ගෙවී ගිය සතිය, විපක්ෂ නායක සජිත් ප්රේමදාසට ඉතාම කාර්ය බහුල සතියක් විය.
සතිය ආරම්භයට පෙර සිටම සමාජය තුළ කතාබහට ලක්ව තිබූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීමත් සමඟ ගොඩනැගුණු සමාජ කථිකාවත සහ සතිය අවසන් වීමට ඔන්න, මෙන්න කියා තිබියදී නොසිතූ ලෙස කාවන්තිස්ස ඇතාගේ හදිසි අභාවය ඒ තත්ත්වය තවත් තීර්ව කිරීමට හේතුවී තිබුණි.
වසර 12 කට පෙර හමුවූ මිතුරාට සජිත් සමුදුන් හැටි.
2014 වසරේ ගල්ගමුව සියඹලන්ගමුව වැව් ඉස්මත්ත ආසන්නයේ වනජීවී ඡායාරූප ගනිමින් හිටපු සජිත් ප්රේමදාසට, ඒ ස්ථානයේ දැවැන්ත සිරුරකින් සහ මනරම් දළ යුගලකින් යුක්තව සිටි ඇත් රජකු ඇස ගැටී තිබුනා.
ඒ අනුව කිසිදු නමක් යොදා නොතිබුණු මේ සද්ධන්තයාට කාවන්තිස්ස නම දීලා තිබුණේ සජිත්.
ඒ මීට අවුරුදු 12 කට ඉස්සෙල්ලා හරියටම කියනවා නම් 2014 අගොස්තු 18 වෙනදා වගේ දවසක.
මේ සුන්දර ඇත් රාජයා එදා ඉඳන් මේ රටම හැඳින්නුවේ කාවන්තිස්ස නමින්.
ඒත් 2026 සැප්තැම්බර් මාසයේ දිනක එයාගේ දකුණු ඉදිරි පාදයට එල්ල වෙච්ච වෙඩි ප්රහාරයක් නිසා ආබාධිත තත්ත්වයෙන් පසුවෙද්දී එයාට වනජීවී නිළධාරීන් ප්රතිකාර කරලා තිබුනා.
තමන්ම නම තියපු තමන්ගේ මිත්රයට අසාද්ය වෙලා කියලා සජිත්ට ආරංචි වුනේ ඔක්තෝම්බර් 14 රෑ. ඒ අනුව සජිත් 15 වෙනිදා උදේම ගල්ගමුවේ යන්න පිටත් වෙනවා.
ඒ යද්දී සජිත්, පශු වෛද්යවරුන්ටත් කතා කරලා තමන්ගේ යාළුවා වෙච්ච කාවන්තිස්සගේ තත්ත්වය විමසනවා. එයාගේ සෞඛ්ය තත්ත්වයේ බරපතලකම තේරුම් ගත්ත සජිත් කාවන්තිස්සගේ ප්රතිකාරවලට ඉන්දියාවෙන් විශේෂඥයින් කණ්ඩායම ගේන්න පහසුකම් හොයලා බලන්න කියලා ලක්ෂ්මන් ෆොන්සේකටත් දුරකථන ඇමතුමක් දෙන්න අමතක කරන්නේ නෑ.
ඒ අනුව ලක්ෂ්මන් ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවේ පශු වෛද්ය කණ්ඩායම සම්බන්ධීකරණයට ක්රියාත්මක වෙනවා.
ගල්ගමුවට ගියාට පස්සේ සජිත්ට තේරෙනවා කාවන්තිස්සට අත්වෙලා තියෙන ඉරණමේ පරපතලකම.
සජිත් තමන්ගේ යාළුවා ළඟටම ගිහින් එයාව සිප ගන්නේ ඒකයි. ඊට පස්සේ කොළඹ ආපු සජිත්ට 16 වෙනිදා හවස ඒ අසුබ ආරංචිය අහන්න ලැබෙනවා.
“ සර්, කාවන්තිස්ස නැතිවුනා” ටික වෙලාවක් නිරුත්තර වෙච්ච සජිත් වහාම කථා කරන්නේ ගල්ගමුවේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායක බන්දුල බණ්ඩාරනායකට.
