත බාරදීම පසුගිය දා සිදුවිය.
සේනාධිපති ගේ මැදිහත්වීම දේශපාලන උගුලක පෙරනිමිති ද?
රන්ජන් සිරගත වීමේ හේතුව සහ පාර්ලිමේන්තු වේ විපක්ෂ භූමිකාව තුළ මේ වන විට පවතින දේශපාලන සන්දර්භය අප මෙහිදී විමසා බැලිය යුතුය.
සත්‍ය වශයෙන්ම රන්ජන් සිරගත වන්නේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ලංකාවේ නීතිය තුළ විධිමත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දක්නට නොලැබේ. ඉන්දියාව පාකිස්තානය සහ එංගලන්තය වැනි රටවල අදාළ ක්ෂේත්‍රයේ නීතිමය තත්ත්වයට සාපේක්ෂව ලංකාවේ ඒ සම්බන්ධව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් හි හිස් තැනක් පවතී.
නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුව සභා ගැබ තුළ පුළුල් භාෂණයේ නිදහසක් පවතින අතර ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිය. ඒ අනුව රන්ජන්ට වැරදුනේ රන්ජන් පාර්ලිමේන්තුව තුළ කිව යුතු දෙයක් එළියේ කිවු නිසා බවට ඕනෑනම් කෙනෙකුට තර්ක කල හැක.
දැන් ආණ්ඩුවට බරපතලම හිසරදයක් වී ඇති විපක්ෂ මන්ත්‍රීවරයා වන්නේ හරීන් ප්‍රනාන්දුය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු රජය විසින් සිදු කරන ආකාරයේ අපැහැදිලිතාවය පිළිබඳවත් විශේෂයෙන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාව මේ දක්වා සම්පූර්ණ ලියවිල්ලක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමත් මූලික කරගෙන හරීන් විසින් දැඩි විවේචනයක් මේ මොහොතේ රජයට එල්ල කරමින් සිටී. ආණ්ඩුවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කෙසේ හෝ හරීන්ව නිහඬ කිරීම බව තේරුම් ගැනීමට අමුතුවෙන් දේශපාලන විශ්ලේෂණ අවශ්‍ය වන්නේ නැත.
ඒ සඳහා ආණ්ඩුව ගසන්නට යන ගේම රන්ජන් නිදහස් කිරීමය. නිශ්ශංක සේනාධිපති මේ කටයුත්තට මැදිහත් වන්නේ ඒ නිසාය. ඒ මොන අපභ්‍රංශයක් ද? කෙනෙකුට එසේ සිතීමට පුළුවන. එහෙත් කටුක යථාර්ථය එයයි.
රන්ජන් නිදහස් වී පැමිණෙන්නේ නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරය රන්ජන්ට ලබාදී තමා පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට සූදානම් බව හරීන් ප්‍රනාන්දු විසින් මෙයට පෙර ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුවට දැන් වුවමනා කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයමින් ආණ්ඩුව ප්‍රශ්න කරන හරීන්ගේ කට නිහඬ කර ඒ වෙනුවට රන්ජන් කරලියට ගෙන ඒමය.
රන්ජන් ගේමට හසුවේද?
'මල්ලි හොරු අල්ලන්න බෑ මල්ලි. ඒ හැමෝම යාළුවෝ මල්ලි' යයි කීවේ රන්ජන් ය. එසේ කිවූ රන්ජන් දැන් ඒ ගජමිතුරු යාළුවන්ගෙන් කෙනෙකු වන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ද රන්ජන්ට ය.
