V2025

පුවත්

පොහොට්ටු - අලි සන්ධාන සාකච්ඡාව අද : දිස්ත්‍රික්ක 3 කට ඇප මුදල් හෙට !

පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට හෙට (9) ඇප මුදල් තැම්පත් කරන බව එම පක්‍ෂයේ ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට හෙට පෙරවරුවේ ද, පුත්තලම දිස්ත්‍රික්කයට හෙට පස්වරුවේ ද, ඇප මුදල් තැම්පත් කිරීමට නියමිතව ඇත.

තවද පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ ජනවාරි 04ට පසුදින එනම් ජනවාරි 05 වනදා ද පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැම්පත් කිරීම සිදුකළ අතර ඒ නැකතටය.

 කෙසේ වුවත් මේ වන විට පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුවේ පාර්ශ්වයන් මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා පොහොට්ටු පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අද (08) පස්වරුව්දී හමුවීමට නියමිතය.

එම සාකච්ජාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ සාගර කාරියවසම් සහභාගී වන බවත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, අඛිල විරාජ් කාරියවසම් හා වජිර අබේවර්ධන ඇතුළු කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව ඇති බවත් වාර්තාවේ.

ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව, එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේ, පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් සමග අද (08) පැවැත්විමට නියමිතව ඇති සාකච්ජාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි.

මෙම සාකච්ජාව සම්බන්ධයෙන් 'නිවුස්ෆස්ට්' කළ විමසීමකදී පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පවසා ඇත්තේ, පළාත් පාලන මැතිවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් සමග අද (08) විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවත්, එහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිම පිළිබදව අවධානය යොමු කරන බවත් ය.

පුංචි ජන්දය මාස 4කට කල් යයි ?

යෝජිත පළාත් පාලන මැතිවරණය ලබන ජූලි මාසය දක්වා මාස 4ක කාලයකට කල් දැමෙනු ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් දේශය පුවත්පත වාර්තා කර ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් නිදහස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වන දිසාපතිවරුන් 7 දෙනකු විශ්‍රාම ගැනීම හෝ ස්ථාන මාරු ලැබීම, වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම යන හේතු මැතිවරණය කල් දැමීම සඳහා සලකා බැලෙන ප්‍රධාන හේතු බව වාර්තා වන බවද එහි සඳහන් වෙයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් 5 දෙනා අතර පූර්ණ එකඟතාවක් නොමැති බවට වාර්තා වන තොරතුරද ඡන්දය කල් දැමීමට හේතු වී ඇතැයි දැනගන්නට ඇති බවද වාර්තා කරන එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මැතිවරණය පැවැත්වීමේ තීන්දුව ගැනීම සඳහා පැවැත්වූ කොමිෂන් සභා රුස්වීමේදී සභාපති නිමල් පුංචිහේවා, සාමාජිකයන් වන එම්.ඒ. මොහොමඩ්, පී.එස්.එම්. චාල්ස්, කේ.පී.පී. පතිරණ හා එස්.බී. දිවාරත්න යන මහත්ම මහත්මීන් අතර බෙදීමක් හටගෙන ඇතැයි පසුගියදා මාධ්‍ය මගින් ද වාර්තා කර තිබිණි

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තත්ත්වය ගැන මැතිවරණ කොමිසම කැඳවා සාකච්ඡාවක්ද පැවැත්වීය. ඒ ගැන නීතිපතිවරයාගේ මතයද විමසා ඇතැයි දැනගන්නට ඇත. මේ පිළිබඳව නම් සඳහන් කිරීමට අකමැති වූ මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගෙන් කරන ලද විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ සියලු දෙනාගේ පූර්ණ එකඟතාව මත මැතිවරණය ප්‍රකාශ කළ බවය. අවශ්‍ය නම් ඒ ගැන ඔවුන්ගෙන් විමසා බලන ලෙස ද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව අප මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන් කිහිප දෙනකුම ඇමතූ නමුත් පිළිතුරු දුන්නේ කොමසාරිස් කේ.පී.පී. පතිරණ මහතා පමණි. ඔහු සඳහන් කළේ තමන් ඇතුළු කොමිසම ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව කටයුතු කර ගැසට් පත්‍රය නිකුත් කළ බවය.

කෙසේ හෝ පවත්නා ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වය නිසා පළාත් පාලන මැතිවරණ පනතේ අංක 76(අ) වගන්තිය අනුව ඡන්දය මාස 4කින් පමණ කල් දැමෙනු ඇතැයි වාර්තා වෙයි.