“ බන්දුල මම සජිත් ප්රේමදාස”
“ ඔව් කියන්න සර්”
“ අනේ බන්දුල කාවන්තිස්ස නැතිවෙලා කියලා මට දැන් පණිවිඩේ ආවා. අපිට එයාව බේරගන්න බැරි උනානේ. හරිම අපරාදයක් ඒක නම්. මම අලි සිය ගණනක ෆොටෝ ගහලා ඇති. මම දැක්ක ලස්සනම ඇතා තමයි කාවන්තිස්ස. මම එයාට රජකෙනෙකුගේ නමක් තිබ්බෙත් එයා ඇත්තටම රජෙක් නිසා. අනේ බන්දුල එතෙන්ට දැම්ම ගිහින් අවශ්ය මොනවද කියලා බලන්න. මම හෙට උදේම එනවා ආයෙත් ගල්ගමුවට, ඔයා කාවන්තිස්සට පාන්සකූලේ ලෑස්ති කරන්න ඕන. හාමුදුරවන්ටත් ආරාධනා කරලා ඒක අපි කරන්න ඕන. එයා ඇතෙක් වුනාට. හොඳ හදවතක් තිබුණ ඇතෙක්. කවදාවත් කිසිම කෙනෙකුට හිංසාවක් කරපු නැති කෙනෙක්. ඇත්තටම මට හරිම දුකයි එයාව අපිට බේරගන්න බැරි උනානේ.”
ඒ අනුව කාවත්තිස්ස අවසන් හුස්ම හෙළපු ගල්ගමුව, සියඹලන්ගමුව වෙල්යායට සජිත් පහුවදා උදේම යනවා. ඊට පස්සේ බෞද්ධ චාරිත්රානුකූලව පැන්වඩලා, මතකවස්ත්ර පූජාකරලා, මහාසංඝරත්නය වැඩම කරලා පාන්සකූලය දීලා තමන්ගේ සද්ධන්ත යාලුවාට අවසන් පිංඅනුමෝදනාව සිද්ධ කරනවා.

සජිත් මේ කරපු කාර්ය අගය කරලා සමාජ මාධ්යයේ කමෙන්ට්, පොස්ට් ෂෙයා වෙද්දී ඒක දිරව ගන්න බැරි මාලිමාවේ මඩ බලකාය ඉවක් බවක් නැතුව මඩ ගහන්නත් පටන් අරන් තිබුනා.
ඒවා දැකපු බොහෝ දෙනෙක් සජිත්ට ඒ ගැන කියලා තිබුනා. සජිත් ඒකට දීලා තිබුණේ හරි අපූරු උත්තරයක්…
“එයාට නම දැම්මේ මම, එයාගේ දහස් ගණනක් ජායාරූප ගත්තේ මම. එයාගේ හැසිරීම, ගමන් බිමන්, එයා කන බොන හැටි, ඒයා දඟ කරපු හැටි, එයා නායකයෙක් විදිහට කණ්ඩායම රැකපු හැටි, එයා කාලෙන්, කාලෙට උස් මහත් වුන හැටි දැක්කේ මම. මට දැනෙන දේ ඒ අයට නොදැනුනාට මට කරන්න දෙයක් නෑ. මම හැමදාම අලි, ඇතුන්ට වන සතුන්ට ආදරෙයි. මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ නැති කණ්ඩායමකින් සත්තුන්ට ආදරේ කරාවි කියලා හිතන්න අපිට බෑනේ. අනේ මඩ ගහන්න අරින්න මෙයා. මගේ ඇඟේ වදින්නේ නෑ නේ. මේ රටේ පරිසරයට ආදරය කරන මිනිස්සු දන්නවා සජිත් ප්රේමදාස කවුද කියලා. මම කාවන්තිස්සට ආදරෙයි. ඒක මගේ ළඟ තියෙවි.”
