පුවත්

තැපැල් ඡන්ද පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කරයි
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාරදීම ලබන 21 වැනි දා සිදු වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (07) නිවේදනය කළේය.

ලංකා බැංකු සේවක සංගමය වර්ජනවලට නෑ !
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ වර්ජනය සඳහා සහාය නොදෙන බව ලංකා බැංකු සේවක සංගමය පවසා ඇත.
ඒ අනුව අඛණ්ඩ වැඩ වර්ජන හෝ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමට සැලසුමක් නැති බව එහි ලේකම් ධනංජය සිරිවර්ධන සඳහන් කරයි.
රජය මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟ ආර්ථික වැඩපිළිවෙළක සිටින නිසා ඊට බාධා වන ආකාරයේ කටයුතුවලට එක් නොවන බවද ඔහු පවසයි.
මෙරට ආර්ථිකයේ ප්‍රධානම මර්මස්ථාන යක් ලෙස සැලකෙන ලංකා බැංකුව මේ මොහොතේ තවදුරටත් රටේ ආර්ථිකයට අගතිදායක කිරීමට දායක නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක් !
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) රැස්වූ අවස්ථාවේය.
තවද විශේෂ විගණන වාර්තාවෙන් මතු කෙරුණු කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටද එහිදී එකඟත්වයක් ඇතිව තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය කෝප් රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණ. විශේෂයෙන් පාලක සභාවේ 209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳවද සාකච්ඡා කිරීමට එකඟත්වයක් ඇතිවිය.
අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කර ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අත්සන් කළ හත් දෙනා මෙම රැස්වීමේ අත්සන් නාමලේඛනයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බව පැවසීය.
එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ඉහත නිර්දේශය කළේය.

රනිල් යුගයේ ඇරඹුම !
අසත්‍යයට, බොරුවට ඉඩක් ඇත්තේ සත්‍ය අනාවරණය වන තුරු පමණය. අසත්‍ය විසින් කොහොම සත්‍ය යටපත් කරන්න හැදුවත් දියේ ගිල්ලවන්නට වෙර දරන රබර් බෝලයක්, යළි යළිත් දිය මතුපිටට පැමිණෙනවා මෙන් අසත්‍ය දෙබෑකරගෙන සත්‍ය මතුපිටට පැමිණෙයි. එපමණක් නොව එහිදී සත්‍ය විසින් අසත්‍ය මුළුමනින්ම නිරාවරණය කරයි. මාර්තුව ඇරැඹුණේද එහෙමය. ඒ පසුගිය කාලය පුරා නරුම විපක්ෂය නිතර මතුරා වැපුරූ අසත්‍යයක් අනාවරණය කරමින්ය. එනම් ජනවරමක් නැති ජනාධිපති රනිල්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) සමඟ සාකච්ඡා මිස මූල්‍ය සහයක් නම් නොලැබෙන බවය.
විපක්ෂයේ මේ අසත්‍ය වැපිරීම ඇරඹුණේ ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ පත්වූ අවස්ථාවේ සිටමය. එහිදී විපක්ෂය කියා සිටියේ ජනාධිපතිට කිසිදු ජාත්‍යන්තර දේශපාලන සහායක් නොමැති බවය. ඊට හේතුව ලෙස විපක්ෂය කිව්වේ, ජනාධිපතිට ජනවරමක් නැති බවය. නමුත් ජනාධිපති ධුරය ලබා මාස කිහිපයක් යන තැන විපක්ෂයේ ඒ සියලු චෝදනා බොරු බව ජනාධිපති රනිල් ඔප්පුකර පෙන්වීය. එපමණක් නොව ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාම අත්‍යවශ්‍ය බවත් නැතහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් දශක ගණනාවක් ඇදී යනු ඇති බවද පැවසීය.
එහිදී ද විපක්ෂය චෝදනා කළේ මෙරට දේශපාලනය අස්ථාවර නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වැඩසටහනක් සඳහා යොමු නොවන බවය. රනිල්ගේ ආණ්ඩුවට ජන වරමක් නැති නිසා IMF මූල්‍ය සහනයක් නොලැබෙන බවය. IMF සහාය ලැබීමට නම් කඩිනමින් මැතිවරණයක් පවත්වා ජනතා සහය ඇති ආණ්ඩුවක් පිහිටවිය යුතු බවය. රටේ ආර්ථිකය නැත්තටම වැටී අන්තිම හුස්ම හෙළමින් සිටි පසුබිමේ විපක්ෂයේ පාර්ශ්ව හොද්ද බොර කරගන්න ගියේ එහෙමය. ඒ හමුවේ ජනාධිපතිවරයාගේ හැසිරීම සිහිපත් කළේ "ලෙඩ්ඩු කළබල වුණාට දොස්තර කළබල නෑ" යන කියමනය. විපක්ෂයේ මේ කිසිම කතාවකට පිළිතුරු දෙන්න ජනාධිපති රනිල් කටයුතු කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලංකාවේ ණය හිමියන් සහ ලෝක බැංකුව ඇතුළු රාජ්‍ය සහ සංවිධාන සමඟ තම නියෝජිතයන් යොදවා අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමය. මාස කිහිපයක් තිස්සේ සිදුකළ ඒ සාකච්ඡාවල ප්‍රතිඵල දැන් පැමිණ ඇත.
එනම් ශ්‍රි ලංකාව ඉල්ලුම් කර තිබෙන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම ලබාදීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් අද හෙටම දිනයක නිල ප්‍රකාශයක් මුල්‍ය අරමුදල විසින් සිදු කිරීමට නියමිතය.