අඩු මුදලින් සංචාරයකට : හොඳම රටවල් අතරට ශ්‍රීලංකාව !

විශාල මුදලක් වැය නොකරමින් පෙබරවාරි මාසයේ සිට නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

ඒ සමඟ වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ් අඩවිය නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයිද එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එසේම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවත් ඉකුත් වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ටර්ලිං පවුම් එකක් මේ වන විට රුපියල් 441 ක් වී ඇතිබවත් අයි නිව්ස් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් දවස් 15 ක ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයේ සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක් බව අයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ජනවාරි මස මොල්ටාව , පෙබරවාරියේ ශ්‍රී ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් මස ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය මෙම අවුරුද්දේ විශාල මුදලක් වැය නොකර නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරය කිරීමට සුදුසුම ලෝකයේ රටවල් ලෙස අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

බණ්ඩාරනායක ජන්ම දින සමරු උත්සව 2ක් : දෙතැනක දෙපිරිසක !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 124 වන ජන්ම දින සැමරුම අදට (08) යෙදී ඇත.

ඒ වෙනුවෙන් අද පෙරවරුවේ සැමරුම් උත්සව දෙකක් පැවැත්වීම විශේෂත්වයක් විය.

එක් සමරු උත්සවයක් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු අතර ඒ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

අනෙක් සමරු උත්සවය ගාලු මුවදොර පිහිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණි.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන බණ්ඩාරනායක දියණියන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර මෙන්ම දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, මහාචාර්ය ජී.එල්. පීරිස්, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.

මැකොස සහ නිරීක්ෂණ සංවිධාන අතර සාකච්ඡාවක් !

ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් ජනවාරි 11 වනදා (බදාදා ) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන පළමු හමුව මෙය වන අතර එහිදී මැතිවරණ නීතිය, මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව සහ ගැසට් නිවේදන පිළිබඳව සාකච්ජා කෙරෙනු ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත අධිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධානද තීරණය කර ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත පවසා තිබුණේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්, රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කරුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම සඳහා අතරමැදි පෙත්සම්කරුවන් ලෙස නිරීක්ෂණ සංවිධාන ඉදිරිපත් වීමට නියමිත බවය.

සුරාබදු 2022දී හොඳටම කරගෙන !

සුරාබදු දෙපාර්තමේන්තුව සිය ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී උපයා ඇති බව වාර්තා වෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරන ආකාරයට මෙසේ උපයා ඇති ආදායම රුපියල් බිලියන 170ක් කි.

එසේම 2023 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් සඳහන් වන ආකාරයට මේ ආකාරයට සුරාබදු දෙපාර්තමේන්තුව 2022 වසරේ වැඩිම ආදායමක් වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමකය.

මේ අතර දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ද එම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට වෙළඳපොළේ ඇති මත්පැන් වර්ග රැසකට අදාළ ප්‍රමිති සහතික ලබා දී ඇති බවත් දැනගන්නට ඇත.

වෙළෙඳ ගිවිසුමේ සාකච්ඡාවකට තායිලන්ත නියෝජිතයින් දිවයිනට

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Auramon Supthaweethum) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනෙකුගෙන් සමන්විතය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වෙන අතර භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සිදු කළ අපනයන ඩොලර් මිලියන 59 ක් වන අතර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ ආනයන ඩොලර් මිලියන 355කි. තායිලන්තයට වාසිදායක වෙළඳ ශේෂයක් පවතින පසුබිමක් තුළ මෙම සාකච්ඡා ආරම්භ කෙරෙන අතර තායිලන්ත ප්‍රවේශය හරහා තායි වෙළඳපොල පමණක් නොව අනෙකුත් ආසියාන් (ASEAN) වෙළඳපොලවල අපගේ අපනයන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ වෙළඳාමට පවතින තීරුබදු නොවන වෙළඳ බාධක අඩු කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.

ශ්‍රී ලංකාවේ මැණික්, තේ (කළු) යනාදී අපනයන සඳහා විශාල විභවතාවයක් තායිලන්ත වෙළඳපොල තුල පවතින අතර මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම හරහා දෙරට අතර පවතින වෙළඳාම පුළුල් කරගැනීමට හා නව ක්ෂේත්‍රවල පවත්නා අවස්ථා සක්‍රීය කිරීමට මාර්ග විවෘත වනු ඇත.

