V2025

පුවත්

ඉක්මන් මහ මැතිවරණයක් : පාර්ලිමේන්තුවේ පක්ෂ අතර එකඟතාවක් නෑ !

මහ මැතිවරණයක් පවත්වා ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයට පත්කර ගැනීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර බෙදුණු මතයක් නිර්මාණය වී ඇත.

එහිදී සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහජනතාවගේ මූලික අවශ්‍යතාවලට විසඳුමක් ලබා දී කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතු බව පවසයි.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ කඩිනම් මැතිවරණයකට සුදුසු තත්ත්වයක් රටේ නැතැයි සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනම් මැතිවරණයක් සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකළද හැකිතාක් ඉක්මනින් ජනතාවගේ ප්‍රශ්න විසඳා ජනමතය විමසීම සුදුසුය යන ස්ථාවරයේ පසුවේ.

සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

“අපි කියන්නේ මහ මැතිවරණයක අවශ්‍යතාව තියනවා. මේ පත්වුණ ජනාධිපතිවරයා ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයෙක් නෙවෙයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණය තියද්දී තිබ්බ ජනමතය නෙමෙයි මේ තියෙන්නේ. අපි කියනවා ජනතාවගේ මේ හදිසි අවශ්‍යතාවන් ටික වහාම ඉෂ්ට කරල මැතිවරණයකට යන්න කියලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්

“මේ වෙලාවේ මැතිවරණයක් තියෙන එක පක්ෂයක් විදිහට අපට වාසි යි. නමුත් අපට පෞද්ගලික දේශපාලන වුවමනා මේ වෙලාවේ සපුරා ගන්න අවශ්‍ය නෑ. මේක රටේ අර්බුදයක් පවතින වෙලාවක්. ඒ නිසා අපිට මේ වෙලාවේ මැතිවරණයකට යෑමේ අවශ්‍යතාවක් නෑ. ඉස්සෙල්ලා රටේ ප්‍රශ්න ටික විසඳගන්න ඕනෙ. ඊට පස්සේ අපට මැතිවරණයකට යන්න පුළුවන්. මේ වන විට කොවිඩ් අවදානමත් ආයෙ ඇවිත්. ඒ නිසා රටේ මිනිසුන්ගේ ජීවිත අවදානමේ දාන්න බෑ අපට. එම නිසා මේ මැතිවරණයකට සුදුසු වෙලාවක් නෙවේ.”

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

“නියත වශයෙන්ම මේ මොහොත ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් තිබෙන අවස්ථාවක්. නීතිය හා සාමයට තර්ජනයක් තිබෙන අවස්ථාවක්. කිසිසේත්ම මැතිවරණයකට නොයා යුතු අවස්ථාවක්. එවැනි අවස්ථාවල කළ යුතු ප්‍රධාන ම දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම. නීතිය හා සාමය තහවුරු කිරීම. ඒවා තහවුරු වූ පසු බලන්න පුළුවන් ඊළඟ කාරණා ගැන. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට ආපු නවක මන්ත්‍රීවරුන් 77ක් ඉන්නවා. ඒ අය වැටුණොත් අනාගතයේ ඊටත් වඩා සුදුසු දක්ෂ පුද්ගලයන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වීම වැළැක්වෙනවා. පක්ෂ අමතක කරලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නම් මුලින් ඒ ආපු නියෝජිතයන් ආරක්ෂා කළ යුතුයි "

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

“රටේ අර්බුද ගණනාවක් තියෙන වෙලාවක් මේක. මැතිවරණයක් පැවැත්වුණොත් කොහොම ද රාජ්‍ය නිලධාරීන් ඒ මැතිවරණයට දායක වෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඡන්ද පත්‍රිකාවලට අවශ්‍ය කඩදාසිවත් ගන්න බැරි තත්ත්වෙක තියෙන්නේ. ඡන්දයයක් ගණන් කරන්නේ කොහොම ද? විදුලිය විසන්ධි වෙන වෙලාවක් මේක. රටේ ඉන්ධන ප්‍රශ්නයක් තියෙනව. කොහොම ද මිනිස්සු ඡන්ද දාන්න යන්නේ. මැතිවරණ තියන්න කියන්නේ රටේ බංකොළොත් ම දේශපාලන පක්ෂ. එයාල හදන්නේ එයාලගෙ ගොඩ වැඩිකර ගන්න මිසක් රට හදන්න නෙමේ. අපි පක්ෂයක් ලෙස මේ වෙලාවේ මැතිවරණ අවශ්‍ය නෑ කියන ස්ථාවරයේ ඉන්නේ.”