මාලිමාවත් අතරමං කළ චීවරය
ශ්රී ලාංකික බෞද්ධ ප්රජාව පමණක් නොව ඉස්ලාම්, හින්දු, කිතුණු ඇතුලු සමස්ත ආගමික ප්රජාවන් ඇතුලු සමාජ කණ්ඩායම්, ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් සහ උන්වහස්සේගේ චීවරය ඉවත් කිරීම දක්වා ක්රියාත්මක වූ ස්භාවය හෙළා දකින අයුරු දැකගත හැකි විය.
වත්මන් මාලිමා ආණ්ඩුව මේ හරහා චේතනාන්විතවම බුද්ධ ශාසනයට අපහාසයක් සිදුකර ඇති බවටත්, සමාජයක යහපැවැත්ම සැකසීමේදී නීතියට මෙන්ම සම්ප්රදායන් හා සංස්කෘතික පුරුදුවලටත් වටිනාකම් ලබාදිය යුතු බවත් ඔවුන් අවධාරණය කළේය.
මෙලෙස භික්ෂුවකගේ සිවුර මුදා හරින්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් බුද්ධාගමට ප්රමුඛතාව ලබාදී ඇති පසුබිමක බවත්, නිකායට හෝ එම ආගමික සංස්ථාවට අයත් කාර්ය කඩි මුඩියේ ආණ්ඩුව විසින් ක්රියාවට නැංවීම හරහා සිදුකළේ කවරෙකුගේ හෝ අවශ්යතාවත් ඉටුකිරීම බවටත් සමාජයේ විවිධ පාර්ශව ආණ්ඩුව දෙසට ඇඟිල්ල යොමු කරමින් චෝදනා කළේය.
සජිත්ට, මහ සඟරුවනේ ප්රසාදය...

විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ වැදගත් සාකච්ඡා කිහිපයකට සහභාගීවිය. ඒ සාකච්ඡා අතරින් කිහිපයකදීම අවදානය යොමු වූයේ බුද්ධශාසනයට එල්ල වී ඇති අභියෝග පිළිබඳවය. පසුගිය සතියේ පන්නිපිටිය රුක්මල්ගම ධර්ම විජයාලෝක විහාරයට පැමිණ කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබාගත් සජිත් අනතුරුව වැදගත් සාකච්ඡාවක නිරත විය. එහිදී මහනාහිමියන් පෙන්වා දුන්නේ, ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට පෙර උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවෙන් ඒ පිළිබඳ විමසීමක් සිදු කිරීමටවත් ආණ්ඩුවට හෝ බන්ධනාගාර නිලධාරීන්ට අවබෝධයක් නොතිබූ බවය.

අනතුරුව සජිත් ප්රේමදාස වාද්දූව බෝධිරාජ විහාරස්ථානයට ගොස් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල නාහිමියන් ද මුණ ගැසුණේය. පූජ්ය ඥාණසාර හිමියන්ට මුහුණදීමට සිදුවූ සිද්ධියෙන් ආරම්භ වූ ගැටලුව කඩිනමින් නිරාකරණය විය යුතු බවත් යාවත්කාලීන නොවූ රෙගුලාසි ඇත්නම් ඒවා යාවත්කාලීන කරමින් චීවරයට නිසි ගරුත්වය හිමිවන පසුබිමක් ඇති කළ යුතු බවටත් එහිදී සජිත් කළ යෝජනාව අනුනායක හිමියන්ද අනුමත කළේය.
සජිත් එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සියලුම නිකායන් එකට එක්වී සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමටත් එම ප්රතිපත්තිය සෙසු ආගම් හා සංස්කෘතීන්ට ද ලබාදෙන ප්රතිපත්තිමය වැඩපිළිවෙලකට අවතීර්ණවීම කාලෝචිත අවශ්යතාවක් වී ඇති බවය.

මේ අතර ශ්යාමෝලිපාලි මහා නිකායේ ශ්රී රෝහණ පාර්ශ්වයේ අනුනායක පූජ්ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් ද මුණගැසුණු සජිත්, බුද්ධ ශාසනයේ මතු ආරක්ෂාව වෙනුවෙන් තමන් සිදුකරණ යෝජනා පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළේය.
දේශපාලනය වනසන පිළිකාවෙන් බේරෙන හැටි...