ණයහිමියන්ගේ එකඟත්වය
ණය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලැබු ආර්ථික ප්‍රතිසංස්කරණ නිර්දේශ සියල්ල මේ වන විට ශ්‍රි ලංකාව සපුරා තිබෙන අතර ප්‍රධාන කොන්දේසිය වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව එම සියලු ණයහිමියන්ගේ එකඟත්වය ද ලැබී ඇත. අවසන් වශයෙන් චීනයද ඒ සඳහා ඇති එකඟත්වය පසුගියදා පළ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ.
එසේම පසුගිය 02 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෙලා ජොර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් සූම් අන්තර්ජාල යෙදවුමක් හරහා සිදුව තිබිණි. එහිදී ණය පහසුකම ලබාගැනීම සහ ණය ප්‍රතිවයුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබු අතර ණය පහසුකම් ලැබීම සම්බන්ධයෙන් එහිදී සුබවාදී ප්‍රතිචාරයක් හිමිව තිබිණි. ඇය මෙම සාකච්ඡාවට සම්බන්ධ වූයේ චීන අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව වීමද විශේෂත්වයක් ය. චීන අගමැති ලී කෙකියැං සමඟ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සිදුකළ සාකච්ඡාවේදී ණය අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන්ගේ සහාය ලබාදීමට විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා සහතිකව ඇති බවත් දැනගන්නට ඇත.
මේ සමඟ IMF සමඟ වැඩසටහනකට යාමේ අවස්ථාව මෙරටට හිමි වෙයි. ඒ සමඟ පසුගිය සමයේ වූ වැරදි, ජනප්‍රියවාදී ආර්ථික උපාය මාර්ග හමුවේ නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කිරීම නිසා ලෝකයේ කිසිදු රටක්, මූල්‍ය ආයතනයක් සමඟ මූල්‍ය ගනුදෙනුවක් කිරීමට තිබූ බාධාවද ඉවත්ව යයි.
මේ හමුවේ නිරාවරණය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට නොලැබෙන බවට හෝ තවත් මාස ගණනක් කල් යන බවත් ජනවරමක් නැති ආණ්ඩුවකට ණය නොදෙන බවත් ආදී වශයෙන් මේ වනතුරුත් ඇතැම් විපක්ෂ කොටස් ප්‍රචාරය කරමින් සිටි අසත්‍යයයි. විපක්ෂයේ නරුම දේශපාලනය විසින් ඒ අවස්ථාවේ සඟවනු ලැබුවේ, IMF ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය බලවතුන් ගනුදෙනු කරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යය සමඟ මිස රනිල්ගේ ආණ්ඩුව සමඟ නොවන බවය. කොහොම නමුත් විපක්ෂය මූලිකව ගොඩනැගූ ඒ අසත්‍යයේ අවසානයේ සැරටම ගිලුණේ විපක්ෂ නායක සජිත්ය. ඔවුන්ම ගොඩනැගූ අසත්‍යයේ සජිත් කොච්චර ගිලුනාද කිව්වොත්, "මේ ආණ්ඩුව සමඟ IMF ඇතිකර ගන්න ගිවිසුම්වලට අපේ සජබ ආණ්ඩුවක් යටතේ වලංගු නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිහි තබාගත යුතුයි" කියා තග දමන තැනට පහතට වැටිණ.
නමුත් වත්මන් ප්‍රතිඵල ඔප්පු කර ඇත්තේ කතා සාප්පු වලට, ඊනියා කයිවාරුවලට ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළ සීමා කරන්න හෝ කඩාකප්පල් කරන්න නොහැකිව ඇති බවය. නමුත් ඒ උත්සාහය ඔවුන් අත්හැර නොමැති බවත් ජනතාව සිහිතබා ගතයුතුව ඇත. විශේෂයෙන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරතිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට ඔවුන් ඕනෑම වන්දියක් ගෙවීමට සූදානමක් ඇති බව පෙනෙන්නට ඇත. ඊට ආසන්නතම උදාහරණය වන්නේද IMF මූල්‍ය පහසුකම මෙතරම් කඩිනමින් අනුමතකර ගැනීමට හැකිවීමය. අර්බුදය විසඳා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබුණේ මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමණය. දහසකුත් බාධා මධ්‍යයේ මේ කටයුත්ත මෙතරම් කඩිනම් වුයේ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගත යුතු පියවර නිසි වේගයෙන් ගෙන සෘජුව ක්‍රියාත්මක කිරීමට තරම් එඩිතර වීම නිසාය. එසේ නොවන්න තවත් මාස කිහිපයක් ගියා නම් රට පත්වන්නේ පසුගිය වසරේ මැයි - ජූලි මාසවල රට තිබූ තත්ත්වයටත් අන්ත තත්ත්වයකටය. ඒ අනුව IMF වැඩසටහන සඳහා යොමු වීම සාර්ථක කර ගැනීම එම පියවර ක්‍රියාත්මක කිරීමට හැකි වීම මේ මොහොතේ සියලු ලක්වාසීන් ලැබූ ඉහළම ජයග්‍රහණයක් වන අතර මිලියන 22 ක ජනතාව විසින් අනිවාර්යයෙන් සැමරිය යුතුද මොහොතකි.