රන්ජන්ට වුවමනා නම් හරීන්ට ඉල්ලා අස් නොවන ලෙසත් තමා හරීන්ගේ අසුන අරන් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ප්‍රකාශ කල හැක. ඒ වෙනුවට තමා බස්නාහිර පළාත් සභා මහ ඇමති අපේක්ෂකයා වන බව හෝ ඊළඟ මහ මැතිවරණයට සූදානම් වන බව ප්‍රකාශ කලහැක. නමුත් එය තීරණය වන්නේ නිශ්ශංක සේනාධිපති හා රන්ජන් අතර ඇතිවන්නේ කුමන ආකරයේ සම්බන්ධයක් ද යන්න මත වේ. යම් හෙයකින් රන්ජන් හරීන්ගේ අසුන රැගෙන පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කලහොත් අපට තීරණය කළහැකි වන්නේ රන්ජන්ගේ නහයට සේනාධිපති ගේ ලණුව වැටී ඇති බවකි. ඒ අනුව රන්ජා ඇත්තටම වන්ෂොට් ද ගොන්ෂොට් ද යන්න ජනතාවට තීරණය කළහැකි වනු ඇත.
හරීන්ට මොකද වෙන්නෙ?
හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙන් එලියට පැමිණිය හොත් එක්කෝ ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධව රජයට එල්ල කරන් විවේචනයක් අල්ලාගෙන ඔහුව අත්අඩංගුවට ගත හැක. නැතහොත් රන්ජාට කල ආකාරයෙන්ම අධිකරණයට අපහාස කිරීමක් පිළිබඳව සිවිල් පුද්ගලයකු ලවා නඩුවක පැටලවිය හැක. හරීන්ව පාර්ලිමේන්තුවෙන් එලියට ගතහොත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සහ රජයේ විමර්ශන පිළිබඳව ඔහු කරන ප්‍රකාශයන් සහ විවේචනයන් පාර්ලිමේන්තු හැන්සාඩ් ගතවන්නේ ද නැත. හරීන්ව හුදකලා කර දේශපාලන ජීවිතය අවසන් කර දැමීමට ද එය පදනමක් කරගත හැකිය. ආණ්ඩුව ගසන්නට හදන්නෙ එම ගේම බව පෙනෙන්නට තිබේ.
සජිත් කුමක් කරයි ද?
සජිත්ට ද හරීන් වැනි ආකර්ෂණීය නායකත්වීය පෞරුෂයක් පිළිබඳව හීනමානයක් ඇති නොවීමට හේතුවක් නැති බව සජිත්ගේ අතීත දේශපාලන භාවිතාව අනුව නිගමනය කළහැක.
සජිත් මෙන්ම සජිත්ගේ හිතවාදී හර්ෂණ රාජකරුනා සහ කාවින්ද ජයවර්ධන වැන්නන්ට ගම්පහින් හරීන් ඉවත්වනවාට එමනිසා යටිසිතින් කැමති වන්නට පුළුවන. එමනිසා හරීන්ගේ ඉවත්වීමට ඔවුන් ද වඩාත් පහසුවෙන් ඉඩහසර සැලසීමට වැඩි ඉඩකඩක් තිබේ.
විපක්ෂය චෙක්මේට් කරන සේනාධිපති ගේම හරි යයි ද?
සේනාධිපති විසින් දියත් කරන්නට යන විපක්ෂය චෙක්මේට් කරන ගේම හරියනවාද නැද්ද යන තීරණය සම්පූර්ණයෙන්ම ඇත්තේ රන්ජන් අතේ සහ සජිත් අතේය. රන්ජන්ට වුවමනා නම් හරීන්ට ඉල්ලා අස්වෙන්නට එපා යයි ප්‍රකාශ කරන්නට හැකියාව තිබේ. නමුත් එය තීරණය වන්නේ රන්ජන් සහ සේනාධිපති අතර ඇතිවන එකඟතාවයේ ස්වභාවය අනුවය. අනෙක් අතට සජිත් ප්‍රේමදාසට වුවමනා නම් හරීන් වැනි ප්‍රබල චරිතයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව අවධාරණය කරමින් මයන්ත දිසානායක වැනි නිහඬ චරිතයකට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති තනතුරට තරඟ කරන් ලෙසත් එම අසුන රන්ජන්ට ලබාදෙන ලෙසත් ප්‍රකාශ කළ හැක.
මේ සියල්ල තීරණය වන්නේ ආණ්ඩුව සහ විපක්ෂය දේශපාලන බල සූදුවට අල්ලන ඔට්ටුවේ ස්වභාවය මතය. හරීන් වැනි අවංක අනාගතයක් ඇති නායකයකු බිලි දීමට ආණ්ඩුවත් විපක්ෂයේ ඇතැමුනුත් එක්ක ක්‍රියා කරයිද යන්න අප දන්නේ නැත. නමුත් විපක්ෂයේ ජනත හඬ එවැන්නක් සිදුවන්නේ නම් එයට එරෙහිව වහා අවදිවිය යුතුය.