සජිත් පසුගිය සතියේ කලුතර දිස්ත්රීක් ආසන සංවිධායකවරුන් හා පළාත් පාලන මන්ත්රීවරුන් හමුවී සුහද කතාබහක නිරත වූයේ දිස්ත්රික්කයේ ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීවය. ජාතීන් හා ආගම් අතරත් විවිධ කණ්ඩායම් අතරත් යළිත් මතවාදීමය ගැටුම් නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බව පෙන්වා දුන් සජිත්, අවධාරණය කළේ, පිලිකාවක් බඳු ආගම්වාදය, ජාතිවාදය යළි මේ පොලොව මත පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීම සමගි ජන බලවේගයට සම්බන්ධ සැමගේ යුතුකමක් බවය.
“ බුද්ධ චීවරයට අත තියන තීන්දු ගිහියන්ට ගන්න හැකියාවක් නෑ. එවැනි දෙයක් සිදුකළ යුතු නම් ඒ දේ කළ යුත්තේ මහනායක හිමිවරුන්, විනය මණ්ඩල සහ සංඝ සභාව විසින්. අපේ රටේ පවතින විවිධ රෙගුලාසි යම් යම් නීති රීති යල්පැනගිය ඒවා බව ඇත්ත. එහෙම නම් ඒවා හෙටට ගැලපෙන විදිහට වෙනස් කළ යුතුයි. ඒත් ඒ වෙනුවට ආණ්ඩුව චීවරයට අත තියලා බරපතල වරදක් සිදුකරලා තියෙනවා. අද රටේ ක්රියාත්මක කරන්නේ රාජ්ය කේන්ද්රීය මර්දනකාරී පාලනයක්. ජනතාව දුකින් ඉන්න බව රාජ්ය නායකයාට දැනෙන්නේ නෑ. කිසිදු සංවේදීභාවයක් නැහැ. වර්තමානයේ ක්රියාත්මක වෙන්නේ රජය කේන්ද්ර කරගත් මර්දනකාරි ප්රතිපත්තියක්. මේ උත්සාහ කරන්නේ ඒකාධිපති ආඥාදායක පාලනයක් හරහා මේ රට තනි පක්ෂ පාලනයකට ඇදගෙන යන්න.”
සජිත් ජනපතිට දුන්න අවවාදය...

මේ අතර පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් මහනුවරින් ආරම්භ වූ ‘නිදහසේ පා ගමන’ ජනාධිපති ලේකම් කාර්යාලට අසළට පැමිණියේ ඉකුත් 15 වැනිදාය. විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බුද්ධ ප්රතිමාවක් තැන්පත් කිරීම සඳහා තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
භික්ෂූන් වහන්සේලා විසින් ක්රියාත්මක කළ විරෝධතා පාගමනට එක් නොවූවත්, උන්වහන්සේලාට කිසියම් හෝ අසාධාරණයක් සිදුනොවිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටි සජිත් භික්ෂූන්වහන්සේලාගේ ආරක්ෂාවට සහ නීතිමය අවශ්යතා වෙනුවෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු ඒ ස්ථානයට යොමු කිරීමට පියවර ගත්තේය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල බුද්ධ ප්රතිමා වහන්සේ තැන්පත් කිරීමට සකස් කළ තාවකාලික අට්ටාලය කඩා එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේටද පීඩාකාරි වන සේ කටයුතු කර ඇති බවටත් ඉන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවටත් සජිත්ට දැනගත්තට ලැබෙද්දී සජිත් ගමන් කරමින් තිබුණේ ගල්ගමුව දෙසටය.
ඒ වෙඩි වැදීමෙන් අසාධ්ය තත්ත්වයේ පසුවූ ගල්ගමුවේ කාවන්තිස්ස ඇතාට ප්රථිකාර සිදුකරන ආකාරය නිරීක්ෂණයට සහ ඒ සඳහා ලබාදිය යුතු සහය පිළිබඳ විමසා බැලීමටය.