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ

“ප්‍රජාතන්ත්‍රවාදී රටක අනිවාර්ය අංගයක් මැතිවරණ පැවැත්වීම. නමුත් මේ වෙලාවේ මැතිවරණයකට යෑම සුදුසු නෑ. ඉක්මනින් අපි රටේ අර්බුද විසඳාගත යුතුයි. ඉන් පසුවයි මැතිවරණයක් පැවැත්විය යුත්තේ. රටේ ආහාර, ඉන්ධන, පොහොර, බලශක්ති, ගෑස්, කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම්, කාර්මික ක්‍ෂේත්‍රයේ, අපනයන ක්‍ෂේත්‍රයේ අර්බුද විසඳා ගැනීමෙන් පසු අනිවාර්යයෙන් මැතිවරණයක් රටේ පැවැත්විය යුතුයි. සැබෑ ජනමතය විකෘති කරන්න කාටවත් බෑ. සැබෑ ජනමතය පිළිබිඹු විය යුතුමයි. කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව ඉක්මනින් සකසා ගත යුතුයි. නමුත් සතියකින් දෙකකින් මැතිවරණයක් පවත්වන්නට බෑ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක

ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්නවලට තාවකාලිකව විසඳුම් ලබා දීමෙන් අනතුරුව ජනමතයකට ගොස් ජනතාවගේ කැමැත්ත පරිදි ආණ්ඩුවක් පත් කර ගත යුතුයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලනිපය ඉදිරිපත් කළ යෝජනා මාලාව තුළ ද මේ බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා "

දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විපක්ෂයේ බහුතරයක් දේශපාලන පක්ෂ වත්මන් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර වහා ම මහ මැතිවරණයකට යා යුතු යැයි අවධාරණය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර…

“රට තුළ මේ වනවිට උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව මැතිවරණයක් තියන්න හැකියාවක් නැහැ. ඡන්දයක් තිබ්බත් සියයට පනහක්වත් ඡන්ද වැටෙන්නේ නැහැ. ඡන්දයක් තියන්න නම් මිනිස්සුන්ගෙ හිත නිදහස්ව තියෙන්නත් ඕනෑ. මිනිසුන්ගේ හිත නිදහස් නැතිව ඡන්දයක් තියලා ඇති තේරුමක් නැහැ. අනෙක් කාරණය ඉන්ධන නොමැතිව අදාළ නිලධාරීන්ට ඒ ඡන්ද කටයුතු සඳහා යන්න හැකියාවකුත් නැහැ.

කොහොම වුණත් රට සාමාන්‍ය අතට හැරුණට පස්සේ මහජන නියෝජිතයන් තෝරා ගන්න ඡන්දයක් තියන්න ඕනෑ. ඒක තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය.”

මූලාශ්‍රය - මව්බිම

රනිල්ට මංගල සිහිවෙයි……!

අභහවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරයන් විසින් වරාය හා සිවිල් ගුවන්සේවා,ජනමාධ්‍ය,නාගරික සංවර්ධන අමාත්‍ය ධූර වලින් පසුව විදෙස් හා මුදල් අමාත්‍ය ධූරයන්ගේ රාජකාරි ආරම්භ කිරීමත් සමගම ඔහු විසින් ගෝලීයකරණය සමග ඉදිරියට ඇදෙන ලෝකයට ලංකාවද සම්බන්ධ කිරීම පිණිස ඉතා වැදගත් රැඩිකල් ඉදිරිගාමී ආන්දෝලනාත්මක තීන්දු තීරණ රාශියක් ගැනින…..

එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් ඇමති ලෙස වහාම මිනිසුන් සතුටින් සිටීම හා ආශ්වාදය විනෝදය වෙනුවෙන් බීර හා වයින් වැනි මෘදු මධ්‍යසාර වල මිළ පහත හෙලින. මක්නිසාදයත් මත්පැන් මිළ අධික වීමත් සමග මහජනයා ප්‍රමිතියෙන් තොර අධික විෂ රසායන සහිත මත්පැන් වලට යොමු වීම වැලැක්වීමත් සංචාක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සංචාරක ව්‍යාපාරිකයන් හට රුකුලක් වීමටත් ය.

පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්වූ මංගලගේ " සැබෑ දේශප්‍රේමීන් හා රැඩිකල් මැද" යෝජනා කරළියට….!

පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්ව සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කරමින් තාරුණ්‍යයට එහි වගකීම් පවරමින් ත්‍රාඩ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ රැඩිකල් තීරණ වලින් සමන්විත වූ විද්වත් ප්‍රායෝගික සමාජ වැඩපිළිවෙළක් හා යෝජනාවයක් සහිතව ගෝලීයකරණය වෙමින් පවතින ලොව ජයගන්නට සියල්ල සූදානම් කළ මංගල සමරවීරයන් හදිසියේම ශ්‍රී ලාංකික සමාජයට ගුඩ් බායි කියූවේ රටම පමණක් නොව ලොවක් හඬවමිනි..

කෙසේ නමුත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් මංගල සමරවීරයන් ගේ ඉදිරිගාමී යෝජනාවක් අද යතාර්ථයක් බවට පත්කිරීමට සමත්ව ඇත..සැබවින්ම එය අගය කළ යුතු වටිනා තීරණයක් වනු ඇත… මක්නිසාදයත් සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් උපයාගැනීමට බලාසිටින රටක් ලෙස සංචාරකයන් වෙනුවෙන් ලභාදිය යුතු එහෙත් මේ වනතුරු ඉටුනොවූ මූලික අවශ්‍යතාවක්වන මෘදු මධ්‍යසාර විකිණීමේ නීති රීති ලිහිල් කිරීමය.

තවදුරටත් මෙය දිවයින පුරා සාර්ථකව හා ප්‍රායෝගිකව විශේෂයෙන්ම සංචාරකයින් බහුලව සැරිසරන ප්‍රදේශයන් වෙත ව්‍යාප්ත කිරීමට නම් එකී බලපත්‍ර නිසි අධීක්ෂණක් යටතේ සරළව කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට ලබා දීම කාලෝචිත වනු ඇත.

ඊට අදාල නිල නිවේදනය පහතින් දැක්වේ…….

surabadu 1000px

සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස හණමිටි අදහස් දුරලා ගෝලීයකරණය වෙමින් හැල්මේ දුවන ලෝකයේ අපට නිසි තැන වෙන් කරගැනීමට කාලෝචිත පරිකල්පනාත්මක රැඩිකල් තීන්දු තීරණ ගනිමින් ඊට අවශ්‍ය පුරවැසි වගකීම ඉටු කරමින් ශිෂ්ඨ සම්පන්න විනය ගරුක නීතිගරුක තෘප්තිමත් සමාජයක් ගොඩනගන්න එක්වෙමු….

සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ධන දීමනාව ඉහළට ?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇති අතර සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබාදී ඇත්තේ පැරැණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙන් බවත් වාර්තා වෙයි .

ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධනවල අලුත් මිල ගණන් අනුව ගලපා දීමනාව ගෙවන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව මේ ආකාරයට ඉන්ධන දීමනාව වැඩිකර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

 

ෆොන්සේකා මාසයක් ඉන්න : අගෝස්තු 09 එන්න කියයි !

රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

පසුගිය මාසයේ නව වෙනිදා කොළඹට මෙපමණ විශාල ජන ගඟක් ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත් ලබන නව වෙනිදාද ජනතාව එසේම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ ප්‍රශ්නයේදී රටේ සියලුම ජනතාව එකාවන්ව එකතු විය යුතු බව පැවසූ ෆොන්සේකා මන්ත්‍රීවරයා ආණ්ඩුවේ මර්දනයට බියවිය යුතු නැතැයිද ප්‍රකාශ කළේය.

- lankadeepa

ලේක් හවුස් ණය ගෙවන්න : ගොඩනැගිල්ල ඈවරයි දෑවරයි !

''ලේක් හවුස්’’ ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා ආයෝජකයකුට විකිණීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ලේක් හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇත.

ලබා ගන්නා මුදලින් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක ලේක්හවුස් ආයතනය ආරම්භ කිරීමට හෝ ආයතනය ඈවර කිරීමටද යෝජනා වී තිබේ.