මෙම සාකච්ඡා සදහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව සහභාගී වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයෙහි වෙළඳ හා ආයෝජන කටයුතු දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද ඊට ඇතුළත්ය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේ දී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර, දේශීය වාණිජ මණ්ඩල හා කර්මාන්ත සංගම් විසින් ඉදිරිපත් කරන ලද නිශ්චිත ඉල්ලීම් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.


නොරොච්චෝලේ අක්‍රීය ජනන යන්ත්‍ර යළි පණ ගැන්වේ

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (ජන. 8) සිට යළි ත් සක්‍රිය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නඩත්තු කටයුතු සඳහා එම යන්ත්‍රය අක්‍රිය කර තිබිණි.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට් 270කි.

ඊයේ (ජන. 7) දිනයේදී ගල් අඟුරු රැගත් තවත් නෞකාවක් පුත්තලමට ළඟා වූ අතර, එය, මෙම වසරේදී දිවයිනට පැමිණි දෙවන ගල් අඟුරු නෞකාවයි.

ජන්දය තියන්න යන්නේ ප්‍රධාන පාසල් විභාගත් නොතකා හිතුමතේ !

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ විභාගය ආරම්භ වන දිනය පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවය.

විෂය ආවරණ කටයුතු හා ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය මත විභාගය පැවැත්වෙන දින නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත .

කොවිඩ් වසංගතය හේතුවෙන් විභාග කටයුතුවලට බාධා පැමිණීම හේතුවෙන් විභාග කාලසටහන්වල වෙනසක් සිදුවූ අතර 2021 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සිදු වූයේ පසුගිය වසරේ මැයි මාසයේදී ය.

එම විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේදී නිකුත් කෙරුණි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගත්තේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමෙන් විමසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත .

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හතර දෙෙනකුගේ සහභාගිත්වයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව විමසා ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.

2022 උසස් පෙළ විභාගයේ ජනවාරි මස 23 සිට පෙබරවාරි මාසයේ 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මිලියන 22ක් ඉන්න රටේ ජන්දයක් ඉල්ලා පාරට බැස්සේ 2000යි !

රටේ මිලියන 22ක් පමණ සිටින ජනගහනයෙන් මැතිවරණයක් ඉල්ලා පාරට එන්නේ 2000ක පමණ පිරිසක් පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, සමන් රත්නප්‍රිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කර ඇත .

“ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මේ මොහොතේ මේ රටේ තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නැත්නම් මැතිවරණයක් ඉල්ලලා පාරට බහින්න කියලා කිව්වම මිලියන 22ක් ඉන්න රටක 2000ක්නම් එන්නේ මැතිවරණය ඉල්ලා එතකොට ඒක ජනමතය නෙවෙයි. ඉතිං එහෙමනම් ඇයි මේ මැතිවරණයක් තියන්නේ? හැබැයි රට තියෙන්නේ වෙන අර්බුදයක. ඒ අර්බුදයේ දිග පළල මැතිවරණ කොමිසමටත් තේරෙන්න ඕනා.

කෝටි 60දාහක් ඕනා කෑම ටික ගේන්න. බෙහෙත් ගේන්න කෝටි 32,104ක් ඕනා. ඉන්ධනටික ගේන්න කෝටි 136,208ක් ඕනා. සල්ලි අච්චු ගහල පඩි ගෙව්වේ මාස තුනක් විතරම. දැන් කියනවා සල්ලි අච්චු ගහල මැතිවරණයක් දෙන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන කියන එක ගැන කාටවත් ලොකු ගැටලුවක් නැහැ. රට ආපහු අවුල්සහගත තැනකට තමයි මේ ගෙනියන්න උත්සාහ ගන්නේ.”

සජිත් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ කෑලි ගලවයි !

අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සෝමවංශ අද (07) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්වූවූ බව සමගි ජනබලවේගය පක්ෂය නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

කලක් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙසද, අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා එම කාල කාලවකවානුව තුල කැපී පෙනෙන වැඩ කටයුතු රාශියක් ඉටු කරනු ලැබීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඒ මහතා එවක කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ද කටයුතු කොට තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණේ සභාපති, එක්සත් ශිෂ්‍ය පෙරමුණේ සභාපති ලෙසද කටයුතු කළ ඒ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඨ විය.