එසේ වුවත් දේශපාලනය කියන්නේ බල ක්‍රීඩාවක් නිසා ජනාධිපතිට සිතුසේ සෙල්ලම් කරන්න දෙන්න විපක්ෂය සූදානම් නැත. ඒ නිසාම ඔවුන් දැන් IMF ගැන කියූ බොරු පසෙකට ගෙන සටන් පාඨ මෙන්ම සටන් පෙරමුණුද වෙනස් කර ඇත. විපක්ෂය දැන් යළිත් සටන් පෙරමුණක් නිර්මාණය කරන්න කැස කවන්නේ ආදායම් බදු ප්‍රතිශතය ඉහළ දැමීමට එරෙහිවය. මේ සම්බන්ධව වෘත්තීයවේදීන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා මාධ්‍ය සංදර්ශනයක් පවත්වා තර්ජනය කර සිටියේ, 53 හර්තාලය ගැන අහලා තිබුණාට දැක නොමැති කාටත් මාර්තු මාසයේ එය අත්දකින්න ලැබෙනු ඇති බවය. ඒ ආකාරයේ තර්ජනයක් ඔවුන් එල්ල කරන්නේ ආදායම් බදු ප්‍රතිශතය වැඩි කිරීමට එරෙහිවය. ආණ්ඩුව සිය ප්‍රතිපත්තිය හකුළා ගන්නේ නැත්නම් 53 හර්තාලයටත් වඩා දරුණු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා තැනට කටයුතු කර රටම ඇනහිටවන බවය. මේ වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ආණ්ඩුවට ඔවුන් විසින් ලබාදී ඇති අවසන් දිනය මාර්තු 08 වනදාය.
රජයේ ආදායම
විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ කුහක වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, පිළිබඳව IMF ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය බලවතුන් පවසන්නේ රජය ගත් මේ පියවර නිවැරදි මෙන්ම කාලෝචිත බවය. විශේෂයෙන් නව බදු ප්‍රතිපත්තිය හරහා හඳුන්වාදී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධාන පවසයි. ලංකාවේ ප්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමය. 2021 වසරේ දී දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 7.3% කි. එය ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳා බැලීමේ දී අඩු බදු එකතු කිරීමකි. එම තත්ත්වය 14% -15% ක ආසන්නයටවත් ගෙන ඒමට අසමත් වුවහොත් රටට සිදුවන්නේ තවදුරටත් අර්බුදයේම ගිලී වැනසෙන්නටය.
අවිචාරශිලී බදු සහන
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළ කරුණක් වන්නේ රජයේ ආදායම් වියදම් අතර තිබෙන අධික පරතරය පියවීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට බාහිර ණය හිමියන් ප්‍රතික්ෂේප කරන බවය. ඒ තම රටවල වැසියන්ගෙන් බදු හරහා අයකර ගන්නා බදු මුදල්, එසේ බදු අයකර ගැනීමට අසමත් වීම ආර්ථික අර්බුදයේ කොටසක් බවට පත්කරගෙන සිටින රටකට ලබාදීම ප්‍රශ්නයක් කියාය. එය ඇත්තය. අඩුම තරමින් ණයක් ගන්න රටකට ඒ හැකියාවවත් තිබිය යුතුය. ඒ අනුව රජයේ ආදායම් ඉහළ නංවාගැනීම සඳහා බදු සංශෝධනය අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස විය. එමෙන්ම මෙම බදු සංශෝධනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බාහිර ණය හිමියන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට ද අත්‍යාවශ්‍යය. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාවට නැංවූයේ ඒ ප්‍රතිපත්තිය ය.
මේ සියල්ල සඟවන විපක්ෂයේ බදු විරෝධී පිල්ලි සත්‍ය විකෘති කරන්න ගෙන ඇත්තේ, රජය බදු වැඩි කර ඇත්තේ වෘත්තිකයන්ට නැතිනම් ලක්ෂයට වඩා වැටුප් ලබාගන්නා අයට පමණක් බව හැඟෙන ප්‍රකාශ සිදුකරමින් ය. විශේෂයෙන්ම මහා පරිමාණ පෞද්ගලික සමාගම්, ව්‍යාපාරයන් ආදියෙන් නියමිත බදු අය කරගන්නේ නැති බව, එම පාර්ශ්වවලට බදු සහන හිමිවීම හෝ බදු පැහැර හැරීමට අවස්ථාව දී ඇති බවත් කියමින් ඇත. ඒ නිසා බදු හොරුන්ගෙන් බදු අයකර නොගෙන මේ ඉහළ වෘත්තිකයන්ගෙන් බදු අය කරගැනීම අසාධාරණ බව මේ පිරිසේ කයිවාරුවය. නමුත් මෙය ප්‍රලාපයකි. 2021 වසරේ බදු අය කරගැනීම් සහ 2023 වසරේ බදු ඇස්තමේන්තු පරික්ෂාකර බැලුවහොත් ඉතා පැහැදිලිව විශාල වශයෙන් බදු අය කරගැනීමක් සිදුකර ඇත්තේ කවරෙකුගෙන්ද යන්න පැහැදිලි වෙනු ඇත. 2021 දී උපයන විට බදු ආදායම වූයේ රුපියල් මිලියන 15,353 කි. එය මිලියන 100,000 කට ගෙන ඒම මෙම වසරේ අපේක්ෂාවය. එමෙන්ම ආයතනික ආදායම් බදු ලෙස 2021 දී ලැබුණේ රුපියල් මිලියන 249,837 කි. එය රුපියල් මිලියන 597,000 දක්වා මෙම වසරේදී අපේක්ෂා කරයි. මේ ආකාරයෙන් මෙරට පවතින බදු වර්ග 20 කින් පමණ බදු ආදායම් ඉහළ දැමීම සිදුකර ඇත. ඒ අනුව 2021 දී රුපියල් මිලියන 302,115ක් වූ එම බදු ආදායම රුපියල් මිලියන 912,000 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය. සමස්ත බදු ආදායමෙන් උපයන විට බදු ප්‍රතිශතය 11% ක් පමණය.