හිජාස් : පෙබරවාරි 09 අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලන්න !
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස විස්සකට ආසන්න කාලයක් රදවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබා දීම ඊයේ (28) පුත්තලම මහාධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබේ.
නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් විරෝධයක් එල්ල නොවූවද, එය තමන්ගේ බල ප‍්‍රදේශය නොවන බව පවසමින් පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබේ.
නැවත පෙබරවාරි නමවනදා, නීතීඥ හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ඇප ඉල්ලා සිටින ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට දැනුම් දී තිබේ.
පසුගිය විසිවන දා නීතීඥ හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ඔහුට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නැති බවයි.
නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධ මේ නඩුව මේ වන විට ජාත්‍යන්තර මානව හිමිකම් සහ නීතිඥ සංවිධාන වල දැඩි අවධානයක් යොමුව ඇති නඩුවක් බවට පත්ව ඇත.

ආන්දෝලනාත්මක බදු පනත් කෙටුම්පත : පෙබ 10 විවාදයට !
ආන්දෝලනාත්මක විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති විරෝධය දැක්වීම ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මීට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවය.
එසේම අදාළ පනත් කෙටුම්පත මගින් රජයේ මූල්‍ය හා බදු පාර්ලිමේන්තු විෂය පථයෙන් ඉවත් කර ඇමතිවරයෙකු යටතට පත් කෙරෙන බවට එක්සත් ජාතික පක්ෂය ද චෝදනා කරයි.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය අභිබවා යන්නක් බව විපක්ෂයේ මතය වී ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද වෘත්තීය සමිති වෙත පසුගියදා පැවති සාකච්ඡාවක් අවස්ථාවේ පොරොන්දු වී ඇත.

බැසිල් පාර්ශ්වය විමල්ව යළිත් කටුස්සා කරලා !
යළිත් වරක් කටුස්සා යන අන්වර්ථ නාමයෙන්, අමාත්‍ය විමල් වීරවංශ ඇමතීමට ආණ්ඩුවේ දැඩි බැසිල්වාදියකු වන , පුවත්පත් මණ්ඩලේ සභාපති මහින්ද පතිරණ කටයුතු කර ඇත.
ඒ අනුව ඊයේ (28) සිය ෆේස්බුක් ගිනුමේ මහින්ද පතිරණ සභාපති , විමල් වීරවංශ අමාත්‍යවරයා "කටුස්සා" කර ෆේස්බුක් සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.
"ඇමති වීමල් වීරවංශ කාබනික කෘෂි කර්මාන්තය සඳහා වූ තීරණය සිදු වූ වරදක් බව කියමින් අද ඊට පහර ගහනව දැක්ක. ඇත්තටම ඔය තීරණයේ හරි වැරැද්ද දකින්න තාම කල් වැඩියි. ඒ කොහොම වුනත් ඕක හරි ගියා නම් ඕකෙ ක්‍රෙඩිට් එක ගන්න මුලින්ම එන්නෙත් විමලසිරි ගම්ලත් ම තමා. රාජපක්ෂ ආණ්ඩුලින් කරපු හොඳ දේවල් සේරම ඔය දෙතුන් දෙනා කරල තියෙන්නෙ. "වැරදි" සේරම රාජපක්ෂල තනියෙම කරපුව. මේව අපෙයි අලින්ගෙයි වැඩ කියල ගස් පෙරළපු අලියෙකුගෙ පිටේ හිටිය කටුස්සෙකුත් කීවලුනෙ.''
කෙසේ වුවත් අමාත්‍ය විමල් වීරවංශ බැසිල් පාර්ශ්වය වෙතින් මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ , රටම එක කන්නයකින් කාබනික කෘෂිකර්මාන්තයක් කරන්න යාමෙන් සිදුව ඇති වින්නැහිය විසඳාගැනීම ගැන කතා කිරීම හේතුවෙනි.
ඊයේ කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසා ඇත්තේ වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු බවයි.
රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත් වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බවත් අමාත්‍යවරයා කියා ඇත.
කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව කී අමාත්‍ය විමල් විරවංශ, පොහොරවල හෝ මොනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර සෙවිය යුත්තේ කෘෂිකර්මාන්ත කඩා බිඳවැටෙන ආකාරයට නොවන බව ද සඳහන් කර තිබේ.
මීට පෙර සිරස මාධ්‍ය ජාලය විසින් ද දේශපාලන කටුස්සකු ලෙස ව්‍යංගයෙන් විමල් වීරවංශ ඉලක්ක කර විවේචනයක් දියත් කළ අතර , ඊට පසුව විමල් වීරවංශ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වයෙන් සහ ප්‍රචාරක ලේකම් ධූරයෙන් ඉවත්ව, ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගනිමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වූ බව දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