1993 දී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් පත්වූ ඒ මහතා බස්නාහිර පළාත් සභාවේ සභානායක, නියෝජ්‍ය සභානායක ඇතුළු තනතුරු රැසක් දැරූ දශක ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති චරිතයකි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තමන්ගේ සහයට සිටි ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ ප්‍රධානීන් මෙසේ ගලවමින් ඉදිරි දේශපාලන කටයුතු වලදි විපක්ෂයේ පාර්ශ්ව දුර්වල කරන උපක්‍රමයක් අනුගමනය කරන බවක් පෙන්නුම් කරන බවයි.

දැනටමත් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය ඩලස් , විමල් ප්‍රමුඛ පාර්ශ්වයන් සමග වෙනම සන්ධාන ගතවෙමින් ඇති බවත් , ඒ හමුවේ එම සන්ධාන දුර්වල කිරීම සජබ උපක්‍රමය ලෙස පෙන්නුම් කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සල්ලි අච්චු ගහලා තියන්න යන පුංචි ජන්දය ලෝක වාර්තාවක් !

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් වන් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .

බංකොලොත් රටක් මුදල් මුද‍්‍රණ්‍ය කර පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම එම ලෝක වාර්තාව බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

‘ඡන්දය තියන්න පුලුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක් ද ලෝක වාර්තාව. ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්. මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන ලෝක වාර්තාවත් එක්ක නම් මැතිවරණය තියන්න පුලුවන්. එහෙමනම් කරමු’

සමාජ මාධ්‍ය නියාමනයට සිංගප්පූරු මොඩලයේ පනතක් !

සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බව ජනාධිපති රනිල්
වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ය.

එහිදී සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවල පිළිබඳ මෙම හමුවේදී ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බවය.

ඒ හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවත්, එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

ශිෂ්ඨසම්පන්න අනාගත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ක්‍රියාදාමයේ දී සමාජ මාධ්‍ය වෙනුවෙන් ද නියාමන ක්‍රියාදාමයක් අවශ්‍ය බවට මේවනවිට සමාජ මතයක් ගොඩනැගෙමින් තිබේ.

ගර්භනී මවුවරුන්ට රු.45000ක පෝෂණ දීමනාවක් !

ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

මීට ඉහත පැවතියේ ගර්භනී මව්වරුන් වෙනුවෙන් රුපියල් 20,000 ක පැවැති පෝෂණ දීමනාවකි.

නමුත් එය රුපියල් 45,000 ක් සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි .

නාම යෝජනා නීති කැඩුනොත් : කොමිසමේ සාමාජිකයන්ට අතින් ගෙවන්න වෙයි !

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේදී නිසි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් පිරිසක් ආණ්ඩුව දැනුම්වත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (05) සවස මුණ ගැසුණු අවස්ථාවේදී ද ජනාධිපතිවරයා මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.

මැතිවරණයට අදාලව නාම යෝජනා කැඳවීමට ප්‍රථම මැතිවරණ කොමිසම මගින් අදාළ සියලු පාර්ශව කැදවා සාකච්ඡා කළ යුතුව ඇත. තේරිම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන් පවසා ඇත.

- lankadeepa

2022 උ/පෙළ උපකාර පන්ති 17වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු ලබන 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කර තිබේ.

විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර  පැවසීය.

2022 උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වේ.

මේ අතර, විභාගය පැවැත්වීමට සතියකට පෙර සිට දෛනික විදුලිය කප්පාදුව සිදුනොකරන්නැයි, ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, සිසුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන එම පියවර ගන්නා බවය.

විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලිය කප්පාදුවක් සිදුනොකරන්නැයි, දැනටමත් ඉල්ලා ඇතැයිද, ඔහු ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළේ ය.

එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න  පැවසුවේ, විභාගයට පෙර දෛනික විදුලිය කප්පාදුව සිදුනොකරන්නැයි මෙතෙක් ඉල්ලිමක් ලැබී නොමැති බවය.

එවැනි ඉල්ලීමක් ලද හොත් අවශ්‍ය අධ්‍යන සිදුකර ඉදිරි තීරණ ගන්නා බවද, ඔහු පැවසුවේ ය.

බිත්තර ලක්ෂ 10ක් කොළඹට : ළමා රෝහලට දින 10ක් නොමිලේ බිත්තර

මෙරට සියලු පාරිභෝගිකයන්ට සති දෙකක් ඇතුළත රුපියල් 55කට අඩුවෙන් බිත්තර ලබාගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එසේම රෝහල් සඳහා සහන මිලට බිත්තර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකය.