2021 වන විට බදු ආදායම් පහළ වැටුනේ කිසිදු වග විභාගයක් නැතිව බදු සහන දෙමින් බදු ලිපිගොනු ප්‍රමාණය ලක්ෂ 5 කට ආසන්නව පහත දැමීම නිසාය. 2019 වන විට බදු ලිපි ගොනු ලක්ෂ 14ක් ඉක්මවා තිබුණු අතර එය තවදුරටත් පුළුල් කර බදු නොගෙවන එහෙත් ඉහළ ආදායම් ලබන පිරිස බදු ක්‍රියාවලියට දායක කරගැනීමේ සැලසුම් සකස් කර තිබිණි. එම ක්‍රියාමාර්ග සියල්ල අත්හිටුවීම මත රාජ්‍ය ආදායම අඩකින් පමණ අහිමි වී රට බංකොලොත් විය. රටේ ආර්ථිකය 2019 වසරේ තත්වයට හෝ ගෙන ඒමට නම් එම වසරේ ක්‍රියාත්මක බදු ක්‍රමය යටතේත් තවත් පහක් හයක් ක්‍රියාත්මක කළ යුතුව තිබිණි. නමුත් රට තවත් කඩා වැටීම වැළැක්වීමට නම් ඊට පෙර කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග මඟ හැරිය නොහැකි විය. ඒ අනුව එකවර වැඩි ප්‍රතිශතයකින් බදු වැඩි කිරීමටත් බදු නොගෙවා සිටි අය එම ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමෙත් දැඩි පියවරකට යෑම රජයට අනිවාර්ය විය. එය සාර්ථක වුවහොත් රාජ්‍ය ආදයම යම් ස්ථාවරත්වයකට පත් වී අනෙක් ආදායම් මාර්ග විවර වීමත් සමඟ මෙම වසර අවසන් වන විට විශේෂයෙන්ම උපයන විට බදු ගෙවන පිරිස් වෙත යම් බදු සහනයක් ලැබීමේ හැකියාව තිබේ. එතෙක් බදු බර දරන්න වෙනු ඇත. ඒ වැළැක්විය නොහැකිය. එහෙත් ඇත්ත ප්‍රශ්නය මේ බදු බර නොවේ. ඔවුන්ගේ ණය තුරුස්ය. එය නම් විසඳා ගතයුතුව තිබෙන්නකි.
එඩිතර නායකත්වය
කොහොම නමුත් මේ වන විට උද්ධමනය වේගයෙන් පහළ යමින් ඇත. ඩොලරයේ අගයත් යම් තරමකින් අඩුව ඇත. පොලී අනුපාතය ද අඩු වෙමින් තිබේ. ශ්‍රී ලංකාව මිහිමත ශාපලත් රටක් වීමේ අනතුර දැන් මුළුමනින්ම පහව යමින් ඇත. ඒ සියල්ල සිදු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් කඩිනම් හා නිවැරදි ක්‍රියාමාර්ග නිසාය. ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදි මෙම වසර අවසන් වන විට සියලු දෙනාටම යම් සහනදායක කාලයක් උදා වීමක් සිදුවෙනු ඇත. ඒ බව බොහෝ ආර්ථික විශේෂඥයන් පවා අවධාරණය කරන්නක් ය. කෙසේ හෝ මේ මොහොත රටට අත්පත් කරදුන්නේ රනිල් වික්‍රමසිංහගේ එඩිතර නායකත්වයය. ඒද විපක්ෂයේ කිසිම සහායක් නොමැතිවය. දැන් ඇත්තේ ඊළඟ පියවර ක්‍රියාවට නැංවීමය. එනම් 2048 බලගතු සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමය. මෙය ශ්‍රි ලංකාවේ විප්ලවීය සමයක් ලෙස හැඳින්විය හැකි තරම් බරපතළ ව්‍යුහමය වෙනසක් කරන පළමු අවස්ථාව බව කිව යුතුය. 1978 දී ආර්ථිකය විවෘත කිරීමට එහා ගිය වෙනසක් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සිදුවෙමින් තිබේ. ඒ අනුව මේ මොහොත කියන්නේ "රනිල් යුගයේ ආරම්භය" ය.
කුලසිරි ලියනගේ

ලංකාවේ ප්‍රගතිය ගැන IMF ප්‍රසාදය !
ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.
එහි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන එහි විධායක මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ය.
අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

දුෂ්කරම අවස්ථාවේ පිහිටවූ ප්‍රබල කාන්තාවන් තිදෙනෙක් ගැන ජනපති කියයි !
ආසියානු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
සාර්ක් සංවිධානය තුළ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සඳහන්ව නැති බැවින් එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සාර්ක් රටවල ප්‍රධාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් මේ වසර තුළ මෙරට දී පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමිනි.
“ඇය දැයේ අභිමානයයි” යන තේමාව යටතේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය විසින් “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය.
“2023 ජාත්‍යන්තර කාන්තා දිනය” වෙනුවෙන් අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර එහිදී ආචාර්ය සුජාතා අත්තනායක, කලාශූරී ශ්‍රියානි අමරසේන, අනුල ද සිල්වා සහ රශ්මි නිමේෂා ගුණවර්ධන යන මහත්මීහු සම්මාන ලැබූහ.
ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගත් හොඳම කාන්තා ව්‍යවසායකයන් 25 දෙනකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කටයුතු සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් මෙන්ම අසීරු අවස්ථාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට සහාය දුන් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සිතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා යන මහත්මීන්ට ස්තුතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
2023 වර්ෂය වෙනුවෙන් කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් “ඇය දැයේ අභිමානයයි” යන තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා.මෙම කටයුතු සංවිධානය කිරීම සඳහා වෙහෙස මහන්සි වූ රාජ්‍ය ඇමතිතුමිය, ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාට මම ස්තූති කරනවා. රාජ්‍ය අමාත්‍යවරිය විශාල වැඩ කොටසක් බාරගෙන රට පුරා යමින් එම කටයුතු ඉදිරියට ගෙන යනවා.
2022 ජාත්‍යන්තර කාන්තා දිනයත්, 2023 ජාත්‍යන්තර කාන්තා දිනයත් අතර කාලය තුළ රටේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. රටේ ආර්ථික බිඳ වැටීම ඊට මූලික හේතුවයි. කාන්තාවන් හෝ පිරිමින් වේවා මේ රටේ ජනතාව වින්ද දුක මම මෙම අවස්ථාවේ සිහිපත් කළ යුතු නැහැ. කවුද මීට වග කිව යුත්තේ කියා දැන් රට තුළ විවාදයක් යනවා. මේ විවාදයේදී විවිධ නම් කියනවා. එම නම් මම සඳහන් නොකළත් එක කාන්තාවකගේවත් නම ඒ අතර නැති බව කියන්න කැමතියි. එසේ නම් මෙම සිදුවීමට කාන්තාවන් වග කිව යුතු නැහැ.
අපට සහාය දක්වන රටවල් සමඟ මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අපේ එකඟාව ප්‍රකාශ කිරීමේ ලිපියට මමත්, මහබැංකු අධිපතිතුමත් අත්සන් තැබුවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඊයේ ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ලබා දී තිබුණා.
අප පසුගිය කාලයේ අත් විඳපු දුකෙන් ජනතාව නිදහස් කර ගැනීමට කටයුතු කළ අයගේ නම් පිළිබඳ සලකා බැලුවහොත් එහි කාන්තාවන් තුන් දෙනෙක්ගේ නම් සඳහන් වෙනවා. ඒ අය ගැන පළමුවෙන්ම සඳහන් කළ යුතුයි කියා මම හිතුවා.
නිර්මලා සිතාරාම් තමයි ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය. එතුමිය තමයි අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර, ලංකාවට ඩොලර් බිලියන 03ක් ණය ලබාදීමට තීරණයක් ගනු ලැබුවේ. ඒ පසුගිය අප්‍රේල් මාසයේ දී අපි බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමෙනුත් අනතුරුවයි. බංකොලොත් වු රටකට ණය ලබා දෙනවා කියන එක ඉතා නිර්භීත ක්‍රියාවක්. ඒ නිසා අපි පළමුව එතුමියට ස්තූතිවන්ත විය යුතුයි. එම මාස 03 – 04 තුළ එම රුපියල් බිලියන 03 නොතිබුණා නම් අද රට පවතින තත්ත්වය මම කිව යුතු නැහැ.
දෙවනුව අපි ප්‍රධාන රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වූවා. ඒ අතරින් ප්‍රධාන රටක් වන්නේ ඇමරිකාවයි. එහි නායකත්වය ගනු ලැබුවේ එම රටේ භාණ්ඩාගාරයේ ලේකම් ජැනට් යෙලන් මහත්මියයි. අපි එතුමියටත් ස්තූතිවන්ත විය යුතුයි.
රටවල් සමඟ මෙන්ම පැරිස් සමුළුව, ලෝක බැංකුව ඇතුළු සියලුදෙනා සමඟ සාකච්ඡා කිරීම සඳහා එහි නායකත්වය ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පුද්ගලික කැපකිරීම කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය බව මම සඳහන් කළ යුතුයි. මේ කාන්තාවන් තිදෙනා අපට සහාය දැක්වූවේ නැති නම් අප ඉතාමත් අසීරුතාවට පත් වෙනවා.
එක පැත්තකින් මේ ප්‍රශ්නයට වගකිව යුතු පිරිස අතර කාන්තාවන් නැහැ. අනිත් අතට උපකාර කළ අය අතර කාන්තාවන් සිටිනවා. මෙම කාන්තාවන් තිදෙනා දෙස අවධානය යොමු කළ විට අපි හිතනවා මෙම කාන්තාවන් ඇයි මෙහෙම ස්ථානවල සිටින්නේ, නමුත් ඇයි අපේ රටේ නැත්තේ කියා. ඔවුන් තිදෙනා පමණක් නොවෙයි යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය තවත් කාන්තාවක්. යුරෝප සංගමයේ මහ බැංකුවේ අධිපතිනිය ක්‍රිස්ටීන් ලගාර්ඩ් තවත් කාන්තාවක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය, ඇමරිකාවේ භාණ්ඩාගාරය මේ සියල්ල අද කාන්තාවන් අතේ තිබෙන්නේ. ආර්ථිකයට බලපෑම් කිරීමට කාන්තාවන් ශක්තිමත් වී තිබෙනවා.