අලගියවන්නටත් කොරෝනා : කතානායකව IDH යවලා !
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හටද කොරෝනා ආසාදිත වී ඇති බව තහුවරු වී ඇත.
ඒ අනුව මේ වනවිට අමාත්‍යවරයා ප්‍රතිකාර සදහා යොමුවී ඇති බව වාර්තා වේ.
මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

එතනෝල් ව්‍යාපාරිකයාට රැකවරණය දීලා : රාජ්‍ය ඇමතිට තට්ටු වෙයිද ?
නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන ආ බවට චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රධානින් දැඩි පියවරක් ගැනීමට සූදානම් වන බව ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය බුද්ධි අංශවලින් සම්පූර්ණ වාර්තාවක් දැනටමත් ලබාගෙන ඇතැයි පවසන එම ආරංචි මාර්ග ජනාධිපතිවරයා සිද්ධිය කැබිනට් මණ්ඩලයටද ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇතැයි සඳහන් කරයි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු කිසියම්වූ ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දැනගන්නට ඇත.
චෝදනාවට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ එම අමාත්‍ය පදවිය මේ යටතේ අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද සඳහන් වේ.
මෙහි ව්‍යාපාරිකයා කලකට පෙර විදේශගතව ඇතැයි පැවසෙන්නේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අවස්ථාවේදීය.
ව්‍යාපාරිකයා මෑතකදී මෙරටට පැමිණ එම දේශපාලඥයන් මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඇප මත මුදාහරිනු ලැබ සිටියේය.
දේශපාලඥයන් දෙදෙනා එම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන පැමිණ ඇතැයි පැවසෙන්නේ මීට දින කිහිපයකට ඉහතදීය.
-Lankadeepa