ඊයේ සහ අද වයඹ පළාතේ සිට කොළඹ දිස්ත්‍රික්කයට බිත්තර ලක්ෂ 10ක් රැගෙන විත් තිබේ. සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම ඒවා බෙදා හැරීමට නියමිතය. ඒ බිත්තරයක් රුපියල් 53ක මිලකටය.

රිජ්වේ ආර්යා ළමා රෝහලට අද(07) සිට දින 10ක කාලයක් නොමිලේ බිත්තර ලබා දෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

නිදහස් ශ්‍රී ලංකාවේ දැවැන්තම සාමකාමී විප්ලවය දියත්කළ අරගලයට සමාජ මාධ්‍ය ප්‍රබල පිටුවහලක් වූ නමුත්, ශිෂ්ඨසම්පන්න අනාගත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ක්‍රියාදාමයේ දී සමාජ මාධ්‍ය වෙනුවෙන් ද නියාමන ක්‍රියාදාමයක් අවශ්‍ය බව ප්‍රවීණ මාධ්‍යවේදී සරෝජ් පතිරණ පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳව NewsFirst නාලිකාවේ "මාවත" විශේෂ වැඩසටහන් මාලාවට එක්වෙමින් ඒ බව කියා සිටි ඔහු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලකරුවන්ගේ හැසිරීම ඉතාමත් ප්‍රශ්නසහගත බව පෙන්වා දුන්නේය.

ඉදිරි දශකය ඇතුළත බීබීසී ආයතනයේ සියලු ගුවන් විදුලි සහ රූපවාහිනී සේවා වසා දමන බව බීබීසී ප්‍රධානියා මෑතදී කළ ප්‍රකාශය මගින් ජනමාධ්‍යවල අනාගත මාවත පැහැදිලි වන නමුත්, සරෝජ් පතිරණ පවසන පරිදි අසත්‍ය, වගකීම් විරහිත සහ ගැටුම්වලට තුඩු දෙන වාර්තාකරණයෙන් වැළකීම සමාජ මාධ්‍ය ජාල ඇතුළු ඕනෑම මාධ්‍යයක් වගකීමය.

විදේශීය මාධ්‍ය ආයතන සඳහා සේවය කරන අතරවාරයේ "Sandeshaya by Saroj" නාලිකාව ද පවත්වාගෙන යන නමුත්, අරගලය සමයේ තමන් පූර්ණ අරගලකරුවෙක් බවට පත්නොවූයේ සිය වාර්තාකරණයේ ස්වාධීනතත්වය රැකගැනීම පිණිස බවත් ඔහු කියා සිටියේය.

සමාජ මාධ්‍යවල ප්‍රමිතිය රැකගැනීම පිණිස පුරවැසියා සතු කාර්යභාරය කවරක් දැයි සාකච්ඡාව මෙහෙයවූ ගයාන් සම්පත් සහ සුනිල් හඳුන්නෙත්ති කළ විමසීමට පිළිතුරු දෙමින් සරෝජ් පතිරණ කියා සිටියේ, සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් ද ස්වයං නියාමනයකට යොමුවිය යුතු බවය.

 ෆේස්බුක්, ට්විටර් සහ යූටියුබ් වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ වාර්ගික අරගලවලට එම සමාගම් දායක වූ අන්දම සිහිපත් කරමින් ඔහු පැහැදිලි කළේය.

ඒ අතරම සමස්තයක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කෙරෙන කරුණු විචක්ෂණශීලීව විමසා බැලීමට ඉහළ සාක්ෂරතාවක් පවතින බව පැවසෙන ශ්‍රී ලංකාවේ පුරවැසියා ද උත්සුක විය යුතුය.

ශ්‍රී ලංකාවේ ආනගත දේශපාලන ගමනමග කවරක් විය යුතු ද යන්න ගැන මූර්ති ශිල්පී (මහ කුඹලා) අජිත් පෙරේරා, ප්‍රාසාංගික කලාවේදිනී දිනූපා කෝදාගොඩ, ප්‍රාසාංගික කලාවේදී ඩිලාන් සේනානායක, සංගීතවේදී සාදර බණ්ඩාර සහ රංගවේදී කළණ ගුණසේකර "මාවත" වැඩසටහන් ඔස්සේ දීර්ඝව කරුණු දැක්වූහ.

Page 245 of 475