එපමණක් නොවෙයි ලෝක වෙළෙඳ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඔකොන්ජො ඉවේලා වගේම ලෝක ආහාර වැඩසටහනේ නව අධ්‍යක්ෂවරිය සින්ඩි මැකේන් කාන්තාවන්. ඉතින් අපට ආහාර, ආධාර ලබාදෙන මෙම ආර්ථික ක්ෂේත්‍රයේ බොහොමයක් කටයුතු සිදු කෙරෙන්නේ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම වසර 50 තුළ කාන්තාවන් ඉදිරියට පැමිණීම පිළිබඳ අපට සතුටු විය හැකියි. මෙය සිදුව තිබෙන්නේ යුරෝපීය රටවල සහ ඇමරිකාවේ ඒ අය අනුගමනය කළ ප්‍රතිපත්ති නිසයි.
විශේෂයෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් අප ආරම්භ කළා. ලංකාවේ සහ ආසියාවේ රටවල් අතර තිබෙන වෙනස එයයි.
අප ලංකාව දෙස අවධානය යොමු කරන විට වසර 92කට පෙර අපේ පළමු කාන්තා මන්ත්‍රීවරිය තෝරාපත් කර ගත්තා. 1960දී ලොව පළමු කාන්තා අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්කර ගත්තා. එහෙත් අප ප්‍රගතියත් ලබා නැහැ.අද ඇතැම් රටවල දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය අවම වශයෙන් 20% - 25%ත් අතර තිබෙනවා. නමුත් අප ඒ තත්ත්වයට පැමිණ නැහැ.
අපේ පරිපාලන අංශයේ නම් කාන්තාවන් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයේත් කාන්තා නියෝජනය වැඩි වී තිබෙනවා. නමුත් ව්‍යාපාර අංශය වැනි අංශ ගණනාවක මෙම අඩු පාඩුව තිබෙනවා.
මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට කාන්තා කටයුතු අමාත්‍යාංශය සමඟ ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කිරීම සඳහා කමිටු 02ක් පත් කර තිබුණා. ඒ වගේම ආධාර ලබා ගත්තා.
කැබිනට් මණ්ඩලය විසින් මෙම කමිටු දෙකෙහි වාර්තා අනුමත කර, මා වෙත ලබා දී තිබෙනවා. 2023 – 2033 දක්වා “ස්ත්‍රී, පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාවන් සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” යන දෙකම අද ඉදිරිපත් කර තිබෙනවා. අප මෙම කටයුතු මෙතනින් නවත්වන්නේ නැහැ. මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර, ඇතුළත් විය යුතු සංශෝධන පිළිබඳ අදහස් ලබා ගැනීමට කටයුතු කරනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය සමඟ සාකච්ඡා කර අපේ ඉල්ලීම මත දැන් කෙටුම්පත් 03ක් සකස් කර තිබෙනවා.
එකක් ස්ත්‍රී පුරුෂ සමාජභාවි සහ සමානතා පනත, අනෙක කාන්තා සවිබල ගැන්වීමේ පනත හා ජාතික කොමිෂන් සභාවයි. ඒවා මෙම මාසය තුළ සාකච්ඡා කර අඩුම තරමින් ජුනි, ජූලි මාස වන විට නීතිගත කළ යුතුයි.
මීට අමතරව කරූ ජයසූරිය මැතිතුමා රජයට සම්බන්ධ නොවන ජන සභා පිළිබඳ පනතක් සකස් කරගෙන යනවා. පාර්ලිමේන්තුවේ කාන්තා කණ්ඩායමටත්, අමාත්‍යාංශයටත් මම යෝජනා කරනවා එතුමා සමඟ සාකච්ඡා කර, එහි කාන්තා නියෝජනය සහ කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කර ගන්නා ලෙස.
මීටත් අමතරව කාන්තාවන් සහ ස්ත්‍රී, පුරුෂ සමාජභාවය පිළිබඳ ආයතනයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කාන්තා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එමගින් අපට හැකියාව ලැබෙනවා . කාන්තාවන් වෙනුවෙන් මෙම වැඩ කොටස ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එය අපේ ප්‍රතිපත්තියේ කොටසක්.
ඒ සමඟම කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කිරීමට විවිධ අංශවල කාන්තා නියෝජිතයන් සමඟ විශාල සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එම ක්ෂේත්‍ර මොනවාද කියා අපේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසඳයත්, අමාත්‍යාංශයේ ලේකම්තුමියත් අදාළ නිලධාරිනුත් සමඟ අපි එම ක්ෂේත්‍ර හඳුනා ගනිමු. මම හිතන්නේ 500-1000 අතර කණ්ඩායමක් එතැනට රැස් වෙයි. ඒ අය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි.
අද කාන්තා කටයුතු අමාත්‍යාංශය වගේම දීප ව්‍යාප්තව කාන්තා දිනය සමරනවා. දේශපාලනය නිසා ඇතැම් ඒවා තරගකාරිත්වයක් ගෙන තිබෙනවා. නමුත් කාන්තා අයිතිවාසිකම් සහ එය ක්‍රියාවට නැංවීම පිළිබඳ සියලුදෙනා එකට එකතු විය යුතුයි. එම ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් තමයි අමාත්‍යාංශය විසින් ඊළග පියවර ගනු ලබන්නේ. එයයි අපේ නව වැඩසටහන.