බෝතලේ උපරිම සිල්ලර මිලත් ඉවතට !
දේශීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව වෙළෙඳ පොල විශ්ලේෂකයන් පවසන්නේ පානීය ජල බෝතලයේ මිලත් අනෙක් සෙසු භාණ්ඩ සේ හිතුමතේ මිල නියමවීමේ අවධානමක් ඇති බවයි.
මීට පෙර පාලන මිලක් පැවති සියලු භාණ්ඩවල උපරිම මිල ඉවත් කිරීම හමුවේ ඒවායේ මිල අත්තනෝමතික ලෙස ඉහළ ගිය බවත් ඔවුන් සිහිපත් කරයි.
එසේම කිසියම් ආකාරයකට ජල බිල්පත් ගාස්තු වැඩිවීමක් නුදුරේදීම සිදුවේදෝ යන සැකයත් මේ තුළ පවතින බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කාලිංඝ මාඝගේ සහ මේ ආණ්ඩුවේ වැඩ : සජිත් පහදයි !
උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බව අවධාරණය කරයි.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (28) දඹුල්ල නගරාසන්න පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින්ය.
පිපිරීම් නවත්තන බව කියා පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී ඇති බවත්,එපමණක් නොව පොහොර කෑන් පවා පිපිරෙන බවත් විපක්ෂ නායක පැවසීය.
ඒ මදිවට,ගෙන්වා ඇති දියර පොහොර උහුලන්නට බැරි තරම් දුගදකින් යුක්ත බව කී විපක්ෂ නායක ඒ දුගඳ අරලියගහ මන්දිරයට දැනෙන්නේ නැති බවත් , ජනාධිපති මන්දිරයට දැනෙන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවට දැනෙන්නේ නැති බවත් පැවසීය.
ජනතාවගේ දුක වේදනාව දැනෙන ස්නායු ආණ්ඩුවට නැතැයි කී විපක්ෂ නායකතුමා, සීනි වංචාව, පොල්තෙල් වංචාව, කෝවිඩ් ගසාකෑම ඇතුලු මහා දූෂණ වංචා අක්‍රමිකතාවලට ආණ්ඩුව වගකිවයුතු බව පැවසීය. අද වන විට ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අතිශය පහල තැනකට රට පත්වී ඇතැයි ද ඔහු පැවැසීය.

බොරැල්ල දෙව් මැදුරේ බෝම්බ අවනඩුව : පාප්වහන්සේ වෙත යයි !
පාස්කු වින්දිතයන්ට යුක්තිය ප‍්‍රමාද වීම සහ බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ අත් බෝම්බ සිද්ධිය පිළිබදව ශුද්දොත්තම පාප් වහන්සේගේත් වතිකාන පරිපාලනයේත් අවදානය යොමු වී ඇති බව මව්රට පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
අදාළ පුවත වැඩිදුරටත් මෙසේද වාර්තා කර ඇත.
පාස්කු ප‍්‍රහාරය පිළිබදවත්, බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බය තැබීමේ සිද්ධිය පිළිබදවත් පැවැත්වෙන විමර්ෂණ පිළිබද තමන්ට විශ්වාසයක් නැති බව මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කර තිබුණි.
පරීක්ෂණ සදහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවටද උන් වහන්සේ පැවසී ය.
ඒ අනුව, පාස්කු ප‍්‍රහාරය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් සියළු සිද්ධීන් පිළිබදව ස්වාධීන වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට වතිකානය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මේ පිළිබදව මෙරට කතෝලික ප‍්‍රජාවේ ගිහි පැවිදි නායකයන් කිහිප දෙනෙකු වතිකානය සමග සාකච්ඡා කරමින් සිටින බව පැවසේ.

අල්ලස් ගන්නවා මාට්ටුවූ විදුහල්පති බන්ධනාගාරයට !
පළමු ශ්‍රේණියට දරුවෙක් ඇතුලත්කර ගැනීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ගේ ග්‍රහනයට හසුවුනු පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ විදුහල්පතිවරයා අද (29) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අද එම විදුහල්පතිවරයාව පානදුර මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
විදුහල්පතිවරයා එම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ ඊයේ (28) සවස් කාලයේදීය.
2022 වසර සදහා පළමු ශ්‍රේණියට පැමිණිලිකරුගේ දරුවා ඇතුලත් කිරීමට රුපියල් ලක්ෂ 02 ක මුදලක් ඉල්ලා මුලින් රුපියල් 50,000 ක් ලබාගෙන ඇති බවත් අත්අඩංගුවට ගන්නේ ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේදී බවත් අල්ලස් කොමිසම සඳහන් කරයි.