පැරණි ගොඩනැගිලි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට රුකුලක් බැවින් මෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම අරමුණ වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලේක් හවුස් ආයතනය පිහිටි ඉඩම අනූනව අවුරුදු බදු යටතේ ලබා දී ඇති අතර එම බදු කාලයද ලබන වසරේදී අවසන් වීමට නියමිතය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සීයා වන ඩී.ආර්. විජයවර්ධන ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘවරයාය.

- Aruna

මන්දිර දෙකකින් ඇඟිලි සලකුණු 1000ක් !

ජනාධිපති මන්දිරයෙන් සහ අරගලියගහ මන්දිරයෙන් සැකකටයුතු ඇඟිලි සලකුණු 1000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති බව ආරක්ෂක අංශ වාර්තා කරයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට ඉකුත් 09 වෙනිදා අරගලකරුවන් කඩා වැදීමෙන් පසු එහි දේපොලවලට සිදුව ඇති හානි සම්බන්ධයෙන් කෙරන විමර්ශනවලට අදාලව පොලීසිය ඇගිලි සලකුණු පරීක්ෂාවක් සිදුකර ඇත .

ඒ අනුව කොළඹ 07 ටොරින්ටන් හී පිහිටි ඇගිලි සලකුණු කාර්යාංශයේ නිලධාරීන් විසින් කළ පරීක්ෂාවේදී එහි සටහන්ව තිබී සොයාගෙන ඇති ඇගිලි සලකුණු ගණන 1000කට වැඩි බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

එම ඇඟිලි සලකුණු අපරාධ ලේඛනාගාරයේ ඇති අපරධකරුවන්ගේ ඇගිලි සටහන් සමඟ සැසදීමක් මේ වන විට සිදු වෙමින් ඇතැයිද පොලීසිය කියයි.

ඉදිරියේදී එම මන්දිර දෙකට හානි කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයින්ගේ ඇඟිලි සටහන් සමග සොයාගත් ඇඟිලි සටහන් සැසදීමක්ද කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අරගලයේ පාර්ශ්ව සමාජ මාධ්‍ය තුළ බරපතළ විරෝධයක් දක්වමින් ඇත.

ඔවුන් පවසන්නේ රට බංකොලොත් කළ පාර්ශ්ව නොතකා ඊට එරෙහිව නැගීසිටි ජනතාව මර්දනය කිරීම අනුමත කළ නොහැකි බවය.

ජනාධිපති රනිල්ගෙන් : සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක් !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර ඇත .

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුළ නිර්මාණය වූ දේශපාලනික හා සමාජීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් කිරීමට රජය මහත් පරීශ්‍රමයක් දරමින් සිටින බවයි.

පවතින අභියෝග ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත .

මේ මොහොතේ ජනතාවගේ අභිප්‍රාය වන්නේද පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔවුන්ගේ මහජන නියෝජිතයින් සියලු දෙනා පොදු වැඩපිළිවෙලක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීමට කටයුතු කරනු ඇති බවත් එහිදී අවධාරණය කර ඇත .

ඒ අනුව ජාතික වගකීම ඉටු කිරීම සඳහා ඉදිරි පියවර පිළිබඳ පුඑල් සංවාදයක් ගොඩ නැගීමට තමන් අදහස් කරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ඔවුන් නියෝජනය කරන පක්ෂයේ එකඟතාවය කඩිනමින් යොමු කරන ලෙසත් අදාළ ලිපිය යොමුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු මන්ත්‍රීවරුන් වෙත දැනුම්දී ඇත.

ඉන්ධන සැපයීම : QR ක්‍රමය සාර්ථකයි !

ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයට දිවයින පුරා පිහිටි ඉන්ධනහල් 1,190න් 962ක්ම මේ වන විට අනුගත වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඊයේ (29) දිනයේ දී වාර්තාගත ඉන්ධනහල් සංඛ්‍යාවක දී QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බවයි.

ඒ අනුව ගතවූ දිනයේ දී ඉන්ධනහල් 657කින් එම ක්‍රමවේදයට අනුගතව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇත.

ඊයේ රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වාහන 4,651,911 ක් ලියාපදිංචි වී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

ලියාපදිංචි වී ඇති යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 27කට ආසන්න වන බවට සදහන් වේ.

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට බලශක්ති අමාත්‍යංශය සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

පාර්ලිමේන්තුවේ ජනාධිපති අසුනේ ලාංජනය : පළමු වතාවට ඉවතට !