නමුත් අපි එකක් මතක තබා ගත යුතුයි. අපි ඉන්නේ ඇමරිකාවේවත්, යුරෝපයේවත් නොවෙයි. අපි ඉන්නේ ආසියාවේ. ආසියාවේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වී නැහැ. මෙලෙස කාන්තාවන් ඉදිරියට පැමිණ නැහැ. සමස්ත ආසියාව දෙස අවධානය යොමු කරද්දි කොරියාව, පිලිපීනය, මියන්මාරයේ කාන්තා රාජ්‍ය නායිකාවන් සිටියා. ඉතිරි සියලුදෙනා පැමිණ තිබෙන්නේ දකුණු ආසියාවෙන්. පාකිස්ථානයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් සහ ලංකාවෙන්. සෝනියා ගාන්ධි මැතිනිය ඇතුළු හත් දෙනෙක් සිටිනවා. නමුත් මෙම කලාපවල කාන්තාවන්ට ලැබී තිබෙන අයිතිවාසිකම් පිළිබඳව අපට සෑහීමකට පත්වෙන්න බැහැ.
අද ඇෆ්ගනිස්ථානයේ සිදුව තිබෙන්නේ පසුබෑමක්. කාන්තාවන්ට අධ්‍යාපනය ලබා ගන්න බැහැ, රැකියාවකට යන්න බැහැ. තම අයිතිවාසිකම් භුක්ති විඳින්න බැහැ. මෙම තත්ත්වය තුළ දකුණු ආසියාව ලෙස විශේෂයෙන් ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ලංකාව ලෙස අපි මේ ගැන සාකච්ඡා කරමු.
මොකද සාර්ක් සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සඳහන්ව නැහැ. මෙම අයිතිවාසිකම් ලබා ගන්නේ කෙසේ ද කියා අපි එක්ව සාකච්ඡා කර කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යංශය එකාබද්ධව මෙම රටවල ප්‍රධාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් මේ වසර තුළ ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ලංකාව පමණක් මේ තත්ත්වයෙන් ඉදිරියට ගෙන යාම සාර්ථක වන්නේ නැහැ. එය කලාපය තුළම ක්‍රියාවට නැංවිය යුතුයි. අනෙක් අයටත් එම මාර්ගයේ එන්න කියන අතර ඒ ක්‍රියාවලියේදී අපි ඉදිරියෙන් සිටිමු.
මෙම කාන්තා අයිතිවාසිකම් ක්‍රියාත්මක කර අනෙක් දියුණු රටවල වගේ කාන්තාවන්ට එම අයිතිවාසිකම් දිනා දෙමු. අද මේ රටේ ජනගහණයෙන් බහුතරයක් සිටින්නේ කාන්තාවන්. අපි එම සියලුදෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි.

රට ඉඳි බද්ද රුපියලට බස්සවයි !
ආනයනික රටඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.
එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සහන පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව රටඉඳි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රැපියල් 200 බැගින් පනවා තිබු එම බදු මුදල කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල දක්වා අඩු කර තිබේ.
මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදේශ විනිමය වැය කිරීමක් සිදු නොවන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත විවිධ රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා සුභ පතන්නන් වෙතින් ත්‍යාග හෝ පරිත්‍යාග වශයෙන් මෙරටට ලැබෙන රටඉඳි සඳහා පමණි.
2022 නොවැම්බර් 30 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2308/17 දරන ගැසට් නිවේදනයට අනුකූලව අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

පුංචි ඡන්දේ අප්‍රේල් 25 දා
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතු කරගෙන අදාළ ඡන්ද විමසීම මාර්තු 09 වැනිදා පැවැත්වීමට නොහැකිවිය.

චීනයෙන් නැගෙනහිරට ආධාර
චිනයේ බෞද්ධ සංගමය සහ චීනයේ විහාරස්ථාන හතක දායකයින් විසින් මෙරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදුන් වියළි සලාකවලින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවගේ කොටස බෙදාදීම පසුගියදා (02) සිදුවිය.
ඒ කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මිය අතිනි.
කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අඩු ආදායම්ලාභී සිංහල,දමිළ, සහ මුස්ලිම් පවුල් 225ක් සඳහා මෙහිදී වියළි සලාක බෙදා දීම සිදුවූහ.
මේ අවස්ථාවට අමරපුර මහා නිකායේ ශ්‍රී සද්දම්මවංශික පාර්ශවයේ මහා නායක පූජ්‍ය අහුංගල්ලේ සිරි සීල විශුද්ධි හිමියන් ඇතුළු මහා සංඝරත්න, ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ත්‍රිකුණාමලය මහා දිසාපති බී.එම්.එන්.ජයවික්‍රම,කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්,පූජ්‍ය පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනපති ගෙන යන වැඩපිළිවෙළට IMF සහය - සාගල
ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රසාදය පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
උපයන විට අයකරනු ලබන බද්ද ඉවත් කර ගැනීම පිළිබඳ මාර්තු 08 හා 09 දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ආර්ථිකමය වශයෙන් රට පත්ව ඇති තත්ත්වය තේරුම් ගෙන අත්‍යාවශ්‍ය සේවාවන් හා අනෙකුත් සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදෙන ලෙස සාගල රත්නායක මහතා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය.
බදු පැනවීම නිසා වෘත්තිකයන් පත්ව ඇති අපහසුතාව රජය තේරුම් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරියේ දී ගෙන ඒමට කටයුතු කරන බවත් රත්නායක මහතා පැවසීය.එම නිසා වෘත්තීය සමිති නායකයින් ලෙස රට අස්ථාවර කරන කිසිදු උත්සාහයකට සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටි සාගල රත්නායක මහතා එසේ වුවහොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇති බව ද සඳහන් කළේය.