රට පුරා ඔමික්‍රොන් පැතිරෙයි : තවත් ආසාදිත 82ක් හඳුනාගනී
මෙරටින් තවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 82 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශය මගින් නව ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6ක් හඳුනා ගෙන ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
ඔවුන්ද අනු ප්‍රභේද 02 ක ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව දැක්වෙයි.
පසුගිය සතියේදී සමාජයෙන් ලබාගත් සාම්පලවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,කැස්බෑව, මතුගම යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය පවසයි.
සෙසු සාම්පල් සාම්පල් 06 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බව හඳුනාගෙන ඇත.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වී ඇත්තේ හොරණ, මතුගම සහ පානදුර යන ප්‍රදේශවලිනි.
ඒ අනුව මේ වන විට රට පුරා කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන හෙයින් තවදුරටත් එම එන්නත්කරණය ලබා ගැනීමේ අවශ්‍යතාව පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

රනිල්ගේ පෙත්සම මාර්තු 30 කැඳවයි !
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 30 කැඳවීමට අභියාචනාධිකරණය අද (28) තීන්දු කර ඇත.
පෙත්සම අද කැඳවනු ලැබුවේ නිශ්ශංක බන්දුල කරුණාරත්න, එම්.ටී.එම්. ලෆාර් තාහිර්, ඩී.එම්. සමරකෝන් යන අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල හමුවේ ය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , ඇතුළු එම සාමාජිකයින්, කොමිසමේ ලේකම්වරයා හා ජනාධිපති ලේකම්වරයා නම් කර තිබේ.
කොමිසමට කැඳවූ අවස්ථාවේදී තමන්ට චෝදනා පත්‍රයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව සඳහන් කර ඇති පෙත්සම්කරු දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ වාර්තාවෙහි තමන්ට එරෙහිව සොයාගැනීම් සහ නිර්දේශ සදහන් කර ඇති බවට පෙන්වා දෙයි.
එම කොමිසම විමර්ශනය කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි ද තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද පෙත්සමෙහි වැඩිදුරටත් සඳහන් කරන පෙත්සම්කරු, එම කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ද ඉල්ලා තිබේ.

කාබනික ජවුසම් නිසා : අල අස්සේ රතු අල පටවලා !
එක කන්නයෙන් රටේ කෘෂිකර්මාන්තය කාබනික කිරීමට යාමේ ආදීනව මේ වන විට දසතින් මතුවෙමින් ඇත.
ඊට අදාළ තවත් පුවතක් වන්නේ අර්තාපල් අතර සගවා පාකිස්තානයේ සිට නීති විරෝධීව මෙරටට රතු අල ගෙන්වීමට ගෙන තිබීමය.
මෙසේ නීති විරෝධී ලෙස ගෙනා රතු අල කිලෝ ග්‍රෑම් 16,000ක් බහලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 2 බහාලුම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් විසින් මෙම බහලුම් දෙක අද (28) පරීක්ෂාවට ලක් කර ඇත.
වත්තල ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් ඉන්දියාවේ පිහිටා ඇති සමාගමකින් ඇණවුම් කර මෙම බහාලුම් දෙක මෙරටට ආනයනය කර තිබුණ අතර එහි අර්තාපල් කිලෝග්‍රෑම් 53,000 අඩංගු බව රේගුවට ප්‍රකාශ කර තිබිණ.
නමුත් එම බහාලුම් පරීක්ෂා කිරීමේ දී එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙරටට ආනයනය සීමා කර ඇති රුපියල් මිලියන තුනකට වඩා අධික වටිනාකමකින් යුත් රතු අල කිලෝග්‍රෑම් 16,000 ක් සොයා ගෙන ඇත.
මෙම රතු අල තොගය අර්තාපල් අඩංගු බෑග් වලට සමාන බෑග් වල අසුරා එම බහාලුම්වල ගැඹුරු අන්තයේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.
මේ වන විට මෙම භාණ්ඩ නිෂ්කාශනය සඳහා පැමිණි වාප්පු ලිපිකරු රේගුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා සඳහන් කරයි.

කොරෝනා මරණ 15,386ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (27) තහවුරු කර ඇති බවය.
අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,386කි

කතානායකටත් කොරෝනා !
කතානායක මහින්ද යාපා අබේවර්ධනට කොවිඩ් ආසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කතානායකවරයා පීසීආර් පරීක්ෂණයට ලක් වූ අවස්ථාවේ දී positive බව දක්වමින් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ වන විට කථානායක නිල නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද එම ආරංචි මාර්ග පවසයි.
Page 247 of 336