ඒ අතරතුර සංඝයාවහන්සේලාට සිදුවූ පීඩාව දැනගත් සජිත් වහාම ජනාධිපතිවරයාට මේ සඳහා මැදිහත්වන ලෙස දන්වමින් නිවේදනයක් නිකුත් කළේය.
එහි දැක්වුණේ.., ප්රජාතන්ත්ර විරෝධී ලෙස කටයුතු කිරීම වෙනුවට චීවරයට නිසි ගරුත්වය ලබාදෙමින් උන්වහන්සේලා සමඟ සෘජුව සාකච්ඡා කර විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස, අවධාරණය කළේ, භික්ෂුන් වහන්සේලාට හිංසා පීඩා සිදුකරමින් කරන මෙම ක්රියාව වහාම නතර කරන ලෙසය.
යළි කරළියට ආ, ශ්රී දළඳා මාළිගාව ලෙයින් තෙත් කළ ප්රහාරය…

1989 වසරේ පෙබරවාරි 09 වනදා ශ්රී දළදා මාළිගාවට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකර වරදකරුවන් රටට හෙළිදරව් කිරීම වර්තමාන ආණ්ඩුවට පැවරෙන වගකීමක් බවට වූ තර්කයක් පසුගිය සතියේ සමාජගත වූයේ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කළ ප්රකාශයක් සමඟය. ලෝක බෞද්ධ සංස්කෘතියටම ඉතා වැදගත් උතුම් දන්ත ධාතූන්වහන්සේ වැඩසිටින මාලිගාවට එල්ලවූ වෙඩි ප්රහාරයෙන් ඔත්පල වූ පුද්ගලයින් පවා අදටත් අසරණ වී සිටින බව පැවසු ඔහු කියා සිටියේ තමන් බෝම්බ ප්රහාරයක් බවට කියූ ප්රකාශය අල්ලාගෙන මාධ්ය සංදර්ශන සිදුකිරීම වෙනුවට තම පක්ෂයේ සාමාජිකයින් විසින් වෙඩි තබා සිදුකළ ලේ වැගිරීම පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීම වත්මන් රජයේ යුතුකමක් බවය.
“ මේ රටේ බෝම්බ ගහපු සංවිධාන දෙකක් තියෙනවා. එකක් එල්.ටී.ටී.ඊ, අනෙක ජේ.වී.පී. ජනතා විමුක්ති පෙරමුණ එදා කතරගම පෙරහැරටත් බෝම්බ ගහුවා. බෝම්බ 03ක් ගැහුවා. ඒ සිදුවීම වෙද්දී මමත් එතන ඒ ප්රහාරයට ලක්වෙච්ච 13 දෙනෙකුට දිවි අහිමි වුණා. මේ අය දළදා මාළිගාවේ හිටපු රළහාමිලාගේ අතේ තිබුණු තුවක්කු පැහැරගෙන වෙඩි තියපු කණ්ඩායමක්. මල්වතු මහනාමියනුත් පසුගියදා අපි සමග මේ බව කිව්වා. ඒ වගේම හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්නත් කියලා තිබුණේ ජවිපේ වෙඩි තියන අවස්ථාවේ තමන් කාණුවකට රිංගලා ජීවිතය බේරාගත්තා කියලා. එදා මේ අය පූජා භූමියක් ලේවලින් තෙත් කළා. වෙඩි තියලා මැරුවත් එකයි. බෝම්බ ගහලා මැරුවත් එකයි. ඒ නිසා අපි කියන්නේ බෝම්බෙද ? තුවක්කුවද ? කියල ප්රශ්න කරමින් ඉන්නේ නැතිව 1989 වසරේ පෙරවාරි 09 වැනිදා එල්ල වූ මේ ම්ලේච්ඡ ප්රහාරය ගැන පරීක්ෂණයක් සිදුකරන එක කාටත් වඩා වර්තමාන ආණ්ඩුවේ වගකීමක්.”
වැඩිදුරටත් කරුණු දක්වමින් මහලේකම්වරයා පැවැසුවේ, මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්රියාමාර්ග අනුව ආණ්ඩුවේ අවංකභාවය පිළිබද කිසියම් තක්සේරුවකට පැමිණීමට ද අවස්ථාව උදාවන බවය.