තම මාසික ආදායම මත අයකරනු ලබන බදු ප්‍රතිශතය නිසා එදිනෙදා වියදම් සහ ගෙවිය යුතු බැංකු ණය වාරික කළමනාකරණය කර ගත නොහැකි බවත්, වැඩිවන විදුලි බිල්පත නිසා එය තවත් උග්‍ර වී ඇති බවත් වෘත්තීය සමිති නායකයින් මෙහිදී පෙන්වා දුන් අතර උපයන විට බදු අය කිරීමේ ප්‍රතිශතය සංශෝධනය කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම රජයේ බදු දැලට හසු නොවූ පිරිස් තවමත් සිටින බැවින් ඔවුන්ව සොයා බදු දැලට හසු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු ආදායමක් ලබා ගත හැකි බව ද වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දුන්හ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සභාපති මොහොමඩ් උවයිස්, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීර්ති බර්නාඩ්, ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන්, රාජ්‍ය බැංකු සාමාන්‍යධිකාරීවරුන් හා රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මම මගේ යුතුකම ඉටු කළා : ජනපති පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි

වැඩේ ගොඩ : IMF පහසුකම අනුමතයි !

ස්වාධීන කොමිෂන් සභා 09 ට අයදුම්පත් 1600 ක් !
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන කොමිෂන් සභා 9ක සාමාජික තනතුරුවලට අයැදුම්පත් කැඳවීමෙන් පසු 1600කට වැඩි පිරිසක් ඊට අයැදුම් කර ඇති බව වාර්තා වෙයි.
මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 9ක කොමසාරිස්වරුන් ලෙස පත්වීම සඳහා මෙම අයැදුම්පත් යොමු කර තිබේ.
ඉදිරි සති කිහිපය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී අදාළ කොමිෂන් සභා සඳහා සුදුස්සන් තෝරාගැනීම සිදුකරනු ඇති බවත් දැනගන්නට ඇත.

කච්චතිව් දූපතේ මංගල්‍යයට බැතිමතුන් 5,000කට අධික පිරිසක්
කොවිඩ් වසංගතයෙන් වසර 02කට පසු 5,500කට අධික බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය අද (04) පැවැත්වුණි.
පසුගිය වසරේ 2022 කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මංගල්‍යයට සහභාගි වීමට අවසර ලබා දුන්නේ බැතිමතුන් 300 දෙනෙකුට පමණක් බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ය.
එහි දෙවන දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නාවික හමුදා නිලධාරීන්, ප්‍රභූන්, මාධ්‍යවේදීන් ඇතුළු 5,000කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගි වූහ.
කච්චතිව් ශාන්ත අන්නතෝනි දේවස්ථාන මංගල්‍යයේ මංගල දිව්‍ය පූජා යාගය අද පෙරවරු 6.30ට ආරම්භ විය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ණය ප්‍රතිලේඛනගත කිරීමට උපදෙස්
2020 වසරේ ජනවාරි 01 වනදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ගනුදෙනුකරුවන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රතිලේඛනගත කළ හැකි චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.
මේ අතර උද්ධමනය පාලනය කිරීම ඉලක්ක කරගත් සැලසුම් සහගත ක්‍රියාවලියකට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම මේ මොහොතේ ගත් වඩාත් ගැළපෙන තීරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කර තිබේ.
උද්ධමන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම එමගින් පිළිබිඹු කෙරෙන බවත්, එය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමේ ක්‍රියාවලියේ කොටසක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ජී.එල්ට පොහොට්ටුවේ තනතුර අහිමි වෙයි !
මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.
පසුගියදා රැස්වූ සිය පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව එම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පැවසීය.
එම විධායක සභා රැස්වීමට සහභාගී වන ලෙස ජී.එල්. පීරිස්ට ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු ඊට සහභාගී නොවු බවද පක්ෂ ලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂයේ නව සභාපතිවරයා තෝරාගැනීම සඳහා මේ වනවිට සුදුසු නාමයන් සලකාබලමින් සිටින අතර සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
ඉදිරි සතිය තුළ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක් !
රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට (24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු
අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල 'ලංකාදීපය'ට පවසා ඇත.
සෑම ගොවි මහතකුටම මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කරයි.
පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද( සියයට 36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස් පන් සිය විසි හතකින්ද ( සියයට 30කින්) පහළ ගොස් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල කියා සිටියි.
ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහ හත් ලක්ෂ පනස් හය දහස් හය සිය අනූ එකකි.
මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පවසන මහාචාර්යවරයා, එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක පමණ පහළ යෑමක් බවද ප්‍රකාශ කරයි.
තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හය දහස් අසූ හතරක් ලෙස ගණනය කර ඇත.
මේ අතර පසුගිය වසරේදී රබර් අපනයනය සියයට 1.8 කින්ද පොල් අපනයනය සියයට 5.9 කින්ද කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පෙන්වා දෙන මහාචාර්ය වසන්ත අතුකෝරල, විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ බවද සඳහන් කර සිටියි.
මේ අතර පසුගිය රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අටදහස් හාරසිය අසූවක් පමණ වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවී ඇත.

ණය ගත් අයට සහනයක්.....
ඉහළ පොළී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසීය.
මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ණය ගෙවීමේ හැකියාව ඇති පුද්ගලයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය කර සහනයක් ලබාදීමට පියවර ගන්නා බවයි.
"වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. ඒවට අපි දැනටමත් අලුත් චක්‍රලේක දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගැන සලකාබලා බැංකුවල ණය ගෙවීමේ හැකියාව ඇති අයට යම් ආකාරයක ණය සහනයක් දෙන්න.. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ අයට සහනයක් දෙන්න."
Page 216 of 463