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසා ඇත .

ඔහු පවසන්නේ ජනාධිපති ලාංජනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවය.

අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගනුලැබූ අතර ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේද ඒ අනුවය.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි.

එම ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගියදා ඉවත් කර ඇති බවත් වාර්තා වන අතර මේ බව ලංකාදීපය වාර්තා කර ඇත .

ජනාධිපතිගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් : තුසිත හල්ලොලුව !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් තුසිත හල්ලොලුව පත්කර ඇත .

අදාළ පත්වීම ජනාධිපති ලේකම් විසින් සිදුකර ඇත .

තුසිත හල්ලොලුව හිටපු අමාත්‍ය මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමරසිරි දොඩන්ගොඩ, අනුරුද්ධ රත්වත්ත, අනුර ප්‍රියදර්ශනයාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, සහ ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන්ගේ සම්බන්ධිකරණ නිලධාරියකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අත්දැකීම් ඇත්තෙකි.

 

IMF සාකච්ඡාවල ඉහළ ප්‍රගතියක් !

රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළයුතුව තිබුණි.

පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල විය.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කර තිබේ.

එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද ඉතා සාර්ථක මට්ටමක පවතී.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායීතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බව රජයේ ස්ථාවරයයි.

(ජනාධිපති මාධ්‍ය අංශය )

පාර්ලිමේන්තුවේ කමිටු හැටකට වඩා අහෝසි වෙයි !

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභා හැටකට ආසන්න සංඛ්‍යාවක් මැතිසබය වාර අවසාන කිරීමත් සමග මුළුමනින්ම අහෝසිවී ගොස් ඇත .

එහෙත් මේ කමිටු පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු මුල් සතියේම පිහිටුවීමට කටයුතු සුදානම් කර ඇති බව එහි නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීර පැවසුවාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව සාමාන්‍යයෙන් අහෝසිවී නොයන කමිටුවන්නේ විශේෂ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභාය.

අහෝසිවී ගිය කාරක සභා නැවත පිහිටුවීමේදී අවශ්‍යනම් එහි කලින් සිටි සාමාජිකයන්ම නැවත පත් කළ හැකි වන අතර අලුත් සාමාජිකයන් පත් කිරීමටද හැකියාව පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසෙයි.

මේ අතර වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන මස 3 වෙනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු වියදමින් සහ ඉතාම චාම් අන්දමින් එම උත්සවය පවත්වන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අගමැති මැති ඇමති : ආරක්ෂක මාරුවක් !

ජනාධිපති , අගමැති සහ ඇමති ආරක්ෂක අංශවල අධ්‍යක්ෂධුරවලට නව පොලිස් ප්‍රධානීන් පත්කර ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව පොලිස් නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එස්.පී.ද සිල්වා අගමැති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත්කර ඇත.

මෙතෙක් අගමැති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත්කර තිබේ.

මෙයට අමතරව ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ මෙතෙක් ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.ටී. ජයලත් ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙසත් පත්කර ඇත.

අරගලය අස්සේ : කොඩි උස්සලා චොර වෙලා !

ජනාධිපති මන්දිරයට පසුගිය ජූලි 09 වෙනිදා කඩා වැදුණු අරගලකරුවන් අතර සිටි කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ජනපති ධජ දෙකක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලීසිය අද(28) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ වරාය ආරක්ෂක අංශයේ සේවකයෙක් වන මෙම සැකකරු කොළඹ වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ද 2019 වසරේ කෙටි කලක් කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි .

ඔහු වරාය අධිකාරීයේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති අතර මේ වන විට සජබයට සම්බන්ධ වරාය වෘත්තීය සමිතියේ උප සභාපතිධූරය දරන බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

ජනපති මන්දිරයෙන් ජනපති ධජ දෙකක් සොරාගත් මොහු ජනාධිපති ධජයක් වරායේ සේවක කාමරයකට රැගෙන ගොස් ඇඳක් මත එලා ඒ මත ඇලවී එම ධජය පුළුස්සා දමන බව පවසමින් ප්‍රකාශයක්කර එය සමාජ මාධ්‍යවෙත මුදා හැර තිබුණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම්වන විට ඔහු නීතීඥවරයෙකු මගින් වේල්ලවීදිය පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබුණි.

ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ එක් ධජයක් පුළුස්සා දැමූ බවය. තවත් ධජයක් සිය සහෝදරියගේ මාළඹේ පිහිටි නිවසේ ඇති බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පොලීසිය එම ධජය සහෝදරියගේ නිවසේ අල්මාරියක් පිටුපස බෑගයක දමා සඟවා තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

මෙවැනිම ආකාරයේ තවත් ධජයක් ජනාධිපති මන්දිරයෙන් සොරාගෙන එය සරමක් ලෙස ඉනට ඇදගෙන මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් සම්බන්දයෙන්ද පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ. පුද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටින පුද්ගලයෙක් වන ඔහු අලුත්ගම පදිංචිකරුවෙක් බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අමු තේ දළු මිල ඉහළට !

මේවනවිට තේ දලු මිල 100% ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ, සභාපති තුෂාර ප්‍රියදර්ශන පවසන්නේ මේ වන විට අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවය

එහෙත් මීට මාස කිහිපයකට පෙර අමු තේ දළු කිලෝවක මිල පැවතියේ රුපියල් 100 ත් 130 ත් අතර බවත් ඔහු පවසයි .

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

රුවන්ට සහ අකිලට : ජනාධිපති උපදේශක තනතුරු !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ එජාප හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට ජනාධිපති උපදේශක තනතුරු පිරිනමා ඇත.

ඊට අනුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර ඇති අතර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට ඔහුට පවරා ඇත.

 

ලිබරල් සහෝදරත්වය සංවිධානය : ගෝල්ෆේස් ඇතුළු විරෝධතාවලින් ඉවත් වෙයි !

ගෝල්ෆේස් විරෝධතාවය ඇතුළු සෙසු විරෝධතා වලින් ඉවත්වීමට තීරණය කළ බව අරගලයේ පාර්ශ්වකාර සංවිධානයක් වූ 'ලිබරල් සහෝදරත්වය' පවසයි.

ලිබරල් සහෝදරත්වය වෙනුවෙන් එහි සභාපති හේමාල් දහනායක, මහලේකම් රාජිත අබේගුණසේකර, සම කැඳවුම්කරුවන් වන සහන් වීරතුංග, ප්‍රවීනා රවිරාජ් සහ ජාතික සංවිධායක උසාමා ලියායුදීන් යන අයගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් කරල ඇත .

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

"ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ගෙනගිය එම ඓතිහාසික අරගලය අප විශ්වාස කරන අයුරින් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ධූරය හැරයාමෙන් සාක්ෂාත් විය."

"කෙසේ නමුදු මෙම සමස්ථ අරගලය අවසන් වන්නේ ලිබරල් සහෝදරත්වය වන අපද ඇතුළුව, සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් විශාල ගණනකගේ මැදිහත්වීමෙන් සැදුම් ලත් 'ගාලුමුවදොරින් ඔබ්බට' යෝජනා මාලාවේ අඩංගු සමාජීය, ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමෙන් අනතුරුවය. අප විශ්වාස කරන අයුරින් මෙය සිදු කළ හැක්කේ පුළුල් දේශපාලනික, ආර්ථික සහ සමාජීය කථිකාවතක් අදාළ පාර්ශව සමඟ ඇතිකර ගැනීමෙන් විනා තවදුරටත් වීදි බැස අරගල කිරීමෙන් නොවේ."

ලිබරල් සහෝදරත්වය සංවිධානය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

Libaral

ෆොන්සේකාට අහුවෙන්න එපා : සර්ව පාක්ෂික අරගලකරුවන් නිවේදනයක් !

සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් 'අරගලයට දින දීම' පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇදදැමීමක් බවත්, එය අරගලයට එරෙහි කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් පමණක් බවත් අරගලයේ පාර්ශ්වකාර සංවිධානයක් වන 'සර්වපාක්ෂික අරගලකරුවෝ' අවධාරණය කරයි.

එහෙයින් පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තෙක් ඔබේ පාලකයා දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ඔබ තුළ පවතින විශ්වාසය පළුදු කර නොගන්නා ලෙසත් එම සංවිධානය සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

'සර්වපාක්ෂික අරගලකරුවෝ' එම ඉල්ලීම සිදුකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

Sarawa 2022.07.29

Page 219 of 386