දත්ත ගැටලුවත් අරන් සජිත් COPF එකට...

සජිත් පසුගිය සතියේ COPF කමිටු රැස්වීමට එක්වූයේ ඉතා බරපතල ප්රශ්නයක් ගැන සාකච්ඡා කිරීමටය. ඒ නිවැරදි දත්ත පද්ධතියක් නොමැතිව සිදුකරනු ලබන ගණනය කිරීම්වල නිරවද්යතාව පිළිබද ගැටලු විමසීමටය. 2019 ලබාගත්ත දත්ත 2026 දී සිදුකරනු ලබන ආර්ථික, සංවර්ධන මිනුම් සඳහා භාවිතා කිරීම නිවැරදිද යන්න අදාළ නිලධාරීන්ගෙන් ප්රශ්න කළ සජිත් විමසා සිටියේ, ග්රාම නිලධාරින්, සමෘද්ධි, කෘෂි පර්යේෂණ හා ආර්ථික සංවර්ධන නිලධාරීන් ලෙස එක් ග්රාමසේවා වසමකට නිලධාරීන් සිව්දෙනෙකු සිටියදී නිවැරදි දත්ත ලබාගැනීමට නොහැකිවී ඇත්තේ ඇයිද යන්න පිළිබඳවය.
“මහබැංකුව පසුගිය දවසේ ඉදිරිපත් කළ සමාජ ආර්ථික දත්ත වාර්තාවේ යාවත්කාලීන වූ දත්ත නෑ. ඒක 49 වැනි වෙළුම නම් මීට පෙර වෙළුම් 48ක් තිබිය යුතුයි. නමුත් මහබැංකුවේ වෙබ් අඩවියේ ඇත්තේ 2007-2026 දක්වා වෙළුම් පමණයි. ඒ වගේම 2012න් පස්සෙ ජන සංගණනයක් සිදුවෙලා නෑ. 2019 පාස්කු ප්රහාරය එල්ල වුණා. 2020 කොරෝනා ආවා. 2022 රට බංකොලොත් වුණා. 2025 දිට්වා හා මැදපෙරදිග යුද්ධය. මේ ආදී සිදුවීම් නිසා සිදුවෙච්ච බලපෑම් ගැනවත් තවමත් සංගණනයක් සිදුකරලා නෑ. ඒ නිසා යාවත්කාලීන නිවැරදි දත්ත නැතිව අස්වැසුම වගේ ව්යාපෘති ක්රියාත්මක කරන්නේ කොහොමද කියන එක ගැටලුවක්.”
එහිදී නිළධාරීන් පැවසුවේ කඩිනමින් මේ පිළිබඳව අදාළ අංශ සහ රජය දැනුවත් කිරීමට තමන් කටයුතු යොදන බවය.
සතුරු මිතුරු - විවාද සංවාද...

සාරා කබීර් විසින් නිර්මාණය කරන ලද Tear Drop Nation චිත්රපටය එළිදැක්වීමේ අවස්ථාවට ප්රධාන ආරාධිතයකු ලෙස සජිත් ප්රේමදාස ද එක්විය.
කලා කෘතියක් රසවිඳින උත්සවයක් වූ එහිදී දේශපාලන එදිරිවාදිකම් පසෙක තබමින්, හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, නීතිඥ සාගර කාරියවසම්, ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇතුලු බොහෝ දෙනෙකු සමඟ සජිත් සුහද කතාබහේ නිරත වන අයුරු සියල්ලන්ට දැකගන්නට ලැබුණි.
(සාරා කබීර් විසින් නිර්මාණය කරන ලද Tear Drop Nation චිත්රපටය එළිදැක්වීමේ අවස්ථාවේ )
යුධ සමයේ සිදුවූ සැබෑ සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම 'Tear Drop Nation' චිත්රපටය නැරඹීමෙන් අනතුරුව සජිත් කීවේ මෙය ඇත්තටම “රටක් ලෙස අපිට වැරදුණු තැන් සහ හරිගිය තැන් අවබෝධ කර ගන්න එය අගනා නිර්මාණයක්' බවය.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
